Skip to content

පටුනට යන්න

නෝවාගේ සටහන් පොත එයින් අපට ගත හැකි යමක් ඇද්ද?

නෝවාගේ සටහන් පොත එයින් අපට ගත හැකි යමක් ඇද්ද?

නෝවාගේ සටහන් පොත එයින් අපට ගත හැකි යමක් ඇද්ද?

තමා පැමිණ සිටින කාලය හා පවතින සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය පිළිබඳව ලකුණ ගැන අනාවැකිය දෙන විට යේසුස් මෙසේ පැවසීය. “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදීද වන්නේය.” (මතෙව් 24:3, 37, NW) අද දින අපගේ කාලයේදී සිදු වන දේවල් හා නෝවාගේ දවස්වල සිදු වූ දේවල් අතර සමාන්තරයක් ඇතැයි යේසුස් පුරෝකථනය කළ බව මින් පැහැදිලි වේ. එමනිසා නෝවාගේ කාලයේදී සිදු වූ දේවල් පිළිබඳව විශ්වාසවන්ත හා නිවැරදි වාර්තාවක් ඉතා වටිනා යමක් විය හැකියි.

නෝවාගේ සටහන් පොත එවන් වටිනා යමක් සේ සැලකිය හැකිද? සැබෑ ඓතිහාසික වටිනාකමකින් යුත් ලේඛනයක ලක්ෂණ එය සතුව තිබේද? ජලගැල්ම සිදු වූයේ කවදාද යන්න අපට ඇත්තටම නිර්ණය කළ හැකිද?

ජලගැල්ම සිදු වූයේ කවදාද?

මිනිස් ඉතිහාසයේ මුල දක්වාම නිවැරදිව ආපස්සට ගණන් කිරීමට රුකුලක් වන කාලානුක්‍රමිකව පිළියෙළ කර ඇති තොරතුරු බයිබලයෙහි අන්තර්ගතය. උත්පත්ති 5:1-29 දක්වා කියවද්දී මුල් මිනිසා වූ ආදම්ගේ මැවීමේ සිට නෝවාගේ උපත දක්වා පෙළපත් වාර්තාව අපට සොයාගත හැකිය. ජලගැල්ම පටන්ගත්තේ “නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ” බව එහි සඳහන්ය.—උත්පත්ති 7:11.

ජලගැල්ම සිදු වූ කාලය නිර්ණය කිරීමට, මුලින්ම අප කේන්ද්‍රීය දිනයක් නියම කිරීම අවශ්‍යය. මින් අදහස් වන්නේ ලෞකික ඉතිහාස වාර්තාවල පිළිගෙන ඇති, බයිබලයේ වාර්තා කර ඇති නිශ්චිත සිදුවීමකට අනුරූප වන දිනයකින් අප ගණනය කිරීම ආරම්භ කළ යුතු බවය. එවැනි කේන්ද්‍රීය දිනයක් නියම කරගත් විට, එය පදනම් කරගෙන අපට ගණනය කිරීම් කළ හැකි අතර, දැනට පොදුවේ භාවිත වන ග්‍රෙගෝරියන් දිනදර්ශනය භාවිත කරමින් ජලගැල්ම සිදු වූ කාලයට දිනයක් නියම කළ හැකි වේ.

එක් කේන්ද්‍රීය දිනයක් වන්නේ පො.යු.පෙ. 539වන වසරයි. ඒ වසරේදී පර්සියානු රජ වූ කෝරෙෂ් බබිලෝනිය පරාජය කළේය. ඔහුගේ පාලන සමය පැවති කාල වකවානුව නිශ්චය කිරීමට තිබෙන බාහිර මූලාශ්‍ර අතර, බබිලෝනීය සටහන් පුවරු සහ ඩයඩෝරස්, ඇෆ්‍රිකේනස්, යුසීබියස් සහ ටොලමි වැනි අය ලියූ ලේඛනද වේ. කෝරෙෂ් නිකුත් කළ නියෝගයක් හේතුවෙන්, ගණනින් එතරම් විශාල නොවූ යුදෙව් පිරිසක් බබිලෝනියෙන් බැහැර වී පො.යු.පෙ. 537දී තම මව්බිම කරා පැමිණියෝය. ඒත් සමඟම වසර 70ක් පුරා පැවති යූදා දේශයේ පාළුවීම නිමාවකට පත් විය. බයිබල් වාර්තාවට අනුව, එම පාළුවීමේ කාල පරිච්ඡේදය පටන්ගෙන තිබුණේ පො.යු.පෙ. 607දීය. විනිශ්චයකරුවන්ගේ සමය සහ ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ පාලන සමය ගණනය කිරීමෙන් ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවෙන් නික්ම ආවේ පො.යු.පෙ. 1513දී බව අපට නිගමනය කළ හැකිය. බයිබලය මත පදනම් වූ කාල නිර්ණය අපව තවත් වසර 430ක් ආපස්සට ගෙන යමින් පො.යු.පෙ. 1943වන වසරට පැමිණෙයි. ඒ ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කළ වසර වේ. ඊළඟට අප තේරා, නාහොර්, සෙරුග්, රෙයු, පෙලෙග්, ඒබෙර්, ෂේලා සහ අර්පක්ෂද් උපන් අවුරුදු මෙන්ම ඔවුන් ජීවත් වූ කාලය ගණනය කළ යුතුය. අවසානයට සඳහන් අර්පක්ෂද් උපන්නේ ‘ජලගැලීමෙන් දෑවුරුද්දකට පසුවය.’ (උත්පත්ති 11:10-32) මේ අනුව ජලගැල්ම පො.යු.පෙ. 2370වන වසරේදී පටන්ගත් බව නිගමනය කිරීමට අපට පුළුවන. *

ජලගැල්ම ඇරඹේ

නෝවාගේ කාලයේ සිදු වූ දේවල් පුනරීක්ෂණය කරන්නට මත්තෙන් උත්පත්ති 7වන පරිච්ඡේදයේ 11වන පදයේ සිට 8වන පරිච්ඡේදයේ 4වන පදය දක්වා කියවීමට ඔබ කැමති විය හැකියි. ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සම්බන්ධයෙන් අපට මෙසේ කියවීමට තිබේ. “නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ [පො.යු.පෙ. 2370] දෙවෙනි මස දසසත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය. ආකාශයේ කවුළුද ඇරුණේය.”—උත්පත්ති 7:11.

නෝවා වසරක් බෙදුවේ දින 30ක් බැගින් යුත් මාස 12කටය. ආදි කාලවලදී මුල්ම මාසය ආරම්භ වූයේ අපගේ දිනදර්ශනයේ තිබෙන සැප්තැම්බර් මාසයේ මැදදී පමණය. වර්ෂාව ඇදහැළෙන්නට පටන්ගත්තේ ‘දෙවෙනි මස දසසත්වෙනි දිනයෙහිය.’ තවද පො.යු.පෙ. 2370වන වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී වර්ෂාව දවල් 40ක් හා රෑ 40ක් පුරා අඛණ්ඩව ඇදහැළුණේය.

ජලගැල්ම සම්බන්ධයෙන් අපට මෙම තොරතුරුද සොයාගත හැකිය. “ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය. . . . ජලය නොකඩවා පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩු විය. නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය.” (උත්පත්ති 7:24–8:4) එසේනම්, ජලයෙන් මුළු පොළොවම වැසී ගිය අවස්ථාවේ සිට එය බැස ගිය කාලය දක්වා දවස් 150ක් නැතහොත් මාස පහක් ගත විය. මේ අනුව නැව අරරත් කඳු පිට නැවතුණේ පො.යු.පෙ. 2369 අප්‍රියෙල් මාසයේදීය.

දැන් උත්පත්ති 8:5-17 දක්වා කියවීමට ඔබ කැමති විය හැකියි. කඳු මුදුන් දැකගත හැකි වූයේ මාස දෙකහමාරකින් (දින 73කින්) පමණ පසුවයි, එනම් ‘දසවෙනි මස [ජූනි] පළමුවෙනි දිනේදීය.’ (උත්පත්ති 8:5) * ඉන් අනතුරුව මාස තුනකට (දින 90කට) පසු, එනම් “හයසිය එක්වෙනි අවුරුද්දේ පළමුවෙනි මස පළමුවෙනි දින” නැතහොත් පො.යු.පෙ. 2369වන වසරේ සැප්තැම්බර් මස මැද වෙද්දී නෝවා නැවේ වැස්ම හැර බැලුවේය. එවිට ‘ජලය පොළොව මතුපිටින් සිඳී ගොස් තිබුණු’ බව දැකගැනීමට ඔහුට හැකි විය. (උත්පත්ති 8:13) මාසයකුත් දින 27කින් (දින 57කින්) අනතුරුව එනම් “දෙවෙනි මස විසිසත්වෙනි දින [පො.යු.පෙ. 2369 නොවැම්බර් මැදදී] පොළොව වියළී තිබුණාය.” එවිට නෝවාද ඔහුගේ පවුලේ අයද නැවෙන් පිට වී වියළි භූමිය මත පය තැබුවෝය. එබැවින් නෝවා සහ ඔහුගේ පවුලේ අය නැවෙහි චන්ද්‍ර වසරකුත් දින දහයක් (දින 370ක්) ගත කළෝය.—උත්පත්ති 8:14.

සිදුවීම්, තොරතුරු සහ කාලය පිළිබඳ දත්ත ඇතුළත් මෙම නිවැරදි වාර්තාවලින් ඔප්පු වන්නේ කුමක්ද? සරලව කියනවා නම්, ප්‍රොපේත මෝසෙස් යම් මිථ්‍යා ප්‍රබන්ධ කථාවක් නොව සැබෑ සිදුවීමක් ඉදිරිපත් කරමින් සිටි බවය. පෙනෙන විදිහට ඔහු උත්පත්ති වාර්තාවට පදනම ලෙස භාවිත කළේ කලින් ලබාගෙන තිබූ වාර්තාය. එමනිසා අද දින අපට ජලගැල්ම ඉමහත් අර්ථයකින් යුක්ත වේ.

වෙනත් බයිබල් ලේඛකයන් ජලගැල්ම සැලකුවේ කෙසේද?

උත්පත්ති වාර්තාවට අමතරව නෝවා ගැන හෝ ජලගැල්ම ගැන බයිබලයෙහි නොයෙකුත් යොමු දැක්වීම් තිබේ. නිදසුනකට මේවා බලන්න:

(1) පර්යේෂක එස්රා ඊශ්‍රායෙල් ජාතියේ පෙළපත් වාර්තාව පිළියෙළ කරද්දී නෝවාද ඔහුගේ පුතුන්ද (ෂෙම්, හාම් සහ යඵෙත්) ඊට ඇතුළත් කළේය.—1 ලේකම් 1:4-17.

(2) වෛද්‍ය හා සුවිශේෂ ලේඛක ලූක් යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන්මිත්තන් ලැයිස්තුගත කරද්දී නෝවාවද ඊට ඇතුළත් කරයි.—ලූක් 3:36.

(3) ප්‍රේරිත පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්ට ලියද්දී ජලගැල්ම ගැන කිහිප වතාවක්ම සඳහන් කරයි.—2 පේතෘස් 2:5; 3:5, 6.

(4) ප්‍රේරිත පාවුල් නෝවා ගැන කතා කරමින් කියන්නේ තම පවුල ගැලවීම සඳහා නැව තැනීමේදී නෝවා ඉමහත් ඇදහිල්ලක් විදහා පෙන්වූ බවය.—හෙබ්‍රෙව් 11:7.

දේවානුභාවය ලැබූ මෙම බයිබල් ලේඛකයන් ජලගැල්ම පිළිබඳ උත්පත්ති වාර්තාව පිළිගත් බවට කිසිදු සැකයක් තිබිය හැකිද? එය සැබෑ සිදුවීමක් වූ බවට ඔවුන් තුළ අල්පමාත්‍රයකවත් සැකයක් නොතිබිණ.

යේසුස් සහ ජලගැල්ම

මිනිසෙකු වීමට පෙර යේසුස් ක්‍රිස්තුස් ජීවත් වූයේය. (හිතෝපදේශ 8:30, 31) ජලගැල්ම සිදු වෙද්දී ඔහු ස්වර්ගයෙහි ආත්ම ජීවියෙක් ලෙස ජීවත් විය. එමනිසා නෝවා සහ ජලගැල්ම සම්බන්ධයෙන් අපට ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සාක්ෂිවලින් ප්‍රබලතම සාක්ෂි ලැබෙන්නේ යේසුස්ගෙනි. මන්දයත් ඔහු මෙම සිදුවීම් සියැසින් දුටු සාක්ෂිකරුවෙකු වන බැවිනි. යේසුස් මෙසේ පැවසීය. “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදීද වන්නේය. මන්ද ජලගැල්මට පෙර ඒ දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා, ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ. එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදීත් වන්නේය.”—මතෙව් 24:37-39, NW.

පවතින මෙම සමාජ ක්‍රමයේ මතු අවසානය ගැන අනතුරු ඇඟවීමට යේසුස් කට කතා භාවිත කරාවිද? කිසිසේත් නැත. දුෂ්ටයන් මත දිව්‍ය විනිශ්චය ක්‍රියාත්මක වූ අන්දම පිළිබඳ සැබෑ නිදසුනක් ඔහු භාවිත කළ බව අපට නිසැකයි. ජීවිත ගණනාවක් අහිමි වූ බව නම් ඇත්තයි. එනමුත්, නෝවාද ඔහුගේ පවුලද ජලගැල්ම තුළින් බේරී ජීවත් වූ බව දැනගැනීමෙන් අපට සැනසිල්ලක් ලබාගත හැකිය.

අද දින එනම්, “මනුෂ්‍ය පුත්‍රයා” වන යේසුස් ක්‍රිස්තුස් “පැමිණ සිටින කාලයේ” ජීවත් වන අයට “නෝවාගේ දවස්” ඉමහත් වැදගත්කමකින් යුක්තය. නෝවා විසින් තබන ලද වාර්තාවක් හේතුවෙන් ආරක්ෂා වී ඇති සමස්ත ලෝක ජලගැල්ම පිළිබඳ තොරතුරු රැසකින් යුත් වාර්තාව කියවාගෙන යද්දී, එය සත්‍යවාදී ඓතිහාසික වාර්තාවක් බවට අපට සහතික විය හැකිය. ඇත්තෙන්ම ජලගැල්ම පිළිබඳ දේවානුභාවයෙන් ලියන ලද උත්පත්ති වාර්තාව අපහට ඉමහත් අර්ථවත්භාවයකින් යුක්තය. බේරී ජීවත් වීම සඳහා දෙවි ස්ථාපිත කළ විධිවිධානය කෙරෙහි නෝවා, ඔහුගේ පුතුන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇදහිල්ල තැබුවා සේම, යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව කෙරෙහි අප තබන ඇදහිල්ල පදනම් කරගෙන අද දින අපට යෙහෝවාගේ රැකවරණය යටතට පැමිණිය හැකියි. (මතෙව් 20:28) එපමණක්ද නොව, නෝවාගේ සටහන් පොතෙන් පැහැදිලි වන්නාක් මෙන්, එකල පැවති අභක්තික ලෝකය අවසානයකට ගෙනා ජලගැල්මෙන් නෝවා සහ ඔහුගේ පවුල බේරී ජීවත් වුණාක් මෙන්, දැන් පවතින මෙම දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානයෙන් බේරී ජීවත්වන්නන් අතර සිටීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමටද අපට පුළුවන.

[පාදසටහන්වල]

^ 7 ඡේ. ජලගැල්මේ දින නියම කිරීම ගැන තවත් තොරතුරු ලබාගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත Insight on the Scriptures 1 වෙළුමේ පිටු 458-60 දක්වා බලන්න.

^ 12 ඡේ. පරණ ගිවිසුම පිළිබඳ කයිල් ඩෙලිට්ෂ්ගේ විවරණය 1 වෙළුමේ, 148වන පිටුවෙහි (සිංහලෙන් නැත) මෙසේ සඳහන් වේ. “ඇතැම්විට, කඳු මත නැව නැවතී දින 73කට පමණ පසු, කඳු මුදුන්, එනම් නැව වටේටම පිහිටි ආමේනියානු උස්බිම්වල මුදුන් දැකගත හැකි විය.”

[5වන පිටුවේ කොටුව]

ඔවුහු එතරම්ම කාලයක් ජීවත් වූවෝද?

බයිබලය පවසන පරිද්දෙන් “නෝවාගේ සියලු දවස් අවුරුදු නවසිය පනසක්ය; ඔහු මළේය.” (උත්පත්ති 9:29) නෝවාගේ සීයා වූ මෙතුසෙලා වසර 969ක් ජීවත් විය. එය මිනිසෙකු ජීවත් වී ඇති වැඩිම වාර්තාගත කාලය වේ. ආදම්ගේ සිට නෝවා දක්වා ජීවත් වූ පරම්පරා දහයේ සාමාන්‍ය ආයු කාලය වසර 850කට වඩා වැඩි විය. (උත්පත්ති 5:5-31) ඒ කාලයේදී ජීවත් වූ මිනිස්සු එතරම්ම දීර්ඝ කාලයක් ජීවත් වූවෝද?

මිනිසුන් සදාකල් ජීවත් වීම දෙවිගේ මුල් අරමුණ විය. මුල්ම මිනිසා වූ ආදම්ව මවන ලද්දේ දෙවිට කීකරු වීම නමැති කොන්දේසිය මත කිසිදාක නිම නොවන ජීවිතයක් භුක්ති විඳීමේ අවස්ථාව ඇතුවය. (උත්පත්ති 2:15-17) එනමුත් ආදම් අකීකරු වී, එම අවස්ථාව අහිමි කරගත්තේය. මිය යෑම නමැති සංසිද්ධියට ක්‍රමානුකූලව ළඟා වෙමින් වසර 930ක් ජීවත් වීමෙන් අනතුරුව, ආදම් තමාව ගන්නා ලද භූමියට ආපසු හැරී ගියේය. (උත්පත්ති 3:19; 5:5) මුල් මිනිසා වූ ආදම් ඔහුගේ ජනිතයන් සියල්ලන්ටම උරුම කර දුන්නේ පාපය හා මරණයයි.—රෝම 5:12.

කෙසේවෙතත්, එම කාල වකවානුවේ ජීවත් වූ අය ආදම් මුලින් භුක්ති විඳි පරිපූර්ණ කාල පරිච්ඡේදයට සමීප කාලයක ජීවත් වූ බැවින්, ඉන් බොහෝ කාලයකට පසු ජීවත් වූ අයට වඩා වැඩි ආයු කාලයක් භුක්ති විඳි බව පෙනේ. එමනිසා, ජලගැල්මට පෙර යුගයේ අවුරුදු දහසකට ආසන්න වූ මිනිස් ආයු කාලය, ජලගැල්මෙන් අනතුරුව ඉතා ශීඝ්‍රයෙන් පහත වැටිණ. නිදසුනක් වශයෙන්, ආබ්‍රහම් ජීවත් වූයේ වසර 175ක් පමණි. (උත්පත්ති 25:7) තවද එම විශ්වාසවන්ත කුලදෙටුවාගේ මරණයෙන් වසර 400කට පමණ පසුව ප්‍රොපේත මෝසෙස් මෙසේ ලීවේය. “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය. ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය. එසේ වුවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය. මක්නිසාද එය වහාම ගත වෙයි. අපිද ඉගිලී යමු.” (ගීතාවලිය 90:10) අද දින තත්වය ඒ හා සමාන වේ.

[6, 7වන පිටුවේ වගුව⁄පින්තූර]

වහල්කමින් මිදී යුදෙව්වන්ට යළිත් පැමිණීමට ඉඩ සැලසූ කෝරෙෂ්ගේ නියෝගයේ සිට නෝවාගේ දවසේ ජලගැල්ම දක්වා පසුපසට ගණන් කිරීම

537 කෝරෙෂ්ගේ නියෝගය *

539 පර්සියානු කෝරෙෂ් විසින්

බබිලෝනිය පරාජය කිරීම

68 වසරක්

607 යූදාහි 70 වසරක පාළුවීම ඇරඹේ

නායකයන්,

විනිසුරුවන් හා

ඊශ්‍රායෙල්හි

රජවරුන් යටතේ

906 වසරක අධීක්ෂණයක්

1513 ඊජිප්තුවෙන් නික්මයෑම

430 වසරක් ඊශ්‍රායෙල් පුත්‍රයන් ඊජිප්තුවේ හා කානාන්

දේශයේ වාසය කළ 430 වසරක කාල පරිච්ඡේදය

(නික්මයාම 12:40, 41)

1943 ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම වලංගු කිරීම

205 වසරක්

2148 තේරාගේ උපත

222 වසරක්

2370 ජලගැල්මේ ආරම්භය

[පාදසටහන]

^ 35 ඡේ. යුදෙව්වන්ව වහල්කමින් නිදහස් කිරීම සඳහා කෝරෙෂ්ගේ නියෝගය “පර්සියාවේ රජ වූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී” දෙන ලද්දේය. ඒ බොහෝදුරට පො.යු.පෙ. 538වන වසරේ හෝ පො.යු.පෙ. 537වන වසරේ මුල් භාගයේදීය.