Skip to content

පටුනට යන්න

සරණ සේවාවන්ට සිදු වන්නේ කුමක්ද?

සරණ සේවාවන්ට සිදු වන්නේ කුමක්ද?

සරණ සේවාවන්ට සිදු වන්නේ කුමක්ද?

වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදා නිව් යෝක් නගරයට හා වොෂිංටන් ඩී.සී.හි එල්ල කළ ප්‍රහාරවලින් පසුව, ඛේදවාචකයට ගොදුරුවූවන් වෙනුවෙන් පොදු ජනයා දැක්වූ ප්‍රතිචාරය අතිවිශිෂ්ටය. විපතට ගොදුරු වූ පවුල්වලට උපකාර කරනු පිණිස ඩොලර් බිලියන 2.7ක (රුපියල් බිලියන දෙසිය දහහතරාමාරක පමණ) මුදලක් ලැබුණේ සරණ සේවා මධ්‍යස්ථාන පුදුමයට පත් කරමිනි. සෑම පෙදෙසකම සිටින ජනයා මෙම විශාල විපතෙන් කම්පනයට පත්ව උපකාර කිරීමට පෙලඹිණ.

කෙසේනමුත්, ප්‍රමුඛ පෙළේ සරණ සේවා මධ්‍යස්ථාන මගින් මුදල් අයථා ලෙස භාවිත කරන බව අනාවරණය වූ විට මහජනයාගෙන් ඇතැමෙකුගේ මුහුණු මැලවී ගියේය. එක්තරා විශාල සරණ සේවා මධ්‍යස්ථානයකට ලැබුණු ඩොලර් මිලියන 546න් (රුපියල් මිලියන 1,474න්) අඩක් පමණ වෙනත් දේවලට යෙදවීම සඳහා කටයුතු කරන බවට පළ වූ වාර්තාවකින් බොහෝදෙනෙකුගේ කෝපය ඉහ වහා ගියේය. පසුව මෙම සංවිධානය, ඔවුන් ගත් තීරණය වෙනස් කර සමාව ඉල්ලුවත් එක් වාර්තාකරුවෙකු පැවසුවේ මෙසේය. “විවේචනය කරන්නන් පවසන අන්දමට, දැනටමත් ප්‍රමාද වැඩි නිසා මේ නව විපර්යාසයෙන් නම්,” ප්‍රහාර එල්ල වීමට කලින් තිබූ “විශ්වාසය යළි ගොඩනංවන්න බැරි වේවි.” ඔබ ගැන කුමක් කිව හැකිද? සරණ සේවාවන් කෙරෙහි ඔබ මුලින් තබා තිබූ විශ්වාසය මෑතකදී කඩ වී ඇද්ද?

අපතේ යයිද, නොයයිද?

සරණ සේවාවන් සඳහා දීම යහගුණයක් ලෙසයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ. එහෙත්, සැවොම එය දකින්නේ එලෙස නොවේ. වසර 200කට පෙර ඉංග්‍රීසි රචකයෙකු වූ සැමුවෙල් ජොන්සන් මෙසේ ලීවේය. “තෑග්ගක් වශයෙන් මුදලක් පරිත්‍යාග කරනවාට වඩා, වැඩ කරන අයට ඔවුන් දැරූ වෙහෙස මහන්සිය වෙනුවෙන් යම් මුදලක් ගෙවන විට තමන් ඇත්තෙන්ම කරන්නේ යහපත් දෙයක්ය යන නිසැකකම වැඩි කරගන්න කෙනෙකුට හැකියි.” අදදින සමහරෙකු එවැනිම අදහසක් දරන අතර, සරණාධාර අයථා ලෙස හැසිරවීම හා භාවිත කිරීම හේතුවෙන් සරණ සේවා සංවිධානවලට මහජන විශ්වාසය දිනාගැනීමට නොහැකි වී තිබේ. මෑත උදාහරණ දෙකක් සලකා බලන්න.

සැන් ෆ්‍රැන්සිස්කෝහි ආගමික සරණ සේවා මධ්‍යස්ථානයක අධ්‍යක්ෂකවරයෙකු ප්ලාස්ටික් සැත්කමක් සඳහා අවශ්‍ය වූ මුදල මෙන්ම වසර දෙකක් පුරා සතියකට ඩොලර් 500 (රුපියල් 50,400ක්) බැගින් වූ අවන්හල් බිල්පත් සිය ආයතනයෙන් අය කරගැනීමට තැත් කළ විට ඔහුව රැකියාවෙන් පහ කරන ලදි. බ්‍රිතාන්‍යයේ රූපවාහිනිය මගින් දියත් කළ විශාල සරණ සේවාවක සංවිධායකයන්ට ලජ්ජාවට පත්වීමට සිදු විය. එසේ වූයේ රුමේනියාවේ නව අනාථ කඳවුරු ඉදි කිරීම සඳහා යැවූ පවුම් මිලියන 6.5න් (රුපියල් මිලියන 10,080න්) ඉදි කර තිබුණේ දුර්වල ගණයේ නිවාස 12ක් පමණක් බව හෙළි වූ නිසාය. ඉතිරි ඩොලර් සියදහස් ගණනට සිදු වූ දේ පැහැදිලි කිරීමට ඔවුන්ට නොහැකි විය. මෙවැනි අසතුටුදායක වාර්තා නිසා ආධාර දෙන ඇතැමුන්ට තමන් කීයක් දෙනවාද සහ කාටද දෙන්නේ කියා දෙවරක් සිතීමට සිදු වී ඇත.

දෙම්දෝ නොදෙම්දෝ

කෙසේවුවද, අන් අය කෙරෙහි ඇති අපේ අව්‍යාජ සැලකිල්ල හා දයාව යටපත් කර දැමීමට කීපදෙනෙකුගේ ක්‍රියාවලට හෝ සංවිධානවලට ඉඩහැරීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි. බයිබලයේ මෙසේ පැවසේ. ‘අපගේ පිය වූ දෙවියන් ඉදිරියෙහි පිරිසිදු වූ නොකිලුටු වූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමය.’ (යාකොබ් 1:27) දිළිඳුන්ට හා අසරණයන්ට පිහිට වීම ක්‍රිස්තියානි ධර්මයේ අත්‍යවශ්‍ය කොටසකි.

කෙසේනමුත්, ‘තවදුරටත් මම සරණ සේවාවන්ට දිය යුතුද නැත්නම් පෞද්ගලිකව යම් පුද්ගලයන්ට දිය යුතුද’ කියා ඔබ කල්පනා කළ හැක. දෙවි බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ දීමක්ද? මතු ලිපියෙහි මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.