Skip to content

පටුනට යන්න

එක් එක්කෙනා තම තමාගේ අත්තික්කා ගස යට වාසය කරනු ඇත

එක් එක්කෙනා තම තමාගේ අත්තික්කා ගස යට වාසය කරනු ඇත

එක් එක්කෙනා තම තමාගේ අත්තික්කා ගස යට වාසය කරනු ඇත

මැද පෙරදිග අධික උෂ්ණත්වයක් පවතින ගිම්හාන කාලයේදී සෙවණ ලැබීම ඉතා අසීරුයි. හිරු රැස් වළක්වමින් සෙවණ දෙන ඕනෑම ගහක්, විශේෂයෙන්ම එය කෙනෙකුගේ නිවස අසල වැඩේ නම් එය ඉතා අගනේය. විශාල, පළල් කොළ සහ දසත විහිද ගිය අතු සහිත අත්තික්කා ගස එම පළාතේ ඇති අන් සැම ගසකටම වඩා හොඳින් සෙවණ ලබා දෙන ගසකි.

ප්ලාන්ට්ස් ඔෆ් ද බයිබල් නම් පොතට අනුව “[අත්තික්කා ගසක] සෙවණ කූඩාරමකට වඩා නැවුම් හා සිසිල ගෙන දෙන තැනක් බව පැවසේ.” පැරණි ඊශ්‍රායෙලයේ මිදිවතු අද්දර වැඩුණු අත්තික්කා ගස් ක්ෂේත්‍රයේ වැඩ කරන්නන්ට ටිකක් විවේකගැනීමට කදිම ස්ථානයන් විය.

දැඩි හිරු රශ්මිය තිබූ දිනක නිමාවේදී පවුල් සාමාජිකයන්ට තම අත්තික්කා ගස යට ඉඳගෙන අල්ලාප සල්ලාපයේ යෙදීමට පුළුවන් විය. එපමණක් නොව, අත්තික්කා ගස තම හිමිකරුට පෝෂ්‍යදායී පල බහුල ලෙස සපයා දෙයි. එබැවින්, සාලමොන් රජුගේ කාලයේදී පටන්, තමාගේම අත්තික්කා ගස යට සුවසේ වාසය කිරීම සාමය, සමෘද්ධිය සහ බහුලත්වය නියෝජනය කෙරිණ.—1 රාජාවලිය 4:24, 25.

ඊට සියවස් ගණනකට කලින් අනාගතවක්තෘ මෝසෙස් පොරොන්දු දේශය විස්තර කළේ ‘අත්තික්කා ගස් ඇති දේශයක්’ වශයෙනි. (ද්විතීය කථාව 8:8) ඔත්තුකාරයන් දොළොස්දෙනා අත්තික්කා සහ වෙනත් පලතුරු රැගෙන යළි ඊශ්‍රායෙලිතයන්ගේ කඳවුරට පැමිණීමෙන් එහි තිබූ සාරවත්භාවය සම්බන්ධයෙන් සාක්ෂි සැපයූහ. (ගණන් කථාව 13:21-23) දහනවවන සියවසේදී බයිබල් දේශවල සංචාරය කළ සංචාරකයෙක් වාර්තා කළේ එහි බහුලව තිබූ ගස් අතරේ අත්තික්කා ගසද බහුලව දකින්න තිබූ බවය. එසේනම් ශුද්ධ ලියවිලි තුළ අත්තික්කා ගෙඩි සහ අත්තික්කා ගස් ගැන බොහෝවිට සඳහන්ව තිබීම පුදුමයක්ද!

දෙවරක් අස්වැන්න ලබා දෙන ගසක්

පස්වර්ග බොහෝමයකට ඔරොත්තු දෙන අත්තික්කා ගසේ මුල් පද්ධතිය පුළුල්ව ව්‍යාප්ත වී තිබෙන නිසා මැදපෙරදිග පවතින ශූෂ්ක ගිම්හාන කාලවලදීද දිගු කලක් පැවතීමට එයට හැකියි. මෙම ගස ජූනි මාසයේදී මුල් අස්වැන්න සපයන අතර අගෝස්තු මාසයේ සිට සාමාන්‍යයෙන් ප්‍රධාන ඵලදාව සපයයි. (යෙසායා 28:4) ඊශ්‍රායෙල්වරු සාමාන්‍යයෙන් මුල් පලදාව අනුභව කළේ අලුත් තත්වයේම තිබියදීමය. මුළු වසර පුරාම ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔවුහු පසු පලදාව වියළා තබාගත්හ. වියළි අත්තික්කා ගෙඩි පොඩි කර අතිරහවල හැඩය මෙන් කැවිලි වර්ගයක් සාදාගත හැකි වූ අතර සමහර අවස්ථාවලදී ඊට රට කොට්ටම්ඹාද එකතු කළේය. පහසුවෙන් රැගෙන යා හැකි මෙම අත්තික්කා කැවිලි වර්ගය පෝෂ්‍යදායී රසවත් ආහාරයකි.

අබිගායිල් නම් නුවණැති ස්ත්‍රිය වියළි අත්තික්කාවලින් සෑදූ මෙම කැවිලි 200ක් දාවිත්ට දෙන්න ඇත්තේ පලා යමින් සිටියවුන්ට එය කදිම ආහාරයක් වේයැයි සිතූ බැවින් විය යුතුයි. (1 සාමුවෙල් 25:18, 27) පොඩි කළ වියළි අත්තික්කාවල ඖෂධීය ගුණයක්ද තිබිණ. හෙසකියා රජුගේ සුවවීම ප්‍රධාන වශයෙන්ම සිදු වූයේ දිව්‍යමය මැදිහත් වීම හේතුකොටගෙන වුවත් ඔහුගේ ජීවිතයට තර්ජනයක්ව තිබූ ගඩුවකට වියළි අත්තික්කා පොඩි කර සාදාගත් තලපයක් දමන ලදි. *2 රාජාවලිය 20:4-7.

ඈත අතීතයේදී, මධ්‍යධරණී පළාත් පුරා වියළි අත්තික්කා බෙහෙවින් අගය කරනු ලැබීය. කාර්තේජ්ට එරෙහිව තුන්වන ෆිනිසියානු යුද්ධය දියත් කරන්නැයි රෝම සෙනෙට් සභාවට ඒත්තුගැන්වීම සඳහා කේටෝ ආණ්ඩුකාරයා ඔවුන්ට අත්තික්කා ගෙඩියක් පෙන්නුවේය. රෝමයට හොඳම වියළි අත්තික්කා ගෙන ආවේ සුළු ආසියාවේ කරියාවලිනි. මෙබැවින්, වියළි අත්තික්කා සඳහා ලතින් නාමය කරිකා බවට පත් විය. දැනටත් හොඳම වර්ගයේ වියළි අත්තික්කා නිපදවන්නේ වත්මනයේ තුර්කිය ලෙසින් හැඳින්වෙන එම පළාතේමය.

ඊශ්‍රායෙල් වැවිළිකරුවන් බොහෝවිට මිදිවතුවල අත්තික්කා ගස් සිටෙවූ නමුත් පල නොදරන ගස් කපා දමනු ලැබීය. හොඳ පස් විරල බැවින් පල නොදරන ගස් වෙනුවෙන් ඔවුහු පස නාස්ති නොකළහ. පල නොදරන අත්තික්කා ගසක් පිළිබඳ යේසුස්ගේ නිදර්ශනයේදී වැවිළිකරුවා මිදිවත්ත බලාගන්නාට කීවේ මෙසේය. “මා දැන් අවුරුදු තුනක්ම මේ අත්තික්කා ගසේ පල සොයා ආ නමුත් මට එකක්වත් සම්බ නොවීය. එය කපා දමන්න! එය නිසා පොළොවෙන් කිසි ප්‍රයෝජනයක් නොගෙන සිටිය යුත්තේ කුමටද?” (ලූක් 13:6, 7, NW) යේසුස්ගේ කාලයේ පලතුරු ගස්වලට බද්දක් අය කළ නිසා පල නොදරන සියලුම ගස් ආර්ථිකමය වශයෙන් අනවශ්‍ය බරක් ලෙසද ගණන් ගැනිණ.

ඊශ්‍රායෙල් වැසියන්ගේ ආහාරයට අත්තික්කා නැතුවම බැරි එකක් විය. එබැවින්, අඩු අත්තික්කා අස්වැන්න සමහරවිට යෙහෝවාගෙන් අයහපත් විනිශ්චයක් ලැබීම හා සම්බන්ධව තිබූ විපත්තිදායක එකක් වන්න ඇත. (හොෂෙයා 2:12; ආමොස් 4:9) ප්‍රොපේත හබක්කුක් මෙසේ පැවසීය. “අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳ දමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි යෙහෝවා කෙරෙහි සන්තෝෂ වන්නෙමි. මාගේ ගැලවීමේ දෙවි කෙරෙහි ප්‍රීතිමත් වන්නෙමි.”—හබක්කුක් 3:17, 18.

නොඇදහිලිකාර ජාතියක් සම්බන්ධයෙන් සංකේතය

ශුද්ධ ලියවිලිවල සමහරවිට අත්තික්කා පල හෝ අත්තික්කා ගස් සංකේතමය වශයෙන් යොදා තිබේ. උදාහරණයක් වශයෙන්, වහල්භාවයේ සිටි ඇදහිලිවන්ත යුදෙව්වන්ව යෙරෙමියා හොඳ පලතුරු සහිත කූඩයක් හා සන්සන්දනය කළේය. එනම් සාමාන්‍යයෙන් අලුතෙන්ම තිබියදී අනුභවයට ගත් මුල් අත්තික්කා පලදාවටය. කෙසේවුවද, වහල්භාවයේ සිටි නොඇදහිලිවන්තයන්ව නරක අත්තික්කාවලට සමාන කළේය. කෑමට ගත නොහැකි වූ මේවා ඉවත ලෑමට සිදුව තිබිණ.—යෙරෙමියා 24:2, 5, 8, 10.

පල නොදරන අත්තික්කා ගස පිළිබඳ නිදර්ශනයේදී, දෙවි යුදෙව් ජාතිය ගැන ඉවසන බව යේසුස් පෙන්නුම් කළේය. ඉහත සඳහන් කළ පරිදි, අත්තික්කා ගසක් තිබූ මිදිවත්තක් සතුව සිටි එක්තරා මිනිසෙකු ගැන ඔහු කතා කළේය. වසර තුනක් ගස පල නොදරා තිබූ නිසා අයිතිකරු තීරණය කර තිබුණේ එය කපා දැමීමටය. එහෙත් මිදිවත්ත බලාගන්නා මෙසේ පැවසීය. “ස්වාමිනි, මා එය වට කර හාරා පොහොර දමන තෙක් මේ අවුරුද්දෙත් එය තිබෙන්න ඉඩහරින්න. ඉන්පසු එය අනාගතයේදී පල දැරුවොත් හොඳය. නැත්නම් ඔබ එය කපා දමන්න.”—ලූක් 13:8, 9, NW.

යේසුස් මෙම නිදර්ශනය දෙන විට ඔහු යුදෙව් ජාතියේ සාමාජිකයන් තුළ ඇදහිල්ල වර්ධනය කිරීමට වෑයම් දරමින් වසර තුනක් දේශනා සේවයේ යෙදී තිබිණ. සංකේතමය අත්තික්කා ගසට, එනම් යුදෙව් ජාතියට “පොහොර” දමමින් යේසුස් තම ක්‍රියාකාරකම් වේගවත් කළේ ඔවුන්ට පල දැරීමට අවකාශ සලසමිනි. කෙසේවුවද, යේසුස් මිය යෑමට පෙර සතියේ, ඔවුන් ජාතියක් හැටියට මෙසියස්ව ප්‍රතික්ෂේප කර තිබුණ බව ප්‍රත්‍යක්ෂ විය.—මතෙව් 23:37, 38.

එම ජාතියේ ආත්මික තත්වය නරක අතට හැරී තිබුණ බව පෙන්වීමට යේසුස් යළිත් අත්තික්කා ගස යොදාගත්තේය. තම මරණයට පෙර බෙතානියේ සිට යෙරුසලම දක්වා ගමන් කරන අතරතුරේදී කිසිම පලයක් නොමැතිව කොළවලින් බර වූ අත්තික්කා ගසක් ඔහු දුටුවේය. මුල්ම අත්තික්කා පල පැමිණෙන්නේ කොළ සමඟ හෝ කොළ හටගැනීමටත් පළමුව බැවින්, ගසේ පල නොතිබීමෙන් ඇඟවූයේ ඉන් පලක් නොවූ බවය.—මාක් 11:13, 14. *

සරුබවක් දිස් වූ පල නොදැරූ අත්තික්කා ගස මෙන් යුදෙව් ජාතියටද තිබුණේ මුළා කරවන බාහිර පෙනුමකි. දේවභක්තික පල නොදැරූ ඔවුහු අන්තිමේදී යෙහෝවාගේම පුත්‍රයාවද ප්‍රතික්ෂේප කළහ. යේසුස් වඳ අත්තික්කා ගසට ශාප කළ අතර පසු දින එය මැලවී තිබෙන බව ගෝලයෝ දුටුවෝය. එම වියළී ගිය ගසෙන් සලකුණු වූයේ දෙවි තම තෝරාගත් ජාතිය වන යුදෙව්වන්ව නොබෝ කලකින් ප්‍රතික්ෂේප කරන බවය.—මාක් 11:20, 21, NW.

‘අත්තික්කා ගසෙන් ඉගෙනගන්න’

යේසුස් ඔහුගේ පැමිණ සිටින කාලය ගැන වැදගත් පාඩමක් ඉගැන්වීමටද අත්තික්කා ගස භාවිත කළේය. ඔහු මෙසේ පැවසීය. “දැන් අත්තික්කා ගස නිදසුනක් ලෙස ගෙන මේ කරුණ ඉගෙනගන්න: එහි අලුතින් වැඩුණු අත්ත මෘදු වී දළු ලියලන කල, ගිම්හානය ළඟ බව ඔබ දන්නහුය. එලෙසම ඔබත් මේ සියල්ල දකින විට, ඔහු දොරකඩ අසලම බව දැනගන්න.” (මතෙව් 24:32, 33, NW) අත්තික්කා ගසේ දීප්තිමත් කොළ පැහැති කොළ ගිම්හානය පිළිබඳව පැහැදිලි මෙන්ම නොවරදින සලකුණකි. එලෙසම, මතෙව් 24වන පරිච්ඡේදය, මාක් 13වන පරිච්ඡේදය සහ ලූක් 21වන පරිච්ඡේදය තුළ වාර්තා වී ඇති යේසුස්ගේ උතුම් අනාවැකිය, ඔහු දැන් ස්වර්ගික රාජ්‍යයේ බලයෙන් යුක්තව පැමිණ සිටින බවට පැහැදිලි සාක්ෂියක් සපයයි.—ලූක් 21:29-31.

අප තීරණාත්මක කාලයක ජීවත් වන නිසා අත්තික්කා ගසෙන් ඉගෙනගැනීමට අනිවාර්යයෙන්ම අපට අවශ්‍යයි. අප එසේ කර, ආත්මිකව අවදිව සිටිනවා නම්, ශ්‍රේෂ්ඨ පොරොන්දුවේ ඉටුවීම දැකගැනීමේ බලාපොරොත්තුව අපට ඇත. “ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ මුඛය එය වදාළේය.”—මීකා 4:4.

[පාදසටහන්වල]

^ 8 ඡේ. දහනවවන සියවසේ මැදභාගයේදී බයිබල් දේශ නැරඹීමට ගිය ස්වභාව විද්‍යාඥයෙකු වූ එච්. බී. ට්‍රිස්ට්‍රාම් නිරීක්ෂණය කළේ එහි වැසියන් තවමත් ගඩුවලට ප්‍රතිකාර කිරීමට අත්තික්කා තලපයක් දමන බවය.

^ 16 ඡේ. මේ සිද්ධිය සිදු වූයේ බෙත්පාගේ ගම අසලය. එම නමෙහි අර්ථය “මුල් අත්තික්කා නිවස” යන්නය. මෙමඟින් එය මුල් අත්තික්කා බහුල ලෙස නිපදවන ප්‍රදේශයක් වූ බව කියාපායි.