Skip to content

පටුනට යන්න

සෑහීමට පත්වීමේ රහස ඉගෙනීම

සෑහීමට පත්වීමේ රහස ඉගෙනීම

සෑහීමට පත්වීමේ රහස ඉගෙනීම

“මම කවර තත්වයක සිටියත්, සෑහීමට පත්ව සිටීමට ඉගෙනගෙන සිටිමි. හිඟව සිටින්න මම දනිමි. . . . සෑම දෙයකදීම හා සෑම තත්වයකදීම සෑහීමට පත්ව සිටින්නත්, කුසගින්නෙන් සිටින්නත්, බොහෝ දේවල් ඇතිව සිටින්නත්, අගහිඟකම් ඇතිව සිටින්නත් හැකි රහස ඉගෙනගෙන සිටිමි.” එවන් ප්‍රකාශයක් කරනු ලැබුවේ ප්‍රේරිත පාවුල් විසින් පිලිප්පි නුවර විසූ ක්‍රිස්තියානීන්ව දිරිගන්වන අටියෙන් ලියූ ලිපියකයි.—පිලිප්පි 4:11, 12, NW.

පාවුල් සෑහීමට පත්වීමේ රහස කුමක්ද? අපගේ වර්තමාන පිළිවෙළ තුළ තිබෙන අධික ජීවන වියදම සහ ආර්ථික අස්ථිරභාවය දෙස බලන විට දෙවිට පිරිනමන සේවය මනසේ ප්‍රමුඛව තබාගැනීමට හැකියාව ලැබෙන ලෙස සැබෑ ක්‍රිස්තියානීන් සෑහීමට පත්වීමට ඉගෙනීම ඇත්තෙන්ම වටී.

මීට ප්‍රථම පාවුල් ලියූ ලිපියක ඔහු කලින් කළ රැකියාව ගැන විස්තර කළා. “මාංසය කෙරෙහි විශ්වාසය තැබීමට පදනමක් ඇති යමෙක් සිටී නම් ඒ මමය. මාංසය කෙරෙහි විශ්වාසය තබන්න තමන්ට පදනමක් ඇතැයි යමෙක් සිතන්නේ නම් මට ඊටත් වඩා පදනමක් ඇත. මම අටවනදා චර්මච්ඡේදනය ලැබුවෙමි. ඊශ්‍රායෙල් පෙළපතෙන් වන්නෙමි. බෙන්ජමින් ගෝත්‍රයට අයත් වෙමි. හෙබ්‍රෙව්වරුන්ගෙන් උපන් හෙබ්‍රෙව්වරයෙක්මි. නීතිය සම්බන්ධයෙන් නම් පරිසිවරයෙක් වෙමි. උද්‍යෝගය අතින් නම් සභාවට පීඩා කළෙමි. නීතියෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම අතින් නම් නිර්දෝෂයයි ඔප්පු කළ තැනැත්තෙක් වෙමි.” (පිලිප්පි 3:4-6, NW) ඒ විතරක් නොවෙයි, උද්‍යෝගිමත් යුදෙව්වෙක් හැටියට පාවුල්ට යෙරුසලමේ නායක පූජකයන්ගෙන් පැවරුමක් හා අනුබලයකුත් ලැබී තිබුණා. මේ නිසා යූදා සමාජ ක්‍රමය තුළ දේශපාලනික, ආගමික සහ මූල්‍යමය වශයෙන් ඔහුට ගරු නම්බුව සහ කීර්තිය ලැබෙන බවට මේ සියල්ලම සහතිකයක් වූවා.—ක්‍රියා 26:10, 12.

නමුත් පාවුල් ජ්වලිත දේවසේවකයෙක් වූ පසු දේවල් වෙනස් වූයේ අද්විතීය ලෙසයි. ශුභාරංචිය උදෙසා ඔහු ස්වකැමැත්තෙන්ම සිය උසස් රැකියාව මෙන්ම යූදා සමාජයේ මීට කලින් වැදගත්යයි සලකනු ලැබූ සෑම දෙයක්ම අත්හැරියා. (පිලිප්පි 3:7, 8) දැන් ඔහු සිය වියහියදම් කෙසේ පිරිමසාගනීවිද? දේවසේවකයෙකු ලෙස සේවය කිරීමෙන් ඔහුට යම් වැටුප් ලැබේවිද? ඔහු කෙසේ සිය පෞද්ගලික අවශ්‍යතා සපුරාගනු ඇද්ද?

පාවුල් ඔහුගේ දේවසේවය ඉටු කළේ කිසිම වැටුපක් නොලබාය. ඔහු තමන් සේවය කළ අයට බරක් නොවී සිටීම සඳහා කොරින්තියේ සිටින විට අකිලා සහ ප්‍රිස්කිලා සමඟ එක් වී කූඩාරම් තැනීමෙන් හා වෙනත් දේවල් කරමින් ඔහුගේ අවශ්‍යතා පිරිමසාගත්තා. (ක්‍රියා 18:1-3; 1 තෙසලෝනික 2:9; 2 තෙසලෝනික 3:8-10) පාවුල් ඉතා දුර බැහැර සංචාරයන් තුනක් සඳහා ගිය අතර බැහැදැකීමට අවශ්‍යව තිබූ සභාවන්ටද ඔහු ගියා. ඔහු දෙවිගේ සේවයේ මුළුමනින්ම නිරත වීමට පටන්ගත් දා සිට ඔහුගේ අතමිට හිඟ වුණා. සාමාන්‍යයෙන් ඔහුගේ ඕනෑ එපාකම් ඉටු කළේ සහෝදරයන් විසින්. ඇතැම් අවස්ථාවලදී ඔහුට මුහුණ දෙන්නට තිබූ දරුණු තත්වයන් නිසා ඔහු අගහිඟකමෙන් පෙළුණා. (2 කොරින්ති 11:27; පිලිප්පි 4:15-18) එසේවුවත්, ඔහු සිය නැති බැරිකම් ගැන මැසිවිලි නැඟුවේවත් අන් අය සතුව තිබූ දේට වැරදි අන්දමින් ආශා කළේවත් නැහැ. ඔහු සෙසු ක්‍රිස්තියානීන්ගේ ප්‍රයෝජනය උදෙසා කැමැත්තෙන් සහ සතුටෙන් වෙහෙස මහන්සි වී වැඩ කළා. “ගැනීමට වඩා දීම ආශීර්වාදයක්” කියා යේසුස් පැවසූ සුපතල වදන් උපුටා දැක්වූයේ පාවුල්. අප සෑම කෙනෙකුටම ඔහු මොන තරම් කැපීපෙනෙනසුලු ආදර්ශයක්ද!—ක්‍රියා 20:33-35.

සෑහීමට පත්වීම යන්නෙහි අර්ථය

පාවුල්ගේ සන්තෝෂයට බොහෝ සෙයින් ඉවහල් වූයේ ඔහු තුළ තිබූ තෘප්තිමත්කමේ හැඟීමයි. එහෙත්, ඇත්තටම තෘප්තිමත්ව සිටීම කියන්නේ මොකක්ද? සරලව කියනවා නම් මූලික අවශ්‍යතාවලින් සෑහීමට පත්වීමයි. මේ සම්බන්ධව පාවුල් ඔහු සමඟ දේවසේවයේ හවුල් වුණ තිමෝතිට මෙසේ පැවසුවා. “ඇති දෙයින් සෑහීමට පත්වීම සමඟ වූ මේ දේවභක්තිය මහත් වාසියට මඟක් වන බව සැබෑවකි. මන්ද, අප ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් කිසිවක් ගෙන යන්නත් බැරිය. එබැවින් කන්න අඳින්න සහ ඉන්න තැනක් ඇත්නම්, අපි මේවායින් සෑහීමට පත් වී තෘප්තිමත් වෙමු.”—1 තිමෝති 6:6-8, NW.

සෑහීමට පත්වීම දේවභක්තිය සමඟ පාවුල් සසඳන ආකාරය සැලකිල්ලට ගන්න. සැබෑ සන්තෝෂය ලැබෙන්නේ දේවභක්තියෙන් බව ඔහු වටහාගත්තා. එය ලබාගත හැකි වන්නේ දෙවිගේ සේවයට මුල්තැන දීමෙන් මිසක ද්‍රව්‍යමය දේවල් හා ධන සම්පත්වලින් නොවෙයි. ඔහුට “කන්න අඳින්න” අවශ්‍ය වූයෙත් දේවභක්තිය දිගටම ලුහුබැඳීම සඳහායි. තත්වය කුමක් වුවත් යෙහෝවා මත රඳා සිටීම තමයි පාවුල් මෙසේ සෑහීමට පත්වීමට රහස.

අද බොහෝදෙනෙකු සිටින්නේ කනස්සල්ලෙන් සහ අසතුටෙන්. එයට හේතුව ඔවුන් ඒ රහස දන්නේ නැතිකමයි, නැත්නම් ඔවුන් ඒ ගැන කිසිදු තැකීමක් කරන්නේ නැතිකමයි. සෑහීමට පත්වීමේ කලාව ඉගෙනගැනීමට වඩා ඔවුන් සිය මුදල් මත සහ මුදලින් ගත හැකි දේ මත විශ්වාසය තබන්න වඩාත් කැමතියි. ප්‍රචාරණ ආයතන සහ ජනමාධ්‍ය මගින් මනුෂ්‍යයන්ට සිතන්න සලස්වන්නේ නවීන සුඛෝපබෝගී අංග උපාංග දැන්ම මිල දී නොගතහොත් ඔවුන්ට සතුටු විය නොහැකි බවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ මනුෂ්‍යයන් ද්‍රව්‍යමය දේ පසුපස හඹා යෑමේ උගුලට හසු වෙලා. මේ නිසා ඔවුන් ‘පරීක්ෂාවටද, මලපතකටද, මිනිසුන්ව නාස්තියටත් විනාශයටත් පමුණුවන, අඥාන වූ අනතුරුදායක වූ තෘෂ්ණාවලටද වැටුණා’ මිසක ඔවුන්ට සතුට සහ සෑහීම ලැබුණේ නැහැ.—1 තිමෝති 6:9, 10, NW.

ඔවුන් රහස ඉගෙනගෙන

දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් හා ලද දෙයින් සෑහීමට පත්වීමෙන් වර්තමානයේදී ඇත්තෙන්ම සතුට හා තෘප්තිය සොයාගැනීමට අපට පුළුවන්ද? ඇත්තෙන්ම පුළුවන්. මිලියන ගණන් මනුෂ්‍යයන් අද එසේ කරමින් සිටිනවා. ඔවුන් තමන්ට තිබෙන ද්‍රව්‍යමය දේවලින් සතුටු වීමේ රහස ඉගෙනගෙන තිබෙනවා. ඔවුන් නම්, දෙවිට සිය ජීවිත කැප කර ඔහුගේ කැමැත්ත කරන අතරතුරේදී සෑම තැනකම සිටින ජනයාට දෙවිගේ අරමුණ පිළිබඳව උගන්වන යෙහෝවාගේ සාක්ෂිකරුවනුයි.

නුහුරු නුපුරුදු රටවලට ගොස් රාජ්‍ය පණිවුඩය දේශනා කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන මිෂනාරීන් ලෙස පුහුණුව ලබා ඇති අයගේ අද්දැකීම නිදසුනක් ලෙස සලකා බලන්න. (මතෙව් 24:14) සාමාන්‍යයෙන් ඔවුන්ව යවනු ලබන මෙම රටවල ජීවන තත්වය ඔවුන් ජීවත් වූ රටවල ජීවන තත්වයට වඩා පහත්. නිදසුනක් වශයෙන්, වර්ෂ 1947 මුල් කාලයේදී එක් ආසියානු රටකට මිෂනාරිවරු පැමිණෙන විට එම රටෙහි යුද්ධය නිසා ඇති වුණ අහිතකර ප්‍රතිඵල ඒ වන විටත් පැවති අතර විදුලිය තිබුණේද නිවෙස් කිහිපයක පමණයි. බොහෝ ප්‍රදේශවල රෙදි සේදීම සිදු කරන්නේ විදුලි රෙදි සෝදන යන්ත්‍රයකින් නොව රෙදි කෑල්ලෙන් කෑල්ල ලෑල්ලක් මත තබාගෙන හෝ ගං ඉවුරුවල ඇති ගල් මත තබාගෙන බව මිෂනාරීන්ට පෙනී ගියා. නමුත් ඔවුන් පැමිණියේ මනුෂ්‍යයන්ට බයිබල් සත්‍යය ඉගැන්වීමට නිසා ප්‍රාදේශීය තත්වයන්ට අනුව හැඩගැසුණු ඔවුන් දේශනා සේවයේ කඩිසරව නිරත වුණා.

මිෂනාරීන් නොවන වෙනත් අය පූර්ණ කාලීන සේවය තෝරාගෙන හෝ ශුභාරංචිය දේශනා කර නොමැති ප්‍රදේශවලට පදිංචියට ගොස් තිබෙනවා. ඇඩෙල්ෆො මෙක්සිකෝවේ විවිධ පළාත්වල අවුරුදු පනහකට වඩා වැඩි කාලයක් පූර්ණ කාලීන සේවකයෙක් ලෙස සේවය කර තිබෙනවා. ඔහු ඒ ගැන මෙසේ අදහස් දැක්වුවා. “හරියට ප්‍රේරිත පාවුල් වගේ මමයි මගේ භාර්යාවයි තත්වය අනුව හැඩගැසෙන්න ඉගෙනගත්තා. උදාහරණයක් කියනවා නම්, අපි බැහැදකින්න ගිය එක සභාවකට යාබඳව වෙළඳපොළක්වත් ටවුමක්වත් පිහිටා තිබුණේ නැහැ. සහෝදරයෝ හැම කෑම වේලකටම රොටියක් සමඟ තෙල් ටිකකුයි ලුණු ටිකකුයි කාලා කෝපි කෝප්පයක් බිව්වා . එයාලාට කන්න තිබුණේ එච්චරයි. ඒ කියන්නේ දවසකට රොටි තුනක් විතරයි. අපිත් එම සහෝදරයන් ජීවත් වූ ආකාරයටම ජීවත් වුණා. යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කරන මේ අවුරුදු 54 පුරා මේ වගේ අද්දැකීම් රාශියක් මම ලබලා තිබෙනවා.”

ෆ්ලෝරෙන්ෂිනෝ සහ ඔහුගේ පවුලේ අය දුෂ්කර තත්වයන්ට හැඩගැසුණේ කෙසේද කියා ඔහු සිහිපත් කරයි. ඔහු සිය අතීතය මතකයට නැඟුවේ මෙසේයි. “මගේ තාත්තා ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙක්. ඔහුට හුඟාක් ඉඩකඩම් තිබුණා. අපිට තිබුණ ග්‍රොසරියේ කවුන්ටරයේ අඟල් 20ක් විතර පළල සහ අඟල් 8ක් විතර ගැඹුරු කොටස් හතරකින් යුත් ලාච්චුවක් තිබුණා. ඒ ලාච්චුවේ තමයි අපි දවසේ ලැබුව බිල්පත් දැම්මේ. දවස අවසානයේදී බිල්පත්වලින් සහ සල්ලිවලින් ඒ ලාච්චුව පිරිලා ඉතිරිලා තිබුණා.

“බලාපොරොත්තු නොවුණ විදිහට අපි බංකොලොත් වුණා. අතමිට සරුවට තිබිලා පස්සේ නැත්තටම නැති වෙලා ගියා. හැම දෙයක්ම නැති වුණා. අපේ ගේ විතරයි අන්තිමට ඉතුරු වුණේ. මේ කරදර අස්සේ මගේ අයියා කෙනෙකුත් අනතුරකට ලක් වුණා. ඔහුගේ කකුල් දෙකම පණ නැතිව ගියා. හැම දෙයක්ම වෙනස් වුණා. ටික කාලයක් මම පලතුරු සහ මස් වික්කා. ඒ වගේම කපු, මිදි සහ ඇල්ෆාල්ෆා (යුරෝපයේ සහ ආසියාවේ සත්ව ආහාර සඳහා වගා කරන ශාකයක්) වගා කළා. සමහර මනුෂ්‍යයන් කිව්වේ මං කොයි දෙයටත් ශූරයි කියලා. හුඟාක්දෙනෙකුට නැති සත්‍යය නමැති ආත්මික ධන සම්පත අපිට තියෙන නිසා ඒ ගැන සතුටු වෙන්න කියා කියමින් අම්මා අපිව සැනසුවා. හොඳට සල්ලි බාගේ තියෙනකොට ඒ විදිහට ඉන්නත් අගහිඟකම් මැද ඉන්නකොට ඒ විදිහට ඉන්නත් මම ඉගෙනගත්තා. දැන් මම පූර්ණ කාලීනව යෙහෝවාට අවුරුදු 25ක පමණ කාලයක් තිස්සේ සේවය කරමින් සිටිනවා. යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කිරීම තමයි හොඳම ජීවන ක්‍රමය කියන එක දවසක් දවසක් පාසා මම අද්දකින යහපත් ආශීර්වාදවලින් මට කියන්න පුළුවන්.”

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වන්නේය” කියා බයිබලයේ පුන පුනා අපට කියනවා. මේ හේතුව නිසා එහි අපගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ “ප්‍රීති වන අය ප්‍රීති නොවන්නන් මෙන්ද, මිල දී ගන්නා අය තමන්ට කිසිවක් අයිති නැති අය මෙන්ද මේ ලෝකය භුක්ති විඳින අය මුළුමනින්ම එය භුක්ති නොවිඳින්නන් මෙන්ද” වන ලෙසයි.—1 කොරින්ති 7:29-31, NW.

එමනිසා ඔබේ ජීවිතය දෙස සමීපව බැලීමට දැන් ඔබට කාලය එළඹී තිබෙනවා. නමුත් ඔබේ ජීවිතයේ ඔබට ලැබී ඇති දේවල් සීමිත නම් කෝපයක් හෝ කලකිරීමක් සහ ඊර්ෂ්‍යාසහගත බවක් ඇතිවීමට ඉඩ දෙන්න එපා. ඔබට ද්‍රව්‍යමය දේ කොපමණ තිබුණත් නැණවත් ලෙස ඔබේ ජීවිතයේ නිසි ස්ථානයේ ඒවා තබන්න. එවිට ද්‍රව්‍යමය දේවල් ඔබේ ජීවිතයේ වැදගත්ම දේ කරගැනීමට තිබෙන ඉඩ කඩ අඩු වෙයි. ප්‍රේරිත පාවුල් දුන් උපදේශය ලෙස ඔබ ඔබේ බලාපොරොත්තුව තැබිය යුත්තේ ‘අස්ථිර ධනය කෙරෙහි නොව භුක්ති විඳීම සඳහා අපට බහුල ලෙස සියල්ල ලබා දෙන දෙවි කෙරෙහිය.’ ඔබ එලෙස කටයුතු කරනවා නම් සෑහීමට පත්වීමේ රහස ඔබත් ඉගෙනගෙන තිබෙනවා කියා පැවසිය හැකියි.—1 තිමෝති 6:17-19.

[9වන පිටුවේ පින්තූරය]

අන් අයට බරක් නොවී සිටීම සඳහා පාවුල් ඔහුගේ අත් දෙකින්ම වෙහෙස මහන්සි වී වැඩ කළා

[10වන පිටුවේ පින්තූර]

දහස් ගණන් අය “ඇති දෙයින් සෑහීමට පත් වී දේවභක්තිය” මගින් ජීවිතයේ සතුට සොයාගනිමින් සිටිනවා