Skip to content

පටුනට යන්න

යේසුස් මිහිතලයේ ජීවත් වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂියක්?

යේසුස් මිහිතලයේ ජීවත් වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂියක්?

යේසුස් මිහිතලයේ ජීවත් වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂියක්?

“යේසුස් පිළිබඳව ගලක කෙටූ සාක්ෂි.” මෙම වැකිය සඳහන් වූයේ බයිබල් පුරාවිද්‍යාව පිළිබඳ සමාලෝචනයක් (සිංහලෙන් නැත, 2002 නොවැම්බර්/දෙසැම්බර් කලාපය.) නමැති සඟරාවේ මුල් පිටුවේය. එහි සඳහන් වූයේ ඊශ්‍රායෙලයේ තිබි සොයාගත් මිය ගිය අයෙකුගේ අස්ථි තැන්පත් කර තිබූ මංජුසාවක් පිළිබඳ විස්තරයකි. මෙය සාදා තිබෙන්නේ හුණුගල්වලිනි. පොදු යුගයට පෙර මුල් සියවසේ සිට පො.යු. 70වන වසර දක්වා වූ කෙටි කාලය අතරතුර විසූ යුදෙව්වෝ මිය ගිය අයගේ අස්ථි මංජුසාවල දමා තැන්පත් කර තැබූහ. මෙය ඒ කාලයේ සිදු කළ සුලභ දෙයක් විය. ඉහත සඳහන් කළ මංජුසාවේ විශේෂත්වය වන්නේ එහි එක් පැත්තක ඇරමයික භාෂාවෙන් වදන් පෙළක් කොටා තිබීමයි. “යෝසෙප්ගේ පුත්‍රයා වූද යේසුස්ගේ සහෝදරයා වූද යාකොබ්” කියා එහි කොටා තිබෙන බව විද්වත්හු පිළිගනිති.

බයිබලයේ සඳහන් වන පරිදි නාසරෙත්හි විසූ යේසුස්ට යාකොබ් කියා සහෝදරයෙක් සිටියේය. මෙම යාකොබ්ව සලකනු ලැබුවේ මරියාගේ ස්වාමිපුරුෂයා වූ යෝසෙප්ගේ පුත්‍රයෙකු ලෙසය. යේසුස් ඔහුගේ ග්‍රාමයේ උගන්වමින් සිටි අවස්ථාවකදී, ඔහුට සවන් දෙමින් සිටි අය පුදුමයට පත්ව මෙසේ ඇසූහ. “මේ වඩුවාගේ පුතා නොවේද? ඔහුගේ මවගේ නම මරියා නොවේද? ඔහුගේ සහෝදරයන්ගේ නම් යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවේද? ඔහුගේ සියලු සහෝදරියන්ද අප සමඟ සිටිනවා නොවේද?”—මතෙව් 13:54-56, NW; ලූක්. 4:22; යොහන් 6:42.

ඉහත සඳහන් මිනී අස්ථි මංජුසාවේ කොටා තිබූ අකුරු, නාසරෙත්හි යේසුස් පිළිබඳ විස්තරයට ගැළපෙන බවක් පෙනෙන්න තිබේ. එම මංජුසාවේ සඳහන් යාකොබ් යේසුස්ගේ අර්ධ සහෝදරයා වූවා නම්, “යේසුස් පිළිබඳව බයිබලයට පරිබාහිරව තිබෙන පැරණිතම පුරාවිද්‍යාත්මක සාක්ෂිය” වන්නේ එයයි. මෙසේ තරයේ කියා සිටියේ පැරණි ශිලා ලේඛන අධ්‍යයනය කිරීම පිළිබඳව නිපුණත්වයක් තිබෙන ඕන්ඩ්‍රේ ලමෙර් නමැත්තාය. මෙහි ආරම්භක ඡේදයේ උපුටනය රැගෙන ඇති බයිබල් පුරාවිද්‍යාව පිළිබඳ සමාලෝචනයක් නමැති සඟරාවේ පළ වූ ලිපිය ලියනු ලැබුවේ ඔහු විසිනි. මිනී අස්ථි අඩංගු එම මංජුසාව, “මිහිතලයේ විසූ වැදගත්ම පුද්ගලයා ගැන සාක්ෂි සපයන අතින් ඇල්ලිය හැකි හා ඇසින් දැකිය හැකි දෙයක්” කියා එම සඟරාවේ කර්තෘ වන හර්ෂල් ෂැන්ක්ස් සඳහන් කරයි.

කෙසේවෙතත්, එම මංජුසාවේ කොටා තිබෙන නම් තුනම මුල් සියවසේ බහුලව භාවිත කළ නම් විය. එමනිසා යේසුස් ක්‍රිස්තුස් ඇති දැඩි වූ පවුල හැර, යාකොබ්, යෝසෙප් හා යේසුස් යන නම් තිබූ සාමාජිකයන් සිටි තවත් පවුලක් සිටියා කියා සිතිය හැක. අදාළ තොරතුරු ඇගයීමකට ලක් කරමින් ලමෙර් මෙසේ පවසයි. “පොදු යුගයේ 70ට කලින් පරම්පරා දෙකක් අතර වූ කාලයක් ඇතුළත, ‘යෝසෙප්ගේ පුත්‍රයා වූද යේසුස්ගේ සහෝදරයා වූද යාකොබ්’ කියා හැඳින්වූ පුද්ගලයන් 20දෙනෙකු පමණ සිටියා විය හැක.” කෙසේවෙතත්, එම මංජුසාවේ සඳහන් යාකොබ් නමැත්තා යේසුස් ක්‍රිස්තුස්ගේ අර්ධ සහෝදරයා වීමට තිබෙන ඉඩ කඩ සියයට 90ක් තරම් කියා ලමෙර්ට හැඟෙයි.

එම මංජුසාවේ සඳහන් යාකොබ් නමැත්තා යේසුස් ක්‍රිස්තුස්ගේ අර්ධ සහෝදරයා වූ බව ඇතැමුන් විශ්වාස කරන්නේ තවත් හේතුවක් නිසාය. මිය ගිය තැනැත්තෙකුගේ පියාගේ නම සඳහන් කිරීම, එවන් ශිලා ලේඛනයක සුලභව දැකිය හැකි දෙයක් වුවත්, සහෝදරයෙකුගේ නමක් සඳහන් වන්නේ ඉතාමත් කලාතුරකිනි. එමනිසා ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ එම මංජුසාවේ සඳහන් යේසුස් නමැත්තා සුවිශේෂි පුද්ගලයෙකු විය යුතු බවයි. මෙම පුද්ගලයා ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයා වන යේසුස් ක්‍රිස්තුස් විය හැකි බව සිතීමට එය ඔවුන්ට හේතුවක් වී තිබේ.

එම මිනී අස්ථි මංජුසාව විශ්වාස කළ හැකිද?

මිනී අස්ථි මංජුසාවක් කියන්නේ කුමක්ද? මෙය ලෙනක තැන්පත් කළ මෘත ශරීරයක මාංසය දිය වී ගිය පසු ඉතිරි වන ඇට කටු තැන්පත් කර තබන පෙට්ටියකි. යෙරුසලම අවට තිබූ, මෘත ශරීර තැන්පත් කළ ස්ථානවල තිබූ මිනී අස්ථි මංජුසා ගණනාවක් අතීතයේදී කොල්ලකන ලදි. යාකොබ් යන නම සඳහන් මිනී අස්ථි මංජුසාව සොයාගනු ලැබුවේ පුරාවිද්‍යාත්මක කැණීම් කරන ස්ථානයකින් නොව, පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළඳ සැලකිනි. මෙහි අයිතිකරු, 1970 ගණන්වලදී එය ඩොලර් සිය ගණනකට මිල දී ගත් බව පැවසේ. මේ නිසා මෙම මිනී අස්ථි මංජුසාවේ සුලමුල අභිරහසක්ව පවතී. “යම් පෞරාණික භාණ්ඩයක් සොයාගනු ලැබුවේ කොතැනින්ද කියාත්, එය වසර 2,000කට ආසන්න කාලයක සිට තිබුණේ කොහේද කියාත් පැවසිය නොහැකි නම්, එම වස්තුව හා එහි සඳහන් පුද්ගලයන් අතර සම්බන්ධයක් තිබෙන බව පැවසීමට තරම් නිර්භීතකමක් තිබිය නොහැක” කියා නිව් යෝර්ක්හි පිහිටි බාඩ් විද්‍යාලයේ මහාචාර්ය බෲස් චිල්ටන් පවසයි.

පුරාවිද්‍යාත්මක සාක්ෂි හිඟ වූ බැවින්, මෙම මංජුසාවේ සඳහන් දේවල් තහවුරු කරගැනීමේ අරමුණින් එය ඊශ්‍රයෙලයේ පිහිටි භූ විද්‍යාත්මක පරීක්ෂණ ආයතනයට යවන ලදි. මෙම මංජුසාව පොදු යුගයේ පළමුවන හෝ දෙවන සියවසේදී හුණුගල්වලින් සාදා තිබෙන බව එහි සිටින පර්යේෂකයන් තහවුරු කර ඇත. මෙය සෑදීම සඳහා “නවීන උපකරණයක් භාවිත කර තිබෙන බවට සාක්ෂි නැත” කියා ඔවුහු වාර්තා කළහ. එසේවුවත් සම්මුඛ සාකච්ඡාවකට හවුල් වූ බයිබලය පිළිබඳ විද්වතුන් ද නිව් යෝර්ක් ටයිම්ස් සඟරාවට ප්‍රකාශ කර තිබෙන්නේ “යේසුස් ජීවත් වූ බවට උපකාරක සාක්ෂි මගින් යම් අනුබල දුන්නත් ඒවා හුදෙක් උපකාරක සාක්ෂි පමණයි” කියාය.

“යේසුස් ඇත්තටම ජීවත් වූ බව මේ කාලයේ සිටින සෑම උගත් පුද්ගලයෙක්ම පාහේ විශ්වාස කරයි” කියා ටයිම්ස් සඟරාවේ සඳහන් විය. එහෙත් යේසුස් ජීවත් වූ බව විශ්වාස කිරීමට නම් බයිබලයේ සඳහන් සාක්ෂි හැර වෙනත් සාක්ෂිද තිබිය යුතුයි කියා බොහෝදෙනෙක් සිතති. යේසුස් ක්‍රිස්තුස් ඇත්තටම ජීවත් වූ බව යමෙකුට විශ්වාස කිරීම සඳහා පදනම විය යුත්තේ පුරාවිද්‍යාවද? “මිහිතලයේ ජීවත් වූ වැදගත්ම මිනිසා” පිළිබඳව ඓතිහාසික වශයෙන් සැබෑ වූ බවට තිබෙන සාක්ෂි මොනවාද?

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Left, James Ossuary: AFP PHOTO/J.P. Moczulski; right, inscription: AFP PHOTO/HO