Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස් සභාවන්ට කතා කරයි

ක්‍රිස්තුස් සභාවන්ට කතා කරයි

ක්‍රිස්තුස් සභාවන්ට කතා කරයි

“තම දකුණතෙහි තාරකා සත දරන්නාවූ . . . තැනැත්තා කියන්නේ මෙසේය.”—එළිදරව් 2:1, NW.

1, 2. කුඩා ආසියාවේ සභා සතකට ක්‍රිස්තුස් පැවසූ දෙය ගැන අප උනන්දු විය යුත්තේ ඇයි?

යෙහෝවාගේ ඒකජාතක පුත්‍රයා, එනම් යේසුස් ක්‍රිස්තුස් ක්‍රිස්තියානි සභාවේ නායකයාය. තම අභිෂේක ලත් අනුගාමිකයන්ගේ සභාව නිකැළැල්ව තබාගැනීම පිණිස, ක්‍රිස්තුස් තම මූලිකත්වය මෙහෙයවන්නේ ඔවුන්ට ප්‍රශංසා කිරීමෙන් හා ඔවුන්ව නිවැරදි කිරීමෙනි. (එපීස 5:21-27) එළිදරව් 2 සහ 3වන පරිච්ඡේදවල මේ පිළිබඳව උදාහරණ තිබෙන අතර, කුඩා ආසියාවේ සභා සතකට යේසුස් විසින් යොමු කරන ලද ප්‍රබල ප්‍රේමණීය පණිවුඩ අපට එහි දක්නට ලැබේ.

2 ප්‍රේරිත යොහන් සභාවන් සතට යොමු කරන ලද යේසුස්ගේ වචන අසන්නට පෙරාතුව, ඔහුට ‘ස්වාමීන්ගේ දවසෙහි’ දර්ශනයක් පෙන්වන ලදි. (එළිදරව් 1:10) එම ‘දවස’ ආරම්භ වූයේ 1914දී මෙසියානු රාජ්‍යය පිහිටුවනු ලැබූ අවස්ථාවේදීය. එබැවින් ක්‍රිස්තුස් සභාවන්ට පැවසූ දෙය මෙම අන්තිම දවස්වලටද අතිශයින්ම වැදගත්ය. ඔහුගේ මෙම දිරිගැන්වීම් සහ උපදෙස් අපට මෙම අන්තරාදායක කාලවල සාර්ථකව කටයුතු කිරීමට මහෝපකාරී වෙයි.—2 තිමෝති 3:1-5.

3. ප්‍රේරිත යොහන් දුටු “තාරකා,” “දූතයන්” සහ “රන් පහන් රුක්” යන්නෙහි සංකේතාර්ථ මොනවාද?

3 “රන් පහන් රුක් සත” හෙවත් සභාවන් “අතරෙහි ඇවිදින්නාවූ” “තම දකුණතෙහි තාරකා සත දරන්නාවූ” මහිමාන්විත යේසුස් ක්‍රිස්තුස්ව යොහන් දුටුවේය. මෙම “තාරකා” ‘සභා සතේ දූතයන්ය.’ (එළිදරව් 1:20; 2:1; NW) සමහරක් අවස්ථාවල තාරකාවන්ගෙන් සංකේතවත් කරන්නේ ආත්ම මැවිලි වන දේවදූතයන්වය. නමුත් ආත්ම මැවිලි සඳහා පණිවුඩ වාර්තා කරන්නට ක්‍රිස්තුස් මිනිසෙකුව යොදාගන්නේ නැත. මෙබැවින්, තර්කානුකූල ලෙස මෙම ‘තාරකාවලින්’ අඟවන්නේ ආත්මයෙන් අභිෂේක ලත් අවේක්ෂකයන් හෙවත් වැඩිමහල්ලන්ගේ මණ්ඩලයි. “දූතයන්” යන යෙදුමින් කියාපාන්නේ පණිවුඩකරුවන් වශයෙන් ඔවුන්ගේ කාර්යභාරයයි. දෙවිගේ සංවිධානය ව්‍යාප්ත වී ඇති නිසා, “විශ්වාසවන්ත ගබඩාකාරයා” යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්ට’ අයත් සුදුසුකම් ලත් පුරුෂයන්වද අවේක්ෂකයන් ලෙස පත් කර තිබේ.—ලූක් 12:42-44, NW; යොහන් 10:16.

4. ක්‍රිස්තුස් සභාවන්ට පවසන දෙයට අවධානය යොමු කිරීම මගින් වැඩිමහල්ලන් ප්‍රයෝජන ගන්නේ කෙසේද?

4 “තාරකා” තිබෙන්නේ යේසුස්ගේ දකුණතෙහිය. එනම් ඔහුගේ බලය, පාලනය, අනුග්‍රහය සහ ආරක්ෂාව ඇතුලතය. එමනිසා, ඔවුන් ඔහුට ගණන් දිය යුතුයි. මේ සභා සතේ එක් එක් සභාවට ඔහු පැවසූ වචනවලට අවනත වීම මගින්, වත්මන් වැඩිමහල්ලෝ ඒ හා සමාන තත්වයන් හැසිරවිය යුත්තේ කෙසේද කියා තේරුම්ගනිති. කෙසේවෙතත්, සියලුම ක්‍රිස්තියානීන් දෙවිගේ පුත්‍රයාට සවන් දීම අවශ්‍ය බව නොකිවමනාය. (මාර්ක් 9:7) එබැවින්, ක්‍රිස්තුස් සභාවන්ට කතා කරන විට, ඊට අවධානය යොමු කිරීම මගින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

එෆීසයේ දූතයාට

5. එෆීසය කිනම් ආකාරයේ නගරයක් වීද?

5 යේසුස් එෆීසයේ සභාවට ප්‍රශංසා කර, අවවාද කළේය. (එළිදරව් 2:1-7, NW කියවන්න.) අර්තෙමිස්නම් වූ දෙවඟනගේ දැවැන්ත දේවාලය පිහිටියේ, කුඩා ආසියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි මෙම ධනවත් වාණිජමය හා ආගමික මධ්‍යස්ථානයේය. එෆීස නගරය දුරාචාරයෙන්, බොරු ආගමෙන් හා විජ්ජාවෙන් ගහනව පැවතියද, ප්‍රේරිත පාවුල් සහ වෙනත් අය එම නගරයේ කළ දේවසේවයට දෙවි ආශීර්වාද කළේය.—ක්‍රියා 19වන පරිච්ඡේදය.

6. අදදින පක්ෂපාත ක්‍රිස්තියානීන් ඉපැරණි එෆීසවරුන්ට සමාන වන්නේ කෙසේද?

6 ක්‍රිස්තුස් එෆීසයේ සභාවට ප්‍රශංසා කළේ මෙසේ කියමිනි. “ඔබේ ක්‍රියාද, ඔබේ වෙහෙසීමද, විඳදරාගැනීමද, නපුරු මිනිසුන් ගැන ඔබට ඉවසිය නොහැකි බවද මම දනිමි. එමෙන්ම තමුන් ප්‍රේරිතයන්යයි කියන නමුත් එසේ නොවන අයව ඔබ පරීක්ෂා කොට, ඔවුන් බොරුකාරයන්යයි ඔබ දැනගත් බවද මම දනිමි.” අදදින, යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ගේ සභාවන්ට යහපත් ක්‍රියා, වෙහෙස මහන්සියෙන් කරන වැඩ සහ විඳදරාගැනීම සම්බන්ධයෙන් ඒ හා සමාන වාර්තාවක් තිබේ. ප්‍රේරිතයන් ලෙස සලකනු ලැබීමට කැමැත්තෙන් සිටින බොරු සහෝදරයන්ට ඔවුහු කිසිම බුරුලක් නොදෙති. (2 කොරින්ති 11:13, 26) එෆීසවරුන්ට මෙන්, අදදින පක්ෂපාත ක්‍රිස්තියානීන්ට ‘නපුරු මිනිසුන් ගැන ඉවසන්නට බැරිය.’ යෙහෝවාගේ නමස්කාරයේ පවිත්‍රත්වය පවත්වාගෙන සභාව ආරක්ෂා කිරීම පිණිස, පසුතැවිලි නොවෙන ඇදහිල්ලට එරෙහිව කැරලි ගසන අය සමඟ ඔවුහු ඇසුරු නොකරති.—ගලාති 2:4, 5; 2 යොහන් 8-11.

7, 8. එෆීස සභාවේ පැවති බරපතළ ගැටලුව කුමක්ද? එවන් තත්වයක් හමුවේ අපට කෙසේ කටයුතු කළ හැකිද?

7 එහෙත්, එෆීසයේ ක්‍රිස්තියානීන්ට බරපතළ ගැටලුවක් තිබිණි. ‘මුලින් ඔබ තුළ තිබුණු ප්‍රේමය ඔබ අත්හැර තිබේ යන කාරණාව ඔබට විරුද්ධව මට ඇත’ යයි යේසුස් පැවසීය. සභාවේ සාමාජිකයන් යෙහෝවා සඳහා තමන් තුළ වූ පළමු ප්‍රේමය යළිත් දැල්වීමේ අවශ්‍යතාවක් තිබිණි. (මාක් 12:28-30; එෆීස 2:4; 5:1, 2) අපිද දෙවි සඳහා ඇති අපේ පළමු ප්‍රේමය නැති වී යෑමට ඉඩ නොදී එය ආරක්ෂා කරගත යුත්තෙමු. (3 යොහන් 3) නමුත් ද්‍රව්‍යමය දේවලට ඇති ආශාව හෝ සැපවින්දනය ලුහුබැඳීම වැනි දේවල් අපගේ ජීවිතයේ මුල් තැන ගනිමින් තිබෙනවා නම්, තත්වය කුමක්ද? (1 තිමෝති 4:8; 6:9, 10) එසේනම්, එවන් නැඹුරුවාවන් වෙනුවට යෙහෝවා කෙරෙහි ගැඹුරින් මුල් බැසගෙන ඇති ප්‍රේමයකින් සහ ඔහු සහ ඔහුගේ පුත්‍රයා අප සඳහා කර ඇති සියල්ල ගැන කෘතඥතාවකින් අපේ හදවත් පුරවන්නට කියා දිව්‍ය උපකාර ඉල්ලා අප ඉතා උනන්දුවෙන් යාච්ඤා කළ යුතුය.—1 යොහන් 4:10, 16.

8 ක්‍රිස්තුස් එෆීසවරුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ මෙසේයි. “ඔබ පහත වැටී සිටින්නේ කුමකින්දැයි සිහි කර, පසුතැවිලි වී, මුලින් කළ ක්‍රියා කරන්න.” ඔවුන් මෙය නොකළා නම් තත්වය කුමක්ද? “ඔබ එසේ නොකළොත්, මම ඔබ වෙතට එන්නෙමි. . . . ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරමි.” සියලුම බැටළුවන් තමන්ගේ ප්‍රථම ප්‍රේමය අහිමි කරගත්තොත්, “පහන් රුක” හෙවත් සභාව තවදුරටත් පවතින්නේ නැත. එසේ නම්, ජ්වලිත ක්‍රිස්තියානීන් වශයෙන්, අපි සභාව ආත්මිකව බැබළෙමින් තබාගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරමු.—මතෙව් 5:14-16, NW.

9. නිකායවාදය සැලකිය යුත්තේ කෙසේද?

9 එෆීසවරුන් ‘නිකලායස්ගේ නිකායට අයත්වූවන්ගේ ක්‍රියාවලට වෛර කිරීම’ ප්‍රශංසනීයය. එළිදරව්වේ කියා ඇති දේට අමතරව, මෙම නිකායේ මූලාරම්භය, ඉගැන්වීම් සහ පිළිවෙත් ගැන අප නිශ්චිතවම කිසිවක් දන්නේ නැත. කෙසේවෙතත්, මිනිසුන්ව අනුගමනය කිරීම යේසුස් හෙළා දුටු හෙයින්, එෆීසයේ සිටි ක්‍රිස්තියානීන් කළාක් මෙන්, අපද නිකායවාදය දිගින් දිගටම හෙළාදැකීම අවශ්‍යය.—මතෙව් 23:10.

10. ආත්මය පවසන දේට අවනත වෙන අයගේ අද්දැකීම කුමක් වනු ඇත්ද?

10 “ආත්මය සභාවලට පවසන දේ කන් ඇත්තා අසාවා” යයි ක්‍රිස්තුස් පැවසීය. යේසුස් මිහිපිට සිටියදී කතා කළේ දෙවිගේ ආත්මයේ බලපෑමට යටත්වය. (යෙසායා 61:1; ලූක් 4:16-21) එබැවින්, දෙවි යේසුස් මාර්ගයෙන් තම ශුද්ධාත්මය තුළින් දැන් පවසන දෙයට අප අපේ අවධානය යොමු කළ යුතුය. ආත්මයේ මඟ පෙන්වීම යටතේ යේසුස් පොරොන්දු වූයේ මෙසේයි. “ජයගන්නාට මම, දෙවිගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්න දෙන්නෙමි.” ආත්මය පවසන දේට අවනත වන අභිෂේක ලත් අයට මින් අදහස් කරන්නේ, ‘දෙවිගේ ස්වර්ගික පාරාදීසයේ’ හෙවත් යෙහෝවා ඉදිරියෙහිම හිමි වන අමරණීයභාවයයි. ආත්මය පවසන දේට සවන් දෙන ‘මහත් සමූහයට’ භූමික පාරාදීසය භුක්ති විඳීමට ප්‍රස්තාව ලැබෙන අතර, එහිදී ඔවුන් ‘ජීවන වතුර ඇති ගංගාවෙන්’ පානය කරමින්, ඒ දෙපැත්තේ ඇති ‘වෘක්ෂවල කොළවලින්’ සුවය ලබනු ඇත.—එළිදරව් 7:9; 22:1, 2; ලූක් 23:43.

11. යෙහෝවා කෙරෙහි ප්‍රේමය ප්‍රවර්ධනය කරන්නට අපට හැක්කේ කෙසේද?

11 එෆීසවරු තම පළමු ප්‍රේමය අහිමි කරගත්හ. එසේම අදදිනත් සභාවක ඒ හා සමාන තත්වයක් වර්ධනය වෙමින් තිබෙන්නේ නම් කුමක් කිව හැකිද? යෙහෝවාගේ ප්‍රේමණීය මාර්ග ගැන කතා කිරීමෙන් අපි එක් එක්කෙනා ඔහු කෙරෙහි ප්‍රේමය ප්‍රවර්ධනය කරමු. සිය පුත්‍රයා මාර්ගයෙන් මිදීමේ මිලය සැපයීමෙන් දෙවි පෙන්වූ ප්‍රේමයට කෘතඥතාව පළ කිරීමට අපට පිළිවන. (යොහන් 3:16; රෝම 5:8) සුදුසු අවස්ථාවල අප විසින් අදහස් දැක්වීමේදී සහ රැස්වීම්වල කොටස් ඉදිරිපත් කරද්දී අපට හැකියි දෙවි සඳහා ඇති ප්‍රේමය පළ කිරීමට. එමෙන්ම අපේ ක්‍රිස්තියානි දේවසේවය තුළදී යෙහෝවාගේ නාමය ප්‍රශංසාවට ලක් කිරීමෙන් ඔහු කෙරෙහි ඇති අපේ ප්‍රේමය පෙන්වන්නටද අපට හැකියි. (ගීතාවලිය 145:10-13) ඇත්ත වශයෙන්ම, සභාවක පළමු ප්‍රේමය යළි දල්වන්නට හෝ ශක්තිමත් කරන්නට අපේ වචනවලින් හා ක්‍රියාවලින් බොහෝ දේ කිරීමට ඉඩ කඩ තිබිය හැකියි.

ස්මර්ණාවෙහි දූතයාට

12. ස්මර්ණාව සහ එහි ආගමික වත් පිළිවෙත් ගැනඉතිහාසය හෙළි කරන්නේ මොනවාද?

12 “මැරී නැවත ජීවත්ව සිටින්නාවූ ‘පළමුවැන්නා සහ අන්තිමයා’ වන්නාවූ, මියගොස් නැවත නැඟිටීමක් තුළින් යළිත් ජීවනයට පැමිණි” ක්‍රිස්තුස් විසින් ස්මර්ණාවෙහි සභාවට ප්‍රශංසා කරන ලදි. (එළිදරව් 2:8-11, NW කියවන්න.) ස්මර්ණාව (දැන් තුර්කියේ, ඉෂ්මීර් නගරය) ඉදි කරනු ලැබුවේ කුඩා ආසියාවේ බටහිර වෙරළ තීරුවේය. ග්‍රීක්වරුන් මෙම නගරයේ පදිංචි වූ නමුත් ලිදියන්වරු පො.යු.පෙ. 580දී පමණ එය විනාශ කළහ. මහා ඇලෙක්සැන්ඩර්ගේ අනුප්‍රාප්තිකයෝ ස්මර්ණාව අලුත් බිමක ඉදි කළහ. එය ආසියාව නමැති රෝම ප්‍රාන්තයේ කොටසක් බවට පත් වූ අතර, කදිම මහජන ගොඩනැඟිලිවලින් සමන්විත වූ ඉතා සමෘද්ධිමත් සුප්‍රකට වාණිජමය මධ්‍යස්ථානයක් බවට පත් විය. එහි තිබූ ටයිබීරියස් සීසර්ගේ දේවාලය හේතුවෙන් ස්මර්ණාව අධිරාජ්‍යයාට වන්දනා කිරීමේ මධ්‍යස්ථානයක් විය. එහි නමස්කාරකයන්ට සුවඳ දුම් ඇබිත්තක් රැගෙන දවා, “සීසර් ස්වාමියාය” කියා පැවසීමටයි තිබුණේ. “යේසුස් ස්වාමීන්” බැවින් එයට එකඟ වීමට ක්‍රිස්තියානීන්හට නොහැකි විණි. මේ නිසා, ඔවුහු පීඩා වින්දෝය.—රෝම 10:9.

13. ද්‍රව්‍යමය වශයෙන් දිලිඳුව සිටියද, ස්මර්ණාවෙහි ක්‍රිස්තියානීන් ධනවත්ව සිටියේ කිනම් අර්ථයෙන්ද?

13 තමන්ට විඳින්නට සිදු වූ පීඩාවන්ට අමතරව, ස්මර්ණාවෙහි ක්‍රිස්තියානීන් දුප්පත්කමද විඳදරාගත් අතර, අධිරාජ්‍ය වන්දනාවේ හවුල් නොවීම නිසා ඔවුන්ට සමහරවිට ආර්ථික සම්බාධකවලට මුහුණ දීමටද සිදු වුණා විය හැකියි. අදදින යෙහෝවාගේ සේවකයන්ද ඒ හා සමාන පරීක්ෂාවලින් නිදහස් නැත. (එළිදරව් 13:16, 17) ද්‍රව්‍යමය වශයෙන් දිලිඳුව සිටියද, ස්මර්ණාවෙහි ක්‍රිස්තියානීන් මෙන් ඔවුහුද ආත්මිකව පොහොසත් අය වෙති. ඇත්තටම අතිවැදගත්ම දේ එයයි.—හිතෝපදේශ 10:22; 3 යොහන් 2.

14, 15. එළිදරව් 2:10න් අභිෂේක ලත් අයට කිනම් සැනසීමක් ලබාගත හැකිද?

14 ස්මර්ණාවෙහි සිටි යුදෙව්වන් වැඩිදෙනෙකු සිටියේ ‘සාතන්ගේ සිනගෝගයකය.’ මන්ද මොවුහු ශුද්ධ ලියවිල්ලට විරුද්ධ සම්ප්‍රදායන් පැවැත්වූහ. දෙවිගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම යේසුස්ගේ ආත්මයෙන් අභිෂේක ලත් අනුගාමිකයන්ට අපහාස කළහ. (රෝම 2:28, 29) එහෙත් යේසුස් ඊළඟට පැවසූ වචනවලින් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මොන තරම් සැනසීමක් ලබාගත හැකිද! ඔහු පවසන්නේ මෙසේයි. “ඔබ විඳින්න යන දේවල් ගැන භය නොවන්න. බලන්න! ඔබ සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරනු ලබන පිණිසත්, දවස් දසයකට ඔබට පීඩාව තිබෙන පිණිසත් යක්ෂයා ඔබෙන් සමහරෙකුව සිරගෙට ඇද දමමින් සිටිනවා ඇත. මරණය දක්වා පවා විශ්වාසවන්තව සිටින්න. මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.”—එළිදරව් 2:10, NW.

15 යෙහෝවාගේ පරමාධිපත්‍යය තහවුරු කිරීම පිණිස මිය යෑමට යේසුස් භය වූයේ නැත. (පිලිප්පි 2:5-8) සාතන් දැන් අභිෂේක ලත් ඉතිරි අයට එරෙහිව යුද්ධ කිරීමට අර ඇන්දත්, පීඩා, සිරගත කිරීම් හෝ සාපරාධී මරණයක් වැනි තමන්ට කණ්ඩායමක් හැටියට විඳින්නට සිදු විය හැකි දේවලට ඔවුහු භය නොවෙති. (එළිදරව් 12:16) ඔවුන් ලෝකය ජය ගත් අය වනු ඇත. මිථ්‍යා ක්‍රීඩාවල ජයග්‍රාහකයන් විසින් ඔටුන්නක් ලෙස පැළඳි දිරාපත් වන මල්මාලාවක් වෙනුවට, ක්‍රිස්තුස් නැවත නැඟිටුවනු ලැබූ අභිෂේක ලත් අයට පොරොන්දු වෙන්නේ ‘ජීවනය නමැති ඔටුන්නයි.’ ඒ ස්වර්ගයේ අමරණීය ජීවිතයක් ලැබීමය. මිල කළ නොහැකි මොන තරම් වටිනා ත්‍යාගයක්ද!

16. අප ඇසුරු කරන්නේ ඉපැරණි ස්මර්ණාවෙහි තිබූ සභාව වැනි සභාවක් සමඟ නම්, අපේ අවධානය යොමු විය යුත්තේ කිනම් වාද විෂය වෙතටද?

16 අපගේ බලාපොරොත්තුව ස්වර්ගික හෝ භූමික හෝ වුවත්, අප ඇසුරු කරන්නේ ඉපැරණි ස්මර්ණාවෙහි තිබූ සභාවට සමාන සභාවක් සමඟ නම්, කුමක් කිව හැකිද? එසේනම්, දෙවි පීඩාවලට ඉඩහරින ප්‍රධාන හේතුව වෙත අවධානය යොමු කිරීමට අපි සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කරමු. එය නම්, විශ්වනීය පරමාධිපත්‍යය පිළිබඳ වාද විෂයයි. අඛණ්ඩතාව පවත්වාගනිමින් සිටින්නාවූ, යෙහෝවාගේ සෑම සාක්ෂිකරුවෙකුම සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කරන අතර, එයින් පෙන්වන්නේ විශ්වනීය පරමාධිපති හැටියට පාලනය කිරීමට දෙවිට ඇති අයිතියට නොසැලී අනුබල දීමට පීඩා විඳිනු ලැබූ මිනිසෙකුට පවා හැකි බවයි. (හිතෝපදේශ 27:11) එසේ නම්, අපි පීඩාවන් විඳදරාගැනීමට අනෙකුත් ක්‍රිස්තියානීන්වද දිරිගන්වමු. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ‘අපේ දවස් මුළුල්ලෙහිම,’ සදහටම පවා ‘[යෙහෝවා] ඉදිරියෙහි පක්ෂපාතව සහ ධර්මිෂ්ඨව ඒ පරිශුද්ධ සේවය නිර්භීතව පිරිනැමීමට’ අපට හැකි වෙයි.—ලූක් 1:68, 69, 74, 75, NW.

පර්ගමම්හි දූතයාට

17, 18. පර්ගමම් නගරය කිනම් ආකාර වන්දනාවක මධ්‍යස්ථානයක් වීද? එවන් රූප වන්දනාවක නියැලීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?

17 පර්ගමම්හි පිහිටි සභාවට ප්‍රශංසා කළ අතරම නිවැරදි කිරීම්ද දෙන ලදි. (එළිදරව් 2:12-17, NW කියවන්න.) ස්මර්ණාවේ සිට උතුරට කිලෝ මීටර් 80ක් පමණ ඈතින් පිහිටි පර්ගමම්, මිථ්‍යා ආගම්වලින් ගහනව තිබූ නගරයකි. කල්දීය ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් බබිලෝනියේ සිට මෙම නගරයට පලා ආ බවක් පෙනී යයි. රෝගීහු පර්ගමම්හි පිහිටි, රෝග සුව කිරීම හා වෛද්‍යකර්මය සම්බන්ධ අස්ක්ලෙපියුස් නම් වූ බොරු දෙවියාගේ ප්‍රතිසංස්කරණය කරන ලද දේවාලයට එක්රොක් වූහ. ඔගස්ටස් සීසර්ට වන්දනා කිරීම සඳහා කැප කර තිබූ දේවාලයකින් සමන්විත පර්ගමම් “මුල් අධිරාජ්‍යය යටතේ පැවති අධිරාජ්‍ය නිකායේ ප්‍රධාන මධ්‍යස්ථානය” යනුවෙන් හඳුන්වා තිබිණි.—එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා 1959, වෙළුම 17, පිටුව 507, සිංහලෙන් නොමැත.

18 තවද සියුස්ට කැප කරන ලද පූජාසනයක්ද පර්ගමම්හි විය. මෙම නගරය යක්ෂයාගේ අනුබලයෙන් ප්‍රවර්ධනය කරන ලද, මිනිසුන්ව දේවත්වයේලා සැලකීමේ රජදහනක්ද විණි. එසේනම්, “සාතන්ගේ සිංහාසනය” තිබූ තැනක මෙම සභාව පැවතුණා කීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත! යෙහෝවාගේ පරමාධිපත්‍යයට අනුබල දෙන්නෙකු අධිරාජ්‍යයාට වන්දනා කිරීම ප්‍රතික්ෂේප කළා නම්, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ මරණයයි! අදදින ලෝකය තවමත් පවතින්නේ යක්ෂයාගේ බලය යටතේය. තවද ජාතික සංකේත දැන් පිළිමයක් කරගෙන වන්දනාමාන කරනු ලැබේ. (1 යොහන් 5:19) පළමු සියවසේ සිට අද දක්වා විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් බොහෝදෙනෙකුව ඝාතනය කර තිබෙන අතර, ඔවුන් හරියට, “ඔබ ළඟ . . . මරන ලද මාගේ විශ්වාසවන්ත තැනැත්තා වූද මාගේ සාක්ෂිකරු වූද අන්තිපස්” යයි ක්‍රිස්තුස් විසින් හඳුන්වනු ලැබූ තැනැත්තා මෙනි. යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් එවන් පක්ෂපාත සේවකයන්ව සිහි කරන බවට කිසිම සැකයක් නැත.—1 යොහන් 5:21.

19. බාලාම් කළේ කුමක්ද? සියලු ක්‍රිස්තියානීන් කුමකට එරෙහිව ආරක්ෂා විය යුතුද?

19 ක්‍රිස්තුස් “බාලාම්ගේ ඉගැන්වීම” ගැනද කතා කළේය. ද්‍රව්‍යමය වාසිවලට ගිජුව සිටි බොරු අනාගතවක්තෘ බාලාම් ඊශ්‍රායෙල් ජාතියට ශාප කරන්නට උත්සාහ කළේය. ඔහුගේ ශාපය දෙවි ආශීර්වාදයකට හැරවූ විට, බාලාක් නම් මෝවබීය රජ සමඟ එක්ව බාලාම් බොහෝ ඊශ්‍රායෙලිතයන්ව රූප වන්දනාවට හා ලිංගික දුරාචාරයට හසු කරගත්තේය. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්, බාලාම්ගේ වැඩවලට එරෙහිව ක්‍රියා කළ පීනෙහාස් මෙන් ධර්මිෂ්ඨකම උදෙසා ස්ථිර ලෙස ක්‍රියා කළ යුතුය. (ගණන් කථාව 22:1–25:15; 2 පේතෘස් 2:15, 16; යූද් 11) ඇත්තෙන්ම, සියලු ක්‍රිස්තියානීන් රූප වන්දනාවට එරෙහිව තමන්වම ආරක්ෂා කරගත යුතු අතර, ලිංගික දුරාචාරය සභාව තුළට කාන්දු වෙන්නට ඉඩ නොතැබිය යුතුය.—යූද් 3, 4.

20. යම් ක්‍රිස්තියානියෙකු ඇදහිල්ලට විරුද්ධව කැරලි ගසන අයගේ අදහස් තමන්ගේ මනසට ගන්නට පටන්ගෙන ඇත්නම්, ඔහු කළ යුත්තේ කුමක්ද?

20 පර්ගමම්හි සභාව තිබුණේ මහත් අනතුරකය. මන්දයත් “නිකලායස්ගේ නිකායට අයත්වූවන්ට” තමන් අතර සිටින්නට ඔවුන් ඉඩහැරිය බැවිනි. ක්‍රිස්තුස් එම සභාවට කීවේ මෙසේයි. “පසුතැවිලි වන්න. ඔබ එසේ නොකළොත්, මම ඉක්මනින් ඔබ වෙතට ඇවිත්, මගේ මුඛයෙහි දිග කඩුවෙන් ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්නෙමි.” නිකායවාදීන්ට වුවමනා කරන්නේ, ක්‍රිස්තියානීන්ට ආත්මිකව හානි කරන්නටය. තවද බෙදීම් සහ නිකායවලට උල්පන්දම්දෙන අය දෙවිගේ රාජ්‍යය උරුම කර නොගන්නෝය. (රෝම 16:17, 18; 1 කොරින්ති 1:10; ගලාති 5:19-21) යම් ක්‍රිස්තියානියෙක් ඇදහිල්ලට එරෙහිව කැරලි ගසන අයගේ අදහස් තමන්ගේ මනසට ගන්නට පටන්ගෙන ඒවා පතුරුවන්නට ආශාවෙන් සිටින්නේ නම්, ඔහු ක්‍රිස්තුස්ගෙන් පැමිණෙන අනතුරු ඇඟවීම තරයේ සිතට ගත යුතුයි! මේ විපත්තියෙන් තමන්ව බේරාගැනීමට ඔහු පසුතැවිලි විය යුතු අතර, සභාවේ වැඩිමහල්ලන්ගෙන් ආත්මික උපකාර පැතිය යුතුය. (යාකොබ් 5:13-18) විගස ක්‍රියා කිරීම අතිශයින් වැදගත්ය. මන්ද යේසුස් විනිශ්චය ක්‍රියාත්මක කිරීමට ඉක්මනින්ම පැමිණෙයි.

21, 22. “සඟවා තිබෙන මන්නා” කෑමට පංගුකාරයන් වුණේ කවුරුන්ද? ඉන් සංකේතවත් කරන්නේ කුමක්ද?

21 ඇදහිලිවන්ත අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට හා ඔවුන්ගේ පක්ෂපාත සහයකයන්ට, පැමිණෙන විනිශ්චය ගැන භය වෙන්නට අවශ්‍ය නැත. දෙවිගේ ශුද්ධාත්මය මගින් යේසුස් දෙන ලද උපදෙසට අවනත වන අයට ආශීර්වාද ගබඩා කර තිබේ. නිදසුනක් වශයෙන්, ලෝකය ජයගන්නාවූ අභිෂේක ලත් අයට “සඟවා තිබෙන මන්නාවලින්” සමහරක් කෑමට ආරාධනා කරනු ලබන අතර, “අලුත් නමක්” දරන “සුදු ගල් කැටයක්ද” දෙනු ලැබේ.

22 පාළුකරයේ ඔබ මොබ ගිය වසර 40ක කාලය අතරතුර දෙවි ඊශ්‍රායෙලිතයන්ට මන්නා සැපයීය. එම ‘රොටිවලින්’ ටිකක් ගිවිසුම් පෙට්ටිය ඇතුලේ රන් භාජනයක තබන ලද අතර, යෙහෝවා එහි සිටින බව සංකේතවත් කළාවූ ආශ්චර්යවත් ආලෝකය තිබූ මණ්ඩපයේ අතිශුද්ධස්ථානයේ එය සඟවා තබන ලදි. (නික්මයාම 16:14, 15, 23, 26, 33; 26:34; හෙබ්‍රෙව් 9:3, 4) එම සඟවන ලද මන්නා කෑමට කිසිවෙකුට අවසර තිබුණේ නැත. එහෙත්, යේසුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ගේ නැවත නැඟිටීමෙන් පසුව, ඔවුන්ට අමරණීයත්වය දානය කරන ලද අතර, “සඟවා තිබෙන මන්නා” කෑමෙන් සංකේතවත් කරන්නේ එයයි.—1 කොරින්ති 15:53-57, NW.

23. “සුදු ගල් කැටය” හා “අලුත් නම” යන්නෙන් අර්ථවත් වූයේ මොනවාද?

23 රෝම අධිකරණවලදී කළු ගල් කැටයක් මගින් දඬුවමක් සංකේතවත් කරන ලද අතර, සුදු ගල් කැටයකින් ඇඟවූයේ චෝදනාවකින් හෝ දඬුවමකින් නිදහස් කිරීමයි. යේසුස් විසින් මෙම ජයගනිමින් සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට “සුදු ගල් කැටයක්” දීමෙන් අඟවන්නේ ඔවුන්ව නිර්දෝෂ, නිර්මල හා පිරිසිදු අය ලෙස සලකනු ලබන බවයි. තවද යම් වැදගත් සිද්ධියකට සහභාගි වීම සඳහා රෝමවරුන් ගල් කැට යොදාගත් හෙයින්, ‘සුදු ගල් කැටයකින්’ ඇඟවිය හැක්කේ අභිෂේක ලත් තැනැත්තාට ස්වර්ගයේ බැටළු පැටවාණන්ගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන තැනට ඇතුල් වීමට අවසර දෙනු ලබන බවයි. (එළිදරව් 19:7-9) පෙනෙන විදිහට මෙම ‘අලුත් නමින්’ සංකේතවත් කරන්නේ ස්වර්ගික රාජ්‍යයේ හවුල් උරුමක්කාරයන් වශයෙන් යේසුස් සමඟ එක්සත් වීමේ වරප්‍රසාදයයි. ඇත්තටම, අභිෂේක ලත් අයට මෙන්ම පාරාදීස පොළොවක ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින යෙහෝවාගේ සේවයේ ඔවුන් සමඟ හවුල් වන සහයකයන්ට මෙය මොනතරම් දිරිගැන්වීමක්ද!

24. ඇදහිල්ලට එරෙහිව කැරලි ගැසීම සම්බන්ධයෙන් අප ගත යුතු ස්ථාවරය කුමක්ද?

24 පර්ගමම් සභාව ඇදහිල්ලට විරුද්ධව කැරලි ගැසූවන්ගේ විනාශකාරී තර්ජනයට ලක් වී තිබූ බව මතක තබාගැනීම ඥානවන්තය. අප සම්බන්ධ වී සිටින සභාවේ ආත්මික සුභසාධනය ඒ හා සමානව තර්ජනයට ලක්ව ඇත්නම්, අපි මුළුමනින්ම මෙම කැරලිකාර තත්වය ප්‍රතික්ෂේප කර, සත්‍යතාව තුළ දිගටම ගමන් කරමින් සිටිමු. (යොහන් 8:32, 44; 3 යොහන් 4) බොරු ගුරුවරුන් හෝ ඇදහිල්ලට එරෙහිව කැරලි ගැසීමට නැඹුරු වී සිටින පුද්ගලයන් මුළු සභාවක්ම දුෂණය කළ හැකි බැවින්, අප මෙම කැරලි ගැසීමට එරෙහිව දැඩි ස්ථාවරත්වයක් පවත්වාගත යුතු අතර, සත්‍යතාවට කීකරු වීමෙන් අපව වළක්වාලීමට දුෂ්ටසහගත ඉගැන්වීම්වලට කිසිවිටෙකත් ඉඩ නොතැබිය යුතුය.—ගලාති 5:7-12; 2 යොහන් 8-11.

25. ඊළඟ ලිපියේදී සාකච්ඡා කෙරෙන්නේ ක්‍රිස්තුස් විසින් කුමන සභාවලට යොමු කරන ලද පණිවුඩ ගැනද?

25 කුඩා ආසියාවේ සභා සතෙන් සභා තුනකට මහිමාන්විත යේසුස් ක්‍රිස්තුස් දුන් ප්‍රශංසාවේ හා උපදෙස්වල මොනතරම් සිතිවිලි කලතන කදිම වචන දැන් අප සලකා බැලුවාද! කෙසේවෙතත්, ශුද්ධාත්මයෙන් මඟ පෙන්වනු ලැබ සිටින ඔහුට, ඉතිරි වී තිබෙන සභා හතරට බොහෝ දේවල් කීමට තිබේ. තියාතීරා, සර්දිස්, ෆිලදෙල්ෆියාව සහ ලවොදිසීය යන සභාවලට යොමු කරන ලද මෙම පණිවුඩ ඊළඟ ලිපියේ සලකා බලනු ලැබේ.

ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

• ක්‍රිස්තුස් සභාවන්ට පවසන දේට අප අවධානය යොමු කළ යුත්තේ ඇයි?

• සභාවක තිබෙන පළමු ප්‍රේමය යළිත් දැල්වීමට අපට උපකාර කළ හැක්කේ කෙසේද?

• ඉපැරණි ස්මර්ණාවෙහි විසූ ද්‍රව්‍යමය වශයෙන් දිලිඳු ක්‍රිස්තියානීන් ඇත්තටම ධනවත්ව සිටි බව කිව හැක්කේ ඇයි?

• පර්ගමම්හි සභාවේ තත්වය ගැන කල්පනා කරන විට, ඇදහිල්ලට එරෙහිව කැරලි ගසන අයගේ අදහස් අප සැලකිය යුත්තේ කෙලෙසද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ග්‍රීසිය

කුඩා ආසියාව

එෆීසය

ස්මර්ණාව

පර්ගමම්

තියාතීරාව

සර්දිස්

ෆිලදෙල්ෆියාව

ලවොදිසීය

[12වන පිටුවේ පින්තූරය]

“මහත් සමූහය” භූමික පාරාදීසය භුක්ති විඳිනවා ඇත

[13වන පිටුවේ පින්තූර]

පීඩාවලට ලක් වූ ක්‍රිස්තියානීහු ලෝකය ජයගන්නෝය