Skip to content

පටුනට යන්න

නොප් සහ නෝ අද කොහෙද?

නොප් සහ නෝ අද කොහෙද?

නොප් සහ නෝ අද කොහෙද?

නොප් සහ නෝ යනු කලක් ඊජිප්තුවේ සුප්‍රසිද්ධ අගනගර දෙකක් වූ මෙම්ෆිස් සහ තීබ්ස් සඳහා බයිබලයේ භාවිත කරන නාමයන් දෙකකි. නොප් (මෙම්ෆිස්) නගරය පිහිටා තිබුණේ නයිල් ගඟේ බටහිර දිශාවට වෙන්නත් කයිරෝ නගරයේ සිට කිලෝමීටර 23ක් එපිටින් එම නගරයට දකුණු දිශාවට වෙන්නත්ය. ඊජිප්තුවේ අගනගරය ලෙස මෙම්ෆිස් සතුව තිබූ තත්වය කාලයක් යන විට අහිමි වී ගියේය. ඉන්පසු පොදු යුගයට පෙර 15වන ශතවර්ෂයේ ආරම්භයේදී මෙම්ෆිස් නගරයට දකුණු දිශාවෙන් කිලෝමීටර 500ක් පමණ එපිටින් පිහිටි නෝ (තීබ්ස්) ඊජිප්තුවේ අගනගරය බවට පත් විය. තීබ්ස් නගරයේ තිබුණාවූ බොහෝ දේවස්ථානවල නටඹුන් අතර මෙතෙක් ඉදි කර ඇති ඉතා දැවැන්ත කුලුනු සහිත පූජාසනය පිහිටා තිබුණේ කානාක් ප්‍රදේශයේයි. තීබ්ස් සහ එහි ඇති කානාක්හි පූජාසනය කැප කර තිබුණේ ඊජිප්තුවේ ප්‍රධාන දෙවියා වන ආමොන්ට නමස්කාර කිරීමටයි.

මෙම්ෆිස් සහ තීබ්ස් යන නගර පිළිබඳව බයිබල් අනාවැකිවල පවසා තිබුණේ කුමක්ද? ඊජිප්තුවේ පාරාවෝට සහ එහි දෙවිවරුන්ට, විශේෂයෙන්ම ප්‍රධාන දෙවියා වන “නෝහි ආමොන්ට” එරෙහිව විනිශ්චය ප්‍රකාශ කර තිබිණ. (යෙරෙමියා 46:25, 26) නමස්කාර කිරීම සඳහා එම නගරයට රැස් වූ සෙනඟ ‘සිඳ දමනවා ඇත’යනුවෙන් පවසා තිබූ පරිද්දෙන්ම සිදු විය. (එසකියෙල් 30:14, 15) ආමොන්ට කළ නමස්කාරයේ ඉතිරි වී තිබෙන්නේ නටඹුන් වූ පූජාසන පමණයි. නවීන දින ලුක්සෝ නගරය පිහිටා තිබෙන්නේ පුරාණ තීබ්ස් නගරයේ කොටසක වන අතර එහි නටඹුන් අතර කුඩා ගම්මාන කිහිපයක් පමණක් ඉතිරි වී තිබේ.

මෙම්ෆිස් නගරයේ සොහොන් පිටි හැර වෙන ඉතුරු වූ යමක් නැති තරම්. “සියවස් ගණනාවක් පුරා ඊජිප්තුව යටත් කරගෙන සිටි අරාබිවරු නයිල් ගඟට මුහුණ ලා ඉදි කළ තම අගනුවර වන කයිරෝ තැනීම සඳහා මෙම්ෆිස්හි තිබූ අතිදැවැන්ත නටඹුන්වල සෑම අංශු මාත්‍රයක්ම යොදාගත්හ. නයිල් ගඟේ සෝදාපාළුව නිසාත් අරාබීය ගොඩනඟන්නන්ගේ කටයුතු එතරම් සාර්ථක වූ නිසාත් පුරාණ නුවර පිහිටි ස්ථානය අවට සැතපුම් ගණනාවක් පුරාම කලු පසට උඩින් එක ගලක්වත් නෙරා ඇවිත් තිබෙනු අද දින දක්නට ලැබෙන්නේ නැත” කියා බයිබල් විශාරදයෙක් වන ලුවි ගොල්ඩින් පවසයි. බයිබලයේ කලින් පුරෝකථනය කර තිබූ ලෙස මෙම්ෆිස් “වැසියෙක් නැතුව පාළුවක් වී දවා දමනු ලබන්නේය” යන්න පැහැදිලිවම සත්‍යයක් විය.—යෙරෙමියා 46:19.

බයිබල් අනාවැකිවල නිරවද්‍යතාව පෙන්වීමට මෙය තවත් නිදසුන් දෙකක් පමණයි. තවමත් ඉටු නොවුණාවූ අනාවැකි කෙරෙහි විශ්වාසය තැබීමට තීබ්ස් සහ මෙම්ෆිස්වල විනාශය ශක්තිමත් පදනමක් ලබා දෙයි.—ගීතාවලිය 37:10, 11, 29; ලූක් 23:43; එළිදරව් 21:3-5.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photograph taken by courtesy of the British Museum