Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

බරපතළ රෝගයකින් පෙළෙන හෝ වයස්ගත සුරතල් සතෙකුගේ ජීවිතය නැති කිරීම වැරදිද?

විවිධාකාර සතුන් වෙත බොහෝදෙනෙකුගේ නෙත් සිත් ඇදී යනවා. එම සතුන්ගෙන් ඔවුන් ලබන්නේ ඉමහත් ප්‍රීති ප්‍රමෝදයක්. ගෙවල්වල ඇති කරන සමහර සුරතල් සතුන් හොඳ මිතුරන් බවට පත් වෙනවා. උදාහරණයකට බල්ලෝ තම ස්වාමියාට සම්පූර්ණ කීකරුකම හා ලැදිකම පෙන්වීම සම්බන්ධයෙන් ප්‍රකටයි. ඉතිං, එවැනි සුරතලෙකුට මිනිසුන් තුළ විශේෂ ලැදියාවක් තිබීම පුදුමයට කාරණයක් නොවෙයි. විශේෂයෙන්ම යම් සතෙක් අවුරුදු ගණනාවක් තමන් සමඟ වාසය කර තිබෙනවා නම් ඒ ගැන පුදුම විය යුතු නැහැ.

කෙසේවෙතත් බොහෝ සත්වයින්ගේ ආයු කාලය කෙටියි. සාමාන්‍යයෙන් බල්ලෝ, පූසෝ උන්ගේ වර්ගයට අනුව අවුරුදු 10ක් 15ක් අතර කාලයක් ජීවත් වෙනවා. සත්තු වයස්ගත වන විට විවිධාකාර රෝගවලින් හා ආබාධවලින් පෙළෙන්න පුළුවන්. නමුත් මේ සතාගේ තරුණ හා දඟකාර කාලය මතකයේ තිබෙන නිසා මෙම තත්වයෙන් අයිතිකරු කලකිරීමට පත් විය හැකියි. මෙවැනි තත්වයක සිටින සතුන්ව උන්ගේ දුක්ඛිත තත්වයෙන් මුදාහැරීම සඳහා උන්ව සදාකාලික නින්දට පත් කිරීම වැරදිද?

සතුන්ට සැලකීමේදී ක්‍රිස්තියානියෙකු දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කිරීම අවශ්‍යයි. සතුන්ට නපුරු විදිහට සැලකීම දෙවිගේ කැමැත්තට හාත්පසින්ම විරුද්ධයි. මන්ද දේවවචනයේ පවසන්නේ “ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය” කියායි. (හිතෝපදේශ 12:10) කෙසේවෙතත් මෙයින් අඟවන්නේ දෙවි මනුෂ්‍යයන්ට සලකන ආකාරයටම සතුන්ටත් සලකන බව නම් නොවෙයි. දෙවි මනුෂ්‍යයා මැවූ විට ඔහු මනුෂ්‍යයා හා සත්වයා අතර පැහැදිලි වෙනසක් තිබෙන බව පෙන්නුම් කළා. නිදසුනකට ඔහු මනුෂ්‍යයන්ට සදාකාල ජීවිතයේ බලාපොරොත්තුව දානය කළද සතුන්ට එය දානය කළේ නැහැ. (රෝම 6:23; 2 පේතෘස් 2:12) මනුෂ්‍යයන් හා සත්වයින් අතර පැවතිය යුත්තේ කුමනාකාරයේ සම්බන්ධකම්ද කියා නියම කිරීමට මැවුම්කරු ලෙස ඔහුට අයිතිය තිබෙනවා.

එම සම්බන්ධය පිළිබඳව උත්පත්ති 1:28 අපට පැහැදිලි කරනවා. දෙවි පළමු මිනිස් යුවළට පැවසුවේ “මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න” කියායි. ඒ හා සමානව ගීතාවලිය 8:6-8හි මෙසේ පවසා තිබෙනවා. ‘ඔබ [දෙවි] සියල්ල ඔහුගේ [මනුෂ්‍යයාගේ] පාද යට දැමුවේය. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද, ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද යන මොව්හුය.’

මනුෂ්‍යයන්ට සතුන්ව තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගැනීමටත් අවශ්‍ය විටකදී මැරීමටත් හැකි බව දෙවි පැහැදිලිවම පැවසුවා. නිදසුනකට උන්ගේ හම ඇඳුම් සඳහා භාවිත කළ හැකියි. නෝවාගේ ජලගැල්මෙන් පසු ඔවුන් මුල පටන් ආහාරයට ගත් එළවළුවලට අමතරව සතුන්ගේ මස්ද කෑමට අවසර දුන්නා. උත්පත්ති 3:21; 4:4; 9:3.

නමුත් මෙමගින් සතුන්ව නිකරුණේ විනෝදයට මැරීමට අනුබල දෙන්නේ නැහැ. බයිබලයේ උත්පත්ති 10:9හි නිම්රොද්ව හඳුන්වන්නේ “බලවත් දඩයක්කාරයෙක්” ලෙසයි. ඒ පදයේම පෙන්වනවා මේ නිසා ඔහු “දෙවිට විරුද්ධව” [NW] සිටියා කියා.

මනුෂ්‍යයන්ට සතුන් කෙරෙහි ආධිපත්‍යය පැවැත්වීමට හැකි වුවද ඔවුන් ඒ බලය අනිසි ලෙස භාවිත නොකර දේවවචනයේ අඩංගු ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කළ යුතුයි. සුරතල් සතෙක් ඉතා වයස්ගත නිසා හෝ දරුණු අනතුරක් නිසා හෝ මාරාන්තික රෝගයක් නිසා හෝ නිකරුණේ දුක් විඳීමට ඉඩ නොදීමත් මීට ඇතුළත් විය හැකියි. එවැනි අවස්ථාවකදී කුමක් කළ යුතුද කියා තීරණය කිරීම ක්‍රිස්තියානියෙකුගේ වගකීමක්. ඔහු තීරණය කරනවා නම් සතාට සුවවීමේ ලකුණක් නැති නිසා දිගටම නිකරුණේ දුක් විඳීමට ඉඩ දීම කාරුණික ක්‍රියාවක් නොවෙයි කියා, එවිට ඔහුට පුළුවන් එම සතාව සදාකාල නින්දට පමුණුවීමට.