Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, ඔබ ආත්මිකව ප්‍රගතියක් ලබමින් සිටිනවාද?

යෞවනයෙනි, ඔබ ආත්මිකව ප්‍රගතියක් ලබමින් සිටිනවාද?

යෞවනයෙනි, ඔබ ආත්මිකව ප්‍රගතියක් ලබමින් සිටිනවාද?

හිඩියෝ සාමාන්‍ය පෙළ පංතිවල සිටි කාලය ගැන සිහි කරමින් පැවසුවේ මෙවැන්නක්. “මම ක්‍රිස්තියානි රැස්වීම්වලට යමින් සිටියත් යෙහෝවාට සේවය කිරීමට මට ආශාවක් තිබුණේ නැහැ. පාසැල් මිතුරන් අතර කැපිලා පේන්න සහ පෙම්වතියක් සමඟ නගරයේ සැරිසරන්න තමයි මම සිහින මැව්වේ. මට වැදගත් ඉලක්කයක් තිබුණෙත් නැහැ. ඒ වගේම ආත්මිකව ප්‍රගතියක් ලබන්න කිසිම ආශාවක් තිබුණෙත් නැහැ.” හිඩියෝ හා සමානව යෞවනයන් බොහෝදෙනෙකු වැදගත් ඉලක්ක හෝ යම් ප්‍රගතියක් අත් කරගැනීමේ ආශාවක් නොමැතිව ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙයි.

ඔබ යෞවනයෙකු නම් ඔබ යම් ක්‍රීඩාවක හෝ විනෝදාංශයක නිරත වෙන්නේ ඉතා උද්‍යෝගයෙන් වෙන්න ඇති. නමුත් ආත්මික ක්‍රියාකාරකම්වල යෙදෙන විට සමහරවිට ඔබට එවන් උද්‍යෝගයක් නොදැනෙනවා වෙන්න පුළුවන්. ආත්මික ඉලක්ක අත් කරගැනීමෙන් පවා උද්‍යෝගයක් අත් විඳිය හැකිද? ගීතිකාකරුගේ මෙම වදන්වලට අවධානය දෙන්න. “යෙහෝවාගේ සාක්ෂිය සත්‍යය [සිහිගැන්වීම් විශ්වාසවන්තය, NW], නුවණනැත්තන් ඥානවත් කරන්නේය. . . . යෙහෝවාගේ ආඥාව පවිත්‍රය, ඇස් එළිය කරන්නේය.” (ගීතාවලිය 19:7, 8) ‘නුවණ නැත්තන්ගේ ඇස් එළිය කරමින්’ ඥානවන්තව හැසිරෙන පිණිස ඔවුන්ට මඟ පෙන්වන්න දෙවිගේ වචනයට හැකියාවක් තිබෙනවා. සහතික වශයෙන්ම ඔබට ආත්මික ක්‍රියාකාරකම් තුළින් ප්‍රීතියක් අත් විඳිය හැකියි. නමුත් එවන් ප්‍රීතියක් අද්දැකීම සඳහා ඔබ කුමක් කළ යුතුද? ඒ වගේම ඔබ පටන්ගත යුත්තේ කොතැනින්ද?

දෙවිට සේවය කිරීම සඳහා පෙලඹීමක් ඇති කරගන්න

පළමුවෙන්ම ඔබ තුළ පෙලඹීමක් තිබිය යුතුයි. යූදාහි සිටි තරුණ යොෂියා රජුගේ අද්දැකීම සලකා බලන්න. යෙහෝවාගේ ව්‍යවස්ථා පොත දේවමාළිගාවෙන් සොයාගත් විට යොෂියා එය ඔහුට ඇසෙන සේ කියවන්න කියා පැවසූ අතර ඔහුගේ සවනට වැකුණ දේ ඔහුගේ හදවතට තදින්ම බලපෑවා. එහි ප්‍රතිඵලය වූයේ මෙයයි. “යොෂියා වනාහි ඊශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහ [කළා].” (2 ලේකම් 34:14-21, 33) දෙවිගේ වචනය කියවීම නිසා පරිශුද්ධ නමස්කාරය ප්‍රවර්ධනය කිරීමෙහිලා වැඩි මෙහෙයක් ඉටු කරන්න යොෂියා තුළ පෙලඹීමක් ඇති වුණා.

ඔබත් දෙවිගේ වචනය නිතරම කියවනවා නම් සහ ඔබ කියවූ දේ මෙනෙහි කරනවා නම් ඔබටත් දෙවිට සේවය කිරීමට ආශාවක් වර්ධනය කරගත හැකියි. හිඩියෝ තුළ පෙලඹීමක් ඇති වෙන්නට හේතු වූයේ එයයි. ඔහු වැඩි වියේ පසු වෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවකයෙකුව ළඟින් ඇසුරු කළා. එම පුරෝගාමි සහෝදරයා ඉතාමත් උද්‍යෝගයෙන් බයිබලය අධ්‍යයනය කළ කෙනෙක් වගේම එහි ඉගැන්වීම් ඔහුගේ ජීවිතයට විගස අදාළ කරගැනීමට උත්සාහ දැරූ කෙනෙක්. පුරෝගාමි සහෝදරයාගේ ආදර්ශයෙන් විශාල දිරිගැන්වීමක් ලැබූ හිඩියෝද බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් අතර දෙවිට සහ අන් මනුෂ්‍යයන්ට සේවය කිරීමට දැඩි ආශාවක් වර්ධනය කරගත්තා. ඔහුගේ ආත්මික දියුණුවේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට අරමුණුසහගත ජීවිතයක් භුක්ති විඳින්න හැකි වුණා.

බයිබලය දිනපතා කියවීමෙන් යෞවන අය තුළ පෙලඹීමක් ඇති විය හැකියි. ටකහිරෝ එය මෙසේ පැහැදිලි කරනවා. “මම ඇඳට ගියායින් පස්සේ මට මතක් වුණොත් මම ඒ දවසට නියමිත බයිබල් කොටස කියෙව්වේ නැහැ කියලා මම ආපහු නැඟිටලා ඒක කියවනවා. ඒ තුළින් මම යෙහෝවාගේ මඟ පෙන්වීම අද්දැක්කා. දිනපතා බයිබලය කියවීම මගේ ආත්මික දියුණුවට හුඟාක් දායක වුණා. යෙහෝවාගේ සේවයේ වැඩියෙන් සහභාගි වෙන්න මම අදිටන් කරගත් නිසා පාසැල් දිවියෙන් සමුගත් පසු ස්ථාවර පුරෝගාමි සේවයට මම ඇතුල් වුණා. මම මේ සේවය කරන්නේ හරි සතුටෙන්.”

බයිබලය කියවනවාට අමතරව දෙවිට ප්‍රශංසා කිරීමට වූ ඔබේ පෙලඹීම ශක්තිමත් කරගැනීමට උපකාරවත් වන වෙනත් දේවල් මොනවාද? ටොමොහිරෝට බයිබල් සත්‍ය ඉගැන්වූයේ ඔහුගේ මවයි. “ඒත් මට යෙහෝවාගේ ප්‍රේමය සහ යේසුස්ගේ ජීවිත පූජාව තදින්ම හිතට කාවැදුණේ මම අවුරුදු දහනවයේදී ජීවිතයට අරමුණක් ඇත (සිංහලෙන් නොමැත) යන මාතෘකාවෙන් යුත් පොත හොඳට අධ්‍යයනය කළාට පසුවයි. දෙවිගේ ප්‍රේමය කෙරෙහි ඇති වුණ එම අගය නිසා යෙහෝවාට වැඩි සේවයක් කිරීමට මම පෙලඹුණා” කියා ඔහු පවසනවා. (2 කොරින්ති 5:14, 15) ටොමොහිරෝ මෙන් තවත් බොහෝ යෞවනයන් උනන්දුමත් ආකාරයකින් පෞද්ගලිකව බයිබලය අධ්‍යයනය කිරීම නිසා ආත්මිකව ප්‍රගතියක් ලබන්න එය ඔවුන්ට අනුබලයක් වී තිබෙනවා.

එවන් පියවරක් ගත් පසුත් යෙහෝවාට සේවය කරන්න හෘදයාංගම ආශාවක් ඔබ තුළ ඇති වන්නේ නැතිනම් කුමක් කළ හැකිද? ඒ සඳහා උපකාරය පැතිය හැකි කෙනෙකු සිටිනවාද? ප්‍රේරිත පාවුල් ඒ පිළිබඳව ලීවේ මෙසේයි. “ඔබ අධිෂ්ඨාන කරගන්නා පිණිසත්, ඔබ ක්‍රියා කරන පිණිසත් ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවිය.” (පිලිප්පි 2:13, NW) ඔබ යෙහෝවාගේ උපකාරය පතා යාච්ඤා කරනවා නම් ඔහු නොමසුරුව තම ශුද්ධාත්මය දෙන අතර එමගින් ඔබට “අධිෂ්ඨාන කරගන්න” පමණක් නොව “ක්‍රියා කරන පිණිසත්” බලය ලැබෙයි. ඉන් අදහස් කරන්නේ යෙහෝවාගේ සේවයෙහි ඔබේ උපරිමය කරන්න ඔබට ඇති ආශාව වැඩි කරගැනීමටත් ආත්මිකව වර්ධනය වීමටත් දෙවිගේ ශුද්ධාත්මය ඔබට උපකාර කරන බවයි. ඒ නිසා යෙහෝවාගේ බලය ගැන විශ්වාස කරන්න! ඔබේ හදවත ශක්තිමත් කරගන්න!

ඔබ විසින්ම ඉලක්ක තබන්න

යෙහෝවාට වැඩි සේවයක් කිරීමට අදිටන් කළ පසු ආත්මිකව ප්‍රගතියක් ලබාගැනීමට ඔබ පෞද්ගලිකවම ඉලක්ක තැබිය යුතුයි. “ඉලක්ක තැබීම මට ලොකු උපකාරයක් වුණා. ඒ නිසා මම ධෛර්යයෙන් ඉදිරියට ගියා මිසක පස්සට ගියේ නැහැ. මගේ ඉලක්කයන් මනසේ තබාගෙන යෙහෝවාගේ උපකාරය ඉල්ලලා මම අවංකව යාච්ඤා කළා. මේ විදියට මට පුළුවන් වුණා බාධාවකින් තොරව ප්‍රගතියක් ලබන්න” කියා ක්‍රිස්තියානි යෞවනියක් වන මානා පැවසුවා.

ඔබේ ඉලක්කයන් සාධාරණ සහ අත් කරගත හැකි ඒවා විය යුතුයි. දවසකට බයිබලයේ පරිච්ඡේදයක් කියවීම සාධාරණ ඉලක්කයක්. ඒ වගේම ඔබට යම් දේවල් පර්යේෂණය කරන්නත් පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන මුරටැඹ ප්‍රකාශන සූචිය (dx) * මෙයට එක් උදාහරණයක්. එහි “යෙහෝවා” යන මාතෘකාව යටතේ “අනුපිළිවෙළින් හඳුන්වා තිබෙන ගුණාංග” යන උපමාතෘකාව යටතේ ගවේෂණය කිරීමෙන් යෙහෝවාගේ ගුණාංග ගැන ඉගෙනගත හැකියි. එලෙස සලකා බැලීමට මාතෘකා 40ක් තිබෙනවා. ඔබ කරන ගවේෂණ මගින් තව තවත් ඔබ යෙහෝවාට ළං වෙන අතර ඔහුහට වැඩි සේවයක් පිරිනැමීමටද පෙලඹෙන බව නිසැකයි. තවත් අත් කරගත හැකි ඉලක්කයන් වන්නේ රැස්වීම් තුළ සබයේ සහභාගිත්වය අපේක්ෂා කරන අවස්ථාවලදී එක් පිළිතුරක් හෝ දීම, හැම රැස්වීමකදීම එක් සාමාජිකයෙක්ව හෝ දැනහඳුනා ගැනීමට පියවර ගැනීමයි. ඒ වගේම යෙහෝවාට යාච්ඤා නොකර සහ ඔහු පිළිබඳව අන් අයට කතා නොකර එක දවසක්වත් ගෙවෙන්න ඉඩ නොදීමයි.

ඔබ තවමත් දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුළත් වී නොමැති නම් එයට ඇතුල් වීමත් හොඳ ඉලක්කයක්. ඔබ දේශනා සේවයේ හවුල් වෙමින් සිටිනවාද? එසේ නොමැති නම් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීම සඳහා පියවර ගත හැකියි. ඊළඟට, යෙහෝවා සමඟ තිබෙන ඔබේ සබඳතාව ගැන ගැඹුරින් සලකා බැලීමටත් ඔහුට ඔබේ ජීවිතය කැප කිරීමටත් ඔබ නිතැතින්ම පෙලඹේවි. පූර්ණ කාලීන සේවයට පා තැබීමෙන් බොහෝ යෞවනයන් ඔවුන්ගේ කැපවීමට එකඟව ජීවත් වීමට වෑයම් කරයි.

ඔබේ ජීවිතයේ ඉලක්කයන් තැබීම හොඳ දෙයක්. නමුත් තරඟකාරී ස්වභාවයක් ඔබ තුළ වර්ධනය වීමට නම් ඉඩ නොදීමට වගබලා ගන්න. ඔබ කරන දෙය අන් අය සමඟ සන්සන්දනය නොකිරීමෙන් ඔබ වැඩි ප්‍රීතියක් අද්දකීවි.—ගලාති 5:25, NW; 6:4.

සමහරවිට ඔබට එතරම් අද්දැකීම් නැති බවක් සහ සාධාරණ ඉලක්ක තැබීම අපහසු බවක් හැඟෙනවා ඇති. එහෙමනම් මේ බයිබල් උපදෙස අනුගමනය කරන්න. ‘නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසන්න.’ (හිතෝපදේශ 22:17) ඔබේ දෙමාපියන්ගෙන් හෝ මේරූ ක්‍රිස්තියානීන්ගෙන් උපදෙස් ලබාගන්න. මෙම කාරණාව සම්බන්ධයෙන් දෙමාපියන් සහ අනිත් අය සාධාරණ මෙන්ම දිරිගන්වනසුලු විය යුතුයි. මන්දයත් අන් අය විසින් තබන ලද ඉලක්ක අත් කරගැනීමට උත්සාහ දැරීම යෞවනයන්ට පීඩනයක් වන්නා සේම ඔවුන්ගේ ප්‍රීතියද සොරාගත හැකි නිසයි. මේ නිසා සමහරවිට ඉලක්ක තැබීමේ අරමුණද ගිලිහී යා හැකියි. එක් තරුණියක් මෙසේ පැවසුවා. “මං වෙනුවෙන් ඉලක්ක තැබුවේ මගේ දෙමාපියන්. මම එක ඉලක්කයක් අත් කරගන්නකොට ඒ අය තව එකක් තියලා. දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වීම, දේශනා සේවයේ හවුල් වීම, බව්තීස්ම වීම සහ පුරෝගාමියෙක් වීම වැනි ඉලක්ක ඒ අය මං වෙනුවෙන් තැබුවා. හැම ඉලක්කයක්ම එකින් එක අත් කරගන්න මම සෑහෙන වෑයමක් දැරුවා. ඒත් මම එක ඉලක්කයක් අත් කරගත්තාම මගේ දෙමාපියන් මට ප්‍රශංසා කරනවා වෙනුවට තව ඉලක්කයක් අත් කරගන්න මට උනන්දු කරනවා. මට ඉලක්ක අත් කරගන්න බල කරනවා වගේ හැඟුණා. අන්තිමේදී මට එපා වුණා.” වැරදුණේ කොතැනද? හැම ඉලක්කයක්ම හොඳයි. ඒත් ඒ හැම එකක්ම ඇය විසින් තැබූ ඉලක්ක නොවෙයි. සාර්ථකත්වයක් ලබන්න නම් ඔබ වෙනුවෙන් ඉලක්ක තැබීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ඔබ තුළ පෙලඹීමක් තිබිය යුතුයි!

යේසුස් ගැන මොහොතකට සිතන්න. ඔහු පොළොවට පැමිණි විට දැන සිටියා ඔහුගේ පියා වන යෙහෝවා ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා. යෙහෝවාගේ කැමැත්ත යේසුස්ට ඉටු කිරීමට තිබූ ඉලක්කයක් පමණක් නොව එය ඉටු කළ යුතු මෙහෙයක් වූවා. යේසුස්ගේ පැවරුම සම්බන්ධයෙන් ඔහුට තිබුණේ කුමනාකාරයේ හැඟීමක්ද? ඔහු කිව්වේ, “මාගේ කෑම නම්, මා එවූ තැනැත්තාගේ කැමැත්ත කර ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය” කියායි. (යොහන් 4:34, NW) යෙහෝවාගේ කැමැත්ත කිරීමෙන් යේසුස් ඉමහත් ප්‍රීතියක් අද්දැක්කා. ඒ විතරක් නොවෙයි, ඔහුගේ පියා බලාපොරොත්තු වූ ආකාරයටම ඔහු ජීවත් වුණා. එය යේසුස්ට කෑම හා සමාන දෙයක් වුණා. ඔහුගෙන් බලාපොරොත්තු වූ දේ ඉටු කිරීමෙන් සතුටකුත් තෘප්තියකුත් ඔහු අද්දැක්කා. (හෙබ්‍රෙව් 10:5-10) ඔබේ දෙමාපියන් ඔබට කිරීමට උනන්දු කරන දේ ඔබ හරි නැඹුරුවාවකින් කරනවා නම් ඔබටත් ප්‍රීතිය අද්දැකිය හැකියි.

යහපත කිරීම අත් නොහරින්න

ඔබේ මනසේ යම් ඉලක්කයක් තිබෙන විට එය අත් කරගන්න වෙහෙස මහන්සි වී වැඩ කරන්න. ගලාති 6:9හි [NW] සඳහන් වන්නේ “යහපත කිරීම අත් නොහරිමු. මන්ද, අපි විඩාවට පත්ව හෙම්බත් නොවෙමු නම් නියමිත කාලයේදී නෙළාගන්නෙමු” කියායි. ඔබේම ශක්තිය හෝ හැකියාව මත රඳා නොසිටින්න. ඔබ බාධාවන් අද්දකීවි. සමහරවිට යම් කාලයකට ඔබ අසාර්ථක වී ඇතැයි යන හැඟීම ඇති විය හැකියි. නමුත් බයිබලයෙහි අපව දිරිගන්වන්නේ “නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත” කියායි. (හිතෝපදේශ 3:6) ඔබ ඔබේ ආත්මික ඉලක්කයන් අත් කරගන්න වෙහෙස මහන්සි වන විට යෙහෝවා ඔබට ඒ සඳහා උපකාර කරයි.

යෙහෝවාට සේවය කිරීමට ආශාවක් වර්ධනය කරගැනීමෙන් සහ ආත්මික ඉලක්ක අත් කරගැනීමට උත්සාහ කිරීමෙන් ‘ඔබේ දියුණු වීම සියල්ලන්ට පෙන්වීමට’ ඔබට හැකි වෙන බව නිසැකයි. (1 තිමෝති 4:15) එවිට, දෙවිට සේවය කිරීම තුළින් අරමුණක් ඇති ජීවිතයක් ගත කිරීමට ඔබට හැකියි.

[පාදසටහන]

^ 12 ඡේ. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන වන යෙසායාගේ අනාවැකියසියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන 1වෙනි සහ 2වෙනි වෙළුම සහ යෙහෝවාට ළං වන්න නමැති පොත් බලන්න.”

[9වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනය කියවීමෙන් සහ කියවූ දේ මෙනෙහි කිරීමෙන් දෙවිට සේවය කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වෙයි

[10වන පිටුවේ පින්තූරය]

යේසුස් සිය පියා බලාපොරොත්තු වූ ආකාරයටම ජීවත් වුණා