Skip to content

පටුනට යන්න

දෙවිව සතුටු කරවන දීම

දෙවිව සතුටු කරවන දීම

දෙවිව සතුටු කරවන දීම

යේසුස් හා ඔහුගේ ගෝලයෝ සමීප මිතුරන් කීපදෙනෙකු සමඟ බෙතානියෙහිදී රසවත් ආහාරයක් භුක්ති විඳිමින් සිටියහ. ඔවුන් අතර මරියා, මාර්තා මෙන්ම ඉන් ටික කලකට පෙර නැවත නැඟිටුවනු ලැබූ ලාසරුස්ද වූහ. මරියා මිල අධික තෙල් ග්‍රෑම් 327ක් ගෙන යේසුස්ගේ පාදවල ගැල්වූ විට යූදස් ඉස්කාරියොත් කෝපයට පත්ව ඊට විරෝධය පෑවේය. “මේ සුවඳ තෙල ඩිනාරි තුන්සියයකට [මෙය වසරක පමණ වේතනයට සමානය] විකුණා දිලිඳුන්ට නොදුන්නේ ඇයි?” විගස අන් අයද එවැනිම චෝදනා නැඟූහ.—යොහන් 12:1-6, NW; මාක් 14:3-5.

කෙසේවුවත්, යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඇයට ඉන්න ඉඩහරින්න. . . . මන්ද, දිලින්දෝ ඔබ සමඟ සැමදාම සිටිති. ඔබට කැමති හැමවිටම ඔවුන්ට යහපත කරන්න ඔබට හැක. නමුත් මම ඔබ සමඟ සැමදාම නොසිටිමි.” (මාක් 14:6-9, NW) යුදෙව් ආගමික නායකයන්ගේ ඉගැන්වීම වූයේ, දාන මාන දීම යහගුණයක් පමණක් නොව එමගින් පව්වලට සමාව පවා ලැබිය හැකි බවය. අනික් අතට, දෙවිව සතුටු වන අයුරින් දීමට නම්, දිලිඳුන්ට සහනාධාර දීම පමණක් ප්‍රමාණවත් නොවන බව යේසුස් පැහැදිලි කළේය.

මුල් ක්‍රිස්තියානි සභාව දුන් ආකාරය ගැන මොහොතකට කල්පනා කර බලනවා නම්, අන්‍යයන් ගැන සැලකිලිමත් වීමට අපට හැකි ආකාරය හා දීම මගින් දෙවිව සතුටු කළ හැකි ඇතැම් ප්‍රායෝගික මාර්ග අපට පැහැදිලි වෙයි. වැඩිම යහපත සිදු කරන අද්විතීය දීමක්ද ඉන් අවධාරණය කෙරෙනු ඇත.

“දයාන්විතව පරිත්‍යාග කරන්න”

අවස්ථා කීපයකදීම යේසුස් සිය ගෝලයන්ට දිරිගැන්වූයේ “දයාන්විතව පරිත්‍යාග කරන්න” නැතහොත් වෙනත් පරිවර්තනවල දැක්වෙන පරිදි “සහනාධාර දෙන්න” හෝ “සරණ සේවාවන්ට දෙන්න” කියාය. (ලූක් 12:33, NW; නිව් ඉංග්ලිෂ් බයිබල් සහ චාල්ස් බී. විලියම්ස් විසින් ලියන ලද ඒ ට්‍රාන්ස්ලේෂන් ඉන් ද ලැන්ග්වෙජ් ඔෆ් ද පීපල්) කෙසේවුවද, දෙවිව මහිමයට පත් කරනවාට වඩා දෙන තැනැත්තාව මහිමයට පත් කරගැනීමේ අභිප්‍රායෙන් සියල්ලන්ටම ප්‍රදර්ශනය වන ආකාරයෙන් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් යේසුස් අනතුරු ඇඟෙව්වේය. “ඔබ දයාන්විත ලෙස පරිත්‍යාග කරන විට, ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. මිනිසුන්ගෙන් ගෞරවය ලබන පිණිස කුහකයෝ සිනගෝගවලදීත් වීථිවලදීත් එසේ කරති” කියා ඔහු පැවසුවේය. (මතෙව් 6:1-4, NW) මෙම අවවාදය පිළිපදිමින් මුල් ක්‍රිස්තියානීහු තම කාලයෙහි සිටි මවාගත් ශ්‍රද්ධාවත්කමක් පෙන්වූ ආගමික නායකයන් බොරු ආටෝපයට කළ ක්‍රියාවලින් වැළකී සිටියෝය. ඔවුන් තෝරාගත්තේ, අවශ්‍යතාව ඇති අයට පෞද්ගලික සේවාවන් ඉදිරිපත් කිරීමට හෝ පෞද්ගලිකව පරිත්‍යාග පිරිනමමින් උපකාර කිරීමටය.

උදාහරණයක් වශයෙන්, ලූක් 8:1-3හි [NW] අපට පවසන්නේ මග්දලේනා ලෙස හැඳින්වූ මරියාද, යොවානාද, සුසෑනා සහ වෙනත් අයද යේසුස්ට හා ඔහුගේ ප්‍රේරිතයන්ට “තමුන් සතු දෙයින්” පුහු ආටෝපයෙන් තොරව උපස්ථාන කරමින් සිටි බවය. දිලිඳුන් නොවූවත් මෙම පුරුෂයන් දේවසේවයට සම්පූර්ණයෙන්ම කැපවීම සඳහා තම ජීවනෝපාය අත්හැර තිබිණ. (මතෙව් 4:18-22; ලූක් 5:27, 28) මොවුන්ට දෙවි දී තිබූ පැවරුම ඉටු කිරීමට උපකාර කිරීමෙන් එම ස්ත්‍රීහු දෙවිව මහිමයට පත් කළහ. එමෙන්ම ඔවුන්ගේ දයාන්විත පරිත්‍යාගයන් පිළිබඳව අනාගත පරම්පරාවටද කියවිය හැකි වන ලෙස එම තොරතුරු බයිබලයෙහි වාර්තා කිරීම මගින් දෙවි ඒ සඳහා තම අගය පෙන්නුවේය.—හිතෝපදේශ 19:17; හෙබ්‍රෙව් 6:10.

“යහපත් ක්‍රියා කිරීමේද දයාන්විත ලෙස පරිත්‍යාග කිරීමේද බොහෝ සේ නියැලී සිටි” [NW] තවත් කරුණාවන්ත ස්ත්‍රියකි දොර්කස්. මුහුද කිට්ටුව තිබූ නගරයක් වූ යොප්පාවෙහි සිටි ඇය දිලිඳු වැන්දඹුවන්ට ඇඳුම් මසා දුන්නාය. ඇගේ වියදමෙන් ඒවා මසා දුන්නාද නැතහොත් ඇය කුලියක් නොගෙන ඒවා මසා දුන්නාද කියා අපි නොදන්නෙමු. කෙසේවෙතත්, ඇගේ යහපත් ක්‍රියා නිසා ඇගේ උපකාරය ලැබූවන්ගෙන් මෙන්ම දෙවිගෙන්ද ආදරය කරුණාව ලද ඇයට දෙවි දයාන්විතව යහපත් දෙයින් ආශීර්වාද කළේය.—ක්‍රියා 9:36-41.

සුදුසු චේතනාව වැදගත්

මෙම පුද්ගලයන්ව දීම සඳහා පෙලඹවූ චේතනාව කුමක්ද? එය උපකාර කිරීම සඳහා කළ අයැදීමක් නිසා හදිසියේ හටගත් දයානුකම්පිත හැඟීමකට වඩා වැඩි දෙයකි. ඔවුන්ට හැඟුණේ දිලිඳුකම, විරුද්ධවාදිකම්, අසනීප හෝ වෙනත් දුෂ්කරතා අද්දකින අය සඳහා තමන්ට හැකි අයුරින් එදිනෙදා උපකාර කිරීම තමන් සතු පෞද්ගලික වගකීමක් ලෙසය. (හිතෝපදේශ 3:27, 28; යාකොබ් 2:15, 16) මෙසේ දීමෙනුයි දෙවිව සතුටු වන්නේ. එම පෙලඹීම මූලිකවම ඇති වී තිබෙන්නේ දෙවිට දක්වන ගැඹුරු ප්‍රේමය හා ඔහුගේ දයාන්විත මෙන්ම ත්‍යාගශීලී පෞද්ගලිකත්වය අනුකරණය කිරීමට තිබෙන ආශාව නිසාය.—මතෙව් 5:44, 45; යාකොබ් 1:17.

දීමේ මෙම වැදගත් අංගය හුවාදක්වමින් ප්‍රේරිත යොහන් මෙසේ ඇසුවේය. “යමෙකුට මේ ලෝකයේ දේපළ තිබෙද්දී, තමාගේ සහෝදරයාට අගහිඟකම් තිබෙන බව දැක දැකත්, තමාගේ ගැඹුරු දයානුකම්පාව තමා තුළම දොරගුලු දා වසාගන්නේ නම්, දෙවි කෙරෙහි වූ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?” (1 යොහන් 3:17, NW) පිළිතුර පැහැදිලියි. දෙවි කෙරෙහි වූ ප්‍රේමය නිසා සහනාධාර දීමට ජනයා පෙලඹේ. තමා මෙන් ත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වන අයව දෙවි අගය කරන අතර ඔවුන්ට ආශීර්වාදද කරයි. (හිතෝපදේශ 22:9; 2 කොරින්ති 9:6-11) මෙවැනි ත්‍යාගශීලීවන්තභාවයක් අදදින අපට දක්නට තිබේද? මෑතකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක සිදු වූ දේ සලකා බලන්න.

වයසක ක්‍රිස්තියානි සහෝදරියකගේ නිවස විශාල වශයෙන් අලුත්වැඩියා කිරීමට සිදු විය. තනිවම ජීවත් වූ ඇයට උපකාර කිරීමට ඇගේ පවුලේ කිසිවෙකු සිටියේ නැත. වසර ගණනාවක් පුරා ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීමට නිරතුරුවම ඇය ඇගේ නිවස විවෘත කර තිබූ අතර, ඇගේ ආරාධනාව පිළිගන්නා අය සමඟ ඈ නිතර කෑම වේලක් භුක්ති වින්දාය. (ක්‍රියා 16:14, 15, 40) ඇගේ ඛේදනීය තත්වය දුටු සභා සාමාජිකයෝ උපකාර කිරීමට එක්රොක් වූහ. සමහරුන් මුදලින් ආධාර කළ අතර අනික් අය තම ශ්‍රමය පිරිනැමූහ. සතිඅන්ත කීපයකින් ස්වේච්ඡා සේවකයෝ අලුත් වහලක් සාදා, අලුත් නාන කාමරයක්ද ඉදි කර, පළවෙනි තට්ටුව සම්පූර්ණයෙන්ම කපරාරු කර තීන්ත ගෑ අතර කුස්සියටද අලුත් රාක්ක සවි කර දුන්හ. දීමෙන් සිදු වූයේ මෙම ස්ත්‍රියගේ අවශ්‍යතාව පිරිමැසීම පමණක් නොව සභාවේ සාමාජිකයන්වද තව තවත් එකිනෙකාට ළං කිරීම සහ සැබෑ ක්‍රිස්තියානි දීම සම්බන්ධයෙන් අසල්වාසීන්වද මවිතයට පත් කිරීමය.

පෞද්ගලිකවම අන් අයට සහාය වීමට අපට හැකි බොහෝ ක්‍රම තිබේ. පියා නැති දරුවෙකු හෝ දැරියක සමඟ කාලය ගත කිරීමට අපට හැකිද? අප දන්නා මහලු වැන්දඹුවකට ඇඳුම් මසා දීමට හෝ කඩේට ගොස් බඩු ගෙනත් දීමට අපට පුළුවන්ද? මුදල් අගහිඟකම් තිබෙන කෙනෙකුට ආහාරයක් පිස දීමට හෝ වියදම සඳහා යමක් දීමට අපට හැකිද? උපකාර කිරීම සඳහා අප පොහොසත් අය විය යුතු නැත. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “පළමුකොට කැමැත්ත තිබුණත් එය විශේෂයෙන්ම පිළිගනු ලබන්නේ යමෙකුට නැති දේට අනුව නොව, යමෙකුට ඇති දේට අනුවය.” (2 කොරින්ති 8:12, NW) එහෙත්, පෞද්ගලිකව කෙළින්ම දීමට පමණක්මද දෙවි ආශීර්වාද කරන්නේ? නැත.

සැලසුම් කර දෙනු ලබන සරණාධාර ගැන කුමක් කිව හැකිද?

සමහර අවස්ථාවලදී පෞද්ගලිකව වෑයම් දැරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඇත්ත වශයෙන්ම, යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයෝ දිලිඳුන් සඳහා පොදු අරමුදලක් පිහිටෙවූ අතර තම සේවයේදී තමන්ට මුණගැසුණු සැලකිලිමත් ජනයාගෙන් ලද සම්මාදම්ද පිළිගත්හ. (යොහන් 12:6; 13:29) එලෙසම, අවශ්‍යතාව පැනනැඟුණු විට මුල් සියවසේ සභා මගින් සම්මාදම් එකතු කළ අතර මහා පරිමාණයෙන් සහනාධාර දීමටද සංවිධානය කරන ලදි.—ක්‍රියා 2:44, 45; 6:1-3; 1 තිමෝති 5:9, 10.

පොදු යුගයේ 55දී පමණ එවැනි අවස්ථාවක් පැනනැඟිණ. යුදයේ සභා දිලිඳුභාවයට වැටී තිබුණේ සමහරවිට ඒ අවදියේදීම සිදු වූ දරුණු සාගතයේ ප්‍රතිඵලයක් වශයෙන් විය හැක. (ක්‍රියා 11:27-30) ප්‍රේරිත පාවුල් සැමවිටම දිලිඳු අය ගැන සැලකිලිමත් වූ නිසා උපකාර ලබාගැනීමට මැසිඩෝනියාව දක්වා තිබූ සභාවනුත් ඇතුළත් කළේය. ඔහු පෞද්ගලිකවම සම්මාදම් එකතු කර ඒවා බෙදා දීමට අනුමැතිය ලත් පුරුෂයන්ව යෙදෙව්වේය. (1 කොරින්ති 16:1-4; ගලාති 2:10) ඔහුද, අනෙක් අයද තම සේවය වෙනුවෙන් මුදලක් ලබා නොගත්තෝය.—2 කොරින්ති 8:20, 21.

විපත්තියක් හටගත් විට අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝද කඩිනම් පියවර ගනිති. උදාහරණයකට, 2001 ගිම්හාන වැසි කුණාටු හේතුවෙන් අ.එ.ජ., ටෙක්සස්හි, හුස්ටන්වල මහා ගංවතුරක් හටගන්නා ලදි. සමස්තයක් වශයෙන්, සාක්ෂිකරුවන්ගේ නිවාස 723ක් සෑහෙන දුරකට හානියට පත්ව තිබූ අතර ඉන් බොහෝමයකට දරුණු ලෙස අලාභ හානි සිදුව තිබිණ. පුද්ගල අවශ්‍යතාවන් තක්සේරු කර බැලීමටත්, ප්‍රදේශවාසි සාක්ෂිකරුවන්ට තත්වයට මුහුණ දීමට හා තම නිවාස අලුත්වැඩියා කරගැනීමට අවශ්‍ය සරණාධාර මුදල බෙදාහැරීමටත් අවශ්‍ය විපත් සරණ සේවාවන් පිහිටුවීමට, සුදුසුකම් ලත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කරන ලදි. අසල්වැසි සභාවලින් ඉදිරිපත් වූ ස්වේච්ඡා සේවකයෝ සියලු වැඩ ඉටු කළහ. එක් සාක්ෂිකාරියක් තමා ලද උපකාරය කොතරම් අගය කළාද කිවහොත්, තම නිවස අලුත්වැඩියා කිරීමට වැය වූ මුදල රක්ෂණ සමාගමකින් ඇයට ගෙවූ විට, අවශ්‍යතාව ඇති අනෙක් අයට උපකාර කිරීම සඳහා ඈ ඒ මොහොතේම එම මුදල සරණ සේවා අරමුදලට පරිත්‍යාග කළාය.

එහෙත්, සැලසුම් කරන ලද සරණ සේවාවන්වලින් කරන බොහෝ ඉල්ලීම් ගැන සලකා බලන විට අප මෝඩ නොවිය යුතුයි. ඇතැම් සරණ සේවා මධ්‍යස්ථාන, එකතු වූ මුදලෙන් සුළු ප්‍රමාණයක් පමණක් නියමිත අරමුණ සඳහා වෙන් කර ඉතිරි මුදල් පරිපාලකයන් සඳහා හෝ ප්‍රචාරණ වැඩසටහන් සඳහා යොදාගනියි. හිතෝපදේශ 14:15හි පවසා තිබෙන්නේ මෙසේය. “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” ඒ නිසා, කරුණු පරෙස්සමින් සෝදිසි කර බැලීම ඥානවන්ත ක්‍රියාමාර්ගයකි.

අතිප්‍රයෝජනවත් දීම

සරණ සේවාවන්ට දීමට වඩා වැදගත් දීමක් තිබේ. සදාකාල ජීවනය ලැබීමට තමා කුමක් කළ යුතුද කියා එක් ධනවත් තරුණ පාලකයෙකු ඇසූ විට යේසුස් මේ ගැන ඇඟවීමක් කළේය. යේසුස් ඔහුට මෙසේ පැවසුවේය. “ගොස් ඔබ සන්තක දේ විකුණා දිලිඳුන්ට දෙන්න. එවිට ස්වර්ගයෙහි ඔබට වස්තු ඇති වන්නේය. ඇවිත් මාගේ අනුගාමිකයා වන්න.” (මතෙව් 19:16-22, NW) ‘දිලිඳුන්ට දෙන්න. එවිට ඔබට ජීවනය ලැබෙයි’ කියා යේසුස් පැවසුවේ නැති බව සලකන්න. ඒ වෙනුවට, ඔහු පැවසුවේ “මාගේ අනුගාමිකයා වන්න” කියාය. වෙනත් ආකාරයකින් පවසනවා නම්, සරණ වීමේ ක්‍රියා ප්‍රශංසනීය මෙන්ම ප්‍රයෝජනවත් වුවත් ක්‍රිස්තියානි ගෝලයෙකු වීමට ඊට වඩා වැඩි දෙයක් ඇතුළත් වේ.

යේසුස්ගේ ප්‍රධාන වැඩය වූයේ අන්‍යයන්ට ආත්මිකව උපකාර කිරීමය. ඔහුගේ මරණයට ටික කලකට පෙර, ඔහු පිලාත්ට මෙසේ පැවසුවේය. “මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය.” (යොහන් 18:37, NW) දිලිඳුන්ට උපකාර කරමින්, ලෙඩුන් සුව කරමින් හා කුසගිනි වූවන්ට කෑම දෙමින් උපකාර කිරීමෙහි පෙරමුණ ගන්නා අතරේදී, යේසුස්ගේ මූලික වැඩය වූයේ තම ගෝලයන්ව දේශනා කිරීම සඳහා පුහුණු කිරීමය. (මතෙව් 10:7, 8) ඇත්ත වශයෙන්ම, ඔහු දුන් අවසාන උපදෙස්වලට මෙම අණද ඇතුළත් විය. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.”—මතෙව් 28:19, 20, NW.

දේශනා කිරීමෙන් ලෝකයේ තිබෙන සියලුම ගැටලු විසඳෙන්නේ නැති බව නම් ඇත්තයි. එහෙත්, සියලු ආකාර ජනයා සමඟ දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය බෙදාගැනීමෙන් දෙවිව මහිමයට පත් වේ. මන්ද දේශනා කිරීම තුළින් දෙවිගේ කැමැත්ත ඉටු කෙරෙන අතර, දිව්‍ය පණිවිඩය පිළිගන්නා අයට සදාකාල ආශීර්වාද ලැබීමට මාර්ගයද විවෘත වන බැවිනි. (යොහන් 17:3; 1 තිමෝති 2:3, 4; NW) යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබව හමුවීමට පැමිණෙන ඊළඟ වතාවේදී ඔබ ඔවුන්ට සවන් දී නොබලන්නේ මන්ද? ඔවුන් පැමිණෙන්නේ ආත්මික දීමනාවක් රැගෙනයි. මෙයාකාරයෙන් ඔබට හොඳම දේ දෙන්න ඔවුන්ට හැකි බව ඔවුහු දනිති.

[6වන පිටුවේ පින්තූර]

අප සැලකිලිමත් අය බව පෙන්වීමට බොහෝ මාර්ග තිබේ

[7වන පිටුවේ පින්තූරය]

අප ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීම දෙවිව සතුටු කරවන්නක් වන අතර, එය සදාකාල ආශීර්වාදවලටද මාර්ගය විවෘත කරවන්නකි