Skip to content

පටුනට යන්න

ටේෂන්—ක්‍රිස්තියානි ධර්මයට පක්ෂ වූවාද නැත්නම් විරුද්ධ වූවාද?

ටේෂන්—ක්‍රිස්තියානි ධර්මයට පක්ෂ වූවාද නැත්නම් විරුද්ධ වූවාද?

ටේෂන්—ක්‍රිස්තියානි ධර්මයට පක්ෂ වූවාද නැත්නම් විරුද්ධ වූවාද?

ප්‍රේරිත පාවුල් ඔහුගේ තුන්වන මිෂනාරි ගමනේ අවසාන භාගයේදී එපීස සභාවේ වැඩිමහල්ලන්ව හමු වූ විට ඔවුන්ට මෙසේ පැවසුවේය. “මාගේ පිටත්ව යෑමෙන් පසු රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණ, රැළට ආදරෙන් සලකන්නේ නැති බව මම දනිමි. ඔබ අතරින්ම මිනිස්සු නැඟිට, තමුන් අනුව යෑමට ගෝලයන්ව ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල් පවසන්නෝය.”—ක්‍රියා 20:29, 30, NW.

පාවුල් පැවසූ එම වදන් දෙවන සියවසේදී ඉටු වූ අතර, එම කාලයේදී වෙනස්කම් බහුලව සිදු විය. එමෙන්ම පුරෝකථනය කරන ලද ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීම සිදු වූයේද එම කාලයේදීය. සමහර ඇදහිලිවන්තයන්ගේ මනස් දූෂ්‍ය කළ, පුළුල් ලෙස පැතිරුණු ආගමික හා දාර්ශනික ව්‍යාපාරයක් වූ ඥානවාදයද වර්ධනය වන්නට පටන්ගත්තේ ඒ කාලයේදීය. ඥානවාදීන් විශ්වාස කළේ ආත්මික දේවල් යහපත් බවත් භෞතික දේවල් නපුරු බවත්ය. සෑම මාංසික දෙයක්ම නපුරු බවට තර්ක කළ ඔවුහු විවාහය හා දරුවන් බිහි කිරීම ප්‍රතික්ෂේප කළහ. මෙයට හේතුව හැටියට ඔවුන් දැක්වූයේ ඒ දේවල් සාතන්ගෙන් ඇති වන බවයි. යහපත් වන්නේ ආත්මය පමණක් වන බැවින් මිනිසෙකු මාංසික සිරුරක් ඇතුව සිටියදී කුමක් සිදු කළත් ප්‍රශ්නයක් නැහැ කියා ඔවුන්ගෙන් සමහරු විශ්වාස කළහ. මෙවැනි මත දැරීමේ ප්‍රතිඵලය වූයේ අන්තවාදී ජීවන රටාවකට ඔවුන් හැඩගැසීමයි. එවැනි අය එක්කෝ තපස් ජීවිතයක් ගත කළහ. නැත්නම් අධික ලෙස මාංසය පිනවීමේ ක්‍රියාවල හවුල් වූහ. ගැලවීම පැමිණෙන්නේ ගුප්ත ඥානවාදය හෝ ස්වයං දැනුම මගින් පමණක්ය යන විශ්වාසය නිසා ඥානවාදීහු දෙවිගේ වචනයෙහි අඩංගු සත්‍යය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියෝය.

ක්‍රිස්තියානීන් කියා පැවසූ අය ඥානවාදයේ හානිකර බලපෑම් හමුවේ ක්‍රියා කළේ කෙසේද? ඇතැම් දැන උගත් අය එහි තිබූ බොරු ඉගැන්වීම්වලට එරෙහිව කතා කළ නමුත් තවත් අය ඒවායේ බලපෑම්වලට හසු වූහ. අයිරීනියස් ධර්ම විරෝධී ඉගැන්වීම්වලට එරෙහිව ජීවිත කාලය පුරාම සටනක් දියත් කළේය. ඔහු අධ්‍යාපනය ලබා තිබුණේ ප්‍රේරිතයන්ගේ කාලයේ විසූ පොලිකාප්ගෙනි. මොහු යේසුස් ක්‍රිස්තුස්ගේ හා ඔහුගේ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම්වලට නොසැලෙන ලෙස පක්ෂව සිටීමට දිරිගැන්නුවේය. කෙසේවෙතත් අයිරීනියස්ගේ මිතුරෙකු වූ ෆ්ලොරීනස්ද පොලිකාප්ගෙන් අධ්‍යාපනය ලැබුවත් ඥානවාදයේ බලවත්ම නායකයා වූ වැලන්ටිනස්ගේ ඉගැන්වීම් ටිකෙන් ටික පිළිගන්නට විය. ඇත්තෙන්ම එය කැලඹිලි සහිත කාලයක් විය.

දෙවන සියවසේ ප්‍රසිද්ධ ලේඛකයෙකු වූ ටේෂන් ලියූ පොත් පත්වලින් එම කාලයේ පැවති ආගමික වාතාවරණය ගැන තොරතුරු අනාවරණය කරගත හැක. ටේෂන් මොන වගේ පුද්ගලයෙක් වූවාද? ඔහු නාමික ක්‍රිස්තියානියෙකු බවට පත් වූයේ කෙසේද? ක්‍රිස්තියානි ධර්මයට විරෝධී මත ඉදිරිපත් කළ ඥානවාදයේ බලපෑම් මැද ඔහු කටයුතු කළේ කෙසේද? සිත්ගන්නාසුලු අයුරින් ඔහු දුන් පිළිතුරුවලින් හා ඔහුගේම ආදර්ශයෙන් වර්තමානයේ සත්‍යය සොයන අයට වටිනා පාඩම් ඉගෙනගත හැකියි.

“ම්ලේඡයන්ගේ ලියවිලි” කියවන්න ලැබීම

ටේෂන්ගේ මව්බිම වූයේ සිරියාවයි. නිතර දුර ඈත සංචාරය කළ නිසාත් බොහෝ පොත් පත් කියවූ නිසාත් ඔහුගේ කාලයේ පැවති ග්‍රීක රෝම සංස්කෘතිය පිළිබඳව ඔහුට පුළුල් දැනුමක් තිබිණ. ටේෂන් රෝමයට පැමිණියේ සංචාරක දේශකයෙකු ලෙසයි. කෙසේවෙතත් ඔහු රෝමයේ සිටි කාලයේදී ක්‍රිස්තියානි ධර්මය ගැන සොයා බලන්නට උනන්දු විය. ඔහු ජස්ටින් මාටර් සමඟ ඇසුරු කිරීමට පටන්ගත් අතර, ඇතැම්විට ඔහුගේ ශිෂ්‍යයෙකුද වූවා විය හැකියි.

ටේෂන්ගේ කාලයේ පැවති ක්‍රිස්තියානි ධර්මයට ඔහුගේ හැරීම පිළිබඳ තොරතුරු හෙළි කරන වාර්තාවක ඔහුම මෙසේ පවසයි. “සත්‍යය සොයාගන්න මට ලොකු උනන්දුවක් තිබුණා.” ශුද්ධ ලියවිල්ල කියවන්න ලැබීම පිළිබඳ ඔහුගේ අද්දැකීම ගැන ඔහු මෙසේ අදහස් දක්වයි. “මට ම්ලේච්ඡයන්ගේ ලියවිලි වගයක් කියවන්න ලැබුණා. ඒවායේ අදහස් ග්‍රීක්වරුන්ගේ මතවලට වඩා හුඟාක් පැරණියි. ග්‍රීක්වරුන්ගේ ලියවිලිවල තිබෙන වැරදි සමඟ බලන කල එම ලියවිල්ල අතිශ්‍රේෂ්ඨයි. එම ලියවිල්ලේ පවසන දේවල් විශ්වාස කිරීමට මම පෙලඹුණේ එහි පුහු ආටෝපයෙන් තොර සරල භාෂාවක් තිබූ නිසයි. එමෙන්ම, ලේඛකයන්ගේ අවංකභාවයයි. අනාගත සිදුවීම් එහි කලින් හෙළි කර තිබීමයි. එහි සඳහන් ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තියි. එක් පුද්ගලයෙකු වටා කේන්ද්‍රගත විශ්ව ආණ්ඩුවක් පිළිබඳව එහි කර තිබෙන ප්‍රකාශයයි.”

ඔහුගේ කාලයේ පැවති ක්‍රිස්තියානි ධර්මය පරීක්ෂා කර බැලීමටත් ධර්ම විරෝධීන්ගේ වියවුල්සහගත මත වෙනුවට එහි තිබෙන සරලබව හා පැහැදිලිබව ගැන සොයා බැලීමටත් ඔහුගේ සමකාලීනයන්ට ආරාධනා කිරීමට ටේෂන් පසුබට වූයේ නැත. ඔහු ලියූ පොත් පත්වලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

ඔහුගේ පොත්වලින් හෙළි වන්නේ මොනවාද?

ටේෂන් ලියූ පොත්වලින් කියවෙන්නේ ඔහු තමාගේ ආගමික විශ්වාසයන් රැකගැනීමේ අරමුණින් ඒවාට පක්ෂව කතා කළ ලේඛකයෙකු බවයි. ඔහුගේ කාලයේ පැවති මිථ්‍යාදෘෂ්ටික දර්ශනවාදී අදහස් ඔහු දැඩි සේ පිළිකුල් කළේය. මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ අදහස්වල හිස්බව හා ටේෂන් දැන සිටි ක්‍රිස්තියානි ධර්මයේ වටිනාකම ඔහුගේ එක් කෘතියක (Address to the Greeks) ඔහු අවධාරණය කළේය. ග්‍රීක සමාජ ක්‍රමය ගැන සිය පිළිකුල ප්‍රකාශ කරද්දී ඔහු යොදාගන්න භාෂා ශෛලිය ඉතාමත් රළුය. නිදසුනක් වශයෙන් ඔහු හෙරක්ලීටස් නම් දාර්ශනිකයා ගැන සඳහන් කරන විට පවසන මේ දෙය සලකා බලන්න. “මේ මනුෂ්‍යාගේ මෝඩකම ඔහුගේ මරණයෙන්ම පෙනී යයි. ජලශෝථ රෝගයෙන් (dropsy) වේදනා වින්ද ඔහු මුළු සිරුරේම ගොම ගා ගත්තා. ඔහු වෛද්‍ය විද්‍යාව වගේම දර්ශනවාදය ගැනත් ඉගෙනගෙන තිබූ නිසයි එවැනි මෝඩකමක් කළේ. ගොම ඝන වෙද්දී ඔහුගේ මුළු සිරුරම හැකිළී අන්තිමේදී ඔහු මිය ගියා.”

සියලුම දේවල් මැවූ එක දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීම ටේෂන් ඉතා උසස් කොට සැලකුවේය. (හෙබ්‍රෙව් 3:4) කලින් සඳහන් කළ පොතෙහි ඔහු දෙවිව “ආත්මයක්” හැටියට සඳහන් කරමින් මෙසේ පවසා ඇත. “පටන්ගැන්මක් නැත්තේ ඔහුට පමණි. සෑම දෙයකම පටන්ගැන්ම ඔහුමය.” (යොහන් 4:24; 1 තිමෝති 1:17) නමස්කාරයේදී පිළිම භාවිත කිරීම ප්‍රතික්ෂේප කරමින් ටේෂන් මෙසේ ලියයි. “මම කොහොමද ලී කොට හා ගල් ගොඩවල් දෙවිවරුන් හැටියට සලකන්නේ?” (1 කොරින්ති 10:14) ස්වර්ගික පියාගේ මවන ලද දේවල කුලුඳුලා වන වචනය නොහොත් ලෝගොස්ව බිහි කිරීමෙන් පසු භෞතික විශ්වයේ තිබෙන දේවල් මැවීමට ඔහුව යොදාගත් බව ටේෂන් විශ්වාස කළේය. (යොහන් 1:1-3; කොලොස්සි 1:13-17) නියමිත කාලයේ සිදු වන නැවත නැඟිටීම ගැන ටේෂන් මෙසේ සඳහන් කරයි. “සෑම දෙයකම අවසානයෙන් පසු නැවත නැඟිටීමක් සිදු වන බව අපි විශ්වාස කරන්නෙමු.” අප මිය යන්නේ ඇයි කියන ප්‍රශ්නයට ටේෂන් දෙන පිළිතුර මෙයයි. “අපව මවා තිබෙන්නේ මිය යෑමට නොවේ. අප මිය යන්නේ අපේම වරද නිසයි. අප සතු නිදහස් කැමැත්ත අපව විනාශ කර දමා තිබෙනවා. කලක් නිදහස්ව සිටි අප දැන් වහලුන් බවට පත් වෙලා. පාපය නිසා අපව විකුණා දමා තිබෙනවා.”

ආත්මය සම්බන්ධයෙන් ටේෂන් කරන පැහැදිලි කිරීම වියවුල්සහගතයි. ඒ ගැන ඔහු මෙසේ පවසයි. “අහෝ, ග්‍රීක්වරුනි, ආත්මය තනිව ගත් කල එය අමරණීය නොවේ. එය මරණීයයි. එහෙත් මිය නොයා සිටීමට එයට හැකියි. ඇත්තෙන්ම, එය සත්‍යය දන්නේ නැත්නම් මිය යයි. සිරුර සමඟ වියැකී යයි. ඒ වුණත් මරණයට පත් වී සදාකාලිකව දඬුවම් විඳීමේ අපේක්ෂාව ඇතුව එය ලෝකාන්තිමයේදී සිරුර සමඟ එක් වී නැවත නැඟිටියි.” ටේෂන් එම ප්‍රකාශවලින් හරියටම අදහස් කළ දෙය පැහැදිලි නැත. ඔහු බයිබලයේ ඇතැම් ඉගැන්වීම්වලට එකඟව කටයුතු කරන අතරතුරේදී තමාගේ සමකාලීනයන්ව සතුටු කිරීම සඳහා දරන වෑයමක් හැටියට ශුද්ධ ලියවිල්ලේ සඳහන් සත්‍යයන් මිථ්‍යාදෘෂ්ටික දාර්ශනවාදී මත සමඟ මිශ්‍ර කළා විය නොහැකිද?

ඔහුගේ තවත් ප්‍රසිද්ධ කෘතියක් වන්නේ ඩයටෙසරොන් (Harmony of the Four Gospels) නමැති ග්‍රන්ථයයි. සිරියාවේ පිහිටි සභාවලට එහි මව් භාෂාවෙන් සුවිශේෂ ලබා දුන් ප්‍රථම පුද්ගලයා වූයේ ටේෂන්ය. සුවිශේෂ හතර තනි වෘත්තාන්තයක් ලෙස සකස් කර තිබෙන එය ඉතා උසස් කෘතියක් ලෙස සලකන ලදි. සිරියානු පල්ලියද එය භාවිත කළේය.

ක්‍රිස්තියානියෙක්ද නැත්නම් ධර්ම විරෝධියෙක්ද?

ටේෂන්ගේ ලියවිලි පරෙස්සමින් පරීක්ෂා කර බැලීමේදී පෙනී යන්නේ ඔහු ශුද්ධ ලියවිලි ගැන හොඳින් දැන සිටි බවත් ඒවා මහත් ගෞරවයකින් සැලකූ බවත්ය. ශුද්ධ ලියවිලි ඔහුට බලපෑ ආකාරය ගැන ඔහු මෙසේ ලියයි. “පොහොසත් වීමේ අදහසක් මගේ ඔලුවේ නැහැ. හමුදාවේ බලතල මම ප්‍රතික්ෂේප කරනවා. වේශ්‍යාකම මම පිළිකුල් කරන දෙයක්. ධන සම්පත් ලබාගැනීමට හා නැව් නැඟී දේශ දේශාන්තරවලට ගමන් කිරීමට දැවෙන ආශාවක් මා තුළ නැහැ. . . . ජනප්‍රිය වීමට වියරු වැටුණු ආශාවක් මා තුළ නැහැ. . . . මිනිසුන් පොහොසත් වුවත් දිලිඳු වුවත් සියලුදෙනාටම තිබෙන්නේ එකම ඉරක්. සියලුදෙනාම මිය යයි.” ටේෂන් මෙම ඔවදනද සපයයි. “ලෝකයට යට නොවන්න. එහි තිබෙන මෝඩකම්වලින් ඉවත් වන්න. දෙවි වෙනුවෙන් ජීවත් වන්න. ඔහුව අවබෝධ කරගනිමින් ඔබේ පරණ ස්වභාවය ගලවා පැත්තකට දමන්න.”—මතෙව් 5:45; 1 කොරින්ති 6:18; 1 තිමෝති 6:10.

කෙසේවෙතත් ටේෂන්ගේ තවත් කෘතියක (On Perfection According to the Doctrine of the Savior) සඳහන් දේවල් ගැනත් සිතා බලන්න. මෙම කෘතියෙහි ඔහු විවාහය සලකන්නේ යක්ෂයාගෙන් ඇති වූ දෙයක් ලෙසයි. විවාහයෙන් සිදු කෙරෙන්නේ මිනිසුන්ව ඔවුන්ගේ සිරුරු කුණු වී යන ලෝකයට බැඳ තැබීමයි කියා පැවසූ ටේෂන් විවාහය දැඩි ලෙස හෙළා දැක්කේය.

ජස්ටින් මාටර්ගේ මරණින් පසු, පො.යු. 166දී පමණ ටේෂන් එක්‍රාටීට්වරුන් කියා හඳුන්වනු ලැබූ තපස් ජීවිත ගත කරන නිකාය පිහිටවනු ලැබූ බව හෝ එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ බව පෙනෙන්න තිබේ. එහි අනුගාමිකයෝ දැඩි ලෙස තමන්වම දමනය කරගත්හ. තමන්ගේ සිරුර පාලනය කළහ. ඔවුන් ගත කරන තපස් ජීවිතයේදී වයින්, විවාහය හා සියලුම දේවල් අයිති කරගැනීම යනාදියෙන් වැළකී සිටිය යුතු විය.

ඉගෙනගත යුතු පාඩමක්

ටේෂන් ශුද්ධ ලියවිලිවලින් එතරම් ඈත් වූයේ මන්ද? ඔහු ‘අසා අමතක කරන්නෙකු [NW]’ වූවාද? (යාකොබ් 1:23-25) ටේෂන් බොරු කතන්දර ප්‍රතික්ෂේප කිරීමට අසමත් වීම නිසා මිනිස් දර්ශනවාදයේ ගොදුරක් වූවාද? (කොලොස්සි 2:8; 1 තිමෝති 4:7) ඔහු අනුබල දුන් වැරදි දේවල් අතිවිශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඔහු යම්කිසි මානසික අසමබරතාවකින් පෙළුණා කියා සිතිය හැකිද?

සිදු වූ දෙය කුමක් වුවත් ටේෂන්ගේ කෘතිවලින් හා ආදර්ශයෙන් ඔහු විසූ කාලයේ පැවති ආගමික වාතාවරණය පිළිබඳව තොරතුරු අනාවරණය කරගත හැක. ලෞකීක දර්ශනවාදයේ බලපෑම මොන තරම් හානිකර විය හැකිද කියා එයින් පැහැදිලි වේ. මේ නිසා “ශුද්ධ දේ දූෂ්‍ය කරන හිස්වූ කතාවලින්ද, ‘දැනුම’ ලෙස සැලකෙන බොරු පරස්පර විරෝධී මතවලින්ද අහක්ව සිටින්න” කියා ප්‍රේරිත පාවුල් දුන් අනතුරු ඇඟවීම අපි සිතට ගනිමු.—1 තිමෝති 6:20, NW.