Skip to content

පටුනට යන්න

ස්ථිරව සිටින්න, ජීවන තරඟයෙන් ජයගන්න

ස්ථිරව සිටින්න, ජීවන තරඟයෙන් ජයගන්න

ස්ථිරව සිටින්න, ජීවන තරඟයෙන් ජයගන්න

ඔබට කැලඹුණු මුහුදක් මැදින් ගමන් කරන්න සිදු වුණා නම් ඔබ තෝරාගන්නේ කුමන වර්ගයේ යාත්‍රාවක්ද? බාල ද්‍රව්‍යවලින් තැනූ කුඩා බෝට්ටුවක්ද නැත්නම් ඉතා හොඳින් තැනූ සවිමත් නැවක්ද? දරුණු රැළිවලට වඩාත් හොඳින් ඔරොත්තු දිය හැකි නැවක් ඔබ තෝරාගන්නවාට සැකයක් නැහැ.

දැන් පවතින මේ ක්‍රමය තුළ කුණාටුවක් බඳු අනතුරුදායක තත්වයන් මැද ජීවත් වන අප, සසල කරවන විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. උදාහරණයකට, මේ ලෝකයේ ව්‍යාකූල කරවන අදහස් හා විලාසිතාවන් නිසා යෞවනයන් අන්දමන්ද වී සිටිය හැකි අතර මේ නිසා ඔවුන්ට යම් අනාරක්ෂිතබවක්ද දැනෙන්න ඉඩ තිබෙනවා. ක්‍රිස්තියානි ගමන් මඟට මෑතකදී පිවිසුණු අයට තවමත් යම් අස්ථිරබවක් දැනෙනවා විය හැකියි. තවද අවුරුදු ගණනාවක් පුරා ස්ථිරව මෙන්ම විශ්වාසවන්තව දෙවිට සේවය කර තිබෙන සමහරදෙනෙකු පවා තම අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම ඉටු වී නැති නිසා පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටිනවා ඇති.

දෙවිගේ සේවකයන් තුළ එවැනි හැඟීම් පහළ වීම අලුත් දෙයක් නොවෙයි. යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළ මෝසෙස්, යෝබ් සහ දාවිත් වැනි අය පවා ඇතැම් අවස්ථාවලදී කලකිරුණා. (ගණන් කථාව 11:14, 15; යෝබ් 3:1-4; ගීතාවලිය 55:4) එහෙත් ජීවිත කාලය පුරාම ඔවුන් යෙහෝවාට ගැඹුරු භක්තියකින් ස්ථිර ලෙස සේවය කළා. ඔවුන්ගේ කදිම ආදර්ශ තුළින් ස්ථිරව සිටීම සඳහා අපිට දිරිගැන්වීමක් ලැබුණත් සාතන් නමැති යක්ෂයාට අවශ්‍ය වන්නේ සදා ජීවනය සඳහා වූ ධාවන පථයෙන් අපව ඉවත් කරවන්නයි. (ලූක් 22:31) එහෙමනම්, “ඇදහිල්ලේ ස්ථිරව” මෙන්ම නොසැලී සිටීමට අපට හැක්කේ කොහොමද? (1 පේතෘස් 5:9) ඒ වගේම, සෙසු ඇදහිලිවන්තයන්ව ශක්තිමත් කිරීම සඳහා අපට කුමක් කරන්න පුළුවන්ද?

අප ස්ථිරව සිටිනවා දකින්න යෙහෝවා කැමතියි

අපි යෙහෝවාට විශ්වාසවන්තව සිටියොත් ඔහු සැමවිටම අප සමඟ සිට අපේ ස්ථාවරය රැකීමට අපට උපකාර කරාවි. ගීතිකාකාර දාවිත් දුෂ්කර තත්වයන් ගණනාවකට මුහුණ දුන්නා. එහෙත් දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබූ නිසා ඔහුට මෙසේ ගායනා කිරීමට පුළුවන් වුණා. “[යෙහෝවා] ගැඹුරු වළකින්, එනම් මඩ ගොහොරුවක පහත අඩියේ සිටම මා එසෙව්වේය. ඉන්පසු ඔහු මාගේ පාද පර්වතයක් පිට තබා මාගේ පියවර නොසැලෙන සේ ස්ථිර කළේය.”—ගීතාවලිය 40:2, NW.

යෙහෝවා අපව ශක්තිමත් කරනවා ‘සදාකාල ජීවනය තදින් අල්ලාගැනීමට’ හැකි වන සේ “ඇදහිල්ලේ යහපත් සටනෙහි” සටන් කිරීමට. (1 තිමෝති 6:12, NW) ඒ විතරක් නොවෙයි, අපගේ ස්ථාවරය රැකගැනීම සඳහාත් අපගේ ආත්මික සටනෙන් ජය අත් කරගැනීම සඳහාත් ඔහු අපට උපකාර කරනවා. ප්‍රේරිත පාවුල් සෙසු නමස්කාරකයන්ට උනන්දු කළේ, “ස්වාමීන් තුළද ඔහුගේ ශක්තියේ බලය තුළද වඩ වඩාත් බලවත් වන්න” සහ ‘යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටීමට හැකි වන සේ දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න’ කියායි. (එෆීස 6:10-17, NW) එහෙත් අප තුළ අස්ථිරබවක් ඇති කළ හැකි දේවල් මොනවාද? ඒ වගේම, එවැනි අනතුරුදායක බලපෑම්වලින් අපට ආරක්ෂා විය හැක්කේ කෙසේද?

ස්ථාවරය බිඳ හෙළන දේවල් ගැන පරෙස්සමෙන්

මෙම අතිවැදගත් කාරණය මතක තබාගැනීම ඥානවන්තයි. එනම්, අප ගන්නා තීරණ අවසානයේදී අපේ ක්‍රිස්තියානි ස්ථාවරයට ශුභවාදී අන්දමින් හෝ අශුභවාදී අන්දමින් බලපාන බව. වෘත්තිය, උසස් අධ්‍යාපනය සහ විවාහය වැනි කාරණා සම්බන්ධයෙන් යෞවනයන්ට තීරණ ගැනීමට සිදු වෙනවා. වෙනත් ප්‍රදේශයකට පදිංචිය මාරු කරනවාද නැත්නම් අමතර රැකියාවක් භාරගන්නවාද වැනි කාරණා ගැන තීරණ ගැනීමට සමහරවිට වැඩිහිටියන්ට සිදු විය හැකියි. ඒ වගේම, අපේ කාලය භාවිත කරන ආකාරය හා වෙනත් කාරණා රැසක් පිළිබඳව අප දිනපතාම තීරණ ගන්නවා. දෙවිගේ සේවකයන් ලෙස අපේ ස්ථාවරය රැකීමට දායක වන නැණවත් තීරණ ගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? දීර්ඝ කාලයක් පුරා ක්‍රිස්තියානියෙකුව සිටින එක් කාන්තාවක් පැවසුවේ මෙහෙමයි. “මම තීරණ ගනිද්දී යෙහෝවාගේ උපකාරය ඉල්ලනවා. බයිබලයෙන්, ක්‍රිස්තියානි රැස්වීම්වලින්, වැඩිමහල්ලන්ගෙන් හා බයිබල් ප්‍රකාශනවලින් ලැබෙන උපදෙස් පිළිගෙන ඒවා පිළිපැදීම හරිම වැදගත් කියලා මට හිතෙනවා.”

තීරණ ගනිද්දී අප අපගෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘මම අද ගන්නා තීරණ ගැන මම තව අවුරුදු පහකින් දහයකින් සතුටු වේවිද? නැත්නම් මට පසුතැවෙන්න වේවිද? මං තීරණ ගන්නා විට මගේ ආත්මිකත්වය ගොඩනැංවෙන තීරණ හැර එය කඩාකප්පල් කරන ආකාරයේ තීරණ නොගන්නා බවට මම මටම සහතික කරගන්නවාද?’—පිලිප්පි 3:16.

වැරදි පෙලඹීම්වලට ඉඩහැරීමේ හෝ දෙවිගේ නීති උල්ලංගනය කිරීමේ සීමාවටම යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් බව්තීස්ම ලත් ඇතමෙකු අස්ථිර ජීවන රටාවකට වැටී සිටිනවා. පසුතැවිලි නොවී දිගටම පව්කාර ක්‍රියාමාර්ගයක් ලුහුබැඳීම හේතුවෙන් සභාවෙන් නෙරපනු ලැබූ කිහිපදෙනෙක් යළි පිහිටුවනු ලබන තත්වයට ඒමට සෑහෙන වෙහෙසක් දරා තිබෙනවා. එහෙත් සුළු කාලයකින් එවැනිම වරදක් කිරීම නිසා ඔවුන්ව නැවතත් සභා ඇසුරෙන් කපාහැර තිබෙනවා. සමහරවිට ‘දුෂ්ට දේට ද්වේෂ කරන්නත් යහපත් දේට ඇලුම්ව සිටින්නත්’ දෙවිගෙන් උපකාර ඉල්ලා ඔවුන් යාච්ඤා නොකළා විය හැකිද? (රෝම 12:9, NW; ගීතාවලිය 97:10) අප සියලුදෙනාම නිරතුරුවම ‘අපේ පාදවලට සමතලා පාරවල් සාදාගත’ යුතුයි. (හෙබ්‍රෙව් 12:13) එමනිසා, අපේ ආත්මික ස්ථාවරය රැකගැනීමට උපකාරවත් වන කරුණු කිහිපයක් දැන් සලකා බලමු.

ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නියැලීමෙන් ස්ථිරත්වය රැකගන්න

අපේ ජීවන තරඟයෙහි ස්ථාවර වේගයකින් ගමන් කිරීමට දායක වන එක් දෙයක් වන්නේ රාජ්‍ය දේශනා කිරීමේ වැඩය තුළ කාර්ය බහුලව සිටීමයි. දෙවිගේ කැමැත්ත කිරීම කෙරෙහිත් සදාකාල ජීවනය නමැති ත්‍යාගය කෙරෙහිත් අපේ මනස් හා හදවත් ස්ථිර ලෙස යොමු කර තබාගැනීමට අපේ ක්‍රිස්තියානි දේවසේවය ඇත්ත වශයෙන්ම වටිනා ආධාරකයක්. මේ සම්බන්ධයෙන් පාවුල් කොරින්තිවරුන්ට උනන්දු කළේ මෙසේයි. “මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ස්ථිර වන්න. නොසැලී සිටින්න. ස්වාමීන් තුළ ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දැන, ස්වාමීන්ගේ වැඩෙහි නිතරම කාර්යබහුලව සිටින්න.” (1 කොරින්ති 15:58, NW) “ස්ථිර” යන්නෙන් අදහස් කරන්නේ ‘නොසෙල්වෙන ලෙස නියමිත ස්ථානයෙහි රැඳී සිටීමයි.’ “නොසැලී සිටින්න” සඳහා මුල් භාෂාවේ භාවිත කර ඇති යෙදුම මගින් ‘තම නැංගුරම්පොළෙන් ගසාගෙන යෑම වැළැක්වීම’ යන්න සංකේතවත් කළ හැකියි. එමනිසා, අපේ දේවසේවයෙහි කාර්යබහුලව සිටීම මගින් අපේ ක්‍රිස්තියානි ගමන් මඟට ස්ථාවරත්වයක් ලබා දිය හැකියි. යෙහෝවාව දැනහඳුනා ගැනීමට අන්‍යයන්ට උපකාර කිරීමෙන් අපේ ජීවිතයට අර්ථවත්බවක් මෙන්ම සන්තෝෂයද එක් වෙනවා.—ක්‍රියා 20:35.

අවුරුදු 30කට අධික කාලයක් පුරා මිෂනාරිවරියක් ලෙසද පූර්ණ කාලීන සේවයේ වෙනත් අංගවලද සේවය කර තිබෙන පෝලීන් මෙසේ පවසනවා. “දේවසේවයේ යෙදීම මට ලොකු ආරක්ෂාවක්. මොකද අනිත් අයට දේශනා කරද්දී මං ළඟ සත්‍යය තිබෙන බවට වූ මගේ විශ්වාසය තවත් තහවුරු වෙනවා.” නමස්කාරය සඳහා රැස්වීම්වලට පැමිණීම හා උනන්දුමත් ලෙස පෞද්ගලික අධ්‍යයනයේ යෙදීම වැනි වෙනත් ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල නිතරම යෙදී සිටීමෙන්ද ඒ හා සමාන නිසැකකමක් වර්ධනය කරගැනීමට පුළුවන්.

ප්‍රේමණීය සහෝදරත්වයකින් ස්ථාවරත්වයක්

සැබෑ නමස්කාරකයන්ගෙන් සමන්විත ලෝක ව්‍යාප්ත සංවිධානයට අයත් වීමෙන් ඉතා ප්‍රබල ආකාරයකින් අපට ස්ථාවරත්වයක් ලබා දිය හැකියි. එවැනි ප්‍රේමණීය ජාත්‍යන්තර සහෝදරත්වයකට අයත් වීම මොන තරම් ආශීර්වාදයක්ද! (1 පේතෘස් 2:17) ඒ වගේම අපේ සෙසු නමස්කාරකයන් තුළ ස්ථාවරත්වයක් ඇති කරන්න අපටත් පුළුවන්.

යෝබ් නමැති අවංක මිනිසා අන්‍යයන්ට උපකාර පිරිනැමූ ආකාරය ගැන සිතා බලන්න. බොරු සැනසිලිකරුවෙක් වූ එලීපස්ට පවා මෙසේ පිළිගැනීමට සිදු වුණා. “සෙලවෙන තැනැත්තා නුඹේ වචනවලින් නුඹ ස්ථිර කළෙහිය. නැමෙන දණහිස් සවි කළෙහිය.” (යෝබ් 4:4) අපත් අන්‍යයන්ට එසේ උපකාර කරන බව පැවසිය හැකිද? අප සෑම කෙනෙකුටම පෞද්ගලික වගකීමක් තිබෙනවා දෙවිගේ සේවය තුළ විඳදරාගැනීමට අපේ ආත්මික සහෝදර සහෝදරියන්ට උදව් කරන්න. අප ඔවුන් සමඟ ඇසුරු කරද්දී “බෙලහීන අත් බලවත් කර, වෙවුලන දණහිස් සවි කරන්න” යන වචනවලට එකඟව ක්‍රියා කරන්න අපට පුළුවන්. (යෙසායා 35:3) එහෙමනම්, ඔබ සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කරන සෑම අවස්ථාවකදීම ඔවුන්ගෙන් එක්කෙනෙකුව හෝ දෙදෙනෙකුව ශක්තිමත් කිරීමට හා දිරිගැන්වීමට අදිටන් කර නොගන්නේ මන්ද? (හෙබ්‍රෙව් 10:24, 25) යෙහෝවාව සතුටු කිරීමට දරන නිරන්තර වෑයම සඳහා දිරිගැන්වෙන වචනවලින් ඔවුන්ට ප්‍රශංසා කිරීමෙන් හා ස්තුති කිරීමෙන් ස්ථිරව සිට ජීවන තරඟයෙන් ජයගැනීමට ඔවුන්ට උපකාර කළ හැකි බව නිසැකයි.

නවකයන්ව දිරිගැන්වීමෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට සෑහෙන යහපතක් කළ හැකියි. උපකාරවත් වන යෝජනා ඉදිරිපත් කිරීමෙන්, ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ නිවැරදි උපදෙස් සැපයීමෙන් හා ඔවුන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි වැඩ කිරීමෙන් ඔවුන්ට මෙසේ කළ හැකියි. ප්‍රේරිත පාවුල් අන්‍යයන්ව ශක්තිමත් කිරීම සඳහා හැකි සෑම ප්‍රස්තාවක්ම යොදාගත්තා. රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ව දැකගැනීමට ඔහු තුළ තදබල ආශාවක් තිබුණේ ඔවුන්ව ආත්මික වශයෙන් ශක්තිමත් කිරීමට ඔහු දැක්වූ කැමැත්ත නිසයි. (රෝම 1:11) ඔහු ෆිලිප්පියේ සිටි තම ප්‍රේමණීය සහෝදර සහෝදරියන්ව සැලකුවේ තම “ප්‍රීතියත්, ඔටුන්නත්” හැටියටයි. තවද ඔහු ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ “ස්වාමීන් තුළ ස්ථිරව සිටින” ලෙසයි. (ෆිලිප්පි 4:1, NW) තෙසලෝනිකයේ සිටි තම සහෝදරයන්ගේ දුක් පීඩා ගැන ඇසූ විට පාවුල් ඔවුන් වෙතට තිමෝතිව යැව්වේ ‘පීඩා නිසා කිසිවෙක් නොසැලෙන පිණිස ඔවුන්ව ස්ථිර කිරීමට හා සනසාලීමටයි.’—1 තෙසලෝනික 3:1-3, NW.

ප්‍රේරිත පාවුල් මෙන්ම පේතෘස්ද තම සෙසු නමස්කාරකයන් අවංක වෑයම් දරද්දී ඒ බව පිළිගත්තා. ඒ වගේම ඒවා අගය කළා. (කොලොස්සි 2:5; 1 තෙසලෝනික 3:7, 8; 2 පේතෘස් 1:12) අපිත් ඒ හා සමානව, අපේ සහෝදරයන්ගේ දුර්වලතා වෙතට අවධානය යොමු කරනවා වෙනුවට ඔවුන්ගේ යහපත් ගුණාංග වෙතට අවධානය යොමු කරමු. යෙහෝවාව ගෞරවයට පත් කිරීම සඳහාත් ස්ථිරව සිටීම සඳහාත් ඔවුන් සාර්ථක ලෙස කරන සටන වෙතට අවධානය යොමු කරමු.

අපි නිෂේධාත්මක හෝ විවේචනාත්මක වුණොත් ඇදහිල්ලේ ස්ථිරව සිටීමට ඇතමෙකු දරන වෑයම අප නිසා තවත් අසීරු විය හැකියි. අපේ සහෝදරයන් දැන් පවතින මේ සමාජ ක්‍රමය තුළ “දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස්” සිටින බව මතක තබාගැනීම මොන තරම් වැදගත්ද! (මතෙව් 9:36, NW) ක්‍රිස්තියානි සභාව තුළින් සැනසීමක් හා සහනයක් අද්දකින්න ඔවුන්ට පුළුවන් විය යුතුයි. එමනිසා, අපි සියලුදෙනාම අපේ සෙසු නමස්කාරකයන්ව ගොඩනැංවීමටත් ඔවුන්ට ස්ථිරව සිටීමට උදව් කිරීමටත් හැකි සෑම උත්සාහයක්ම දරමු.

අපේ ස්ථිරත්වය හීන වී යන ආකාරයෙන් අන්‍යයන් ඉඳ හිට අප සමඟ කටයුතු කළ හැකියි. එහෙත් අනුන්ගේ සැර පරුෂ වචනයක් නිසා හෝ අකාරුණික ක්‍රියාවක් නිසා අප යෙහෝවාට කරන සේවය අඩාළ කරනවාද? අපේ ස්ථිරත්වය බිඳ හෙළීමට කිසිවෙකුට ඉඩ නොදීමට අපි අදිටන් කරගනිමු!—2 පේතෘස් 3:17.

ස්ථාවරත්වයක් ලබා දෙන දෙවිගේ පොරොන්දු

යෙහෝවාගේ රාජ්‍ය පාලනය යටතේ අපට ප්‍රීතිමත් අනාගතයක් භුක්ති විඳිය හැකි බවට වූ ඔහුගේ පොරොන්දුව නිසා අපට බලාපොරොත්තුවක් තිබෙනවා. එය දායක වෙනවා අපේ ස්ථිරත්වය රැක දීමට. (හෙබ්‍රෙව් 6:19) ඒ වගේම, දෙවි හැමදාමත් තම පොරොන්දු ඉටු කරන බවට වූ නිසැකකම නිසා ‘අවදිව සිටීමටත් ඇදහිල්ලේ ස්ථිරව සිටීමටත්’ අප පෙලඹෙනවා. (1 කොරින්ති 16:13, NW; හෙබ්‍රෙව් 3:6) දෙවි සමහරක් පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වී ඇති බවක් හැඟුණු විට අපේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් විය හැකියි. එමනිසා බොරු ඉගැන්වීම්වලට මුළා නොවී සිටීමටත් අපේ බලාපොරොත්තුවෙන් ඉවතට ගසාගෙන නොයෑමටත් අප වගබලා ගත යුතුමයි.—කොලොස්සි 1:23; හෙබ්‍රෙව් 13:9.

යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල නොතැබීම නිසා විනාශ වූ ඊශ්‍රායෙලිතයන්ගේ නරක ආදර්ශය අපට අනතුරු ඇඟවීමක් විය යුතුයි. (ගීතාවලිය 78:37) අපි ඔවුන් මෙන් නොවී ස්ථිරව සිට, මෙම අන්තිම දවස්වලදී හදිසිතාවේ හැඟීමෙන් යුතුව දෙවිට සේවය කරමු. අද්දැකීම් ලත් එක් වැඩිමහල්ලෙක් මෙසේ පැවසුවා. “මම හැම දවසක්ම ගත කරන්නේ හෙට දවසේදී යෙහෝවාගේ මහත් දවස පැමිණෙයි යන හැඟීම ඇතුවයි.”—යෝවෙල් 1:15.

යෙහෝවාගේ මහත් දවස අතළඟ බව නිසැකයි. එහෙත් අප දෙවිට ළංව සිටියොත් අපට බියවීමට කිසිම හේතුවක් නැහැ. ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති තදින් අල්ලාගෙන ස්ථිරව සිටියොත් සදාකාල ජීවනය සඳහා වූ තරඟයෙන් ජයගන්න අපට පුළුවන්!—හිතෝපදේශ 11:19; 1 තිමෝති 6:12, 17-19.

[23වන පිටුවේ පින්තූරය]

සෙසු ක්‍රිස්තියානීන්ට ස්ථිරව සිටීම සඳහා උපකාර කිරීමට ඔබේ උපරිමය කරමින් සිටිනවාද?

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

The Complete Encyclopedia of Illustration/J. G. Heck