Skip to content

පටුනට යන්න

නිශ්චලව සිට යෙහෝවා දෙන ගැලවීම බලා සිටින්න

නිශ්චලව සිට යෙහෝවා දෙන ගැලවීම බලා සිටින්න

නිශ්චලව සිට යෙහෝවා දෙන ගැලවීම බලා සිටින්න

“සැරසී නිශ්චලව සිට යෙහෝවා නුඹලාට දෙන ගැලවීම බලා සිටින්න.”—2 ලේකම් 20:17.

1, 2. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාරයක ප්‍රතිවිපාකවලට වඩා අත ළඟ තිබෙන ‘මාගොග් දේශයේ ගොග්ගේ’ ප්‍රහාරයේ ප්‍රතිවිපාක දරුණු වන්නේ මන්ද?

ත්‍රස්තවාදය ඇතමුන් විස්තර කර තිබෙන්නේ සමස්ත ලෝක ප්‍රජාවට මෙන්ම ශිෂ්ටාචාරයටම එරෙහිව එල්ල වී තිබෙන ප්‍රහාරයක් ලෙසයි. මෙවැනි තර්ජනයක් ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි කියා පිළිගැනීම සාධාරණය. කෙසේවෙතත් ලෝක ප්‍රජාව එතරම් සැලකිල්ලක් නොදක්වන, ඇතැම්විට කොහෙත්ම සැලකිල්ලක් නොදක්වන තවත් ප්‍රහාරයක් ඇත. මෙහි ප්‍රතිවිපාක ත්‍රස්තවාදී ප්‍රහාරවලට වඩා දරුණුයි. මේ ප්‍රහාරය කුමක්ද?

2 මෙම ප්‍රහාරය බයිබලයේ එසකියෙල් පොතේ 38වන පරිච්ඡේදයේ හඳුන්වන්නේ ‘මාගොග් දේශයේ ගොග්ගේ’ ප්‍රහාරය ලෙසයි. මෙම ප්‍රහාරයේ ප්‍රතිවිපාක ජාත්‍යන්තර ත්‍රස්තවාදී තර්ජනයට වඩා දරුණුයි කියා පැවසීම අතිශයෝක්තියක්ද? කොහෙත්ම නැත. මන්ද ගොග්ගේ ප්‍රහාරය බලපාන්නේ මිනිස් ආණ්ඩුවලට පමණක් නොවේ. දෙවිගේ ස්වර්ගික රාජ්‍යයද එම ප්‍රහාරයේ ඉලක්කයක් වේ. කෙසේවෙතත් මිනිසුන්ට ඔවුන්ගේ පාලන ක්‍රමය මත එල්ල කරනු ලබන ප්‍රහාරයකට සාර්ථකව මුහුණ දීමට තිබෙන හැකියාව සීමිත වුවද, ගොග්ගේ අතිශය දරුණු ප්‍රහාරයට මුහුණ දීමේ පූර්ණ හැකියාව මැවුම්කරුට තිබේ.

දෙවිගේ ආණ්ඩුවට එරෙහිව ප්‍රහාරයක්

3. වර්ෂ 1914 සිට ලෝක පාලකයන්ට ආරාධනා කර තිබෙන්නේ කුමක් කිරීමටද? ඔවුන් ඊට ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද?

3 දෙවි පත් කර තිබෙන දැන් පාලනය කරමින් සිටින රජු සහ සාතන්ගේ දුෂ්ට ක්‍රමය අතර පවතින සටන 1914දී දේවරාජ්‍යය ස්වර්ගයේ ස්ථාපිත කළ දා සිට පවතී. දෙවි විසින් තෝරා පත් කරන ලද පාලකයාට යටත් වන ලෙස ඒ කාලයේදී මිනිස් පාලකයන්ටද දැනුම් දෙන ලදි. එනමුත් එසේ කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන අතර, මේ ගැන මෙසේ පුරෝකථනය කරන ලදි. “යෙහෝවාටද ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති. අධිපතියෝද එක්ව මන්ත්‍රණය කරති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලනු අප කෙරෙන් ඉවතලමුයයි කියති.” (ගීතාවලිය 2:1-3) මාගොග්හි ගොග් ඔහුගේ ප්‍රහාරය දියත් කරනු ලබන කාලයේදී එමගින් දේවරාජ්‍යයට විරුද්ධව කරන සටන එහි උච්චාවස්ථාව කරා ළඟා වනු ඇත.

4, 5. දෙවිගේ අදෘශ්‍යමාන ස්වර්ගික ආණ්ඩුවට පහර දීමට මිනිසුන්ට හැක්කේ කෙසේද?

4 ස්වර්ගයේ තිබෙන අදෘශ්‍යමාන ආණ්ඩුවකට එරෙහිව මිනිසුන් සටන් කරන්නේ කෙසේද කියා අප කල්පනා කළ හැකියි. මෙම ආණ්ඩුව සෑදී තිබෙන්නේ “බැටළු පැටවා” වන ක්‍රිස්තුස් යේසුස් ඇතුළුව ‘පොළොවෙන් මිලේට ගෙන තිබෙන එක්ලක්ෂ සතළිස් සාර දහස්දෙනාගෙන්’ බව බයිබලය හෙළි කරයි. (එළිදරව් 14:1, 3; යොහන් 1:29) මෙම අලුත් ආණ්ඩුව තිබෙන්නේ ස්වර්ගයේ නිසා එය “අලුත් අහස” ලෙස හඳුන්වනු ලබන අතර, එහි භූමික යටත්වැසියන්ව යෝග්‍ය ලෙස හඳුන්වනු ලබන්නේ “අලුත් පොළොව” කියාය. (යෙසායා 65:17; 2 පේතෘස් 3:13) ක්‍රිස්තුස් සමඟ හවුල් පාලකයන් ලෙස කටයුතු කරන 1,44,000දෙනාගෙන් බහුතරයක් විශ්වාසවන්ත ලෙස පොළොව මත ගත කරන ජීවිත මාර්ගය දැනටමත් සම්පූර්ණ කර තිබේ. මෙසේ ඔවුන් ස්වර්ගයේ ඔවුන්ගේ නව පැවරුම් බාරගැනීම සඳහා යෝග්‍ය බව ඔප්පු කර ඇත.

5 කෙසේවෙතත් 1,44,000දෙනාට අයත් අයගෙන් සුළු පිරිසක් තවමත් පොළොව මත සිටිති. වසර 2002 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සැමරීම සඳහා 1,50,00,000කට වැඩි පිරිසක් පැමිණි අතර, ක්‍රිස්තුස් සමඟ හවුල් පාලකයන් ලෙස පාලනය කිරීමේ ස්වර්ගික පැවරුම සඳහා තමන්ව තෝරාගෙන තිබෙන බවට වූ අපේක්ෂාව ප්‍රකාශ කළේ 8,760දෙනෙකු පමණි. ස්වර්ගික රාජ්‍යයේ සාමාජිකයන් වීමේ අපේක්ෂාවෙන් සිටින මේ අයට පහර දීමට යමෙක් ඉදිරිපත් වන්නේද, ඇත්තෙන්ම ඔහු පහර දෙන්නේ දේවරාජ්‍යයටයි.—එළිදරව් 12:16ආ.

රජ ඔහුගේ ජයග්‍රහණය සම්පූර්ණ කරයි

6. දෙවිගේ සෙනඟට කරන විරුද්ධවාදිකම් යෙහෝවා සහ ක්‍රිස්තුස් සලකන්නේ කෙසේද?

6 ස්වර්ගයේ ස්ථාපිත කර තිබෙන තමන්ගේ රාජ්‍යයට දක්වන විරුද්ධත්වය සම්බන්ධයෙන් යෙහෝවාගේ ප්‍රතිචාරය ගැන මෙසේ පුරෝකථනය කර තිබේ. ‘ස්වර්ගයෙහි හිඳින තැනැත්තා සිනාසෙන්නේය. යෙහෝවා ඔවුන්ට පරිහාස කරන්නේය. එකල්හි ඔහු කෝපයෙන් ඔවුන්ට කතා කොට, තමන්ගේ උදහසින් ඔවුන් කලඹන්නේය. මම මාගේ පිරිසිදු කන්ද වන සියොන් මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවමි.’ (ගීතාවලිය 2:4-6) යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ ‘තමන්ගේ ජයග්‍රහණය සම්පූර්ණ කිරීම’ සඳහා ක්‍රියාත්මක වීමට ක්‍රිස්තුස්ට දැන් කාලය පැමිණ තිබේ. (එළිදරව් 6:2, NW) අවසාන ජයග්‍රහණය අත් පත් කරගනු ලබන කාලයේදී තමන්ගේ සෙනඟට එල්ල කරනු ලබන විරුද්ධවාදිකම් යෙහෝවා සලකන්නේ කෙසේද? ඇත්තෙන්ම යෙහෝවා එය සලකන්නේ තමන්ටත් තමන් පත් කර තිබෙන පාලක රජුටත් එරෙහි වීමක් ලෙසයි. ‘ඔබට අතගසන්නා මාගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය’ කියා යෙහෝවා පවසයි. (සෙකරියා 2:8) එමෙන්ම යේසුස් අවධාරණයෙන් යුතුව සඳහන් කළේ තමාගේ අභිෂේක ලත් සහෝදරයන්ට ජනයා කරන දේවල් හෝ නොකරන දේවල් තමන් සලකන්නේ තමාට කළ හෝ නොකළ දේවල් හැටියට බවයි.—මතෙව් 25:40, 45.

7. එළිදරව් 7:9හි විස්තර කර තිබෙන ‘මහත් සමූහයේ’ අය ගොග්ගේ උදහසට ලක්වීමට හේතු මොනවාද?

7 අභිෂේක ලත් ඉතිරි කොටසට ක්‍රියාශීලී ලෙස සහයෝගය දක්වන අය ගොග්ගේ උදහසට ලක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. දෙවිගේ ‘අලුත් පොළොවේ’ සාමාජිකයන් වීමට අපේක්ෂාවෙන් සිටින මේ අය “සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද” පැමිණෙන “මහත් සමූහයක්” වේ. (එළිදරව් 7:9, NW) “සුදු පැහැති සළු පැළඳ සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත්” සිටින අය ලෙස ඔවුන්ව විස්තර කර තිබේ. මෙයින් අදහස් වන්නේ ඔවුන් දෙවි සහ ක්‍රිස්තුස් යේසුස් ඉදිරියෙහි අනුමැතිය ලත් තත්වයක සිටින බවයි. “තල් ගස්වල අතු” ඇතුව සිටින ඔවුහු විශ්වයේ පරමාධිපති වීමට අයිතිය තිබෙන එකම තැනැත්තා වශයෙන් යෙහෝවාට ප්‍රශංසා කරති. ඔහුගේ පාලනය නියෝජනය කෙරෙන්නේ ඔහු විසින් සිංහාසනාරූඪ කරනු ලැබ සිටින “දෙවිගේ බැටළු පැටවාණෝ” වන යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය මගිනි.—යොහන් 1:29, 36, NW.

8. ගොග්ගේ ප්‍රහාරයේදී ක්‍රිස්තුස් කරන්නේ කුමක්ද? එහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද?

8 ගොග් ඔහුගේ ප්‍රහාරය දියත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට දෙවි විසින් සිංහාසනාරූඪ කරනු ලැබ සිටින රජ ඊට එරෙහිව පියවර ගනිමින් අර්මගෙදොන් නමැති යුද්ධය අරඹයි. (එළිදරව් 16:14, 16) යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන අය විනාශ වනු ඇත. අනිත් අතට දේවරාජ්‍යයට පක්ෂපාත වීම නිසා පීඩා විඳදරාගෙන සිටින අය කල් පවතින සහනයක් අද්දකිනු ඇත. මේ ගැන ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේය. “මෙය දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ සාක්ෂියකි. දෙවිගේ රාජ්‍යය උදෙසා දුක් විඳින ඔබ, එය ලබන්න වටින්නෝයයි ගණන්ගනු ලැබීමට එම විනිශ්චය මඟ පාදන්නේය. මේ නිසා, දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ වන්නේ ඔබට පීඩා කරන අයට දෙවි විසින් පීඩා ගෙන ඒමත් අපටද පීඩා විඳින ඔබටද සහනය දීමත්ය. මෙය සිදු වන්නේ, ස්වාමීන් වන යේසුස් තම බලවත් දූතයන් සමඟ ස්වර්ගයෙන් එළිදරව් වන විටදීය. ඔහු ගිනි ජාලාවක් ඇතිව එළිදරව් වී, දෙවිව නොදන්නා අයගෙන්ද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගන්නේය.”—2 තෙසලෝනික 1:5-8, NW.

9, 10. (අ) බලවත් සතුරෙකුට එරෙහිව යෙහෝවා යුදයට ජයග්‍රහණය අත් කර දුන්නේ කෙසේද? (ආ) අද දින සිටින ක්‍රිස්තියානීන් දිගටම කළ යුත්තේ කුමක්ද?

9 පැමිණීමට නියමිත මහත් පීඩාවේ උච්චාවස්ථාව වන අර්මගෙදොන් යුද්ධයේදී ක්‍රිස්තුස් සියලුම නපුරු දේවලට එරෙහිව සටන් කරනු ඇත. එනමුත් මීට අවුරුදු දහස් ගණනකට වඩා වැඩි කාලයකට ඉහතදී ගෝත්‍ර දෙකකින් සමන්විත වූ යූදා රාජ්‍යයේ වැසියන් හා සමානව ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට සටන් කිරීමට අවශ්‍ය නොවනු ඇත. එදා යුද්ධ කිරීමේ කාර්යය අයිති වූයේ යෙහෝවාටය. ඔහු ජයග්‍රහණය අත් කර දුන්නේය. වාර්තාවේ අපට මෙසේ කියවීමට තිබේ. “යූදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ටද සේයිර් කඳුකරයේ වැසියන්ටද විරුද්ධව යෙහෝවා රැක සිටින සේනාවක් පිහිටුවේය. ඔවුහු පැරදුණෝය. මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයෝ සේයිර් කඳුකරයේ වැසියන් සිඳ දමා විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධව නැඟිට්ටෝය. සේයිර් වැසියන් මුළුමනින්ම නැති කළායින් පසු ඔවුහු එකෙක් අනිකෙකු විනාශ කරන්නට උපකාර වූහ. යූදාවරු වනාහි කාන්තාරයේ මුරකොටුව උඩට ඇවිත් ඒ සමූහයා දෙස බැලූ විට ඔවුන් මළකඳන්ව බිම වැටී ඉන්නවා දුටුවෝය. ගැලවුණා වූ කිසිවෙක්ද නොසිටියේය.”—2 ලේකම් 20:22-24.

10 “නුඹලා සටන් කරන්න ඕනෑ නැත” කියා යෙහෝවා පුරෝකථනය කර තිබූ ලෙසම සිදු විය. (2 ලේකම් 20:17) යේසුස් ක්‍රිස්තුස් ‘ඔහුගේ ජයග්‍රහණය සම්පූර්ණ කරමින්’ ඉදිරියට යද්දී ක්‍රිස්තියානීන්ට අනුගමනය කිරීම සඳහා ආදර්ශයක් එම සිද්ධියෙන් සැපයේ. ඒ කාලය එන තුරු ඔවුන් දිගටම නපුරට එරෙහිව සටන් කරනු ඇත. ඔවුන් සටන් කරන්නේ සැබෑ අවි ආයුධවලින් නොව ආත්මික අවි යොදාගෙනයි. මෙසේ ඔවුහු “දිගටම යහපතෙන් නපුර පරාජය [කිරීමෙහි]” නිරත වෙති.—රෝම 6:13; 12:17-21, NW; 13:12; 2 කොරින්ති 10:3-5.

ගොග්ගේ ප්‍රහාරය දියත් කරන්නේ කවුද?

11. (අ) ගොග් ඔහුගේ ප්‍රහාරය දියත් කිරීම සඳහා යොදාගන්න මිනිස් බලවේගයන් මොනවාද? (ආ) ආත්මිකව අවදිව සිටීමට අයත් වන්නේ මොනවාද?

11 වර්ෂ 1914 සිට පහත් තත්වයකට පත්ව සිටින සාතන් නමැති යක්ෂයාව මාගොග්හි ගොග් වශයෙන් හඳුනාගෙන ඇත. ඔහු ආත්මයක් වන නිසා ඔහුගේ ප්‍රහාරය ඍජුවම දියත් කිරීමට ඔහුට නොහැක. එසේවුවත් ඔහුට අවශ්‍ය කරන දේවල් කරවාගැනීම සඳහා ඔහු මිනිස් බලවේගයන් යොදවනු ඇත. මෙම මිනිස් බලවේගයන් මොනවාද? බයිබලයේ මේ ගැන විස්තර අපට සපයන්නේ නැත. කෙසේවෙතත් එම බලවේගයන් මොනවාද කියා හඳුනාගැනීමට අපට උපකාරවත් වන ඇතැම් ඉඟි එහි සපයයි. බයිබල් අනාවැකිවල ඉටුවීමක් වශයෙන් ලෝකයේ විවිධ දේවල් සිදු වෙද්දී, ඒ ගැන වඩාත් පැහැදිලි චිත්‍රයක් ක්‍රමානුකූලව ලබාගැනීමට අපට හැකි වනු ඇත. යෙහෝවාගේ සෙනඟ අනුමාන කිරීම්වලින් වැළකී සිටිති. එනමුත් ආත්මිකව අවදිව සිටින ඔවුහු, බයිබල් අනාවැකිවල ඉටුවීමට අදාළ වන දේශපාලනික හා ආගමික සිද්ධීන් ගැන පූර්ණ අවබෝධයෙන් සිටිති.

12, 13. දෙවිගේ සෙනඟට එල්ල කරනු ලබන අවසන් ප්‍රහාරය ගැන අනාගතවක්තෘ දානියෙල් පුරෝකථනය කළේ කෙසේද?

12 දෙවිගේ සෙනඟට එරෙහිව එල්ල කරනු ලබන අවසන් ප්‍රහාරය ගැන අනාගතවක්තෘ දානියෙල් වැඩි විස්තර සපයමින් මෙසේ ලියයි. “ඔහු [උතුරේ රජ] කැලඹී, බොහෝදෙනෙකු නාස්ති කරන්ටත් සිඳ දමන්ටත් මහත් කෝපයෙන් පිටත්ව යන්නේය. ඔහු මාළිගා වැනි වූ තමාගේ කූඩාරම් මුහුදටත් අලංකාර වූ [ශුද්ධ] කන්දටත් අතරෙහි [පිහිටුවන්නේය].”—දානියෙල් 11:44, 45.

13 බයිබලයේ පාඨ සම්බන්ධයට අනුව, එදා “මුහුද” වූයේ මහ මුහුද නොහොත් මධ්‍යධරණි මුහුදයි. එමෙන්ම “ශුද්ධ කන්ද” වූයේ සියොන්ය. මෙම සියොන් කන්ද ගැන යෙහෝවා මෙසේ පවසා තිබේ. ‘මම මාගේ පිරිසිදු කන්ද වන සියොන් මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවමි.’ (ගීතාවලිය 2:6; යෝෂුවා 1:4) මෙසේ ආත්මික අර්ථයකින් ගත් කල ‘මුහුද හා අලංකාර කන්ද අතර’ පිහිටි දේශයෙන් නියෝජනය වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ සමෘද්ධිමත් ආත්මික දේශයයි. දෙවිගෙන් ඈත් වී සිටින මනුෂ්‍යවර්ගයා නමැති මුහුදට ඔවුන් තවදුරටත් සම්බන්ධ වී සිටින්නේ නැත. ක්‍රිස්තුස් යේසුස් සමඟ ස්වර්ගික රාජ්‍යයේ පාලනය කිරීමට ඔවුහු මහත් ආශාවෙන් බලා සිටිති. දානියෙල්ගේ අනාවැකියේ ඉටුවීමක් වශයෙන් උතුරේ රජ ඔහුගේ දරුණු ප්‍රහාරය දියත් කරනු ලබන කාලයේදී, දෙවිගේ අභිෂේක ලත් සේවකයන් හා මහත් සමූහයට අයත් ඔවුන්ගේ පක්ෂපාත මිතුරන් පැහැදිලිවම එම රජුගේ ඉලක්කය වනු ඇත.—යෙසායා 57:20; හෙබ්‍රෙව් 12:22; එළිදරව් 14:1.

දෙවිගේ සේවකයන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

14. දෙවිගේ සෙනඟ ප්‍රහාරයට ලක් වන විට ඔවුන් කළ යුතු දේවල් තුන කුමක්ද?

14 දෙවිගේ සෙනඟ ප්‍රහාරයට ලක් වන විට ඔවුන්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ කුමක් කිරීමද? නැවතත් යෙහෝෂාපාට්ගේ කාලයේ විසූ දෙවිගේ නියෝජිත ජාතිය ක්‍රියා කළ ආකාරයෙන් දෙවිගේ සෙනඟට ආදර්ශයක් සැපයේ. පහත සඳහන් දේවල් තුන කිරීමට යූදාහි වැසියන්ට අණ කරනු ලැබූ බව සැලකිල්ලට ගන්න. (1) සැරසී සිටින්න. (2) නිශ්චලව සිටින්න. (3) යෙහෝවා දෙන ගැලවීම බලා සිටින්න. වර්තමානයේ සිටින දෙවිගේ සෙනඟ එම වදන්වලට එකඟව කටයුතු කරනු ඇත්තේ කෙසේද?—2 ලේකම් 20:17.

15. සැරසී සිටින්නයයි කියන විට යෙහෝවාගේ සෙනඟට එයින් අදහස් කරන්නේ කුමක්ද?

15 සැරසී සිටින්න. දෙවිගේ සෙනඟ සැලෙන්නේ නැතිව අඛණ්ඩව දේවරාජ්‍යයට ක්‍රියාකාරී ලෙස සහයෝගය දැක්වීමට නිතරම සැරසී සිටියි. ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරයට ඔවුන් දිගටම ඇලී සිටිනු ඇත. ඔවුන් දෙවිට පක්ෂපාතව කරන සේවයේදී ‘ස්ථිරව හා නොසැලී’ සිටිනු ඇත. එමෙන්ම යෙහෝවා පෙන්වන ප්‍රේමණීය කරුණාව සඳහා ඔහුට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීම ඔවුන් දිගටම කරනු ඇත. (1 කොරින්ති 15:58, NW; ගීතාවලිය 118:28, 29) දෙවි අනුමත කරන ඔවුන්ගේ මෙම ස්ථාවරය බිඳ හෙළීමට වර්තමානයේ හෝ අනාගතයේ ඇති විය හැකි කිසිම බලපෑමකට නොහැක.

16. යෙහෝවාගේ සේවකයන් නිශ්චලව සිටින්නේ කෙලෙසද?

16 නිශ්චලව සිටින්න. යෙහෝවාගේ සේවකයන් තැත් කරන්නේ කෙසේ හෝ තමන්ගේ ජීවිත රැකගැනීමට නොව, යෙහෝවා මත තමන්ගේ සම්පූර්ණ විශ්වාසය තැබීමටයි. ලෝකය විනාශයකට ඇද දමන වියවුල්සහගත තත්වයෙන් තමන්ගේ සෙනඟව බේරාගැනීමේ හැකියාව තිබෙන්නේ ඔහුට පමණි. තවද එසේ කරන බවට ඔහු පොරොන්දු වී ඇත. (යෙසායා 43:10, 11; 54:15; විලාප ගී 3:26) යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට අයත් වන දෙයක් වන්නේ සිය අරමුණු ඉටු කරවාගැනීම සඳහා දශක ගණනාවක් පුරා ඔහු යොදාගනිමින් සිටින වර්තමාන දෘශ්‍යමාන මාධ්‍යය කෙරෙහි විශ්වාසය තැබීමයි. පෙරමුණ ගෙන කටයුතු කිරීම සඳහා යෙහෝවාගෙන් හා ඔහු පත් කර සිටින දැන් පාලනය කරමින් සිටින රජුගෙන් බලතල ලැබී තිබෙන සෙසු නමස්කාරකයන් කෙරෙහි විශ්වාසය තැබීම, වෙන කවරදාටත් වඩා ඒ කාලයේදී සැබෑ ක්‍රිස්තියානීන්ට අවශ්‍ය වනු ඇත. මෙම විශ්වාසවන්ත පුරුෂයන් දෙවිගේ සෙනඟට මඟ පෙන්වීම ලබා දෙනු ඇත. ඔවුන්ගේ මඟ පෙන්වීම නොසලකාහැරීම විනාශයට මඟ පෑදිය හැකියි.—මතෙව් 24:45-47; හෙබ්‍රෙව් 13:7, 17.

17. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් යෙහෝවා දෙන ගැලවීම දෙස බලා සිටිනු ඇත්තේ මන්ද?

17 යෙහෝවා දෙන ගැලවීම බලා සිටින්න. ක්‍රිස්තියානීන් වශයෙන් තමන්ගේ ස්ථාවරය අඛණ්ඩව රැකගන්න අය හා බේරීම සඳහා යෙහෝවා මත තමන්ගේ විශ්වාසය තබන අය ලබන විපාකය වන්නේ ගැලවීමයි. අන්තිම මොහොත දක්වා ඔවුන් යෙහෝවාගේ විනිශ්චය දවස පැමිණීම ගැන ජනයාට හැකි තාක් දුරට ප්‍රකාශ කරනු ඇත. සැබෑ දෙවි වන්නේ යෙහෝවා බවත් ඔහුට පොළොව මත විශ්වාසවන්ත සේවකයන් සිටින බවත් මුළු මැවිල්ලම දැනගත යුතුය. යෙහෝවාගේ පරමාධිපත්‍යයේ යුක්තිසහගතභාවය ගැන මතභේදයක් දිගු කාලයක් පුරා පැවතීමට නැවත කිසි දිනක අවශ්‍ය වන්නේ නැත.—එසකියෙල් 33:33; 36:23.

18, 19. (අ) ගොග්ගේ ප්‍රහාරයෙන් ගැලවෙන අයගේ හැඟීම් නික්මයාම 15වන පරිච්ඡේදයේ සඳහන් ජයග්‍රාහී ගීතයෙන් පිළිබිඹු වන්නේ කෙසේද? (ආ) දෙවිගේ සෙනඟ දැන් කළ යුත්තේ කුමක්ද?

18 නව ශක්තියක් ලබමින් දෙවිගේ සෙනඟ නව ලොවට ඇතුල් වනු ඇත. එසේම පුරාණයේ විසූ ඊශ්‍රායෙල්වරුන් රතු මුහුදෙන් එතෙර වී ලැබූ ගැලවීමෙන් පසු ජයග්‍රාහී ගීතයක් ගායනා කළාක් මෙන් ඔවුන්ද මහත් ජ්වලිතයකින් ඒ හා සමාන ගීතයක් ගායනා කරනු ඇත. පුද්ගලයන් වශයෙන්ද සමූහයක් වශයෙන්ද තමන්ව ආරක්ෂා කිරීම ගැන සදහටම යෙහෝවාට ස්තුති කරන ඔවුන් එදා ඊශ්‍රායෙල්වරුන් ගැයූ මෙම ගීතයේ වදන් ප්‍රතිරාවය කරනු ඇත. ‘මම යෙහෝවාට ගී කියන්නෙමි. මක්නිසාද ඔහු තේජාන්විත ලෙස ජයගත්තේය. යෙහෝවා යුද්ධ දක්ෂයෙකි. ඔහුගේ නාමය යෙහෝවාය. යෙහෝවා ඔබගේ දකුණත සතුරා කැබලි කර දමයි. ඔබගේ මහන්තත්වයේ උතුම්කමෙන් ඔබ ඔබට විරුද්ධව නැඟිටින්නන් පරාජය කරන්නේය. ඔබ ස්වකීය උදහස යවන්නේය. එයින් ඉපනැල්ල මෙන් ඔවුහු දැවෙන්නෝය. ඔබ මුදාගත් සෙනඟ ස්වකීය කරුණාවෙන් [ප්‍රේමණීය කරුණාවෙන්, NW] යුක්තව ගෙන ගියේය. ඔබගේ ශුද්ධ වාසස්ථානයට ස්වකීය ශක්තියෙන් ඔවුන්ට මඟ පෙන්වූයේය. යෙහෝවා, ඔබ වසන පිණිස සාදන ලද ස්ථානයද, යෙහෝවා, ඔබගේ අත්වලින් පිහිටුවන ලද ශුද්ධස්ථානයද වන ඔබගේ උරුමය වූ කන්දට ඔවුන් ගෙන්වා එහි ඔවුන් සිටුවන්නේය. යෙහෝවා සදාකාලයටම රජකම් කරන්නේය.’—නික්මයාම 15:1-19.

19 සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව වෙන කවරදාටත් වඩා දීප්තියෙන් බැබළෙන මේ කාලය, යෙහෝවාට වූ තමන්ගේ භක්තිය පෙන්වීමටත් තමන්ගේ සදාකාලික රජු වශයෙන් ඔහුට සේවය කිරීමට වූ තමන්ගේ අධිෂ්ඨානය පෙරට වඩා ශක්තිමත් කරගැනීමටත් මොන තරම් උචිත කාලයක්ද!—1 ලේකම් 29:11-13.

ඔබට පැහැදිලි කළ හැකිද?

• ගොග්ගේ ප්‍රහාරය අභිෂේක ලත් අයට හා වෙනත් බැටළුවන්ට විරුද්ධව එල්ල කරනු ඇත්තේ මන්ද?

• දෙවිගේ සෙනඟ සැරසී සිටිනු ඇත්තේ කෙසේද?

• නිශ්චලව සිටීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

• දෙවිගේ සෙනඟ යෙහෝවා දෙන ගැලවීම දෙස බලා සිටිනු ඇත්තේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා යෙහෝෂාපාට්ට හා ඔහුගේ සෙනඟට ජයග්‍රහණය ලබා දුන්නේය. ඔවුන්ට සටන් කිරීමට අවශ්‍ය වූයේ නැත

[20වන පිටුවේ පින්තූරය]

අභිෂේක ලත් අය හා වෙනත් බැටළුවෝ යෙහෝවාගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමට සහයෝගය දෙති

[22වන පිටුවේ පින්තූරය]

පුරාණයේ විසූ ඊශ්‍රායෙල්වරුන් මෙන් දෙවිගේ සෙනඟද ළඟදීම ජයග්‍රාහී ගීතයක් ගායනා කරනු ඇත