Skip to content

පටුනට යන්න

වචනයෙන් කියාගන්න බැරි තරම් ප්‍රීතියක්!

වචනයෙන් කියාගන්න බැරි තරම් ප්‍රීතියක්!

ජීවිත කතාව

වචනයෙන් කියාගන්න බැරි තරම් ප්‍රීතියක්!

පැවසුවේ රෙජිනෝල්ඩ් වෝල්වර්ක්

“පූර්ණ කාලීන මිෂනාරිවරුන් වශයෙන් යෙහෝවාට සේවය කිරීමෙන් ලැබූ ප්‍රීතිය තරම් ප්‍රීතියක් වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ!” වර්ෂ 1994 මැයි මාසයේ මගේ භාර්යාවගේ මරණයෙන් ටික දිනකට පස්සේ ඇගේ ලියවිලි අතර තිබිලායි මට ඒ සටහන ලියලා තිබුණු කොල කෑල්ල ලැබුණේ.

අයිරින්ගේ එම වදන් පෙළ කියෙව්වාට පස්සේ මට මතක් වුණා අපි දෙන්නා අවුරුදු 37ක් පුරා පෙරූ රටේ ප්‍රීතියෙන් හා තෘප්තියෙන් කළ මිෂනාරි සේවය ගැන. වර්ෂ 1942 දෙසැම්බර් මාසයේ අපේ විවාහයෙන් පස්සේ අපි දෙන්නා අගනා ක්‍රිස්තියානි යුග ජීවිතයක් ගත කළා. මට හිතෙනවා මගේ කතාව එතැනින් පටන්ගත්තොත් හොඳයි කියලා.

යෙහෝවාගේ සාක්ෂිකාරියක් ලෙස හැදී වැඩුණු අයිරින් ජීවත් වුණේ එංගලන්තයේ ලිවර්පූල් නගරයේයි. ඇගේ පියා දෙවන ලෝක මහ යුද්ධ සමයේ මිය ගිහින් තිබුණා. ඇගේ පවුලේ ඇයත් ඇතුළුව ගැහැණු දරුවන් තුන්දෙනෙක් හිටියා. තාත්තාගේ වියෝවෙන් පස්සේ අම්මා වින්ටන් ෆ්‍රේසර් නමැත්තා එක්ක දෙවෙනි කසාදයක් කරගත්තා. ඔවුන්ට පුතෙක් ලැබුණා. ඔහුගේ නම සිඩ්නි. දෙවෙනි ලෝක මහ යුද්ධය පටන්ගන්න ටික කාලෙකට ඉස්සරවෙලා ඔවුන්ගේ පවුල උතුරු වේල්ස්හි පිහිටි බැන්ගොර් නගරයට ගිය අතර වර්ෂ 1939දී අයිරින් බව්තීස්ම වුණා. සිඩ්නි ඊට කලින් අවුරුද්දේ බව්තීස්ම වුණා. අයිරින් හා සිඩ්නි එකට පූර්ණ කාලීන සේවයේ යෙදුණු අතර ඔවුන් වේල්ස්හි උතුරු වෙරළේ පිහිටි බැන්ගොර් සිට කනාවන් දක්වාත් ඇන්ගල්සි දූපත්වලත් වැඩ කළා.

මම ඒ කාලයේ සිටියේ ලිවර්පූල්වලට ගිනිකොණ දිශාවෙන් කි.මි. 20ක් පමණ ඈතින් පිහිටි රන්කෝන් සභාවේ. අද අපි කියනවා වගේ මුලසුන භාර අවේක්ෂකයෙක් ලෙසයි මම සේවය කරමින් සිටියේ. එක් චාරිකා එක්රැස්වීමකදී අයිරින් මාව මුණගැහිලා ඇහුවා, රන්කෝන්වල සිටින ඇයගේ විවාහක සහෝදරියක් වන විරා සමඟ කාලයකට නතර වෙන්න අදහස් කරන නිසා ඇයට දේශනා කරන්න වෙනම ක්ෂේත්‍රයක් ලබා දෙන්න පුළුවන්ද කියලා. අයිරින් අප සමඟ සිටි සුමාන දෙකක කාලය අතරතුරේදී මට හොඳට ඇය එක්ක පෑහී සේවය කරන්න පුළුවන් වුණා. ඉන්පස්සේ කිහිප විටක්ම මම ඇයව මුණගැසීමට බැන්ගොර්වලට ගියා. එක් සති අන්තයකදී මම ඇයට කළ විවාහ යෝජනාවට ඇය කැමති වීම ගැන මට දැනුණු සතුට කියා නිම කරන්න බැහැ.

ඉරිදා මම ආපහු ගෙදර ආපු ගමන්ම අපේ විවාහය සිදු කරන ආකාරය පිළිබඳ සැලසුම් යොදන්න පටන්ගත්තා. නමුත් මට අඟහරුවාදා විදුලි පණිවිඩයක් ලැබුණා. එහි තිබුණේ “මට සමාවෙන්න, මේ විදුලි පණිවිඩයට ඔයාගේ හිත රිදෙයි. මට ඔයාව බඳින්න බැහැ. විස්තර සහිත ලියුමක් එවන්නම්.” මට මේක අදහාගන්න බැරුව ගියා. මෙවැනි දෙයක් ලියා එවන්න තරම් ඇයට තිබුණු ප්‍රශ්නය මොකක්ද?

අයිරින්ගේ ලියුම මට පහුවෙනිදා ලැබුණා. ඇය කියා තිබුණා හිල්ඩා පැජෙට් * සමඟ යෝක්ෂර්හි හෝර්ස්ෆෝත්වලට පුරෝගාමි සේවය කරන්න යනවා කියා. මීට මාස දොළහකට කලින්, ඇය අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීමට ආරාධනා කරනු ලැබුවොත් එය භාරගැනීමට කැමති බව දන්වා තිබුණු බව ඇය විස්තර කර තිබුණා. තවත් ඇය මෙහෙම ලියලා තිබුණා. “මේක හරියට මම යෙහෝවාට කළ බාරයක් වගෙයි. මම මේක ඉෂ්ට කරන්න ඕනේ. මොකද මම ඔයාව හඳුනගන්නත් කලිනුයි මේ බාරය වුණේ.” මේ ලියුම කියවද්දී මට දුක හිතුණත් ඇයගේ අඛණ්ඩතාව මම අගය කළා. ඒ වගේම මම ඇයට පිළිතුරු යැව්වා “ඔයා යන්න. මම ඔයා වෙනුවෙන් ඉන්නවා” කියා.

යුද්ධවලට අනුබල නොදීමට ගත් තීරණය නිසා අයිරින්ට මාස තුනකට යෝක්ෂර්වල සිරදඬුවම් විඳීමට සිදු වුණා. නමුත් ඉන් මාස 18කට පස්සේ ඒ කියන්නේ 1942 දෙසැම්බර් මාසයේ අපි විවාහ වුණා.

මගේ ජීවිතයේ මුල්භාගය

වර්ෂ 1919දී මගේ අම්මා ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය * නමැති පොත් කාණ්ඩ කිහිපයක් මිල දී අරගෙන තිබුණා. මගේ තාත්තා ඒ කාලේ කියූ පරිදි අම්මා කවදාවත් හරියට පොතක් කියවලා තිබුණේ නැහැ. නමුත් අම්මා මේ පොත් බයිබලය හා සන්සන්දනය කරමින් ඉතා ඕනෑකමින් පාඩම් කිරීමට අධිෂ්ඨාන කරගත්තා. ඇත්තටම ඇය එහෙම කරලා 1920දී බව්තීස්ම වුණා.

මගේ තාත්තා එතරම්ම නීති රීති දාපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා මගේ අම්මාට කැමති දෙයක් කරන්න ඉඩහැරියා මිසක් වළක්වන්න ගියේ නැහැ. ඒ නිසා කිසිම බාධාවකින් තොරව දරුවෝ හතරදෙනාව එනම්, මගේ අක්කලා දෙන්නාව (ග්වෙන් සහ අයිවි), අයියාව (ඇලෙක්) සහ මාව සත්‍යයේ මාර්ගයේ ඇති දැඩි කිරීමටත් ඇයට පුළුවන් වුණා. ලිවර්පූල්වල සිට ස්ටැන්ලි රෝජර්ස් වැනි ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් බයිබල් දේශන පැවැත්වීම සඳහා රන්කෝන්වලට ආවා. මේ හේතුවෙන් රන්කෝන්වල ඉක්මනින් අලුත් සභාවක් ඇති වුණා. සභාවේ වර්ධනයත් එක්කම අපේ පවුලත් ආත්මික වර්ධනයක් අද්දැක්කා.

ග්වෙන් එංගලන්ත සභාවේ පවත්වන පන්තිවලට සහභාගි වෙමින් සිටියත් අම්මා එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්ත ගමන් ඒ පන්තිවලට යන එක නැවැත්තුවා. දේවගැතියෙක් අපිව මුණගැහෙන්න ආවා ග්වෙන් ඔහුගේ පන්තිවලට එන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න. ග්වෙන් ඔහුට ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළ අතර ඒවාට සෑහීමට පත් විය හැකි පිළිතුරු දෙන්න ඔහුට හැකි වුණේ නැහැ. ග්වෙන් ඔහුගෙන් ස්වාමීන්ගේ යාච්ඤාවේ තේරුම ඇහුවත්, ඒ ප්‍රශ්නය අන්තිමේදී කෙළවර වුණේ ඇය ඔහුට එහි තේරුම කියා දීමෙන්. ඇය එය අවසන් කළේ 1 කොරින්ති 10:21හි සඳහන් ලෙස, ‘මේස දෙකකින් කන්නට’ බැරි බව පෙන්වා දෙමින්. දේවගැතිවරයා අපේ ගෙදරින් යනකොට කිව්වා ඔහු ඇය වෙනුවෙන් යාච්ඤා කරන බවත් ඇගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න නැවත එන බවත්. නමුත් ඊට පස්සේ කවදාවත් ඔහු ආවේ නැහැ. ග්වෙන් බව්තීස්ම වූ විගස පූර්ණ කාලීන එවැන්ජලිස්ත සේවයේ හවුල් වුණා.

අපේ සභාවේ යෞවනයන් වෙනුවෙන් දක්වපු සැලකිල්ල නම් ඉතා අගේයි. ආගන්තුක වැඩිමහල්ලෙක් දුන් කතාවක් මම අහගෙන හිටියා මට අද වාගේ මතකයි. එතකොට මට අවුරුදු හතයි. ඔහු මා එක්ක කතා කළා. මම කිව්වා මම ආබ්‍රහම් ගැනත් ඔහු ඊසාක්ව පූජා කරන්න වෑයම් කරපු හැටි ගැනත් කියෙව්වා කියලා. එවිට ඔහු කිව්වා “වේදිකාවේ කොනට ගිහින් ඔයා කියෙව්ව ඔක්කෝම විස්තර ආපහු මට කියන්න” කියලා. මට පුදුම සතුටක් දැනුණා. මම එහි හිටගෙන මගේ මුල්ම “ප්‍රසිද්ධ කථාව” දුන්නා!

වර්ෂ 1931දී මම බව්තීස්ම වෙනකොට මට වයස අවුරුදු 15යි. ඒ අවුරුද්දේ තමයි මගේ අම්මා නැති වුණේත්. මම පාසැලෙන් අස් වෙලා විදුලි කාර්මික ශිල්පය පිළිබඳ පුහුණුවක් ලබන්න ගියා. වර්ෂ 1936දී තැටිගත කරන ලද බයිබල් දේශන ප්‍රසිද්ධියේ වාදනය කළා. මේ කාලයේදී වයසක සහෝදරියක් අයියාටයි මටයි මේ සේවයේ යෙදෙන්න කියා උනන්දු කළා. ඒ නිසා ඇලෙක් එක්ක මම ලිවර්පූල්වලට ගිහින් බයිසිකලයක් සල්ලි දීලා අරන් ඒකටම පැත්තකින් තවත් සයිඩ් කාර් එකක් සවි කරගත්තා. මේ සයිඩ් කාර් එක ප්‍රයෝජනවත් වුණා තැටි වාදන යන්ත්‍රය එහා මෙහා ගෙන යන්න. ඒ වගේම අපි මෙහි පිටුපස සවි කළ ඇකිළිය හැකි මීටර් දෙකක් උසැති බටයකට ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කරගත්තා. මෙය සවි කර දුන් කාර්මික ශිල්පියා කිව්වා මීට ඉස්සර කවදාවත් මේ වගේ වැඩක් කරලා නැහැ කියලා. නමුත් මේ ක්‍රමය ඉතා සාර්ථක වුණා. ඒ සහෝදරියගෙන් ලැබුණු දිරිගැන්වීම හා අපිට ලැබුණු සේවා වගකීම් ගොඩක් අගය කළ අපි අපේ ක්ෂේත්‍රය උද්‍යෝගයෙන් පියෙව්වා.

දෙවන ලෝක මහ යුද්ධය—පරීක්ෂණාත්මක කාලයක්

යුධ උණුසුම දසත පැතිරෙන විට ස්ටැන්ලි රෝජර්ස් සහ මම 1938 සැප්තැම්බර් 11වෙනිදා ලන්ඩන් නුවර රෝයල් ඇල්බට් ශාලාවේ පැවැත්වීමට නියමිත “යථාර්ථයට මුහුණ දෙන්න” යන ප්‍රසිද්ධ දේශනය ගැන ප්‍රචාරය කිරීමේ කටයුතුවල යුහුසුලුව නිරත වෙමින් සිටියා. ඉන් ටික කලකට පසු මෙම දේශනය ඇතුළත් පොත් පිංච බෙදාහැරීමේ කාර්යයටද සහභාගි වුණා. ඊළඟ අවුරුද්දේ ප්‍රකාශයට පත් කළ ෆැසිස්ට්වාදය හෝ නිදහස යන දේශනය අඩංගු පොඩි පොත් පිංචයත් සමඟ මෙය බෙදාහැරියා. මෙම පොත් පිංච දෙකෙන්ම ජර්මනියේ හිට්ලර්ගේ ඒකාධිපති පාලන බලය මනාව එළිදරව් කර තිබුණා. මේ කාලය වන විට රන්කෝන්වල ප්‍රසිද්ධියේ දේවසේවය කළ මාව ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඒ නිසා මම අන් අයගේ ගෞරවයටත් පාත්‍ර වුණා. මම හැමවිටම දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම්වල මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණු එක මට පසු කලෙක ප්‍රයෝජනවත් වුණා.

මම රැකියාව කළ ආයතනය මගින් නගරයෙන් පිට කර්මාන්ත ශාලාවකට විදුලිය සැපයීම සඳහා කොන්ත්‍රාත්තුවක් අරන් තිබුණා. මම පස්සේ දැනගත්තා මේ රාජකාරිය කරන්න තියෙන්නේ යුධායුධ නිපදවන කර්මාන්ත ශාලාවක කියලා. මම පැහැදිලිව කිව්වා මට ඒ වගේ තැනක වැඩ කරන්න යන්න බැහැ කියලා. මගේ ස්වාමිවරු මේ ගැන අසතුටු වුණත් මගේ වැඩ බලන ප්‍රධානියා මා වෙනුවෙන් කතා කරලා මට වෙන වැඩක් ලබා දුන්නා. ඊට පස්සේයි මම දැනගත්තේ ඔහුගේ නැන්දනියක් යෙහෝවාගේ සාක්ෂිකාරියක් කියලා.

මගේ හවුල් සේවකයෙකු මාව දිරිගැන්වුවා මෙහෙම කියලා. “රෙජ්, ඔයා බයිබලයට සම්බන්ධ වැඩවල අවුරුදු ගණනාවක ඉඳලා යෙදිලා ඉන්න කෙනෙක් හැටියට මීට වඩා වෙනස් තීරණයක් ඔයා ගනී කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.” ඒ කෙසේවෙතත් මම ගොඩාක් කල්පනාකාරීව වැඩ කළ යුතුව තිබුණා. මොකද මගේ වැඩපොළේ වැඩිදෙනෙක් බැලුවේ මාව කරදරේ දාන්නයි.

මගේ හෘදය සාක්ෂියට එකඟව හමුදා සේවය ප්‍රතික්ෂේප කරන බවට මම කළ ආයාචනය 1940 ජූනි මාසයේ ලිවර්පූල් උසාවිය පිළිගත්තා. ඒ, මම කරමින් සිටි රැකියාවේම රැඳී සිටිය යුතු බවට වූ කොන්දේසිය මතයි. මෙමගින් දිගටම ක්‍රිස්තියානි දේවසේවයේ නියැලීමට ඉඩ කඩ සැලසුණා.

පූර්ණ කාලීන සේවයේ

යුධ කාලය අවසාන වනවාත් සමඟම මම මගේ රැකියාවෙන් අස් වෙලා අයිරින් සමඟ පූර්ණ කාලීන සේවයේ යෙදුණා. මම 1946දී මීටර් 5ක් දිගැති ට්‍රේලරයක් සාදා එය අපේ නිවස හැටියට භාවිත කළා. ඊළඟ අවුරුද්දේ අපිට ග්ලෝස්ටෂහි පිහිටි ගමක් වන ඇල්වෙස්ටන්වලට යන්න කිව්වා. ඊට පස්සේ අපි පැරණි නගරයක් වන සයිරන්සෙස්ටර්වල හා බාත් නගරයේ සේවය කළා. වර්ෂ 1951දී චාරිකා අවේක්ෂකයෙකු ලෙස දකුණු වේල්ස්හි සභා බැහැදැකීමට ආරාධනා කරනු ලැබුවා. නමුත් මෙම පැවරුම ලැබී අවුරුදු දෙකක් පිරීමටත් මත්තෙන් මිෂනාරි සේවය සඳහා පුහුණු කරන ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට ඇතුල් වීමට අපිට හැකි වුණා.

මෙම පාසැලේ 21වෙනි පන්තිය පවත්වනු ලැබුවේ නිව් යෝක් නගරයේ උතුරු පැත්තට වෙන්න පිහිටා ඇති දකුණු ලාන්සිං නගරයේයි. අපි මෙම පන්තියෙන් උපාධිය ලැබුවේ 1953දී නිව් යෝක් නගරයේ පැවති නව ලෝක සමාජය යන මාතෘකාවෙන් යුත් එක්රැස්වීමකදීයි. අපි උපාධිය ලබපු දිනය වෙනකම්ම දැනගෙන හිටියේ නැහැ අපිට පැවරුම ලැබෙන රට ගැන. අපිට සේවය කරන්න තිබෙන්නේ පෙරූ රටේ කියලා දැනගත්තම පුදුම සතුටක් දැනුණා. ඒකට හේතුව, අයිරින්ගේ සුළු සහෝදරයා වන සිඩ්නි ෆ්‍රේසර් හා ඔහුගේ භාර්යාව වන මාගරට් අවුරුද්දකට වැඩි කාලයක සිට ලීමා නගරයේ ශාඛා කාර්යාලයේ සේවය කරමින් සිටි නිසයි. ඔවුන් එහි ගියේ 19වෙනි ගිලියද් පන්තියේ උපාධිය ලැබීමෙන් පසුවයි.

අපිට වීසා බලපත්‍ර ලැබෙන තුරු අපි බෘක්ලින් බෙතෙල්හි කෙටි කාලයක් සේවය කළා. නමුත් ඉක්මනින්ම අපිට ලීමාවලට යන්න හැකි වුණා. අපිට ලැබුණු මිෂනාරි පැවරුම් දහයෙන් පළමුවැන්න කෙයාව්වලටයි. මෙය ලීමා නගරයට බටහිරින් පිහිටි පෙරූවල ප්‍රධාන වරාය පිහිටා තිබුණු නගරයයි. අපි ඒ වන විට ස්පාඤ්ඤ භාෂාව ටිකක් දැනගෙන තිබුණත් අයිරින්ටවත් මටවත් දිගටම සංවාදයක් කරගෙන යෑමේ හැකියාවක් තිබුණේ නැහැ. අපි කොහොමද අපේ වැඩ කරගෙන ගියේ?

සේවයේ වරප්‍රසාද හා අභියෝග

ගිලියද් පාසැලේදී අපිට කිව්වා අම්මා කෙනෙක් දරුවෙකුට භාෂාව උගන්වන්නේ නැහැ, නමුත් අම්මා දරුවා එක්ක කතා කරද්දී දරුවා අසා ඉගෙනගන්නවා කියලා. අපිට දුන් උපදේශය තමයි “ගිය විගස දේශනා සේවය පටන්ගන්න. මහජනයාගෙන් භාෂාව ඉගෙනගන්න. ඔවුන් ඔබට භාෂාව ඉගෙනගන්න උදව් කරාවි.” මම මේ අලුත් භාෂාව සමඟ පොරබදිමින් සිටින විට සති දෙකක් තරම් කෙටි කාලයක් තුළදී මාව සභාවේ මුලසුන භාර අවේක්ෂක ලෙස පත් කළා. හිතන්න පුළුවන්ද භාෂාවත් හරියට හුරු නැතුව මේ වගේ වගකීමක් භාරගන්න සිදු වුණහම ඇති වන හැඟීම! මම සිඩ්නි ෆ්‍රේසර් හමු වෙන්න ගියා. ඔහු දුන් උපදේශයත් ගිලියද්හිදී දුන් උපදේශය හා සමානයි. ඔහු කිව්වේත් භාෂාව ඉගෙනගන්න නම් සභාවේ අය එක්ක හා ක්ෂේත්‍රයේ හමු වන අය එක්ක හොඳ ඇසුරක් පවත්වන්න කියායි. මම මේ උපදේශය පිළිපදින්න අදිටන් කරගත්තා.

එක් සෙනසුරාදා උදෑසනක මට වඩු වැඩ කරන කෙනෙක් මුණගැසුණා. ඔහු කිව්වා “මම කරන වැඩේ නම් මට නවත්තන්න බැහැ. නමුත් කරුණාකරලා ඔයා වාඩි වෙලා මා එක්ක කතා කරන්න” කියලා. මම ඔහුට කිව්වා මම එහෙම කරන්නම් හැබැයි “මම යමක් වැරදි විදියට කියනවා නම් මට කියන්න. මම තරහ වෙන්නේ නැහැ” කියලා. ඔහු හිනා වෙලා මගේ ඉල්ලීමට එකඟ වුණා. මම සතියකට දෙවතාවක් ඔහුව මුණගැහෙන්න ගියා. මම දැනගත්තා මට කියලා තිබුණු විදියට අලුත් භාෂාව හුරු වෙන්න තියෙන හොඳම ක්‍රමය මේකයි කියලා.

ඉකා නගරයේ අපේ දෙවෙනි මිෂනාරි පැවරුමේදී අහම්බෙන් වාගේ තවත් වඩු කර්මාන්තයේ යෙදෙන කෙනෙක්ව මුණගැසුණා. මම ඔහුට කිව්වා කෙයාව්වලදී මම යොදාගෙන තිබුණු සැලැස්ම ගැන. ඔහු මට ඒ ආකාරයට උදව් කරන්න එකඟ වුණා. ඒ නිසා ස්පාඤ්ඤ භාෂාව ගැන මගේ දැනුම දවසින් දවස වැඩි වුණා. අවුරුදු තුනක් පමණ ගත වුණාට පසුවයි මේ භාෂාව හොඳින් හසුරුවන්න හැකි වුණේ. මේ වඩු වැඩ කළ තැනැත්තා ඉතා කාර්යබහුල පුද්ගලයෙක්. නමුත් මම කොහොම හරි ඔහු එක්ක බයිබලය පාඩම් කළා. බයිබල් වගන්ති කියවලා මම ඔහුට තේරුම පැහැදිලි කරලා දුන්නා. එක් සතියකදී ඔහුව මුණගැහෙන්න ගියාම ඔහුගේ වැඩපොළේ අයිතිකාරයා කිව්වා ඔහු අලුත් රස්සාවක් කරන්න ලීමා නගරයට ගියා කියලා. පස්සේ දවසක මායි අයිරිනුයි ලීමා නගරයේ පැවති සමුළුවකට සහභාගි වුණු වේලාවේ මට නැවතත් මේ මනුෂ්‍යයාව මුණගැසුණා. ඔහුගේ පාඩම දිගටම කිරීම සඳහා ඔහු ඒ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් හමු වී තිබුණු අතර ඔහු සහ ඔහුගේ පවුලේ සියලුදෙනා යෙහෝවාට කැප වූ සේවකයන් බවට පත් වෙලා තිබුණා. මේ ආරංචිය මොන තරම් සතුටුදායක එකක්ද!

අපි සේවය කළ එක සභාවක සිටි එක් තරුණ ජෝඩුවක් නීතියෙන් විවාහ වෙලා හිටියේ නැහැ කියලා අපට දැනගන්න ලැබුණා. නමුත් ඔවුන් බව්තීස්ම වෙලා තිබුණා. අපි ඔවුන් සමඟ ඊට සම්බන්ධ වන ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති සාකච්ඡා කිරීමෙන් පස්සේ ඔවුන් තීරණය කළා ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්න. මෙය ඔවුන්ට ඇත්තටම බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් ලෙස තිබිය යුතු සුදුසුකමක්. මම ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ව නගර සභා කාර්යාලයට එක්කරගෙන ගියා. නමුත් මෙහිදී ප්‍රශ්නයක් මතු වුණා. ඔවුන්ට දරුවන් හතරදෙනෙක් සිටිය අතර මේ එක් කෙනෙක්වවත් ලියාපදිංචි කරලා තිබුණේ නැහැ. මෙය නීතික අවශ්‍යතාවක්. අපි තුළ සැකයක් තිබුණා නගරාධිපති මොන වගේ තීරණයක් ගනීද කියන එක ගැන. “ඔයාලගේ මේ හොඳ යාළුවෝ වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔයගොල්ලන්ව නීතියෙන් විවාහ කර දීමට කටයුතු සැලසුම් කරලා තියෙනවා. මම මේ හැම දරුවෙක් සඳහාම උසාවි නියෝගයක් නිකුත් කරන්නේ නැහැ. ඒ වෙනුවට මම ඔවුන්ව කිසිම ගාස්තුවකින් තොරව ලියාපදිංචි කරනවා” යැයි නගරාධිපති පැවසුවා. අපි මේ නගරාධිපතිට ඇත්තෙන්ම ණයගැතියි. මොකද මේ දුප්පත් අයට යම් දඩ මුදලක් ගෙවන්න සිදු වුණොත් ඒක ලොකු බරක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බෘක්ලින් මූලස්ථානයේ ඉඳලා ඇල්බට් ඩී. ෂ්‍රෝඩර් අපිව මුණගැහෙන්න ආවා. ඔහු අපිට යෝජනා කළා ලීමාවල වෙනත් ප්‍රදේශයක තවත් මිෂනාරි නිවසක් පිහිටුවන්න කියලා. මේ නිසා අයිරින් සහ මමත්, එක්සත් ජනපදයෙන් ෆ්‍රැන්සස් හා එලිසබෙත් ගුඩ් යන සහෝදරියන් දෙදෙනාත් කැනඩාවෙන් යුවළකුත් සැන් බෝර්හා දිස්ත්‍රික්කයට ගියා. අවුරුදු දෙකක් තුනක් ඇතුළත තවත් සභාවක් පිහිටුවීමේ ආශීර්වාදය අපිට ලැබුණා.

මධ්‍යම කඳුකරයේ මීටර් 3000ක් පමණ උසින් පිහිටි වාන්කියෝ සභාවේ සාක්ෂිකරුවන් 80දෙනෙක් සමඟ එකට සේවය කරන්න අපිට අවස්ථාව ලැබුණා. එම රටේ දෙවෙනි රාජ්‍ය ශාලාව ගොඩනැඟීමේ කටයුතුවලට මම සහභාගි වුණා. මාව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නෛතික නියෝජිත ලෙස පත් කරනු ලැබුවා. අපි ලබාගෙන තිබුණු ඉඩමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීමට තුන් සැරයක් උසාවියට යන්න සිදු වුණා. මුල් කාලයේ කළ එවැනි ක්‍රියාවන් ඇතුළු ගෝලයන් සෑදීමේ වැඩෙහි පුළුල්ව බොහෝ මිෂනාරිවරු සහභාගි වීම අද දක්නට තිබෙන මේ පුදුමාකාර වර්ධනයට හොඳ අඩි තාලමක් වුණා කිව්වොත් නිවැරදියි. පෙරූ රටේ 1953දී සිටියේ සාක්ෂිකරුවන් 283දෙනායි. නමුත් අද 83,000දෙනෙක් ඉන්නවා.

දුක්මුසු වෙන්වීමක්

අපි හිටපු හැම මිෂනාරි නිවසකම අනෙකුත් මිෂනාරිවරුන් සමඟ අපි හොඳ ආශ්‍රයක් භුක්ති වින්දා. විවිධ මිෂනාරි නිවෙස්වල මට නේවාසික අවේක්ෂක ලෙස කටයුතු කිරීමේ භාග්‍යය ලැබුණා. අපි සෑම සඳුදාවකම එකතු වෙලා ඒ සතියේ කරන්න තියෙන වැඩකටයුතු ගැන සාකච්ඡා කළා. ඒ වගේම කරන්න අවශ්‍ය ගෙදර වැඩ බෙදාගත්තා. නමුත් අපි තේරුම්ගත්තා අපේ මූලික පැවරුම සේවයේ යෑම බව. ඉතිං මේ ඉලක්කය මනසේ තබාගෙන අපි හැමෝම එකා වගේ වැඩ කළා. මට සතුටුයි කියන්න අපි හිටපු මිෂනාරි නිවෙස්වල අපි අතර කවදාවත් ලොකු ප්‍රශ්න ඇති වෙලා නැහැ.

අපේ අවසාන පැවරුම ලැබුණේ ලීමාවල ගමක් වන බ්‍රෙන්යාවලටයි. ඒ ප්‍රේමණීය සභාවේ සාක්ෂිකරුවන් 70දෙනෙක් හිටිය අතර ඔවුන් ඉක්මනින්ම 100 දක්වා වර්ධනය වුණා. මේ නිසා තවත් සභාවක් පාලෝමින්යවල පටන්ගත්තා. මේ කාලය වෙනකොට තමයි අයිරින්ට අසනීප වුණේ. මම මුලින්ම නිරීක්ෂණය කළ දෙයක් තමයි බොහෝ අවස්ථාවලදී ඇය කියපු දේවල් ඇයට මතක තිබුණේ නැහැ. සමහර අවස්ථාවලදී ගෙදරට එන පාර මතක තිබුණේත් නැහැ. ඇයට හොඳ වෛද්‍ය ප්‍රතිකාර ලැබුණත් ටිකින් ටික ඇගේ සෞඛ්‍ය තත්වය දුර්වල වෙන්න පටන්ගත්තා.

කනගාටුවෙන් වුවද 1990දී මම සැලසුම් කළා නැවතත් එංගලන්තයට එන්න. මගේ සහෝදරී අයිවි අපිව සාදරයෙන් ඇයගේ නිවසට පිළිගත්තා. අවුරුදු හතරකට පස්සේ ඒ කියන්නේ අයිරින්ට වයස අවුරුදු 81දී ඇය මිය ගියා. මම දිගටම පූර්ණ කාලීන සේවය කරමින් සිටින අතර මගේ ගමේම තියෙන සභා තුනෙන් එකක වැඩිමහල්ලෙක් හැටියටද සේවය කරනවා. ඉඳ හිට මම මැන්චෙස්ටර්වලට යනවා එහේ ඉන්න ස්පාඤ්ඤ භාෂාව කතා කරන කණ්ඩායම දිරිගැන්වීම සඳහා.

මම ළඟදී ඉතා හද උණුසුම් කරවන අද්දැකීමකට මුහුණ දුන්නා. ඒක මීට අවුරුදු ගණනාවකට කලින් ආරම්භ වුණු දෙයක්. ඒ දවස්වල මම ගෙයින් ගෙට ගොස් පටිගත කරන ලද විනාඩි පහක කතා වාදනය කළා. මට හොඳට මතකයි යෞවන ගැහැණු ළමයෙක් දොර ළඟ අම්මාගේ පිටිපස්සෙන් හිටගෙන මේ පණිවිඩයට ඇහුම්කන් දුන්නා.

මේ ළමයා අන්තිමට කැනඩාවේ පදිංචියට ගිහින් තිබුණා. දැන් සාක්ෂිකාරියක් වන රන්කෝන්වල ඉන්න ඇගේ යෙහෙළියක් ඇයට දිගටම ලිපි ලිව්වා. මේ තැනැත්තිය ඇගේ යෙහෙළියට දන්වා තිබුණා මෑතකදී සාක්ෂිකරුවෝ දෙන්නෙක් ඇගේ නිවසට පැමිණි බව. ඒ වගේම ඔවුන් සමහර වචන පවසන විට එකපාරටම ඇගේ මතකයට නැඟුණා, ඒවා කලින් පටිගත කරන ලද විනාඩි පහක කතාවලින් ඇය අසා තිබුණු බව. ඔවුන් පැවසූ දේවල් සත්‍යය බව වටහාගත් ඇය දැන් යෙහෝවාට කැප වූ සේවිකාවක්. ඒ වගේම ඇය මීට වසර 60කට කලින් ඇගේ මවගේ ගෙදරට ආපු තරුණයාට ස්තුති කරන්න කියා ඉල්ලා සිටියා! අපි ඇත්තටම දන්නේ නැහැ සත්‍යයේ බීජ කොයි කාලෙද පැළ වෙන්නේ කියා.—දේශනාකාරයා 11:6.

යෙහෝවාගේ අනර්ඝ සේවයේ යෙදීම සඳහා මට ලැබුණු වරප්‍රසාදය ගැන මම ආපසු හැරී බලන්නේ ඉතා කෘතඥපූර්වකවයි. මම බව්තීස්ම වූ දා පටන්, ඒ කියන්නේ 1931 පටන් කවදාවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමක් අතපසු කරලා නැහැ. මටයි අයිරින්ටයි අපේම කියලා දරුවෝ නැති වුණත් ස්වර්ගික පියාණන් වන යෙහෝවාට සේවය කරන ආත්මික දූවරුන් හා පුත්තු 150කට වැඩියෙන් ඉන්නවා. මගේ ප්‍රේමණීය භාර්යාව පැවසූ ආකාරයට ඇත්තෙන්ම වචනයෙන් කියාගන්න බැරි තරම් ප්‍රීතියක් අපේ වරප්‍රසාදවලින් අපි අද්දැක්කා.

[පාදසටහන්වල]

^ 9 ඡේ. “මගේ දෙමව්පියන්ගේ අඩිපාරේ ගමන් කිරීම” යන මාතෘකාවෙන් හිල්ඩා පැජෙට්ගේ ජීවිත කතාව 1995 ඔක්තෝබර් 1 මුරටැඹ සඟරාවේ 19-24 පිටුවල සඳහන් වේ.

^ 12 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.—සිංහලෙන් නොමැත.

[24වන පිටුවේ පින්තූරය]

මව, 1900 මුල් කාලයේදී

[24, 25වන පිටුවේ පින්තූරය]

වමේ: 1940දී එංගලන්තයේ ලීඩ්ස්වල හිල්ඩා පැජෙට්, මම, අයිරින් සහ ජෝයිස් රෝලේ

[25වන පිටුවේ පින්තූරය]

ඉහළ: අයිරින් සහ මම අපේ ට්‍රේලර් නිවස ඉදිරිපිට

[27වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1952දී වේල්ස්වල කාර්ඩිෆ්හි ප්‍රසිද්ධ දේශනයක් ගැන දැනුම් දෙමින්