Skip to content

පටුනට යන්න

පෙර සහ පසු අඳුරු අතීතයක සිට දීප්තිමත් හෙට දිනකට

පෙර සහ පසු අඳුරු අතීතයක සිට දීප්තිමත් හෙට දිනකට

“දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය”

පෙර සහ පසු අඳුරු අතීතයක සිට දීප්තිමත් හෙට දිනකට

“දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. . . . සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.” (හෙබ්‍රෙව් 4:12, NW) දෙවිගේ පණිවිඩයේ තිබෙන කාවදිනසුලු බලය ගැන ප්‍රේරිත පාවුල් පැවසුවේ එලෙසයි. එහි තිබෙන හදවතට කතා කිරීමේ හැකියාව පොදු යුගයේ පළමු ශතවර්ෂයේ මනාව දක්නට ලැබුණි. ඒ කාල වකවානුවේ අහිතකර බලපෑම් තිබුණද බොහෝ අය අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගනිමින් ක්‍රිස්තියානීන් බවට පත් වූහ.—රෝම 1:28, 29; කොලොස්සි 3:8-10.

දේවවචනය සතු ජීවිත පරිවර්තනය කිරීමේ හැකියාව අද දිනත් දැකගත හැකියි. මීට එක් උදාහරණයක් නම් හැඩි දැඩි දේහයකින් හෙබි පුද්ගලයෙකු වූ රිචඩ්ය. ඔහු සුළු කාරණයකදී පවා කෝපයට පත් වෙන නිසාවෙන් නිතර කලකෝලහලවල පැටලුණි. ඔහුගේ ජීවිතය පිරී තිබුණේ සාහසිකකම්වලිනි. රිචඩ් බොක්සිං ක්‍රීඩා සමාජයක සාමාජිකයෙකු වී සිටි අතර වෙහෙස මහන්සි වී පුහුණු වීම් කටයුතු කර ජර්මනියේ වෙස්ට්ෆෙලියාවල හෙවිවේට් බොක්සිං ශූරයෙකු බවට පත් විය. එමෙන්ම අධික ලෙස මත්පැන් පානය කිරීමේ පුරුද්දක්ද ඔහුට තිබූ අතර රණ්ඩු දබරවලද පැටලුණි. එසේ රණ්ඩුවකට ගිය එක් අවස්ථාවක පුද්ගලයෙකු මිය ගිය අතර ඔහු හිරේ නොගොස් බේරුණේ අනූනවයෙනි.

රිචඩ්ගේ විවාහ ජීවිතය ගැන කුමක් කිව හැකිද? “මම සහ මගේ භාර්යාව වන හයිකර් බයිබලය පාඩම් කරන්න කලින් තමන්ට ඕන ඕන විදිහටයි දේවල් කළේ. එයාට ඕන දේ එයා කළා. හයිකර් ඇගේ මිතුරියන් සමඟ වැඩි කාලයක් ගත කළා. මම මගේ විනෝදාංශ වන බොක්සිං, රළ පැදීම (surfing) සහ කිමිදීම වැනි ක්‍රීඩාවල නිරතව හිටියා” කියා රිචඩ් තම අතීතය සිහිපත් කරමින් පැවසීය.

රිචඩ් සහ හයිකර් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් විට, දේවවචනයේ තිබෙන උසස් ප්‍රතිපත්තිවලට අනුව ජීවිතය වෙනස් කරගැනීමට නොහැකි වේවිය යන සිතුවිල්ල නිසා රිචඩ් අධෛර්යයට පත් විය. ඒත් ඔහු යෙහෝවා දෙවිව හොඳින් දැනහඳුනා ගත් පසු යෙහෝවාව සතුටු කිරීමට මහත් ඕනෑකමක් ඔහු තුළ ඇති විය. දෙවි ප්‍රචණ්ඩත්වයට ප්‍රිය කරන අයවවත් විනෝදයට හෝ එසේ ක්‍රියා කරන අයවවත් අනුමත නොකරන බව රිචඩ් වටහාගත්තේය. ‘යෙහෝවාගේ ආත්මය බලහත්කාරකමට ප්‍රිය වෙන්නාට ද්වේෂ කරයි’ යන කාරණය රිචඩ් ඉගෙනගත්තේය.—ගීතාවලිය 11:5.

ඊට අමතරව, පාරාදීස පොළොවක සදාකාලිකව ජීවත් වීමේ බලාපොරොත්තුව රිචඩ් සහ හයිකර්ගේ සිත්ගත්තේය. ඔවුන් දෙදෙනාට අවශ්‍ය වූයේ පාරාදීසයේ එකට විසීමටයි! (යෙසායා 65:21-23) “දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය” යන ආරාධනයද රිචඩ්ගේ හදවතට තදින්ම කාවැදුණේය. (යාකොබ් 4:8, NW) එමෙන්ම ‘බලහත්කාරකම් කරන්නාට ඊර්ෂ්‍යා නොකරන්න. ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න. මක්නිසාද වංක තැනැත්තා යෙහෝවාට පිළිකුලක්ය. නමුත් ඔහුගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය’ යන දේවානුභාවය ලත් උපදේශයට අවනත වීමේ වටිනාකමත් ඔහු තේරුම්ගත්තේය.—හිතෝපදේශ 3:31, 32.

තම මාර්ග වෙනස් කරන්න මහත් ආශාවක් තිබුණද එය තමාගේම ශක්තියෙන් කළ නොහැකි බව රිචඩ් තේරුම්ගත්තේය. ඔහුට වැටහී ගියේ යාච්ඤාව තුළින් දෙවිගේ උපකාර පැතීම අවශ්‍ය බවයි. ඉන්පසු ඔහු යේසුස් තම ගෝලයන්ට කියූ දේට එකඟව කටයුතු කළේය. “ඔබ වරදට නොපෙලඹෙන පිණිස සෝදිසියෙන් සිට නොකඩවා යාච්ඤා කරන්න. සිත නම් කැමතිය. නමුත් මාංසය දුර්වලය.”—මතෙව් 26:41, NW.

බලහත්කාර ලෙස කටයුතු කිරීම සහ කෝපවීම පිළිබඳව දෙවි දරන අදහස් දැනගත් පසු බොක්සිං ක්‍රීඩාව දෙවි පිළි නොගන්න ක්‍රීඩාවක් බව රිචඩ්ට පැහැදිලි විය. යෙහෝවාගේ සහ ඔහු සමඟ පාඩම පැවැත්වූ අයගේ උපකාරයෙන් රිචඩ් ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම අත්හැර දැමුවේය. බොක්සිං ක්‍රීඩාව සහ රණ්ඩු දබරවලට පැටලීම සම්පූර්ණයෙන්ම නතර කර දැමූ ඔහු පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට උනන්දු විය. “බයිබලයෙන් සත්‍යය ඉගෙනගනිමින් සිටින නිසා යම් ක්‍රියාවක් කිරීමට පෙර ඒ ගැන කල්පනා කර බැලීමට මම පෙලඹුණා” කියා දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක ඉතාමත් මොළොක් ගති පැවතුම් ඇති අවේක්ෂකයෙකු ලෙස කටයුතු කරන රිචඩ් පැවසීය. ‘දැන් මගේ භාර්යාව සහ දරුවන් සමඟ මගේ සම්බන්ධය ගොඩනැඟී තිබෙන්නේ ප්‍රේමය හා ගෞරවය යන ප්‍රතිපත්තිය මතයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පවුලේ එකිනෙකා අතර ලොකු බැඳීමක් ඇති වෙලා තියෙනවා’ කියා තවදුරටත් ඔහු පැවසීය.

ඇතැම් අවස්ථාවලදී, වැරදි තොරතුරුවලට කන් දෙන සමහරෙකු කියා සිටින්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවුල් විනාශ කරන බවයි. නමුත් රිචඩ්ගේ අද්දැකීමෙන් එය මුසාවක් බව ඔප්පු වේ. අඳුරු අතීතයක් තිබූ අයට නිවස තුළ යහපත් වාතාවරණයක් ඇති කරගැනීමටත් දීප්තිමත් අනාගතයක් ලබාගැනීමටත් බයිබල් සත්‍යය ඇත්තෙන්ම උපකාරයක් වී තිබේ.—යෙරෙමියා 29:11.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අවශ්‍ය වෙනස්කම් කිරීමට මට මඟ පෑදුවේ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලපොරොත්තුවයි”

[9වන පිටුවේ කොටුව]

ජීවිත වෙනස් කරන බයිබල් ප්‍රතිපත්ති

මනුෂ්‍යයන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කිරීමට බයිබලයට හැකියාවක් ඇත. සාහසික ලෙස කටයුතු කළ පුද්ගලයන්ට එම හැසිරීම වෙනස් කිරීමට උපකාරවත් වූ බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් මතු දැක්වේ.

බලවන්තයාට වඩා කෝපවීමට ප්‍රමාද වන්නාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත පාලනය කරගන්නාද උතුම්ය.” (හිතෝපදේශ 16:32, NW) පාලනය කරගත නොහැකි කෝපය ශක්තියේ ලක්ෂණයක් නොව දුර්වලකමේ ලක්ෂණයකි.

“විචාර බුද්ධිය ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි.” (හිතෝපදේශ 19:11, NW) යම් සිදුවීමක් දෙස පුළුල්ව බැලීමට විචාර බුද්ධිය සහ අවබෝධය උපකාරවත් වන අතර එමගින් ගැටුමකට තුඩු දෙන ආකාරයේ ප්‍රකෝපකාරී හැසිරීමකින්ද යම් කෙනෙකුව වළකාලයි.

‘කෝපාධික මනුෂ්‍යයෙකු සමඟ මිත්‍ර නොවන්න. එසේ කළොත් සමහරවිට ඔබත් ඔහු මෙන් වීමට ඉඩ තිබේ.’ (හිතෝපදේශ 22:24, 25) ක්‍රිස්තියානීන් ඉක්මනින් කෝපාවිෂ්ට වන අය සමඟ කරන ඇසුර නැණවත් ආකාරයෙන් මඟහරියි.