Skip to content

පටුනට යන්න

සමාජයේ නිහතමානි පුරුෂයෝ බයිබලය පරිවර්තනය කරති

සමාජයේ නිහතමානි පුරුෂයෝ බයිබලය පරිවර්තනය කරති

සමාජයේ නිහතමානි පුරුෂයෝ බයිබලය පරිවර්තනය කරති

වර්ෂ 1835දී, ඉංග්‍රීසි ජාතික ගඩොල් බඳින්නෙකු වන හෙන්රි නොට් සහ වෙල්ෂ්හි වෙළඳ සැලක සිල්ලර වෙළෙන්දෙකු ලෙස පුහුණුව ලබමින් සිටි ජෝන් ඩේවීස්, ඉතා භාරදූර කර්තව්‍යයක් අවසන් කළහ. වසර 30කට වඩා වැඩි කලක් මුළුල්ලේ ඉතා දුක් මහන්සි වී, ඔවුහු අන්තිමේදී මුළු බයිබලයම ටහීටියානු භාෂාවට සම්පූර්ණයෙන් පරිවර්තනය කර නිමාවකට පත් කළෝය. සමාජයේ සාමාන්‍ය පසුබිමකින් පැමිණි මේ පුරුෂයන් දෙදෙනාට මුහුණ පාන්නට සිදු වූ අභියෝග මොනවාද? මෙම අතිඋදාර සමාජ මෙහෙවරේ ප්‍රතිඵල කවරේද?

“මහත් පිබිදීමක්”

දහඅටවන සියවසේ දෙවෙනි භාගයේදී, මහත් පිබිදීම, එසේ නැතහොත් පිබිදීම නම් වූ රෙපරමාදු සමාජයේ සාමාජිකයෝ බ්‍රිතාන්‍යයේ ගම්වල චතුරස්‍රවල සහ ආකර හා කර්මාන්ත ශාලා අසල දේශනා කරමින් සිටියහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ වැඩ කරන පංතියේ මිනිසුන් වෙතට ළඟාවීමයි. මෙම පිබිදීමේ සමාජයේ දේශනාකරුවන් බයිබලය බෙදාහැරීමට දිරිගැන්වූයේ මහත් උද්‍යෝගයෙනි.

මෙම සමාජයේ ආරම්භකයා වූ විලියම් කේරි නම් වූ බැප්ටිස්ට් ආගමට අයත් තැනැත්තා වර්ෂ 1795දී පිහිටුවන ලද ලන්ඩන් මිෂනාරි සමාජය (LMS) බිහි කිරීමටද දායක විය. මෙම LMS නම් සමාජය මගින් සිදු කෙරුණේ දකුණු ශාන්තිකරයේ භාෂා ඉගෙනගෙන එහි මිෂනාරිවරුන් ලෙස සේවය කිරීමට කැමති අයව පුහුණු කිරීමයි. මෙම මිෂනාරිවරුන්ගේ ඉලක්කය වූයේ එම රටවල මිනිසුන්ගේ ප්‍රාදේශීය භාෂාවන්ගෙන් සුවිශේෂය දේශනා කිරීමය.

මෑතකදී සොයාගනු ලැබූ ටාහිටි දූපත, LMSහි පළමු මිෂනාරි ක්ෂේත්‍රය බවට පත් විය. මෙම පිබිදීමේ සමාජයේ සාමාජිකයන් මෙම දූපත් දුටුවේ මිථ්‍යාදෘෂ්ටික මතිමතාන්තරවලින් පිරුණු ‘අඳුරු ස්ථාන’ සහ අස්වනු නෙළීමට සුදුසුව තිබෙන කෙත් වතු ලෙසයි.

සමාජයේ නිහතමානි මිනිස්සු ඉදිරිපත් වෙති

මෙම අස්වැන්න එකතු කිරීම පිණිස, හොඳ සූදානමක් නැතිව වහාම 30දෙනෙකු පමණ තෝරාගනු ලැබූ අතර, LMS සමාජය විසින් මිල දී ගනු ලැබූ ඩෆ් නම් වූ යාත්‍රාවෙන් ඔවුහු යාත්‍රා කළෝය. “[නියම පුහුණුවක් නැති] කැප වූ පාස්ටර්වරුන් හතරදෙනෙකු, වඩුවන් හයදෙනෙකු, සපත්තු මහන්නන් දෙදෙනෙකු, ගඩොල් බඳින්නන් දෙදෙනෙකු, රෙදි වියන්නන් දෙදෙනෙකු, ඇඳුම් මහන්නන් දෙදෙනෙකු, ගබඩාකරුවෙකු, අශ්ව සෑදල සාදන්නෙකු, ගෘහසේවකයෙකු, උයන් පල්ලෙකු, වෛද්‍යවරයෙකු, කම්මල්කරුවෙකු, පීප්ප සාදන්නෙකු, කපු වියන්නෙකු, තොප්පි සාදන්නෙකු, රෙදි වියන්නෙකු, කබඩ් සාදන්නෙකු, භාර්යාවන් පස්දෙනෙකු සහ දරුවන් තුන්දෙනෙකු” එම ලැයිස්තුවට ඇතුළත් විණි.

බයිබලය ලියැවී ඇති මුල් භාෂා ගැන දැනුවත් වීම පිණිස, මෙම මිෂනාරිවරුන්ට තිබූ ආවුද වූයේ ග්‍රීක්-ඉංග්‍රීසි ශබ්දකෝෂයක් සහ හෙබ්‍රෙව් ශබ්දකෝෂයක් සහිත බයිබලයක් පමණි. මාස හතක මුහුදු ගමන අතරේදී මෙම මිෂනාරිවරු, මීට පෙර මුහුදු ගවේෂණයේ යෙදුණාවූ, විශේෂයෙන්ම බවුන්ටි නම් යාත්‍රාවේ ගමන් කළ කැරලිකරුවන් විසින් ලැයිස්තුගත කළ ටහීටියානු භාෂාවේ වචන කිහිපයක් කටපාඩම් කරගත්හ. අවසානයේදී ඩෆ් යාත්‍රාව 1797 මාර්තු 7වනදා, ටාහිටි වරායට සේන්දු වූ අතර, මිෂනාරිවරු ගොඩබැස්හ. එහෙත්, වසරකට පමණ පසුව ඔවුන්ගෙන් වැඩිදෙනෙක් අධෛර්යයට පත්ව ඉන් පිටව ගියහ. එහි රැඳී සිටියේ මිෂනාරිවරුන් හත්දෙනෙකු පමණි.

මේ හත්දෙනා අතුරින්, කලින් ගඩොල් සාදන්නෙකුව සිටි හෙන්රි නොට්ට වයස අවුරුදු 23ක් වූවා පමණි. ඔහුට තිබුණේ මූලික අධ්‍යාපනයක් බව ඔහු ලියූ පළමු ලිපිය කියවීමෙන් වටහාගන්න පුළුවනි. කෙසේවෙතත්, මුලදීම හොඳ හැටි පැහැදිලි වූ දෙයක් නම්, ඔහුට ටහීටියානු භාෂාව ඉගෙනගැනීමේ මනා සමර්ථකමක් තිබූ බවය. ඔහුව විස්තර කෙරුණේ අවංක, පහසුවෙන් පැහී සිටීමට හැකි, ප්‍රසන්න පුද්ගලයෙකු ලෙසටයි.

වර්ෂ 1801දී, ටාහිටි රටට අලුතෙන් පැමිණි මිෂනාරිවරුන් නවදෙනෙකුට ඉගැන්වීමට නොට්ව තෝරාගැනිණි. විසි අට හැවිරිදි වෙල්ෂ්හි ජෝන් ඩේවීස් නමැත්තාද ඒ අතර විය. ඔහු වනාහි කාර්යශූර, මෘදු ස්වභාවයකින් හා ත්‍යාගශීලී ස්වභාවයකින් යුත් දක්ෂ ශිෂ්‍යයෙකු විණි. වැඩි කල් යන්නට මත්තෙන්, මෙම මිනිසුන් දෙදෙනා බයිබලය ටහීටියානු භාෂාවට පරිවර්තනය කරන්නට තීරණය කළහ.

භාරදූර කාර්යයක්

එහෙත්, ටහීටියානු භාෂාවට පරිවර්තනය කිරීම අතිදුෂ්කර කාර්යයක් විණි. මන්දයත් ටහීටියානු භාෂාව ඒ වන විටත් ලිඛිත භාෂාවක් වූයේ නැත. මිෂනාරිවරුන්ට එය මුළුමනින්ම ඉගෙනගැනීමට සිදු වූයේ සවන් දීමෙනි. ශබ්දකෝෂයක්වත් ව්‍යාකරණ පොතක්වත් ඔවුන්ට තිබුණේ නැත. මෙම භාෂාවේ බොහෝ ශබ්ද සෑදුණේ හුස්ම පිට කිරීමෙනි. ඒවාට විරාම යෙදුවේ ශ්වාසනාලයේ ද්වරාය අවහිර කිරීමෙනි. අනික් අතට, ඇතැම් වචනවල ප්‍රාණාක්ෂර කිහිපයක්ම එක පිට එක ශබ්ද කරන්නට සිදු විය (ඇතැම් වචනවල පහක් පවා තිබිණ). ගාත්‍රාක්ෂර භාවිත කළේ අල්ප වශයෙනි. මෙවැනි හේතු නිසා මිෂනාරිවරුන්ට භාෂාව ඉගෙනගැනීම ඉමහත් අධෛර්යයට පත් කරවන කාර්යයක් විය. “බොහෝ වචනවල තිබෙන්නේ වෙන කිසිවක් නොවේ ප්‍රාණාක්ෂරයි. තවද ඒ එක එකකට වෙන වෙනම ශබ්දයක් තිබෙනවා” යනුවෙන් ඔවුන් විසින් පවසනු ලැබුවේ කලකිරීමකින් මෙනි. තමන්ට “වචනවල ශබ්ද, ශබ්ද කළ යුතු විදිහ හරියටම අල්ලාගැනීමට නොහැකි වූ” බවද ඔවුහු කියා සිටියහ. භාෂාවේ නොතිබූ ශබ්දද තමන්ට ඇසුණාය කියා ඔවුහු සිතූහ!

මේ තත්වය වඩාත් දරුණු අතට හැරුණේ, කලින් කලට යම් වචන ටහීටියානු භාෂාවෙන් තහනම් කෙරුණු විටයි. මේ නිසා මේවා වෙනුවට වෙනත් වචන ආදේශ කිරීමට සිදු විණි. සමාන වචනවලින් ගැටලුව තවත් වැඩි කළේය. “යාච්ඤාව” යන වචනයට ටහීටියානු භාෂාවෙන් වචන 70කට වඩා තිබිණි. ටහීටියානු භාෂාවේ පදඝටනාව නොහොත් වාක්‍ය රචනය, ඉංග්‍රීසි භාෂාවට වඩා හාත්පසින්ම වෙනස් වීම තවත් අභියෝගයක් විය. මේ සියලු දුෂ්කරතා හමුවේ, මෙම මිෂනාරිවරුන් කෙමෙන් කෙමෙන් වචන මාලාවක් ලැයිස්තුගත කළ අතර, ඩේවීස් අවසානයේදී වසර 50කට පමණ පසුව වචන 10,000ක් පමණ ඇතුළත් ශබ්දකෝෂයක් බිහි කිරීමට සමත් විය.

ඊළඟට මුහුණ දෙන්නට තිබූ අභියෝගය නම් ටහීටියානු භාෂාවෙන් ලිවීමයි. මිෂනාරිවරුන් එසේ කිරීමට උත්සාහ කළේ සම්මත ඉංග්‍රීසි නිවැරදි අක්ෂර වින්‍යාසය භාවිත කරගෙනය. කෙසේවෙතත්, ලතින් අක්ෂර මාලාව යොදාගත් ඉංග්‍රීසි භාවිත කිරීම ටහීටියානු භාෂාව සමඟ ගැළපුණේ නැත. මෙසේ, වචන ශබ්ද කළ යුතු ආකාරය ගැනත් අක්ෂර වින්‍යාසය ගැනත් ඇති වූ සංවාදවල නිමාවක් නොවීය. වචනවලට යෙදිය යුතු අක්ෂර වින්‍යාසය බොහෝ විට තීරණය කරනු ලැබුවේ මිෂනාරිවරුන් විසිනි. ඊට හේතුව වූයේ දකුණු පැසිෆික් සාගරය අවට ප්‍රදේශවල කතා කරන භාෂාවක් ලිඛිත භාෂාවක් බවට මුලින්ම පත් කළේ ඔවුන් නිසායි. ඔවුන්ගේ මෙම වැඩය වසර ගණනාවකට පසුව දකුණු ශාන්තිකරයේ භාෂා බොහොමයක් සඳහා ආකෘතියක් වනු ඇතැයි කියා ඒ වන විට ඔවුන් දැනගෙන සිටියේ නැත.

පහසුකම් මද වුවත් උපාය කෞශල්‍යය බොහෝයි

මෙම පරිවර්තකයන්ට භාවිත කළ හැකිව තිබුණේ ආශ්‍රේය ග්‍රන්ථ ස්වල්පයක් පමණි. ටෙක්ස්ට්ස් රිසෙප්ටස් හෙවත් සම්මත පාඨය සහ කිං ජේම්ස් අනුවාදය මූලික ග්‍රන්ථ ලෙස පාවිච්චි කරන මෙන් LMS සමාජය ඔවුන්ට මඟ පෙන්වීය. හෙබ්‍රෙව් සහ ග්‍රීක් බසින් අමතර ශබ්දකෝෂද එම භාෂා දෙකෙන් බයිබල්ද එවන ලෙස නොට් LMS සමාජයෙන් ඉල්ලීමක් කළේය. එම පොත් ඔහුට කවදා හෝ ලැබුණාද යන්න කිසිවෙකු නොදනී. ඩේවීස්ට නම්, වෙල්ෂ්හි සිටි ඔහුගේ මිතුරන්ගෙන් ග්‍රන්ථ කිහිපයක් ලැබිණි. වාර්තාවලින් පෙන්නුම් කරන්නේ අඩු තරමින් ග්‍රීක් ශබ්දකෝෂයක්, හෙබ්‍රෙව් බයිබලයක්, ග්‍රීක් බසින් නව ගිවිසුමක් හා සෙප්ටූඅජින්ට් පරිවර්තනයද ඔහු සතුව තිබූ බවයි.

මේ අතරතුර, මිෂනාරිවරුන්ගේ දේශනා ක්‍රියාකාරකම පැවතියේ පලරහිත තත්වයකයි. මේ මිෂනාරිවරුන් ටාහිටි රටට පැමිණ වසර 12ක් පමණ ගත වී තිබුණද, එම රටේ වෙසෙන එක පුද්ගලයෙකුවත් බව්තීස්ම කිරීමට නොහැකි වී තිබිණි. අන්තිමේදී, නිතර නිතර ඇවිළුණු සිවිල් යුද්ධ හේතුවෙන් සියලු මිෂනාරිවරුන් ඕස්ට්‍රේලියාවට පලා ගියද, නොට් එසේ නොකිරීමට අදිටන් කරගත්තේය. සමාජ දූපත් කාණ්ඩයේ වින්ඩ්වඩ් (සුළං මූණත පැත්තේ පිහිටි) දූපත්වල රැඳී සිටි එකම මිෂනාරිවරයා ඔහු වූ නමුත්, දෙවන පෝමාරේ රජු යාබද මොඕරෙආ රටට පලා ගිය විට ඔහු සමඟ යෑමට ඔහුට සිදු විණි.

කෙසේවෙතත්, නොට් මෙසේ පදිංචිය වෙනස් කළද ඔහුගේ පරිවර්තන කාර්යය නතර වූයේ නැත. ඩේවීස් වසර දෙකක් ඕස්ට්‍රේලියාවේ ගත කළ පසුව, ඔහු නොට් සමඟ සම්බන්ධ විණි. මේ අතරතුර, නොට් ග්‍රීක් හා හෙබ්‍රෙව් භාෂාව හැදෑරීමට පටන්ගෙන තිබූ අතර, එම භාෂා දෙකේ පරතෙරට ගොස් තිබිණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු හෙබ්‍රෙව් ලියවිල්ලේ සමහරක් කොටස් ටහීටියානු භාෂාවට පරිවර්තනය කිරීමට පටන්ගත්තේය. ඔහු තෝරාගත්තේ, ටාහිටි රටේ ජනයාට පහසුවෙන් කියවා තේරුම්ගත හැකි වූ වාර්තා ඇතුළත් බයිබල් කොටස්ය.

අනතුරුව, ඩේවීස් සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කරමින් නොට් ලූක්ගේ සුවිශේෂය පරිවර්තනය කළ අතර, එය 1814 සැප්තැම්බර් මාසයේදී නිමාවට පත් විණි. ඔහු බිහි කළේ ටහීටියානුවන්ට ඉතා හුරු වූ භාෂාවක් ඇති පරිවර්තනයකි. ඩේවීස් එය මුල් පාඨ සමඟ පරීක්ෂා කළේය. වර්ෂ 1817දී පෝමාරේ රජ, තමාට පෞද්ගලිකව ලූක් සුවිශේෂයේ පළමු පිටුව මුද්‍රණය කරන්නට හැකිදැයි විමසීය. මිෂනාරිවරුන් විසින් මොඕරෙආ රටට ගෙනැවිත් තිබූ අතින් ක්‍රියා කරවන ලද කුඩා මුද්‍රණ යන්ත්‍රයකින් ඔහු එසේ කළේය. ටහීටියානු භාෂාවට බයිබලය පරිවර්තනය කිරීම පිළිබඳ කතන්දරය පැවසීමේදී එක්තරා පුද්ගලයෙකු ගැන සඳහන් නොකළහොත් එය සම්පූර්ණ වන්නේ නැත. ඒ තැනැත්තා වූයේ මිෂනාරිවරුන් සමඟ එම කාලය පුරාම සිටිමින් එම භාෂාවේ සියුම් පැති වටහාගන්නට ඔවුන්ට උපකාර කළ ටුආහිනේ නමැති විශ්වාසවන්ත පුද්ගලයාය.

පරිවර්තනය සම්පූර්ණ වී

වසර හයක වෙහෙස මහන්සි වී කළ වැඩයේ ප්‍රතිඵලයක් ලෙස 1819දී සුවිශේෂයන්, ප්‍රේරිතයන්ගේ ක්‍රියා සහ ගීතාවලිය පොත් පරිවර්තනය කොට සම්පූර්ණ කෙරිණි. අලුතෙන් පැමිණි මිෂනාරිවරුන් විසින් ගෙනෙන ලද මුද්‍රණ යන්ත්‍රයක් මාර්ගයෙන් මෙම බයිබල් පොත් මුද්‍රණය කිරීම හා බෙදාහැරීම පහසු විය.

ඉන්පසු දිගු කලක් පුරා ඉතා වෙහෙස මහන්සියෙන් පරිවර්තන කටයුතු, සෝදුපත් කියවීම හා සංශෝධන කටයුතු කෙරිණි. ටාහිටි රටේ වසර 28ක් පමණ ජීවත් වීමෙන් පසුව, 1825දී නොට් අසනීප වූ අතර, LMS සමාජය ඔහුට එංගලන්තයට ආපසු යෑමට ඉඩහැරියේය. එනමුත් සතුටට කරුණක් වූයේ ඒ වන විටත් ග්‍රීක් ශුද්ධ ලියවිලි මුළුමනින්ම පාහේ පරිවර්තනය කොට තිබීමයි. තවද එංගලන්තය බලා යන ගමනේදී හා එහි ගිය පසු නතර වී සිටි කාලයේදී ඔහු බයිබලයේ ඉතිරි කොටස් පරිවර්තනය කිරීමෙහිලා දිගටම නිරත විය. නොට් 1827දී නැවතත් ටාහිටි කරා පැමිණියේය. වසර අටකට පසුව, 1835 දෙසැම්බර් මාසයේදී, ඔහු පරිවර්තනය අවසන් කළේය. වසර 30කට වඩා වැඩි කලක් මුළුල්ලේ ඉතා වෙහෙස මහන්සි වී කළ පරිවර්තන කාර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් මුළු බයිබලයම පරිවර්තනය කිරීමට හැකි විණි.

වර්ෂ 1836දී යළිත් එංගලන්තය බලා ගිය නොට්ට වුවමනා වූයේ ලන්ඩනයේදී මුළු බයිබලයම ටහීටියානු භාෂාවෙන් මුද්‍රණය කරගන්නටයි. වර්ෂ 1838 ජූනි 8වනදා, මහත් උද්දාමයකින් නොට් ටහීටියානු භාෂාවෙන් යුත් බයිබලයේ ප්‍රථම මුද්‍රණය වික්ටෝරියා රැජිනට තෑගි කළේය. මීට වසර 40කට පෙර හුදෙක් ගඩොල් බඳින්නෙකුව සිට, ඩෆ් යාත්‍රාවක නැඟී ටාහිටි රටට ගොස් එහි සංස්කෘතිය හදාරා තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම පාහේ මේ මහා කර්තව්‍යයට අත ගැසූ මේ මිනිසාට මේ මොහොත ඉතා ප්‍රබල හැඟීම් දනවන මොහොතක් වූ බව නොකිවමනාය.

මාස දෙකකට පසුව, ටහීටියානු භාෂාවෙන් සම්පූර්ණ බයිබලයේ පිටපත් 3,000ක් අඩංගු ලෑලි පෙට්ටි 27කුත් සමඟ නොට් නැවතත් ගියේ දකුණු ශාන්තිකරය කරායි. සිඩ්නි නුවර නැවතුණායින් පසුව, ඔහු යළිත් අසනීප වූ නමුත් මෙම අතිඅගනා ලෑලි පෙට්ටි දමා යන්නට ඔහු අකමැති විය. සනීප වූ පසු හෙතෙම 1840දී නැවතත් ටාහිටි රටට පැමිණි අතර, නැවේ සිටි ජනයා ටහීටියානු භාෂාවෙන් යුත් මේ බයිබල් පරිවර්තනයේ පිටපත් පොරකමින් ඔහුගෙන් ලබාගන්නට විය. වර්ෂ 1844 මැයි මාසයේදී, නොට් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 70කි.

ඉතා පුළුල් බලපෑමක්

කෙසේවෙතත්, ඔහුගේ වැඩය මියැදුනේ නැත. ඔහුගේ පරිවර්තනය පොලිනීසියානු භාෂා කෙරෙහි ඇති කළේ ඉතා විශිෂ්ට බලපෑමකි. ටහීටියානු භාෂාව ලේඛනගත කළ මිෂනාරිවරු එම භාෂාව ආරක්ෂා කරගත්හ. එක් ලේඛකයෙක් පැවසුවේ මෙසේයි. “නොට් ටහීටියානු භාෂාවේ ව්‍යාකාරණවල සම්මතයක් පිහිටෙව්වේය. ශුද්ධ ටහීටියානු භාෂාව ඉගෙනගැනීම සඳහා බයිබලය වෙතට අනිවාර්යයෙන්ම හැරීමට සිදු වනු ඇත.” මෙම පරිවර්තකයන් ඉතා කඩිසර ලෙස කළ මේ පරිවර්තන කාර්යයන් නිසා වචන දහස් ගණනක් අභාවයට යෑමෙන් ආරක්ෂා විණි. සියවසකට පසු එක් ලේඛකයෙක් කීවේ මෙයයි. “නොට්ගේ මේ කැපීපෙනෙන ටහීටියානු බයිබලය ටහීටියානු භාෂාවෙන් බිහි වුණු ඉතා මහානුභාවසම්පන්න කෘතියකි. ඒ ගැන හැමදෙනෙක්ම වාගේ එකඟ වෙති.”

මෙම වැදගත් වැඩය ටහීටියානුවන්ට ප්‍රයෝජන ගෙන දුන්නා පමණක් නොව, දකුණු ශාන්තිකරයේ භාෂාවන්ගෙන් වෙනත් පරිවර්තන බිහිවීම සඳහා කදිම අත්තිවාරමක්ද දැමුවේය. නිදසුනක් වශයෙන්, කුක් දූපත්වල සහ සැමොවාහි පරිවර්තකයෝ එය ආකෘතියක් හැටියට යොදාගත්හ. “මම ඉතාමත් ඕනෑකමින් නොට් මහතාගේ පරිවර්තනය අනුගමනය කළෙමි. මම එය හොඳින් පරීක්ෂා කළෙමි” යයි එක් පරිවර්තකයෙක් ප්‍රකාශ කළේය. තවත් පරිවර්තකයෙකු, ‘දාවිත්ගේ ගීතිකාවක් සැමොවා භාෂාවට පරිවර්තනය කරන විට, ‘ඔහු ඉදිරියේ හෙබ්‍රෙව් ගීතාවලිය මෙන්ම ඉංග්‍රීසි හා ටහීටියානු අනුවාදයන් තබාගෙන තිබූ’ බව වාර්තා විණි.

එංගලන්තයේ විසූ පිබිදීමේ සමාජයේ සාමාජිකයන්ගේ ආදර්ශය අනුගමනය කරමින්, ටාහිටිහි මිෂනාරිවරුන් සාක්ෂරතාව වැඩි දියුණු කළේ මහත් උද්‍යෝගයෙනි. ඇත්ත වශයෙන්ම, සියවසකටත් වැඩි කාලයක් පුරා, ටහීටියානු ජනතාවට තම භාෂාවෙන් ලබාගත හැකිව තිබූ එකම පොත වූයේ බයිබලය පමණයි. මේ නිසා එය ටහීටියානු සංස්කෘතියේ අතිවැදගත් අංගයක් බවට පත් විණි.

නොට්ගේ අනුවාදයේ අන්තර්ගත විශේෂ අංගයන් අතර, හෙබ්‍රෙව් සහ ග්‍රීක් ශුද්ධ ලියවිලිවල දිව්‍ය නාමය අවස්ථා රාශියක දක්නට ලැබීම විශේෂයෙන් කැපීපෙනෙයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අද දින යෙහෝවාගේ නාමය ටාහිටිහි සහ එහි දූපත්වල සුප්‍රකටය. එය සමහරක් රෙපරමාදු පල්ලිවල පවා දක්නට ලැබෙයි. කෙසේවෙතත්, දෙවිගේ නාමය දැන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වී ඇත්තේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ ජ්වලිතවත් දේශනා සේවය වටායි. ඔවුහු මෙම සේවය තුළදී නොට් සහ ඔහුගේ අනුග්‍රාහකයන් විසින් පරිවර්තනය කරන ලද ටහීටියානු බයිබලය ඉතා පුළුල් ලෙස භාවිත කරති. තවද, අද දින සිටින මිනිස් වර්ගයාගෙන් වැඩිදෙනෙකුට බයිබලය ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකි කරවමින්, හෙන්රි නොට් වැනි පරිවර්තකයන් විසින් දරන ලද ඒ මහඟු අතිභාරදූර ප්‍රයත්නයන් ගැන අප කොතරම් කෘතඥපූර්වක විය යුතුද!

[26වන පිටුවේ පින්තූර]

ටහීටියානු පළමු බයිබල් පරිවර්තනය, 1815දී. යෙහෝවාගේ නාමය මෙහි දක්නට ලැබේ

ටහීටියානු බයිබලයේ ප්‍රධාන පරිවර්තකයා, හෙන්රි නොට් (1774-1844)

[හිමිකම් විස්තර]

ටහීටියානු බයිබලය: Copyright the British Library (3070.a.32); හෙන්රි නොට් සහ ලිපිය: Collection du Musée de Tahiti et de ses Îles, Punaauia, Tahiti; ආගමික ප්‍රශ්නෝත්තර සංග්‍රහය: London Missionary Society Papers, Alexander Turnbull Library, Wellington, New Zealand යන්නෙහි අවසර ඇතුවය

[28වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1801දී නිපදවන ලද ටහීටියානු සහ වෙල්ෂ් ද්විත්ව භාෂාවලින් යුත් ආගමික ප්‍රශ්නෝත්තර සංග්‍රහය. මෙහි දෙවිගේ නාමය දක්නට ලැබේ

[හිමිකම් විස්තර]

London Missionary Society Papers, Alexander Turnbull Library, Wellington, New Zealand යන්නෙහි අවසරය ඇතුවය

[29වන පිටුවේ පින්තූරය]

ප්‍රංශ පොලිනීසියාවේ වාහිනේ දූපතේ යෙහෝවාගේ නාමය රෙපරමාදු පල්ලිය ඉදිරියේ දක්නට තිබේ

[හිමිකම් විස්තර]

Avec la permission du Pasteur Teoroi Firipa