Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

වර්ෂ 2002 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 11වෙනි පිටුවේ හත්වෙනි ඡේදයේ සඳහන් වූයේ අලුත් යුදෙව් ඇදහිලිවන්තයින් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී වතුර බව්තීස්මයෙන් “ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට තමන්ගේ ජීවිතය කැප කිරීම” සංකේතවත් කළ බවයි. නමුත් කලින් අදහස වූයේ පො.යු. 33 සිට පො.යු. 36 දක්වා, යුදෙව්වන් වතුරේ ගිල්වීමෙන් තමන්වම කැප කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බවයි. එසේනම් මුලින් සඳහන් කළ මුරටැඹ සඟරාවේ එසේ පවසන්නේ ඇයි?

යෙහෝවා දෙවි පො.යු.පෙ. 1513දී ඊශ්‍රායෙලිතයන්ට ඔහුගේ ශුද්ධ සෙනඟ වීමේ ප්‍රස්තාව උදා කර දුන්නේ එක කොන්දේසියක් මතයි. එම කොන්දේසියට අනුව ඔවුන් ‘අනිවාර්යයෙන් ඔහුගේ හඬට කීකරුව ඔහුගේ ගිවිසුම රක්ෂා’ කළ යුතුව තිබුණා. ඔවුහු මෙයට පිළිතුරු වශයෙන් “යෙහෝවා කී සියල්ල අපි කරන්නෙමුයයි කීවෝය.”—නික්මයාම 19:3-8, NW; 24:1-8.

මෝසෙස්ගේ නීතික ගිවිසුම පැවැත්වීමට එකඟ වීමෙන් ඊශ්‍රායෙලිතයන් දෙවිට කැප වුණා. ඉන්පසු බිහි වූ පරම්පරාවල් මේ කැප වූ ජාතියේ කොටසක් වුණා. කෙසේවෙතත් පො.යු. 33 පෙන්තකොස්ත දවසේ සිට යේසුස්ගේ අනුගාමිකයන් වූ යුදෙව්වන් බව්තීස්ම වූ විට, කැප වූ ජාතියක සාමාජිකයන් ලෙස දෙවි ඉදිරියේ පෙනී සිටීමට වඩා වෙනස් යමක් එම බව්තීස්මයට අයත් වුණා. එයින් සංකේතවත් වුණේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට කැපවීමෙන් ඔහු සමඟ අලුත් සම්බන්ධයක් ඇතිවීමයි. ඒ කෙසේද?

පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමේ උඩුමහල් කාමරයක රැස් වී සිටි ගෝලයන් 120දෙනෙකු මත ශුද්ධාත්මය වැගිරවීමෙන් අනතුරුව, එම සිද්ධිය බැලීමට එක් රොක් වූ යුදෙව්වන් හා ඔවුන්ගේ ආගමට හැරුණු අයද ඇතුළු විශාල සෙනඟකට පේතෘස් දේශනා කරන්න පටන්ගත්තා. හොඳ සාක්ෂියක් දීමෙන් පසු පේතෘස් වධ දෙන හෘදය සාක්ෂියකින් පෙළුණු යුදෙව්වන්ට මෙසේ පැවසුවා. “ඔබ සියලුදෙනා පසුතැවිලි වී ඔබේ පව්වලට සමාව ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් බව්තීස්ම වන්න.” මේ සම්බන්ධව තවත් අවවාදානුශාසනා ඉදිරිපත් කිරීමෙන් පසු “ඔහුගේ වචනය උනන්දුවෙන් පිළිගත් අය බව්තීස්ම වූහ. එදින තුන්දහසක් පමණ ඔවුන්ට එකතු වූහ.”—ක්‍රියා 2:1-41, NW.

පේතෘස්ගේ එම අවවාදානුශාසනාවෙන් පසු බව්තීස්ම වූ එම යුදෙව්වන් ඒ වන විටත් කැප වූ ජාතියක්ව සිටියේ නැද්ද? ඔවුන් කැප වූ ජාතියක් ලෙස දෙවි සමඟ සම්බන්ධකමක් භුක්ති වින්දේ නැද්ද? නැහැ. මේ ගැන ප්‍රේරිත පාවුල් ලියා තිබෙන්නේ ‘දෙවි නීතිය වධ කණුවෙහි ඇණ ගසා එය නැති කර දැම්මේය’ කියායි. (කොලොස්සි 2:14, NW) පොදු යුගයේ 33හි සිදු වූ ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන්, යෙහෝවා දෙවි තමා සමඟ ඊශ්‍රායෙල් ජාතියට කැප වූ සම්බන්ධකමක් පැවැත්වීමට තිබූ පදනම වූ නීතික ගිවිසුම අහෝසි කළා. දෙවිගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කළ අයව දෙවි විසින්ම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ‘මාංසික වූ ඊශ්‍රායෙලයට’ තවදුරටත් දෙවිට කැප වූ ජාතියක් ලෙස පෙනී සිටින්නට හැකි වුණේ නැහැ.—1 කොරින්ති 10:18, NW; මතෙව් 21:43.

නීතික ගිවිසුම පො.යු. 33දී අහෝසි කරනු ලැබුවා. නමුත් යෙහෝවා දෙවි යුදෙව්වන් කෙරෙහි විශේෂ අනුග්‍රහය හා සැලකිල්ල දැක්වීම එම අවස්ථාවේදී අවසන් වුණේ නැහැ. * අනුග්‍රහය දැක්වීමේ කාලය පො.යු. 36 දක්වා පැවතුණා. පේතෘස් එම වසරේදී දේවභයැති කොර්නේලියස්ට හා ඔහුගේ ගෙයි වැසියන්ටත් ඒ වගේම අනෙකුත් අන්‍ය ජාතිකයන්ටත් දේශනා කළ විට එම කාලය අවසන් වුණා. (ක්‍රියා 10:1-48) මෙම අනුග්‍රහය දක්වන කාලය මෙලෙස දීර්ඝ කිරීම සඳහා වූ පදනම කුමක්ද?

“[මෙසියස්] සතියකට බොහෝදෙනෙකු සමඟ ගිවිසුමක් ස්ථිර කොට” තැබිය යුතුයයි දානියෙල් 9:27හි සඳහන් වෙනවා. අවුරුදු සතක හෝ “සතියක” කාලය ආරම්භ වුණේ පො.යු. 29දී යේසුස්ගේ බව්තීස්මය හා මෙසියස්ගේ ප්‍රසිද්ධ දේවසේවය ආරම්භ වීමත් සමඟයි. එම කාලය තුළ බලපැවැත්වූ ගිවිසුම වූයේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමයි. යම් කෙනෙක් එම ගිවිසුම යටතේ සම්බන්ධතාවක් භුක්ති විඳීමට නම් ඔහු ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණෙන හෙබ්‍රෙව් ජාතිකයෙක් විය යුතුයි. යෙහෝවා දෙවි සමඟ කැප වූ සම්බන්ධතාවක් පැවැත්වීමට එම ඒක පාර්ශ්වික ගිවිසුම යටතේ අවස්ථාවක් ලැබුණේ නැහැ. පේතෘස්ගේ සාක්ෂි දැරීමෙන් පසු බව්තීස්ම වූ යුදෙව් ඇදහිලිවන්තයින් උපතින්ම යුදෙව්වන් වූ නිසා විශේෂ අනුග්‍රහයක් ලැබුවද නීතික ගිවිසුම අහෝසි වීමෙන් පසු ඔවුන් දෙවි සමඟ කැප වූ සම්බන්ධකමක් පැවැත්වුවා කියා කීමට පදනමක් තිබුණේ නැහැ. ඔවුන් පෞද්ගලිකව තම ජීවිත දෙවිට කැප කිරීම අවශ්‍ය වුණා.

පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී යුදෙව්වන් හා යුදෙව් ආගමට හැරුණු අය තමන් විසින්ම කැපවීමක් කර බව්තීස්ම වීම අවශ්‍ය වීමට තවත් හේතුවක් තිබුණා. එදා ප්‍රේරිත පේතෘස් තම ශ්‍රාවකයන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ පසුතැවිලි වී යේසුස්ගේ නාමයෙන් බව්තීස්ම වන ලෙසයි. එසේ කිරීම සඳහා ඔවුන් ලෝකයේ ආකාරයෙන් ඉවත් වී යේසුස් ස්වාමීන් හා මෙසියස් බවත් උත්තම පූජකයා බවත් ඒ වගේම ඔහු ස්වර්ගයේ දෙවිගේ දකුණු පැත්තේ සිටින බවත් පිළිගත යුතුව තිබුණා. තවද ඔවුන් ගැලවීම සඳහා යේසුස් ක්‍රිස්තුස් තුළින් යෙහෝවා දෙවිගේ නාමයට හඬගැසීම අවශ්‍ය වුණා. මීට යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල පෙන්වීමත් ඔහුව නායකයා ලෙස පිළිගැනීමත් අයත් වුණා. දෙවි සමඟ සම්බන්ධතාවක් පැවැත්වීම හා පාපවලට සමාව ලබාගැනීම සඳහා වූ පදනම එතැන් සිට සම්පූර්ණයෙන්ම වෙනස්. ඇදහිලිවන්ත යුදෙව්වන් පෞද්ගලිකවම මෙම අලුත් විධිවිධානය පිළිගැනීම අවශ්‍ය වුණා. කොහොමද? දෙවිට තමන්ව කැප කිරීම හා එසේ කර ඇති බව ප්‍රසිද්ධියේ පෙන්වීමට යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් සම්පූර්ණයෙන්ම ගිලී බව්තීස්ම වීම මගිනුයි. වතුර බව්තීස්මය ඔවුන් දෙවිට කැප වී ඇති බවට සංකේතයක් වූ අතර යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවි සමඟ ඇති කරගත් අලුත් සම්බන්ධයක ආරම්භය වුණා.—ක්‍රියා 2:21, 33-36; 3:19-23.

[පාදසටහන]

^ 7 ඡේ. යේසුස් ස්වර්ගස්ථ වී ඔහු පූජා කළ මිනිස් ජීවිතයේ වටිනාකම යෙහෝවා දෙවිට ඔප්පු කළ විට, මෝසෙස්ගේ නීතික ගිවිසුම අවලංගු වූ අතර, එමගින් “අලුත් ගිවිසුම” සඳහා පදනමක් දමනු ලැබුවා.—යෙරෙමියා 31:31-34.