Skip to content

පටුනට යන්න

“භය නොවන්න. ත්‍රස්ත නොවන්න”

“භය නොවන්න. ත්‍රස්ත නොවන්න”

“භය නොවන්න. ත්‍රස්ත නොවන්න”

“භය නොවන්න. ත්‍රස්ත නොවන්න. . . . යෙහෝවා ඔබ සමඟ සිටිනු ඇත.”—2 ලේකම් 20:17, NW.

1. ත්‍රස්තවාදය ජනයා කෙරෙහි ඇති කරන්නේ කුමන ආකාරයේ බලපෑමක්ද? ජනයාට එවන් භයක් දැනීම සාධාරණ වන්නේ මන්ද?

ත්‍රස්තවාදය! මෙම වචනය ඇසෙන විට ජනයාගේ සිත් බියෙන් සසල වෙයි. තමන්ට ආරක්ෂාවක් නැතැයි කියා හෝ තමන් අසරණයි කියා ඔවුන්ට හැඟෙයි. එම වචනය ඇසූ පමණින් ඔවුන්ගේ සිත්වල ඇති වන්නේ ත්‍රාසය, ශෝකය හා කෝපය වැනි හැඟීම්ය. එම වචනයෙන් විස්තර කෙරෙන්නේ අනාගතයේදී අවුරුදු ගණනාවකට මනුෂ්‍යවර්ගයාට පීඩා ගෙනෙනු ලබන බවට බොහෝදෙනෙකු තුළ බියක් ඇති කරවන දෙයකි. විවිධ ආකාරවලින් දැකිය හැකි ත්‍රස්තවාදයට එරෙහිව ඇතැම් රටවල් සටන් කරමින් සිටියත්, සම්පූර්ණයෙන්ම එය පරාජය කිරීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ ත්‍රස්තවාදය මගින් ජනිත කරවන එම භය එලෙසම පවතින බවයි.

2. ත්‍රස්තවාදය නමැති ගැටලුවට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? එම ප්‍රතිචාරය නිසා මතු වන ප්‍රශ්න මොනවාද?

2 කෙසේවෙතත් බලාපොරොත්තුවක් ඇතුව සිටීම සඳහා සැබෑ හේතුවක් තිබේ. ලොව පුරා රටවල් 234ක ක්‍රියාශීලීව දේශනා කරමින් සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනාගතය දෙස බලන්නේ පුදුම ශුභවාදී හැඟීමක් ඇතුවයි. ත්‍රස්තවාදය කවදාවත් නැති කර දැමිය නොහැකියි කියා සිතමින් ඒ ගැන බිය වෙනවා වෙනුවට, එය ළඟදීම තුරන් වන බවට නිසැකකමක් ඔවුන්ට තිබේ. එවන් ශුභවාදී නිසැකකමක් ඇතුව සිටීම යථාර්ථවාදීද? මේ ව්‍යසනයෙන් ලෝකය කවදා හරි බේරාගත හැක්කේ කාටද? මෙවන් දෙයක් සිදු විය හැක්කේ කෙසේද? කුමන ආකාරයක හෝ සාහසික ක්‍රියාවක් අපට බලපා තිබිය හැකි නිසා එසේ ශුභවාදී වීමට තිබෙන පදනම කුමක්ද කියා පරීක්ෂා කර බැලීම යෝග්‍යයි.

3. ජනයා තුළ භය ඇතිවීමට බලපාන හේතු මොනවාද? අප ජීවත් වන කාලය ගැන පුරෝකථනය කර තිබෙන්නේ මොනවාද?

3 වර්තමානයේ සිටින ජනයා විවිධ හේතු නිසා භය වෙති. ත්‍රස්ත වෙති. මහලු විය, සුව කළ නොහැකි රෝග හේතුවෙන් ශාරීරිකව දුර්වල වීම හා ජීවිතයේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා කරන සටන යනාදිය නිසා තවදුරටත් ජීවත් විය නොහැකියි කියා සිතන දශලක්ෂ ගණනක් ගැන සිතා බලන්න. ජීවිතයේ අස්ථිරභාවය ගැනද කල්පනා කර බලන්න. අනතුරු හෝ විපත් මගින් අපව ඩැහැගැනීමට මරණය මාන බලමින් සිටියි. එපමණක්ද නොව අප ආදරයෙන් රැකබලා ගන්න සෑම දෙයක්ම ගිල දැමීමට එය සූදානම් වී සිටියි. මෙවැනි දේවල් නිසා ඇති වන භය හා කාංසාවට අමතරව පෞද්ගලිකව මුහුණ දීමට සිදු වන අසංඛ්‍යාත ගැටලු ප්‍රශ්න හා බලාපොරොත්තු සුන්වීම් යනාදියෙන් පෙනී යන්නේ අප හරියටම ජීවත් වන්නේ ප්‍රේරිත පාවුල් මෙම වදන්වලින් විස්තර කළ කාලයේ බවයි. ‘අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිසුන් තමුන්ටම ප්‍රේම කරන, . . . ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන අය වනු ඇත.’—2 තිමෝති 3:1-3, NW.

4. දෙවන තිමෝති 3:1-3 දක්වා විස්තර කරන්නේ අඳුරු චිත්‍රයක් වුවද එය සපයන බලාපොරොත්තුව කුමක්ද?

4 එම ශුද්ධ ලියවිලි පාඨය මගින් අපේ සිත් තුළ සිතුවම් කරන්නේ අඳුරු චිත්‍රයක් බව සැබෑවකි. එනමුත් එයින් බලාපොරොත්තුවක්ද ඇති කරවයි. අනතුරුදායක කාලවල් පවතින්නේ සාතන්ගේ වර්තමාන දුෂ්ට සමාජ ක්‍රමයේ “අන්තිම දවස්වල” බව සැලකිල්ලට ගන්න. මෙයින් අදහස් වන්නේ සහනය අත ළඟ බවයි. එමෙන්ම වැඩි කල් නොගොස් දුෂ්ට ලෝක ක්‍රමය පහ කර දමා, දෙවිගේ පරිපූර්ණ රාජ්‍යය මගින් ලෝකය පාලනය කරනු ඇත. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට යාච්ඤා කරන්න කියා ඉගැන්වූයේ එම රාජ්‍යය ගැනයි. (මතෙව් 6:9, 10) මෙම රාජ්‍යය වන්නේ දෙවිගේ ස්වර්ගික ආණ්ඩුවයි. එය ‘කිසි කලෙක නැති නොවන’ ආණ්ඩුවකි. අනාගතවක්තෘ දානියෙල් මෙම ආණ්ඩුව ගැන මෙසේ පවසයි. එහෙත් “ඒක ඒ සියලු [මිනිසුන්ගේ] රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.”—දානියෙල් 2:44, 45.

ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය

5. මෑතකදී, ජාතීන් ත්‍රස්තවාදය මගින් එල්ල කර තිබෙන තර්ජනයට ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද?

5 දශක ගණනාවක සිට සිදු වෙමින් පවතින ත්‍රස්තවාදී ක්‍රියා නිසා දහස් ගණනක් මරුමුවට පත් වී තිබේ. වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදා නිව් යෝක් නගරයට සහ වොෂිංටන් ඩී.සී.වලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදයේ තිබෙන අනතුරුදායක බව ලොව පුරා සිටින ජනයා පෙරට වඩා වැඩියෙන් තේරුම්ගෙන ඇත. ත්‍රස්තවාදය ලොව දස දෙස පැතිරී තිබෙන නිසා ඊට එරෙහිව සටන් කිරීමට ලොව පුරා සිටින ජාතීහු විගස අත් වැල් බැඳගත්හ. නිදසුනක් වශයෙන්, මාධ්‍ය වාර්තාවලට අනුව 2001 දෙසැම්බර් 4වනදා “යුරෝපයෙන්, උතුරු අමෙරිකාවෙන් සහ මධ්‍යම ආසියාවෙන් පැමිණි විදේශ ඇමතිවරු 55දෙනෙක් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ඒකමතිකව එකඟ වූහ.” මෙහි අරමුණ වන්නේ ත්‍රස්තවාදයට එරෙහිව ගනු ලබන තමන්ගේ වෑයම්වල සාමුහික එකඟතාවක් ඇති කිරීමයි. “ත්‍රස්තවාදයට එරෙහිව දරන වෑයමට ඉතා ප්‍රබල නව ශක්තියක්” එම ක්‍රියාමාර්ගයෙන් ලැබෙන බව සඳහන් කරමින් ඉහළ පෙළේ එ.ජ. නිලධාරියෙක් එය පැසසුමට ලක් කළේය. ද නිව් යෝක් ටයිම්ස් මැගසින්හි පැහැදිලි කළ ආකාරයට දශලක්ෂ සිය ගණනක් තරම් වූ ජන සමූහයක් “පෙර නොවූ විරූ සටනක් ආරම්භ” කිරීමට විගස පියවර ගත්හ. එවැනි වෑයම්වල සාර්ථකත්වය දැකගත හැක්කේ අනාගතයේදීය. කෙසේවෙතත් ත්‍රස්තවාදයට එරෙහිව කරන සටනට පසුව ඇති වන ප්‍රතිවිපාක ගැන සිතන විට බොහෝදෙනෙකු තුළ ඇති වන්නේ බියකි. එනමුත් යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා තිබෙන අය තුළ එවන් බියක් ඇති නොවේ.

6. (අ) ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය ඇතැම් අවස්ථාවලදී පිළිගැනීම සමහරුන්ට අමාරු දෙයක් වන්නේ මන්ද? (ආ) යේසුස් දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ අනුගාමිකයන්ට තැබූ ආදර්ශය කුමක්ද?

6 දේශපාලනික කාරණාවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගන්නා මධ්‍යස්ථ ස්ථාවරය ගැන බොහෝදෙනෙක් දනිති. සාමකාමී වතාවරණයක් පවතින අවස්ථාවලදී එවන් ස්ථාවරයක් ගැනීමට වැඩිදෙනෙකු කැමති විය හැකි වුවත්, විශේෂ තත්වයන් පැනනඟින විට ඒ ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. යුද්ධය මගින් ඇති කරවන භය හා අස්ථිරභාවය නිසා බොහෝ අවස්ථාවලදී ඇතැමුන් තුළ තම ජාතිය ගැන දැවෙන හැඟීම් ඇති වී තිබේ. සැමගේ සහයෝගය ලබන ජාතිවාදී ව්‍යාපාරවලට අත හිත දීමට යම් කෙනෙකු අකමැති වන්නේ නම්, ඊට හේතුව තේරුම්ගැනීම දුෂ්කර වන්නේ එවැනි හැඟීම් නිසා විය හැකියි. කෙසේවෙතත් ‘ලෝකයේ කොටසක් නොවන්න’ [NW] කියා යේසුස් දුන් ආඥාවට තමන් කීකරු විය යුතු බව සැබෑ ක්‍රිස්තියානීහු දනිති. (යොහන් 15:19; 17:14-16; 18:36; යාකොබ් 4:4) එසේ කීකරු වීමේදී ඔවුන් දේශපාලනික හා සමාජීය කාරණාවලදී මධ්‍යස්ථභාවය රැකීම අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් යේසුස්ම නිසි ආදර්ශයක් තැබුවේය. ඔහු සතු වූ පරිපූර්ණ ප්‍රඥාව සහ සුවිශේෂී හැකියාවන් ගැන සිතන විට පෙනී යන්නේ ඔහුගේ කාලයේ සිටි මිනිසුන්ගේ කටයුතුවලට සාර්ථක ලෙස මැදිහත් වීමට ඔහුට හැකියාව තිබූ බවයි. එනමුත් දේශපාලනික කටයුතුවලින් ඔහු වැළකී සිටියේය. ලෝකයේ සියලුම රාජ්‍යයන් කෙරෙහි පාලන බලය ලබා දීමට, සිය දේවසේවය ආරම්භයේදී සාතන් ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහු එය එකහෙළාම ප්‍රතික්ෂේප කළේය. පසු කලෙක ඔහුව දේශපාලනික නිලතලයක් සඳහා තෝරාගන්න තැත් කළ අවස්ථාවේදීද ඔහු දෙවරක් නොසිතා එයින් පලා ගියේය.—මතෙව් 4:8-10; යොහන් 6:14, 15.

7, 8. (අ) යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශපාලනික කාරණාවලදී මධ්‍යස්ථව සිටීමෙන් අදහස් නොකරන්නේ කුමක්ද? එයට හේතුව කුමක්ද? (ආ) රෝම 13:1, 2හි සඳහන් උපදේශය මගින් ආණ්ඩුවලට එරෙහිව සාහසික ක්‍රියාවලට හවුල් වීමෙන් යමෙකුව වළක්වන්නේ කෙසේද?

7 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථ ස්ථාවරය වරදවා තේරුම් නොගත යුතුයි. එයින් අදහස් කරන්නේ ඔවුන් සාහසික ක්‍රියාවලට සහයෝගය දක්වනවා හෝ ඔවුන්ට ඒවා ගැන කිසි තැකීමක් නැතැයි කියා හෝ නොවේ. මන්ද ඔවුන් එසේ කරනවා නම්, තමන් ‘ප්‍රේමයේ හා සමාදානයේ දෙවිගේ’ සේවකයන් කියා ඔවුන් කියා සිටීම බොරුවක් වනු ඇත. (2 කොරින්ති 13:11, NW) යෙහෝවා සාහසික ක්‍රියා සලකන ආකාරය ගැන ඔවුන් ඉගෙනගෙන තිබේ. ගීතිකාකරු මෙසේ ලීවේය. “යෙහෝවා ධර්මිෂ්ඨයා විමසයි. නමුත් ඔහුගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂ කරයි.” (ගීතාවලිය 11:5) යේසුස් ප්‍රේරිත පේතෘස්ට පැවසූ මෙම වදන් ඔවුහු හොඳින් දනිති. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමන්න. මන්ද කඩුව ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසින්නෝය.”—මතෙව් 26:52, NW.

8 ව්‍යාජ ක්‍රිස්තියානීන් බොහෝ අවස්ථාවලදී ‘කඩුවේ’ පිහිට පතා තිබෙන බව ඉතිහාසයේ සඳහන් වී තිබුණද, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිසිවිටකත් එසේ කර නැත. ඒ ආකාරයේ සෑම දෙයකින්ම ඔවුහු වැළකී සිටිති. රෝම 13:1, 2හි [NW] සඳහන් මෙම උපදේශයට සාක්ෂිකරුවෝ විශ්වාසවන්තව කීකරු වෙති. “සෑම කෙනෙකුම උසස් බලධාරීන්ට [ආණ්ඩුවල සිටින පාලකයන්ට] යටත් වන්න. මන්ද, දෙවිගෙන් මිස වෙන කිසි අධිකාරියක් නැත. දැන් සිටින බලධාරීන්ට හිමි සාපේක්ෂ බලතලවල ඔවුන්ව පිහිටුවා තිබෙන්නේ දෙවි විසිනි. එබැවින්, අධිකාරියට විරුද්ධ වන්නා දෙවිගේ විධිවිධානයට විරුද්ධව සිටින්නේය. එසේ විරුද්ධව සිටින අයට විනිශ්චය ලැබේ.”

9. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන ක්‍රම දෙක කුමක්ද?

9 කෙසේවෙතත් ත්‍රස්තවාදය අතිශය දරුණු දෙයක් නිසා ක්‍රියාකාරී ලෙස ඊට එරෙහි වීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් යමක් කළ යුතු නැද්ද? ඔව්, ඔවුන්ද යමක් කළ යුතුයි. ඇත්තෙන්ම ඔවුහු ඒ සඳහා යමක් කරමින් සිටිති. මුලින්ම ඔවුන් කරන්නේ කිසිදු සාහසික ක්‍රියාවකට හවුල් නොවී සිටීමයි. දෙවනුව, ඔවුහු ක්‍රිස්තියානි ප්‍රතිපත්ති ගැන ජනයාට උගන්වති. එම ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබන අය අතර කිසිම ආකාරයක සාහසිකකමක් දැකිය නොහැකි වනු ඇත. * පසුගිය වසරේදී සාක්ෂිකරුවෝ මෙම ක්‍රිස්තියානි ජීවිත මාර්ගය ගැන ඉගෙනගැනීම සඳහා ජනයාට උපකාර කරමින් පැය 1,20,23,81,302ක් වැය කළහ. මෙය කාලය අපතේ යැවීමක් වූයේ නැත. මන්ද එහි ප්‍රතිඵලයක් හැටියට සාහසිකකම් තමන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ප්‍රසිද්ධියේ පෙන්වමින් 2,65,469දෙනෙකු යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස බව්තීස්ම වූ බැවිනි.

10. අද ලෝකයේ පවතින සාහසිකකම් අතුගා දැමීම සම්බන්ධයෙන් තබාගත හැකි බලාපොරොත්තුව කුමක්ද?

10 මීට අමතරව යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිගන්න තවත් දෙයක් වන්නේ, මේ ලෝකයෙන් නපුරු දේවල් ඉවත් කිරීම ඔවුන්ට තනියම කළ නොහැකි දෙයක් බවයි. මෙය කළ හැකි එකම තැනැත්තා වන යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන් සම්පූර්ණ විශ්වාසය තබන්නේ ඒ නිසාය. (ගීතාවලිය 83:17) මොන තරම් අවංක වෑයම් දැරුවද සාහසිකකම් නැති කර දමන්න මිනිසුන්ට නොහැක. අප ජීවත් වන “අන්තිම දවස්” ගැන බයිබල් ලේඛකයෙක් දේවානුභාවයෙන් අපට අනතුරු අඟවමින් මෙසේ පවසයි. “දුෂ්ට මිනිස්සු හා ප්‍රෝඩාකාරයෝ අනුන්ව නොමඟ යවමින් හා තමන් නොමඟ යමින් වඩ වඩාත් නරක් වන්නෝය.” (2 තිමෝති 3:1, 13, NW) මේ ගැන සලකා බලන කල පෙනී යන්නේ නපුරු දේවලට එරෙහිව කරන සටන ජයගැනීමට මිනිසුන්ට හැකියි කියා විශ්වාස කළ නොහැකි බවයි. එසේවුවත් සාහසිකකම් සදහටම මුලිනුපුටා දැමීමට යෙහෝවාට හැකි බව විශ්වාස කිරීමට අපට හැකියි.—ගීතාවලිය 37:1, 2, 9-11; හිතෝපදේශ 24:19, 20; යෙසායා 60:18.

ඉතාමත් ආසන්න ප්‍රහාරයක් හමුවෙහි නිර්භීතව

11. සාහසිකකම් තුරන් කර දැමීමට යෙහෝවා දැනටමත් ගෙන තිබෙන පියවර මොනවාද?

11 සාමයේ දෙවි සාහසිකකම්වලට ද්වේෂ කරන නිසා මේවායේ මුල වන සාතන් නමැති යක්ෂයාව විනාශ කර දැමීමට පියවර ගෙන තිබෙන්නේ මන්ද කියා අපට තේරුම්ගත හැකියි. අග්‍රදේවදූත මිකායෙල් වන, දෙවි විසින් රජකමට පත් කර තිබෙන නව රජු වන ක්‍රිස්තුස් යේසුස්ගේ අතින් සාතන්ට නින්දිත පරාජයක් ගෙන දීමට දෙවි දැනටමත් පියවර ගෙන තිබේ. මේ ගැන බයිබලයේ මෙසේ විස්තර කර ඇත. “ස්වර්ගයෙහි යුද්ධයක්ද ඇති විය. මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයෝද යුද්ධ කළ නමුත්, ඌ ජයගත්තේවත්, එතැන් පටන් ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තිබුණේවත් නැත. එබැවින් ඒ මහත් මකරා පහතට හෙළනු ලැබුවේය. ඒ මුල් සර්පයාය, යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන තැනැත්තාය. ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”—එළිදරව් 12:7-9, NW.

12, 13. (අ) වර්ෂ 1914හි තිබෙන විශේෂත්වය කුමක්ද? (ආ) දෙවිගේ රාජ්‍යයට සහය දක්වන අය අද්දකිනු ඇති දෙය ගැන එසකියෙල්ගේ අනාවැකියේ පුරෝකථනය කරන්නේ කුමක්ද?

12 ස්වර්ගයේ එම යුද්ධය සිදු වූයේ 1914දී බව බයිබල් කාලගණිතයෙන් මෙන්ම ලෝක සිද්ධීන්වලින් තහවුරු වේ. එදා සිට ලෝක තත්වය දිගින් දිගටම දරුණු අතට හැරී තිබේ. මීට හේතුව එළිදරව් 12:12හි පැහැදිලි කර තිබෙන්නේ මෙසේය. “ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීති වෙන්න. ගොඩටත් මුහුදටත් දුක් වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.”

13 සාතන්ගේ උදහසට වැඩියෙන්ම ලක් වී සිටින්නේ දෙවිගේ අභිෂේක ලත් නමස්කාරකයන් සහ ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් වන ‘වෙනත් බැටළුවන්’ කියා සිතීම සාධාරණය. (යොහන් 10:16; එළිදරව් 12:16ආ) මෙම විරුද්ධවාදිකම ළඟදීම එහි උච්චාවස්ථාවට පැමිණෙනු ඇත. එය සිදු වන්නේ දැනටමත් ස්ථාපිත කර තිබෙන දෙවිගේ රාජ්‍යයට සහය දක්වමින් එය මත තමන්ගේ පූර්ණ විශ්වාසය තබා තිබෙන සෑම කෙනෙකුටම එරෙහිව සාතන් දරුණු ප්‍රහාරයක් දියත් කරන කාලයේදීයි. මුළු වැර යොදා එල්ල කරනු ලබන මෙම ප්‍රහාරය එසකියෙල් 38වන පරිච්ඡේදයේ හඳුන්වන්නේ “මාගොග් දේශයේ ගොග්” විසින් දියත් කරනු ලබන ප්‍රහාරයක් ලෙසයි.

14. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අතීතයේදී ආරක්ෂාව ලැබී තිබෙන්නේ කෙසේද? සැමදාම එවන් ආරක්ෂාවක් අපේක්ෂා කළ හැකිද?

14 සාතන්ව ස්වර්ගයෙන් පහ කර දැමූ දා පටන් ඔහු එල්ල කර තිබෙන ප්‍රහාරවලින් දෙවිගේ සෙනඟ ඇතැම් අවස්ථාවලදී ආරක්ෂා වී තිබෙන්නේ යම් දේශපාලනික කොටස් විසින් දරන ලද වෑයම් නිසාය. මේ ගැන එළිදරව් 12:15, 16හි සංකේත භාෂාවෙන් විස්තර කර ඇත. කෙසේවෙතත් සාතන් එල්ල කරන අවසාන ප්‍රහාරයේදී, යෙහෝවා මත තමන්ගේ දැඩි විශ්වාසය තබන අයට කිසිම මිනිස් ආයතනයකින් ආරක්ෂාව ලැබෙන්නේ නැති බව බයිබලයේ සඳහන් දේවලින් පැහැදිලි වේ. මෙය ක්‍රිස්තියානීන්ට භයවීමට හෝ ත්‍රස්ත වීමට හේතුවක් විය යුතුද? කොහෙත්ම නැත!

15, 16. (අ) යෙහෝෂාපාට්ගේ කාලයේදී යෙහෝවා ඔහුගේ සෙනඟට පැවසූ බිය සැක දුරු කරන වදන් මගින් අද සිටින ක්‍රිස්තියානීන්ට නිසැකකමක් ලබා දෙන්නේ කෙසේද? (ආ) යෙහෝෂාපාට් හා යූදා සෙනඟ අද දින සිටින දෙවිගේ සෙනඟට තැබූ ආදර්ශය කුමක්ද?

15 යෙහෝෂාපාට් රජුගේ කාලයේදී දෙවි ඔහුගේ නියෝජිත ජාතියට සහයෝගය දැක්වූවාක් මෙන් ඔහුගේ සෙනඟටද සහයෝගය දක්වන බව නිසැකයි. එදා සිදු වූ දේ ගැන අපට මෙසේ කියවීමට තිබේ. “සියලු යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන් දෙන්න. යෙහෝවා නුඹලාට මෙසේ කියන්නේය. මේ මහත් සමූහයා නිසා භය නොවන්න. නොකැලඹෙන්න [ත්‍රස්ත නොවන්න, NW]. මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවිගේය. . . . මේ යුද්ධයේදී නුඹලා සටන් කරන්න ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට යෙහෝවා නුඹලාට දෙන ගැලවීම බලා සිටින්න. යෙහෝවා නුඹලා සමඟ සිටින නිසා භය නොවී, නොකැලඹී [ත්‍රස්ත නොවී, NW] හෙට ඔවුන් වෙතට පිටත්ව යන්න.”—2 ලේකම් 20:15-17.

16 යූදාවරුන් සටන් කරන්න අවශ්‍ය නැති බව ඔවුන්ට සහතික ලෙස පවසන ලදි. ඒ හා සමානව දෙවිගේ සෙනඟ මාගොග්හි ගොග්ගේ ප්‍රහාරයට ලක් වන කාලයේදී ආත්ම ආරක්ෂාව සඳහා අවි ආයුධ අතට ගැනීමෙන් වැළකී සිටිනු ඇත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ “සැරසී නිශ්චලව සිට යෙහෝවා [ඔවුන්ට] දෙන ගැලවීම බලා [සිටීමයි].” අත පය බැඳගෙන පැත්තකට වී සිටීම, සැරසී නිශ්චලව සිටීමෙන් අදහස් නොකරන බව අමුතුවෙන් කිව යුතු නැත. යෙහෝෂාපාට්ගේ කාලයේ විසූ දෙවිගේ සෙනඟද සම්පූර්ණයෙන්ම අක්‍රියාශීලී වී සිටියේ නැත. ඔවුන් කළ දෙය ගැන අපට මෙසේ කියවීමට තිබේ. “යෙහෝෂාපාට් මුහුණින් බිමට නැමුණේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද යෙහෝවාට නමස්කාර කරමින් යෙහෝවා ඉදිරියෙහි වැඳ වැටුණෝය. . . . [යෙහෝෂාපාට්] සෙනඟ සමඟ මන්ත්‍රණය කොට යෙහෝවාට ගීතිකා කරන්නන් පත් කළේය. ඔවුහු යුද්ධ සේනාවට පෙරටුව යමින් ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තව ප්‍රශංසා කරමින්-යෙහෝවාට ස්තුති කරන්න. මක්නිසාද ඔහුගේ කරුණාව [ප්‍රේමණීය කරුණාව, NW] සදාකල්ම පවතින්නේයයි කීවෝය.” (2 ලේකම් 20:18-21) සතුරාගේ ප්‍රහාර හමුවෙහි පවා එම සෙනඟ ක්‍රියාශීලීව දිගටම යෙහෝවාට ප්‍රශංසා කළහ. ගොග් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව ඔහුගේ ප්‍රහාරය දියත් කරන කාලයේදී ඔවුන්ට අනුගමනය කිරීම සඳහා ආදර්ශයක් එයින් ලැබේ.

17, 18. (අ) වර්තමානයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගොග්ගේ ප්‍රහාරය ගැන දරන ඒකාන්ත ආකල්පය කුමක්ද? (ආ) ක්‍රිස්තියානි යෞවනයන්ට මෑතකදී දුන් සිහිගැන්වීම කුමක්ද?

17 ඒ කාලය වන තෙක් පමණක් නොව ගොග්ගේ ප්‍රහාරය පටන්ගැනීමෙන් පසුව පවා යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිගටම දේවරාජ්‍යයට ඔවුන්ගේ සහයෝගය ලබා දෙනු ඇත. ඔවුහු ලොව පුරා පිහිටා තිබෙන සභා 94,600කට වඩා වැඩි ගණනක් සමඟ ඇසුරු කිරීමෙන් ශක්තිය මෙන්ම ආරක්ෂාව අඛණ්ඩව ලබති. (යෙසායා 26:20) ධෛර්යයෙන් යුතුව යෙහෝවාට ප්‍රශංසා කිරීමට දැන් ලැබී තිබෙන්නේ මොන තරම් කදිම ප්‍රස්තාවක්ද! ඉතාමත් ආසන්නයේ පවතින ගොග්ගේ ප්‍රහාරය අපේක්ෂාවෙන් සිටියද ඔවුන් බිය වී පසුබට වන්නේ නැත. ඔවුන්ගේ තත්වයන් ඉඩ දෙන අයුරින් හැකි උපරිමයෙන් ප්‍රශංසාවේ පූජාව තව තවත් වැඩියෙන් ඔප්පු කිරීමට එම අපේක්ෂාව ඔවුන්ව පොලඹවයි.—ගීතාවලිය 146:2.

18 ලොව පුරා සිටින තරුණ තරුණියන් දහස් ගණනක් පූර්ණ කාලීන දේවසේවය ආරම්භ කර තිබීමෙන් එම ඒකාන්ත ආකල්පය මැනවින් පෙන්වා තිබේ. එවන් ජීවිත මඟක් තෝරාගැනීමේ වැදගත්කම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරවීමේ අරමුණ ඇතුව 2002 දිස්ත්‍රික් සමුළුවේදී යෞවනයෙනිඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද? නමැති පත්‍රිකාව මුදාහරින ලදි. බාල මහලු ක්‍රිස්තියානීන් සියලුදෙනාම එවන් කාලෝචිත සිහිගැන්වීම් ස්තුතිපූර්වකව පිළිගනිති.—ගීතාවලිය 119:14, 24, 99, 119, 129, 146.

19, 20. (අ) ක්‍රිස්තියානීන්ට භයවීමට හෝ ත්‍රස්ත වීමට කිසිම හේතුවක් නැත්තේ මන්ද? (ආ) ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙන්නේ කුමක්ද?

19 ලෝක තත්වය කුමක් වුවද ක්‍රිස්තියානීන් බියවීමට හෝ ත්‍රස්ත වීමට අවශ්‍ය නැත. ළඟදීම යෙහෝවාගේ රාජ්‍යය මගින් සෑම ආකාරයකම සාහසිකකම් සදහටම මුලිනුපුටා දමන බව ඔවුහු දනිති. සාහසිකකම්වලට ගොදුරු වීම නිසා ජීවිත අහිමි වූ බොහෝදෙනෙකු නැවත නැඟිටින බව දැන සිටීමෙන්ද ඔවුහු සැනසිල්ලක් ලබති. ඇතැමුන්ට යෙහෝවා ගැන ඉගෙනගැනීමට මුල්වතාවට ප්‍රස්තාව ලැබෙන්නේ නැවත නැඟිටීම මගිනි. යෙහෝවාට කැප වී තමන් කරමින් සිටිය සේවය දිගටම කරගෙන යෑමට තවත් අයට එමගින් අවස්ථාව සැලසෙයි.—ක්‍රියා 24:15.

20 සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන් ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය දිගටම පවත්වාගැනීමේ අවශ්‍යතාව අපි වටහාගෙන සිටින්නෙමු. එමෙන්ම එසේ කිරීමට අපි අදිටන් කරගෙනද සිටිමු. අපට අවශ්‍ය කරන්නේ ‘නිශ්චලව සිට යෙහෝවා දෙන ගැලවීම’ අත් කරගැනීමේ මවිතකර අපේක්ෂාව තදින් අල්ලාගෙන සිටීමටයි. ඊළඟ ලිපිය මගින් ගොග්ගේ ප්‍රහාරය පිළිබඳ බයිබල් අනාවැකියේ ඉටුවීම තව වැඩියෙන් තේරුම්ගැනීමට උපකාරවත් වන වර්තමාන සිද්ධීන් ගැන අපව දැනුවත් කිරීමෙන් අපේ ඇදහිල්ල ශක්තිමත් කරනු ඇත.

[පාදසටහන]

^ 9 ඡේ. අපරාධ කරමින් ගත කළ ජීවිත අත්හැර සාක්ෂිකරුවන් බවට පත් වූ අයගේ අද්දැකීම් කියවා බැලීම සඳහා පිබිදෙව්! 1990 ඔක්තෝබර් 8, 27වන පිටුවද; 1992 ජනවාරි 8, 23වන පිටුවද; මුරටැඹ 1996 ජනවාරි 1, 5වන පිටුවද; 1998 අගෝස්තු 1, 5වන පිටුවද බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• වර්තමානයේ සිටින බොහෝදෙනෙකු අනාගතය දෙස අශුභවාදීව බලන්නේ මන්ද?

• යෙහෝවාගේ සාක්ෂිකරුවන් අනාගතය දෙස ශුභවාදීව බලන්නේ මන්ද?

• සියලුම සාහසිකකම්වලට හේතුව සම්බන්ධයෙන් යෙහෝවා දැනටමත් කර තිබෙන්නේ කුමක්ද?

• ගොග්ගේ ප්‍රහාරය ගැන භයවීමට කිසිම හේතුවක් අපට නැත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් යේසුස් නිසි ආදර්ශය තැබුවේය

[16වන පිටුවේ පින්තූර]

සාක්ෂිකාර යෞවනයන් දහස් ගණනක්දෙනා පූර්ණ කාලීන දේවසේවය ප්‍රීතියෙන් ආරම්භ කර තිබේ

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UN PHOTO 186226/M. Grafman