Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන යෞවනයෝ

යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන යෞවනයෝ

යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන යෞවනයෝ

මෙම පාඩම් ලිපි විශේෂයෙන්ම සකස් කළේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවන යෞවනියන් සඳහායි. එමනිසා මෙම තොරතුරු හොඳින් අධ්‍යයනය කර, සභාවේ මුරටැඹ පාඩමේදී එය සලකා බලනු ලබන විට උද්‍යෝගයෙන් අදහස් දැක්වීමට යෞවන අයට දිරිගැන්වීමට කැමැත්තෙමු.

“මාගේ පුත්‍රය මට නින්දා කරන්නාට උත්තර දෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න.”—හිතෝපදේශ 27:11.

1, 2. (අ) ලෝකයේ දේවලට සිත ඇදී යන පළියට ක්‍රිස්තියානියෙක් වෙන්න ඔබ සුදුසු නොවෙනවාද යන්න පැහැදිලි කරන්න. (රෝම 7:21) (ආ) ආසාෆ්ගේ ආදර්ශයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? (13වන පිටුවේ කොටුව බලන්න.)

ටිකක් සිතන්න ඔබ ඇඳුම් ගන්න සාප්පු යනවා කියා. ගැළපෙන ඇඳුමක් සොයමින් සිටින අතරේදී, එකපාරටම සිත්ගන්නා ඇඳුමක් ඔබේ නෙත ගැටෙනවා. එහි පාටත්, විලාසිතාවත් ඔබට කදිමට ගැළපෙනවා. මිල ලකුණු කර ඇති ලේබලයෙන් පෙනී යන්නේ ගත්තොත් ගජ ලාභයක් අත් වන බවයි. හැබැයි, ඔබ කෝකටත් එය හොඳින් පරීක්ෂා කර බලනවා. ඔබ දැන් පුදුමයට පත් වෙනවා. බලද්දී, රෙද්දේ කොන්වල නූල් ගැලවිලා. මහලා තිබෙන විදිහත් එතරම් හොඳ නැහැ වගේ. ඇඳුම නම් ලස්සනයි තමයි. නමුත් එහි නිමාව හොඳ තත්වයක නැහැ. ඒ වගේ බාල නිපැයුමක් මිල දී ගැනීමට ඔබ මුදල් වැය කරනවාද?

2 දැන්, ඉහත කී උදාහරණය ක්‍රිස්තියානි යෞවනයෙකු ලෙස ඔබට මුහුණ දීමට සිදු විය හැකි තත්වයක් හා සසඳන්න. බැලූ බැල්මට මේ ලෝකයේ දේවල් හරියට ඒ ඇඳුම වගේ ඉතාම සිත්ගන්නාසුලු වෙන්න පුළුවනි. නිදසුනකට, ඔබේ පාසැලේ මිතුරු මිතුරියන් ගොඩක් විනෝද වෙන්න පුළුවන් සාදවලට යනවා ඇති. මත්ද්‍රව්‍ය, මත්පැන් ගන්නවා ඇති. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විරුද්ධ ලිංගයේ අය එක්ක යාළු වෙනවා ඇති. ඒ විතරක් නෙවේ විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පවත්වනවාත් ඇති. එවැනි ජීවන රටාවකට ඔබේ සිතත් ඉඳ හිට ඇදී යනවාද? ඒ අය භුක්ති විඳිනවා වගේ පේන “නිදහසේ” රස බලන්න ඔබ තුළත් දැඩි ආශාවක් ඇති වෙනවාද? එවැනි ආශාවක් ඇති වූ පළියට ඔබට නපුරු සිතක් ඇතැයි කියාත්, ක්‍රිස්තියානියෙක් වෙන්න ඔබ කොහොමටවත් සුදුසු කෙනෙක් නොවෙයි කියාත් නිගමනය කරන්න හදිසි වෙන්න එපා. බයිබලයත් පිළිගන්නා දෙයක් තමයි ලෝකයට ප්‍රබල ආකර්ෂණය කිරීමේ බලයක් තිබෙන බව. දෙවිව සතුටු කරන්න ඇත්තටම ඕනෑ කෙනෙකුව පවා එහි බලපෑමට හසු වෙන්න පුළුවන්.—2 තිමෝති 4:10.

3. (අ) ලෞකික දේවල් පසුපස යෑම නිෂ්ඵල දෙයක් වන්නේ මන්ද? (ආ) ලෞකික දේවල් පසුපස යෑම නිෂ්ඵල වන ආකාරය එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් විස්තර කළේ කෙසේද?

3 දැන්, මිල දී ගන්න කැමති ඇඳුමක් දෙස බලන විදිහටම ලෝකය දෙසත් හොඳින් බලන්න. ‘පවතින සමාජ ක්‍රමය නමැති ඇඳුම මහලා තිබෙන විදිහ, රෙදිවල තත්වය කොහොමද’ කියා ඔබෙන්ම අසාගන්න. බයිබලයෙහි සඳහන් වන්නේ ‘ලෝකය පහව යන’ බවයි. (1 යොහන් 2:17, NW) එයින් යම් වින්දනයක් ලබාගත හැකි වුවත් වැඩිම වුණොත් එය තාවකාලික වින්දනයක් පමණයි. ඒ විතරක් නොවෙයි, අභක්තික හැසිරීමට සෑහෙන වන්දියක් ගෙවන්නත් සිදු වෙයි. එහි ඇති ගජ ලාභයක් නැහැ. “යෞවන කාලය නාස්ති කළ නිසා වේදනා විඳින්න” සිදු වූ එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් පවසන්නේ මෙලෙසයි. “බැලූ බැල්මට ලෝකයට සිත නිකම්ම වගේ ඇදී යනවා. ඒක හරිම චිත්තාකර්ෂණීයයි වගේයි පේන්නේ. ඒ විතරක්ද නොවෙයි, කිසිම වේදනාවක් පාඩුවක් විඳින්නේ නැතුව ලෝකයේ ක්‍රමයට වින්දනයක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරනවාටත් ලෝකය කැමතියි. හැබැයි ඒ වගේ දෙයක් කොහොමටවත් වෙන්නේ නැහැ. ලෝකය අපෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. අන්තිමේදී අපිව එපා වුණහම, අපිව අහකට දානවා.” * එසේනම්, මේ වගේ බාල හිස් ජීවිතයක් වෙනුවෙන් ඔබේ යෞවන කාලය නාස්ති කරගන්නේ මොකටද?

‘දුෂ්ටයාගෙන්’ ආරක්ෂාව

4, 5. (අ) තම මරණයෙන් ස්වල්ප වෙලාවකට පෙරාතුව යෙහෝවාට කළ යාච්ඤාවකදී යේසුස් කළ ඉල්ලීම කුමක්ද? (ආ) මෙය යෝග්‍ය ඉල්ලීමක් වූයේ මන්ද?

4 පවතින සමාජ ක්‍රමය හොඳ තත්වයේ කිසිම දෙයක් ලබා දෙන්නේ නැති බව තේරුම්ගනිමින්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවන අය මෙම ලෝකය සමඟ මිත්‍රකම් ඇති කරගැනීමෙන් වැළකී සිටීමට උත්සාහ දරනවා. (යාකොබ් 4:4) ඔබත් මෙම විශ්වාසවන්ත යෞවනයන්ගෙන් කෙනෙක්ද? ඔබත් එවන් කෙනෙක් නම්, ඔබව පැසසිය යුතුයි. ඔබ නිතරම ආශ්‍රය කරන අයගෙන් එල්ල වන පීඩනයට එරෙහි වෙමින්, අන් අයට වඩා වෙනස් කෙනෙකු ලෙස සිටීම ලෙහෙසි පහසු දෙයක් නම් නොවෙයි. එනමුත් ඔබට උපකාර කරන්න කෙනෙක් සිටියි.

5 යේසුස් තම මරණයට ස්වල්ප වෙලාවකට පෙරාතුව, “දුෂ්ටයා නිසා” තම ගෝලයන්ව “ආරක්ෂා” කරන්නට කියා යෙහෝවාට යාච්ඤා කළා. (යොහන් 17:15, NW) යේසුස් මෙම ඉල්ලීම කළේ හොඳ හේතු ඇතුවයි. තම අනුගාමිකයන් කුමන වයස් මට්ටම්වල සිටියත්, දෙවිට අඛණ්ඩව සේවය කිරීමේ ගමන් මඟ ඔවුන්ට ලෙහෙසි පහසු එකක් නොවන බව ඔහු දැන සිටියා. ඊට හේතුව? යේසුස් පිළිගත් දෙයක් නම්, බලවත්, අදෘශ්‍යමාන සතුරෙකුට එනම් “දුෂ්ටයා” වන සාතන් නමැති යක්ෂයාට මුහුණ දෙන්න තම ගෝලයන්ට සිදු වන බවයි. මේ නපුරු ආත්ම ජීවියා “ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ කා දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින” බව බයිබලයෙහි පවසා තිබෙනවා.—1 පේතෘස් 5:8, NW.

6. සාතන්ට යෞවන අය කෙරෙහි කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැති බව අප දන්නේ කෙසේද?

6 ඉතිහාසය පුරාම මිනිසුන් පිට අමානුෂික වධ හිංසා ගෙන ඒමෙන් සාතන් ඉමහත් ආස්වාදයක් ලබා තිබෙනවා. උදාහරණයකට යෝබ් සහ ඔහුගේ පවුල පිට ගෙනා තැතිගන්වන විපත් සලකා බලන්න. (යෝබ් 1:13-19; 2:7) සමහරවිට ඔබේ ජීවිත කාලය තුළදී ඔබ අසා ඇති ප්‍රවෘත්තිවල සාතන් තුළ දක්නට ලැබෙන මෙම දරුණු ගතිලක්ෂණ පිළිබිඹු වී ඇති ආකාරය ඔබේ සිහියට නැඟෙනවා ඇති. ඔව්, යක්ෂයා ඔබ මොබ ඇවිදිමින් සිටියි. තවද කවරෙකු හරි කා දමන්න ඔහු දරන උත්සාහයේදී ඔහු යෞවනයන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. නිදසුනකට පො.යු. මුල් සියවසේ ආරම්භයේදී බෙත්ලෙහෙමේ වයස අවුරුදු දෙකක් හෝ ඊට වඩා වැඩි බාල පිරිමි දරුවන් සියලුදෙනාවම ඝාතනය කිරීමට හෙරොද් උපායක් යෙදුවා. (මතෙව් 2:16) කවදා හරි දෙවිගේ පොරොන්දු වූ මෙසියස් බවට පත් වී, සාතන් පිට දෙවිගේ විනිශ්චය ගෙන ඒමට නියමිත දරුවාව විනාශ කර දැමීමට දැරූ මෙම උපාය යෙදීමට පෙනෙන විදිහට හෙරොද්ව පොලඹවා තිබෙන්නේ සාතන්! (උත්පත්ති 3:15) මින් පැහැදිලි වන්නේ සාතන්ට නම් යෞවන අය කෙරෙහි කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැති බවයි. ඔහුට තිබෙන එකම ඉලක්කය වන්නේ හැකි තරම් මිනිසුන් පිරිසක් කා දැමීමයි. අද දින මෙය විශේෂයෙන්ම සත්‍යයක් වෙනවා. මන්ද සාතන්ව පොළොවට හෙළා තිබෙන අතර, “තමාට ඇත්තේ කෙටි කාල පරිච්ඡේදයක් බව දැන, ඔහු මහත් කෝපයෙන්” සිටියි.—එළිදරව් 12:9, 12, NW.

7. (අ) යෙහෝවා සාතන්ට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ කෙලෙසද? (ආ) ඔබේ ජීවිතයේ ප්‍රීතිය ගැන යෙහෝවාට හැඟෙන්නේ කෙසේද?

7 “මහත් කෝපයෙන්” සිටින සාතන්ට වඩා හාත්පසින්ම වෙනස්ව සිටින යෙහෝවාට ඇත්තේ “දයානුකම්පාව” නමැති ගුණාංගයයි. (ලූක් 1:78, NW) ඔහු තමයි ප්‍රේමයේ පරමාදර්ශය. ඇත්තෙන්ම මෙම සුවිශේෂ ගුණාංගය අපගේ මැවුම්කරුගේ පෞද්ගලිකත්වය තුළ කොතරම් විශිෂ්ට ලෙස දක්නට ලැබෙනවාද කියා කිවහොත්, බයිබලයේ පවසන්නේ “දෙවි ප්‍රේමයය” කියායි. (1 යොහන් 4:8) පවතින මෙම සමාජ ක්‍රමයේ දෙවියා හා ඔබට නමස්කාර කිරීමේ වරප්‍රසාදය ලැබී තිබෙන දෙවි අතර ඇත්තේ මොන තරම් වෙනසක්ද! සාතන් බලන්නේ අපව කා දමන්නයි. එනමුත් යෙහෝවා ‘කිසිවෙකු විනාශ වනවාට කැමති නැහැ.’ (2 පේතෘස් 3:9) ඔබේ ජීවිතය ඇතුළුව සෑම මිනිස් ජීවිතයක්ම ඔහු සලකන්නේ අනගි දෙයක් ලෙසයි. යෙහෝවා තම වචනය තුළින් ලෝකයේ කොටසක් නොවන්නට කියා ඔබට අවවාද කරන්නේ ඔබේ ජීවිතයේ ප්‍රීතිය පැහැරගන්න හෝ ඔබේ නිදහස සීමා කරන්න ඔහුට වුවමනා නිසා නොවෙයි. (යොහන් 15:19, NW) ඇත්තෙන්ම ඔහු ඔබ දෙස නෙත් යොමාගෙන සිටින්නේ දුෂ්ටයාගෙන් ඔබව ආරක්ෂා කිරීමටයි. මොහොතකට පවතින, සැණෙකින් ගසාගෙන යන මේ ලෝකයේ වින්දනයට වඩා උතුම් වූ දෙයක් ඔබට ලබා දෙන්නයි ඔබේ ස්වර්ගික පියාණන් ආශා කරන්නේ. ඔහුගේ අභිප්‍රාය වන්නේ ඔබට “සැබෑ ජීවිතය” අත් කර දෙන්නයි. එනම් පාරාදීස පොළොවක සදාකාල ජීවනයයි. (1 තිමෝති 6:17-19, NW) ඔබ සාර්ථක ජීවිතයක් ගත කරනවා දැකීම යෙහෝවාගේ ආශාවයි. තවද එම ඉලක්කය වෙතට යෑම සඳහා ඔහු ඔබට තල්ලුවක් දෙමිනුයි සිටින්නේ. (1 තිමෝති 2:3, 4) එපමණක්ද නොව, යෙහෝවා ඔබට සුවිශේෂ ඇරයුමක්ද ඉදිරිපත් කරයි. කුමක්ද ඒ?

“මාගේ සිත ප්‍රීතිමත් කරන්න”

8, 9. (අ) ඔබට යෙහෝවාට දිය හැක්කේ කවර ආකාරයේ තෑග්ගක්ද? (ආ) යෝබ් සම්බන්ධයෙන් පැහැදිලි වන්නාක් මෙන් සාතන් යෙහෝවාට නින්දා කරන්නේ කෙසේද?

8 ඔබ කෙදිනක හෝ කිට්ටු මිත්‍රයෙකු සඳහා මිල දී ගත් තෑග්ගක් ඔහුට දුන් විට, ඔහුගේ මුහුණ පුදුමයෙන් හා කෘතඥතාවෙන් පිරී යන ආකාරය ඔබ දැක තිබෙනවාද? එම පුද්ගලයාට මොන වගේ තෑග්ගක්ද හොඳ කියලා සෑහෙන කාලයක් තිස්සේ ඔබ කල්පනා කරන්නත් ඇති. දැන් මේ ප්‍රශ්නය සලකා බලන්න. ඔබට ඔබේ මැවුම්කරු වන යෙහෝවා දෙවිට ඉදිරිපත් කළ හැක්කේ කවර ආකාරයේ තෑග්ගක්ද? ඒක විකාර අදහසක් කියා ඔබට එකපාරටම සිතිය හැකියි. දූවිලි වැනි වූ මනුෂ්‍යයන්ගෙන් සර්වබලධාරී තැනැත්තාට ඇති අවශ්‍යතාව කුමක්ද? ඔබ යෙහෝවාට මොනවා හරි දෙන්න තරම් ඔහු ඇත්තටම යම් දෙයකින් හිඟ වී සිටින කෙනෙක්ද? පිළිතුර බයිබලයේ හිතෝපදේශ 27:11හි දී ඇත්තේ මෙලෙසයි. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න.”

9 යෙහෝවාට නින්දා කරන්නේ සාතන් නමැති යක්ෂයා බව බොහෝදුරට ඔබේ බයිබල් අධ්‍යයනයෙන් ඔබ ඉගෙනගෙන ඇති. යක්ෂයා තරයේ කියා සිටින්නේ යම් කෙනෙක් දෙවිට සේවය කරනවා නම්, එසේ කරන්නේ ප්‍රේමය නිසා නොව ආත්මාර්ථකාමී හේතු නිසා බවයි. දුක්ගැහැට විඳින්න ඔවුන්ට ඉඩ දුන්නොත්, ඔවුන් සැබෑ නමස්කාරය ඉක්මනටම අත්හරින බව සාතන් තරයේ කියා සිටිනවා. නිදසුනකට, ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝබ් ගැන සාතන් යෙහෝවාට පැවසූ දේ සලකා බලන්න. “ඔබ ඔහු වට කරත්, ඔහුගේ ගෙදර වට කරත්, ඔහුට ඇති සියල්ල වට කරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාද කළේය. ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනය වී තිබේ. නමුත් ඔබගේ අත දිගු කර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇත.”—යෝබ් 1:10, 11.

10. (අ) සාතන් ප්‍රශ්න කළේ යෝබ්ගේ අඛණ්ඩතාවට වඩා වැඩි යමක් ගැන බව අප දන්නේ කෙසේද? (ආ) පරමාධිපත්‍යය හා සම්බන්ධ ප්‍රශ්නයට ඔබ සම්බන්ධ වන්නේ කෙසේද?

10 බයිබල් වාර්තාවෙන් පැහැදිලි වන පරිද්දෙන්, සාතන් යෝබ්ගේ පක්ෂපාතකම ගැන විතරක් නොව, දෙවිට සේවය කරන අන් සියලුදෙනාගේම පක්ෂපාතකම ගැනත් තම සැකය පළ කළා. එයට ඔබත් ඇතුළත්. ඇත්ත වශයෙන්ම, පොදුවේ මිනිස් වර්ගයා ගැන කතා කරමින් සාතන් යෙහෝවාට පැවසුවේ මෙලෙසයි. “ඇඟ බේරාගෙන, පණ රැකගැනුම පිණිස මිනිහෙකු [එනම්, යෝබ් පමණක් නොව, ඕනෑම කෙනෙකු] නොදෙන දෙයක් ඇද්ද?” (යෝබ් 2:4, නව අනුවාදය) ඉස්මතු කළාවූ මෙම අතිවැදගත් ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා ඔබටත් යම් කාර්යභාරයක් තිබෙන බව ඔබට පෙනෙනවාද? හිතෝපදේශ 27:11හි අඟවන්නාක් මෙන්, යෙහෝවා පවසමින් සිටින්නේ ඔහුට දිය හැකි යමක් ඔබ අත තිබෙන බවයි. එනම්, ඔහුට නින්දා කරන්නා වන සාතන්ට උත්තරයක් දීම සඳහා පදනමක් ඔබට දිය හැකියි. ටිකක් සිතා බලන්න. පැනනැඟී ඇති විශාලම ප්‍රශ්නය නිරාකරණය කිරීමට විශ්වයේ පරමාධිපති ඔබගේ සහය ඉල්ලමින් සිටියි. ඇත්තෙන්ම එය ඔබට ලැබී තිබෙන මොන තරම් ගෞරවාන්විත හා බරපතළ වගකීමක් මෙන්ම වරප්‍රසාදයක්ද! යෙහෝවා ඔබෙන් ඉල්ලන මේ දේ ඔබට ඉටු කළ හැකිද? යෝබ් ඉටු කළා. (යෝබ් 2:9, 10) ඒ විතරක් නෙවෙයි යේසුස්ද, යෞවනයන් බොහෝදෙනෙකු ඇතුළුව ඉතිහාසය පුරාම අසංඛ්‍යාත පිරිසක්ද එසේ කර තිබෙනවා. (පිලිප්පි 2:8; එළිදරව් 6:9) ඔබටත් ඒ හා සමාන දෙයක් කරන්න පුළුවන්. හැබැයි, එක දෙයක් මතක තබාගන්න. මෙම කාරණයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටින්න නම් බැහැ. ඔබ ගන්නා ක්‍රියාමාර්ගයෙන් ඔබ පෙන්වන්නේ සාතන්ගේ නින්දා කිරීම්වලට ඔබ අනුබල දෙනවාද නැතහොත් යෙහෝවාගේ පිළිතුරට ඔබ අනුග්‍රහය දක්වනවාද යන්නයි. ඔබ කැමති වන්නේ කාගේ පැත්තට සහයෝගය දෙන්නද?

යෙහෝවා ඔබ ගැන සලකයි!

11, 12. යෙහෝවාට සේවය කරනවාද නැද්ද යන්න පිළිබඳ ඔබ කරන තේරීම යෙහෝවාට බලපානවාද? පැහැදිලි කරන්න.

11 ඔබ කරන තේරීම ඇත්තටම යෙහෝවාට වැදගත්ද? සාතන්ට හොඳ උත්තරයක් දීම සඳහා සැලකිය යුතු පිරිසක් මේ වන විටත් විශ්වාසවන්තව ඉඳලා නැද්ද? ඔව්, යෙහෝවාට සේවය කරන හැමෝම ඔහුට සේවය කරන්නේ ඔහුට තිබෙන ප්‍රේමය නිසා නොවෙයි කියා සාතන් චෝදනා කළ බව ඇත්තයි. ඇරත් ඒ චෝදනාව දැනටමත් බොරු බවට ඔප්පු වී හමාරයි. කොහොමවුණත්, පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයේදී ඔබ යෙහෝවාගේ පැත්ත ගන්නවාට ඔහු කැමති වන්නේ පුද්ගලයෙකු හැටියට ඔහු ඔබ ගැන සලකන නිසයි. “මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් විනාශ වීම ස්වර්ගයේ සිටින මාගේ පියාණන්ට ප්‍රසන්න දෙයක් නොවේ” කියා යේසුස් පැවසුවා.—මතෙව් 18:14, NW.

12 ඔබ තෝරන ගමන් මාර්ගය ගැන යෙහෝවා සැලකිලිමත් වන බව පැහැදිලියි. වඩා වැදගත් දේ වන්නේ අප කරන තේරීම ඔහුට බලපෑමයි. මනුෂ්‍යයන්ගේ හොඳ හෝ නරක ක්‍රියා යෙහෝවාගේ හැඟීම්වලට ගැඹුරින් බලපාන බව බයිබලයෙහි පැහැදිලිව දක්වා තිබෙනවා. නිදසුනකට, ඊශ්‍රායෙලිතයන් නැවත නැවත කැරලිගැසූ විට, යෙහෝවාට “වේදනාවක්” දැනුණා. (ගීතාවලිය 78:40, 41, NW) නෝවාගේ දවසේ ජලගැල්මට පෙරාතුව, “මනුෂ්‍යයාගේ දුෂ්ටකම” දසත පැතිර තිබුණු කාලයේදී යෙහෝවා “තමන් සිතෙන්ම ශෝක” වුණා. (උත්පත්ති 6:5, 6) මින් අදහස් කරන්නේ කුමක්දැයි සලකා බලන්න. ඔබ වැරදි ක්‍රියාමාර්ගයක් ගතහොත් ඔබේ මැවුම්කරු තුළ වේදනාවක් ඇති විය හැකියි. මින් අදහස් කරන්නේ දෙවි දුර්වල කෙනෙක් බවවත්, හැඟීම්වලට වහල්ව සිටින කෙනෙක් බවවත් නොවෙයි. ඉන් අදහස් කරන්නේ ඔහු ඔබට ප්‍රේම කරන බව සහ ඔබේ යහපත ගැන තකන බවයි. එපමණක්ද නොව, ඔබ හරි දේ කරන විට යෙහෝවාගේ සිත ප්‍රීතියෙන් ඉපිල යයි. ඔහු සන්තෝෂ වන්නේ සාතන්ට උත්තර දෙන්න ඔහුට තවත් අවස්ථාවක් ලැබී තිබෙන නිසාම නොව, දැන් ඔබට විපාක දෙන්නෙකු ලෙස ක්‍රියා කරන්නත් ඔහුට හැකි නිසයි. ඇත්තටම ඔහුගේ ආශාව වන්නේ එවන් කෙනෙකු වන්නටයි. (හෙබ්‍රෙව් 11:6) සැබවින්ම යෙහෝවා දෙවි කියන්නේ ඔබට මොන තරම් ප්‍රේම කරන පියෙක්ද!

දැනුත් මහඟු ආශීර්වාද

13. යෙහෝවාට සේවය කිරීමෙන් දැන් පවා ආශීර්වාද ලැබෙන්නේ කෙලෙසද?

13 යෙහෝවාට සේවය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අප ආශීර්වාද භුක්ති විඳින්නේ අනාගතයේදී පමණක් නොවෙයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින යෞවනයන් බොහෝදෙනෙක් ප්‍රීතියක් හා තෘප්තියක් භුක්ති විඳිමින් දැනුත් ආශීර්වාද ලබනවා. ඒ හොඳ හේතු ඇතුවයි. ගීතිකාකරු ලිව්වේ මෙසේයි. “යෙහෝවාගේ පනත් සාධාරණය, සිත ප්‍රීති කරවන්නේය.” (ගීතාවලිය 19:8) වෙන කිසිම මිනිසෙකුට වඩා අපට හොඳ දේ මොකක්ද කියා දන්නේ යෙහෝවායි. අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් යෙහෝවා මෙසේ පැවසුවා. ‘ප්‍රයෝජන ලබාගැනීමට ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු මාර්ගයෙහි ඔබ ගෙන යන්නෙත් ඔබේ දෙවි වූ යෙහෝවා වන මමය. අනේ ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්, ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.’—යෙසායා 48:17, 18.

14. ණය බර නිසා විඳින්නට සිදු වන වේදනාවන් මඟහරවා ගැනීම සඳහා බයිබල් ප්‍රතිපත්ති උපකාරවත් විය හැක්කේ කෙසේද?

14 ඔබ බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූල වීමෙන් නොයෙකුත් දුක් කම්කටොලු මඟහරවාගැනීමට ඔබට හැකි වේවි. නිදසුනකට, මුදලට ප්‍රේමයක් ඇති කරගෙන තිබෙන අය “පිහියකින් සිරුර පුරා ඇනගත්තාක් මෙන් බොහෝ වේදනාවන් තමන්ට පමුණුවාගෙන” තිබෙන බව බයිබලයෙහි පවසා තිබෙනවා. (1 තිමෝති 6:9, 10, NW) මෙම බයිබල් පදයෙහි කටුක යථාර්ථය ඔබේ මිතුරන්ගෙන් කවුරු හරි කෙනෙක් අද්දැක තිබෙනවාද? සමහර තරුණ තරුණියන් ණය බරින් මිරිකී සිටින්නේ, ප්‍රසිද්ධ වෙළඳ නම් සඳහන් අලුත්ම අලුත් ඇඳුම් හා නවීන තාක්ෂණික උපකරණ ලබාගන්නම ඕනෑ කියලා ඔවුන් සිතා ඒවා ලබාගැනීමට වෑයම් කරන නිසයි. ඔබට ඇත්තටම දරන්න බැරි ඉහළ මිලකින් යුත් භාණ්ඩ පහසු ගෙවීමේ ක්‍රමයට මිල දී ගෙන ඒ සඳහා දිගු කාලයක් තිස්සේ පොලි ගෙවන්න සිදුවීම ඇත්තටම වහල් මෙහෙවර කිරීම වගේ අමිහිරි අද්දැකීමක්!—හිතෝපදේශ 22:7.

15. ලිංගික දුරාචාරයේ යෙදීම නිසා ඇති වන වේදනාවන් මඟහරවාගැනීමට බයිබල් ප්‍රතිපත්තිවලට හැකි වන්නේ කවර ආකාරවලින්ද?

15 ලිංගික දුරාචාරය නමැති කාරණයද සලකා බලන්න. සෑම අවුරුද්දක් පාසා ලොව පුරාම, නහඹර වියේ පසු වන විවාහ නොවූ යෞවනියන් අසංඛ්‍යාත පිරිසක් ගැබ්ගන්නවා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් ලොවට බිහි කරන්නේ තමන් විසින් ඇති දැඩි කරන්න ආශාවක්වත් පුළුවන්කමක්වත් නැති දරුවෙකුවයි. තවත් අය ගබ්සාවක් සිදු කිරීම නිසා වධ දෙන හෘදය සාක්ෂියකින් පීඩා විඳිනවා. එතකොට, ඒඩ්ස් වැනි ලිංගිකව බෝ වන රෝගවලට හසු වන තරුණ තරුණියන්ද සිටිනවා. හැබැයි, යෙහෝවාව දන්නා කෙනෙකුට විඳින්න සිදු වන දරුණුම ප්‍රතිවිපාකය තමයි යෙහෝවා සමඟ තිබෙන තමාගේ සම්බන්ධතාව පලුදු වීම. * (ගලාති 5:19-21) එසේනම්, “වේශ්‍යාකම වෙතින් පලා යන්න” කියා බයිබලය පවසන්නේ හොඳ හේතු ඇතුවයි.—1 කොරින්ති 6:18, NW.

‘සන්තෝෂවත් දෙවිට’ සේවය කිරීම

16. (අ) ඔබේ යෞවන කාලය ඔබ ප්‍රීතියෙන් භුක්ති විඳිනවා දැකීම යෙහෝවාගේ ආශාව බව අප දන්නේ කෙසේද? (ආ) ඔබට අනුගමනය කිරීම සඳහා යෙහෝවා මඟ පෙන්වීම් දෙන්නේ මන්ද?

16 බයිබලයෙහි යෙහෝවාව විස්තර කර තිබෙන්නේ “සන්තෝෂවත් දෙවි” ලෙසයි. (1 තිමෝති 1:11, NW) ඔහුගේ ආශාව වන්නේ ඔබත් සන්තෝෂයෙන් සිටිනවා දැකීමයි. ඇත්තෙන්ම ඔහුගේම වචනයෙහි මෙවැන්නක් පවසා තිබෙනවා. “ඔබේ යොවුන් වියේදී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේවා!” (දේශනාකාරයා [ධර්මදේශකයා] 11:9, න.අ.) හැබැයි, යෙහෝවා මොහොතකට පවතින දේවල්වලට ඔබ්බෙන් බලනවා. මේ නිසා යහපත් මෙන්ම නරක හැසිරීමේ දිගු කාලීන ප්‍රතිවිපාක අවබෝධ කරගන්නට ඔහුට පුළුවන්. “විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේදී ඔබේ මැවුම්කාර දෙවි සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැයි ඔබ කියන දවස් උදා වන්නේය” කියා ඔහු ඔබට අවවාද කරන්නේ එමනිසයි.—දේශනාකාරයා [ධර්මදේශකයා] 12:1, න.අ.

17, 18. යෙහෝවාට සේවය කිරීමෙන් තමන් ලද සන්තෝෂය එක් ක්‍රිස්තියානි යෞවනියක් විස්තර කළේ කෙසේද? ඔබට ඒ හා සමාන ප්‍රීතියක් අද්දැකිය හැක්කේ කෙසේද?

17 අද දින බොහෝ යෞවන යෞවනියන් යෙහෝවාට සේවය කිරීමෙන් ඉමහත් සන්තෝෂයක් ලබා තිබෙනවා. නිදසුනකට, 15වන වියේ පසු වන ලීනා මෙසේ කියනවා. “මගේ ඔළුව කෙළින් තියාගෙන වැඩ කරන්න මට පුළුවන්. දුම්පානයෙන් හා මත්ද්‍රව්‍යවලින් වැළකී සිටින නිසා මට නිරෝගී ශරීර සෞඛ්‍යයක් තිබෙනවා. සාතන්ගෙන් එල්ල වන භයානක පීඩනයට එරෙහි වෙන්න උපකාර කරන වටිනා මඟ පෙන්වීම් මට සභාව තුළිනුත් ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය ශාලාවේදී මට භුක්ති විඳින්න ලැබෙන ගොඩනංවනසුලු ආශ්‍රය නිසා මගේ මුහුණ හැම තිස්සේම සතුටින් පිරිලා. ඒ සේරටම වඩා, පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව මට තිබෙනවා. ඒක හැම දේකටම වඩා වටිනවා.”

18 ලීනා වගේ, ක්‍රිස්තියානි යෞවන යෞවනියන් බොහෝදෙනෙක් ඇදහිල්ල උදෙසා දැඩි සටනක යෙදී සිටිනවා. මෙයින් ඔවුන් ප්‍රීතිය නෙළාගන්නවා. ඔවුන් තේරුම්ගන්නා දෙයක් නම්, ඔවුන්ගේ ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණත්, ඔවුන්ට සැබෑ අරමුණක් හා නියම අනාගතයක් තිබෙන බවයි. එසේනම්, ඔබේ යහපත ගැන කවදත් බලන දෙවිට දිගටම සේවය කරන්න. ඔහුගේ සිත ප්‍රීතිමත් කරන්න. එවිට දැනුත් සදහටමත් ප්‍රීතියෙන් සිටින්න ඔහු ඔබට මඟ උදා කර දෙනවා නොඅනුමානයි!—ගීතාවලිය 5:11.

[පාදසටහන්වල]

^ 3 ඡේ. වර්ෂ 1996 ඔක්තෝබර් 22 පිබිදෙව්! කලාපයේ පළ වූ “මගේ ජීවිතය මට ආපසු ලබා දුන් සත්‍යය” යන ලිපිය බලන්න.—සිංහලෙන් නැත.

^ 15 ඡේ. යමෙක් පසුතැවිලි වී ඔහු කළ වරද අත්හැර තම පව් පිළිගන්නා විට, යෙහෝවා ඔහුට “අතිශයින් කමා වෙනවා” යන්න දැන සිටීම අස්වැසිල්ලකි.—යෙසායා 55:7.

ඔබට මතකද?

• “දුෂ්ටයා” වන සාතන්ගෙන් ඔබට එල්ල වන්නේ කවර අනතුරද?

• යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන්නට ඔබට හැක්කේ කෙසේද?

• යෙහෝවා ඔබ ගැන සලකන බව බයිබලය පෙන්නුම් කරන්නේ කෙසේද?

• යෙහෝවාට සේවය කිරීමෙන් ලැබෙන ආශීර්වාද සමහරක් මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ධර්මිෂ්ඨ මිනිසෙක් පැකිලීමට ඉතා ආසන්නව සිටියදී

පුරාණ ඊශ්‍රායෙල්හි පිහිටි යෙහෝවාගේ දේවමාළිගාවේ ප්‍රසිද්ධ සංගීතඥයෙක් හිටියා. ඔහුගේ නම ආසාෆ්. ප්‍රසිද්ධ නමස්කාරයේ යෙදෙන විට භාවිත කළ ගීත පවා රචනා කරන්න ඔහුට අවස්ථාව ලැබුණා. ආසාෆ්ට මේ වගේ සුවිශේෂ වරප්‍රසාද තිබුණත්, ඔහු සමඟ සිටි පෙනෙන විදිහට කිසිම නරක ප්‍රතිඵලයක් අත් විඳින්නේ නැතුව දෙවිගේ නීති කඩ කළ අයගේ අභක්තික හැසිරීමට යම් කලකට ඔහුගේ සිත ඇදී ගියා. “මාගේ පාද ඉවත යන්ට ළං විය. මාගේ අඩි නොලිස්සුවා පමණය. මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යා කෙළෙමි” කියා ආසාෆ් පස්සේ කාලෙක පිළිගත්තා.—ගීතාවලිය 73:2, 3.

පසු අවස්ථාවක, ආසාෆ් දෙවිගේ ශුද්ධස්ථානයට ගොස් මේ කාරණය ගැන යාච්ඤා කළා. බොඳ වී ගොස් තිබූ ඔහුගේ ආත්මික දෘෂ්ටිය නැවතත් පැහැදිලි වෙන්න පටන්ගත්තා. යෙහෝවා නපුරට ද්වේෂ කරන බවත්, යම් දවසක දුෂ්ටයන් හා ධර්මිෂ්ඨයන් දෙකොට්ඨාසයම තමන් වපුරන දේ කපාගන්නා බවත් ඔහු තේරුම්ගත්තා. (ගීතාවලිය 73:17-20; ගලාති 6:7, 8) ඇත්තටම දුෂ්ටයන් සිටින්නේ ලිස්සනසුලු තැනකයි. කලකට බේරුණත්, අන්තිමේදී යෙහෝවා පවතින අභක්තික සමාජ ක්‍රමය විනාශ කරද්දී ඔවුන්ට වැටීමක් අද්දකින්න සිදු වෙයි.—එළිදරව් 21:8.

[15වන පිටුවේ පින්තූර]

යෙහෝවා බලන්නේ ඔබට යහපතක්ම සිදු කරන්න. නමුත් සාතන්ගේ ඉලක්කය ඔබව කා දමන්න

[16වන පිටුවේ පින්තූරය]

සෙසු ක්‍රිස්තියානීන් හා එක් වී යෙහෝවාට සේවය කිරීමෙන් බොහෝ යෞවනයන් ඉමහත් සතුටක් භුක්ති විඳිනවා