පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
හෙබ්‍රෙව් 2:14හි [NW] සාතන්ව, “මරණය ගෙන ඒමට බලය ඇති තැනැත්තා” ලෙස හඳුන්වා තිබෙන්නේ ඇයි?
කෙටියෙන්ම කියනවා නම් පාවුල් අදහස් කළේ සාතන්ට පෞද්ගලිකවම හෝ ඔහුගේ නියෝජිතයන් පාවිච්චි කර මනුෂ්‍යයන්ට මරණය ගෙන ආ හැකි බවයි. මීට එකඟව යේසුස් සාතන්ව හැඳින්වූයේ “පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්” ලෙසයි.—යොහන් 8:44, NW.
හෙබ්‍රෙව් 2:14වෙනි පදය සමහර පරිවර්තකයන් පරිවර්තනය කර තිබෙන්නේ “මරණය කෙරෙහි බලය ඇත්තා” හෝ “මැරීමට බලය ඇත්තා” යනුවෙනුයි. මේ නිසා යම් වැරදි වටහාගැනීම් ඇති විය හැකියි. (ශුද්ධ බයිබලය නව අනුවාදය; රිවයිස්ඩ් ස්ටෑන්ඩර්ඩ්; නිව් ඉන්ටනැෂනල් වර්ෂන්; ජෙරුසලම් බයිබල්) මෙවැනි පරිවර්තන නිසා සාතන්ට හිතුමතේට ඕනෑම කෙනෙකුව මරණයට පත් කිරීමට තරම් සීමා රහිත හැකියාවක් තිබෙනවා කියා කෙනෙකු සිතන්න පුළුවන්. කෙසේවෙතත් යථාර්ථය එය නොවෙයි. එය සත්‍යයක් වී තිබුණා නම්, මීට බොහෝ කලකට පෙර සාතන් යෙහෝවාගේ නමස්කාරකයන් සියලුදෙනාවම සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබේවි.—උත්පත්ති 3:15.
සමහර පරිවර්තනවල “මැරීමට බලය” ලෙසත් නිව් වර්ල්ඩ් පරිවර්තනයේ “මරණය ගෙන ඒමට බලය” ලෙසත් පරිවර්තනය කර තිබෙන්නේ “ක්රේටොස්ටුතානේටු” යන ග්‍රීක යෙදුමයි. ටුතානේටු කියන්නේ “මරණය” නමැති වචනයේ එක් ස්වරූපයකි. ක්රේටොස් යන වචනය මූලිකවම යොමු දක්වන්නේ “බලය, ශක්තිය සහ බලපරාක්රමයටයි.” තියොලොජිකල් ඩික්ෂනරී ඔෆ් ද නිව් ටෙස්ටමන්ට් එකට අනුව මෙහි තේරුම නම් “ශක්තියේ හෝ බලයේ වැදගත්කම හා එහි පැවැත්ම මිසක එය ක්‍රියාත්මක කිරීම නොවේ.” මේ අනුව, හෙබ්‍රෙව් 2:14හි පාවුල් සාතන්ට මරණය ගෙන ඒමට පූර්ණ බලය ඇති බවට අඟවන්නේ නැහැ. ඊට වෙනස්ව ඔහු පෙන්නුම් කළේ කෙනෙකුව මරණයට පත් කිරීමට හැකියාව හෝ ඉඩ කඩ සාතන්ට තිබෙන බවයි.
සාතන් “මරණය ගෙන ඒමට [තමා සතු] බලය” පාවිච්චි කරන්නේ කොහොමද? අපිට යෝබ් පොතේ කියවීමට තිබෙන්නේ විශේෂිත අවස්ථාවක් ගැනයි. එහි පෙන්නුම් කරන්නේ සාතන් යෝබ්ගේ දරුවන්ව ‘මරණයට පත් කිරීමට’තද සුළඟක් උපයෝගී කරගත් බවයි. නමුත් සාතන්ට මෙය කළ හැකි වූයේ දෙවිගේ අවසරය ඇතුව පමණක් බව සැලකිල්ලට ගැනීම වටී. මෙම අවසරය දෙනු ලැබුවේ ඉතා වැදගත් විෂයක් සම්බන්ධ තීරණයක් ගත යුතුව තිබුණු නිසයි. (යෝබ් 1:12, 18, 19) නමුත් සාතන්ට යෝබ්ව මරණයට පත් කිරීමට නොහැකි වීමට හේතු වූයේ ඒ සඳහා දෙවි ඔහුට අවසර නොදුන් නිසයි. (යෝබ් 2:6) මෙයින් පෙනී යන්නේ සමහර අවස්ථාවලදී විශ්වාසවන්ත මනුෂ්‍යයන්ට මරණය ගෙන ඒමට සාතන්ට හැකිකම තිබුණද, ඔහුට අවශ්‍ය ඕනෑම විටකදීම අපව මරණයට පත් කිරීමට හැකි බව සිතමින් අප බිය විය යුතු නැති බවයි.
සාතන් මරණය ගෙන ඒම සඳහා තම මිනිස් නියෝජිතයන්වද පාවිච්චි කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමහර ක්‍රිස්තියානීන් තම ඇදහිල්ල නිසා මිය ගොස් ඇති අතර මින් සමහරදෙනෙකු මිය ගියේ ප්රකෝපකාරී මැර කණ්ඩායම් අතින් හෝ අයුක්තිසහගත ලෙස නීතිය ක්‍රියාත්මක කළ රජයේ නිලධාරීන් හෝ දූෂිත විනිශ්චයකාරයන් නිසයි.—එළිදරව් 2:13.
තවදුරටත් සාතන් මරණය ගෙන ඒමට මනුෂ්‍යයන්ගේ දුර්වලකම්ද ප්‍රයෝජනයට ගනී. ඊශ්‍රායෙල්ගේ කාලයේදී ප්‍රොපේත බාලාම් ‘යෙහෝවාට විරුද්ධව අපරාධ කරන්න’ ඊශ්‍රායෙලිතයන්ව පොලඹවා ගන්නා ලෙස මෝවබියවරුන්ට උපදෙස් දුන්නා. (ගණන් කථාව 31:16) මෙහි ප්‍රතිඵලය වූයේ ඊශ්‍රායෙලිතයන් 23,000කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වීමයි. ඒ හා සමානව අදත් සමහරු සාතන්ගේ “උපායවලට” අසුවී ලිංගික දුරාචාරයේ හෝ වෙනත් අභක්තික පුරුදුවල නියැලෙන්න පුළුවන්. (එපීස 6:11, NW) ඔවුන් එම පාපය කළ විගසම මරණයට පත් නොවන බව ඇත්තයි. නමුත් ඔවුන් සදාකාල ජීවනය අහිමි කරගැනීමේ අවදානමට ලක් වෙනවා. මේ ආකාරයෙන් සාතන් ඔවුන්ට මරණය ගෙන ඒමට සමත් වෙයි.
අපට හානි පමුණුවීමට සාතන්ට හැකියාව ඇති බව සැබෑවක් වුවද අපි ඒ ගැන හුඹස් බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැහැ. පාවුල් සාතන්ට මරණය ගෙන ඒමට බලය තිබෙනවා කියා පැවසූ අවස්ථාවේදී ‘[සාතන්ව]නැති කර දැමීමටත් . . . මරණයට භයෙන් මුළු ජීවිත කාලය පුරාම වහල්කමට පත්ව සිටි සියල්ලන්ව නිදහස් කිරීමටත්’ යේසුස්ට හැකි බවත් පැවසුවා. (හෙබ්‍රෙව් 2:14, 15, NW) ඇත්තෙන්ම යේසුස් මිදීමේ මිලයක් ගෙවා එය කෙරෙහි ඇදහිල්ල තබන මනුෂ්‍යයාව පාපයෙන් හා මරණයෙන් නිදහස් කරනු ලැබුවා.—2 තිමෝති 1:10.
ඇත්ත වශයෙන්ම සාතන්ට මනුෂ්‍යයන්ව මරණයට පත් කිරීමේ හැකියාව තිබෙනවා කියා සිතීම පවා බිය ගන්වන දෙයක් වුවද සාතන් හා ඔහුගේ නියෝජිතයන් කරන ඕනෑම හානියක් නැවත සකස් කිරීමේ හැකියාව යෙහෝවා දෙවිට තිබෙන බව අපිට සහතිකයි. නැවත නැගිටුවන ලද යේසුස් “යක්ෂයාගේ ක්‍රියා විනාශ” කරන බවට යෙහෝවා අපට පොරොන්දු වෙනවා. (1 යොහන් 3:8, NW) යෙහෝවාගේ බලයෙන් යේසුස් මළවුන් නැවත නැගිටුවන අතර මරණය මුළුමනින්ම නැති කරනු ඇති. (යොහන් 5:28, 29) අනාගතයේදී යේසුස් සාතන්ව ආගාධයට හෙළා දමනු ලබමින් සාතන්ගේ බලයේ සීමාව සවිස්තාරත්මකව ලෙස පෙන්වා දෙනු ඇති අතර අවසානයේදී ඔහුට සදාකාල විනාශය අත් කර දෙනු ලබයි.—එළිදරව් 20:1-10, NW.