Skip to content

පටුනට යන්න

කොරියාවේ අද්විතීය භාෂාවක් හසුරුවන කණ්ඩායමක් සමඟ

කොරියාවේ අද්විතීය භාෂාවක් හසුරුවන කණ්ඩායමක් සමඟ

කොරියාවේ අද්විතීය භාෂාවක් හසුරුවන කණ්ඩායමක් සමඟ

ඉතා උද්‍යෝගිමත් නමුත් නිහඬ කණ්ඩායමක් 1997 ග්‍රීෂ්ම ඍතුවේ පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවට පැමිණ සිටියා. කොරියාවේ බිහිරි හා යම් ශ්‍රවණාබාධ ඇති අය සඳහා පැවැත්වූ පළමුවෙනි සමුළුව එයයි. එයට පැමිණ සිටි ඉහළම සංඛ්‍යාව 1,174යි. කොරියානු සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරනු ලැබූ කතා, සම්මුඛ සාකච්ඡා සහ නාට්‍යය යන සියල්ල ඇතුළත් සම්පූර්ණ වැඩසටහන සමුළු ශාලාවේ සැමෝටම පෙනෙන පරිදි විශාල තිරයක් මත දිස් වෙන්න සැලැස්සුවා. මෙය අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ සහෝදරයන් ස්වේච්ඡාවෙන් දැරූ මහත් ප්‍රයත්නයේ උච්ච අවස්ථාවයි.

“බිහිරන්ගේ කන් ඇරෙන” කාලයක් භූමික පාරාදීසයේදී අද්දකින්න පුළුවන් වේවි. (යෙසායා 35:5) ඒ පාරාදීසයේ ජීවිතය භුක්ති විඳීමට නම් බිහිරි අය ඇතුළු සියලුදෙනා මුලින්ම ආත්මික පාරාදීසයට ඇතුල් වෙන්න අවශ්‍යයි. ආත්මික පාරාදීසය නම් දෙවිගේ ප්‍රීතිමත් සෙනඟ භුක්ති විඳින්නාවූ සමෘද්ධිමත් ආත්මිකත්වයයි. ඔවුන් දෙවි විසින් උගන්වනු ලබන්නාවූ කැප වී බව්තීස්ම වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විය යුතුයි.—මීකා 4:1-4.

සුළු ආරම්භයක්

වර්ෂ 1960 ගණන් වන විට බිහිරි අයට සුළු වශයෙන් දේශනා කර තිබුණද, කිහිපදෙනෙක් කොරියාවේ අගනුවර වන සියොල්හි පැවැත්වෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීමට පටන්ගත්තේ 1970 ගණන්වලදී පමණයි. වේගයෙන් අකුරු ලියන්න පුළුවන් සහෝදරයෙක් කතාවල ප්‍රධාන කරුණු හා බයිබල් පද කලු ලෑල්ලක ලිව්වා.

වර්ෂ 1971දී තෙයිජොංවල විසූ එක් සාක්ෂිකාර පියෙකුට බිහිරි පුතෙක් සිටියා. මේ පියා ඔහුගේ බිහිරි පුතාට හා පුතාගේ වෙනත් බිහිරි යාළුවන්ට රාජ්‍ය පණිවිඩය ගැන කතා කෙරුවා. මෙම කණ්ඩායමේ සිටින ජ්වලිතවත් කිහිපදෙනෙක් දැන් සංඥා භාෂාව කතා කරන ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.—සෙකරියා 4:10.

ස්වකැමැත්තෙන් ඉදිරිපත් වන යෞවනයෝ

බිහිරි අයටද යෙහෝවා සහ යේසුස් ගැන දැනුම ලබාගෙන ජීවනයේ මාර්ගයට යොමු වෙන්න නම් උපකාර කිරීම අවශ්‍යයි. මෙම උපකාරය සැපයීම සඳහා වෙනත් ස්වේච්ඡා සේවකයන්ට මහත් වෑයමක් දරන්න සිදු වෙනවා. (යොහන් 17:3) මෙම අවශ්‍යතාව තේරුම්ගත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සංඥා භාෂාව ඉගෙනගෙන තිබෙන අතර ඔවුන්ගේ මෙම වෑයම නිසා ලැබී තිබෙන අද්දැකීම් මහත් විපාකදායි ඒවායි.

අවුරුදු 15ක් වයසැති පාර්ක් ඉන්සන් ඔහුගේ ඉලක්කය කරගත්තේ සංඥා භාෂාව ඉගෙනගැනීමයි. ඔහු මෙම ඉලක්කය අත් කරගැනීම සඳහා බිහිරි අය 20දෙනෙක් විතර වැඩ කරන කර්මාන්ත ශාලාවක ආධුනිකයෙක් ලෙස පුහුණු වීමට ගියා. ඔවුන්ගේ භාෂාව හා සිතීමේ රටාව තේරුම්ගැනීම සඳහා ඔහු ඔවුන් හා සමඟ මාස අටක් වැඩ කළා. ඊළඟ අවුරුද්දේ ඔහු ස්ථාවර පුරෝගාමියෙකු හෝ පූර්ණ කාලීනව දේවරාජ්‍ය ප්‍රචාරය කරන්නෙකු ලෙස සේවය කිරීමට පටන්ගත් අතර බයිබල් සත්‍යය ගැන උනන්දුවක් දක්වන බිහිරි අයගේ කණ්ඩායමකට උපකාර කළා. මෙම කණ්ඩායමට අයත් පිරිස කොතරම් ඉක්මණින් වැඩි වුණාද කියනවා නම් වැඩි කල් නොගොස් 35දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ඉරිදා රැස්වීම්වලට එන්න පටන්ගත්තා.—ගීතාවලිය 110:3.

ඊට පස්සේයි සියොල්වල මුල් වරට සම්පූර්ණයෙන්ම සංඥා භාෂාවෙන් පමණක් පැවැත්වෙන ක්‍රිස්තියානි රැස්වීම් සැලසුම් කළේ. සහෝදර පාර්ක් ඉන්සන් මේ වර්ධනය වන කණ්ඩායමත් එක්ක සේවය කළේ විශේෂ පුරෝගාමියෙක් ලෙසයි. ඒ වන විට ඔහු සංඥා භාෂාව පිළිබඳව හොඳ නිපුණත්වයක් ලබා තිබුණා. සමහර මාසවල ඔහු බිහිරි අය සමඟ පැවැත්වූ බයිබල් පාඩම් සංඛ්‍යාව 28ක්. මෙයින් බොහෝදෙනෙක් දියුණු වී යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා.

මෙම කාර්යශීලී ස්වේච්ඡා සේවයේ ප්‍රතිඵලයක් ලෙස 1976 ඔක්තෝබර් මාසයේ සියොල්හි පළමුවෙනි සංඥා භාෂා සභාව ආරම්භ කෙරුණා. මෙහි ප්‍රචාරකයන් 40දෙනෙක්ද, ස්ථාවර පුරෝගාමීන් දෙදෙනෙක්ද සිටියා. මෙය කොරියාවේ වෙනත් ප්‍රදේශවල ක්‍රියාකාරකම් පුබුදුවාලීමට මඟ පෑදුණා. බොහෝ බිහිරි අය ශුභාරංචිය ඇසීමට පිපාසයෙන් සිටියා පමණක් නොව ඔවුන් බලා සිටියේ තමන්ව හමුවීමට කෙනෙක් එන තෙක්.

බිහිරි අය සමඟ වැඩ කරමින්

ඔබ කල්පනා කරනවා ඇති බිහිරි අයව සොයාගත්තේ කොහොමද කියලා. මේ අයගෙන් කිහිපදෙනෙකුව හමු වුණේ එක් එක් කෙනා තමන්ගේ යාළුවන්ව හඳුන්වා දීම මගින්. ඒ වගේම ප්‍රාදේශීය හාල් සැල්වල අයිතිකරුවන් හමු වී බිහිරි අයගේ නම් සහ ලිපින ලබාගත්තා. ඒ වගේම මෙවැනි තොරතුරු සැපයීමේදී සමහර රජයේ කාර්යාලවලින්ද අපට උපකාර ලැබුණා. බිහිරි අය සිටින බලප්‍රදේශය උද්‍යෝගයෙන් ආවරණය කිරීම ඉතා පලදායි කියා පැවසිය හැක්කේ කාලයාගේ ඇවෑමෙන් සංඥා භාෂා කතා කරන සභා හතරක් පිහිටුවීමට හැකි වී තිබෙන නිසයි. බොහෝ ක්‍රිස්තියානි යෞවනයන්ට උනන්දු කරනු ලැබුවේ සංඥා භාෂාව ඉගෙනගැනීමටයි.

සභාවන් සමඟ වැඩ කිරීමට සංඥා භාෂාව ඉගෙනගෙන තිබුණු විශේෂ පුරෝගාමීන්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය විසින් පත් කරනු ලැබුවා. මෑත කාලවලදී දේවසේවා පුහුණු පාසැලෙන් උපාධිය ලැබූ සහෝදරයන්ව මෙම සභාවලට පත් කිරීම නිසා එම සභා ආත්මිකව ශක්තිමත් වී තිබෙනවා.

මෙහිදී ජයගත යුතු දුෂ්කරතා තිබෙනවා. මෙවැනි ක්ෂේත්‍රවල සේවය කිරීමේදී සාර්ථක වෙන්න නම් බිහිරි අය සිතන විදිහ හා ඔවුන්ගේ සිරිත් විරිත් තේරුම්ගැනීමට වෑයම් කිරීම අවශ්‍යයි. ඔවුන් කල්පනා කරන විදිහ හා ක්‍රියා කරන විදිහ ඉතා ඍජුයි. මෙම හැසිරීම සමහර අයව පුදුමයට පත් කිරීමට හෝ වරදවා වටහාගැනීමට හේතු වෙන්න පුළුවන් හැකියි. තවද බිහිරි අය සමඟ සාක්ෂිකරුවන් නිවාස බයිබල් පාඩම් පැවැත්වීමේදී සංඥා භාෂාව කෙරෙහි ඇති ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරගැනීමටත් කියවීමේ හා පාඩම් කිරීමේ පුරුදු වර්ධනය කරගැනීමටත් උනන්දු කළ යුතුයි.

බිහිරි අය තමන්ගේ එදිනෙදා ජීවිතයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව බොහෝදෙනෙක් දන්නේ නැහැ. බොහෝවිට රජයේ නිලධාරීන් සමඟ කතා බහ කිරීම, සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා කටයුතු කිරීම සහ එදිනෙදා ගනු දෙනු කිරීම පවා මේ අයට විශාල අභියෝගයක්. ළඟපාත ක්‍රිස්තියානි සභාවල සිටින සාක්ෂිකරුවන්ගෙන් ලැබෙන ප්‍රේමණීය උපකාරය නිසා බිහිරි අය ඇත්තටම සැබෑ සහෝදරත්වය අද්දැක තිබෙනවා.—යොහන් 13:34, 35.

අවිධිමත් ලෙස සාක්ෂි දැරීමේ ප්‍රතිඵල

දකුණු කොරියාවේ ප්‍රධාන වරාය වන පුසෑන් අසල සාක්ෂිකරුවෙකුට බිහිරි අය දෙදෙනෙක් හමු වුණා. “අපි පාරාදීසයට කැමතියි. සදාකාල ජීවනය ගැන කියන බයිබල් පද ගැන දැනගන්න කැමතියි” කියා ඔවුන් කුඩා කොළ කෑල්ලක ලියලා පෙන්නුවා. මේ සහෝදරයා ඔවුන්ගේ ලිපිනය ලබාගත් අතර නැවත මුණගැසීමට කටයුතු සැලසුම් කළා. ඔහු ගිය විට ඔහුට දකින්න ලැබුණේ කාමරයක් පිරෙන්න දේවරාජ්‍යයේ පණිවිඩය ගැන දැනගැනීමට පැමිණ සිටි බිහිරි අය කණ්ඩායමක්. මෙම අද්දැකීම ඔහුට සංඥා භාෂාව ඉගෙනගැනීමට රුකුලක් වුණා. වැඩි කල් නොගොස් පුසෑන් නගරයේ සංඥා භාෂාව කතා කරන සභාවක් ආරම්භ කරනු ලැබුවා.

ඒ සභාවේ සහෝදරයෙක් දැක්කා බිහිරි අය දෙදෙනෙක් සංඥා භාෂාවෙන් කතා කර කර ඉන්නවා. මේ සහෝදරයා ඔවුන් ළඟට ගියාම දැනගත්තා ඔවුන් මොහොතකට පෙර ආගමික රැස්වීමකට සහභාගි වී තිබුණු බව. ඔහු ඔවුන්ට එදා හවස දෙකට රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන රැස්වීමට ආරාධනා කළා. ඔවුන් දෙදෙනාම පැමිණියා. ඊට පස්සේ බයිබල් පාඩමක් පටන්ගනු ලැබුවා. ඉන් ටික කාලෙකට පස්සේ ඔවුන් තමන්ගේ මිත්‍රයන් 20දෙනෙක් සමඟ දිස්ත්‍රික් සමුළුවට පැමිණියා. ඒ කණ්ඩායමෙන් කිහිපදෙනෙක් යෙහෝවාට තම ජීවිත කැප කර තිබෙන අතර දෙදෙනෙක් සභා වැඩිමහල්ලන් ලෙසත් එක් කෙනෙක් සභා සේවකයෙක් ලෙසත් සංඥා භාෂා කතා කරන සභාවල සේවය කරනවා.

අධිෂ්ඨානයට ලැබුණු පල විපාක

සමහර බිහිරි අය ජීවත් වන්නේ සංඥා භාෂාව කතා කරන සභාවලින් බොහෝ ඈත ප්‍රදේශවලයි. එමනිසා ඔවුන්ට නිතිපතා බයිබලයෙන් අවශ්‍ය ආත්මික ආහාර සැපයීම සඳහා ලොකු වෑයමක් හා අධිෂ්ඨානයක් අවශ්‍යයි. උදාහරණයකට අවුරුදු 31ක් වයසැති මනුෂ්‍යයෙකුගේ ජීවනෝපාය වුණේ වෙරළබඩ ආශ්‍රිත දිවයිනක මාළු ඇල්ලීමයි. ඔහුගේ මල්ලීට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුණගැසී තිබුණු අතර ඔහුගෙන් මේ මනුෂ්‍යයාට බයිබල් සත්‍යය දැනගැනීමට ලැබුණා. ඔහුගේ ආත්මික පිපාසය සංසිඳවා ගැනීමට මේ බිහිරි මාළු අල්ලන්නා කිලෝ මීටර් 16ක් ඈතින් පිහිටි දකුණු කොරියානු වෙරළේ ටොංයං නගරයට බෝට්ටුවෙන් ගියා. ඔහු එහි ගියේ මසන් නගරයේ සංඥා භාෂා කතා කරන සභාවකින් පැමිණෙන විශේෂ පුරෝගාමියෙක් හමුවීමටයි. මේ පුරෝගාමියා සෑම සඳුදාවකම කිලෝ මීටර් 65ක් ගෙවාගෙන ගියා මේ මසුන් අල්ලන්නා සමඟ බයිබල් පාඩමක් පැවැත්වීමට.

මසන් නගරයේ පැවති ඉරිදා රැස්වීම්වලට සහභාගි වීමට මේ බයිබල් ශිෂ්‍යයාට බෝට්ටුවෙන් කිලෝ මීටර් 16ක් ගිහිල්ලා තව කිලෝ මීටර් 65ක් බස් එකෙන් යන්න තිබුණා. ඔහුගේ මෙම වෑයමට ආශීර්වාද ලැබුණා. මාස කිහිපයක් අතරතුර ඔහුගේ සංඥා භාෂාව මෙන්ම කොරියානු හෝඩිය පිළිබඳ දැනුමද වැඩි වර්ධනය වුණා. මෙහිදී වඩාත් වැදගත්ම දේ නම් යෙහෝවා සමඟ සම්බන්ධකමක් පැවැත්විය හැකි එකම මාර්ගය ඔහු විසින් ඉගෙනගැනීමයි. නොකඩවා රැස්වීම්වලට හා ක්ෂේත්‍ර සේවයේ සහභාගි වීමේ අවශ්‍යතාව තේරුම්ගත් මොහු සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන සභාවක් කිට්ටුවට පදිංචිය සඳහා පැමිණියා. පදිංචිය වෙනස් කිරීම පහසු වුණාද? නැහැ. මාසයකට අමෙරිකානු ඩොලර් 3,800ක ආදායමක් ලැබෙන මාළු වෙළඳාම ඔහුට අත්හරින්න සිදු වුණා. නමුත් ඔහුගේ අධිෂ්ඨානයට ආශීර්වාද ලැබුණා. සත්‍ය මාර්ගයේ දියුණු වීමෙන් පසු ඔහු බව්තීස්ම වුණු අතර ඔහු දැන් ඔහුගේ මුළු පවුල සමඟ යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් සේවය කරනවා.

බිහිරි අය සඳහා පරිවර්තනය

රාජ්‍යයේ ශුභාරංචිය බොහෝවිට ප්‍රචාරය කරනු ලබන්නේ කට වචනයෙන්. කෙසේවෙතත් වඩාත් නිවැරදිව දේවවචනයෙන් පණිවිඩය බෙදා දීමට නම් බයිබලයේ ඉගැන්වීම් වඩාත් ස්ථිර ආකාරයකින් ඉදිරිපත් කිරීම අවශ්‍යයි. පළමුවෙනි ශතවර්ෂයේ අද්දැකීම් ලත් වැඩිහිටියන් පොත් සහ ලිපි ලියනු ලැබුවා. (ක්‍රියා 15:22-31; එෆීස 3:4; කොලොස්සි 1:2; 4:16) අපේ කාලයේදී පොත් පත්වලින් හා වෙනත් ක්‍රිස්තියානි ප්‍රකාශන මගින් ආත්මික ආහාර බහුල ලෙස සපයා දී තිබෙනවා. මෙම පොත් පත් සිය ගණන් භාෂාවලට මෙන්ම විවිධ සංඥා භාෂාවලටද පරිවර්තනය කර තිබෙනවා. කොරියානු සංඥා භාෂාවෙන් පරිවර්තනය කිරීම සඳහා කොරියාවේ ශාඛා කාර්යාලයේ සංඥා භාෂා පරිවර්තන කණ්ඩායමක් සිටිනවා. ඒ වගේම සංඥා භාෂාවෙන් විඩීයෝ පට පටිගත කරන අංශයක් තිබෙනවා. මෙමගින් මුළු කොරියාව පුරාම සියලුම සභාවල ශුභාරංචිය බෙදා දෙමින් සිටින බිහිරි රාජ්‍ය ප්‍රකාශකයන්ටද සත්‍යය කෙරෙහි උනන්දුවක් දක්වන අයටද ආත්මික පෝෂණයක් ලැබේ.

බොහෝදෙනා සංඥා භාෂාව හදාරා නිපුණත්වයක් ලබා තිබුණද, වීඩියෝ පට නිෂ්පාදනය කිරීමේ කාර්යයට සහය වී තිබුණද හොඳම පරිවර්තකයන් වන්නේ බිහිරි දෙමව්පියන්ගේ දරුවන්. ඔවුන් සංඥා භාෂාව ඉගෙනගෙන තිබෙන්නේ ළදරු කාලයේ සිටමයි. ඔවුන්ගේ සංඥා නිවැරදි මෙන්ම, ඔවුන්ගේ අංග චලන හා මුහුණේ ඉරියව් මගින් හදවතට කාවදින ආකාරයේ ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. මේ විදිහට, ඔවුන් අසන්නාගේ හදවතට මෙන්ම මනසටද ළඟා වෙයි.

දැන් කොරියාවේ දිගටම එක්රැස්වීම් හා සමුළු සංඥා භාෂාවෙන් පැවැත්වෙනවා. මෙය ඉෂ්ට කරගැනීම සඳහා මහත් වැඩ කොටසක්, වියදමක් හා උත්සාහයක් අවශ්‍යයි. කෙසේවෙතත් එහි පැමිණෙන අය මෙම සැලැස්ම බොහෝ සේ අගය කරනවා. මෙම එක්රැස්වීම් නිමා වූවාට පසුවද බොහෝදෙනෙක් නැවතී සම්පූර්ණ සහෝදර ආශ්‍රයක් භුක්ති විඳින අතර ලැබුණු ආත්මික ආහාර ගැන අගයෙන් යුතුව කතා කරයි. ඇත්ත වශයෙන්ම මෙම අද්විතීය කණ්ඩායම සමඟ සේවය කිරීමේදී අභියෝගවලට මුහුණ දීමට සිදු වුවත් එයින් ලැබෙන ආත්මික ආශීර්වාද ගැන හිතනකොට එම උත්සාහය ඇත්තටම වටිනවා.

[10වන පිටුවේ පින්තූරය]

කොරියාවේ සංඥා භාෂාවෙන් නිෂ්පාදනය කර තිබෙන වීඩියෝ පට: “දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?” “අපගේ ආත්මික උරුමය අගය කරමු” “අපගේ කාලය සඳහා අනතුරු අඟවන ආදර්ශ” සහ “යෙහෝවාගේ අධිකාරයට ගරු කරමු”

[10වන පිටුවේ පින්තූර]

වමේ පහළ පින්තූරයේ සිට දක්ෂිණාවර්තව: කොරියාවේ ශාඛා කාර්යාලයේ සංඥා භාෂා වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින්; දිව්‍යාණ්ඩු වචන සඳහා සංඥා සූදානම් කරමින්; සංඥා භාෂා පරිවර්තන කණ්ඩායම; විඩීයෝ පටිගත කිරීමේදී සංඥා භාෂාව හසුරුවන්නාට උපකාර සපයමින්