කුරුල්ලන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
කුරුල්ලන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?
“අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැත. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන් පෝෂණය කරන්නේය. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?” (මතෙව් 6:26, NW) යේසුස් මෙම වචන පැවසුවේ ගලීල මුහුද අසල කන්දක් මත කළ ප්‍රසිද්ධ දේශනයකදීයි. එයට සවන් දෙමින් සිටියේ ඔහුගේ අනුගාමිකයන් පමණක් නොවේ. මතු කවදා හෝ ගෝලයන් විය හැකි මහත් සමූහයක් රටේ විවිධ පළාත්වලින් එම අවස්ථාවට පැමිණ සිටියහ. ඔවුන් අතර සිටි හුඟදෙනෙක් දුගීකමෙන් පෙළුණෝය. එමෙන්ම ඔවුන් රෝගීන්ව යේසුස් ළඟට රැගෙන ආවේ සුව කරගැනීමේ අරමුණෙනි.—මතෙව් 4:23–5:2; ලූක් 6:17-20, NW.
යේසුස් සියලුම රෝගීන්ව සුව කළත් වැඩි අවධානයක් දුන්නේ ඔවුන්ගේ ආත්මික අවශ්‍යතාවලටයි. ඉහත සඳහන් කර තිබෙන්නේ ඒ අවස්ථාවේ ඔහු ඉගැන්වූ පාඩම් අතරින් එකකි.
අහසේ සැරිසරන කුරුල්ලන්ගේ පැවැත්ම ඇරඹුණේ අද ඊයේ නම් නොවේ. උන්ගෙන් සමහරක් කුරුල්ලන් කෘමී සතුන් ආහාරයට ගන්නා අතර, තවත් කුරුල්ලෝ පලතුරු සහ ඇට වර්ග ආහාරයට ගනිති. දෙවි කුරුල්ලන්ට එතරම් බහුල ලෙස සපයා දෙයි නම්, ඔහුගේ මිනිස් සේවකයන්ටත් ඔවුන්ගේ එදිනෙදා ආහාර ලබාගැනීමට උපකාර කිරීමට ඔහුට හැකියාවක් තිබෙන බව නිසැකයි. ඔහු මෙය කරන්නේ ආහාර සපයාගැනීමට අවශ්‍ය මුදල් උපයන්න ඔවුන්ට රැකියාවක් සොයාගැනීමට උපකාර කිරීමෙන් හෝ ඔවුන්ගේ වගාවන් සරුසාර වන පරිදි ඒවාට ආශීර්වාද කිරීමෙනි. ඒ වගේම යම් හදිසි අවස්ථාවක කරුණාවන්ත අසල්වැසියන් සහ මිතුරන් සතුව තිබෙන්නාවූ කුමන හෝ ආහාර පානයක් අවශ්‍යතා ඇති අය සමඟ බෙදාගැනීම සඳහා ඔවුන්ගේ හදවත් පොලඹවන්නත් දෙවිට හැකි බවට ස්ථිරයි.
කුරුල්ලෙකුගේ ජීවිතය දෙස සමීපව බැලීමෙන් තව තවත් බොහෝ දේ ඉගෙනගැනීමට අපට හැකියි. දෙවි කුරුල්ලන්ව මවා තිබෙන්නේ උන්ට පැටවුන් ඇති කිරීම සඳහා කූඩු තැනීමේ විස්මිත සහජ හැකියාවත් ලබා දෙමිනි. මෙහි දක්නට තිබෙන කූඩු වර්ග දෙක දෙස හොඳින් බලන්න. වම්පස තිබෙන පින්තූරයෙන් පෙන්වන්නේ ගල් වැහිලිහිණියාගේ (African rock martin) කූඩුවයි. උන් කූඩු තනන්නේ ගලක් මත හෝ ගෙයි බිත්තියකයි. එම කූඩුවල වහල වී තිබෙන්නේ ඊට ඉහළින් තිබෙන ගලක් හෝ මේ පින්තූරයේ පෙනෙනාකාරයට ගොඩනැඟිල්ලක වහලේ පිටතට නෙරූ කොටසයි. කූඩුවේ බිම තනන්නේ කෝප්පයක හැඩයට පුංචි මඩ ගුළි එකින් එක අලවා තැබීමෙනි. මඩ ගුළි එකතු කිරීමට කිරිල්ලිය සහ කුරුල්ලා ඉතා වෙහෙස මහන්සි වන අතර උන්ගේ කූඩුව සම්පූර්ණයෙන් තනා නිම කිරීමට මසකට වඩා වැඩි කාලයක් ගත වෙයි. ඉන්පසු උන් තණකොළ හා පිහාටුවලින් එහි ඇතුලත සකසයි. පැටවුන් පෝෂණය කිරීමට කුරුලු මව සහ පියා එක්ව සහයෝගයෙන් වැඩ කරති. පහළ දකින්න ලැබෙන්නේ වඩු කුරුලු පවුලට අයත් මාස්ක් වීව (masked weaver) කුරුලු කූඩුවයි. මෙම කාර්යශූර අප්‍රිකානු කුරුල්ලා තණකොළවලින් හෝ වෙනත් වෘක්ෂලතාවන්ගේ පතුරුවලින් තම කූඩුව තනාගනියි. උන්ට එක දවසකින් කූඩුවක් සාදා නිම කළ හැකි අතර උන්ගේ සංක්‍රමණ හෝ ආලිංගන සමයේදී උන් කූඩු 30කට වඩා සාදති.
මින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? දෙවි කුරුල්ලන්ට කූඩු තැනීමට විශේෂ හැකියාවන් හා ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය බහුල ලෙස සපයා දෙයි නම්, ඔහුගේ මිනිස් සේවකයන්ට අවශ්‍ය නිවාස සපයාගැනීමට උපකාර කරන්නත් ඔහුට පුළුවන් බව එය අපට උගන්වයි. නමුත් අපගේ ද්‍රව්‍යමය අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා යෙහෝවා දෙවිගේ උපකාරය ලබන්න නම් ඊට තවත් දෙයක් අවශ්‍ය බව යේසුස් පෙන්වා දුන්නේය. “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ” කියා යේසුස් පොරොන්දු වුණේය. (මතෙව් 6:33, NW) ‘දෙවිගේ රාජ්‍යය පළමුකොට සොයනවා යන්නට මොනවාද අයත් වන්නේ’ කියා ඔබ කල්පනා කරනවා ඇති. මෙම සඟරාව බෙදාහරින යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න සතුටුයි.