Skip to content

පටුනට යන්න

දේශනා සේවයෙන් ලද සුවිශේෂි මතක සටහන්

දේශනා සේවයෙන් ලද සුවිශේෂි මතක සටහන්

දේශනා සේවයෙන් ලද සුවිශේෂි මතක සටහන්

“හිරු ගිනියම් වෙලා. බැලූ බැල්මට කඳු පල්ලම්වල කෙළවරක් නැහැ වගෙයි. බොහෝ බාධක ජයගනිමින් අපි අපේ ඉලක්කය වූ ඈත ගම්මානයට ළඟා වුණා. පළවෙනි නිවසේ දොරට තට්ටු කරද්දී ඉන් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුණාම අපේ මහන්සිය කොහේ ගියාද දන්නේ නැහැ. අපිට පුදුම සතුටක් දැනුණා. දවස අවසාන වෙනකොට අපි ගෙනා සියලුම පොත් පත් බෙදාහැර තිබුණා. ඒ වගේම බයිබල් පාඩම් කිහිපයක්ද පටන්ගෙන තිබුණා. ඉගෙනගැනීමට මිනිසුන්ට තියෙන්නේ පුදුම ආශාවක්. ඒත් අපි පිටව යා යුතු නිසා නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ඔවුන්ගෙන් සමුගත්තා.”

මෙක්සිකෝවේ එක්තරා පුරෝගාමි කණ්ඩායමක සිටින අයට නම් එම අද්දැකීම සාමාන්‍ය දෙයක්. “ඔබ පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථාන දක්වාද මා ගැන සාක්ෂිකරුවෝ වන්නහුය” යයි පවසමින් යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට දුන් පැවරුම ඉටු කිරීමේදී එයට ජ්වලිතව දායක වීමට මේ අය අදිටන් කරගෙන ඇත. (ක්‍රියා 1:8, NW) දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය නොකඩවා අසන්න නොලැබෙන මෙන්ම යම් සභාවකට පවරා නැති ක්ෂේත්‍රවල දේශනා කිරීම සඳහා මෙක්සිකෝවේ විශේෂ සැලසුම් යොදා තිබේ. මේවා හඳුන්වන්නේ පුරෝගාමි මාර්ග ලෙසයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශ පිහිටා තිබෙන්නේ නගරයෙන් දුරස්තවයි. එම ප්‍රදේශවලට පහසුවෙන් යා නොහැකියි. එමෙන්ම ළඟපාත සභාවන් නොමැති හා විශාල ක්ෂේත්‍රයක් පියවීමට තිබෙන සභාවන්ටද මෙමගින් උපකාර පිරිනැමෙයි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය විසින් ක්ෂේත්‍රයේ අවශ්‍යතා සොයා බලා මෙම පුරෝගාමි මාර්ග මගින් පියවිය යුත්තේ රටේ කිනම් ප්‍රදේශද කියා තීරණය කරයි. * ඉන්පසු, විශේෂ පුරෝගාමීන් කණ්ඩායමක් ඒ ප්‍රදේශ පියවීම සඳහා පත් කරනු ලබයි. ඔවුන්ට රළු බොරළු මාර්ගවලට ඔරොත්තු දෙන වාහනද සපයනු ලැබේ. එම වාහන පොත් පත් රැගෙන යෑමට මෙන්ම අවශ්‍ය විටක නිදාගැනීම සඳහාත් යොදාගැනේ.

ඉක්මන් ප්‍රතිචාරය

වර්ෂ 1996 ඔක්තෝබර් මස සිට විශේෂ පුරෝගාමීන්ට අමතරව ශුභාරංචිය දේශනා කරන අනෙක් අයටත් මෙම වැඩෙහි හවුල් වීම සඳහා ආරාධනා කර තිබේ. එම විශේෂ සැලසුමේ විවිධ අදියරයන්වලදී රාජ්‍ය ප්‍රචාරකයෝ මෙන්ම ස්ථාවර පුරෝගාමීහුද අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීමෙහි හවුල් වූහ. පුරෝගාමි මාර්ගයට ඇතුළත් ක්ෂේත්‍රයේ තිබෙන සභාවන්වල සේවය කිරීම සඳහා සමහර අයට පැවරුම් ලබා දෙන්නේ බලප්‍රදේශයේ සේවා ක්‍රියාකාරකම් බලා කියා ගැනීමට හා උනන්දුව දක්වන්නන්ට උපකාර කිරීමටයි. බොහෝ තරුණ ප්‍රචාරකයන් සහ පුරෝගාමීන් මෙම ආරාධනාවන් පිළිගෙන තිබෙන අතර ඔවුන් දිරිගන්වනසුලු අද්දැකීම්ද ලබා තිබේ.

අබිමේල්ගේ උදාහරණය සලකා බලන්න. ජංගම දුරකථන සමාගමක හොඳ වැටුපක් සහිත රැකියාවක් තිබූ ඔහු මෙම ඈත පළාත්වල දේශනා කිරීමේ කාර්යයට අත හිත දීමට තීරණය කළේය. ඔහු රැකියාවෙන් සමුගන්න බව සේවායෝජකයෝ දැනගත් විට ඔහුට උසස් වීමක් හා වැඩි වැටුපක් දීමට කැමැත්ත පළ කළහ. එය අනගි අවස්ථාවක් බවත් එය අත්හැරීම මෝඩකමක් බවත් ඔහුගේ වැඩපොළේ සේවකයෝ ඔහුට කියා සිටියහ. ඒ කෙසේවෙතත් අබිමේල් අදිටන් කරගෙන සිටියේ මෙම විශේෂ දේශනා සේවයට මාස තුනකට අත හිත දීමටයි. මෙම සේවයේ හවුල් වීමෙන් ප්‍රීතියක් ලැබූ අබිමේල් රාජ්‍ය ප්‍රචාරකයන්ගේ විශාල අවශ්‍යතාවක් තිබෙන හුදෙකලා සභාවක දිගටම සේවය කිරීමට තීරණය කළේය. ඔහුට දැන් සාමාන්‍ය තත්වයක රැකියාවක් තිබෙන අතර ජීවිතය සරල ආකාරයකින් ගත කිරීමටත් ඔහු ඉගෙනගෙන තිබේ.

කුලීසාට තම පැවරුමට යෑම සඳහා පැය 22ක් බසයෙන් ගමන් කිරීමට සිදු විය. ගමන අවසානයේදී එදිනට තිබූ අවසාන බසය ඇයට මඟහැරුණි. කම්කරුවන්ව ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් එහි තිබුණු අතර ඇය ධෛර්යය උපදවාගෙන ගොස් ඇයටත් ඔවුන් සමඟ ගමන්ගත හැකිදැයි ඔවුන්ගෙන් ඇසුවාය. මන්ද දෙනෝ දහක් පිරිමින් මැද එහි සිටි එකම ස්ත්‍රිය ඇය වූ නිසා ඇයට බියක් දැනීම සාධාරණයි. ඇය එතැන සිටි තරුණයෙකුට දේශනා කරන විටයි දැනගත්තේ ඔහුත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බව! “ඒ විතරක් නෙමෙයි ට්‍රක් රථයේ රියදුරා තමයි මට පැවරුම ලැබුණ සභාවේ වැඩිමහල්ලෙක් ලෙස සේවය කරමින් සිටියේ!” කියා කුලීසා පැවසුවාය.

මහලු අයත් සහභාගි වී

මෙම කාර්යය තරුණ අය සඳහා වෙන්වූවක් නොවෙයි. මහලු වියේ පසු වූ ඇඩෙලාගේ ආශාව වී තිබුණේ දේශනා සේවයේ වැඩි කාලයක් යෙදීමටයි. මෙම විශේෂ දේශනා සේවයේ සහභාගි වීමට ඇයට ආරාධනා කරනු ලැබූ විට ඇගේ ආශාව ඉටු කරගැනීමට ඇයට හැකියාව ලැබුණි. “මම මගේ මේ පැවරුමෙන් ලොකු ප්‍රීතියක් ලැබුවා. දිගටම මට මේ සේවය කරන්න ඉඩ දෙන්න කියලා මම සභාවේ වැඩිමහල්ලන්ගෙන් ඉල්ලා සිටියා. මට හුඟාක්ම සතුටු වයසට ගියත් යෙහෝවාට තවමත් මගෙන් ප්‍රයෝජනයක් තියෙන නිසයි.” ඒ ඇය කියූ දෙයයි.

මේ හා සමානව හැට වියැති මාර්තාත් යෙහෝවාට දැක්වූ කෘතඥතාව හා ඇගේ සෙසු සාමාජිකයන්ට තිබූ ප්‍රේමය නිසා මෙම සැලසුමට හවුල් වීමට තීරණය කළාය. යෑමට තිබූ දුරත් ක්ෂේත්‍රයේ තිබුණ දුෂ්කරතාත් නිසා ක්ෂේත්‍රයේ සිටි සෑම කෙනෙකු වෙතම ළඟාවීමට ඇගේ කණ්ඩායමට නොහැකි වන බව අවබෝධ කරගත් ඇය පුරෝගාමීන්ගේ පාවිච්චිය සඳහා කාර් එකක් මිල දී ගත්තාය. මෙම සහෝදරිය කාර් එකක් මිල දී ගත් නිසා වැඩි ක්ෂේත්‍රයක් පියවීමට හැකි වූ අතර වැඩි පිරිසකට බයිබල් සත්‍ය දේශනා කිරීමටත් හැකියාව ලැබුණි.

හද උණුසුම් කරවන ප්‍රතිචාරයක්

මෙම විශේෂ දේශනා සේවයේ සහභාගිවන්නන්ගේ ඉලක්කය වන්නේ ‘ගෝලයන් සෑදීමයි.’ ඒ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිඵල නම් ඉතා විශිෂ්ටයි. බයිබලයෙහි අඩංගු ජීවිත ගලවන සත්‍යය දුර පළාත්වල සිටින මනුෂ්‍යයන්ට අසන්නට ලැබුණි. (මතෙව් 28:19, 20) බොහෝ බයිබල් පාඩම් ආරම්භ කෙරුණි. ඇරඹුණු මෙම පාඩම් පවත්වනු ලබන්නේ ළඟපාත සිටින ප්‍රචාරකයන් හෝ එම ප්‍රදේශයේ නැවතී සිටින පුරෝගාමීන් විසිනි. සමහර ප්‍රදේශවල ප්‍රචාරක කණ්ඩායම් සංවිධානය කර තිබෙන අතර තවත් පැතිවල කුඩා සභාවන් පවා පිහිටුවා තිබේ.

මැග්ඩලිනෝ සහ ඔහුත් සමඟ හවුල් වූ අය ඔවුනට පැවරූ ඈත ප්‍රදේශයට යෑම සඳහා පොදු ප්‍රවාහන සේවය යොදාගත්හ. ගමන යන අතරමඟ රියදුරුතැනට කතා කිරීමට ඔවුහු අවස්ථාව උදා කරගත්හ. “සතියකට කලින් ඔහුගේ නිවසට සාක්ෂිකරුවන් පැමිණ තිබුණා කියලා ඒ මනුස්සයා අපිට කිව්වා. නමුත් ඔහු ඒ වේලාවේ නිවසේ ඉඳලා නැහැ. ඔහු නිවසට පැමිණි පසු පවුලේ උදවිය ඔවුන් ඇසූ දේ ඔහුට කියා තිබෙනවා. අපි ඔහුට කිව්වා අපි මේ විශේෂ දේශනා සේවයට සහය දීම සඳහා ආවේ ඉතා දුර ප්‍රදේශවල ඉඳන් අපේම වියදමින් කියලා. ඔහුට ඇති වුණ පැහැදීම නිසා ඔහුගේ පවුලේ සියලුදෙනා සමඟ එම සතියේම බයිබල් පාඩමක් පටන්ගන්න ඔහු කැමැත්ත පළ කළා. අපේ බස් ගාස්තුව අය නොකිරීමෙන් ඔහුත් මේ සේවයට සහය දුන්නා.”

චියාපාස් කඳුකර වැසියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය ගැනත් මැග්ඩලිනෝට හරි පුදුමයි. “මමයි මගේ භාර්යාවයි ප්‍රේස්බිටේරියන් පල්ලියට ගිය තරුණයින් 26දෙනෙකුට රාජ්‍යය පණිවිඩය කියා දුන්නා. ඒ හැම කෙනෙක්ම හොඳ අවධානයකින් විනාඩි 30ක් විතර අසාගෙන සිටියා. ඒ අය තමුන්ගේ බයිබල් පෙරළා බැලූ අතර යෙහෝවාගේ අරමුණු ගැන ඔවුන්ට හොඳ සාක්ෂියක් දෙන්න අපිට හැකි වුණා. මනුෂ්‍යයන් හුඟදෙනෙකුට ට්සෙල්ටාල් භාෂාවෙන් තමුන්ටම කියා බයිබලයක් තිබෙනවා.” එහි ප්‍රගතිශීලී බයිබල් පාඩම් ගණනාවක් ආරම්භ කෙරුණි.

විරෝධය අඩු වේ

චියාපාස් ප්‍රදේශයේ විසූ සමහර මනුෂ්‍යයන්ගෙන් පැමිණි විරෝධය නිසා එම පළාතට අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් පුරා බයිබල් පණිවිඩය දේශනා කර නොතිබිණ. එම ගමේ දේශනා කිරීමට සමහර සාක්ෂිකරුවෝ භය බව තෙරේසා නමැති පූර්ණ කාලීන සේවිකාව නිරීක්ෂණය කළාය. “ඒත් හරි පුදුමයි. ඒ මිනිස්සු අහන්න සතුටු වුණා. අපේ දේශනා සේවය අවසන් වෙනකොටම මහ වැස්සක් කඩාගෙන වැටුණා. වැස්සට මුවා වෙන්න තැනක් හොයන අවස්ථාවේදී ආගන්තුක සත්කාරයට ලැදි සෙබස්තියන්ගේ නිවසේ දොර අප වෙනුවෙන් විවෘත වුණා. ඇතුළට ගියාට පස්සේ මම ඇහැව්වා ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණාද කියලා. ඔහු නැහැ කියා කියූ විට මම ඔහුට සාක්ෂි දරා සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම * නමැති පොතෙන් බයිබල් පාඩමක් පටන්ගත්තා. අපි පාඩම අවසන් කළ පසු සෙබස්තියන් දෑසේ කඳුළු පුරවාගෙන නැවත පාඩමට එන මෙන් ඉල්ලා සිටියා.”

චියාපාස් නගරයට ගිය තවත් පුරෝගාමි කණ්ඩායමක් වාර්තා කළේ මෙයයි. “යෙහෝවාගේ උපකාරයෙන් අපිට හොඳ ප්‍රතිඵල ලැබුණා. පළමු සතියේ අපි බයිබල් පාඩම් 27ක් ආරම්භ කළා. දෙවන සතියේ අපි ජනයාට ආරාධනා කළා බයිබලය—ඔබේ ජීවිතය කෙරෙහි එහි බලය නමැති වීඩියෝ පටිය නැරඹීමට. හැටදෙනෙක් එයට සහභාගි වුණා. හැමෝම වීඩියෝ පටිය නැරඹීමෙන් සතුටක් ලැබුවා. අන්තිමට අපි හිතුවා කණ්ඩායමක් වශයෙන් බයිබල් පාඩමක් පවත්වන්න. කණ්ඩායම් වශයෙන් පවත්වන බයිබල් පාඩම් දෙකක් එම ගමේ ආරම්භ කිරීමට පුළුවන් වුණ එක ගැන අපිට පුදුමයි.

“අපේ පැවරුම් බලප්‍රදේශවල සේවය අවසාන කළාට පස්සේ උනන්දුව දැක්වූ අයව දිරිමත් කරන්නත් කණ්ඩායම් බයිබල් පාඩම් කෙරීගෙන යන ආකාරය බැලීමටත් අපි නැවත එම ගමට ගියා. අපි ඒ අයට ප්‍රසිද්ධ කථාවකටත් මුරටැඹ පාඩමටත් ආරාධනා කළා. ඒත් රැස්වීමක් පවත්වන්න තරම් ඉඩ කඩක් එහි තිබුණේ නැහැ. තම නිවසේ කණ්ඩායම් බයිබල් පාඩමක් පැවැත්වීමට ඉඩ දුන් පුද්ගලයා මෙහෙම කිව්වා, ‘අපේ නිවසේ පිටුපස පාවිච්චි කරන්න ඔබට පුළුවන්.’”

එම සති අන්තයේ ආගන්තුක පුරෝගාමීහු සහ උනන්දුව දැක්වූ පුද්ගලයෝ කඩිසර ලීලාවෙන් රැස්වීම පැවැත්වීමට එම ගෙයි මිදුලේ පිටුපස කොටස සුද්ද පවිත්‍ර කළහ. එම පළමු රැස්වීමට 103දෙනෙක් සහභාගි විය. දැන් එම ගමෙහි බයිබල් පාඩම් 40ක් පවත්වනු ලැබේ.

“කදිම අද්දැකීමක්”

දේශනා සේවයෙන් ලද කදිම ප්‍රතිඵලවලට අමතරව එයට සහභාගි වූ අයද බොහෝ ප්‍රයෝජන ලබා තිබේ. මෙම සැලසුමෙන් එකකට සහභාගි වූ මරියා නමැති තරුණ පුරෝගාමි සහෝදරිය තම හැඟීම් මෙසේ පළ කරයි. “එය කදිම අද්දැකීමක් කියා කියන්නේ කාරණා දෙකක් උඩයි. දේශනා සේවයෙන් මම ලබන ප්‍රීතිය තවත් වැඩි වුණා. අනෙක් එක තමයි යෙහෝවාට මම තව තවත් ළං වුණා. එක දවසක් අපි කන්දක් නඟිනකොට පුදුම තෙහෙට්ටුවක් දැනුණා. අපි යෙහෝවාගෙන් උපකාරය පැතුවාට පස්සේ යෙසායා 40:29-31 සඳහන් දේ අපි අද්දැක්කා. එහි කියන්නේ ‘යෙහෝවා ගැන බලාසිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය’ කියායි. කොහොම හරි යා යුතු තැනට ගොස් අපව සාදරයෙන් පිළිගත් අය සමඟ අපි බයිබල් පාඩම් පැවැත්තුවා.”

තවත් තරුණ පුරෝගාමී සහෝදරියක් වන 17 හැවිරිදි ක්ලොඩීයා අපට පවසන්නේ මෙවැන්නකි. “මම හුඟාක් ප්‍රයෝජන ලැබුවා. දේශනා සේවයේ දක්ෂ ලෙස කටයුතු කරන්න මම ඉගෙනගත්තා. මෙයින් මම ප්‍රීතියක් අද්දැක්ක අතර ආත්මික ඉලක්ක තැබීමටත් මෙය මඟ පෑදුවා. මම ආත්මිකවත් දියුණු වුණා. ඉස්සර මට හැම දෙයක්ම කරලා දෙන්නේ අම්මා. දැන් මට අද්දැකීම් තියෙන නිසා මම වගකීමකින් මගේ වැඩ කරනවා. ඉස්සර මම කන්නේ තෝරලා බේරලා. හැබැයි දැන් මම වෙනස් තත්වයන්ට අනුව හැඩගැහෙන්න ඉගෙනගෙන තිබෙන නිසා මම දැන් කෑම ගැන කංකෙඳිරි ගාන්නේ නැහැ. ඒ වගේම මෙවැනි සේවයකින් හොඳ මිත්‍රත්වයන් ඇති කරගන්නත් මට හැකි වෙලා තියෙනවා. අපිට තිබෙන හැම දෙයක්ම බෙදාගන්නවා වගේම එකිනෙකාට උදව් උපකාරද කරනවා.”

ප්‍රීතිදායක අස්වැන්නක්

මෙම විශේෂ ප්‍රයත්නයේ ප්‍රතිඵල මොනවාද? වර්ෂ 2002 මුල් භාගය වන විට පුරෝගාමීන් 28,300දෙනෙකු මෙම පුරෝගාමි මාර්ගයට හවුල් වී තිබිණ. පැය මිලියන දෙකකට වැඩිය දේශනා සේවයේ වැය කරමින් ඔවුන් පැවැත්වූ බයිබල් පාඩම් ගණන 1,40,000කට වඩා වැඩිය. මනුෂ්‍යයන්ට බයිබල් සත්‍යය ඉගැන්වීම සඳහා ඔවුන් පොත් 1,21,000ක් පමණ සහ සඟරා 7,30,000ක් පමණ බෙදාහැර තිබිණ. සමහර පුරෝගාමීහු බයිබල් පාඩම් 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පැවැත්වූහ.

මෙම කාරුණික සැලසුමෙන් ප්‍රයෝජන ලැබුවෝ තමන්ට බයිබල් පණිවිඩය ලබා දීමට ගත් විශේෂ වෑයමට ඉතාමත් කෘතඥපූර්වක වන්නෝය. ඔවුන් අගහිඟකම් මැද සිටියත් ප්‍රචාරකයන්ට බල කර සිටියේ ඔවුන් දෙන සම්මාදම් ලබාගන්නා ලෙසයි. අවුරුදු 70ක පමණ දුප්පත් ස්ත්‍රියක් පුරෝගාමීන් ඇයව හමුවීමට යන හැම විටම ඔවුන්ට යමක් දෙයි. ඔවුන් එය ප්‍රතික්ෂේප කළ විට ඇය අඬයි. අගහිඟකම් මැද සිටි පවුලක් පුරෝගාමීන්ට කියා සිටින්නේ කිකිළි බිත්තර දමන්නේ ඔවුන් සඳහාමයි කියාය. එමනිසා බිත්තර රැගෙන යන ලෙස ඔවුහු පෙරැත්ත කරති.

මෙම අවංක මනුෂ්‍යයන් ආත්මික දේ කෙරෙහි අගයක් පෙන්වීමයි මෙහි තිබෙන වැදගත්ම දේ. නිදසුනක් පෙන්වනවා නම්, එක් තරුණ ස්ත්‍රියක් ක්‍රිස්තියානි රැස්වීම් සදහා පැය තුනහාමාරක් ඇවිදගෙන එන අතර එක රැස්වීමක්වත් අතපසු නොකරයි. උනන්දුව දැක්වූ එක් වයසක ස්ත්‍රියක් දණහිස් අමාරුවෙන් පෙළුණද සංචාරක අවේක්ෂකගේ බැහැදැකීම් සමයේදී බයිබල් උපදෙස් ලබාගැනීම සඳහා පැය දෙකක පමණ කාලයක් වැය කොට එහි පැමිණියාය. අකුරු නොදන්න සමහර අයට බයිබල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබාගැනීමට ලියන්න කියවන්න ඉගෙනගැනීමට ඕනෑ වී තිබේ. ඔවුන්ගේ එම වෑයම්වලටද බොහෝ ආශීර්වාද ලැබී ඇත.

ප්‍රේරිත පාවුල් දුටු දර්ශනයක් ගැන ක්‍රියා පොතේ ලූක් මෙසේ විස්තර කරයි. “එක්තරා මැසිඩෝනියානු මිනිසෙක් සිටගෙන ‘මැසිඩෝනියාවට ඇවිත් අපට උපකාර කරන්න’ යයි කියමින් ඔහුගෙන් බැගෑපත්ව අයැද සිටියේය.” පාවුල් එම ආරාධනය පිළිගත්තේ කැමැත්තෙන්මයි. අද දින මෙක්සිකෝවේ ඈත පළාත්වල සිටින බොහෝදෙනෙක් එම ස්ප්‍රීතුව ඇතුව “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” ශුභාරංචිය දේශනා කිරීමට ඉදිරිපත් වී තිබේ.—ක්‍රියා 1:8; 16:9,10; NW.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මෑත වසරකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා මගින් මෙක්සිකෝ බලප්‍රදේශයෙන් සියයට 8කට වඩා වැඩි ප්‍රදේශයක් නොකඩවා පියවනු නොලැබීය. ඉන් අදහස් කරන්නේ නගරයෙන් දුරස්ව පිහිටි ප්‍රදේශවල ජීවත් වන මනුෂ්‍යයන් 82,00,000කට වඩා වැඩි පිරිසකට දේශනා කිරීම සීමා වී තිබෙන බවයි.

^ 17 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

[9වන පිටුවේ පින්තූරය]

බොහෝ මෙක්සිකානු සාක්ෂිකරුවන් විශේෂ දේශනා සැලසුම්වල හවුල් වී තිබේ