Skip to content

පටුනට යන්න

වසර 60ක සිට මිෂනාරි පුහුණුව දෙන ගිලියද් පාසැල

වසර 60ක සිට මිෂනාරි පුහුණුව දෙන ගිලියද් පාසැල

වසර 60ක සිට මිෂනාරි පුහුණුව දෙන ගිලියද් පාසැල

“අපි දැඩි වෙහෙසක් දරා බයිබලය අධ්‍යයනය කළ නිසා තව තවත් යෙහෝවාට ළං වුණා. ඔහුගේ සංවිධානය ගැන තව බොහෝ දේවල් දැනගත්තා. මේ දැනුම විදේශ පැවරුමක යෙදෙන්න අපිට රුකුලක් වුණා.” ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේදී තමා නියැලුණ අධ්‍යයන පාඨමාලාව සම්බන්ධයෙන් මුල් පංතියේ උපාධිධාරිණියක් පැවසුවේ එලෙසය. වසර 60කට පෙර ගිලියද් පාසැල ඇරඹි දා පටන් මිෂනාරිවරුන්ව යවනු ලබයි. නිව් යෝක්, පැටර්සන්හි මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානයෙහි 2003 මාර්තු 8වන දා 114වන පංතිය පැවැත්විණ. ශ්‍රවණාගාරයෙහි හා චන්ද්‍රිකා මගින් වැඩසටහන විකාශනය කර තිබූ වෙනත් ස්ථානවල එක්රැස් වූ 6,404දෙනා කතා, සම්මුඛ සාකච්ඡා සහ කණ්ඩායමක් සමඟ පැවැත්වූ සාකච්ඡා ඇතුළත් වැඩසටහනට සාවධානව සවන් දුන්හ.

පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන තියඩෝ ජැරැස් සභාපතිකම හෙබවිය. පැවසූ මුල් වදන් පෙළින්ම ඔහු ආසියාව, කැරිබියන් දූපත්, මධ්‍යම හා දකුණු අමෙරිකාව සහ යුරෝපය යන නන් දෙසින් පැමිණ සිටි ජාත්‍යන්තර සභිකයන් වෙතට අවධානය යොමු කළේය. තම අදහස් 2 තිමෝති 4:5 මත පදනම් කරගනිමින් සහෝදර ජැරැස්, ගිලියද්හි පුහුණුව ලද මිෂනාරිවරයෙකුගේ ප්‍රධාන කාර්යය වන්නේ “එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය” කිරීම බව හුවා දැක්වීය. ජනයාට බයිබලය උගන්වමින් මිෂනාරිවරු සත්‍යයට සාක්ෂි දරති.

ශිෂ්‍යයෝ අවසාන උපදෙස් ලබති

එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙකු වන ජෝන් ලාසන් කෙටි කතා මාලාවකට මුලපුරමින් “දෙවි අපේ පැත්තේ නම්, අපට විරුද්ධ වන්නේ කවුද?” යන ඇදහිල්ල ශක්තිමත් කරවන විෂය ගැන කතා කළේය. (රෝම 8:31, NW) තමන්ගේ පැවරුම්වලදී ශිෂ්‍යයන්ට මුහුණ දීමට සිදු විය හැකි ඕනෑම බාධාවක් ජයගැනීමට උපකාර කිරීම සඳහා යෙහෝවා සතු බලය කෙරෙහි ස්ථිර නිසැකකමක් තබාගැනීම සඳහා තිබෙන බයිබල් පදනම ගැන කථිකයා පැහැදිලි කළේය. රෝම 8:38, 39 ගෙන හැර දක්වමින් සහෝදර ලාසන් ශිෂ්‍යයන්ට මෙසේ උනන්දුමත් ලෙස අවවාද කළේය. “ඔබ වෙනුවෙන් දෙවි යොදන බලය ගැන මොහොතකට නැවතී කල්පනා කරන්න. ඔබ සමඟ යෙහෝවා ඇති කරගෙන තිබෙන පෞද්ගලික බැඳීම බිඳින්න කිසිම දෙයකට නොහැකි බව මතක තබාගන්න.”

වැඩසටහනේ ඊළඟට සිටියේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ගයි පියස්ය. මොහු තෝරගත්තේ “ඔබේ ඇස් සන්තෝෂවත්ව තබාගන්න” යන තේමාවය. (ලූක් 10:23, NW) යෙහෝවාව දැනගැනීම හා බයිබල් අනාවැකිවල ඉටුවීම දකිමින් ඔහුගේ සදාකාල අරමුණ තේරුම්ගැනීම සැබෑ සන්තෝෂයට ඇතුළත් වන බව ඔහු පැහැදිලි කළේය. තම ඇස් සන්තෝෂවත්ව තබාගැනීමෙන් තමන් යන ඕනෑම තැනකදී සැබෑ සන්තෝෂය පවත්වාගැනීමට ශිෂ්‍යයන්ට හැකියි. යෙහෝවාගේ යහපත්කම පිළිබඳව ගැඹුරෙන් මෙනෙහි කිරීමටත්, ඔහුගේ කැමැත්ත කිරීම සඳහා තම මනස් හා හෘදයන් යොමු කර තබාගැනීමටත් උපාධිලාභීන්ට සහෝදර පියස් දිරිගැන්වීය. (ගීතාවලිය 77:12) ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙද්දී, ධනාත්මක ආකල්පයක් පවත්වාගැනීමෙන් ඒවා ජයගැනීමට උපාධිලාභීන්ට හැකිය.

දිනපතා ඉගැන්වූ උපදේශකයන් දෙදෙනෙකුගෙන් සමුගැනීමේදී දිරිගන්වන වදන් පංතියට ලැබිණ. ලෝරන්ස් බොවන් තම කතාවේ මාතෘකාව වශයෙන් යොදාගත්තේ “ඔබ ගෞරවය සොයමින් සිටිනවාද?” යන ප්‍රශ්නයයි. බොහෝදෙනා ගෞරවය සම්බන්ධයෙන් කල්පනා කරන්නේ, එය තමන්ට ප්‍රශංසාව, කීර්තිය සහ හොඳ නාමයක් ලැබීමක් වශයෙනි. කෙසේ වුවද, ගීතිකාකාර ආසාප් සැබෑ ගෞරවය කුමක්දැයි ක්‍රමානුකූලව වටහාගත්තේය. එය මිල කළ නොහැකි වස්තුවක් වන යෙහෝවා සමඟ ඇති ආශීර්වාද ලත් සබඳතාවයි. (ගීතාවලිය 73:24, 25) උපාධිලාභී ශිෂ්‍යයන්ට දිරිගන්වනු ලැබුවේ බයිබලය නොකඩවා ගැඹුරට අධ්‍යයනය කිරීම මගින් යෙහෝවා සමඟ සමීප සබඳතාවක් පවත්වාගැනීමටය. ක්‍රිස්තුස් මගින් යෙහෝවාගේ අරමුණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේවදූතයෝ කරුණු “සොයා බැලීමට ආශාවෙන් සිටිති.” (1 පේතෘස් 1:12, NW) දෙවිගේ මහිමය පිළිබිඹු කිරීම සඳහා තම පියාණන් ගැන හැකි තරම් දුරට ඉගෙනගැනීමට ඔවුන්ට වුවමනාය. මේ අවස්ථාවේදී කථිකයා ඉතා ඕනෑකමින් ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ එම මිල කළ නොහැකි වස්තුව සොයාගැනීමට අන්‍යයන්ට උපකාර කිරීමෙන් තම මිෂනාරි පැවරුම්වලදී යෙහෝවාව මහිමයට පත් කරන්න කියාය.

පාසැලේ රෙජිස්ට්‍රාර් වූ වොලස් ලිවරන්ස් ‘දෙවිගේ ප්‍රඥාව පරිශුද්ධ රහසක් තුළින් කතා කරන්න’ නමැති තේමාව යටතේ කතා කරමින් ආරම්භක කතා මාලාව නිම කරන ලදි. (1 කොරින්ති 2:7, NW) ප්‍රේරිත පාවුල් තම මිෂනාරි සේවයේ නියැලුණ අවදියේදී කතා කළ මෙම දිව්‍ය ප්‍රඥාව කුමක්ද? එය මුළු ලොවට සාමය හා සමඟිය ගෙනෙන යෙහෝවාගේ ඥානවන්ත හා ප්‍රබල මාධ්‍යයයි. මෙම ප්‍රඥාව කේන්ද්‍රගතව තිබෙන්නේ යේසුස් මතයි. සමාජයේ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරනවාට වඩා පාවුල් ජනයාට උපකාර කළේ ආදම්ගේ පාපයේ ප්‍රතිඵල දෙවි විසින් ඉවත් කරනු ලබන ආකාරය අවබෝධ කරගැනීමටය. (එෆීස 3:8, 9) සවන් දී සිටි අයට කථිකයා මෙසේ උනන්දු කළේය. “පාවුල් තම මිෂනාරි පැවරුම සැලකුවේ යෙහෝවා සිය අරමුණ ඉටු කරන ආකාරය අවබෝධ කරගැනීමට ජනයාට උපකාර කිරීමේ ප්‍රස්තාවක් හැටියටය. ඔබේ සේවා වරප්‍රසාදයද එලෙසම සලකන්න.”

ඉන්පසු, තවත් ගිලියද් උපදේශකයෙකු වූ මාක් නූමෙයර් පංතියේ ශිෂ්‍යයන් කීපදෙනෙකු සමඟ උනන්දුව දනවන සංවාදයක් පැවැත්විය. “දේවවචනය අධ්‍යයනය කිරීමෙන් ජ්වලිත දේවසේවකයන් බිහි වෙයි” යන තේමාවෙන් රෝම 10:10හි වූ පාවුල්ගේ වදන් හුවා දැක්විය. පාසැලට සහභාගි වන අතරේ තමන් ක්ෂේත්‍ර සේවයේදී ලද ප්‍රීතිමත් අද්දැකීම් ගණනාවක්ම පංතිය විසින් ඉදිරිපත් කරනු ලැබීය. අප දෙවිගේ වචනය, යෙහෝවා දෙවි පිළිබඳ යහපත් දේවල් සහ ඔහුගේ රාජ්‍යය ගැන අධ්‍යයනය කරන විට හා මෙනෙහි කරන විට ඒවා අපේ හදවතේ පිරී, අපේ තොල් අග රැඳී තිබෙනු ඇති බව ඔවුන්ගේ අද්දැකීම් මගින් පෙන්නුම් කෙරිණ. ශිෂ්‍යයෝ මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානයේ ගත කළ මාස පහ තුළදී, ළඟපාත සභා නිතර වැඩ කළ බලප්‍රදේශයන්හි පවා උනන්දුව දැක්වූ අය සමඟ නිවාස බයිබල් පාඩම් 30කට වැඩිය පටන්ගත්හ.

මේරූ අයගේ මේරූ උපදෙස්

ශිෂ්‍යයෝ පාසැලේ සිටි අවදියේදී එක්සත් ජනපදයේ බෙතෙල් පවුලේ සාමාජිකයන් සමඟ ඇසුරු කිරීමෙන් ප්‍රයෝජන ලැබූහ. ශාඛා කාර්යාලයේ සාමාජිකයන් දෙදෙනෙකු වූ රොබට් සිරැන්කෝ සහ රොබට් පී. ජොන්සන්, දිගු කලක සිට යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ව සිටි කීපදෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වූහ. ඒ කාලයේදීම, මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානයේ විශේෂ පුහුණුවක් ලබමින් සිටි සංචාරක අවේක්ෂකයන්ද ඊට ඇතුළත් විය. සම්මුඛ සාකච්ඡාවට ඇතුළත් වූ සියලුදෙනාම කලක් මිෂනාරිවරුන් හැටියට සේවය කර තිබූ ගිලියද් උපාධිලාභීන්ය. මෙම පළපුරුදු ආත්මික පුරුෂයන්ගේ ප්‍රඥාවේ වදන්වලට සවන් දීම ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම මිත්‍රයන්ට බිය සැක දුරු කරවන්නක් විය.

ඔවුහු මෙවැනි උපදෙස්ද දුන්හ. “දේවසේවයේ සහ සභාවේ වැඩකටයුතුවල හැකි තරම් කඩිසරව යෙදී සිටින්න.” “ඕනෑවට වඩා ඔබ ගැන නොසිතන්න. මිෂනාරිවරයෙකු ලෙස ඔබේ අරමුණ කෙරෙහිම යොමු වී සිටින අතර ඔබේ පැවරුම ඔබේ නිවහන කරගන්න.” තමන්ට කොතැනක පැවරුම ලැබුණත් හොඳ සේවයක් කිරීමට ගිලියද් පුහුණුව දේවසේවකයෙකුව කෙතරම් සන්නාහ සන්නද්ධ කරනවාද කියා වෙනත් උපකාරවත් අදහස්වලින්ද පෙන්නුම් කෙරිණි. මේ ඒවායින් සමහරකි. “අපි සහයෝගයෙන් එකට වැඩ කරන්න ඉගෙනගත්තා.” “අලුත් සංස්කෘතීන් භාරගන්න, පාසැල අපට උපකාර කළා.” “නව එළඹීමකට අනුව ශුද්ධ ලියවිලි භාවිත කරන්න අපිට ඉගැන්නුවා.”

පාලක මණ්ඩලයේ දිගු කලක පටන් සාමාජිකයෙකුව සිටින ජෝන් ඊ. බාර් වැඩසටහනේ ප්‍රධාන කථාව දුන්නේය. ඔහුගේ ශුද්ධ ලියවිලිමය තේමාව වූයේ “ලොව පුරා ඔවුන්ගේ හඬ පැතිර ගියේය” යන්නය. (රෝම 10:18, NW) මෙම අසීරු කාර්යය කරන්න දෙවිගේ ජනයාට පුළුවන් වී තිබෙනවාද යන ප්‍රශ්නය ඔහු ඉදිරිපත් කළේය. ඔව්, ඇත්තෙන්ම! ඈත අතීතයේ 1881දී මුරටැඹ සඟරාව කියවන්නන්ගෙන් මෙලෙස අසන ලදි. “ඔබ දේශනා කරමින් සිටිනවාද?” ඉන්පසු කථිකයා අ.එ.ජ. ඔහයෝ සීඩා පොයින්ට්හි 1922දී පැවැත්වූ සමුළුවේදී කරන ලද ඓතිහාසික කැඳවීම සබයට සිහිගැන්වීය. “රජ සහ ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න!” ගෙවී ගිය කාලය පුරා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ජ්වලිතය, සියලු ජාතීන්ට මවිතාකාර රාජ්‍ය සත්‍යයන් ප්‍රකාශ කිරීමට පෙලඹවිය. මුද්‍රිත පිටු මගින් හා කට වචනයෙන් ප්‍රකාශ කළ ශුභාරංචියේ වදන් ජනාවාස පොළොවේ සීමාන්තයන් දක්වා ගොස් තිබෙන්නේ යෙහෝවාට ගෞරවය හා ප්‍රශංසාව ගෙන එමිනි. තම ආශීර්වාද ගණනය කර බලන්න කියා උපාධිධාරීන්ට අනුශාසනා කරමින් සහෝදර බාර් හද දනවන අයුරින් මෙසේ නිම කළේය. “ඔබේ පැවරුම ඉට කරගෙන යෑමේදී ඔබ දිනෙන් දින යෙහෝවාට යාච්ඤා කරන විට ‘ඔවුන්ගේ හඬ ලොව පුරා පැතිර ගියේය’ යන වදන් ඉටු කිරීම සඳහා දායක වෙන්න ඔබට හැකිවීම ගැන ඔබේ හද පත්ලෙන්ම ස්තුති කරන්න.”

මේ කතාවෙන් පසු සුබපැතුම් නිවේදනය කළ අතර සභාපති විසින් සෑම උපාධිලාභියෙකුටම උපාධි පිරිනැමුවේය. ඉන්පසු, ප්‍රීතියෙන් මෙන්ම හද බැඳි පාසැල දමා යෑමට සිදුවීමේ දුක් මුසු හැඟීමෙන් යුතුව ශිෂ්‍යයෙක් පංතිය නියෝජනය කරමින් පාලක මණ්ඩලය හා බෙතෙල් පවුල අමතමින් හෘදයාංගම සම්මුතියක් කියෙව්වේය. උපාධිලාභීන් “මෙතැන් පටන් සදාකල්ම” යෙහෝවාට ප්‍රශංසා කිරීමේ අධිෂ්ඨානය ගෙන තිබූ බව එහි වදන්වලින් කියැවිණ.—ගීතාවලිය 115:18.

මෙතෙක් වසර 60ක් පුරා උපාධිලැබූවන් කළා සේම ලොව පුරා දේශනා වැඩයේ ප්‍රගතිය සඳහා කදිම දායකත්වයක් සපයමින් තම නව නිවාසස්ථානවලට මෙම උපාධිලාභීන්ට හොඳින් හුරුවීමට හැකි වේවා කියා අපි යාච්ඤා කරන්නෙමු.

[23වන පිටුවේ කොටුව]

පංතියේ දත්ත

නියෝජිත රටවල් සංඛ්‍යාව: 12

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 16

ශිෂ්‍ය සංඛ්‍යාව: 48

වයස් සාමාන්‍යය: 34.4

සත්‍යය තුළ සිටි වසර ගණනේ සාමාන්‍යය: 17.6

පූර්ණ කාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13.5

[24වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 114වන පංතිය

පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබේ.

(1) රෝසා, ඩී.; ගාරිගෝලාස්, ජේ.; ලින්ඩ්ස්ට්‍රම්, ආර්.; පාවනෙලෝ, පී.; ටේට්, එන්. (2) වාන් හවුට්, එම්.; ඩොනබවර්, සී.; මාර්ටිනෙස්, එල්.; මිලර්, ඩී.; ෆෙස්ට්‍රේ, වයි.; නටර්, එස්. (3) මාර්ටිනෙස්, පී.; ක්ලාර්ක්, එල්.; මෝන්, බී.; ෆිෂර්, එල්.; රෝමෝ, ජී. (4) රෝමෝ, ආර්.; ඊඩී, එස්.; ටයිමන්, සී.; කැම්බල්, පී.; මිලර්, ඩී.; රෝසා, ඩබ්. (5) ලින්ඩ්ස්ට්‍රම්, සී.; ගාරිගෝලාස්, ජේ.; මාර්කවිච්, එන්.; ලින්ඩාලා, කේ.; වාන් ඩෙන් හවල්, ජේ.; ටේට්, එස්.; නටර්, පී. (6) මෝන්, පී.; පාවනෙලෝ, වී.; ඊඩී, එන්.; වෙස්ට්, ඒ.; ක්ලාර්ක්, ඩී.; මාර්කවිච්, ජේ. (7) ෆිෂර්, ඩී.; ඩොනබවර්, ආර්.; කරී, පී.; කරී, වයි.; කාර්ෆානෝ, ඩබ්.; වෙස්ට්, එම්.; ටයිමන්, ඒ. (8) වාන් හවුට්, එම්.; කැම්බල්, සී.; ෆෙස්ට්‍රේ, වයි.; කාර්ෆානෝ, සී.; වාන් ඩෙන් හවල්, කේ.; ලින්ඩාලා, ඩී.