නැතුවම බැරි ප්‍රේමය
නැතුවම බැරි ප්‍රේමය
වයස, සංස්කෘතිය, භාෂාව හෝ ජාතිය කුමක් වුවත් සෑමදෙනාටම ප්‍රේමය ලැබීමට දැඩි ආශාවක් තිබේ. එම ආශාව සන්සිඳුවන්නේ නැත්නම් ඔවුන්ගේ සතුට පලා යයි. වෛද්‍ය පර්යේෂකයෙක් මෙසේ ලීවේය. “අපව ලෙඩ කරන්නෙත් අපව සුව කරන්නෙත්, දුකට පත් කරන්නෙත් සතුට ළඟා කර දෙන්නෙත්, දුක් විඳින්න සලස්වන්නෙත් දුක තුනී කරගන්න මුල් වන්නෙත්, ප්‍රේමය හා ලෙන්ගතුකමයි. මෙවැනි බලපෑමක් සිදු කළ හැකි නව ඖෂධයක් ඇත්නම් රටේ වෙසෙන සෑම වෛද්‍යවරයෙකුම පාහේ තම ලෙඩුන්ට එය නිර්දේශ කරනු ඇත. එය නිර්දේශ නොකරන්නේ නම් ඒක නීති විරෝධී ක්‍රියාවක් වනු ඇත.”
එහෙත් නවීන සමාජය, විශේෂයෙන්ම එහි ජනමාධ්‍යය හා එහි ජනප්‍රිය පුද්ගලයන් හිතවත්, ප්‍රේමණීය සබඳතාවලට වඩා බොහෝවිට වැඩි අවධාරණයක් දෙන්නේ වස්තුව, බලය, කීර්තිය හා ලිංගික පෙලඹීම්වලටයි. උගතුන් බොහෝදෙනෙක් පරිබාහිර ඉලක්ක හා වෘත්තීන් ගැන ඉහළින් කතා කරමින් සාර්ථකත්වයට එකම මඟ එයයි කියා පවසති. අධ්‍යාපනය හා කෙනෙකුගේ කුසලතා ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව සැබෑවක් වන නමුත් තම පවුල හා මිතුරන් සඳහා වෙන් කිරීමට කාලයක් නොමැති වන තරමටම කෙනෙකු ඒවා කෙරෙහිම යොමු විය යුතුද? මිනිසාගේ ස්වභාවය පිළිබඳ නිපුණ නිරීක්ෂකයෙකු වූ උගත් පැරණි ලේඛකයෙකු, කුසලතා ඇති නමුත් ප්‍රේමය නැති පුද්ගලයෙකුව සමාන කළේ ‘හඬනඟන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකටයි.’ (1 කොරින්ති 13:1) එවැනි අය ධනවත් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් විය හැකි නමුත් කිසිදාක නියම සතුටක් ලබන්නේ නැත.
මිනිසා පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණාවූද ඔවුන් කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වුවාවූද යේසුස් ක්‍රිස්තුස් තම ඉගැන්වීම්වල ප්‍රධාන කරුණක් ලෙස දෙවිට හා අසල්වැසියාට දක්වන ප්‍රේමය ගෙනහැර පෑවේය. ඔහු පැවසුවේ මෙයයි. “ඔබ ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු සිතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කළ යුතුය. . . . ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ඔබ ප්‍රේම කළ යුතුය.” (මතෙව් 22:37-39, NW) ඇත්තෙන්ම යේසුස්ගේ අනුගාමිකයන් වනු ඇත්තේ මෙම වචන පිළිපදින අය පමණි. මෙබැවින් “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත” කියා ඔහු පැවසුවේය.—යොහන් 13:35, NW.
එහෙත්, වත්මන් ලෝකයේ සිටින කෙනෙක් කෙසේද ප්‍රේමය වර්ධනය කරගන්නේ? එමෙන්ම තම දරුවන්ට ප්‍රේමය ඉගැන්වීමට දෙමාපියන්ට හැකි වන්නේ කෙසේද? මතු ලිපියෙහි මෙම ප්‍රශ්න ගැන සලකා බැලෙනු ඇත.
[3වන පිටුවේ පින්තූර]
ගිජුකමට යට වී ඇති ලෝකයක ප්‍රේමය වර්ධනය කිරීම අභියෝගයකි