Skip to content

පටුනට යන්න

සුවඳ දුම් ඇල්ලීම සැබෑ නමස්කාරයට ඇතුළත්ද?

සුවඳ දුම් ඇල්ලීම සැබෑ නමස්කාරයට ඇතුළත්ද?

සුවඳ දුම් ඇල්ලීම සැබෑ නමස්කාරයට ඇතුළත්ද?

“දෙවිවරු සුවඳට ප්‍රිය කරති.” එය ඉපැරණි ඊජිප්තුවරුන් අතර පැවති පොදු කියමනක් විය. ඔවුන්ට නම් සුවඳ දුම් ඇල්ලීම ඔවුන්ගේ නමස්කාරයේ අත්‍යවශ්‍ය අංගයක් විණි. දෙවියන් තමන් ළඟම සිටිනවාය යන විශ්වාසයෙන් පසු වූ ඊජිප්තුවරු තම දේවාලවල සහ නිවෙස්වල තිබූ පූජාසනවල දිනපතා සුවඳ දුම් දවාලූ අතර, තම ව්‍යාපාර කටයුතුවලදී පවා එසේ කළෝය. වෙනත් ජාතීහුද ඒ හා සමාන සිරිත් පිළිපැද්දාහ.

සුවඳ දුම් යනු කුමක්ද? ඇවිලෙන දුමට හෝ දුම ඇතිවීමට පුලුස්සනු ලබන ද්‍රව්‍යවලට මෙය යොමු දැක්විය හැකියි. එම ද්‍රව්‍ය සෑදී තිබෙන්නේ කට්ටකුමංජල් සහ බෝල්සම් වැනි සුවඳැති දුම්මල හා මැලියම්වලිනි. ඒවා කුඩු වෙන්න කොටාගන්නා අතර, පසුව කුළුබඩු, ගස්වල පොතු සහ මල් වැනි දේවල් සමඟ මිශ්‍ර කරගෙන ඒවා භාවිත කරන විශේෂ අවස්ථාවන්ට අනුව ඊටම ආවේණික සුවඳක් මුසු කරයි.

සුවඳ දුම් කුඩු ඉපැරණි කාලවලදී කොතරම් ජනප්‍රිය හා කොතරම් වටිනා ද්‍රව්‍යයක් වීද කියතොත් ඒවා සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය අතිවැදගත් වෙළඳ භාණ්ඩ බවට පත් විණි. වෙළඳ මාර්ගවල ගමන් කළ ගැල්වලින් මේවා දුර ඈත පළාත්වල සිට ප්‍රවාහණය කෙරිණි. යාකොබ්ගේ බාල පුත්‍ර යෝසෙප්ව, ‘සුවඳ ද්‍රව්‍යද, ගුගුල්ද, සුවඳලාටුද ඔටුවන් පිට පටවාගෙන, ඒවා ඊජිප්තුවට ගෙන යන පිණිස ගමන් කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමකට’ විකුණනු ලැබුවා ඔබට මතක ඇති. (උත්පත්ති 37:25) සුවඳ දුම් කුඩු සඳහා ඇති ඉල්ලුම කොතරම් මහත් වීද යත්, ආසියාව සහ යුරෝපය අතර කට්ටකුමංජල් ප්‍රවාහණය කෙරෙන වෙළඳ මාවත් විවෘත කෙරුණු අතර, මේවායේ මුලින්ම ගමන් කළේ සුවඳ දුම් කුඩු විකුණන වෙළඳුන් බවට කිසි සැකයක් නැත.

අද දින බොහෝ ආගමික උත්සවලවලදී හා සිරිත් විරිත්වලදී සුවඳ දුම් පූජා ඔප්පු කිරීම තවමත් සිදු කෙරේ. මීට අමතරව, සුවඳ දුම්වල ඇති ප්‍රසන්න සුවඳ නිසාම තමන්ගේ නිවෙස්වල සුවඳ දුම් දවාලන අයගේ සංඛ්‍යාව එන්ට එන්ටම වැඩි වෙමින් පවතී. සුවඳ දුම් දැල්වීම හෝ ඇල්ලීම ගැන ක්‍රිස්තියානීන්ගේ දෘෂ්ටිය කුමක් විය යුතුද? නමස්කාරය තුළ එය දෙවිට පිළිගත හැකිද? මේ කාරණය සම්බන්ධයෙන් බයිබලයේ කියන දේ ගැන අපි දැන් පරීක්ෂා කර බලමු.

“යෙහෝවා උදෙසා ශුද්ධ වන්නේය”

ඉපැරණි ඊශ්‍රායෙලිතයන් අතර, සුවඳ දුම් දැල්වීම ප්‍රධාන වශයෙන් සිදු වුණේ මණ්ඩපය තුළ කෙරුණු පූජකයන්ගේ මෙහෙයන් තුළය. මක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ සයික්ලොපීඩියා මෙසේ සඳහන් කරයි. “ඇත්ත වශයෙන්ම, සුවඳ දුම් ඇල්ලීම හෙබ්‍රෙව්වරුන් අතර කොතරම් දුරට නමස්කාරයේ හෝ ශුද්ධ පූජාවල කොටසක්ව තිබුණාද කියනවා නම්, ඔවුන් වෙනත් දේවල් සඳහා සුවඳ දුම් භාවිත කළ බවට කිසිම සඳහනක් නැත.”

මණ්ඩපයේ නමස්කාරයේදී භාවිත කිරීම පිණිස මිශ්‍ර කොට දැවිය යුතු අමුද්‍රව්‍ය හතරක් භාවිත කිරීමට යෙහෝවා දෙවි උපදෙස් දුන්නේය. “සුගන්ධ ද්‍රව්‍ය එනම් නාතාප් සහ ෂෙධෙලෙන්ද බෙල්බෙනාද යන සුගන්ධ ද්‍රව්‍ය සහ පවිත්‍ර තුවරලාද එකිනෙක සමබරව ගෙන, තෛල මිශ්‍ර කරන විදිහට ඒවා මිශ්‍ර කර ලුණු දමා පවිත්‍ර වූ ශුද්ධ වූ සුගන්ධයක් සාදන්න. ඉන් කොටසක් සුණු කොට එයින් මා නුඹට සම්බ වෙන තැන වූ සම්මුඛ වීමේ කූඩාරමෙහි සාක්ෂිය ඉදිරියෙහි තබන්න. එය නුඹලාට ඉතා ශුද්ධ වන්නේය.” (නික්මයාම 30:34-36) විශාරදයන් විශ්වාස කරන්නේ දේවමාළිගාවේ නමස්කාරය පිණිස යුදෙව් රබ්බිවරුන් විසින් වෙනත් ද්‍රව්‍යයන් පසුව එකතු කරන ලද බවයි.

මණ්ඩපයේ දවන ලද සුවඳ දුම් පරිශුද්ධ විය. ඒවා මුළුමනින්ම කැප කොට තිබුණේ දෙවිගේ නමස්කාරය වෙනුවෙන්. යෙහෝවා අණ කළේ මෙසේයි. “නුඹ සාදන සුගන්ධය ඒ ද්‍රව්‍ය ප්‍රමාණයේ හැටියට නුඹලාට සාදා නොගන්න. ඒවා නුඹලාට යෙහෝවා උදෙසා ශුද්ධ වන්නේය. සුවඳ පිණිස ඊට සමාන සුගන්ධයක් සාදන කවරෙක් නමුත් තමාගේ සෙනඟ කෙරෙන් සිඳ දමනු ලබන්නේය.” (නික්මයාම 30:37, 38) පූජකයන් විසින් වෙන් කර තිබූ පූජාසනයක් මත දවසකට දෙවතාවක් සුවඳ දුම් ඔප්පු කරන ලදි. (2 ලේකම් 13:11) සමඟි කිරීමේ දවසේදී, උත්තම පූජකයා අතිශුද්ධස්ථානයේ සුවඳ දුම් දවා දැමීය.—ලෙවී කථාව 16:12, 13.

ඔප්පු කරන ලද සියලු සුවඳ දුම් දෙවි පිළිගත්තා නොවේ. තමන් පූජකයන්යයි සිතාගෙන අහංකාර ලෙස සුවඳ දුම් ඔප්පු කරන්නට ගිය පුද්ගලයන්ට ඔහු දඬුවම් කළේය. (ගණන් කථාව 16:16-18, 35-40; 2 ලේකම් 26:16-20) යුදෙව්වන් බොරු නමස්කාරයේ ක්‍රියාවල නියැලී සිටිමින් තමන්ගේ අත්වල ලේ තවරාගෙන සිටින අතරම ඔවුන් යෙහෝවාට ඔප්පු කළ සුවඳ දුම් පූජා කෙරෙහි යෙහෝවා සතුටු වූයේ නැත. ඔවුන්ගේ කුහකකම නිසා “දුම් පූජාව මට පිළිකුලක්” යයි ප්‍රකාශ කරන්නට යෙහෝවා පෙලඹිණි. (යෙසායා 1:13, 15) යෙහෝවා විසින් නියම කරන ලද නමස්කාරය ඊශ්‍රායෙලිතයන් කොතරම් අතපසු කොට තිබුණාද කියතොත්, ඔවුහු දේවමාළිගාව වසා දමා වෙනත් පූජාසන මත සුවඳ දුම් ඔප්පු කළෝය. (2 ලේකම් 28:24, 25) වසර ගණනාවකට පසුව, මෙම ශුද්ධ සුවඳ දුම් දූෂිත වූ බොරු දෙවිවරුන්ට කළ නමස්කාරවලදීත් භාවිත කෙරිණි. එවන් පුරුදු යෙහෝවාට ඉතාමත් පිළිකුල්සහගත විය.—එසකියෙල් 16:2, 17, 18.

සුවඳ දුම් සහ මුල් ක්‍රිස්තියානීහු

සුවඳ දුම් ඔප්පු කිරීමට පූජකයන්ට දෙන ලද අණ ඇතුළු නෛතික ගිවිසුම පො.යු. 33දී ක්‍රිස්තුස් නව ගිවිසුම පිහිටුවීමත් සමඟම අවසන් විණි. (කොලොස්සි 2:14) මුල් ක්‍රිස්තියානීන් ආගමික අරමුණක් සඳහා සුවඳ දුම් දැවූ බවක් සඳහන් කරන කිසිදු වාර්තාවක් නැත. මේ සම්බන්ධයෙන් මක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ සයික්ලොපීඩියා මෙසේ කියයි. “[මුල් ක්‍රිස්තියානීන් විසින්] සුවඳ දුම් භාවිත නොකළ බව සහතිකය. ඇත්තෙන්ම ඒවා භාවිත කිරීම මිථ්‍යාදෘෂ්ටික ලබ්ධිවල සලකුණකි. . . . බැතිමතෙකු විසින් සුවඳ දුම් ඇබින්දක් මිථ්‍යා පූජාසනයක් මත ඉසීම නමස්කාරයේ ක්‍රියාවක් ලෙසට සලකන ලදි.”

මුල් ක්‍රිස්තියානීහුද තමන්ගේ ජීවිතය අහිමි වුවත්, රෝම අධිරාජ්‍යයාගේ “දේවත්වය” පිළිගැනීමට සුවඳ දුම් දැවීම ප්‍රතික්ෂේප කළෝය. (ලූක් 4:8; 1 කොරින්ති 10:14, 20) එම දවස්වල රූප නමස්කාරයේදී භාවිත කරන ලද සුගන්ධ ද්‍රව්‍ය වෙළඳාම් කිරීමෙහි පවා මුල් ක්‍රිස්තියානීන් නිරත නොවීය.

අද දින සුවඳ දුම් දැවීම

අද දින සුවඳ දුම් භාවිත වෙන්නේ කෙසේද? ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ පල්ලිවල චාරිත්‍ර සහ ප්‍රසිද්ධ මංගල්‍ය උත්සවවලදී සුවඳ දුම් ඔප්පු කෙරේ. බොහෝ ආසියාතික පවුල්වල අය දේවාලවල හෝ තමන්ගේම නිවෙස්වල තිබෙන පූජාසන ඉදිරිපිට තමන් අදහන දෙවි දේවතාවුන්ට සුවඳ දුම් ඔප්පු කරන අතර, මළවුන්ගෙන් තමන්ව ආරක්ෂා කරගනීවිය කියා සිතාගෙනද ඔවුහු එසේ කරති. ආගමික වතාවත්වලදී, විෂබීජ නැසීමට, සුව කිරීමට, පිරිසිදු කිරීමට හා ආරක්ෂා කිරීමට නොයෙක් අන්දමින් සුවඳ දුම් යොදාගැනේ.

ආගමක් අදහනවායයි ප්‍රසිද්ධියේ නොපවසන අය අතර පවා මෑත කාලයේදී නැවතත් සුවඳ දුම් ජනප්‍රිය වී තිබේ. සමහර අය සුවඳ දුම් දවන්නේ භාවනා කිරීම අරභයාය. එක් මාර්ගෝපදේශ පොතක යෝජනා කර තිබෙන්නේ, භෞතික ලෝකයෙන් එපිට “එක්තරා ඉහළ අධ්‍යාත්මික තලයක් හෙවත් විඥානයක්” සහ “විශේෂ බලයන්” ලබාගැනීමට සුවඳ දුම් භාවිත කරන ලෙසටය. තවද ජීවිතයේ ගැටලුවලට විසඳුම් සොයාගැනීම පිණිස “අධිස්වාභාවික ආත්ම” සමඟ සම්බන්ධකම් පැවැත්වීමට සුවඳ දුම් දවන චාරිත්‍රවල නියැලෙන ලෙස එම පොතෙහි නිර්දේශ කරයි. එවැනි ක්‍රියාවන් ක්‍රිස්තියානීන්ට සුදුසුද?

යෙහෝවා බොරු ආගමික සිරිත් විරිත් සමඟ පවිත්‍ර නමස්කාරය මිශ්‍ර කරන්නට තැත් කරන අයව සම්පූර්ණයෙන්ම හෙළා දකී. යෙසායාගේ අනාවැකිය උපුටාගනිමින් එය ක්‍රිස්තියානීන්ට අදාළ කළ ප්‍රේරිත පාවුල්, ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ බොරු ආගමේ අපිරිසිදු බලපෑමෙන් ආරක්ෂා වෙන ලෙසටයි. ඔහු ලීවේ මෙසේයි. “‘එබැවින් ඒ අය අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වී සිටින්න’ යයි යෙහෝවා කියන්නේය. ‘අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න.’ ‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’” (2 කොරින්ති 6:17, NW; යෙසායා 52:11) බොරු නමස්කාරය හෝ යන්ත්‍ර මන්ත්‍ර හා සම්බන්ධ වූ ඕනෑම දෙයකින් වැළකී සිටීමට සැබෑ ක්‍රිස්තියානීන් වගබලා ගත යුතුයි.—යොහන් 4:24.

ආගමික චාරිත්‍රවලදී සහ ආත්ම බන්ධන ක්‍රියාවලදී සුවඳ දුම් භාවිත වන නිසාම කිසිම ආකාරයක සුවඳ දුම් දැවීම වැරදිද? අනිවාර්යයෙන්ම නැත. සමහරවිට යම් පුද්ගලයෙක් තමන්ගේ නිවස තුළ මිහිරි ප්‍රසන්න සුගන්ධයක් තබාගැනීම සඳහා සුවඳ දුම් දවන්නට කැමති විය හැකියි. (හිතෝපදේශ 27:9) ඒ වුණත්, සුවඳ දුම් දවනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී ක්‍රිස්තියානියෙක් තවත් සාධක ගැන සලකා බැලිය යුතුයි. ඔබ ජීවත් වන ප්‍රදේශයේ සිටින වෙනත් අය සුවඳ දුම් භාවිතය බොරු ආගමික චාරිත්‍රයකට සම්බන්ධ කරත්ද? ඔබගේ ප්‍රජාවේ සුවඳ දුම් බොහෝවිට භාවිත කෙරෙන්නේ ආත්ම බන්ධන ක්‍රියා හා සම්බන්ධ චාරිත්‍ර සඳහාද? එසේ නැත්නම්, ඒවා පොදු වශයෙන් භාවිත වෙන්නේ ආගමික නොවන හේතු සඳහාද?

යම් පුද්ගලයෙක් සුවඳ දුම් දවන්නට තීරණය කරන්නේ නම්, ඔහු ගන්නා තීරණයේදී ඔහුගේ මෙන්ම අනුන්ගේ හෘදය සාක්ෂිය යන දෙකම සැලකිල්ලට ගත යුතුයි. (1 කොරින්ති 10:29) තවද, ප්‍රේරිත පාවුල් රෝමවරුන්ට පැවසූ වචනද අදාළ වේ. ඔහු ලීවේ මෙසේයි. “සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද ලුහුබඳිමු. කෑම වෙනුවෙන් දෙවිගේ කාර්යය කඩාකප්පල් නොකරන්න. සියල්ල පවිත්‍ර බව සැබෑය. නමුත් බාධාවට හේතු වන පරිද්දෙන් කන තැනැත්තාට එය හානිකරය. මස් කෑමෙන් හෝ වයින් බීමෙන් හෝ වෙන ඕනෑම දෙයකින් ඔබේ සහෝදරයා බාධාවට පත් වේ නම් එයින් වැළකී සිටීම යහපත්ය.”—රෝම 14:19-21, NW.

‘සුවඳ දුම් මෙන් සූදානම් කරගත්’ යාච්ඤා

ඊශ්‍රායෙලිතයන් අතර පැවති සුවඳ දුම් පූජා, දෙවි විසින් අසනු ලබන යාච්ඤාවලට ඉතා ගැලපෙන සංකේතයකි. මේ නිසා, ගීතිකාකාර දාවිත් යෙහෝවාට ගායනා කළේ මෙසේයි. “මාගේ යාච්ඤාව ඔබ ඉදිරියෙහි සූදානම් කරගත් සුවඳ දුම් මෙන් වේවා!”—ගීතාවලිය 141:2, NW.

විශ්වාසවන්ත ඊශ්‍රායෙලිතයන් මෙම සුවඳ දුම් පූජා කිරීම නිකම්ම හිස් චාරිත්‍රයක් ලෙස සැලකුවේ නැත. යෙහෝවා විසින් නියම කර ඇති ලෙසට එම සුවඳ දුම් කුඩු පිළියෙළ කිරීමේදී හා ඒවා දවාලීමේදී ඔවුහු ඉතා දැඩි සැලකිල්ලක් දැක්වූහ. වචනානුසාරයෙන් සුවඳ දුම් භාවිත කරනවා වෙනුවට, අද දින ක්‍රිස්තියානීහු තම ස්වර්ගික පියාණන් කෙරෙහි තමන් තුළ ඇති ගැඹුරු කෘතඥතාව සහ ගෞරවය පිළිබිඹු වන ආකාරයට යාච්ඤා ඔප්පු කරති. දේවමාළිගාවේ පූජකයන් විසින් පූජා කරන ලද මිහිරි සුවඳැති සුවඳ දුම් මෙන්, දෙවිගේ වචනය අපට සහතික කරන්නේ මෙයයි. “ඇද නැත්තන්ගේ යාච්ඤාවට ඔහු ප්‍රසන්නය.”—හිතෝපදේශ 15:8.

[29වන පිටුවේ පින්තූර]

මණ්ඩපයේ සහ දේවමාළිගාවේ ඔප්පු කරන ලද සුවඳ දුම් පරිශුද්ධ විය

[30වන පිටුවේ පින්තූරය]

භාවනාව සඳහා සුවඳ දුම් දවාලීම ක්‍රිස්තියානීන්ට සුදුසුද?