Skip to content

පටුනට යන්න

ආත්මය පවසන දෙයට සවන් දෙන්න!

ආත්මය පවසන දෙයට සවන් දෙන්න!

ආත්මය පවසන දෙයට සවන් දෙන්න!

“ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා.”—එළිදරව් 3:22, NW.

1, 2. එළිදරව් පොතේ නමින්ම සඳහන් කර ඇති සභා සතට යේසුස් යැවූ පණිවුඩවල යළි යළිත් දී තිබෙන්නේ කිනම් උපදෙසද?

එළිදරව් නමැති බයිබල් පොතේ නමින්ම සඳහන් කර ඇති සභා සතට ආත්මයේ මඟ පෙන්වීම යටතේ යේසුස් ක්‍රිස්තුස් පවසන වචනවලට යෙහෝවාගේ ජනයා අවධානය යොමු කළ යුතුය. ඇත්ත වශයෙන්ම, මේ සෑම පණිවුඩයකම මෙම උපදෙස අඩංගු වෙයි. “ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා.”—එළිදරව් 2:7, 11, 17, 29; 3:6, 13, 22; NW.

2 එෆීසයේ, ස්මර්ණාවෙහි සහ පර්ගමම්හි දූතයන් හෙවත් අවේක්ෂකයන් වෙත යේසුස් විසින් දෙන ලද පණිවුඩ අපි දැනටමත් සලකා ඇත්තෙමු. ඔහු ශුද්ධාත්මය කරණකොටගෙන අනෙකුත් සභා සතරට පැවසූ දෙයින් අපට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

තියාතීරාවේ දූතයාට

3. තියාතීරාව තිබුණේ කොහේද? එය විශේෂයෙන්ම ප්‍රසිද්ධියක් ඉසිලුවේ කිනම් නිෂ්පාදනය සඳහාද?

3 “දෙවිගේ පුත්‍රයා” තියාතීරා සභාවට ප්‍රශංසා සහ අවවාද යන දෙකම දෙයි. (එළිදරව් 2:18-29, NW කියවන්න.) තියාතීරාව (දැන් අක්හිසාර්) ඉදි කරන ලද්දේ, බටහිර කුඩා ආසියාවේ ගෙඩිස් ගඟේ (පුරාණයේ, හර්මස්) අතු ගංගාවක් ආශ්‍රිත ස්ථානයකය. මෙම නගරය නොයෙක් ආකාරයේ අත්කම් ශිල්ප ක්‍රමවලට ප්‍රසිද්ධියක් ඉසිලීය. එහි සිටි සායම් වර්ග සාදන්නෝ ජනප්‍රිය තද රතු සහ දම් පාට සෑදීම සඳහා මැඩර් නම් වූ මල් ගසේ මුල් ප්‍රයෝජනයට ගත්හ. පාවුල් ග්‍රීසියේ ෆිලිප්පියේ සංචාරය කළ විට ක්‍රිස්තියානිකාරියක් බවට පත් වූ ලිදියා ‘තියාතීරා නගරයේ දම් පැහැති රෙදි විකුණන්නියක’ වී සිටියාය.—ක්‍රියා 16:12-15, NW.

4. තියාතීරා සභාවට ප්‍රශංසා කරනු ලැබුවේ කුමක් උදෙසාද?

4 තියාතීරා සභාවේ යහපත් ක්‍රියා, ප්‍රේමය, ඇදහිල්ල, විඳදරාගැනීම හා දේවසේවයේ ක්‍රියාකාරකම් ගැන යේසුස් එම සභාවට ප්‍රශංසා කරයි. ඇත්ත වශයෙන්ම, ‘මෑත කාලයේදී ඔවුන්ගේ ක්‍රියා මුල් ක්‍රියාවලට වඩා වැඩි’ විය. කෙසේවුවද, අපට කදිම වාර්තාවක් තිබුණද, අපගේ සදාචාර ගති පැවතුම්වල වැදගත්කම අප කිසිවිටෙකත් සැහැල්ලුවට නොගත යුතුයි.

5-7. (අ) “යෙසබෙල් නම් ඒ ස්ත්‍රිය” කවරෙක් වීද? ඇගේ බලපෑම ගැන කුමක් කළ යුතුව තිබුණේද? (ආ) තියාතීරා සභාවට ක්‍රිස්තුස් දුන් පණිවුඩය දේවභක්තික ස්ත්‍රීන්ට උපකාරවත් වෙන්නේ කුමක් කිරීමටද?

5 තියාතීරා සභාව රූපවන්දනාවට, බොරු ඉගැන්වීම්වලට සහ ලිංගික දුරාචාරයට ඉඩ දෙමින් සිටියේය. ඔවුන් අතර, “යෙසබෙල් නම් ඒ ස්ත්‍රිය” සිටියාය. සමහරවිට ඊශ්‍රායලයේ ගෝත්‍ර දසයේ රාජ්‍යයේ දුෂ්ට යෙසබෙල් බිසවගේ ගතිලක්ෂණ තිබූ ස්ත්‍රීන් කණ්ඩායමක් ඔවුන් අතර සිටියා විය හැකියි. ඇතැම් විශාරදයන් විශ්වාස කරන්නේ තියාතීරාවේ සිටි මෙම ‘අනාගතවක්තෘවරිය,’ වෙළඳ සංගම් මගින් ඈඳාගෙන තිබූ දෙවි දේවතාවුන්ට නමස්කාර කිරීමටද, රූපවලට පූජා කළ ආහාර සම්බන්ධ වූ මංගල්‍යවලට සහභාගි වීමටද ක්‍රිස්තියානීන්ව පෙලඹූ බවය. තමා විසින්ම පත් කරගත් කිසිම අනාගතවක්තෘවරියක්, අදදින ක්‍රිස්තියානි සභාවේ සිටින වෙනත් අයව තමාගේ වාසිය සඳහා මෙහෙයවීමට කිසිම විදිහකින් තැත් නොකරාවා!

6 ක්‍රිස්තුස් ‘සූදානමින් සිටියේ යෙසබෙල් නම් ඒ ස්ත්‍රියව ගිලන් යහනකට හෙළන්නටය. එමෙන්ම ඇය සමඟ පරදාර සේවනයේ යෙදෙන්නන් ඇයගේ ක්‍රියා ගැන පසුතැවිලි වුණොත් මිස, නැත්නම් ඔවුන්වද මහත් පීඩාවකට හෙළන්නටය.’ අවේක්ෂකයන් එවන් දුෂ්ට ඉගැන්වීම්වලට හා බලපෑම්වලට අබමල් රේණුවක තරම්වත් ඉඩක් නොතැබිය යුතුයි. තවද කිසිම ක්‍රිස්තියානියෙකු “සාතන්ගේ ගැඹුරු දේවල්” සම්පූර්ණයෙන්ම නපුරු බව වටහාගැනීම පිණිස ආත්මික හෝ ශාරීරික වේශ්‍යාකමේ යෙදීමටවත්, නොඑසේනම් රූපවන්දනාවේ යෙදීමටවත් කිසිදු අවශ්‍යතාවක් නැත. අපි යේසුස්ගේ අනතුරු ඇඟවීමට අවනත වන්නෙමු නම්, ‘අපට තිබෙන දේට අප ඇලී සිටින’ අතර, අපව මුළුමනින්ම පාලනය කරන්නට පාපයට ඉඩ දෙන්නේ නැත. නැවත නැඟිටවනු ලැබූ අභිෂේක ලත් අය අභක්තික පුරුදු, ආශාවන් සහ ඉලක්කයන් ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන් “ජාතීන් කෙරෙහි බලය” ලබා, ඔවුන්ව සුනුවිසුනු කර දැමීමට ක්‍රිස්තුස් හා හවුල් වෙනවා ඇත. වත්මන් සභාවලට සංකේතවත් තාරකාවන් ඇති අතර, අභිෂේක ලත් අය ස්වර්ගයට නැවත නැඟිටින විට, ඔවුන්ට “දීප්තිමත් පහන් තාරකාව” වන මනාලයාව හෙවත් යේසුස් ක්‍රිස්තුස්ව දෙනු ලබනවා ඇත.—එළිදරව් 22:16.

7 ඇදහිල්ලට එරෙහිව කැරලිගසන ස්ත්‍රීන්ගේ නපුරු බලපෑම කිසි සේත් නොඉවසන ලෙස තියාතීරා සභාවට අනතුරු අඟවන ලදි. ආත්මයේ ආනුභාවයෙන් ක්‍රිස්තුස් සභාවට දෙන මෙම පණිවුඩය, අදදින දේවභක්තික ස්ත්‍රීන්හට උපකාරවත් වන්නේ දෙවි විසින් දී ඇති ස්ථානයේ සිටීමටයි. පුරුෂයන් කෙරෙහි අධිකාරය මෙහෙයවීමට ඔවුන් උත්සාහ කරන්නේ නැත. කිසිම විදිහකින් සහෝදරයන්ව ආත්මික හෝ ශාරීරික වේශ්‍යාකමට උපා යොදා පොලඹවාගන්නේද නැත. (1 තිමෝති 2:12) ඒ වෙනුවට, එවන් ස්ත්‍රීහු දෙවිට ප්‍රශංසා ගෙනෙන පිණිස කරන යහපත් ක්‍රියා සහ සේවය සම්බන්ධයෙන් ආදර්ශයක් තබති. (ගීතාවලිය 68:11; 1 පේතෘස් 3:1-6) සභාව තමන්ට තිබෙන දේ, එනම් පිරිසිදු මූලධර්මය, හැසිරීම හා නිධානයක් සේ දී ඇති රාජ්‍ය සේවය රැකගන්නේ නම්, ක්‍රිස්තුස් පැමිණෙන්නේ ආශීර්වාද කිරීමට මිස, දඬුවම් කිරීමට නොවේ.

සර්දිස්හි දූතයාට

8. (අ) සර්දිස් නගරය පිහිටා තිබුණේ කොහේද? ඒ පිළිබඳව යම් විස්තරයක් දෙන්න. (ආ) සර්දිස්හි පිහිටි සභාවට උපකාර අවශ්‍ය වූයේ ඇයි?

8 සර්දිස් සභාවට හදිසි උපකාර අවශ්‍ය විණි. මන්දයත් එය තිබුණේ ආත්මිකව මියගොස් සිටි තත්වයකයි. (එළිදරව් 3:1-6, NW කියවන්න.) තියාතීරාවට කිලෝමීටර් 50ක් පමණ දකුණින් පිහිට සර්දිස් ඉතා සමෘද්ධිමත් නගරයක් විය. වෙළඳ කටයුතු නිසා, ප්‍රාදේශීය වශයෙන් භූමිය ඉතා සරු වූ නිසා හා ලොම් රෙදි සහ බුමුතුරුණු නිෂ්පාදනය නිසා එම නගරය ඉතා ධනවත් නගරයක් වූ අතර, එක් කලෙක එහි වැසියෝ 50,000ක් පමණ වාසය කළහ. ඉතිහාසඥ ජොසීෆස් පවසන පරිදි, පො.යු.පෙ. පළමු සියවසේදී සර්දිස් නගරයේ විශාල යුදෙව් ප්‍රජාවක් සිටියෝය. නගරයේ නටබුන් අතර සිනගෝගයක්ද, එෆීස දේවතාවියක වූ අර්තෙමිස්ගේ දේවාලයක්ද විය.

9. අපගේ සේවා ක්‍රියාකාරකම් යාන්ත්‍රික තත්වයක තිබේ නම් අප කළ යුත්තේ කුමක්ද?

9 සර්දිස් සභාවේ දූතයාට ක්‍රිස්තුස් පැවසුවේ මෙසේයි. “මම ඔබේ ක්‍රියා දනිමි. ඔබ ජීවමානයයි නම් දැරුවත් ඔබ මළ බවද මම දනිමි.” අප ආත්මිකව අවදියෙන් සිටින බවට හොඳ කීර්ති නාමයක් ඇතිව සිටින නමුත්, අපි ක්‍රිස්තියානි වරප්‍රසාද අත් කරගැනීම සම්බන්ධයෙන් බොහෝ සෙයින් නිදිබරව සිටින්නෙමු නම් කුමක් කිව හැකිද? අපගේ සේවා ක්‍රියාකාරකම් නිකම්ම යාන්ත්‍රිකව ඉටු කරනවා නම් හා ආත්මිකව “මරණාසන්නව” සිටිනවා නම්, තත්වය කුමක්ද? තත්වය එසේ නම්, අප රාජ්‍ය පණිවුඩය ‘ලැබුවේ හා ඇසුවේ කෙසේද කියා දිගටම සිහියේ තබාගෙන,’ පරිශුද්ධ සේවය තුළ අපගේ ප්‍රයත්නයන් යළිත් පණගැන්විය යුතුය. අප සහතිකවම ක්‍රිස්තියානි රැස්වීම්වලට මුළු හදින්ම සහභාගි වීම ආරම්භ කළ යුතුය. (හෙබ්‍රෙව් 10:24, 25) ක්‍රිස්තුස් සර්දිස්හි සභාවට අනතුරු ඇඟවූයේ මෙසේයි. “ඔබ අවදි වුණොත් මිස, නැතිනම් මම සොරෙකු මෙන් එන්නෙමි. මා ඔබ කරා එන්නේ කුමන පැයේදීද කියා ඔබ කිසිසේත් නොදන්නවා ඇත.” අපගේ දවසට මෙහි ඇති අදාළත්වය කුමක්ද? ඉතා ඉක්මනින්ම ගණන් දීමක් කිරීමට අපට සිදු වෙනවා ඇත.

10. සර්දිස් සභාවේ තිබූ තත්වයට සමාන තත්වයක් තිබුණද, ක්‍රිස්තියානීන් ස්වල්පදෙනෙකු සම්බන්ධයෙන් සැබෑ විය හැක්කේ කුමක්ද?

10 සර්දිස්හි මෙවැනි තත්වයක් තිබුණද, ‘තමුන්ගේ පිට වස්ත්‍ර දූෂ්‍ය කර නොගත්, සුදු පැහැති වස්ත්‍ර පැළඳ ක්‍රිස්තුස් සමඟ ඇවිදීමට’ හැකි ස්වල්පදෙනෙකු සිටිනවා විය හැක. ඔවුන්ට පිළිවන. “මන්ද ඔවුහු ඒවා ලබන්න වටින්නෝය.” ඔවුහු තම ක්‍රිස්තියානි අනන්‍යතාව පවත්වාගනිති. මේ ලෝකයේ සදාචාර හා ආගමික කැළැල්වලින් දූෂ්‍ය නොවී සිටිති. (යාකොබ් 1:27) මෙබැවින්, යේසුස් ‘ඔවුන්ගේ නම් ජීවන පොතෙන් කිසි සේත් මකා නොහැර, තම පියාණන් ඉදිරියෙහිත් ඔහුගේ දූතයන් ඉදිරියෙහිත් ඔවුන්ව හඳුනන බව පිළිගන්නවා ඇත.’ ක්‍රිස්තුස් සමඟ ගමන් කිරීමට වටින්නේයයි ප්‍රකාශ කරනු ලැබ සිටින ඔහුගේ අභිෂේක ලත් අයගෙන් සමන්විත මනාලියගේ පංතිය, දීප්තිමත්, පිරිසිදු, අනර්ඝ හණ රෙදි වස්ත්‍ර පැළඳ සිටින අතර, ඉන් සංකේතවත් වන්නේ දෙවිගේ ශුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය. (එළිදරව් 19:8) ස්වර්ගයේ තමන්ට ලැබෙන්නට යන සුවිශේෂ සේවා වරප්‍රසාද ඔවුන්ව පොලඹවන්නේ මේ ලෝකයෙන් ජය ගැනීමටයි. තවද සදාකාලික භූමික ජීවිතය සඳහා පෙළගැසී සිටින අයද ආශීර්වාද ලබති. ඔවුන්ගේ නාමයන්ද ජීවන පොතේ ලියා ඇත.

11. අප ආත්මිකව නිදිකිරා වැටෙන්නේ නම් කුමක් කළ යුතුද?

11 සර්දිස්හි සභාවේ තිබූ ඛේදජනක ආත්මික තත්වයට වැටෙන්නට අපෙන් කිසිවෙකුට වුවමනා නැත. එහෙත්, අප ආත්මිකව නිදාකිරා වැටෙන තත්වයක සිටින බව අපටම පෙනීයන්නේ නම් කළ යුත්තේ කුමක්ද? අපගේම යහපත තකා අප වහාම ක්‍රියාත්මක විය යුතුයි. අප අභක්තික මාර්ගවලට ඇදී යනවා කියා හෝ අපේ රැස්වීම්වලට පැමිණීම හෝ ක්ෂේත්‍ර සේවයේ සහභාගි වීම නොසලකා හරිනවා කියා හෝ සිතමු. එසේනම්, ඉතා උනන්දුවෙන් යාච්ඤා කර අපි යෙහෝවාගේ උපකාර පතමු. (පිලිප්පි 4:6, 7, 13) අපගේ දිනපතා බයිබල් කියවීම, ශුද්ධ ලියවිලි සහ ‘විශ්වාසවන්ත ගබඩාකාරයාගේ’ ප්‍රකාශන අධ්‍යයනය කිරීම අපගේ ආත්මික අවදියට දායක වෙයි. (ලූක් 12:42-44) එවිට ක්‍රිස්තුස්ගේ අනුමැතිය තිබූ සර්දිස්හි සිටි අයට අප සමාන වනු ඇති අතර, අප අපගේ සෙසු ඇදහිලිවන්තයන්ට ආශීර්වාදයක් වෙනවා ඇති.

ෆිලදෙල්ෆියාවේ දූතයාට

12. ඉපැරණි ෆිලදෙල්ෆියාවේ ආගමික තත්වය ඔබ විස්තර කරන්නේ කෙසේද?

12 යේසුස් ෆිලදෙල්ෆියාවේ සභාවට ප්‍රශංසා කළේය. (එළිදරව් 3:7-13, NW කියවන්න.) ෆිලදෙල්ෆියාව (දැන් අලෂහිර්) වනාහි බටහිර කුඩා ආසියාවේ වයින් නිෂ්පාදනය කෙරෙන සමෘද්ධිමත් ප්‍රදේශයක මධ්‍යස්ථානය විය. ඇත්තෙන්ම, එහි ප්‍රධාන දේවතාවා වූ ඩයනයිසස්, වයින්වල දෙවියා විය. මෝසෙස්ගේ නීතියේ ඇතැම් චාරිත්‍ර දිගටම පැවැත්වීම සඳහා හෝ ඒවා වෙත නැවත ඇදී යෑම පිණිස යුදෙව් ක්‍රිස්තියානීන්ට ඒත්තුගැන්වීමට ෆිලදෙල්ෆියාවේ විසූ යුදෙව්වන් දැරූ ප්‍රයත්නය අසාර්ථක වූ බවක් පෙනෙන්නට තිබේ.

13. ක්‍රිස්තුස් “දාවිත්ගේ යතුර” පාවිච්චි කර ඇත්තේ කෙසේද?

13 “දාවිත්ගේ යතුර” ක්‍රිස්තුස් සතුව ඇති අතර, මේ නිසා, රාජ්‍යය පිළිබඳව සියලුම කාරණා කටයුතුද, ඇදහිල්ලේ පවුලේ පරිපාලනයද ඔහුට භාර කර තිබේ. (යෙසායා 22:22; ලූක් 1:32) ඉපැරණි ෆිලදෙල්ෆියාවේ සහ වෙනත් තැන්වල ක්‍රිස්තියානීන්හට රාජ්‍යය හා බැඳි ප්‍රස්තා හා වරප්‍රසාද විවෘත කරන්නට යේසුස් එම යතුර පාවිච්චි කළේය. වර්ෂ 1919 පටන් රාජ්‍යය පිළිබඳව දේශනා කිරීම පිණිස කිසිවෙකුට වැසිය නොහැකි “විශාල දොරක්” ‘විශ්වාසවන්ත ගබඩාකාරයා’ ඉදිරියේ විවෘත කර ඇත. (1 කොරින්ති 16:9, NW; කොලොස්සි 4:2-4, NW) ඇත්තවශයෙන්ම, රාජ්‍ය වරප්‍රසාද සඳහා වූ මෙම දොර “සාතන්ගේ සිනගෝගයේ” සිටින අයට වැසී තිබේ. මන්ද ඔවුන් ආත්මික ඊශ්‍රායෙල්වරුන් නොවන නිසාය.

14. (අ) ෆිලදෙල්ෆියාවේ සභාවට යේසුස් දුන් පොරොන්දුව කුමක්ද? (ආ) ‘පරීක්ෂාවේ පැයේදී’ නොවැටී සිටීමට අපට හැක්කේ කෙසේද?

14 ඉපැරණි ෆිලදෙල්ෆියාවේ ක්‍රිස්තියානීන්හට යේසුස් මෙම පොරොන්දුව දුන්නේය. “මාගේ විඳදරාගැනීම ගැන වූ වචනය ඔබ රක්ෂා කළ නිසා, පොළොවේ වාසය කරන අයව පරීක්ෂා කරන පිණිස මුළු පොළොව පිටට එන්න තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබව රක්ෂා කරන්නෙමි.” දේශනා කිරීමට යේසුස් විඳදරාගත් ආකාරයේ විඳදරාගැනීමක් අවශ්‍ය කරයි. ඔහු කිසි විටෙකත් සතුරාට ඉඩ දුන්නේ නැති අතර, නොකඩවාම කළේ පියාණන්ගේ කැමැත්තයි. එමනිසා, ක්‍රිස්තුස්ව අමරණීය ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටුවන ලදි. යෙහෝවාට නමස්කාර කිරීමට වූ අපගේ තීරණයට අප ඇලී සිට දේශනා කිරීම තුළින් රාජ්‍යයට සහයෝගය දක්වන්නේ නම්, අපි මෙම වර්තමාන පරීක්ෂණ සහිත කාල පරිච්ඡේදයේදී එනම් ‘පරීක්ෂාවේ පැයේදී’ නොවැටී ආරක්ෂා වන්නෙමු. එම රාජ්‍ය කාරණා කටයුතු වැඩිදියුණු කිරීමට යත්න දැරීම මගින් අප ක්‍රිස්තුස්ගෙන් ‘අපට ලැබී තිබෙන දේට දිගටම ඇලී සිටිනු ඇත.’ මෙසේ කිරීමෙන්, අභිෂේක ලත් අයට මිල කළ නොහැකි ස්වර්ගික ඔටුන්නකුත්, ඔවුන්ගේ පක්ෂපාත සහයකයන්ට සදාකාලික භූමික ජීවිතය ලැබීමත් ප්‍රතිඵල වෙයි.

15. “දෙවිගේ මාළිගාවෙහි කණු” වන අයගෙන් අවශ්‍ය කරන්නේ කුමක්ද?

15 ක්‍රිස්තුස් තවදුරටත් මෙසේ කියයි. “ජයගන්නාව මාගේ දෙවිගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි. . . . මම මාගේ දෙවිගේ නාමයද, මාගේ දෙවි කෙරෙන් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද, මාගේ අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.” අභිෂේක ලත් අවේක්ෂකයන් සැබෑ නමස්කාරයට පක්ෂව කටයුතු කළ යුතුය. ඔවුන් ‘නව යෙරුසලෙමේ’ සාමාජිකත්වය සඳහා පෙළගැසී සිටිය යුතු අතර, එසේ සිටිය යුත්තේ දෙවි ගැන දේශනා කිරීමෙන් සහ ආත්මික ලෙස පවිත්‍රව සිටීමෙනි. මහිමාන්විත ස්වර්ගික දේවමාළිගාවේ කණු වීමට ඔවුන්ට වුවමනා නම් සහ ස්වර්ගික පුරවැසියන් වශයෙන් දෙවිගේ නුවරෙහි නාමය දැරීමට හා ක්‍රිස්තුස්ගේ මනාලිය වශයෙන් ඔහුගේ නම දැරීමට ඔවුන්ට වුවමනා නම්, මෙය අනිවාර්යය. තවද, ‘ආත්මය සභාවට පවසන දේට සවන් දෙන කන්’ ඔවුන්ට තිබීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

ලවොදිසීයේ දූතයාට

16. ලවොදිසීය සම්බන්ධ ඇතැම් සත්‍ය කරුණු මොනවාද?

16 ක්‍රිස්තුස්, ලවොදිසීයේ තිබූ අලස සභාවට අවවාද කළේය. (එළිදරව් 3:14-22, NW කියවන්න.) එෆීසයේ සිට නැඟෙනහිරට කිලෝමීටර් 150ක දුරකින්, ලයිකස් නදියේ සාරවත් නිම්නයේ ප්‍රධාන වෙළඳ මාවත් හමු වන මංසන්ධියක පිහිටි ලවොදිසීය, ඉතා සමෘද්ධිමත් කර්මාන්ත පුරයක් හා මුදල් ගනුදෙනු කළ මධ්‍යස්ථානයක් විය. එම ප්‍රදේශයේ කළු ලොම්වලින් සකස් කළ නිමි ඇඳුම් ඉතා ප්‍රසිද්ධ ඒවා විය. සුප්‍රකට වෛද්‍ය පාසැලකින් සමන්විත නගරයක් වූ ලවොදිසීයේ ෆ්‍රිජියන් කුඩු නමින් හැඳින්වෙන නේත්‍රාලේපය නිපදවූවා විය හැකියි. වෛද්‍ය විද්‍යාවේ දෙවියා වූ අස්ක්ලෙපියුස්, නගරයේ ප්‍රධාන දෙවියෙක් විය. ලවොදිසීයේ යුදෙව්වන් ගණනාවක්ම ජීවත් වූ බවක් පෙනෙන්නට ඇති අතර, ඔවුන්ගෙන් ඇතමෙකු සෑහෙන ධනවතුන්ව සිටි බවද පෙනී යයි.

17. ලවොදිසීයන්ට අවවාද කරනු ලැබුවේ මන්ද?

17 ලවොදිසී සභාවේ “දූතයා” තුළින් එම සභාව අමතමින් යේසුස් අධිකාරිත්වයක් සමඟින් කතා කරන්නේ, “විශ්වාසවන්ත සහ සැබෑ සාක්ෂිකරු” හා “දෙවිගේ මැවිල්ලේ පටන්ගැන්ම” වශයෙනි. (කොලොස්සි 1:13-16, NW) ලවොදිසීයන් ආත්මික වශයෙන් ‘ශීතලවවත් උෂ්ණවවත්’ නොසිටි නිසා ඔවුන්ට අවවාද කෙරිණි. ඔවුන් ඇල්මැරී සිටි බැවින්, ක්‍රිස්තුස් ඔවුන්ව තම මුඛයෙන් වමාරන්නට සැරසී සිටියේය. යේසුස් යොදාගනිමින් තිබූ උපහැරණය තේරුම්ගැනීමට ඔවුන්ට අමාරු නොවූවා විය යුතුයි. යාබදව පිහිටි හියරපොලිසෙහි උණු දිය උල්පත් තිබූ අතර, කොලොස්සියේ සිසිල් දිය තිබිණි. කෙසේවෙතත්, ලවොදිසීය කරා බට මගින් සෑහෙන දුරකට වතුර යැවීමට තිබුණු බැවින් නගරය කරා වතුර ළඟා වෙන විට ඒවා බොහෝදුරට ඇල්මැරී තිබුණා විය හැකියි. වතුර මාර්ගයේ අඩක් දක්වා වතුර ගමන් කළේ ජල පීල්ලක් දිගේය. ලවොදිසීයට කිට්ටු වෙද්දී, වතුර ගලා ගියේ බදාම දමා එකට බැඳ තැබූ ගල් කැබලි අතරිනි.

18, 19. ලවොදිසීයේ සිටි අයට සමාන වූ වර්තමාන ක්‍රිස්තියානීන්හට කෙසේ උපකාර කළ හැකිද?

18 ලවොදිසීයේ සිටි පුද්ගලයන් බඳු අදදින සිටින අය දිරිගැන්වීමක් ලබා දෙන උණුසුම් අයවත් ප්‍රබෝධයක් ලබා දෙන ශීතලවූ අයවත් නොවේ. ඔවුන්ව ඇල් මැරුණු වතුර මෙන්, ඉවත දමනවා ඇත! ‘ක්‍රිස්තුස් වෙනුවෙන් අභිෂේක ලත් තානාපතියන්’ වශයෙන් එනම් තමා වෙනුවෙන් කතා කරන්නන් ලෙස යේසුස්ට එවැනි අයව වුවමනා නැත. (2 කොරින්ති 5:20, NW) ඔවුන් පසුතැවිලි වෙන්නේ නැත්නම්, රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන් ඔවුන් තම වරප්‍රසාදය අහිමි කරගනු ඇත. ලවොදිසීය වැසියන් භූමික සැපසම්පත් සෙවූ අතර, තමන් ‘කාලකණ්ණිව, අනුකම්පා ලැබිය යුතුව, දිලිඳුව, අන්ධව සහ නිර්වස්ත්‍රව සිටින බව දැනසිටියේ නැත.’ අද දින ඔවුන්ට සමාන තත්වයක සිටින ඕනෑම අයෙකු, තමන්ගේ ආත්මික දිලිඳුකම, අන්ධභාවය සහ නිර්වස්ත්‍රකම ඉවත් කරගැනීමට, සෝදිසි කරන ලද ඇදහිල්ල නමැති ‘ගින්නෙන් පවිත්‍ර කරන ලද රන්ද,’ ධර්මිෂ්ඨකම නමැති ‘සුදු පැහැති පිට වස්ත්‍රද,’ ආත්මික දෘෂ්ටිය වැඩි කරන ‘නේත්‍රාලේපයද’ ක්‍රිස්තුස්ගෙන් මිලට ගත යුතුය. ක්‍රිස්තියානි අවේක්ෂකයන් ඔවුන්ට තම ආත්මික අවශ්‍යතා ගැන සාවධාන වීමට උපකාර කිරීමට සතුටු වන අතර, එවිට ඔවුන්ට ‘ඇදහිල්ලෙන් ධනවත්’ විය හැකියි. (යාකොබ් 2:5; මතෙව් 5:3, NW) එපමණක්ද නොව, අවේක්ෂකයන් ඔවුන්ට ආත්මික “නේත්‍රාලේප” ගා ගැනීමට සහය විය යුතුයි. එනම්, යේසුස්ගේ ඉගැන්වීම්, උපදෙස්, ආදර්ශය හා මානසික ආකල්පය පිළිගෙන ඊට අනුකූල වීමට ඔවුන්ට සහය විය යුතුයි. මෙය වනාහි ‘මාංසයේ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව හා තමා සතු දේපළ ප්‍රදර්ශනය කිරීම’ මර්ධනය කර සුවය ගෙන දෙන ප්‍රතිකාරයකි.—1 යොහන් 2:15-17, NW.

19 යේසුස් තමන් ස්නේහය දක්වන සියල්ලන්ට අවවාද කර, හික්මවයි. ඔහු යටතේ සිටින අවේක්ෂකයන් මුදුමොළොක්බවින් යුතුව එම දේම කළ යුතුය. (ක්‍රියා 20:28, 29) ලවොදිසීය වැසියන් ‘ජ්වලිත වී පසුතැවිලි වී’ තමන්ගේ සිතිවිලිවල හා ජීවන මාර්ගයේ වෙනස්කම් කළ යුතුව තිබිණි. ඇත්තටම කියනවා නම්, අපගෙන් සමහරදෙනෙකු එක්තරා ජීවිත රටාවකට කොටු වී දෙවිට කරන පරිශුද්ධ සේවයට ඉතා අඩු තැනක්ද දී තිබෙන්නේ? එසේ නම්, අපි ‘ක්‍රිස්තුස්ගෙන් නේත්‍රාලේප’ මිලට ගනිමු. එවිට, ජ්වලිත ලෙස පළමුකොට රාජ්‍යය සෙවීමේ වැදගත්කම අපට දැකගත හැකියි.—මතෙව් 6:33.

20, 21. අදදින යේසුස්ගේ ‘තට්ටු කිරීමට’ නිසි ලෙස ප්‍රතිචාරය දක්වමින් සිටින්නේ කවුරුන්ද? තවද ඔවුන්ගේ අපේක්ෂාවන් මොනවාද?

20 ක්‍රිස්තුස් මෙසේ කියයි. “බලන්න! මම දොර ළඟ සිටගෙන තට්ටු කරමි. යමෙක් මගේ කටහඬ අසා දොර අරින්නේ නම්, මම ඔහුගේ ගෙට ඇවිත් ඔහු සමඟ සන්ධ්‍යා භෝජනය ගන්නෙමි. ඔහුද මා සමඟ කන්නේය.” යේසුස් බොහෝවිට ආත්මික උපදෙස් දුන්නේ ආහාර ගන්නා විටයි. (ලූක් 5:29-39; 7:36-50; 14:1-24) දැන් ඔහු ලවොදිසී සභාව බඳු සභාවන්ගේ දොරට තට්ටු කරයි. ඒවායේ සිටින සාමාජිකයන් ඔහුගේ තට්ටු කිරීමට ප්‍රතිචාර දක්වා, තමන් තුළ ඔහු කෙරෙහි ඇති ස්නේහය යළි පුබුදුවා, ඔහුව තමන් අතරට සාදරයෙන් පිළිගෙන, තමන්ට උගන්වන්නට ඔහුට ඉඩහරීවිද? ඔවුන් එසේ කරනවා නම්, ක්‍රිස්තුස් ඔවුන් සමඟ මහත් මංගල්‍යයක් භුක්ති විඳිනු ඇත්තේ ඔවුන්ට ඉමහත් ආත්මික ප්‍රයෝජන ලබා දෙමිනි.

21 අදදින ‘වෙනත් බැටළුවන්’ සංකේතාත්මකව යේසුස්ට තමන්ගේ සභාවට එන්නට ඉඩ දෙන අතර, එවන් ක්‍රියා සදාකාල ජීවනයට හේතු වේ. (යොහන් 10:16; මතෙව් 25:34-40, 46) ජයගන්නාවූ සෑම අභිෂේක ලත් කෙනෙකුටම, ක්‍රිස්තුස් ‘ජයගෙන, ඔහුගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, තමාගේ සිංහාසනයෙහි හිඳගැනීමේ’ වරප්‍රසාදය දානය කරනවා ඇත. එසේය, යේසුස් අභිෂේක ලත් ජයගන්නන්ට පොරොන්දු වෙන්නේ ස්වර්ගයේ තමාගේ පියාගේ දකුණු පැත්තේ සිංහාසනයක වාඩිවීම නමැති ශ්‍රේෂ්ඨ විපාකයයි. තවද ජයගන්නාවූ වෙනත් බැටළුවෝද රාජ්‍ය පාලනය යටතේ පොළොව මත ඉතා පුදුමාකාර ස්ථානයක් අපේක්ෂාවෙන් සිටිති.

අප සියල්ලන්ටම පාඩම්

22, 23. (අ) සභා සතට යේසුස් පැවසූ වචනවලින් සියලු ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද? (ආ) අපේ අදිටන විය යුත්තේ කුමක්ද?

22 කුඩා ආසියාවේ සභා සතට යේසුස් කී වචනවලින් සියලු ක්‍රිස්තියානීන්ට ඉමහත් ප්‍රයෝජන ගත හැකි බවට කිසිදු සැකයක් නැත. නිදසුනක් වශයෙන්, ක්‍රිස්තුස් සුදුසු ලෙස ප්‍රශංසා කළ බව දකින ප්‍රේමණීය ක්‍රිස්තියානි වැඩිමහල්ලෝ, ආත්මිකව දේවල් හොඳින් කරමින් සිටින පුද්ගලයන්ට හා සභාවන්ට ප්‍රශංසා කිරීමට පෙලඹෙති. දුර්වලකම් දකින විට, වැඩිමහල්ලෝ තම සෙසු ඇදහිලිවන්තයන්ට ශුද්ධ ලියවිල්ලේ දී ඇති පිළියම් අදාළ කරගැනීමට උපකාර කරති. ක්‍රිස්තුස් සභා සතට දුන් නොයෙක් උපදෙස්වල විවිධ පැති ගැන අප අප්‍රමාදව හා යාච්ඤාපූර්වකව සිතා බලනවා නම්, අප සියල්ලන්ටම දිගටම ප්‍රයෝජන ගත හැකියි. *

23 මෙම අන්තිම දවස් යනු උදාසීන වීමටවත්, ද්‍රව්‍යවාදය ලුහුබැඳීමට හෝ දෙවිට කරන සේවය ඔහේ යාන්ත්‍රිකව කිරීමට අපට හේතු කරවිය හැකි වෙන යම් ඕනෑම දෙයකට ඉඩ දීමටවත් කාලය නොවෙයි. එමනිසා සියලු සභාවෝ, යේසුස් අඛණ්ඩව රක්ෂා කරන පහන් රුක් ලෙස දිගටම බැබළෙත්වා! ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් වශයෙන් අපි ක්‍රිස්තුස් කතා කරන විට අවධානය දීමටත්, ආත්මය කතා කරන විට සවන් දීමටත් සෑමවිටම අදිටන් කරගනිමු. එවිට යෙහෝවාගේ මහිමය උදෙසා ආලෝකය දරන්නන් වීමේ දිගුකාලීන ප්‍රීතිය අපට තිබෙනවා ඇත.

[පාදසටහන්වල]

^ 22 ඡේ. එළිදරව් 2:1–3:22 දක්වා වූ කොටස, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! නමැති පොතේ 7 සිට 13 දක්වා පරිච්ඡේදවලද සාකච්ඡා කොට තිබේ.

ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

• “යෙසබෙල් නම් ඒ ස්ත්‍රිය” කවුරුන් වීද? දේවභක්තික ස්ත්‍රීන් ඇයව අනුකරණය නොකරන්නේ මන්ද?

• සර්දිස් සභාවේ තිබූ තත්වය කුමක්ද? එහි ජීවත් වෙමින් සිටි ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුගේ තත්වයට පත්වීමෙන් වැළකීමට අපට කළ හැක්කේ කුමක්ද?

• යේසුස් ෆිලදෙල්ෆියාවේ සභාවට දුන් පොරොන්දු මොනවාද? ඒවා අදදිනට අදාළ වන්නේ කෙසේද?

• ලවොදිසීයන්ට අවවාද කළේ මන්ද? එහෙත් ජ්වලිත ක්‍රිස්තියානීන් ඉදිරියේ තබා තිබෙන අපේක්ෂාවන් කවරේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

‘යෙසබෙල් නම් වූ ඒ ස්ත්‍රියගේ’ නපුරු මාර්ගවලින් වැළකී සිටිය යුතුයි

[18වන පිටුවේ පින්තූර]

යේසුස් සිය අනුගාමිකයන් ඉදිරියෙහි රාජ්‍ය වරප්‍රසාදවලට මඟ පාදන “විශාල දොරක්” විවෘත කර තිබේ

[20වන පිටුවේ පින්තූරය]

ඔබ යේසුස්ව සාදරයෙන් පිළිගෙන ඔහුට සවන් දෙන්නෙහිද?