Skip to content

පටුනට යන්න

“බලන්න! මේ අපේ දෙවිය”

“බලන්න! මේ අපේ දෙවිය”

“බලන්න! මේ අපේ දෙවිය”

මෙම පාඩම් ලිපි දෙකෙහි සාකච්ඡා කර තිබෙන තොරතුරු පදනම් වී තිබෙන්නේ යෙහෝවාට ළං වන්න නමැති පොත මතයි. මෙය මුදාහරිනු ලැබුවේ 2002/03 වසරවලදී ලොව පුරා පවත්වන ලද දිස්ත්‍රික් සමුළුවලදීය.—20වන පිටුවේ තිබෙන “එය මගේ හදවතේ තිබුණු අඩුවක් පිරෙව්වා” නමැති ලිපිය බලන්න.

“බලන්න! මේ අපේ දෙවිය. අප බලාපොරොත්තු තබා තිබෙන්නේ ඔහු කෙරෙහිය. ඔහු අපව ගලවයි. මේ තමයි යෙහෝවා.”—යෙසායා 25:9, NW.

1, 2. (අ) යෙහෝවා ආදි පිතෘ ආබ්‍රහම්ව හැඳින්වූයේ කෙසේද? මෙය අපට කුමක් ගැන කල්පනා කර බැලීමට හේතුවක් විය හැකිද? (ආ) දෙවි සමඟ සමීප සබඳතාවක් ඇති කරගැනීමට අපටත් හැකි බවට බයිබලය අපට සහතික වන්නේ කෙසේද?

“මාගේ මිත්‍රයා.” අහසෙත් පොළොවෙත් මැවුම්කරු වන යෙහෝවා ආදි පිතෘ ආබ්‍රහම්ව හැඳින්වූයේ එලෙසයි. (යෙසායා 41:8) මිනිසෙකුට මුළු විශ්වයේම පරමාධිපති ස්වාමීන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන, ඉන් ප්‍රීතිය ලැබීමට හැකිවීම ගැන ටිකක් සිතා බලන්න. ‘දෙවිට එලෙස ළං වෙන්න මටත් පුළුවන්ද’ කියා සමහරවිට ඔබ කල්පනා කළ හැකියි.

2 දෙවි සමඟ සමීප සබඳතාවක් ඇති කරගත හැකි බවට සහතිකයක් බයිබලය අපට සපයයි. ආබ්‍රහම් “යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබූ” නිසා එවන් සමීප සබඳතාවක් ඇති කරගැනීමේ වරප්‍රසාදය ඔහුට ලැබිණ. (යාකොබ් 2:23, NW) මේ කාලයෙත් යෙහෝවාගේ “මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.” (හිතෝපදේශ 3:32) යාකොබ් 4:8හි [NW] සඳහන් වන පරිදි බයිබලයේ අපෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටී. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.” යෙහෝවාට ළංවීමට අප පියවර ගන්නේ නම් ඔහු එයට ප්‍රතිචාරය දක්වන බව නිසැකයි. ඇත්තෙන්ම ඔහු අපට ළං වනු ඇත. එනමුත් පව්කාර අසම්පූර්ණ මිනිසුන් වන අප ඒ සඳහා මුල් පියවර ගත යුතුයි කියා එම දේවානුභාවය ලත් වචනවලින් අදහස් කරනවාද? කොහෙත්ම නැත. අපට යෙහෝවා සමඟ සමීප සබඳතාවක් ඇති කරගැනීමට හැකි වන්නේ අපේ ප්‍රේමණීය දෙවි වැදගත් පියවර දෙකක් ගෙන තිබෙන නිසාය.—ගීතාවලිය 25:14, NW.

3. අපට යෙහෝවා සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන, ඉන් ප්‍රීතිය ලැබීමට හැකි වන ලෙස ඔහු ගෙන තිබෙන පියවර දෙක කුමක්ද?

3 මුලින්ම යෙහෝවා යේසුස්ව යොදාගනිමින් විධිවිධානයක් යෙදීය. ඒ “බොහෝදෙනෙකු වෙනුවෙන් [ඔහුගේ] ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීම” සඳහාය. (මතෙව් 20:28, NW) එම මිදීමේ මිල පූජාව නිසා දෙවිට ළංවී සිටීමට අපට ප්‍රස්තාව උදා වී තිබේ. බයිබලයෙහි මෙසේ සඳහන් වේ. “අප ප්‍රේම කරන්නේ පළමුකොට ඔහු අපට ප්‍රේම කළ නිසාය.” (1 යොහන් 4:19, NW) දෙවි ‘පළමුකොට අපට ප්‍රේම කළ’ නිසා ඔහු සමඟ මිත්‍රත්වයක් ගොඩනඟාගැනීම සඳහා පදනම දැමුවේ ඔහුය. දෙවනුව, යෙහෝවා ඔහු පිළිබඳව තොරතුරු අපට හෙළි කර තිබේ. අප ඇති කරගන්න ඕනෑම මිත්‍රත්වයක බැඳීම රඳාපවතින්නේ මිත්‍රත්වය ඇති කරගනු ලබන තැනැත්තාව හොඳින් දැනගෙන, ඔහුගේ සුවිශේෂි ගතිලක්ෂණ අගය කිරීම මතයි. මෙයින් අදහස් කරන දෙය ගැන සිතා බලන්න. යෙහෝවා සොයා දැනගත නොහැකි දෙවි කෙනෙකු වූවා නම් අපට කවදාවත් ඔහුට ළංවීමට හැකි වන්නේ නැත. එහෙත් තමන් කවුරුන්ද කියා සඟවනවා වෙනුවට අප ඔහුව දැනහඳුනා ගන්නවාට ඔහු කැමති බව පෙන්නුම් කරයි. (යෙසායා 45:19) ඔහුගේ වචනය වන බයිබලයේ ඔහු ගැන තොරතුරු හෙළි කර තිබෙන්නේ අපට තේරුම්ගත හැකි භාෂාවක් යොදාගෙනයි. මෙයින් පෙනී යන්නේ ඔහු අපට ප්‍රේම කරනවා යන්න පමණක් නොව, අපේ ස්වර්ගික පියා හැටියට ඔහුව දැනහඳුනා ගෙන අප ඔහුට ප්‍රේම කරනවා දැකීමටත් ඔහු කැමති බවයි.

4. අප යෙහෝවාගේ ගුණාංග වඩාත් හොඳින් දැනගන්න විට අපට ඔහු ගැන හැඟෙනු ඇත්තේ කෙසේද?

4 කුඩා දරුවෙකු ඔහුගේ මිතුරන්ට ඔහුගේ පියාව පෙන්වා, “අර ඉන්නේ මගේ තාත්තා” කියා අව්‍යාජ සතුටකින් හා ආඩම්බරයකින් පවසනවා ඔබ කවදා හෝ දැක තිබෙනවාද? දෙවිට නමස්කාර කරන අයටත් යෙහෝවා ගැන එලෙස හැඟීමට හේතු බොහොමයක් තිබේ. “බලන්න! මේ අපේ දෙවි” කියා දෙවිට විශ්වාසවන්තව සේවය කරන අය හැඟීමෙන් යුතුව හඬ නඟා පවසන කාලයක් පැමිණෙන බව බයිබලයේ පුරෝකථනය කරයි. (යෙසායා 25:8, 9) අප යෙහෝවාගේ ගුණාංග වඩාත් හොඳින් තේරුම්ගන්න විට අපට සිටින හොඳම පියා මෙන්ම කිට්ටුම මිතුරා ඔහු බවට අපට දැනෙන හැඟීම තව තවත් වැඩි වනු ඇත. යෙහෝවාගේ ගුණාංග තේරුම්ගන්න විට ඔහුට වඩ වඩා ළංවීමට හේතු බොහොමයක් අපට තිබෙනු ඇත. එනිසා යෙහෝවාගේ ප්‍රධාන ගතිලක්ෂණ වන බලය, යුක්තිය, ප්‍රඥාව හා ප්‍රේමය ගැන බයිබලය හෙළි කරන තොරතුරු දැන් අපි පරීක්ෂා කර බලමු. මේ ලිපියේදී අප සාකච්ඡා කරන්නේ මුල් ගුණාංග තුන ගැනයි.

“බලයෙන් අතිමහත්ය”

5. “සර්වපරාක්‍රම තැනැත්තා” ලෙස යෙහෝවාව පමණක් හඳුන්වනු ලැබීම යෝග්‍ය වන්නේ මන්ද? ඔහු සතු ගරුබිය දනවන අතිමහත් බලය යොදාගන්නේ කුමන ආකාරවලින්ද?

5 යෙහෝවා “බලයෙන් අතිමහත්ය.” (යෝබ් 37:23, NW) යෙරෙමියා 10:6 මෙසේ පවසයි. “යෙහෝවා ඔබට සමාන වූ කිසිවෙක් නැත. ඔබ උතුම්ය. ඔබගේ නාමය පරාක්‍රමයෙන් උතුම්ව තිබේ.” වෙනත් කිසිම ජීවියෙකුට නොමැති අසීමිත බලයක් යෙහෝවාට තිබේ. ඔහුව පමණක් “සර්වපරාක්‍රම තැනැත්තා” ලෙස හඳුන්වනු ලබන්නේ ඒ හේතුව නිසාය. (එළිදරව් 15:3, NW) යෙහෝවා ඔහු සතු ගරුබිය දනවන අතිමහත් බලය මැවීමට, විනාශ කිරීමට, ආරක්ෂා කිරීමට හා යළි පිහිටුවීමට යොදාගනී. ඔහු බලය යොදාගන්න ආකාරය සම්බන්ධයෙන් උදාහරණ දෙකක් සලකා බලන්න. මෙම උදාහරණ දෙක ඔහු සතු මැවීමේ බලය සහ ආරක්ෂා කිරීමේ බලය ගැන විස්තර කරයි.

6, 7. සූර්යයා කොතරම් බලසම්පන්නද? එය සාක්ෂි සපයන්නේ කුමන වැදගත් සත්‍යය සම්බන්ධයෙන්ද?

6 ඔබ ග්‍රීස්ම දවසක එළිමහනේ සිටින විට ඔබේ ගතට දැනෙන්නේ කුමක්ද? හිරුගේ උණුසුමයි. ඇත්තෙන්ම මෙහිදී ඔබට දැනෙන්නේ යෙහෝවා සතු මැවීමේ බලයේ ප්‍රතිඵලයකි. හිරු කොතරම් බලවත්ද කොතරම් බලයක් තිබෙනවාද? එහි කේන්ද්‍රයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් පමණ වේ. හිරුගේ කේන්ද්‍රයෙන් ඇල්පෙනෙත්ති තුඩක් තරම් කුඩා අංශුවක් ගෙන, එය මේ පොළොව මත තබන්න පුළුවන් නම්, එයින් නිකුත් කරන තාපයෙන් හානියක් නැතුව ඔබට සිටිය හැක්කේ එම කුඩා ප්‍රභවයේ සිට කිලෝමීටර් 140කවත් දුරින් සිටීමෙන් පමණි! සෑම තත්පරයකටම වරක් හිරුගෙන් නිකුත් වන ශක්තිය න්‍යෂ්ටික බෝම්බ මිලියන සියගණනක් පුපුරුවාහැරීමේදී නිකුත් වන ශක්තියට සමානයි. එහෙත් පොළොව භ්‍රමණය වන්නේ එම අතිදැවැන්ත තාප න්‍යෂ්ටික බලාගාරයේ සිට හරියටම නිවැරදි දුරක සිටය. මීට වඩා ළං වූවා නම් පොළොවේ තිබෙන ජලය වාෂ්ප වී යන අතර, මීට වඩා දුරස් වූවා නම් ජලය සියල්ලම අයිස් බවට පත් වනු ඇත. මෙම අන්ත දෙකින් එකක හෝ පොළොව පිහිටා තිබුණා නම් එහි කිසිම ජීවියෙකුට වාසය කළ නොහැක.

7 පොළොවේ සිටින සෑම ජීවියෙකුගේම ජීවිතය රඳාපවතින්නේ සූර්යයා මතයි. මේ ගැන බොහෝදෙනෙකු එතරම් සිතන්නේ නැත. මේ නිසා සූර්යයාගෙන් අපට ඉගෙනගත හැකි දේවල් ඔවුන් ගණනකට ගන්නේ නැත. ගීතාවලිය 74:16හි යෙහෝවා ගැන මෙසේ සඳහන් වේ. “ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළ කළේය.” ඔව්, සූර්යයා “අහසත් පොළොවත් . . . මැවූ” යෙහෝවාව මහිමවත් කරයි. (ගීතාවලිය 146:6) කෙසේවෙතත් සූර්යයා කියන්නේ යෙහෝවාගේ අතිමහත් බලය ගැන අපට උගන්වන මැවිලි ගණනාවකින් එකක් පමණි. යෙහෝවා සතු මැවීමේ බලය ගැන අප තව තවත් දේවල් ඉගෙනගන්න විට ඔහු කෙරෙහි තිබෙන අපේ ගෞරවාන්විත බිය තව තවත් වැඩි වේ.

8, 9. (අ) තමන්ට නමස්කාර කරන අයව ආරක්ෂා කිරීමටත් ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්වීමටත් යෙහෝවා සෑදී පැහැදී සිටින ආකාරය අපට පැහැදිලි කර දෙන විචිත්‍රවත් නිදසුන කුමක්ද? (ආ) බයිබල් කාලවල සිටි එඬේරෙක් ඔහුගේ බැටළුවන් කෙරෙහි සැලකිල්ල දැක්වූයේ කුමන ආකාරයෙන්ද? මෙයින් අපේ උතුම් එඬේරා ගැන අපට උගන්වන්නේ කුමක්ද?

8 යෙහෝවා ඔහුගේ සේවකයන්ව ආරක්ෂා කිරීමටත් ඔවුන්ව රැකබලා ගැනීමටත් ඔහු සතු අතිමහත් බලය යොදාගනියි. තම සේවකයන්ට රැකවරණය සලසන බවට යෙහෝවා දී තිබෙන පොරොන්දු විස්තර කිරීම සඳහා විචිත්‍රවත් මෙන්ම හදවත ස්පර්ශ කරන නිදසුන් බයිබලයේ භාවිත කර ඇත. උදාහරණයක් හැටියට යෙසායා 40:11හි සඳහන් මේ දෙය සලකා බලන්න. මෙම පාඨයෙහි යෙහෝවා ඔහුව එඬේරෙකුටද ඔහුගේ සෙනඟව බැටළුවන්ටද සමාන කරයි. එහි අපට කියවීමට තිබෙන්නේ මෙසේය. “එඬේරෙකු මෙන් ඔහු තමන්ගේ රැළ පෝෂ්‍ය කරයි. බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරි දෙන බැටළුදෙනුන් හෙමින් ගෙන යන්නේය.” මෙහි විස්තර කර තිබෙන දෙය සිතින් මවාගන්න ඔබට පුළුවන්ද?

9 බැටළුවන් වැනි අසරණව සිටින සතුන් වර්ග ඇත්තේ ඉතා ස්වල්පයකි. බයිබල් කාලවල සිටි එඬේරුන්ට වෘකයන්ගෙන්, වලසුන්ගෙන් හා සිංහයන්ගෙන් තමාගේ රැළේ සිටින බැටළුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා මහත් නිර්භීතකමක් අවශ්‍ය විය. (1 සාමුවෙල් 17:34-36; යොහන් 10:10-13) නමුත් බැටළුවන්ට ආරක්ෂාව සපයමින් උන්ව බලාගැනීමේදී මුදු මොළොක් ලෙස උන්ට සැලකිය යුතු අවස්ථාද තිබිණ. උදාහරණයක් හැටියට බැටළු දෙනක් ගාලට හුඟාක් දුරින් පිහිටි තැනකදී බැටළු පැටියෙකුව බිහි කළ විට, කිසිම ආරක්ෂාවක් නොමැති අලුත උපන් එම බැටළු පැටවාට එඬේරා සලකන්නේ කෙසේද? එඬේරා ඔහුගේ පිටත සළුවෙන් බැටළු පැටියාව ඔතාගෙන “තමන්ගේ ළයේ දරමින්” උසුලාගෙන යයි. සමහරවිට දවස් ගණනක් එසේ උසුලාගෙන යනවා විය හැක. කෙසේවෙතත් බැටළු පැටියෙක් එඬේරාගේ තුරුලට පැමිණෙන්නේ කෙසේද? එම පැටියා එඬේරා ළඟට ඇවිත් ඔහුගේ පාදවල සෙමින් ඇතිල්ලෙයි. එසේ වුවත් පහළට නැමී අත් දෙක දිගු කර එම පැටියාව උසුලා, තමන්ගේ ළයට තුරුළු කරගෙන, ඌට ආරක්ෂාවක් සපයන්න සිදු වන්නේ එඬේරාටයි. තමන්ගේ සේවකයන්ව ආරක්ෂා කිරීමට හා ඔවුන්ට සැලකිල්ල දැක්වීමට අපේ උතුම් එඬේරා සෑදී පැහැදී සිටින ආකාරය එම විචිත්‍රවත් නිදසුනෙන් මොනවට පැහැදිලි වේද!

10. මේ කාලයේ යෙහෝවා සපයන ආරක්ෂාව කුමක්ද? එවන් ආරක්ෂාවක් විශේෂයෙන්ම වැදගත් වන්නේ මන්ද?

10 ආරක්ෂාව සපයන බව පොරොන්දු වෙනවාට වඩා වැඩි යමක් යෙහෝවා කර තිබේ. “දේවභක්තික ජනයාව පරීක්ෂාවලින් [ගලවාගැනීමට]” තමන්ට හැකි බව බයිබල් කාලවලදී ප්‍රාතිහාර්යයන් කිරීමෙන් ඔහු පෙන්වා ඇත. (2 පේතෘස් 2:9, NW [2 පේතෘස් 2:9, 10]) අද දින කුමක් කිව හැකිද? මේ කාලයේ සිදු වන සෑම විපතකින්ම අපව ආරක්ෂා කිරීමට ඔහුගේ බලය ඔහු පාවිච්චි කරන්නේ නැති බව අපි දනිමු. කෙසේවෙතත් ඔහු වඩා වැදගත් දෙයක් වන ආත්මික ආරක්ෂාව සපයයි. පීඩා විඳදරාගැනීමටත් ඔහු සමඟ තිබෙන අපේ සබඳතාව රැකගැනීමටත් අපට අවශ්‍ය කරන දේවල් ලබා දීමෙන් අපේ ප්‍රේමණීය දෙවි අපව ආත්මික අනතුරුවලින් ආරක්ෂා කරයි. නිදසුනක් වශයෙන් ලූක් 11:13හි [NW] මෙසේ සඳහන් වේ. “ඔබ දුෂ්ට වුවත්, ඔබේ දරුවන්ට හොඳ තෑගි දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා නම්, ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් ශුද්ධාත්මය දෙන්නේ නැද්ද?” අපට මුහුණ දීමට සිදු විය හැකි ඕනෑම පීඩාවකදී හෝ ගැටලුවකදී කටයුතු කරන්න අවශ්‍ය කරන දේවල් අපට ලබා දීමට එම බලයට හැකියි. (2 කොරින්ති 4:7) මෙසේ යෙහෝවා කටයුතු කරන්නේ අපේ ජීවිතය අවුරුදු ස්වල්පයකට නොව සදාකාලයටම රැකගැනීමට උපකාර කිරීම සඳහාය. මෙය මනසේ තබාගැනීමෙන් වර්තමාන ක්‍රමය තුළ අත්විඳීමට සිදු වන ඕනෑම වේදනාවක් “මොහොතකට පවතින සුළු” දෙයක් ලෙස නිසැකවම සැලකිය හැකියි. (2 කොරින්ති 4:17, NW) තමන් සතු බලය අප වෙනුවෙන් ඉතාමත් ප්‍රේමණීය ලෙස පාවිච්චි කරන දෙවි කෙනෙකු වෙතට අප නිරායාසයෙන්ම ඇදී යන්නේ නැද්ද?

‘යෙහෝවා යුක්තියට ප්‍රිය කරයි’

11, 12. (අ) යෙහෝවාගේ යුක්තිය අපව ඔහුට ළං කරවන්නේ මන්ද? (ආ) යෙහෝවාගේ යුක්තිය සම්බන්ධයෙන් දාවිත් පැමිණි නිගමනය කුමක්ද? දේවානුභාවය ලත් එම වදන් අපට සැනසිල්ලක් ගෙන දෙන්නේ කෙසේද?

11 යෙහෝවා සාධාරණ ලෙස කටයුතු කරයි. ඔහු තරාතිරම් බැලීමකින් තොරව සියල්ලන්ටම එක හා සමානව සලකන්නේය. දිව්‍ය යුක්තිය කියන්නේ අප ප්‍රිය නොකරන අසංවේදී, කුරිරු ගුණාංගයක් නොව, අපව යෙහෝවාට ළං කරවන අපගේ සිත්ගන්නා ගුණාංගයකි. මෙම ගුණාංගයේ තිබෙන හද උණුසුම් කරවන පැති බයිබලයේ පැහැදිලිව විස්තර කර තිබේ. යෙහෝවා ඔහුගේ යුක්තිය පෙන්වන විධි තුනක් ගැන දැන් සලකා බලමු.

12 මුලින්ම මෙය සලකා බලන්න. තම සේවකයන්ට විශ්වාසවන්ත වීමට හා පක්ෂපාත වීමට යෙහෝවා පෙලඹෙන්නේ ඔහුගේ යුක්තිය නිසාය. ගීතිකාකාර දාවිත් යෙහෝවාගේ යුක්තියේ එම ගතිලක්ෂණය පෞද්ගලිකව අද්දැක්කේය. ඔහු අද්දුටු දේවලින් හා දෙවිගේ මාර්ගය අධ්‍යයනය කිරීමෙන් පසු පැමිණි නිගමනය කුමක්ද? මේ ගැන ඔහු මෙසේ පවසයි. “යෙහෝවා යුක්තියට ප්‍රිය වන්නේය. ස්වකීය ශුද්ධවන්තයන් [තමන්ට පක්ෂපාත වූවන්, NW] අත් නාරින්නේය. ඔවුහු සදාකල් ආරක්ෂා කරනු ලබති.” (ගීතාවලිය 37:28) මෙය මොන තරම් සැනසිල්ලක් ගෙන දෙන පොරොන්දුවක්ද! අපේ දෙවි ඔහුට පක්ෂපාත වන අයව මොහොතකටවත් අත්හරින්නේ නැත. මේ නිසා ඔහුගේ මිත්‍රකම හා ප්‍රේමණීය සැලකිල්ල මත රඳා සිටීමට අපට හැකියි. ඔහුගේ යුක්තිය මෙයට සහතිකයකි.—හිතෝපදේශ 2:7, 8.

13. යෙහෝවා අසරණයන් කෙරෙහි සැලකිල්ල දක්වන බව ඔහු ඊශ්‍රායෙල්ට දුන් නීතියෙහි දැකගත හැක්කේ කෙසේද?

13 දෙවනුව, දිව්‍ය යුක්තිය දුක් පීඩා විඳින අයගේ අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල දක්වයි. දුප්පත් අය කෙරෙහි යෙහෝවා දක්වන සැලකිල්ල ඔහු ඊශ්‍රායෙල්ට දුන් නීතියෙන් පැහැදිලි වේ. නිදසුනක් වශයෙන් අනාථයන්ව හා වැන්දඹුවන්ව හොඳින් බලාගැනීම සඳහා යම් සැලසුම් නීතියෙහි ඇතුළත් විය. (ද්විතීය කථාව 24:17-21) එවැනි අය ගත කරන දුෂ්කර ජීවිතය තේරුම්ගත් යෙහෝවා ඔවුන් වෙනුවෙන් ප්‍රේමණීය විනිසුරුවෙකු හා ආරක්ෂකයෙකු හැටියට කටයුතු කළේය. (ද්විතීය කථාව 10:17, 18) අසරණ ස්ත්‍රීන්ට හා දරුවන්ට හිංසා කළොත් ඔවුන්ගේ මොරගැසීම්වලට සවන් දෙන බව පවසමින් ඔහු ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟෙව්වේය. “මාගේ උදහස ඇවිළෙනවා ඇත” කියා ඔහු පැවසූ වදන් නික්මයාම 22:22-24හි සඳහන් වේ. උදහස දෙවිගේ ප්‍රධාන ගුණාංගයක් නොවූවත්, අයුක්තියක් සිදු වන විට, විශේෂයෙන්ම අසරණයන් එයට ගොදුරු වන විට ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට පියවර ගැනීම සඳහා ඔහුගේ ධර්මිෂ්ඨ කෝපය ඇවිළෙයි.—ගීතාවලිය 103:6.

14. යෙහෝවා සියල්ලන්ටම එක හා සමානව සලකන බවට තිබෙන ප්‍රබල සාක්ෂියක් වන්නේ කුමක්ද?

14 තුන්වෙනුව, බයිබලයේ ද්විතීය කථාව 10:17හි [NW] සඳහන් මෙම වදන් අපට මෙසේ සහතික කරයි. යෙහෝවා ‘කිසිවෙකුගේ පැතිගන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.’ බලය තිබෙන බොහෝ මිනිසුන් මෙන් නොව යෙහෝවා ද්‍රව්‍යමය වස්තුවල හෝ පිටාතර පෙනුමේ බලපෑමට යට වන්නේ නැත. ඔහු කිසිවිටකත් අගතිසහගතව හෝ අනිසි අනුග්‍රහයක් දක්වමින් හෝ කටයුතු කරන්නේ නැත. ඔහු අපක්ෂපාතී බවට තිබෙන හොඳ සාක්ෂියක් වන්නේ සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව ඔහුගේ නමස්කාරකයන් වීමේ ප්‍රස්තාව උසස් නිලතල දරන ටිකදෙනෙකුට සීමා කර නොතිබීමයි. මේ ගැන ක්‍රියා 10:34, 35හි [NW] මෙසේ සඳහන් වේ. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකයි. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.’ සමාජ මට්ටම, හමේ පාට, ජීවත් වන රට කුමක් වුණත් එම ප්‍රස්තාව සියලුදෙනාටම විවෘතයි. එය යුක්තිය උපරිම මට්ටමින් පෙන්වීමක් නොවේද? ඇත්තෙන්ම යෙහෝවාගේ යුක්තිය වඩාත් හොඳින් තේරුම්ගන්න විට අප ඔහුට ළං වනවා නිසැකයි!

‘දෙවිගේ ප්‍රඥාව කොතරම් ගැඹුරුද!’

15. ප්‍රඥාව කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා එය පෙන්වන්නේ කෙසේද?

15 රෝම 11:33හි [NW] සඳහන් මෙම වදන් හැඟීමෙන් යුතුව හඬ ගා පැවසීමට ප්‍රේරිත පාවුල් පෙලඹුණේය. “දෙවිගේ . . . ප්‍රඥාවත් දැනුමත් කොතරම් ගැඹුරුද!” යෙහෝවාගේ අතිමහත් ප්‍රඥාව පිළිබිඹු කරන විවිධ දේවල් අප ගැඹුරින් කල්පනා කරද්දී ඔහු කෙරෙහි ගෞරවාන්විත බියකින් අපේ හදවත් නොඅනුමානව පිරී ඉතිරී යයි. මෙම ගුණාංගය අපට නිර්වචනය කළ හැක්කේ කෙසේද? ප්‍රඥාව යනු දැනුම, විචාර බුද්ධිය හා අවබෝධය යන ගුණාංග ඒකාබද්ධ කොට ප්‍රතිඵල ලබාගැනීම සඳහා ඒවා ක්‍රියාවෙහි යෙදවීමට ඉවහල් වන ගුණාංගයකි. යෙහෝවා ඔහු සතු පුළුල් දැනුම් සම්භාරය හා ගැඹුරු අවබෝධය යොදාගනිමින් ගත හැකි හොඳම තීරණය සැමවිටම ගනියි. එම තීරණ ක්‍රියාත්මක කරන්නේ ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය ගැනීමෙනි.

16, 17. යෙහෝවාගේ අතිමහත් ප්‍රඥාව පිළිබඳව ඔහුගේ මැවිල්ල සාක්ෂි සපයන්නේ කෙසේද? මීට නිදසුනක් දෙන්න.

16 යෙහෝවා සතු අතිමහත් ප්‍රඥාව පිළිබිඹු කරන සුවිශේෂි සාක්ෂිවලින් සමහරක් මොනවාද? ගීතාවලිය 104:24හි මෙසේ සඳහන් වේ. “යෙහෝවා, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.” ඇත්තෙන්ම යෙහෝවා සාදා තිබෙන දේවල් ගැන තව තවත් ඉගෙනගන්න විට ඔහුගේ ප්‍රඥාව ගැන අපි තව තවත් විස්මයට පත් වන්නෙමු. ඇත්තෙන්ම යෙහෝවාගේ මැවිලි අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයන් බොහෝ දේවල් ඉගෙනගෙන ඇත. ජෛව අනුකාරි විද්‍යාව කියා හඳුන්වනු ලබන ඉන්ජිනේරු ක්ෂේත්‍රයක්ද දැන් තිබේ. එයින් සිදු වන්නේ ස්වභාවධර්මය තුළ දැකිය හැකි නිර්මාණ අනුකරණය කිරීමය.

17 මෙම නිදසුන සලකා බලන්න. සමහරවිට ඔබ මකුළු දැලක අලංකාරය දැක පුදුම වී තිබෙන්න පුළුවනි. ඇත්තෙන්ම එහි සැලැස්ම හරිම පුදුමාකාරයි. පහසුවෙන් කැඩී යා හැකියි කියා සිතෙන එහි කෙඳි සමානුපාතිකව ගත් කල වානේවලට වඩා ශක්තිමත්ය. එමෙන්ම වෙඩි නොවදින ලෙස පළඳින ආවරණයක් සැදී තිබෙන කෙඳිවලටත් වඩා ශක්තිමත්ය. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? ධීවර බෝට්ටුවක භාවිත කරන දැලක විශාලත්වයට සමානුපාතිකව විශාල කර ඇති මකුළු දැලක් සිතේ මවාගන්න. එවැනි මකුළු දැලක් කොතරම් ශක්තිමත්ද කියනවා නම් පියාසර කරන මඟී ගුවන් යානයක් වුවත් නතර කරන්න එයට හැකියි! ඔව්, යෙහෝවා මේ සෑම දෙයක්ම “ප්‍රඥාවෙන්” සාදා තිබේ.

18. යෙහෝවා ඔහුගේ වචනය වන බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගෙන තිබීමෙන් ඔහුගේ ප්‍රඥාව දැකගත හැක්කේ කෙසේද?

18 යෙහෝවාගේ ප්‍රඥාවට තිබෙන ප්‍රබලතම සාක්ෂිය සොයාගත හැක්කේ ඔහුගේ වචනය වන බයිබලයෙනි. එහි සඳහන් නැණවත් උපදෙස් මගින් ජීවත් වීම සඳහා හොඳම මඟ අපට පෙන්වා දෙයි. (යෙසායා 48:17) කෙසේවෙතත් බයිබලය ලියා තිබෙන ආකාරයෙන්ද යෙහෝවා සතු අසමසම ප්‍රඥාව දැකගත හැකියි. ඒ කෙසේද? යෙහෝවා සිය ප්‍රඥාවෙන් තම වචනය ලිවීමට තෝරාගත්තේ මිනිසුන්වය. දේවානුභාවය ලත් වචනය ලිවීමට ඔහු දේවදූතයන්ව යොදාගත්තා නම් බයිබලයේ දැන් තිබෙන සිත්ගන්නාසුලු බව තිබෙනු ඇද්ද? දේවදූතයන්ට උසස් දෘෂ්ටිකෝණයක් තිබෙන අතර එය යොදාගනිමින් යෙහෝවාව විස්තර කිරීමටත් ඔහු කෙරෙහි ඔවුන්ට තිබෙන භක්තිය ගැන ප්‍රකාශ කිරීමටත් හැකියාව තිබෙන බව සැබෑවකි. එහෙත් දැනුමෙන්, අද්දැකීම්වලින් හා ශක්තියෙන් අපට වඩා බොහෝ සෙයින් උසස් පරිපූර්ණ ආත්ම මැවිලිවල දෘෂ්ටිකෝණයෙන් දේවල් තේරුම්ගන්න අපට හැකියාවක් තිබේවිද?—හෙබ්‍රෙව් 2:6, 7.

19. බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගැනීමෙන් එයට පුදුමාකාර උණුසුම්බවක් හා ආකර්ෂණයක් ලැබෙන බව පැහැදිලි වන්නේ කිනම් උදාහරණයෙන්ද?

19 බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගෙන තිබීම නිසා එයට පුදුමාකාර උණුසුම්බවක් හා ආකර්ෂණයක් ලැබී තිබේ. එය ලියා තිබෙන්නේ අප හා සමාන හැඟීම් තිබූ මිනිසුන් විසිනි. අසම්පූර්ණ අය වූ ඔවුහු අප මුහුණ දෙනවා හා සමාන පරීක්ෂා හා පීඩනවලට මුහුණ දුන්හ. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ හැඟීම් හා ජයගැනීමට පොරබදින ලද දේවල් ගැන ලියා තිබෙන්නේ ව්‍යාකරණයේ උත්තම පුරුෂ ස්වරූපයෙනි. (2 කොරින්ති 12:7-10) මේ නිසා ඔවුන් ලියූ වදන් කිසිම දේවදූතයෙකුට ප්‍රකාශ කිරීමට හැකියාවක් නොතිබූ වදන් විය. උදාහරණයක් හැටියට ගීතාවලිය 51වන පරිච්ඡේදයේ සඳහන් දාවිත්ගේ වදන් සලකා බලන්න. එහි ශීර්ෂ පාඨයේ සඳහන් වන පරිදි දාවිත් මෙම ගීතිකාව රචනා කළේ බරපතළ පාපයක් කළ පසුවයි. ඔහුට දැනුණු දැඩි ශෝකය ප්‍රකාශ කරමින් හා දෙවිගෙන් සමාව අයදිමින් හදවතේ තිබූ හැඟීම් සියල්ලම ඔහු වැගුරුවේය. එහි ගීතා 51 දෙවන හා තුන්වන වගන්තිවල මෙසේ සඳහන් වේ. “මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතර මා ඉදිරියෙහිය.” ගීතා 51 පස්වන වගන්තියේ පවසන මෙම වදන්ද සැලකිල්ලට ගන්න. “බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබිමි. මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය.” ගීතා 51 දාහත්වන වගන්තියේ තවදුරටත් මෙසේ පවසයි. “දෙවිට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවි, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළු කොට නොසිතන්නේය.” මේ ලේඛකයාගේ සිතේ තිබෙන වේදනාව ඔබට දැනෙන්නේ නැද්ද? එවන් හැඟීම් ප්‍රකාශ කළ හැක්කේ, අසම්පූර්ණ මිනිසෙකු හැර වෙන කාටද?

20, 21. (අ) බයිබලය ලිවීමට මිනිසුන්ව යොදාගෙන තිබුණද, එහි ඇත්තේ යෙහෝවාගේ ප්‍රඥාව කියා පැවසිය හැක්කේ මන්ද? (ආ) ඊළඟ ලිපියේදී සාකච්ඡා කරන්නේ කුමක් ගැනද?

20 යෙහෝවා එවන් අසම්පූර්ණ මිනිසුන්ව යොදාගෙන අපට අවශ්‍යම කරන දෙයක් වන “දේවානුභාවයෙන්” ලියැවුණ මිනිසුන්ට පහසුවෙන් තේරුම්ගත හැකි වාර්තාවක් ලබා දුන්නේය. (2 තිමෝති 3:16) ශුද්ධාත්මය මාර්ගයෙන් එම ලේඛකයන්ට මඟ පෙන්වීම ලැබිණ. මේ නිසා ඔවුන් බයිබලයේ සඳහන් දේවල් ලිව්වේ යෙහෝවාගේ ප්‍රඥාවෙන් මිස ඔවුන්ගේම ප්‍රඥාවෙන් නොවේ. යෙහෝවාගේ ප්‍රඥාව සම්පූර්ණයෙන්ම විශ්වාසදායකයි. එයට ළඟා වෙන්න අප සතු ප්‍රඥාවට නොහැක. දෙවි ප්‍රේමණීය ලෙස අපෙන් මහත් ඕනෑකමින් මෙසේ ඉල්ලා සිටින්නේ එනිසාය. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.” (හිතෝපදේශ 3:5, 6) එම නැණවත් උපදේශය පිළිපදින විට අපි අසමසම නුවණක් තිබෙන අපේ දෙවිට තව තවත් ළං වන්නෙමු.

21 යෙහෝවාගේ සියලුම ගුණාංගවලින් ඉතාමත්ම සිත්ගන්නාසුලු ගුණාංගය වන්නේ ප්‍රේමයයි. යෙහෝවා ප්‍රේමය පෙන්වා තිබෙන ආකාර ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇත.

ඔබට මතකද?

අපට යෙහෝවා සමඟ සමීප සබඳතාවක් ගොඩනඟාගැනීමට හැකි වන ලෙස ඔහු ගෙන තිබෙන පියවර මොනවාද?

යෙහෝවාගේ මැවීමේ බලය හා ආරක්ෂා කිරීමේ බලය සම්බන්ධයෙන් තිබෙන උදාහරණ කිහිපයක් සපයන්න.

යෙහෝවා ඔහුගේ යුක්තිය පෙන්වන්නේ කිනම් ආකාරවලින්ද?

යෙහෝවාගේ ප්‍රඥාව ඔහුගේ මැවිල්ලෙන් මෙන්ම බයිබලයෙන් දැකගත හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

එඬේරෙක් බැටළු පැටියෙකුව ඔහුගේ ළයට තුරුළු කරගෙන ගෙන යන්නාක් මෙන් යෙහෝවා ඔහුගේ බැටළුවන් කෙරෙහි මුදු මොළොක් සැලකිල්ලක් දක්වමින් බලාගනියි

[13වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ ප්‍රඥාව බයිබලය ලියා තිබෙන ආකාරයෙන් දැකගත හැකියි