Skip to content

පටුනට යන්න

රෝමයට අමතක නොවන පාප් Viවන ඇලෙක්සැන්ඩර්

රෝමයට අමතක නොවන පාප් Viවන ඇලෙක්සැන්ඩර්

රෝමයට අමතක නොවන පාප් Viවන ඇලෙක්සැන්ඩර්

“කතෝලිකයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ගත් කල, VIවන ඇලෙක්සැන්ඩර්ව හෙළා දැකීමට තරම් ප්‍රබල වචන භාෂාවේ නැත.” (මධ්‍යම යුගයේ අවසානයේ සිට පාප්වරුන්ගේ ඉතිහාසය [සිංහලෙන් නොමැත].) “ඔහුගේ පෞද්ගලික ජීවිතය ගත කළ ආකාරය සම්බන්ධයෙන් ගතහොත් කිසිම සමාවක් දිය නොහැක. . . . මෙම පාප් පදවිය දැරූ තැනැත්තා පල්ලියට කිසිම ගෞරවයක් ගෙනැවිත් නැති බව අපට පිළිගැනීමට සිදු වේ. බෝජා පවුලේ සමකාලීනයන්ට මෙවන් පහත් ක්‍රියා හුරු පුරුදු ඒවා වුවද, එම පවුල විසින් සිදු කරනු ලැබූ අපරාධ නිසා ඔවුන්ට ඇති වූ පිළිකුල සහ කම්පනය වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය. සියවස් හතරකට පසුව අද පවා දෝංකාර දෙන එම අපරාධවල බලපෑම තවමත් පවතී.”—පල්ලිය හා පුනරුද සමය (1449-1517), සිංහලෙන් නොමැත.

රෝමානු කතෝලික පල්ලියට අයත් ගෞරවනීය ඓතිහාසික කෘතින්, පාප් කෙනෙකු සහ ඔහුගේ පවුලේ අය ගැන මෙතරම් කටුක වදන් පවසන්නේ මන්ද? මෙවන් තදබල විවේචනයක් ලැබෙන තරමට ඔවුහු කුමක් කළෝද? රෝමයේ (2002 ඔක්තෝබර්—2003 පෙබරවාරි දක්වා) පැවති බෝජා පවුල—බලයේ කලාව යන තේමාවෙන් යුත් එක්තරා ප්‍රදර්ශනයක පාප්ධූරය මගින් දැරූ අතිවිශේෂ බලය පිළිබිඹු කිරීමට අවස්ථාවක් ලබා දුන් අතර, විශේෂයෙන්ම රොද්‍රිගෝ බෝජා හෙවත් VIවන ඇලෙක්සැන්ඩර් (1492-1503 දක්වා සිටි පාප්) විසින් එම බලය යොදාගත් ආකාරය එහි දක්වා තිබුණි.

බලය අත් කරගැනීම

රොද්‍රිගෝ බෝජා ඉපදුණේ වර්ෂ 1431දීය. ඔහු දැන් ස්පාඤ්ඤයෙහි පිහිටි ඇරගන් රාජධානියේ ජැටීවාහි උසස් පවුලක උපත ලැබීය. වැලෙන්සියාවේ බිෂොප්වරයා වූ ඔහුගේ මාමා අල්ෆොන්සෝ ඩි බෝජා, තම බෑණාගේ අධ්‍යාපනයට මඟ පෙන්වූ අතර, ඔහු නහඹර වියේ පසු වන සමයේදී පවා රොද්‍රිගෝට පල්ලියෙන් වැටුපක් ලැබෙන නිලයක් ප්‍රදානය කොට තිබිණි. ඒ වෙද්දී කාදිනල්වරයෙකුව සිටි අල්ෆොන්සෝගේ ආරක්ෂාව යටතේ රොද්‍රිගෝ වයස අවුරුදු 18දී ඉතාලියට ගොස් නීතිය හැදෑරීය. අල්ෆොන්සෝ IIIවන කැලික්ස්ටස් පාප් බවට පත් වූ විට, ඔහු රොද්‍රිගෝ සහ තවත් බෑණා කෙනෙකුව කාදිනල්වරුන් බවට පත් කළේය. පාරා ලුවිස් බෝජාට විවිධ නගරවල නගරාධිපති ධූරය පිරිනැමිණි. වැඩි කල් යන්නට මත්තෙන්, රොද්‍රිගෝව පල්ලියේ උපචාන්ස්ලවරයෙකු ලෙස පත් කරනු ලැබූ අතර, විවිධ පාප්වරුන් යටතේ ඔහු මෙම පදවිය ඉසිලුවේය. මේ නිසා මෙම පදවියෙන් පල්ලියේ ඉහළ තනතුරු ගණනාවක් දැරීමටත්, අතිමහත් දේපළ වතු පිටි සමඟ විශාල ධන සම්භාරයක් රැස් කරගැනීමටත් අතිමහත් බලයක් පෑමටත්, රජ කුමාරයෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් භුක්ති විඳීමටත් හැකි විය.

රොද්‍රිගෝ බුද්ධිමතෙකු විය. චතුර කථිකයෙකු විය. කලාවට අනුග්‍රහය දක්වන්නෙකු විය. තමන්ගේ පරමාර්ථ ඉෂ්ට කරගැනීමේ රුසියෙකු විය. කෙසේවෙතත්, ඔහුට අයථා සම්බන්ධතා ගණනාවක්ම තිබූ අතර, තමාගේ ජීවිත කාලය පුරා එකට ජීවත් වූ ස්ත්‍රිය හා තමා ජාතක කළ දරුවන් හතරදෙනාට අමතරව වෙනත් ස්ත්‍රීහු මෙන්ම තවත් දරුවෝද ඔහුට සිටියහ. ඔහුගේ “දැඩි කාමාශාව” හා “කිසිදු දමනයකින් තොරව” ඉඳුරන් පිනවීමේ ගතිය හේතුවෙන් IIවන පයස් පාප් විසින් ඔහුට අවවාද කරනු ලැබුවද, වෙනස් වුණේ රොද්‍රිගෝ නොවේ.

වර්ෂ 1492දී, VIIIවන ඉනසන්ට් පාප්ගේ මරණයත් සමඟම, පල්ලියේ කාදිනල්වරු පාප් ධූරයට අනුප්‍රාප්තිකයෙකුව තේරීම සඳහා රැස් වූහ. මේ අනුව පාප්වරයෙකුව තෝරාගැනීම සඳහා කාදිනල්වරුන් පැවැත්වූ රහස් රැස්වීමට පෙර ඉතා සිත්ගන්නා පොරොන්දු දෙමින් වෙනත් අපේක්ෂිතයන්ව එළිපිට විවේචනය කරමින් මෙම කාදිනල්වරුන්ගේ අනුග්‍රහය මොහු දිනාගත් බැවින් VIවන ඇලෙක්සැන්ඩර් පාප් ලෙසට පත් කෙරුණු ලැබුණේ ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් සමඟිනි. කාදිනල්වරුන්ගේ ඡන්ද සඳහා ඔහු ගෙවීමක් කළේ කොහොමද? පල්ලියේ ඉහළ තනතුරු, මාළිගා, බලකොටු, නගර, තාපසාරාම හා බිෂොප්වරයෙකු යටතේ පාලනය වන බලප්‍රදේශ සහ අතිමහත් ආදායම් ලැබෙන ක්‍රම ලබා දීමෙනි. පල්ලියේ එක්තරා ඉතිහාසඥයෙක් VIවන ඇලෙක්සැන්ඩර්ගේ පාලන සමය “රෝමානු පල්ලියේ අපකීර්තිමත් විෂමාචාර කාලය” ලෙස හැඳින්වූයේ මන්දැයි ඔබට තේරුම්ගත හැකිය.

ලෞකික අධිපතියෙකු මෙනි

පල්ලියේ නායකයා වශයෙන් VIවන ඇලෙක්සැන්ඩර්, තමා සතු ආගමික බලය යොදාගනිමින්, අමෙරිකාවෙන් අලුත සොයාගත් යම් දේශයන් පිළිබඳව ස්පාඤ්ඤය සහ පෘතුගාලය අතර තිබූ බෙදීම සමථයකට පත් කිරීමට කටයුතු කළේය. මෙසේ ඔහු සතුව තිබූ ලෞකික බලය හේතුකොටගෙන මධ්‍යම ඉතාලියේ බලප්‍රදේශ සමඟින් පාප්ට අයත් ප්‍රාන්තවල ඔහු ප්‍රධානියා වූ අතර, ඔහු තමාගේ රාජධානියේ රජකම් කළේ පුනරුද සමයේ සිටි වෙනත් කිසිදු පාලකයෙකුටවත් නොදෙවෙනිවය. තමාට පෙර හා පසුව විසූ පාප්වරුන්ගේ කාල පරිච්ඡේද මෙන්ම, VIවන ඇලෙක්සැන්ඩර්ගේ පාලන සමයද අල්ලස්වලින් හා ඥාති සංග්‍රහයෙන් පිරී තිබුණි. ඒ කාලය අතරතුරේදී යම් යම් මිනී මැරුම් සම්බන්ධයෙන්ද ඔහු ගැන සැකයන් පහළ විණි.

මෙම අර්බුද සහිත කාලවලදී බල අරගලයක යෙදෙමින් සිටි බලවතුන් ඉතාලියේ ප්‍රදේශ අත් කරගැනීමට උත්සාහ කළ අතර, පාප්ද පැත්තකට වී ඔහේ බලා සිටියේ නැත. ඔහු විසින් යොදාගනු ලැබූ යම් යම් දේශපාලනික උපක්‍රම මෙන්ම ඔහු විසින් ගොඩනඟා ගනු ලැබූ හා පසුව බිඳ දමනු ලැබූ සම්බන්ධතා සැලසුම් කර තිබුණේ ඔහුගේ බලය තව තවත් ශක්තිමත් කිරීමටය. ඔහුගේ දරුවන්ගේ ආදායම් වැඩි දියුණු කිරීමටය. එමෙන්ම වෙනත් සියල්ලන්ට වඩා බෝජා පවුල ඉහළින් තැබීමටය. ඔහුගේ පුත්‍රයා වූ ජුආන් කැස්ටයිල් නගරයේ රජුගේ ඥාතිවරියක හා විවාහ වූ අතර, ස්පාඤ්ඤයේ ගැන්ඩියා නුවර ආදිපාදවරයෙකු ලෙස ඔහුව පත් කරන ලදි. තවත් පුත්‍රයෙකු වූ ජොෆ්‍රා, නේපල්ස්හි රජුගේ මිණිබිරියක හා විවාහ විය.

ප්‍රංශය සමඟ තිබූ සම්බන්ධකම් ශක්තිමත් කරගැනීමට අවශ්‍ය වූ විට පාප් කළේ, ලුක්‍රේෂියා නම් වූ තමාගේ 13හැවිරිදි දියණිය ඇරගන්හි වංශවත් පුද්ගලයෙකු සමඟ ඇති කරගෙන තිබූ විවාහ ගිවිසුම කඩා දමා මිලාන්හි ආදිපාදවරයාගේ ඥාතියෙකුට ඇයව විවාහ කර දීමයි. එම විවාහය දේශපාලනික වශයෙන් තවදුරටත් වාසි ගෙන දෙන විවාහයක් නොවූයෙන්, එම විවාහය අවලංගු කර දැමීමට ව්‍යාජ හේතු සොයාගත් අතර, ලුක්‍රේෂියාව ඇරගන්හි අල්ෆොන්සෝ නම් වූ සතුරු රජ පෙලපතකට අයත් සාමාජිකයෙකු හා විවාහ කර දෙන ලදි. මේ අතරතුර බල තණ්හාවෙන් සිටි කුරිරු පුද්ගලයෙකු වූ ලුක්‍රේෂියාගේ සහෝදරයා වූ චසාරේ බෝජා ප්‍රංශයේ XIIවන ලුවී රජු සමඟ සම්බන්ධකම් ඇති කරගත්තේය. එමනිසා ඔහුගේ සහෝදරිය ඇරගන් රජ පෙළපතේ පුද්ගලයෙකු හා නැවත විවාහ වීම ගැන මොහු සිටියේ කනස්සල්ලෙනි. මීට විසඳුම? ඇගේ අවාසනාවන්ත සැමියා වූ අල්ෆොන්සෝට, “සාන්ත පීතර බැසිලිකාවේ පඩි පෙළ මත දී පුද්ගලයන් හතරදෙනෙකු විසින් තුවාල කරනු ලැබූ අතර සුව වෙමින් සිටියදී මොහුව චසාරේගේ සේවකයෙකු විසින් බෙල්ල මිරිකා මරා දමනු ලැබූ” බව එක් මූලාශ්‍රයක සඳහන් වේ. තවත් කූට මිත්‍රකමක් ඇති කරගැනීමට අර ඇඳූ පාප්, ඒ වන විට වයස 21ක්ව සිටි ලුක්‍රේෂියාව ෆෙරාරාහි ප්‍රබල ආදිපාදවරයෙකුගේ පුත්‍රයෙකුට විවාහ කර දෙන ලදි.

චසාරේගේ ජීවිත ක්‍රමය “ලෙයින් නැහැවී ගිය ඉතා අසමජ්ජාත එකක්” බවට විස්තර කර තිබේ. චසාරේගේ පියා ඔහුව වයස අවුරුදු 17දී කාදිනල්වරයෙකු ලෙසට පත් කළද, ඔහු ඉතා කපටි, බල තණ්හාවෙන් යුත් පුද්ගලයෙකු වූ නිසාත් ඔහු තරම් දූෂිත වූ අය සිටියේ අතළොස්සක් වන නිසාත් ඔහුව වඩාත් ගැළපුණේ පල්ලි නායකයෙකු වීමට වඩා යුද්ධයටය. පල්ලියේ තමන් හෙබවූ නිලයෙන් ඉවත් වීමෙන් පසු, ඔහු ප්‍රංශ ජාතික කුමාරියක් සමඟ විවාහ වූ අතර, මෙසේ වැලන්ටිනෝයිස්හි ආදිපාදවරයෙකුට හිමි වන බලප්‍රදේශයක් අත් කරගත්තේය. අනතුරුව, ප්‍රංශ හමුදාවල උපකාරය ඇතුව, ඔහු ඉතාලියේ උතුරු ප්‍රදේශය ආක්‍රමණය කර ඝාතන ව්‍යාපාරයක් දියත් කර එම ප්‍රදේශ තමාගේ යටතට ගත්තේය.

චසාරේගේ පරමාර්ථය ඉෂ්ට කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රංශ හමුදා අනුබලය රැකගැනීම පිණිස, පාප්, XIIවන ලුවී රජු ලබාගැනීමට උත්සාහ කළ වාසිදායක නමුත් නින්දිත දික්කසාදයට ඉඩ දුන් අතර, එනයින් ප්‍රංශයේ බ්‍රිටැනි නම් වූ ප්‍රදේශයේ ඈන් හා විවාහ වීමටත් ඇගේ බලප්‍රදේශය ඔහුගේ රාජධානියට ඇතුළත් කරගැනීමටත් ඉඩ සලසාගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පාප් “තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ලෞකික ලාභ ප්‍රයෝජන ලබාගැනීම සඳහා පල්ලියේ නම්බුව හා උසස් ප්‍රතිපත්ති පාවා දුන්” බව එක් කෘතියක සඳහන් කරයි.

පාප්ගේ නොහික්මුණු හැසිරීම ගැන විවේචන

බෝජා පවුලේ සාමාජිකයන්ගේ නොහික්මුණු හැසිරීම නිසා ඔවුන්ට සතුරන් ඇති වූ අතර, අන් අයගේ විවේචනයටද ඔවුන් පාත්‍ර විය. සාමාන්‍යයෙන් පාප් තමන්ගේ විවේචකයන්ව කිසිම ගණනකට නොගත් නමුත්, නොසලකා නොහැරිය හැකි පුද්ගලයෙකු වූයේ ගිරොලාමො සැවොනාරොලාය. ඔහු ඩොමිනිකානු තාපසයෙකු වූ අතර, ඉතා ප්‍රබල දේශනාකරුවෙකු මෙන්ම ෆ්ලොරන්ස්හි දේශපාලන නායකයෙකුද විය. පාප්වද, පාප් අධිකරණයේ විෂමාචාරයන්ද, පාප්ගේ දේශපාලන කටයුතුද හේ දැඩි සේ හෙළා දැක්කේ පාප්ව තනතුරින් අස් කරන ලෙස හා පල්ලිය ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා සිටිමිනි. සැවොනාරොලා මහ හඬින් හෙළා දැක්කේ මෙසේ කියමිනි. “පල්ලියේ නායකයෙනි, . . . නුඹලා රාත්‍රියේ යන්නේ නුඹලාගේ ගැහැණුන් වෙතටය, උදෑසන නුඹලා යන්නේ නුඹලාගේ සක්‍රමේන්තුවලටය.” ඔහු පසුව පැවසුවේ මෙසේයි. “[ඒ නායකයන්ට] තිබෙන්නේ ගණිකාවකගේ මුහුණකි. ඔවුන්ගේ නම්බුව පල්ලියේ පිරිහීමට හේතු වේ. මම නුඹලාට කියන්නේ, මොවුන් ක්‍රිස්තියානි ඇදහිල්ල විශ්වාස කරන අය නොවෙයි.”

සැවොනාරොලාව නිශ්ශබ්ද කිරීම සඳහා අල්ලසක් හැටියට ඔහුට කාදිනල් පදවියක් දීමට පාප් උත්සාහ කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පාප්ට විරුද්ධව ඔහු කළ දේශපාලනය නිසා හෝ වේවා නැතහොත් ඔහුගේ දේශනා කිරීම නිසා හෝ වේවා, අන්තිමට සිදු වූයේ සැවොනාරොලාව පල්ලියෙන් නෙරපා, අත්අඩංගුවට ගෙන, පාපොච්චාරණය කරන ලෙස දරුණු වධ හිංසා දී අනතුරුව එල්ලා පුලුස්සනු ලැබීමයි.

බරපතළ ප්‍රශ්න

මෙම ඓතිහාසික සිද්ධීන්වලින් වැදගත් ප්‍රශ්න රාශියක් මතු වෙයි. පාප්වරයෙකුගේ එයාකාර හැසිරීම සහ වංචාව යමෙක් පැහැදිලි කරන්නේ කෙසේද? ඉතිහාසඥයන් ඒවා පහදා දෙන්නේ කෙසේද? මේ සඳහා විවිධ තර්ක යොදාගැනේ.

බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ, VIවන ඇලෙක්සැන්ඩර් දෙස බැලිය යුත්තේ ඔහු ජීවත් වූ ඒ අතීතයේ පැවති සමාජ පසුබිමට අනුව බවයි. ඔහුගේ දේශපාලනික හා ආගමික පදවි ඔහු යොදාගත්තේ සාමය රැකගැනීමටත්, බලයට අරගල කරන රාජ්‍යයන් අතර සමබරතාවක් පවත්වාගැනීමටත්, පාප් ධූරය ආරක්ෂා කිරීමට උදව් කරන පාර්ශ්වයන් සමඟ මිත්‍ර සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත්, තුර්කියේ තර්ජනයට එරෙහිව ක්‍රිස්තියානි ලෝකයේ පැවිද්දන්ව එක්සත්ව තබාගැනීමටත් බව ඔවුන්ගේ අදහසයි.

නමුත් ඔහුගේ හැසිරීම ගැන කුමක් කියමුද? “ඉතිහාසයේ සෑම වකවානුවකම නරක ක්‍රිස්තියානීන් හා කමකට නැති පූජකයන් පල්ලිවල සිට තිබෙනවා” යන්න එක් විශාරදයෙකුගේ අදහසයි. “ඒ ගැන කිසිම කෙනෙකු කම්පනයට ලක් නොවන මෙන් ක්‍රිස්තුස්ම එය කලින් පැවසුවේය. එපමණක්ද නොව ඔහු තම සභාව හොඳ තිරිඟු හා කිරිඳි වැවෙන කෙතකටද සමාන කළේය. නොඑසේ නම් හොඳ මත්ස්‍යයන් හා නරක මත්ස්‍යයන් හසු වන දැලකට සමාන කළේය. තමාගේ අපෝස්තුළුවරුන් අතර යූදස්ට පවා සිටීමට ඉඩහැරියේය.” *

එම විශාරදයා මෙසේද පවසයි. “මැණිකක් ඔබ්බවා තිබෙන ආකාරය දෝෂ සහිත වුවත්, එම මැණිකේ වටිනාකම අඩු වෙන්නේ නැත. එලෙසම පූජකයෙකුගේ පාපතරභාවය නිසා . . . අනිවාර්යයෙන්ම ඔහු උගන්වන මූලධර්මවලට හානි සිදු නොවේ. . . . රත්‍රන් අල්ලන අත් පිරිසිදු වුණත් අපිරිසිදු වුණත් රත්‍රන් රත්‍රන්මය.” එක් කතෝලික ඉතිහාසඥයෙක් තර්ක කරන්නේ VIවන ඇලෙක්සැන්ඩර්ගේ තත්වය සම්බන්ධයෙන් අවංක කතෝලිකයන් පිළිපැදිය යුතුව තිබුණේ ලියන්නන් හා පරිසිවරුන් සම්බන්ධයෙන් යේසුස් දුන් උපදේශය බවයි. එනම් යේසුස් පැවසුවේ ‘ඔවුන් ඔබට කියන සියල්ල කරන්න. නමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න’ යනුවෙනි. (මතෙව් 23:2, 3, NW) එහෙත්, ඇත්තෙන්ම එවන් තර්ක ඔබට ඒත්තු යනවාද?

මේ සැබෑ ක්‍රිස්තියානි ධර්මයද?

ක්‍රිස්තියානීන්යයි කියාගන්නා වූ අයගේ නියම තත්වය ගැන පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් යේසුස් දුන්නේ සරල මාර්ගෝපදේශයකි. “ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකිය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදිවත්, ගොකටුවලින් අත්තික්කාවත් නෙළාගනිත්ද? හොඳ ගස හොඳ පල දරයි. නරක ගස නරක පල දරයි. හොඳ ගසේ නරක පලවත්, නරක ගසේ හොඳ පලවත් හටගන්නේ නැත. මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳිනගන්නහුය.”—මතෙව් 7:16-18, 20, නව අනුවාදය.

සමස්තයක් වශයෙන් ගත් කල, ආගමික නායකයන් සියවස් ගණනාවක් පුරාම කටයුතු කර තිබෙන ආකාරය, යේසුස් විසින් ස්ථාපිත කරනු ලැබූ සහ ඔහුගේ සැබෑ අනුගාමිකයන් විසින් අනුගමනය කරනු ලැබූ සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ රටාව සමඟ ගැළපෙන්නේ කෙසේද? දැන් ඔවුන් කටයුතු කරන ආකාරය සමඟ ගැළපෙන්නේ කෙසේද? අපි පැති දෙකක් ගැන පමණක් සලකා බලමු. ඒවා නම් දේශපාලනික මැදිහත් වීම් සහ ජීවත් වන ආකාරයයි.

යේසුස් වනාහි ලෞකික රජෙකු වූයේ නැත. ඔහු කොතරම් සරල නිහතමානි ජීවිතයක් ගත කළාද කිවහොත් ඔහුට “හිස තබන්ට තැනක් නැත” යයි ඔහුම පිළිගත්තේය. ඔහුගේ රාජ්‍යය ‘ලෝකයෙන් නොවීය.’ තවද ඔහුගේ ගෝලයෝ “[ඔහු] ලෝකයේ කොටසක් නොවන්නා සේම . . . ලෝකයේ කොටසක් නොවෙති.”—මතෙව් 8:20; යොහන් 6:15; 17:16; 18:36, NW.

කෙසේවෙතත්, ආගමික සංවිධාන බලය හා ද්‍රව්‍යමය වාසි ප්‍රයෝජන ලබාගැනීම සඳහා සියවස් ගණනාවක් පුරා දේශපාලනික පාලකයන් සමඟ නොමනා සම්බන්ධකම් පවත්වා ඇති බව සත්‍යයක් නොවේද? මෙය සාමාන්‍ය ජනතාවට දුක් ගැහැට පැමිණවීමට හේතු වී නැද්ද? ඔවුන්ගේ බොහොමයක් පූජකයන් සුඛෝපභෝගී ජීවිත ගත කරද්දී, ඔවුන්ගේ සේවය ලැබිය යුතු බහුතරයක් ජනතාව අන්ත අසරණ දුගීකමෙන් මිරිකී සිටින්නේ නැද්ද?

යේසුස්ගේ අර්ධ සහෝදර යාකොබ් සඳහන් කළේ මෙයයි. “පරදාර සේවනයේ යෙදෙන්නෙනි, ලෝකය සමඟ මිතුරුකම දෙවි සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද්ද? එබැවින්, යමෙක් ලෝකයේ මිතුරෙක් වන්න කැමති නම් ඔහු තමාව දෙවිගේ සතුරෙක් කරගන්නේය.” (යාකොබ් 4:4, NW) “දෙවිගේ සතුරෙක්” යයි හඳුන්වා තිබෙන්නේ ඇයි? පළමුවෙනි යොහන් 5:19හි [NW] සඳහන් වන්නේ “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්ව තිබෙන” බවය.

මේ අනුව, VIවන ඇලෙක්සැන්ඩර්ගේ සදාචාරය සම්බන්ධව, බෝජාගේ කාලයේ විසූ ඉතිහාසඥයෙකු ලියුවේ මෙසේයි. “ඔහුට තිබුණේ සල්ලාල කාමුක ජීවිත රටාවකි. ලජ්ජාවවත් අවංකකමවත් ඔහු දැන සිටියේ නැත. ඇදහිල්ලවත් ආගමවත් ඔහු දැන සිටියේ නැත. ඔහුට තිබුණේ නොසංසිඳෙන තණ්හාවකි. අධික අභිලාෂකාමිත්වයකි. ඉතා ම්ලේච්ඡ කෲරත්වයකි. තමන්ගේ දරුවන් බොහෝදෙනෙකු දියුණු වෙනවා දැකීම සඳහා දැවෙන ආශාවකි.” එහෙත්, පල්ලියේ නායකයන් අතුරින් මේ අයුරින් ක්‍රියා කළ එකම සාමාජිකයා බෝජා පමණක්ම නොවේ.

එවන් හැසිරීමක් ගැන ශුද්ධ ලියවිලිවල කියන්නේ කුමක්ද? “අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද?” යයි ප්‍රේරිත පාවුල් ඇසුවේය. “මුළා නොවන්න. වේශ්‍යාකම් කරන්නන්ටවත්, . . . පරදාර සේවනයේ යෙදන්නන්ටවත්, . . . ගිජුකමක් ඇති අයටවත්, . . . දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.”—1 කොරින්ති 6:9, 10, NW.

බෝජා පවුල පිළිබඳව රෝමයේ මෑතකදී පැවති මෙම ප්‍රදර්ශනයේ ප්‍රකාශිත එක් පරමාර්ථයක් වූයේ, “මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ව ඔවුන් විසූ ඓතිහාසික පසුබිම තුළ තබමින් . . . [ඔවුන්ව] අවබෝධ කරගැනීම මිස ඔවුන්ගේ පාපවලින් ඔවුන්ව නිදහස් කිරීමවත්, හෙළා දැකීමවත් නොවේ.” ඇත්තෙන්ම, තමන්ගේම නිගමනවලට එළඹීමට ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අමුත්තන්ට ඉඩ සලසන ලදි. ඉතින් ඔබ එළැඹි නිගමනය කුමක්ද?

[පාදසටහන්වල]

^ 20 ඡේ. මෙම උපමාවල නිවැරදි පැහැදිලි කිරීම කුමක්දැයි දැනගැනීම සඳහා 1995 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 5-6 පිටුද, 1992 ජූනි 15 (සිංහලෙන් නැත) කලාපයේ 17-22 දක්වා පිටුද බලන්න.

[26වන පිටුවේ පින්තූරය]

රොද්‍රිගෝ බෝජා හෙවත් VIවන ඇලෙක්සැන්ඩර් පාප්

[27වන පිටුවේ පින්තූරය]

ලුක්‍රේෂියා බෝජාගේ පියා ඇයව යොදාගත්තේ ඔහුගේ බලය තව තවත් ශක්තිමත් කරගැනීමටය

[28වන පිටුවේ පින්තූරය]

චසාරේ බෝජා අභිලාෂකාමියෙකු හා දූෂිතයෙකු විය

[29වන පිටුවේ පින්තූරය]

ගිරොලාමො සැවොනාරොලාව නිශ්ශබ්ද කිරීමට නොහැකි වූ නිසා ඔහුව එල්ලා පුලුස්සන ලදි