Skip to content

පටුනට යන්න

මෘදුකම—අත්‍යවශ්‍ය වූ ක්‍රිස්තියානි ගුණාංගයකි

මෘදුකම—අත්‍යවශ්‍ය වූ ක්‍රිස්තියානි ගුණාංගයකි

මෘදුකම—අත්‍යවශ්‍ය වූ ක්‍රිස්තියානි ගුණාංගයකි

“මෘදුකම . . . පැළඳගන්න.”—කොලොස්සි 3:12, NW.

1. මෘදුකම අතිවිශේෂ ගුණාංගයක් වන්නේ කුමක් නිසාද?

කාලගුණය කටුක නොවන විට එය හරි සුවදායකයි, ආස්වාදජනකයි. පුද්ගලයෙක් මෘදු නම්, නැත්නම් මෘදු ලෙස කටයුතු කරයි නම්, අපට කියන්නට පුළුවන් ඔහු සමඟ සිටීම ප්‍රසන්න දෙයක් කියා. කොහොම වුණත්, ‘මොළොක් දිවෙන් ඇට බිඳෙන’ බව ප්‍රඥාවන්ත සාලමොන් රජ නිරීක්ෂණය කළා. (හිතෝපදේශ 25:15) මෘදුකම කියන්නේ ප්‍රසන්නකම හා බලය එකට බැඳ තබන පුදුම ගුණාංගයක්.

2, 3. මෘදුකම සහ ශුද්ධාත්මය අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මෙම ලිපියේදී අප සලකා බලන්නේ කුමක්ද?

2 ප්‍රේරිත පාවුල් ගලාති 5:22, 23හි සඳහන් “ආත්මයේ පල” සම්බන්ධ සිය ලැයිස්තුවට මෘදුකමද ඇතුළත් කළා. නව ලෝක පරිවර්තනයේ මෙම ගලාති 5:23වන පදයේ සඳහන් “මෘදුකම” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය වෙනත් බයිබල් අනුවාදවල බොහෝවිට ගෙනහැර දක්වා තිබෙන්නේ “මොළොක්කම” හෙවත් “මහත්මා ගතිය” යනුවෙනුයි. මෙහිදී වටහාගත යුතු සත්‍යයක් නම්, මෙහි ග්‍රීක් වචනය සඳහා හරියටම සමාන වන වචනයක් බොහෝ භාෂාවලින් සොයාගැනීම දුෂ්කර බවයි. ඊට හේතුව නම්, මෙහි ප්‍රාරම්භක යෙදුමෙන් විස්තර කරන්නේ පිටාතර මහත්මා ගතියක්වත් මොළොක්කමක්වත් නොව නමුත් අභ්‍යන්තර මෘදුකම සහ කරුණාවන්තකමයි. කෙනෙකු හැසිරෙන විදිහ නොව නමුත් එම තැනැත්තාගේ මනසේ හා හෘදයේ තත්වයයි.

3 මෘදුකමේ අර්ථය හා එහි ඇති වටිනාකම වඩාත් හොඳින් වටහාගැනීමට බයිබල් ආදර්ශ හතරක් අපි සලකා බලමු. (රෝම 15:4) අප එසේ කරන විට අප මෙම ගුණාංගය ගැන ඉගෙනගන්නවා පමණක් නොව නමුත් එය ඇති කරගත හැකි ආකාරයත්, අපගේ සියලු කාරණා කටයුතුවලදී එය විදහා පෑ හැකි අන්දමත් අපි ඉගෙනගන්නෙමු.

‘දෙවිගේ ඇස් ඉදිරියේ බොහෝ සේ වටී’

4. යෙහෝවා මෘදුකම ඉතා ඉහළින් සලකන බව අප දන්නේ කොහොමද?

4 මෘදුකම යනු දෙවිගේ ආත්මයේ පලයක් නිසා එය දෙවිගේ පුදුමාකාර පෞද්ගලිකත්වය හා සමීප ලෙසම බැඳී තිබෙන ගුණාංගයක් වන බවට පෙනී යෑම තර්කානුකූලයි. “තැන්පත් වූ මෘදු වූ ගතිය” “දෙවිගේ ඇස් ඉදිරියෙහි බොහෝ සේ වටින” බව ප්‍රේරිත පේතෘස් ලීවා. (1 පේතෘස් 3:4, NW) ඇත්ත වශයෙන්ම, මෘදුකම යනු දේවගුණාංගයක්. යෙහෝවා එය සලකන්නේ ඉතාමත්ම ඉහළින්. එසේනම්, දෙවිගේ සියලු සේවකයන් විසින් මෘදුකම වගා කිරීමට එයම ප්‍රමාණවත් හේතුවක් බව සහතිකයි. එහෙත්, විශ්වයේ ඉහළම අධිකාරය හොබවන සර්වබලධාරී දෙවි මෘදුකම පෙන්වන්නේ කොහොමද?

5. යෙහෝවාගේ මෘදුකම නිසා අපට තිබෙන්නේ කෙබඳු අපේක්ෂාවක්ද?

5 යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්නට එපා කියා දෙවි දුන් පැහැදිලි ආඥාවට පළමු මිනිස් යුවළ වූ ආදම් සහ ඒව අකීකරු වූයේ හිතාමතාමයි. (උත්පත්ති 2:16, 17) හිතාමතාම කළ මේ අකීකරු ක්‍රියාව නිසා ඔවුන්ට සහ ඔවුන්ගේ අනාගත දරුවන්ට පාපයත්, මරණයත් උරුම වීම එහි ප්‍රතිඵලය වූ අතර ඔවුන් දෙවිගෙන් ඈත් වුණා. (රෝම 5:12) යෙහෝවා විසින් එම විනිශ්චය ප්‍රකාශ කිරීම මුළුමනින්ම යුක්තිසහගත වුවත්, යළිත් පුනරුත්ථාපනය කළ නොහැකි හෝ ගලවාගත නොහැකියයි සලකා ඔහු මිනිස් පවුල මුළුමනින්ම සැරපරුෂ ලෙස කටුගා දැමුවේ නැහැ. (ගීතාවලිය 130:3) ඒ වෙනුවට, සිය කරුණාවන්තකම සහ ඉතා දැඩි, බුරුලක් නොදෙන ස්ථාවරයක් නොගැනීමට වූ සිය කැමැත්ත පෙරදැරි කරගෙන, එනම් මෘදුකම පෙන්වමින් යෙහෝවා පව්කාර මිනිස් වර්ගයාව සිය අනුමැතියට යළිත් ගෙන ඒම සඳහා යම් මාධ්‍යයක් සැපයුවා. ඔව්, සිය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව නමැති දීමනාව මගින් යෙහෝවා අපට කිසිම භයක් හෝ භීතියක් නැතුව සිය උසස් සිංහාසනය කරා ළඟාවීමට හැකි කරවා තිබෙනවා.—රෝම 6:23; හෙබ්‍රෙව් 4:14-16; 1 යොහන් 4:9, 10, 18.

6. දෙවි කායින් සමඟ කටයුතු කළ අන්දම තුළ මෘදුකම දැකිය හැක්කේ කෙසේද?

6 යේසුස් මේ පොළොවට පැමිණීමට බොහෝ කලකට පෙර ආදම්ගේ පුතුන් වන කායින් සහ ආබෙල් දෙවිට පූජාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී යෙහෝවා මෘදුකම විදහා පෑවා. ඔවුන්ගේ හදවත්වල තත්වය වටහාගත් යෙහෝවා කායින්ගේ පූජාව ප්‍රතික්ෂේප කළ නමුත් ආබෙල් සහ ඔහුගේ පූජාව දෙස ‘බැලුවේ ප්‍රසාදයකින් [NW].’ ඇදහිලිවන්ත ආබෙල් සහ ඔහුගේ පූජාව දෙස දෙවි ප්‍රසන්නකමින් බැලූ හෙයින් කායින් තුළ ඒ මගින් ඇති වුණේ අහිතකර ප්‍රතික්‍රියාවක්. “කායින් අතිශයින් කෝප විය. ඔහුගේ මුහුණද වෙනස් විය” කියා බයිබල් වාර්තාව පවසනවා. යෙහෝවා මීට ප්‍රතික්‍රියා කළේ කොහොමද? කායින්ගේ නපුරු ආකල්පයෙන් යෙහෝවා තුළ අමනාපයක් ඇති වුණාද? නැහැ. මෘදු ලෙස ඔහු කායින්ගෙන් ඇසුවා ඔහු කෝප වී සිටින්නේ ඇයි කියා. ඒ විතරක් නොවෙයි, ‘පිළිගනු ලැබීමට’ නම් කායින්ට කුමක් කළ හැකිද කියාත් යෙහෝවා පැහැදිලි කළා. (උත්පත්ති 4:3-7) ඇත්තටම, යෙහෝවා තමයි මෘදුකමේ පරමාදර්ශය.—නික්මයාම 34:6.

මෘදුකම ආකර්ෂණීයයි, ප්‍රබෝධය ඇති කරයි

7, 8. (අ) අපට යෙහෝවාගේ මෘදුකම තේරුම්ගත හැක්කේ කොහොමද? (ආ) මතෙව් 11:27-29හි සඳහන් වචන යෙහෝවා සහ යේසුස් ගැන හෙළි කරන්නේ මොනවාද?

7 යෙහෝවාගේ අසමසම ගුණාංග තේරුම්ගත හැකි හොඳම ක්‍රමවලින් එකක් නම්, යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය සහ දේවසේවය ගැන අධ්‍යයනය කිරීමයි. (යොහන් 1:18; 14:6-9) සිය දේශනා ව්‍යාපෘතියේ දෙවෙනි වසර අතරතුර ගලීලයේදී යේසුස් කොරාසීනය, බෙත්සයිදාව, කපර්ණවුම සහ ඒ අවට වෙනත් ප්‍රදේශවල බොහෝ බලවත් ක්‍රියා කළා. එහෙත්, වැඩිදෙනෙක් අහංකාර සහ කිසිම ප්‍රතිචාරයක් නොදක්වනසුලු වූ උදාසීනව සිටි අය නිසා ඔවුන් විශ්වාස කිරීමට කැමති වුණේ නැහැ. යේසුස් මීට ප්‍රතික්‍රියා කළේ කොහොමද? ඔහු ඔවුන්හට ඔවුන්ගේ අවිශ්වාසවන්තකම නිසා එහි පලවිපාක විඳීමට සිදු වන බව ස්ථිර ලෙස මතක් කර දුන්නත් ඔවුන් අතර සිටි ආම්හාආරෙට්ස්, එනම් නිහතමානි, සාමාන්‍ය මහජනතාවගේ ඉතා දුක්ඛිත ආත්මික තත්වය දැක අනුකම්පාවෙන් පෙලඹුණා.—මතෙව් 9:35, 36; 11:20-24.

8 යේසුස් පසුව කළ ක්‍රියාවලින් පෙන්වූයේ ඔහු ‘පියාණන්ව සම්පූර්ණයෙන්ම හඳුනන’ බව සහ ඔහු පියාණන්ව අනුකරණය කළ බවයි. යේසුස් පොදු ජනයාට මේ උණුසුම් ආරාධනය දුන්නා. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රබෝධවත් කරමි. මම මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රබෝධවත්භාවයක් ලැබෙනවා ඇත.” මෙම වචන, පෙළනු ලැබ පීඩනයෙන් සිටි අයට කොතරම් සැනසීමක් හා ප්‍රබෝධයක් ගෙන ආවාද! එම වචනවලින් අපටත් අද දින තිබෙන්නේ එම බලපෑමමයි. අප අවංක ලෙස මෘදුකම පැළඳගන්නවා නම් “පුත්‍රයා” විසින් “පියාව එළිදරව් කිරීමට කැමති” අය අතර අපත් සිටීවි.—මතෙව් 11:27-29, NW.

9. මෘදුකම සමඟ සම්බන්ධ වී තිබෙන්නේ කිනම් ගුණාංගයද? තවද මේ සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක් වන්නේ කොහොමද?

9 මෘදුකම සමඟ ළඟින්ම බැඳී තිබෙන ගුණාංගයක් නම් යටහත් පහත්කමයි, එනම් “නිහතමානි සිතක්” ඇතුව සිටීමයි. අනෙක් අතට, උඩඟුකම තමාවම උසස් කරගැනීමට හේතු කරවන අතර බොහෝවිට කර්කශ හා අසංවේදී ආකාරයකින් වෙනත් අයට සැලකීමට එය තුඩු දිය හැකියි. (හිතෝපදේශ 16:18, 19) යේසුස් තම භූමික දේවසේවය පුරාම යටහත් පහත්කම ක්‍රියාවෙන් පැහැදිලිව පෙන්නුවා. තම මරණයට දින හයකට පෙරාතුව යෙරුසලමට ගමන් කරද්දී යුදෙව්වන්ගේ රජ හැටියට ඔහුට සමාචාර දැක්වූ අවස්ථාවේදී ඔහු ක්‍රියා කළේ ලෝකයේ පාලකයන්ට වඩා බොහෝ වෙනස් විදිහටයි. ඔහු සෙකරියා විසින් මෙසියස් පිළිබඳව කියා තිබුණු අනාවැකියයි ඉෂ්ට කළේ. “බලන්න! මෘදු ගුණැති ඔබේ රජ ඔබ වෙතට බූරුවෙකු පිට නැඟ එන්නේය. එසේය, ඔහු බූරුවෙකුගේ පැටවෙකු පිට, එනම් බර අදින සතෙකුගේ පැටවෙකු පිට නැඟී එන්නේය.” (මතෙව් 21:5, NW; සෙකරියා 9:9) යෙහෝවා විසින් සිය පුත්‍රයාට පාලන බලතල පවරනවා විශ්වාසවන්ත අනාගතවක්තෘවරයෙකු වූ දානියෙල් දර්ශනයක දැක්කා. එහෙත්, ඊටත් පෙර අනාවැකියක ඔහු යේසුස්ව විස්තර කළේ “මනුෂ්‍යයන් අතරින් පහත්ම කෙනෙකු” ලෙසටයි. මේ අනුව, මෘදුකම සහ යටහත් පහත්කම අත්වැල් බැඳගත් එකට බැඳී තිබෙන ගුණාංග දෙකක්.—දානියෙල් 4:17, NW; 7:13, 14.

10. ක්‍රිස්තියානි මෘදුකමෙන් දුර්වලකම අඟවන්නේ නැත්තේ මන්ද?

10 යෙහෝවා සහ යේසුස් විසින් විදහා පෙන්වන ලද මෘදුකම ඔවුන් වෙතට ළංවීමට අපට උදව් කරනවා. (යාකොබ් 4:8) ඇත්ත වශයෙන්ම, මෘදුකමින් දුර්වලකමක් කොහෙත්ම ඇඟවෙන්නේ නැහැ. ඇත්තෙන්ම නැහැ. සර්වබලධාරී දෙවි යෙහෝවාට තිබෙන්නේ අසීමිත වූ ගතික ශක්තියක් හා බලයක්. අධර්මිෂ්ඨකමට එරෙහිව ඔහුගේ උදහස මහත් සේ ඇවිළෙනවා. (යෙසායා 30:27; 40:26) ඒ වගේම සාතන් වන යක්ෂයාගේ ප්‍රහාර යටතේ පවා ප්‍රතිපත්ති පාවා නොදීමට යේසුස්ද ඒ හා සමානව ස්ථිර අධිෂ්ඨානයක් ගත්තා. ඔහු තමාගේ කාලයේ විසූ ආගමික නායකයන්ගේ නීති විරෝධී වාණිජමය කටයුතුවලට කිසිම ඉඩක් දෙන්නට කැමති වුණේද නැහැ. (මතෙව් 4:1-11; 21:12, 13; යොහන් 2:13-17) එහෙත්, සිය ගෝලයන්ගේ අඩුලුහුඬුකම් සමඟ කටයුතු කරද්දී ඔහු පවත්වාගත්තේ මොළොක් ස්වභාවයක්. ඒ වගේම ඉතා ඉවසීමෙන් යුතුවයි ඔහු ඔවුන්ගේ දුර්වලකම් දරාගත්තේ. (මතෙව් 20:20-28) එක් බයිබල් විශාරදයෙක් මෘදුකම ඉතා යෝග්‍ය ලෙස විස්තර කළේ මෙහෙමයි. “මෘදුකම පිටුපස වානේවල ශක්තිය තිබේ.” ක්‍රිස්තුස් සතු මේ ගුණාංගය වන මෘදුකම අපිත් විදහා දක්වමු.

තමා විසූ කාලයේ සිටි වඩාත්ම මෘදු ගුණැති තැනැත්තා

11, 12. මෝසෙස් හැදී වැඩුණු ආකාරය ගැන සලකන විට මෝසෙස්ගේ මෘදුකමෙහි ඇති විශේෂත්වය කුමක්ද?

11 අප සලකා බලන තුන්වෙනි ආදර්ශය නම් මෝසෙස්. බයිබලය ඔහුව විස්තර කරන්නේ “පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක්” හැටියටයි. (ගණන් කථාව 12:3) මෙම විස්තරය ලියනු ලැබුවේ දිව්‍ය මඟ පෙන්වීම යටතේයි. මෝසෙස්ගේ මෙම කැපීපෙනෙන මෘදුකම නිසා යෙහෝවාගේ මඟ පෙන්වීම පිළිගැනීමේ නැඹුරුවාවක් ඔහුට තිබුණා.

12 මෝසෙස්ව හදා වඩා ගනු ලැබුවේ අසාමාන්‍ය අන්දමකටයි. ඇදහිලිවන්ත හෙබ්‍රෙව් දෙමාපිය යුවළකගෙන් බිහි වූ මෙම දරුවාව වංචාවෙන් සහ මිනීමැරුම්වලින් ගහනව තිබූ සමයක ආරක්ෂා කිරීමට යෙහෝවා වගබලා ගත්තා. මෝසෙස් සිය කුඩා කාලයේදී හැදී වැඩුණේ මවගේ රැකවරණය යටතේයි. ඇය ඔහුට සැබෑ දෙවි වන යෙහෝවා ගැන ඉතා සැලකිල්ලෙන් ඉගැන්නුවා. පසුව, ඔහුගේ නිවසින් ඔහුව ගෙන යනු ලැබුවේ හාත්පසින්ම වෙනස් පරිසරයක ජීවත් වීමටයි. “ඊජිප්තුවරුන්ට තිබුණු සියලු ප්‍රඥාව මෝසෙස්ට උගන්වනු ලැබීය. ඇත්තෙන්ම, [මෝසෙස්] තම වචනවලින්ද ක්‍රියාවලින්ද බලවත් විය” කියා මුල් ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිවරයෙකු වූ ස්තේපන් සිහි කළා. (ක්‍රියා 7:22, NW) ඔහුගේ ඇදහිල්ල පැහැදිලිව දිස් වූයේ පාරාවෝගේ වහලුන් බලාගන්නා රැකවලුන් විසින් තම සහෝදරයන් මතට ගෙනෙන ලද හිංසා පීඩා දුටු විටයි. හෙබ්‍රෙව්වරයෙකුට පහර ගසනවා දුටු හෙයින් ඊජිප්තු වැසියෙකුව මරා දැමූ නිසා මෝසෙස්ට ඊජිප්තු දේශයේ සිට මිදියන් දේශයට පලා යෑමට සිදු වුණා.—නික්මයාම 1:15, 16; 2:1-15; හෙබ්‍රෙව් 11:24, 25.

13. මිදියන් දේශයේ වසර 40ක් පුරා මෝසෙස් ගත කළ ජීවිතය ඔහු කෙරෙහි ඇති කළ බලපෑම කුමක්ද?

13 වයස අවුරුදු 40දී මෝසෙස්ට සිදු වුණා පාළුකරයේදී තමන්වම රැකබලා ගන්නට. මිදියන් දේශයේදී රූවෙල්ගේ දියණියන් සත්දෙනාව ඔහුට හමු වූ අතර ඔවුන්ගේ පියාගේ විශාල සත්ව රැළට වතුර අදින්නට ඔහු ඔවුන්ට උපකාර කළා. ආපසු හැරී ගෙදර ගිය මේ තරුණ කාන්තාවන් “ඊජිප්තුවේ මනුෂ්‍යයෙක්” [NW] තමන්ට කරදර කරන්නට ආ එඬේරුන්ගෙන් තමන්ව බේරාගත් වග රූවෙල්ට පැහැදිලි කළේ ඉමහත් සොම්නසකින්. රූවෙල්ගේ ආරාධනයෙන් මෝසෙස් එම පවුල සමඟ වාසය කළා. මෝසෙස් තමන්ට මුහුණ පාන්නට සිදු වූ විපත්ති ගැන අමනාපයෙන් පසු වුණේ නැහැ. ඔහුට ජීවත් වෙන්නට සිදු වී තිබෙන නව ජීවන රටාවට හැඩගැහෙන්නට එය ඔහුට බාධාවක් වූයේද නැහැ. යෙහෝවාගේ කැමැත්ත කිරීමට ඔහු තුළ වූ ආශාව බිඳකින්වත් සෙලවුණේ නැති බව කියන්නට පුළුවන්. මෝසෙස් වසර 40ක් පුරා රූවෙල්ගේ බැටළුවන්ව රැකබලා ගෙන, ශිප්පොරාව විවාහ කරගෙන, තම පුතුන්ව ඇති දැඩි කරගෙන, ඒ ගුණාංගය වැඩිදියුණු කර එය මුවහත් කරගත්තේ එය තමාගේ පෞද්ගලිකත්වයේ විශේෂ ලක්ෂණයක් බවට පත් කරගනිමිනුයි. ඔව්, පීඩා බාධක ඉවසා දරාගනිමින් මෝසෙස් මෘදුකම ඉගෙනගත්තා.—නික්මයාම 2:16-22; ක්‍රියා 7:29, 30.

14. ඊශ්‍රායෙල් කෙරෙහි මෝසෙස් නායකයාව සිටි සමයේදී ඔහුගේ මෘදුකමට සාක්ෂි සැපයූ එක් සිද්ධියක් විස්තර කරන්න.

14 යෙහෝවා මෝසෙස්ව ඊශ්‍රායෙල් ජාතියේ නායකයා ලෙසට පත් කළායින් පසුවත් ඔහුගේ මෙම මෘදුකම නමැති ගුණාංගය එලෙසින්ම දක්නට තිබුණා. එක් තරුණයෙක් මෝසෙස්ට පැවසුවා, එල්දාද් සහ මේදාද් යන දෙදෙනා කඳවුර තුළ අනාගතවක්තෲන් ලෙස ක්‍රියා කරනවා කියලා. ඔහු එසේ කිව්වේ යෙහෝවා මෝසෙස්ගේ සහයකයන් ලෙසට සේවය කිරීමට සිටි වැඩිමහල්ලන් 70දෙනෙකු මත සිය ආත්මය වගුරුවද්දී ඔවුන් සිටියේ නැති නිසයි. ‘මෝසෙස් ස්වාමිනී, ඔවුන් තහනම් කරන්න’ කියා යෝෂුවා කියා සිටියා. මෝසෙස් මෘදු ලෙස පිළිතුරු දුන්නේ “නුඹ මා නිසා ඊර්ෂ්‍යා වෙනවාද? යෙහෝවාගේ සියලු සෙනඟ ප්‍රොපේතවරුන් වෙන ලෙස යෙහෝවා තමන්ගේ ආත්මය ඔවුන් කෙරෙහි තැබුවොත් යෙහෙක” යනුවෙනුයි. (ගණන් කථාව 11:26-29) එම කලබලකාරී අවස්ථාව සමනය කිරීමට හේතු වූයේ මෘදුකමයි.

15. මෝසෙස් අසම්පූර්ණ කෙනෙක් වුවද ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට වටින එකක් වන්නේ ඇයි?

15 එහෙත් එක් අවස්ථාවක නම් මෝසෙස් තුළ තිබූ මේ මෘදුකම නැතිව ගිය බවකුයි දකින්ට තිබුණේ. කාදෙෂ් අසල මෙරිබාහිදී ඔහු යෙහෝවාට එනම් සැබෑ ලෙසම ප්‍රාතිහාර්යය කළ තැනැත්තාට ගෞරවය දීමට එතරම් තැකීමක් කළේ නැහැ. (ගණන් කථාව 20:1, 9-13) මෝසෙස් අසම්පූර්ණ වුවත් ඔහුගේ නොසැලෙන ඇදහිල්ල ඔහුගේ ජීවිතය පුරාම ඔහුට මහත් පිටුවහලක් වුණා. තවද මෘදුකම නමැති ඔහුගේ මෙම අතිවිශේෂ ගුණාංගය අද දින වෙසෙන අපේ සිත්වලද ලැගුම් ගෙන තිබෙනවා.—හෙබ්‍රෙව් 11:23-28.

සැරපරුෂකමට එරෙහිව මෘදුකම

16, 17. නාබල් සහ අබීගායිල් සම්බන්ධ වාර්තාව තුළ අපට උකහාගත හැක්කේ කිනම් අනතුරු ඇඟවීමද?

16 එක්තරා අනතුරු අඟවන ආදර්ශයක් අපට දාවිත්ගේ කාලයෙන් දැකගන්නට පිළිවන්. එය දක්නට තිබෙන්නේ අනාගතවක්තෘ සාමුවෙල්ගේ මරණයෙන් ටික කලකට පසුවයි. විවාහක යුවළක් වූ නාබල් සහ අබීගායිල් ඊට සම්බන්ධයි. මේ දෙදෙනා කටයුතු කළ ආකාරය එකිනෙකට කොයි තරම් වෙනස්ද! අබීගායිල් “බුද්ධිමත්” තැනැත්තියකව සිටි අතර ඇගේ සැමියා වූ නාබල් “ක්‍රියාවලින් කර්කශ වූ නපුරු වූ කෙනෙකි.” නාබල්ගේ බැටළු රැළ සොරුන්ගෙන් ආරක්ෂා කර දී තිබූ දාවිත්ගේ මිනිසුන් කෑමට යමක් ඉල්ලා සිටි විට ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඉතා සැරපරුෂ විදිහටයි! ධර්මිෂ්ඨ කෝපයෙන් දැවී ගිය දාවිත් සහ ඔහුගේ පුරුෂයන් කණ්ඩායම කඩු ඉණේ බැඳගෙන නාබල්ට එරෙහිව යුධ වදින්නට සැරසුණා.—1 සාමුවෙල් 25:2-13.

17 සිදු වුණු දේ අබීගායිල්ට ආරංචි වූ විගසම ඇය රොටි, වයින්, මස් සහ වියළි මුද්‍රිකපල පොකුරුද අත්තික්කා කැටිද ගෙන දාවිත් හමුවීමට ගියා. “ඒ අපරාධය මා පිට, මාගේ ස්වාමිනි, මා පිටම වේවා. ඔබට කතා කරන්ට ඔබගේ මෙහෙකාරීට අවසර ලැබේවා. ඔබගේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනවි” කියා ඇය ඔහු ඉදිරියේ බැගෑපත් වුණා. අබීගායිල්ගේ මෙම මෘදු ආයාචනයෙන් දාවිත්ගේ හදවත උණු වී ගියා. අබීගායිල්ගේ පැහැදිලි කිරීමට සවන් දුන්නායින් පසු දාවිත් ප්‍රකාශ කර සිටියේ මෙහෙමයි. “මා සම්බ වෙන්ට අද දවසේ නුඹ එව්වාවූ ඊශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවාට ප්‍රශංසා වේවා. නුඹේ නුවණටද ප්‍රශංසා වේවා. ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැළැක්වූ නුඹට ආශීර්වාද වේවා.” (1 සාමුවෙල් 25:18, 24, 32, 33) නාබල්ගේ එම සැරපරුෂකම අන්තිමේදී තුඩු දුන්නේ ඔහුගේම මරණයටයි. නමුත් අබීගායිල්ගේ ඒ කදිම ගුණාංග අන්තිමේදී දාවිත්ගේ බිරිඳ බවට පත්වීමේ ප්‍රීතිය ඇයට ලබා දුන්නා. ඇයගේ මෘදුකම අද දින යෙහෝවාට සේවය කරන සියල්ලන්ටම සපයන්නේ මනා ආදර්ශයක්.—1 සාමුවෙල් 25:36-42.

මෘදුකම ලුහුබඳින්න

18, 19. (අ) අප මෘදුකම පැළඳගන්නා විට කිනම් වෙනස්කම් දක්නට ලැබේද? (ආ) බලපෑමෙන් යුත් ආත්ම සෝදිසියක් කරන්නට අපට කුමක් උපකාරවත් විය හැකිද?

18 එසේනම්, මෘදුකම යනු නැතුවම බැරි අනිවාර්ය අවශ්‍යතාවක්. එය නිකම්ම කාරුණික හැසිරීම් ලීලාවකට වඩා වැඩි දෙයක්. එය අනුන්ව ප්‍රබෝධවත් කරන්නාවූ පෞද්ගලිකත්වයේ එක්තරා ආකර්ෂණීය ගතිලක්ෂණයක්. කලින් සමහරවිට අප සැරපරුෂ ලෙස කතා කරන්නට හෝ අකාරුණික අන්දමින් හැසිරෙන්නට පුරුදු වෙලා සිටින්නට ඇති. එහෙත්, බයිබල් සත්‍යය ඉගෙනගත් අපි වෙනස් වුණෙමු. වඩාත් ප්‍රියමනාප මෙන්ම එකඟ විය හැකි පුද්ගලයන් බවට පත් වුණෙමු. පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටි විට මෙම වෙනස ගැන කතා කළා. “දයානුකම්පාව නමැති ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න.” (කොලොස්සි 3:12, NW) බයිබලය මෙම වෙනස සසඳා තිබෙන්නේ දරුණු සතෙකුගේ සිට, එනම්, වෘකයෙකු, දිවියෙකු, සිංහයෙකු, වලසෙකු සහ නයෙකුගේ සිට සාමකාමී ගෘහස්ත සතෙකු, එනම් බැටළු නාම්බෙකු, පැටියෙකු, වස්සෙකු සහ එළදෙනක වැනි සතෙකු දක්වා වෙනස් වීමකටයි. (යෙසායා 11:6-9; 65:25) එවන් පෞද්ගලිකත්වයේ වෙනසක් කොතරම් සුවිශේෂද යත් එය බලා සිටින්නන්ව මවිතයට පත් කරනවා. කෙසේවෙතත්, අපි මෙම වෙනස් වීම ගැන කෘතඥතාව පෙන්වන්නේ දෙවිගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයටයි. මන්ද, එහි සැබෑ පල අතරට මෘදුකමද අන්තර්ගත වන නිසයි.

19 මින් අදහස් කරන්නේ අප වරෙක අවශ්‍ය වෙනස්කම් කර යෙහෝවාට කැප වූ පසුව අපට තවදුරටත් මෘදු ගතියක් ඇතිව සිටීම සම්බන්ධයෙන් වෙරදැරීමට අවශ්‍ය නැති බවද? කොහෙත්ම නැහැ. අලුත් ඇඳුම් පිරිසිදු, පිළිවෙළකින් යුත් පෙනීමකින් තබාගැනීමට නිතර නිතර සේදීම හා මැදීම අවශ්‍යයි. ඒ හා සමානව, දේවවචනය තුළට එබී බලා එහි ඇති ආදර්ශයන් ගැන මෙනෙහි කිරීම, නැවුම් හා අවංක අන්දමකින් අප දෙසම බලන්නට අපට ඉවහල් වෙනවා. දේවවචනය නමැති කණ්ණාඩියෙන් ඔබට ඔබ ගැනම කියා පාන්නේ කුමක්ද?—යාකොබ් 1:23-25.

20. මෘදුකම විදහා පෑමෙහිලා අපට සාර්ථක විය හැක්කේ කොහොමද?

20 ස්වභාවයෙන්ම පුද්ගලයන්ගේ චිත්ත ස්වභාවයන් එකිනෙකාට වෙනස්. දෙවිගේ සමහරක් සේවකයන්ට අනික් අයට වඩා මෘදුකම පෙන්වීම පහසුයි. කොහොම වුණත්, සියලු ක්‍රිස්තියානීන් මෘදුකම ඇතුළු දෙවිගේ ආත්මයේ පල වගා කිරීම අවශ්‍යයි. පාවුල් තිමෝතිට ඉතා ප්‍රේමණීය ලෙස අවවාද කළේ මෙහෙමයි. “ධර්මිෂ්ඨකම, දේවභක්තිය, ඇදහිල්ල, ප්‍රේමය, විඳදරාගැනීම සහ මෘදු ගුණය ලුහුබඳින්න.” (1 තිමෝති 6:11, NW) යම් ප්‍රයත්නයක් දැරීම මේ සඳහා අවශ්‍ය බව “ලුහුබඳින්න” යන වචනයෙන් අඟවනවා. එක් බයිබල් පරිවර්තනයක මෙම අවවාදය ගෙනහැර දක්වා තිබෙන්නේ ‘ඔබේ සිත යොමු කර තබාගන්න’ යනුවෙනුයි. (ජේ. බී. ෆිලිප්ස් විසින් රචිත New Testament in Modern English) දේවවචනයේ සඳහන් කදිම ආදර්ශයන් ගැන මෙනෙහි කිරීමට ඔබ ප්‍රයත්න දරනවා නම් ඒවා ඔබගේ මනසට කාවැදී ඔබේ පෞද්ගලිකත්වයේ කොටසක් බවට පත් වෙනවා ඇති. එය හරියට හොඳින් පැලපදියම් වූ යමක් මෙන් වනු ඇති. ඒවා ඔබව අඹා ඔබට මඟ පෙන්නාවි.—යාකොබ් 1:21, NW.

21. (අ) අප මෘදුකම ලුහුබැඳිය යුත්තේ ඇයි? (ආ) අපගේ මීළඟ ලිපියේදී සාකච්ඡා කරනු ඇත්තේ කුමක්ද?

21 අප අනුන් සමඟ හැසිරෙන ආකාරයෙන් පැහැදිලිව පෙනී යන්නේ අප මේ කාරණය සම්බන්ධයෙන් කොතරම් හොඳින් කටයුතු කරනවාද යන්නයි. “ඔබ අතරෙන් ප්‍රඥාවන්තව සහ තේරුම් ඇතිව සිටින්නේ කවුද” කියා ශ්‍රාවක යාකොබ් අසනවා. “ඔහු ප්‍රඥාව හා සම්බන්ධ මෘදුකමක් ඇතිව, තම යහපත් හැසිරීමෙන් තම ක්‍රියා පෙන්වාවා.” (යාකොබ් 3:13, NW) මේ ක්‍රිස්තියානි ගුණාංගය නිවසේදී, ක්‍රිස්තියානි දේවසේවයේදී සහ සභාවේදී විදහා පෑමට හැක්කේ කෙසේද? මීළඟ ලිපිය මේ සඳහා උපකාරවත් මඟ පෙන්වීම් සපයාවි.

පුනරීක්ෂණයක්

• පහත සඳහන් චරිතාදර්ශවලින් ඔබ මෘදුකම ගැන ඉගෙනගත්තේ මොනවාද?

• යෙහෝවා

• යේසුස්

• මෝසෙස්

• අබීගායිල්

• අප මෘදුකම ලුහුබැඳිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ආබෙල්ගේ පූජාව දෙස ප්‍රසන්නව බැලුවේ ඇයි?

[17වන පිටුවේ පින්තූරය]

මෘදුකම සහ යටහත් පහත්කම අත්වැල් බැඳගත් දේවල් බව යේසුස් පෙන්නුම් කළා

[18වන පිටුවේ පින්තූරය]

මෝසෙස් මෘදුකමේ කදිම ආදර්ශයක් තැබුවා