Skip to content

පටුනට යන්න

“සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම” පෙන්වන්න

“සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම” පෙන්වන්න

“සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම” පෙන්වන්න

“සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම පෙන්වමින් . . . සාධාරණ වන්නත් නොකඩවා මතක් කරන්න.”—තීතස් 3:1, 2, NW.

1. මෘදුකම පෙන්වීම සෑමවිටම පහසු දෙයක් නොවන්නේ ඇයි?

“මා ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නාක් මෙන් ඔබ මාව අනුකරණය කරන්න” යනුවෙන් ප්‍රේරිත පාවුල් ලීවා. (1 කොරින්ති 11:1, NW) අද දින දෙවිගේ සියලුම සේවකයන් මෙම අවවාදයට අවනත වන්නට දැඩි උත්සාහයක් දරනවා. ඇත්තෙන්ම කියනවා නම්, එය එතරම්ම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මන්දයත් අප අපගේ මුල් දෙමාපියන්ගෙන් ක්‍රිස්තුස්ගේ ආදර්ශයට අනුකූල නැති ආත්මාර්ථකාමී ආශාවන් සහ චිත්ත ස්වභාවයන් උරුම කරගෙන සිටින නිසයි. (රෝම 3:23; 7:21-25) කෙසේවෙතත්, මෘදුකම පෙන්වීම ගත් කල, අප සියලුදෙනාම ප්‍රයත්නයක් දැරුවහොත් අපට ඒ සම්බන්ධයෙන් සාර්ථක විය හැකියි. නමුත් අපේම ආත්ම ශක්තිය හෝ අධිෂ්ඨානය මතම රඳා සිටීම ප්‍රමාණවත් නැහැ. තවදුරටත් අවශ්‍ය වන්නේ කුමක්ද?

2. අපට “සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම” පෙන්විය හැක්කේ කොහොමද?

2 දිව්‍ය මෘදුකම ශුද්ධාත්මයේ පලවලට අයත් ගුණාංගයක්. අප දෙවිගේ ක්‍රියාකාරී බලයේ මඟ පෙන්වීමට කීකරු වෙනවා නම්, එහි පල වඩ වඩාත් අප තුළින් දිස් වෙනවා. එවිට පමණයි අන් සෑම කෙනෙකුටම “සියලු ආකාර මෘදුකම” පෙන්වීමට අපට හැකි වෙන්නේ. (තීතස් 3:2, NW) දැන් අපි යේසුස්ගේ ආදර්ශය අනුකරණය කළ හැකි ආකාරය හා අපව ඇසුරු කරන අයට අප තුළින් ‘ප්‍රබෝධය ලැබීමට’ සලස්වන්නේ කෙසේද යන්න ගැන සෝදිසි කර බලමු.—මතෙව් 11:29, NW; ගලාති 5:22, 23.

පවුල තුළ

3. ලෝකයේ ආත්මය පිළිබිඹු වන්නේ පවුල්වල දක්නට ඇති කිනම් තත්වය මගින්ද?

3 මෘදුකම අනිවාර්යයෙන්ම අවශ්‍ය වූ එක් පැත්තක් තමයි, පවුල තුළම මෘදුකම පෙන්වීම. වාහන අනතුරු සහ මැලේරියා රෝගය යන සාධක දෙකම ගත් කල, ඒ දෙකෙන්ම ඇති වන සෞඛ්‍ය තර්ජනයට වඩා ස්ත්‍රීන්ගේ සෞඛ්‍යයට පවුල් තුළ සිදු වන සැහැසියාව මගින් මහත් අවදානමක් එල්ල වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තිබෙනවා. නිදසුනක් හැටියට, එංගලන්තයේ ලන්ඩන් නුවරින් වාර්තා වූ ප්‍රචණ්ඩකාරී අපරාධවලින් සියයට 25ක්ම ගෘහස්ත සැහැසියාව හා බැඳි අපරාධයි. තම හැඟීම් ‘කෑගැසීමකින් හා නිග්‍රහ කිරීමකින්’ පිට කරන මිනිසුන්ව පොලිසියට නිතරම පාහේ මුණගැහෙනවා. ඊටත් වඩා දරුණු දෙයක් තමයි, ඇතැම් යුවළවල් ‘සියලු ආකාර වෛරසහගත හැඟීම්වලට’ තමන්ගේ සම්බන්ධතාවන්ට බලපෑම් කරන්නට ඉඩහැර තිබීම. මේ සියල්ලම ‘ලෝකයේ ආත්මයේ’ ඉතා දුක්ඛිත පිළිබිඹුවක් වන අතර, එවැනි දේට ක්‍රිස්තියානි පවුල් තුළ කිසිදු තැනක් නැහැ.—එපීස 4:31, NW; 1 කොරින්ති 2:12.

4. පවුල් මත කිනම් බලපෑමක් ඇති කිරීමට මෘදුකමට හැකිද?

4 මෙවන් ලෞකික ප්‍රවණතාවන්ට එරෙහිව නැඟී සිටින්නට නම් අපට අවශ්‍යයි දෙවිගේ ආත්මය. “යෙහෝවාගේ ආත්මය ඇති තැන නිදහස ඇත.” (2 කොරින්ති 3:17, NW) ප්‍රේමය, කරුණාවන්තකම, ආත්ම දමනය සහ බොහෝ ඉවසිලිවන්තකම යන ගුණාංගවලින් අසම්පූර්ණ ස්වාමිපුරුෂයන්ගේ හා භාර්යාවන්ගේ එක්සත්කම ශක්තිමත් වෙනවා. (එපීස 5:33) මෘදු ගතිය පෙන්වන විට, බොහෝ නිවෙස්වල වාතාවරණය වඩාත් සතුට පිරි තැනක් බවට පත් වන අතර, එය පවුල් විනාශ කර දමන දබරකාරී, කලහකාරී වාතාවරණය මුළුමනින්ම නිවෙස්වලින් පලවා හරිනවා. පුද්ගලයෙක් කියන දේ වැදගත්. නමුත් ඔහු වචන පිට කරන විදිහෙන් ඒ වචන පිටුපස ඇති ඔහුගේ අභ්‍යන්තර හැඟීම් හා ආකල්පය කියාපානවා. ඔහු කරදරයට හෝ කනස්සල්ලට හේතු වී ඇති දෙයක් ගැන මෘදු ලෙස කියන විට, ඔහු තුළ ඇති වී තිබෙන පීඩනය අඩු වී යයි. ප්‍රඥාවන්ත සලමොන් රජ මෙසේ ලීවා. “මෘදු උත්තරයකින් කෝපය පහ වෙයි. එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.”—හිතෝපදේශ 15:1.

5. ආගමික වශයෙන් බෙදුණු පවුල්වලට මෘදුකම කෙසේ උපකාරවත් විය හැකිද?

5 මෘදුකම විශේෂයෙන්ම වැදගත් වන්නේ ආගමික වශයෙන් බෙදී තිබෙන පවුල්වලටයි. මෘදුකම කාරුණික ක්‍රියා සමඟින් බැඳී තිබෙන විට, සත්‍යයට කැමැත්තක් නොදක්වන අයව යෙහෝවා වෙතට ඇදගැනීමට එයට හැකියි. පේතෘස් ක්‍රිස්තියානි භාර්යාවන්ට උපදෙස් දුන්නේ මෙහෙමයි. “ඔබේම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එමගින්, සමහරෙකු වචනයට කීකරු නොවී සිටියත්, ඔබේ හැසිරීම මාර්ගයෙන්, වචනයක් නැතිව ඔවුන් දිනාගත හැකියි. එසේ වන්නේ ඔවුන් ඔබේ නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය ඇසින් දුටු සාක්ෂිකරුවන් වන හෙයින්ය. ඔබේ අලංකාරය කොණ්ඩා ගෙතීමද රන් ආභරණ පැළඳීමද පිට වස්ත්‍ර ඇඳීමද යන බාහිර අලංකාරය නොවේවා. ඒ වෙනුවට එය දෙවිගේ ඇස් ඉදිරියෙහි බොහෝ සේ වටින, තැන්පත් වූ මෘදු වූ ගතිය නමැති නොදිරනසුලු වස්ත්‍රය පැළඳ සිටින සිත නමැති සැඟවුණු පුද්ගලයා වේවා.”—1 පේතෘස් 3:1-4, NW.

6. මෘදුකම විදහා පෑම දෙමාපියන් සහ දරුවන් අතර බන්ධනය ශක්තිමත් කළ හැක්කේ කොහොමද?

6 විශේෂයෙන්ම යෙහෝවා කෙරෙහි ප්‍රේමය ඌනව තිබෙන විට දෙමාපියන් සහ දරුවන් අතර සම්බන්ධය බොහෝදුරට පිරිහී යා හැකියි. එහෙත් සියලුම ක්‍රිස්තියානි පවුල්වල මෘදුකම පෙන්වීමේ අවශ්‍යතාවක් තිබෙනවා. පාවුල් පියවරුන්ට උපදෙස් දුන්නේ මෙසේයි. “ඔබේ දරුවන්ව කෝප නොකර ඔවුන්ව යෙහෝවාගේ හික්මවීමෙන්ද, මනස පුහුණු කිරීමෙන්ද ඇති දැඩි කරන්න.” (එපීස 6:4, NW) යම් පවුලක් තුළ මෘදුකම රජයන විට දෙමාපියන් සහ දරුවන් අතර ඇති කිට්ටු සම්බන්ධය ශක්තිමත් වෙනවා. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක දරුවෙකු වන ඩීන් තම පියා ගැන සිහි කළේ මෙහෙමයි. “තාත්තා මෘදු කෙනෙක්. අඩුම තරමින් මම නහඹරයෙක්ව සිටිද්දීවත් තාත්තා එක්ක වාදයක් ඇති වෙලා නැහැ. ඔහු හුඟාක් මෘදු කෙනෙක්. සිත් තැවුලෙන් ඉන්නකොටත් ඔහු ඒ වගේමයි. සමහර අවස්ථාවලදී ඔහු මාව කාමරයට දාලා වහලා තියෙනවා. එහෙමත් නැත්නම් මගේ වරප්‍රසාදවලින් සමහරක් නොදී ඉන්නවා. නමුත් අපි කවදාවත් වාද කළේ නැහැ. ඔහු අපේ පියා විතරක් නෙවෙයි ඔහු අපේ මිතුරාත් වී සිටි නිසා ඔහුව කනස්සල්ලට පත් කරන්න අපි කැමති වුණේ නැහැ.” දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම සවිමත් කරන්නට මෘදුකම අපට සැබවින්ම උපකාරවත් වෙනවා.

අපගේ දේවසේවය තුළ

7, 8. ක්ෂේත්‍ර සේවයේදී මෘදුකම විදහා පෑම අතිවැදගත් වන්නේ මන්ද?

7 මෘදුකම වැදගත් වන තවත් පැත්තක් නම් ක්ෂේත්‍ර සේවයයි. අප අන්‍යයන් සමඟ ශුභාරංචිය බෙදාගනිත්ම, වෙනස් වෙනස් චිත්ත ස්වභාවයන් ඇති මිනිසුන්ව අපට හමු වෙනවා. සමහරෙක් අප ගෙන යන බලාපොරොත්තුවේ පණිවුඩයට සවන් දෙන්නේ ඉතා ආශාවෙන්. තවත් අය විවිධ හේතුන් නිසා හිතකර නොවන අන්දමකින් ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. පොළොවේ ඈතම කෙළවරෙහි ඇති ස්ථානය දක්වාම සාක්ෂිකරුවන් වීම සඳහා අපට දී ඇති පැවරුම ඉෂ්ට කිරීමේදී මෘදුකම නමැති ගුණාංගය මහත් සේ උපකාරවත් වෙනවා.—ක්‍රියා 1:8, NW; 2 තිමෝති 4:5.

8 ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවා. “ඔබේ සිත් තුළ, ක්‍රිස්තුස්ව ස්වාමීන් කොට විශුද්ධ කරන්න. ඔබ තුළ ඇති බලාපොරොත්තුවට හේතුවක් ඔබෙන් ඉල්ලන සියල්ලන් ඉදිරියේ උත්තර දීමට නිතරම සූදානම්ව සිටින්න. නමුත් මෘදු ගුණැතිව සහ ගැඹුරු ගෞරවයෙන් යුක්තව එසේ කරන්න.” (1 පේතෘස් 3:15, NW) අප අපගේ ආදර්ශකයාණන් වශයෙන් ක්‍රිස්තුස්ව අපගේ හදවත් තුළ තබාගන්නා හෙයින් අපට සැරපරුෂ විදිහට කතා කරන අයට සාක්ෂි දැරීමේදී අප මෘදුකම සහ ගෞරවය විදහා පෑම ගැන සැලකිලිමත් වෙනවා. මේ ආකාරයට හැසිරීමෙන් බොහෝවිට සිදු වන්නේ ඉතා සුවිශේෂී ප්‍රතිඵල බිහිවීමයි.

9, 10. ක්ෂේත්‍ර සේවයේදී මෘදුකම පෙන්වීමේ වටිනාකම පෙන්වන අද්දැකීමක් විස්තර කරන්න.

9 කීත් නමැත්තාගේ නිවසේ දොරට යමෙක් තට්ටු කළ විට දොර විවෘත කළේ ඔහුගේ භාර්යාවයි. කීත් පැමිණ සිටි අමුත්තා සමඟ කතා කරන්න ඉස්සරහට ආවේ නැහැ. මේ අමුත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු කියා දැනගත් විට ඔවුන් දරුවන්ට කුරිරුකම් කරනවා කියා කීත්ගේ බිරිඳ ඉතා කෝපයෙන් සාක්ෂිකරුවන්ට චෝදනා කළා. එම සහෝදරයා මෙහිදී සන්සුන්ව සිටියා. ඉතා මෘදු ලෙස පිළිතුරු දෙමින් ඔහු මෙසේ ප්‍රතිචාරය දැක්වූවා. “මට හරි කනගාටුයි ඔබට එහෙම හැඟෙන එක ගැන. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද කියලා මම ඔබට පෙන්වන්නද?” මෙම සංවාදය අසාගෙන සිටි කීත් දොර අසලට පැමිණියේ මෙම සහෝදරයා සමඟ කරමින් සිටි සංවාදය නවතා දැමීමටයි.

10 පසුව, තමන්ගේ නිවසට පැමිණි අමුත්තාට තමන් කර්කශ ලෙස සැලකූ විදිහ ගැන මේ යුවළට මහත් කනගාටුවක් ඇති වුණා. ඔහු ක්‍රියා කළ මෘදු ආකාරය ඔවුන්ගේ සිත්වලට තදින් කාවැදුණා. මේ සහෝදරයා සතියකට පසුව නැවත පැමිණියේ ඔවුන්ව පුදුමයට පත් කරවමිනුයි. ඔහු විශ්වාස කළ දෙයට ඇති ශුද්ධ ලියවිලිමය පදනම ගැන පැහැදිලි කරන්නට කීත් සහ ඔහුගේ බිරිඳ ඔහුට ඉඩහැරියා. “ඊට පස්සේ අවුරුදු දෙකක් පුරාම, වෙනත් සාක්ෂිකරුවන් කී දේට අප සෑහෙන සවන් දුන්නා” යයි ඔවුන් පසුව කියා සිටියා. බයිබල් පාඩමක් පටන්ගැනීමට එකඟ වූ ඔවුන් දෙදෙනාම අන්තිමේදී තමන්ගේ ජීවිත යෙහෝවාට කැප කිරීමේ සංකේතයක් ලෙස බව්තීස්ම වුණා. කීත් සහ ඔහුගේ බිරිඳ පළමුව බැහැදුටු එම සාක්ෂිකරුවා ලැබූ විපාකය කොතරම් මහත්ද! එම සාක්ෂිකරුවාට මෙම යුවළව වසර කිහිපයකට පසුව හමු වූ විට ඔහු දැනගත්තා මොවුන් දෙදෙනා දැන් තමාගේ ආත්මික සහෝදරයෙක් සහ සහෝදරියක් වී සිටින බව. ඔව්, මෘදුකමට සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා.

11. මෘදුකම යමෙකුට ක්‍රිස්තියානි සත්‍යය පිළිගැනීමට මඟ පෑදිය හැක්කේ කෙසේද?

11 හමුදා භටයෙකු ලෙස තමාගේ ජීවිත අද්දැකීමෙන් ජීවිතය ගැන මහත් සේ කලකිරී සිටි හැරල්ඩ් දෙවි කෙනෙක් ඉන්නවාද යන්න ගැනත් සැක පහළ කළා. ඔහුගේ ගැටලු දෙගුණ තෙගුණ කරමින් බීමත් රියැදුරෙක් කළ අනතුරක් නිසා හැරල්ඩ් නිත්‍ය ආබාධිතයෙක් බවට පත් වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ හැරල්ඩ් තදින් ඔවුන්ට කියා සිටියා මීට පසු ආයෙත් ඔහුගේ නිවසට එන්න එපා කියා. නමුත්, එක දවසක් බිල් නමැති සාක්ෂිකරුවෙක් උනන්දුව දැක්වූ එක්තරා පුද්ගලයෙකුව හමු වෙන්න සැලසුම් කර තිබුණු අතර එම තැනැත්තා පදිංචි වී සිටියේ හැරල්ඩ්ගේ නිවසට ගෙවල් දෙකකට එහායිනුයි. බිල් වැරදීමකින් තට්ටු කළේ හැරල්ඩ්ගේ නිවසේ දොරටයි. හැරල්ඩ් කිහිලි කරු දෙකක ආධාරයෙන් දොර ළඟට ගොස් එය විවෘත කරත්ම බිල් ඔහුගෙන් සමාව අයැද කියා සිටියා තමන් වැරදීමකින් ඔහුගේ දොරට තට්ටු කළ බවත් ඔහුට වුවමනා වුණේ ළඟ නිවසකට යෑමට බවත්. හැරල්ඩ්ගේ ප්‍රතික්‍රියාව වූයේ කුමක්ද? මේ වන විට සාක්ෂිකරුවන් එකට එකතු වී ඉතා කෙටි කලක් තුළ නව රාජ්‍ය ශාලාවක් ගොඩනඟන ආකාරය පිළිබඳ රූපවාහිනි ප්‍රවෘත්තියක් හැරල්ඩ් දැක තිබුණ බවක් බිල් දැන සිටියේ නැහැ. මෙතරම් විශාල පිරිසක් එක්සත්ව වැඩ කරන ආකාරය දැක එය ඔහුගේ සිතට තදින් කාවැදී තිබුණෙන්, සාක්ෂිකරුවන් කෙරෙහි ඔහුගේ ආකල්පය ඒ මගින් වෙනස් වී තිබුණා. බිල් කාරුණිකව සමාව ඉල්ලා සිටීම ගැනත් ඔහුගේ මෘදු විලාසය ගැනත් තදින්ම පැහැදී සිටි හැරල්ඩ් සාක්ෂිකරුවන් තම නිවසට එන විට ඔවුන්ව පිළිගැනීමට තීරණය කළා. ඔහු බයිබලය පාඩම් කොට, ප්‍රගතියක් ලබා, යෙහෝවාට කැප වූ බව්තීස්ම ලත් සේවකයෙකු බවට පත් වුණා.

සභාව තුළ

12. ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් එරෙහිව සිටිය යුත්තේ කිනම් ලෞකික ගතිලක්ෂණවලටද?

12 මෘදුකම අතිශයින්ම වැදගත් වන තවත් පැත්තක් නම් ක්‍රිස්තියානි සභාව තුළයි. අද දින සමාජයේ ගැටුම් ඇතිවීම සාමාන්‍යයෙන් පොදු දෙයක්. දබර, විවාද සහ බහින්බස් වීම් යනු මාංසික ලෙස ජීවිතයේ දේවල් දෙස බලන අය අතර සාමාන්‍යයෙන් පවතින දේවල්. ඉඳහිට එවන් ලෞකික ගතිලක්ෂණ ක්‍රිස්තියානි සභාව තුළට රිංගන්නේ මතභේදයට තුඩු දෙන වාදයන් හා බහින්බස් වීම් ඇති කරවමින්. මෙම තත්වයන් සමඟ කටයුතු කිරීමට සිදු වන විට වගකිව යුතු සහෝදරයන් ඒ ගැන දුක් වෙනවා. කෙසේවෙතත්, යෙහෝවා සහ තම සෙසු සහෝදරයන් සඳහා ඇති ප්‍රේමය නිසා ඔවුන් විගස පියවර ගන්නවා වැරදි කරන අයව නැවතත් හරි මාර්ගයට ගන්නට.—ගලාති 5:25, 26.

13, 14. ‘කැමැත්තක් නොදක්වන අයට මෘදුකමින් යුක්තව ඉගැන්වීමේ’ ප්‍රතිඵල කුමක් විය හැකිද?

13 පළමු සියවසේදී, පාවුල් සහ තිමෝති සභාව තුළම සිටි ඇතමුන්ගෙන් පැමිණි දුෂ්කරතාවලට මුහුණ දුන්නා. පාවුල් තිමෝතිට අනතුරු ඇඟෙව්වා “ගෞරවයක් නොමැති භාවිතයක් සඳහා” තිබෙන භාජනවලට සමාන කළ හැකි සහෝදරයන්ගෙන් පරෙස්සම් වන ලෙස. පාවුල් තර්කානුකූල ලෙස පැහැදිලි කර සිටියේ මෙසේයි. “ස්වාමීන්ගේ දාසයෙකුට දබර කරන්න අවශ්‍ය නැත. ඒ වෙනුවට ඔහු සියල්ලන් කෙරෙහි මෘදු ලෙස කටයුතු කරන්න අවශ්‍යය. එමෙන්ම ඔහු උගන්වන්න සුදුසුකම් ඇතිව සිටින්නත් නපුර ඉවසා දරා සිටින්නත් කැමැත්තක් නොදක්වන අයට මෘදුකමින් යුක්තව උගන්වන්නත් අවශ්‍යය.” අපව කුපිත කරවන අවස්ථාවලදී පවා අප මෘදු ස්වභාවයක් පවත්වාගන්නා විට වෙනස් මත දරන අය බොහෝවිට පෙලඹෙන්නේ තමන් කරන විවේචන ගැන යළිත් සිතා බලන්නටයි. අනෙක් අතට, යෙහෝවා “සත්‍යය ගැන නිවැරදි දැනුමකට මඟ පාදන පසුතැවිල්ල ඔවුන්ට” දිය හැකියයි පාවුල් තවදුරටත් ලීවා. (2 තිමෝති 2:20, 21, 24, 25, NW) පාවුල් මෙහිදී කරුණාවන්තකම සහ තමන්වම දමනය කරගැනීම මෘදුකමට සම්බන්ධ කරන ආකාරය සැලකිල්ලට ගන්න.

14 පාවුල් තමා දේශනා කළ දෙය පිළිපැද්දා. කොරින්ති සභාවේ සිටි “මහ උතුම් ප්‍රේරිතයන්” සමඟ කටයුතු කරද්දී ඔහු සහෝදරයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙයයි. “ඔබ අතරේ සිටියදී පහත් ලෙස පෙනෙන්නාවූද, ඔබෙන් ඈත්ව සිටියදී ඔබ සමඟ නිර්භීත ලෙස කටයුතු කරන්නෙකු ලෙස පෙනෙන්නාවූද පාවුල් වන මම, ක්‍රිස්තුස්ගේ මෘදුකම සහ කරුණාව පදනම් කරගෙන ඔබෙන් බැගෑපත්ව ඉල්ලීමක් කරමි.” (2 කොරින්ති 10:1; 11:5; NW) පාවුල් ඇත්තටම අනුකරණය කළේ ක්‍රිස්තුස්වයි. ඔහු මෙම සහෝදරයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ ‘ක්‍රිස්තුස්ගේ මෘදුකමින්’ බව කල්පනාවට ගන්න. මෙසේ ඔහු ස්වාමියෙකු සේ අණ දෙන ඒකාධිපති ආකල්පයෙන් වැළකී සිටියා. ඔහුගේ මේ අවවාදය සභාවේ ප්‍රතිචාරය දක්වනසුලු හදවත් ඇති අයගේ සිත්වලට කාවැදුණු බවට කිසිම සැකයක් නැහැ. පලුදු වී ගිය සම්බන්ධතා යලි ගොඩනැංවූ ඔහු, සභාව තුළ සාමය සහ එක්සත්කමට පදනම දැමුවා. මෙය අප සියලුදෙනාම අනුකරණය කිරීමට වෑයම් කළ යුතු ක්‍රියා පිළිවෙතක් නොවේද? විශේෂයෙන්ම වැඩිමහල්ලන් තමන්ගේ ක්‍රියා ක්‍රිස්තුස්ගේ සහ පාවුල්ගේ ක්‍රියා පිළිවෙතටම අනුව සකස් කරගත යුතුය.

15. උපදෙස් දීමේදී මෘදුකම වැදගත් වෙන්නේ මන්ද?

15 අන්‍යයන්ට උපකාර කිරීමට තිබෙන වගකීම, සභාවේ සාමය සහ එක්සත්කම තර්ජනයට ලක් වී තිබෙන කාලවලට පමණක් සීමා වෙන්නේ නැති බව ස්ථිරයි. යම් සබඳතා පලුදු වන්නට බොහෝ කලකට පෙර සිටම සහෝදරයන්ට ප්‍රේමණීය මඟ පෙන්වීම අවශ්‍යයි. පාවුල් උදක්ම ඉල්ලා සිටියේ මෙයයි. “සහෝදරයෙනි, යමෙක් නොදැනුවත්ම හෝ යම් වැරදි පියවරක් ගත්තොත්, ආත්මික සුදුසුකම් ඇති ඔබ . . . එවැනි කෙනෙකුව යළි සකස් කිරීමට උත්සාහ කරන්න.” නමුත් කොහොමද? ‘මෘදුකමේ ආත්මයකින් යුක්තවයි.’ “එසේ කරද්දී, ඔබද පරීක්ෂාවට හසු විය හැකි නිසා ඔබ ගැනත් ඔබ සෝදිසියෙන් සිටින්න.” (ගලාති 6:1, NW) ‘මෘදුකමේ ආත්මයක්’ පවත්වාගැනීම සෑමවිටම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඊට හේතුව පත් කරන ලද පුරුෂයන් ඇතුළු සියලු ක්‍රිස්තියානීන් පව්කාර නැඹුරුවාවන්වල බලපෑමට හසු වන නිසයි. කෙසේවෙතත්, වැරදි කරන තැනැත්තාව යළිත් සකස් කරවීමට උපකාරවත් වෙන්නේ ඔහු කෙරෙහි මෘදුකමින් කටයුතු කිරීමයි.

16, 17. උපදෙස් අදාළ කරගන්නට කෙනෙකුට තිබිය හැකි අකමැත්ත නම් වූ බාධකය ජයගන්නට කුමක් උපකාරවත් විය හැකිද?

16 මුල් ග්‍රීක් භාෂාවේ ‘යළි සකස් කරන්න’ යනුවෙන් පරිවර්තනය කර ඇති වචනය, කැඩුණු අස්ථියක් නියමිත තැනට යළිත් තැබීමට යොමු දැක්විය හැකි අතර, එවන් යමක් කිරීම ඉතා වේදනාකාරී කටයුත්තක් වෙනවා. කැඩුණු අස්ථියක් යළි නියමිත තැනට තබන වෛද්‍යවරයා එම ප්‍රතිකර්මයේ ප්‍රයෝජන ගැන ශුභවාදීව කතා කරමින් රෝගියාගේ බිය සැක දුරු කරයි. ඔහුගේ සන්සුන් ලීලාව සැනසිලිදායකය. ප්‍රතිකර්මය කිරීමට පෙරාතුව කියන සෞම්‍ය වදන් නිසා වේදනාව බොහෝදුරට සමනය වෙයි. ඒ හා සමානව, යමෙකුව ආත්මික ලෙස යළි සකස් කිරීම වේදනාකාරී විය හැකියි. නමුත් මෘදුකම දක්වන විට එය වඩාත් පිළිගත හැකි තත්වයක තිබෙනු ඇති. මෙසේ ප්‍රසන්න සබඳතා යළි පිහිටුවනු ලැබ, වැරදි කරන තැනැත්තාගේ ගමන් මඟ වෙනස් කිරීමට මං විවෘත වෙයි. මුලදී උපදෙස් දෙන විට ඊට යම් විරෝධයක් දැක්වුවත් උපකාරය පිරිනමන තැනැත්තාගේ පැත්තෙන් දැක්වෙන මෘදුකම නිවැරදි ශුද්ධ ලියවිලිමය අවවාදයක් අනුගමනය කරන්නට පුද්ගලයා තුළ ඇති අකමැත්ත නම් වූ බාධකය කඩා දැමීමට ඉවහල් විය හැකියි.—හිතෝපදේශ 25:15.

17 අන්‍යයන්ව යළි සකස් කරන විට දෙනු ලබන උපදෙස විවේචනයක්යයි වරදවා තේරුම්ගැනීමට බොහෝදුරට ඉඩ කඩ තිබෙනවා. එක් ලේඛකයෙක් කාරණය විස්තර කළේ මෙලෙසයි. “වෙන කවරදාකටත් වඩා තමාව මුදුන්පත් කරගැනීමේ අවදානමට අප වැටෙන්නට පුළුවනි. එමනිසා වෙනත් අයට අවවාද කරන විටදී අවවාදයට වඩා මෘදුකම පෙන්වීමේ මහත් අවශ්‍යතාවක් තිබේ.” යටහත් පහත්කමින් නික්මෙන මෘදුකම වගා කිරීමෙන් මෙම අන්තරායෙන් මිදෙන්නට ක්‍රිස්තියානි උපදෙස් දෙන්නෙකුට හැකි වෙනවා.

“සියල්ලන් කෙරෙහි”

18, 19. (අ) ලෞකික බලධාරීන් සමඟ කටයුතු කිරීමේදී මෘදුකම විදහා පෑමට ක්‍රිස්තියානියෙකුට අපහසු වීමට ඉඩ කඩ තිබෙන්නේ ඇයි? (ආ) බලතල දරන අය කෙරෙහි මෘදුකම පෙන්වීමට ක්‍රිස්තියානියෙකුට කුමක් උපකාරවත් වේවිද? ඇතැම්විට කවර ප්‍රතිඵල සමඟින්ද?

18 බොහෝදෙනෙකුට මෘදුකම පෙන්වීමට දුෂ්කර විය හැකියයි පෙනෙන එක් පැත්තක් නම්, ලෞකික අධිකාරීන් සමඟ කටයුතු කරන විටයි. බලතල දරන සමහරක් අය සැරපරුෂ අන්දමින් කටයුතු කරන බවත්, අනුන්ගේ හැඟීම් ගැන කිසිදු තැකීමක් නොකරන බවත් නොරහසක්. (දේශනාකාරයා 4:1; 8:9) කෙසේවෙතත්, යෙහෝවා කෙරෙහි ඇති අපේ ප්‍රේමය නිසා අප ඔහුගේ පරමාධිපති බලතලය පිළිගන්නා අතර, රජයේ බලධාරීන්ට දැක්විය යුතු සාපේක්ෂී යටත්කමද දක්වන්නෙමු. (රෝම 13:1, 4; 1 තිමෝති 2:1, 2) ඉහළ තනතුරු දරන අය යෙහෝවාට අප කරන නමස්කාරයේ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම් සීමා කරන්නට උත්සාහ කළද, අපගේ ප්‍රශංසාව නමැති පූජාව ඔප්පු කරන්නට හැකි මාර්ග ගැන අප තවදුරටත් සොයා බලන්නේ සතුටින්.—හෙබ්‍රෙව් 13:15.

19 කිසිම තත්වයක් යටතේ අප කලහකාරී වී සණ්ඩු සරුවල් ඇති කරගන්නේ නැහැ. කිසිවිටකත් ධර්මිෂ්ඨ ප්‍රමිති පාවා නොදෙන අතර අප උත්සාහ කරන්නේ සාධාරණ වීමටයි. මේ අයුරින්, අපගේ සහෝදරයන් ලොව වටා රටවල් 234ක ඔවුන්ගේ දේවසේවය ලුහුබැඳීමෙහිලා සාර්ථක වී තිබෙනවා. අපි පාවුල්ගේ මෙම උපදෙසට අවනත වන්නෙමු. ‘පාලකයන් හැටියට ආණ්ඩුවලට සහ බලධාරීන්ට යටත්ව සිටින්න. කීකරුව සිටින්න. . . . එමෙන්ම සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව සිටින්න. සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම පෙන්වමින් කිසිවෙකු ගැන අගුණ නොකියන්න. රණ්ඩුවට බර නොවෙන්න. සාධාරණ වෙන්න.’—තීතස් 3:1, 2, NW.

20. මෘදුකම විදහා පෙන්වන අයට තිබෙන විපාක මොනවාද?

20 මෘදුකම පෙන්වන අයට ආශීර්වාද රැසක් ගබඩා කර තිබෙනවා. යේසුස් ප්‍රකාශ කළේ මෙසේයි. “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙව් 5:5, NW) ආත්මයෙන් ආලේප ලත් ක්‍රිස්තුස්ගේ සහෝදරයන් සම්බන්ධයෙන් ගත් කල, මෘදුකම පෙන්වීම ඔවුන්ගේ සන්තෝෂයද රාජ්‍යයේ භූමික ප්‍රදේශය පුරා පාලනය කිරීමේ වරප්‍රසාදයද තහවුරු කරනවා. ‘වෙනත් බැටළුවන්ට’ අයත් ‘මහත් සමූහයද’ නොකඩවාම මෘදුකම විදහා පාමින් පොළොව මත පාරාදීසයේ ජීවිතය දෙස බලා සිටිනවා. (යොහන් 10:16; එළිදරව් 7:9; ගීතාවලිය 37:11) අප ඉදිරිපිට තිබෙන්නේ මොන තරම් පුදුමාකාර අපේක්ෂාවන්ද! එසේනම්, පාවුල් එපීසයේ ක්‍රිස්තියානීන්ට දුන් සිහිගැන්වීම කිසිවිටකත් අපි අමතක නොකරමු. “එබැවින්, ඔබ ලැබූ කැඳවීමට ඔබින ලෙස ගමන් කරන මෙන් ස්වාමීන් තුළ සිරකරුවාව සිටින මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. සැම ආකාරයෙන්ම යටහත් පහත් වූ මනසකින්ද, මෘදුකමින්ද . . . ගමන් කරන ලෙස ඉල්ලමි.”—එපීස 4:1, 2, NW.

පුනරීක්ෂණයක්

• පහත සඳහන් පැතිවලදී මෘදුකම විදහා පෑමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?

• පවුල තුළ?

• ක්ෂේත්‍ර සේවයේදී?

• සභාවේදී?

• මෘදු ගතියක් පෙන්වන අයට පොරොන්දු වී ඇති විපාක මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[21වන පිටුවේ පින්තූරය]

ආගමික වශයෙන් බෙදුණු පවුලක මෘදුකම තිබීම අතිවැදගත්

[21වන පිටුවේ පින්තූරය]

මෘදුකම පවුල් සබඳතා ශක්තිමත් කරයි

[23වන පිටුවේ පින්තූරය]

මෘදුකමින් සහ ගැඹුරු ගෞරවයකින් යුතුව උත්තර දෙන්න

[24වන පිටුවේ පින්තූරය]

උපදෙස් දෙන්නා තුළ තිබෙන මෘදුකම වැරදි කළ තැනැත්තාට උපකාරවත් විය හැකියි