Skip to content

පටුනට යන්න

සැබෑ සැනසීම සොයාගත හැක්කේ කොහෙන්ද?

සැබෑ සැනසීම සොයාගත හැක්කේ කොහෙන්ද?

සැබෑ සැනසීම සොයාගත හැක්කේ කොහෙන්ද?

‘අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි සහ පියාණන් . . . අපේ සියලු පීඩාවලදී අපව සනසන්නේය.’—2 කොරින්ති 1:3, 4, NW.

1. මිනිසුන්ට සහනයේ මහත් අවශ්‍යතාවක් දැනිය හැක්කේ කිනම් තත්වයන් නිසාද?

කෙනෙක්ව මුළුමනින්ම ආබාධිතයෙක් කරවන අසනීපයක් නිසා යම් පුද්ගලයෙකුට තමාගේ මුළු ජීවිතයම නාස්ති වී ඇතැයි හැඟෙන්නට පුළුවන. භූමිකම්පා, කුණාටු සහ සාගතය හේතුවෙන් ජනයාගේ දේපොළ විනාශ වී ඔවුන් අන්ත අසරණ තත්වයකට පත් වෙයි. යුද්ධය හේතුවෙන් පවුලේ සාමාජිකයන් මිය යා හැකියි. නිවෙස් විනාශ විය හැකියි. නැතහොත් නිවාස හිමියන්ට ඒවා අතහැර යන්නට සිදු විය හැකියි. අයුක්තියෙන් පහර කන අයට හැඟී යා හැකියි, තමන්ට සහනය පතා හැරෙන්නට කිසිම තැනක් නැතැයි කියා. එවැනි කටුක තත්වයන්ට ගොදුරුවූවන්ට ඇත්ත වශයෙන්ම සහනය අවශ්‍යය. නමුත් එය සොයාගත හැක්කේ කොතැනින්ද?

2. යෙහෝවා විසින් සපයනු ලබන සැනසීම අතිසුවිශේෂී වන්නේ මන්ද?

2 ඇතැම් පුද්ගලයෝ සහ සංවිධාන යම් සහනයක් සැපයීමට මහත් වෙහෙසක් දරති. තවත් අයගෙන් ලැබෙන කාරුණික වචන කෘතඥපූර්වකව භාරගනු ලැබේ. ද්‍රව්‍යමය සහනාධාර සැපයීම නිසා කෙටි කාලීන වශයෙන් යම් සහනයක්ද සැලසේ. එහෙත්, සියලුම හානිකර තත්වයන් ඉවත් කර, එවන් විපත් නැවත කිසිදා සිදු නොවෙන ලෙසට අවශ්‍ය කරන්නාවූ උපකාරය පිරිනැමිය හැක්කේ සැබෑ දෙවි වන යෙහෝවාට පමණි. ඔහු සම්බන්ධයෙන් බයිබලයේ කියන්නේ මෙසේයි. “අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවිද පියාණන්ද වන තැනැත්තාට ප්‍රශංසා වේවා. මොහු දයානුකම්පාවල පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද වන්නේය. අපේ සියලු පීඩාවලදී අපව සනසන්නේ ඔහුය. එසේ කරන්නේ, දෙවිගෙන් අප ලබන සැනසීම තුළින් ඕනෑම ආකාරයක පීඩාවක් විඳින අයව සනසන්න අපට හැකි වන පිණිසය.” (2 කොරින්ති 1:3, 4, NW) යෙහෝවා අපව සනසන්නේ කෙසේද?

ගැටලුවල මුලටම යෑම

3. දෙවි දෙන සැනසීම මිනිස් සංහතියේ ගැටලුවල මුලටම යන්නේ කෙසේද?

3 මුළු මිනිස් පවුල ආදම්ගේ පාපයේ ප්‍රතිඵලයක් වශයෙන් උරුමකර ගත්තේ අසම්පූර්ණකම වන අතර, අසංඛ්‍යාත ගැටලුවලට තුඩු දී අන්තිමේදී මරණයට මඟ පාදන්නේ එම පාපයයි. (රෝම 5:12) මෙම තත්වය තවත් උග්‍ර අතට හැරෙන්නේ සාතන් වන යක්ෂයා “මේ ලෝකයේ පාලකයාව” සිටින බැවිනි. (යොහන් 12:31, NW; 1 යොහන් 5:19) ඇත්තෙන්ම, මිනිස් සංහතිය මුහුණ දෙන කනගාටුදායක තත්වය ගැන ශෝකය පළ කරනවාට වඩා වැඩි යමක් යෙහෝවා කළේය. ගැලවීම ලබා දීම සඳහා ඔහු සිය ඒකජාතක පුත්‍රයාව මිදීමේ මිලයක් ලෙස එවූ අතර, අප ඔහුගේ පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල තැබුවහොත් ආදම්ගේ පාපයේ බලපෑම්වලින් මිදීමට අපට හැකි බව ඔහු අපට පැවසුවේය. (යොහන් 3:16; 1 යොහන් 4:10) දෙවි පවසා සිටි තවත් දෙයක් නම්, ස්වර්ගයේද පොළොවේද සියලු බලතල දී ඇති යේසුස් ක්‍රිස්තුස්, සාතන්වද ඔහුගේ මුළු මහත් දුෂ්ට සමාජ ක්‍රමයද විනාශ කරනු ඇති බවය.—මතෙව් 28:18; 1 යොහන් 3:8; එළිදරව් 6:2; 20:10.

4. (අ) සහනය පිළිබඳව යෙහෝවා දී ඇති පොරොන්දුව කෙරෙහි අපේ විශ්වාසය ශක්තිමත් කිරීමට ඔහු සපයා තිබෙන්නේ කුමක්ද? (ආ) සහනය පැමිණෙන කාලය වටහාගැනීමට යෙහෝවා අපට උපකාර කරන්නේ කෙසේද?

4 සිය පොරොන්දු කෙරෙහි අපේ විශ්වාසය ශක්තිමත් කිරීම පිණිස, තමා පුරෝකථනය කරන මොන යම් දෙයක් හෝ ඉෂ්ට වෙන බවට ඇති තරම් සාක්ෂි දෙවි වාර්තාවක් ලෙස ආරක්ෂා කර තිබේ. (යෝෂුවා 23:14) මිනිස් ශක්තියෙන් කොහෙත්ම ගොඩ ඒමට බැරි විපත්තිවලදී තම සේවකයන්ව ගලවාගැනීමට තමා කර ඇති දෙය සම්බන්ධයෙන් වාර්තාවක් ඔහු බයිබලය තුළ අන්තර්ගත කර ඇත. (නික්මයාම 14:4-31; 2 රාජාවලිය 18:13–19:37) තවද යෙහෝවා තම අරමුණට “සියලු ආකාර රෝග” ඇති ජනයාව සුව කිරීම හා මළවුන්ව නැඟිටුවීම පවා ඇතුළත් බව යේසුස් ක්‍රිස්තුස් තුළින් පැහැදිලිව පෙන්වා දුන්නේය. (මතෙව් 9:35, NW; 11:3-6) මේ සියල්ල සිදු වෙන්නේ කවදාද? මීට දී ඇති පිළිතුරෙහි මේ සමාජ ක්‍රමයේ අන්තිම දවස් ගැන විස්තරයක් බයිබලයේ අඩංගු වන අතර, ඉන් පසුව පැමිණෙන්නේ දෙවිගේ අලුත් අහස හා අලුත් පොළොවයි. යේසුස්ගේ විස්තරය අප ජීවත් වන කාලයට හොඳින් ගැළපෙයි.—මතෙව් 24:3-14; 2 තිමෝති 3:1-5.

වේදනාවෙන් මිරිකී සිටින ජනයාට සැනසීම

5. ඉපැරණි ඊශ්‍රායෙලයට සැනසීම දෙන විට, යෙහෝවා ඔවුන්ගේ අවධානය යොමු කළේ කුමකටද?

5 යෙහෝවා ඉපැරණි ඊශ්‍රායෙල් ජනයා සමඟ කටයුතු කළ ආකාරයෙන් අප ඉගෙනගන්නේ වේදනාවෙන් මිරිකී සිටින කාලවලදී ඔහු ඔවුන්ට සහනය ගෙනා ආකාරයයි. තමා කුමන ආකාරයේ දෙවි කෙනෙක්ද යන්න ඔහු ඔවුන්ට මතක් කළේය. මින් සිදු වූයේ ඔහුගේ පොරොන්දු කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් වීමයි. සැබෑ ජීවමාන දෙවි සහ තමන්ටවත් තමන්ගේ නමස්කාරකයන්ටවත් කිසිම විදිහකින් පිහිට වෙන්නට බැරි පිළිම අතර ඇති ප්‍රබල වෙනස්කම පෙන්වන්නට ඔහු අනාගතවක්තෘවරුන්ව යොදාගත්තේය. (යෙසායා 41:10; 46:1; යෙරෙමියා 10:2-15) “මාගේ සෙනඟ සනසන්න, සනසන්න” යයි යෙසායාට කියන කල, යෙහෝවා සිය අනාගතවක්තෘවරයාව යොදාගත්තේ තමා එකම සැබෑ දෙවි වශයෙන් තමාගේ මහන්තත්වය ගැන අවධාරණය කිරීම පිණිස ඔහුගේ මැවිල්ලේ ක්‍රියා ගැන උපහැරණය කිරීමට හා විස්තර කිරීමටය.—යෙසායා 40:1-31.

6. මිදීම ලැබෙන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී යෙහෝවා කළ යම් ඇඟවීම් මොනවාද?

6 ඇතැම් අවස්ථාවලදී, යෙහෝවා කෙටි කාලයකින් හෝ දීර්ඝ කාලයකින් හෝ උදාවිය හැකි නිශ්චිත කාලයක් දැක්වීමෙන් සිය ජනයාව ගලවාගන්නා බව පවසමින් ඔවුන්ව සැනසුවේය. ඊජීප්තුවෙන් ගැලවීම ළං වෙත්ම, පීඩනයෙන් මිරිකී සිටි ඊශ්‍රායෙලිතයන්ට ඔහු කීවේ මෙසේයි. “ඵාරාවෝ සහ මිසරය පිටට තව එක පීඩාවක් පමුණුවන්නෙමි. ඉන් පසු ඔහු නුඹලා මෙතැනින් යන්ට හරින්නේය.” (නික්මයාම 11:1) යෙහෝෂාපාට් රජුගේ දවස්වලදී ජාතීන් තුනක සන්ධානයක් යුදාව ආක්‍රමණය කළ විට, යෙහෝවා ඔවුන්ට පැවසුවේ ඔවුන් වෙනුවෙන් තමා “හෙට” මැදිහත් වෙන බවයි. (2 ලේකම් 20:1-4, 14-17) අනෙක් අතට, බබිලෝනියෙන් ඔවුන්ගේ මිදීම වසර 200කට ආසන්න කාලයකට පෙරාතුව යෙසායා විසින් වාර්තා කරන ලද අතර, මිදීම සිදු වෙන්නට වසර සියයකට පමණ පෙර යෙරෙමියා තුළින් ඒ පිළිබඳව තවත් විස්තර සපයන ලදි. තමන්ගේ මිදීමේ කාලය ආසන්න වෙත්ම, මෙම අනාවැකි දෙවිගේ සේවකයන්ට මොන තරම් දිරිගැන්වීමක් වුණාද!—යෙසායා 44:26–45:3; යෙරෙමියා 25:11-14.

7. ගැලවීම පිළිබඳ පොරොන්දුවලට බොහෝවිට ඇතුළත් වූයේ කුමක්ද? තවද මෙය ඊශ්‍රායෙලයේ විශ්වාසවන්ත ජනයාට බලපෑම් කළේ කෙසේද?

7 දෙවිගේ ජනයාහට සැනසීම ගෙන ආ පොරොන්දු තුළ බොහෝවිට මෙසියස් පිළිබඳ තොරතුරු අඩංගු වී තිබීම සැලකිල්ලට ගත යුත්තකි. (යෙසායා 53:1-12) පරම්පරාවෙන් පරම්පරාවට ඇදහිලිවන්ත අය නොයෙක් ආකාරයේ පරීක්ෂාවලට මුහුණ පාන විට, මේවා මගින් බලාපොරොත්තුවක් ඇති කරන ලදි. ලූක් 2:25හි [NW] අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “බලන්න! එකල සිමියොන් නම් මිනිසෙක් යෙරුසලමෙහි සිටියේය. ඔහු ඊශ්‍රායෙලයට සැනසිල්ල ලැබෙන [නැතහොත්, සැනසීම; ඇත්තෙන්ම, මෙසියස්ගේ පැමිණීම] තෙක් බලා සිටි ධර්මිෂ්ඨ, භක්තිවන්ත මිනිසෙකි. ශුද්ධාත්මය ඔහු කෙරෙහි තිබුණේය.” මෙසියස් පිළිබඳ බලාපොරොත්තුව ශුද්ධ ලියවිලිවල වාර්තා කර තිබූ බව සිමියොන් දැන සිටි අතර, එය ඉෂ්ට වීමේ අපේක්ෂාව ඔහුගේ ජීවිතයට බලපෑම් කළේය. එය මුළුමනින්ම ඉෂ්ට වෙන ආකාරය ඔහු තේරුම්ගෙන සිටියේ නැත. එමෙන්ම කලින් පුරෝකථනය කර තිබූ ගැලවීම යථාර්ථයක් බවට පත් වන ආකාරය දැකීමට ඔහු ජීවත් වූයේ නැති නමුත් දෙවිගේ “ගැලවීම සලසා දෙන ආකාරය” වීමට නියමිතව සිටි තැනැත්තා හඳුනාගැනීමෙන් ඔහු ප්‍රීති විය.—ලූක් 2:30, NW.

ක්‍රිස්තුස් තුළින් සපයන ලද සැනසීම

8. යේසුස් කළ උපකාර, බොහෝදෙනෙක් තමන්ට අවශ්‍යයයි සිතා සිටි දේට වඩා වෙනස් වෙන්නේ කෙසේද?

8 යේසුස් ක්‍රිස්තුස් තම භූමික දේවසේවයේ නියැලෙද්දී, ජනයාට අවශ්‍යයයි ඔවුන් සිතූ උපකාර ඔහු සැමවිටම සැපයුවේ නැත. ඇතැමුන් ඉතා උනන්දුවෙන් බලා සිටියේ තමන්ට එපා වී තිබූ ඒ රෝමයේ කුරිරු පාලනයෙන් මුදවාගනු ඇති මෙසියස් කෙනෙකුවයි. නමුත් යේසුස් විප්ලවයක් ඇති කිරීමට උසිගැන්වූයේ නැත. ඔහු කිව්වේ “සීසර්ගේ දේ සීසර්ට . . . දෙන්න” කියායි. (මතෙව් 22:21, NW) ජනයාව යම් දේශපාලනික අධිරාජ්‍යයක් මගින් ආණ්ඩු කරනු ලැබීමෙන් මුදවාගැනීමට වඩා වැඩි යමක් දෙවිගේ අරමුණට සම්බන්ධ විය. මිනිසුන්ට වුවමනා වූයේ යේසුස්ව රජෙකු කිරීමටයි. නමුත් ඔහු පැවසුවේ, තමා “බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමට” යන බවයි. (මතෙව් 20:28, NW; යොහන් 6:15) එය ඔහුට තවමත් රජකම ලැබීමට කාලය නොවීය. තවද ඔහුට පාලන බලතලය දීමට යන්නේ කැලඹුණු ජනසමූහයක් විසින් නොව යෙහෝවා විසිනි.

9. (අ) යේසුස් ප්‍රකාශ කළා වූ සැනසීමේ පණිවුඩය කුමක්ද? (ආ) ජනයා පෞද්ගලිකව මුහුණ දෙමින් සිටින තත්වයන්ට එම පණිවුඩය අදාළ වන බව යේසුස් පෙන්නුම් කළේ කෙසේද? (ඇ) යේසුස්ගේ දේවසේවය පදනමක් දැමුවේ කුමකටද?

9 යේසුස් ගෙන ආ සැනසීම අන්තර්ගත වී තිබුණේ, “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” තුළයි. යේසුස් කොහේ ගියත් ඔහු ප්‍රකාශ කළ පණිවුඩය වූයේ මෙයයි. (ලූක් 4:43, NW) තමා මෙසියානු පාලක වශයෙන් මිනිස් සංහතිය උදෙසා කරන්නට යන්නේ කුමක්දැයි නිරූපණය කරමින් ජනතාවගේ එදිනෙදා ගැටලුවලට එම පණිවුඩය සම්බන්ධ වෙන සැටි අවධාරණය කළේය. ඔහු විවිධ පුද්ගලයන්ට ජීවත් වීම සඳහා අලුතෙන් හේතුවක් දුන්නේ ඇස් පෙනීම දීමෙන් හා ගොළු බව නැති කරමිනි. (මතෙව් 12:22; මාක් 10:51, 52) ඇවිදින්නට බැරි අයව සුව කරමිනි. (මාක් 2:3-12) ඉතා පිළිකුල්සහගත රෝගවලට ගොදුරු වී සිටි තම සෙසු ඊශ්‍රායෙලිතයන්ව සුව කරමිනි. (ලූක් 5:12, 13) එමෙන්ම වෙනත් මාරාන්තික අසනීපවලින් ඔවුන්ව නිදහස් කරමිනි. (මාක් 5:25-29) තවද මිය ගිය දරුවන්ව මළවුන්ගෙන් නැවත නැඟිටවීමෙන් එම දරුවන්ගේ පවුල්වල ශෝක වෙන අයට මහත් සහනයක්ද හේ ගෙන ආවේය. (ලූක් 7:11-15; 8:49-56) භයානක කුණාටු පාලනය කිරීමට තිබෙන තම හැකියාව පැහැදිලිව පෙන්වූ ඔහු විශාල සමූහයන්ගේ ආහාර අවශ්‍යතාද සැපිරීය. (මාක් 4:37-41; 8:2-9) ඊටත් වඩා, තම ගැටලු සමඟ සාර්ථකව කටයුතු කරන්නට මහෝපකාරී විය හැකි ජීවිතයට අදාළ යම් ප්‍රතිපත්ති ඔහු ඔවුන්ට ඉගැන්වූ අතර, මෙසියස් යටතේ තිබෙන ධර්මිෂ්ඨ පාලනය කෙරෙහි බලාපොරොත්තුවකින් ඔවුන්ගේ හදවත් පුරවාලනු ඇත. මෙසේ, යේසුස් තම දේවසේවය කරගෙන යද්දී, ඇදහිල්ලෙන් යුතුව තමන්ට සවන් දුන් අයව සනසාලීය. එපමණක්ද නොව එතැන් පටන් අනාගතයේ වසර දහස් ගණනකට පසුව ජීවත් වෙන්නට යන මිනිසුන්ව දිරිගැන්වීම සඳහා යම් පදනමක්ද දැමුවේය.

10. යේසුස්ගේ මිදීමේ පූජාවේ ප්‍රතිඵලයක් වශයෙන් යථාර්ථයක් බවට පත් කළ හැක්කේ කුමක්ද?

10 යේසුස් තම මිනිස් ජීවිතය පූජාවක් හැටියට ඔප්පු කර ස්වර්ගික ජීවිතයට නැවත නැඟිටුවනු ලැබුවායින් වසර 60කට වඩා පසුව, ප්‍රේරිත යොහන් මෙසේ ලිවීමට ආනුභාවය ලැබුවේය. “මාගේ කුඩා දරුවෙනි, මා මේ දේවල් ඔබට ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය. එහෙත් යමෙක් පාපයක් කළත්, පියාණන් සමඟ සිටින උපකාරකයෙක් අපට සිටින්නේය. ඒ, ධර්මිෂ්ඨ තැනැත්තෙක් වන යේසුස් ක්‍රිස්තුස්ය. ඔහු අපේ පාප උදෙසා, සමඟි කිරීම සඳහා වූ පූජාවක් වේ. එහෙත් අපේ පාප උදෙසා පමණක් නොව, මුළු ලෝකයේද පාප උදෙසාය.” (1 යොහන් 2:1, 2, NW) යේසුස්ගේ පරිපූර්ණ මිනිස් පූජාවේ ප්‍රයෝජන නිසා, අපට මහත් සැනසීමක් ලැබේ. මේ නිසා, අපේ පව්වලට සමාවද, පිරිසිදු හෘදය සාක්ෂියක්ද, දෙවි සමඟ අනුමැතිය ලත් සම්බන්ධතාවක්ද, සදාකාලික ජීවිතයේ අපේක්ෂාවක්ද අපට ලැබෙන බව අපි දනිමු.—යොහන් 14:6; රෝම 6:23; හෙබ්‍රෙව් 9:24-28; 1 පේතෘස් 3:21.

ශුද්ධාත්මය සැනසිලිකරුවෙකු ලෙස

11. යේසුස් සිය මරණයට පෙරාතුව පොරොන්දු වුණේ සැනසීම සඳහා වූ තවත් කිනම් සැපයුමක්ද?

11 තම යාගික මරණයට පෙර අන්තිම රාත්‍රියේ සිය ප්‍රේරිතයන් සමඟ සිටින කල, ඔවුන්ව සැනසීම සඳහා තම පියාණන් විසින් දී ඇති තවත් සැපයුමක් ගැන යේසුස් කතා කළේය. යේසුස් පැවසුවේ මෙසේයි. “මම පියාණන්ගෙන් ඉල්ලන්නෙමි. එවිට ඔහු ඔබ සමඟ සදහටම සිටින පිණිස, වෙනත් උපකාරකයෙකුව [සැනසිලිකරුවෙකුව; ග්‍රීක්, පාරාක්ලීටෝස්] ඔබට දෙන්නේය.” තවදුරටත් යේසුස් ඔවුන්ට තහවුරු කළේ මෙසේයි. “උපකාරකයා, එනම් ශුද්ධාත්මය, ඔබට සියල්ල උගන්වා, මා ඔබට පැවසූ සියල්ල ඔබට සිහි කරවන්නේය.” (යොහන් 14:16, 17, 26, NW) ශුද්ධාත්මය ඇත්තටම ඔවුන්හට සැනසීම ගෙන දුන්නේ කෙසේද?

12. යේසුස්ගේ ගෝලයන්ගේ මතකයන්ට ආධාරකයක් වශයෙන් ශුද්ධාත්මයට, බොහෝදෙනෙකුට සැනසීම ගෙන ඒමට උපකාර කරන්නට හැකි වී තිබෙන්නේ කෙසේද?

12 ප්‍රේරිතයන්ට යේසුස් බොහෝ දේ උගන්වා තිබිණි. ඔවුන් කිසිවිටෙකත් එම අද්දැකීම අමතක නොකරනු ඇති බව සහතිකයි. නමුත් ඔහු ඇත්තටම පැවසූ දේවල් ඔවුන්ට මතක හිටිනු ඇද්ද? තම අසම්පූර්ණ මතකයන් හේතුවෙන් එම වැදගත් උපදෙස් ඔවුන්ට අමතක වී යනු ඇද්ද? ශුද්ධාත්මය ‘තමා ඔවුන්ට පැවසූ සියල්ල ඔවුන්ට යළි සිහි කරවන’ බව යේසුස් ඔවුන්ට සහතික කළේය. මෙසේ, යේසුස්ගේ මරණින් වසර අටකට පමණ පසුව, පළමු සුවිශේෂය ලියන්නට මතෙව්ට හැකි වූ අතර, එහි යේසුස්ගේ හද උණුසුම් කරවන කන්ද උඩ දේශනාව, රාජ්‍යය පිළිබඳව නොයෙක් උපමා සහ ඔහු පැමිණ සිටින කාලයේ ලකුණ පිළිබඳව විස්තරාත්මක සාකච්ඡාවද ඔහු එහි වාර්තා කළේය. වසර 50කටත් වඩා වැඩි කලකට පසුව, යේසුස්ගේ භූමික ජීවිතයේ අවසාන දවස් කිහිපය ගැන විස්තරාත්මක තොරතුරුවලින් සපිරි විශ්වාසකටයුතු වාර්තාවක් ලියන්නට ප්‍රේරිත යොහන්ට හැකි විය. මේ දේවානුභාව ලත් වාර්තාවන් අපේ දවස දක්වාම කොතරම් දිරිගන්වනසුලු ඒවා වී තිබේද!

13. මුල් ක්‍රිස්තියානීන්හට ශුද්ධාත්මය ගුරුවරයෙකු ලෙස ක්‍රියා කළේ කෙසේද?

13 නිකම්ම වචන ගෝලයන්ගේ මතකයට නංවනවාට වඩා, ශුද්ධාත්මය ඔවුන්ට උගන්වා මඟ පෙන්වූයේ දෙවිගේ අරමුණ පිළිබඳව වඩාත් පූර්ණ අවබෝධයක් ලබාගන්නටයි. යේසුස් සිය ගෝලයන් සමඟ සිටින විට, ඔහු ඔවුන්ට කියූ දේවල් එවකට ඔවුන්ට පැහැදිලිව තේරුණේ නැත. කෙසේවෙතත්, ඊට පසුව යොහන්, පේතෘස්, යාකොබ්, යූද් සහ පාවුල් දෙවිගේ අරමුණේ තවත් සිදුවීම් ගැන පැහැදිලි කිරීම් ලබා දුන්නේ ශුද්ධාත්මයෙන් පෙලඹීමෙනි. මෙසේ, ශුද්ධාත්මය ගුරුවරයෙකු ලෙස ක්‍රියා කළේ, දිව්‍ය මඟ පෙන්වීම පිළිබඳව වටිනා සහතිකයක් ඔවුන්ට ලබා දෙමිනි.

14. ශුද්ධාත්මය දෙවිගේ ජනයාට උපකාර කළේ කිනම් ආකාරවලින්ද?

14 ආත්මයේ ආශ්චර්යවත් දීමනාවලින් පැහැදිලිව තේරුම්ගැනීමට හැකි වූයේ දෙවිගේ අනුමැතිය මාංසික ඊශ්‍රායෙලයෙන් ක්‍රිස්තියානි සභාවට මාරු වී තිබුණු බවයි. (හෙබ්‍රෙව් 2:4) තවද එම පුද්ගලයන්ගේ ජීවිතවල ශුද්ධාත්මයේ පල තිබීමද සැබවින්ම යේසුස්ගේ ගෝලයන් කවුරුන්ද කියා හඳුනාගැනීමට වැදගත් සාධකයක් විය. (යොහන් 13:35; ගලාති 5:22-24) තවද එම ආත්මය එඩිතරව හා නිර්භයව සාක්ෂිකරුවන් වීමට එම සභාවේ සාමාජිකයන්ව ශක්තිමත් කළේය.—ක්‍රියා 4:31.

අධික පීඩනය යටතේ සිටින විට දුන් උපකාර

15. (අ) අතීත සහ වර්තමාන ක්‍රිස්තියානීන් විසින් මුහුණ දී ඇත්තේ කිනම් පීඩනවලටද? (ආ) දිරිගැන්වීම දෙන අයට ඇතැම් අවස්ථාවල එය ලැබීම අවශ්‍ය වන්නේ මන්ද?

15 යෙහෝවාට කැප වී සිටින සහ ඔහුට පක්ෂපාත සියල්ලෝම යම් ආකාරයේ පීඩාවන් අද්දකිති. (2 තිමෝති 3:12) කෙසේවෙතත්, ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් ඉතා අධික පීඩනයන්ට ගොදුරු වී සිටිති. නවීන කාලවල, ඇතමෙක් මැර කල්ලිවල හිරිහැරවලට පාත්‍ර වී ඇති අතර, ඉතා අමානුෂික හිංසා පීඩා යටතේ ගාල් කඳවුරු, හිරගෙවල්, සහ ශ්‍රම කඳවුරු තුළ සිර කරනු ලැබ සිටිති. යම් ආණ්ඩු, පීඩා පිටුපස ඍජුවම සිට ඇත. නැතහොත් මේ නොහික්මුණු පුද්ගලයන්ට කිසිම දඬුවම් කිරීමකින් තොරව තම කටයුතු රිසි සේ කරගෙන යන්නට ආණ්ඩු විසින් ඉඩ දී ඇත. මීට අමතරව, ක්‍රිස්තියානීහු ඉතා මාරාන්තික සෞඛ්‍ය ගැටලුවලට හෝ බරපතල පවුල් අර්බුදවලට මුහුණ පා සිටිති. දුෂ්කර තත්වයන් සමඟ කටයුතු කිරීම පිණිස, තම සෙසු ඇදහිලිවන්තයන් බොහෝදෙනෙකුට එක දිගටම උපකාර කරන මේරූ ක්‍රිස්තියානියෙකුද පීඩනය අද්දකින්නට පුළුවන. එවන් අවස්ථාවලදී, දිරිගැන්වීම දෙන තැනැත්තාද එය ලැබීමේ අවශ්‍යතාවෙන් සිටිනවා විය හැකියි.

16. දාවිත් මහත් පීඩනයකට ගොදුරු වූ කල, ඔහු උපකාර ලැබුවේ කෙසේද?

16 සාවුල් රජ දාවිත්ව මරන්නට සොයමින් සිටි විට, දාවිත් දෙවි දෙසට හැරුණේ තමාගේ උපකාරකයා ලෙස සලකමිනි. “දෙවි, මාගේ යාච්ඤාව ඇසුව මැනව” යයි ඔහු අයැද සිටියේය. “ඔබගේ පියාපත් සෙවණ සරණ කොට ගන්නෙමි.” (ගීතාවලිය 54:2, 4; 57:1) දාවිත්ට උපකාරය ලැබුණාද? එසේය, එය ඔහුට ලැබිණි. ඒ කාලය අතරතුරේදී, දාවිත්ට මඟ පෙන්වීම් ලබා දීමට යෙහෝවා ගාද් නම් අනාගතවක්තෘවරයාව සහ අබියාතර් නම් පූජකයාව යොදාගත්තේය. තවද ඔහු මේ තරුණයාව ශක්තිමත් කිරීමට සාවුල්ගේ පුත් යොනාතාන්වද යොදාගත්තේය. (1 සාමුවෙල් 22:1, 5; 23:9-13, 16-18) එමෙන්ම දේශය කොල්ලකෑමට යෙහෝවා පිලිස්තිවරුන්ට ඉඩහැරියේය. සාවුල්ගේ සිත මෙලෙස වෙනතකට යොමු කිරීම නිසා ඔහු දාවිත්ව ලුහුබැඳ යෑම අත්හැරියේය.—1 සාමුවෙල් 23:27, 28.

17. දැඩි පීඩනය යටතේ, යේසුස් උපකාරය පතා හැරුණේ කා වෙතටද?

17 සිය භූමික ජීවිතය නිමාවට ආසන්නයේදී යේසුස් ක්‍රිස්තුස්ද ලක් වූයේ මහත් පීඩනයකටයි. තමාගේ හැසිරීම, තම ස්වර්ගික පියාණන්ගේ නාමයටත් එය සියලු මිනිස් වර්ගයාගේ අනාගතයටත් බලපෑ හැකි අන්දම ඔහු හොඳින් දැන සිටියේය. ඔහු ඉතා ඕනෑකමින් යාච්ඤා කළේ ‘දැඩි සිත් වේදනාවකිනි.’ ඒ දුෂ්කර වේලාවේදී යේසුස්ට අවශ්‍ය උපකාරය දීමට දෙවි වග බලාගත්තේය.—ලූක් 22:41-44, NW.

18. ඉතා තදබල ලෙස පීඩා කරනු ලැබූ මුල් ක්‍රිස්තියානීන්ට දෙවි දුන් සැනසීම කුමක්ද?

18 පළමු සියවසේ ක්‍රිස්තියානි සභාව පිහිටුවායින් පසුව ක්‍රිස්තියානීන්ට ඇති වූ පීඩාව කොතරම් දරුණුදයත්, ප්‍රේරිතයන් හැර අනෙකුත් සියලුදෙනාම යෙරුසලමෙන් විසිර ගියහ. පුරුෂයන්ව සහ ස්ත්‍රීන්ව ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට ඇද දමන ලදි. දෙවි ඔවුන්ට සැපයුවේ කුමන සැනසීමක්ද? ඔවුන්ට “වඩා උතුම් සහ කල් පවතින වස්තුවක්” එනම්, ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සදාකාලික උරුමයක් තිබෙන බවට වූ දෙවිගේ වචනයෙන් ලද සහතිකයයි. (හෙබ්‍රෙව් 10:34, NW; එපීස 1:18-20) ඔවුන් දිගටම දේශනා කරත්ම, දෙවිගේ ආත්මය තමන් සමඟ තිබෙන බවට සාක්ෂි ඔවුන් දුටු අතර, ඔවුන්ගේ අද්දැකීම් ඔවුන්ට සතුටු වීමට තවත් හේතු ලබා දුන්නේය.—මතෙව් 5:11, 12; ක්‍රියා 8:1-40.

19. පාවුල් ඉතා දරුණු පීඩා වින්දත්, දෙවි දුන් සැනසීම ගැන ඔහුට හැඟුණේ කෙසේද?

19 කල් යත්ම, ඉතා ප්‍රචණ්ඩකාරී පීඩාකරන්නෙකු වී සිටි සාවුල්ම (පාවුල්ම) ක්‍රිස්තියානියෙකු බවට පත් වූ නිසා ඔහුද පීඩාවන්ට ගොදුරු විය. සයිප්‍රස් දූපතේදී එක් මන්ත්‍රකරුවෙක් වංචාවෙන් හා ප්‍රෝඩාවෙන් පාවුල්ගේ දේවසේවයට බාධා කිරීමට උත්සාහ දැරීය. ගලාතියේදී පාවුල්ට ගල් ගසනු ලැබ, ඔහු මිය ගියායයි සිතා දමා ගියෝය. (ක්‍රියා 13:8-10; 14:19) මැසිඩෝනියාවේදී ඔහුට කෝටුවලින් තළනු ලැබිණි. (ක්‍රියා 16:22, 23) එපීසයේ මැර ප්‍රහාරයකට ලක්වීමෙන් පසුව, ඔහු ලීවේ මෙසේයි. “අපේම ශක්තියෙන් දරාගත නොහැකි තරමටම කොතරම් අධික පීඩනයක් අපට පැමිණියාද කීවොත්, අපට අපේ ජීවිත ගැන පවා බලාපොරොත්තුවක් තබාගත නොහැකි, අස්ථිර තත්වයකට පත්ව සිටියෙමු. ඇත්තෙන්ම, අප මරණ දණ්ඩනය ලැබුවාක් මෙන් අපට හැඟුණි.” (2 කොරින්ති 1:8, 9, NW) නමුත් එම ලියුමෙන්මයි පාවුල් මෙම ලිපියේ දෙවන ඡේදයේ සඳහන් සැනසිලිදායක වදන් උපුටා දැක්වූයේ.—2 කොරින්ති 1:3, 4.

20. අප ඊළඟ ලිපියේ සලකා බලන්නට යන්නේ කුමක්ද?

20 එවන් සැනසීමක් දීමෙහි පංගුකාරයෙක් වීමට ඔබට හැක්කේ කෙසේද? අද දින බොහෝදෙනෙක් තමන් මත හදිසියේ කඩා වැටෙන විපත්ති නිසා හෝ තමන්ට පමණක් බලපාන පීඩා හේතුවෙන් ශෝකය අද්දකිමින් සිටින බැවින් ඔවුන්ව සැනසීම අවශ්‍යය. මීළඟ ලිපියේදී, අප සලකා බලන්නේ මෙම එක් එක් තත්වයන්හිදී සැනසීම දිය හැකි ආකාරයයි.

ඔබට මතකද?

• දෙවිගෙන් පැමිණෙන සැනසීම, වටිනාම සැනසීම වන්නේ මන්ද?

• ක්‍රිස්තුස් තුළින් සැපයෙන්නේ කිනම් සැනසීමක්ද?

• ශුද්ධාත්මය සැනසිලිකරුවෙකු බවට පත් වී ඇත්තේ කෙසේද?

• දෙවිගේ සේවකයන් ඉතා දැඩි පීඩනයට ලක්ව සිටි විට දෙවි විසින් සපයන ලද සැනසීම පිළිබඳව උදාහරණ දෙන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

යෙහෝවා සිය ජනයාව මුදවාගැනීමෙන් සැනසීම ගෙන දුන් බව බයිබලය අපට පෙන්වයි

[16වන පිටුවේ පින්තූර]

ඉගැන්වීමෙන්, සුව කිරීමෙන් හා මළවුන්ව නැවත නැඟිටුවීමෙන් යේසුස් සැනසීම ලබා දුන්නේය

[18වන පිටුවේ පින්තූරය]

යේසුස් ඉහළින් උපකාර ලැබීය