Skip to content

පටුනට යන්න

අපට සම්පූර්ණයෙන්ම ස්වාධීන වීමට නොහැක්කේ මන්ද?

අපට සම්පූර්ණයෙන්ම ස්වාධීන වීමට නොහැක්කේ මන්ද?

අපට සම්පූර්ණයෙන්ම ස්වාධීන වීමට නොහැක්කේ මන්ද?

“එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; . . . ඔවුන් වැටුණොත් එක් කෙනෙක් තමාගේ යහළුවා නැඟිටුවනවා ඇත.”—සලමොන් රජ

පුරාණ ඊශ්‍රායෙලයේ සලමොන් රජ මෙසේ ප්‍රකාශ කළේය. “එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය. මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය. ඔවුන් වැටුණොත් එක් කෙනෙක් තමාගේ යහළුවා නැඟිටුවනවා ඇත. එහෙත් තමා නැඟිටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක් වෙයි.” (දේශනාකාරයා 4:9, 10) මෙම ඥානවන්ත නිරීක්ෂකයා මිනිස් චර්යාව පිළිබඳව මෙලෙස අවධාරණය කරන්නේ මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා තිබෙන අපේ අවශ්‍යතාව සහ අපවම හුදෙකලා කර නොගැනීමේ වැදගත්කම ගෙනහැර දැක්වීමටය. කෙසේ වුවද, මෙය හුදෙක් මිනිස් මතයක් නොවේ. සලමොන් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ දිව්‍යමය ප්‍රඥාව හා ආනුභාවය මගිනි.

අප හුදෙකලා වීමට උත්සහ දැරීම ඥානවන්ත දෙයක් නොවේ. ජනයාට එකිනෙකාව අවශ්‍යය. අපට අන් අයගෙන් ලබාගත හැකි ශක්තිය හා උපකාරය අප සියලුදෙනාටම වුවමනාය. “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේ ආශාව පස්සේ” යන බවත්, “සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන” බවත් බයිබල් හිතෝපදේශයක් පවසයි. (හිතෝපදේශ 18:1) එසේනම් කණ්ඩායමක සාමාජිකයෙකු වීමට හා අන් අය කෙරෙහි උනන්දුවක් දැක්වීමට සමාජ විද්‍යාඥයන් පුද්ගලයන්ව දිරිගැන්වීම අරුමයක් නොවේ.

සමාජ ආශ්‍රය යළි පණගැන්වීම සඳහා මහාචාර්ය රොබට් පට්නම් දෙන නිර්දේශයන් අතර “දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම තුළින් ඇති වන බලපෑම ශක්තිමත් කිරීමද” සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැපීපෙනෙන්නේ, ලොව වටා පවුලක් බඳු සභා තුළින් ඔවුන් රැකවරණය ලබන නිසාය. තවද ප්‍රේරිත පේතෘස්ගේ වචනවලට එකඟව ‘දෙවිට ගෞරවනීය භයක්’ ඇති “මුළු සහෝදර සංගමයටම [ඔවුහු] ප්‍රේම” කරති. (1 පේතෘස් 2:17, NW) සාක්ෂිකරුවන්ගේ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් බොහොමයක් සැබෑ නමස්කාරයට සම්බන්ධව තිබෙන නිසා ඔවුහු හුදෙකලා වීමෙන් හා එහි හානිකර බලපෑම්වලින් වැළකෙති. මෙම නමස්කාරයට දෙවිගේ වචනය වන බයිබලයේ තිබෙන සත්‍යය ඉගෙනගැනීමට තම අසල්වාසීන්ට උපකාර කරමින් සිටීමද ඇතුළත්ව තිබේ.—2 තිමෝති 2:15.

ප්‍රේමය හා මිත්‍රත්වය නිසා ඔවුන්ගේ ජීවිතවල වෙනසක් වී

සෑම සාමාජිකයෙකු විසින්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන එක්සත් සමාජයකින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමන්විත වේ. උදාහරණයක් වශයෙන් ලතින් අමෙරිකානු පවුලක සාමාජිකයන් තුන්දෙනෙකු වන මිගෙල්, ෆ්‍රොයිලාන් සහ ඇල්මා රූත්ගේ තත්වය සලකා බලන්න. ඔවුන් ඉපදුණේ කුරුබව ඇති කරන අස්ථි ආබාධයක් ඇතුවය. එමනිසා තුන්දෙනාටම රෝද පුටු භාවිත කිරීමට සිදු විය. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඇසුරු කිරීම ඔවුන්ගේ ජීවිතවලට බලපෑවේ කෙසේද?

මිගෙල් මෙලෙස පවසයි. “මම කරදරකාරී කාලයක් අද්දකිමින් හිටියත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ඇසුරු කරන්න පටන්ගත්තාට පස්සේ මගේ ජීවිතය වෙනස් වුණා. තමන්වම හුදෙකලා කරගැනීම භයානක දෙයක්. ක්‍රිස්තියානි රැස්වීම්වලදී සෙසු ඇදහිලිවන්තයන්ව ඇසුරු කිරීමත් සෑම සතියකම ඔවුන් සමඟ සිටීමත් තෘප්තියට හා සෑහීමට පත්වීමට මට විශාල උපකාරයක් වුණා.”

ඇල්මා රූත් ඊට මෙසේ එකතු කරයි. “මට ලොකු කලකිරීමක් ඇති වුණ අවස්ථාවල් තිබුණා. මට දරාගන්න බැරි තරම් දුකක් දැනිලා තියෙනවා. නමුත් යෙහෝවා ගැන ඉගෙනගනිද්දී මට හැඟුණා ඔහු එක්ක කිට්ටු සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් බව. ඒක මගේ ජීවිතයේ වටිනාම දේ බවට පත් වුණා. මගේ පවුලේ අය අපිට හුඟක් සහයෝගය දුන්න නිසා අපි අතර එක්සත්කම තවත් වැඩි වුණා.”

මිගෙල්ගේ පියා මිගෙල්ට කියවන්න සහ ලියන්න ප්‍රේමණීයව ඉගැන්වීය. ඊට පස්සේ මිගෙල් එලෙසම ෆ්‍රොයිලාන් සහ ඇල්මා රූත්ටත් ඉගැන්වීය. මෙය ඔවුන්ගේ ආත්මිකත්වයට අත්‍යවශ්‍ය විය. “බයිබලය සහ බයිබලය මත පදනම් පොත් පත් කියවීමෙන් අපිට ආත්මිකව පෝෂණය වෙන්න පුළුවන් නිසා කියවන්න ඉගෙනගැනීමෙන් අපිට විශාල ප්‍රයෝජනයක් ලැබුණා” කියා ඇල්මා රූත් පවසයි.

දැන් මිගෙල් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු ලෙස සේවය කරමින් සිටියි. ෆ්‍රොයිලාන් නව වතාවක් බයිබලය සම්පූර්ණයෙන් කියවා තිබේ. ඇල්මා රූත් 1996 පටන් පුරෝගාමි සේවිකාවක් නැතහොත් පූර්ණ කාලීන රාජ්‍ය ප්‍රකාශිකාවක් ලෙස යෙහෝවාට සේවය කරමින් ඇගේ සේවය පුළුල් කර ඇත. ඇය මෙවැන්නක් පවසන්නීය. “යෙහෝවාගේ ආශීර්වාදය නිසයි මම මේ ඉලක්කය අත් කරගෙන තියෙන්නේ. දේශනා කරන්න විතරක් නෙවෙයි මම කරන්න පටන්ගත්තු බයිබල් පාඩම් 11 දිගටම කරගෙන යන්න උපකාර කරමින් මගේ දයාබර සහෝදරියන් මට අත හිත දුන්නා.”

අනතුරකින් තම පාදවලට සහ කොඳු ඇට පෙළට හානිවීම නිසා රෝදපුටුවක් භාවිත කිරීමට සිදු වූ එමිලියා විසින් තවත් කදිම ආදර්ශයක් තබා තිබිණ. මෙක්සිකෝ නගරයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇය සමඟ බයිබලය පාඩම් කළ අතර 1996දී ඇය බව්තීස්ම වූවාය. එමිලියා මෙසේ පවසයි. “සත්‍යය දැනගන්න කලින් මට ඕන වෙලා තිබුණේ පණ නහගන්නයි. තවදුරටත් ජීවත් වෙන්න අවශ්‍යතාවක් මට තිබුණේ නැහැ. මට සෑහෙන හිස්බවක් දැනුණා. උදේ හවහා ඇඬූ කඳුලෙන් කාලය ගත කළා. ඒත් යෙහෝවාගේ සෙනඟ එක්ක ආශ්‍රය කරන්න ගත්තහම සහෝදරයන්ගේ ප්‍රේමය අද්දැක්කා. මා වෙනුවෙන් ඔවුන් දක්වන පෞද්ගලික උනන්දුව මට ලොකු දිරිගැන්වීමක් වුණා. එක වැඩිමහල්ලෙක් මට සහෝදරයෙක්, පියෙක් වගේ පිහිට වෙලා තියෙනවා. ඔහුත් සභා සේවකයන් කීපදෙනෙකුත් මට රෝද පුටුවෙන්ම රැස්වීම්වලට යන්නත් දේශනා සේවය කරන්නත් උපකාර කරනවා.”

වර්ෂ 1992දී යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වූ හෝසේ ජීවත් වන්නේ තනිවමය. අවුරුදු 70ක් වයසැති ඔහු 1990 විශ්‍රාම ගියේය. හෝසේ මානසික පීඩනයක් අද්දකිමින් සිටි නමුත් සාක්ෂිකරුවෙකු විසින් ඔහුට දේශනා කරනු ලැබූ පසුව, ඔහු නොපමාව ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට පටන්ගත්තේය. එහිදී සවන් දුන් දේවලට හා දැක්ක දේවලට ඔහු කැමති විය. උදාහරණයකට සහෝදරයන්ගේ මිත්‍රත්වයත් ඔවුන් ඔහුට දැක්වූ පෞද්ගලික සැලකිල්ලත් ඔහුගේ අවධානයට යොමු විය. ඔහුගේ සභාවේ වැඩිමහල්ලෝ සහ සභා සේවකයෝ දැන් ඔහුව බලාගනිති. (පිලිප්පි 1:1; 1 පේතෘස් 5:2) එවැනි සෙසු ඇදහිලිවන්තයෝ ඔහුට “ශක්තිය සපයන උපකාරකයෝ” වෙති. (කොලොස්සි 4:11, NW) ඔවුහු ඔහුව වෛද්‍යවරයා ළඟට ගෙන යන අතර ඔහුව බැලීමට නිවසට යති. ඔහු ශල්‍යකර්ම හතරකට භාජන වූ අවදියේදී ඔවුහු ඔහුව ශක්තිමත් කර සැනසූහ. ඔහු මෙසේ පවසයි. “ඔවුන් මං ගැන සැලකිල්ල දක්වනවා. ඔවුන් ඇත්තෙන්ම මගේම පවුලේ අය වගෙයි. මම ඔවුන්ගේ මිත්‍රත්වයට ප්‍රිය කරනවා.”

දීමෙන් සැබෑ සන්තෝෂයක් ලැබේ

“එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය” කියා සලමොන් රජ පැවසීමට මොහොතකට පෙර ද්‍රව්‍යමය වස්තු රැස් කරගැනීමට කෙනෙකුගේ මුළු ශ්‍රමය වැය කිරීමේ නිෂ්ඵලත්වය ගැන ඔහු පවසා තිබිණ. (දේශනාකාරයා 4:7-9) අද දින බොහෝදෙනෙකු හඹා යන්නේ ඒ පිටුපසය. ඔවුන් එසේ කරන්නේ පවුල තුළ හා පිටත මිනිස් සබඳතා පූජා කරමිනි.

ගිජුකමේ සහ ආත්මාර්ථකාමිත්වයේ ස්වභාවය බොහෝදෙනෙකුට හුදෙකලා වීමට මඟ පාදා තිබේ. මෙවැනි ස්වභාවයකට යට වී සිටින අය අතර කලකිරීම හා අපේක්ෂාභංගත්වය පොදු දෙයක් වී තිබෙන නිසා ඔවුහු සන්තෝෂය හෝ සෑහීමට පත්වීම අද්නොදකිති. මීට පටහැනිව, ටිකකට කලින් විස්තර කළ වාර්තාවලින් පෙන්වන්නේ යෙහෝවාට සේවය කරන අය සහ දෙවිට හා අසල්වැසියන්ට ඇති ප්‍රේමයෙන් පෙලඹී සිටින අය සමඟ ඇසුරු කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලය. නිතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම, සෙසු ක්‍රිස්තියානීන්ගේ සහයෝගය හා සැලකිල්ල ලැබීම මෙන්ම දේවසේවයේ ජ්වලිතව නියැලී සිටීම, හුදෙකලා වීම නිසා ඇති වී තිබූ නිෂේධාත්මක හැඟීම්වලින් ගොඩ ඒමට එම පුද්ගලයන්ට උපකාරවත් වූ වටිනා සාධකයන් විය.—හිතෝපදේශ 17:17; හෙබ්‍රෙව් 10:24, 25.

අප එකිනෙකා කෙරෙහි රඳා සිටින බැවින් අනිත් අය වෙනුවෙන් දේවල් කිරීමෙන් තෘප්තියක් ලැබීම ස්වාභාවික දෙයකි. අන්‍යයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් බොහෝ දේවල් කළ ඇල්බට් අයින්ස්ටයින් මෙසේ පැවසුවේය. “මිනිසෙකුගේ වටිනාකම . . . පෙනිය යුත්තේ ඔහු දෙන දේවලින් මිසක ඔහුට ලබාගැනීමට හැකි දේවලින් නොවේ.” මෙය “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” යන අපේ ස්වාමීන් වූ යේසුස් ක්‍රිස්තුස්ගේ වදන්වලට එකඟය. (ක්‍රියා 20:35, NW) එබැවින් ප්‍රේමය ලැබීම යහපත් දෙයක් වන අතරම අන්‍යයන්ට ප්‍රේමය පෙන්වීමද ඉතා සුවදායී දෙයකි.

වසර ගණනාවක් ආත්මික උපකාරය දීමට සභාවලට ගිය, යමක් කමක් නැති ක්‍රිස්තියානීන් සඳහා රැස් වෙන ස්ථාන ඉදි කිරීමට උපකාර කළ සංචාරක අවේක්ෂකයෙක් මෙලෙස තම හැඟීම් පළ කරයි. “මගේ සහෝදරයන්ට සේවය කිරීමෙනුත් අගයෙන් පිරි ඔවුන්ගේ මුහුණු දැකීමෙනුත් ලැබෙන සතුට නිසා තව තවත් උපකාර කරන්න අවස්ථාවන් සොයන්න මාව පෙලඹෙනවා. මගේ අද්දැකීම නම් සන්තෝෂයට ප්‍රධානම දෙය අනිත් අය ගැන පෞද්ගලික උනන්දුවක් දැක්වීමයි. වැඩිමහල්ලන් හැටියට අපි ‘සුළඟෙන් මුවා වෙන ඉඩමක් මෙන්ද . . . වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩා වූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද’ වෙන්න ඕන කියලා මම දන්නවා”—යෙසායා 32:2.

එක්සත්ව එකට විසීම මොනතරම් ප්‍රසන්නද!

යෙහෝවාට සේවය කරන අයට උපකාර කිරීමෙන් සහ ඔවුන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් මහත් ප්‍රයෝජන මෙන්ම සැබෑ සන්තෝෂය ලැබෙන බව නිසැකය. ‘බලව!’ කියා විස්මය දනවමින් ගීතිකාකරු මෙසේ කීය. “සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!” (ගීතාවලිය 133:1) මිගෙල්, ෆ්‍රොයිලාන් සහ ඇල්මා රූත් සම්බන්ධයෙන් සැබෑ වූ පරිදි, එකිනෙකාට සහයෝගය දැක්වීමේදී පවුලේ එක්සත්කම වැදගත් සාධකයකි. එමෙන්ම සැබෑ නමස්කාරයේදී එකිනෙකා සමඟ එක්සත්ව සිටීමට ලැබීම මොනතරම් ආශීර්වාදයක්ද! ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් හා භාර්යාවන්ට උපදෙස් දුන් පසු ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “අවසාන වශයෙන්, ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව, ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව, යටහත් පහත් මනසක් ඇතිව සිටින්න.”—1 පේතෘස් 3:8, NW.

අව්‍යාජ මිත්‍රත්වය චිත්තවේගීයව මෙන්ම ආත්මිකව මහත් ප්‍රයෝජන ලබා දෙයි. ඇදහිලිවන්ත මිත්‍රයන්ව අමතමින් ප්‍රේරිත පාවුල් මෙසේ උපදෙස් දෙයි. ‘අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන්න. දුර්වලයන්ට උපකාර කරන්න. සියල්ලන් ගැන බොහෝ සෙයින් ඉවසන්න. . . . එකිනෙකා කෙරෙහිත් අන් සියල්ලන් කෙරෙහිත් නිතරම යහපත් වූ දේ කිරීමටද වගබලා ගන්න.’—1 තෙසලෝනික 5:14, 15, NW.

එබැවින්, අන්‍යයන්ට යහපත් දේ කිරීමට ප්‍රායෝගික ක්‍රම සොයාගන්න. “ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම [ඔබේ] ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම්” කරන්න. මන්ද මෙසේ කිරීමෙන්, ඔබේ ජීවිතයට සැබෑ අර්ථයක් එක් කෙරෙන අතර ඉන් ඔබට තෘප්තියක් මෙන්ම සෑහීමද ගෙන දෙනු ඇත. (ගලාති 6:9, 10, NW) යේසුස්ගේ ගෝලයෙකු වූ යාකොබ් මෙසේ ලීවේය. “සහෝදරයෙක් හෝ සහෝදරියක් නිර්වස්ත්‍රව, දවසට අවශ්‍ය කෑම නොමැතිව සිටින නමුත් ඔබ අතරෙන් යමෙක්, ‘සමාදානයෙන් යන්න. උණුසුම ලබමින් කෑම කා තෘප්තියෙන් සිටින්න’යි කියනවා මිස, ශරීරියට අවශ්‍ය දේවල් ඔවුන්ට දෙන්නේ නැත්නම්, එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?” (යාකොබ් 2:15, 16, NW) එම ප්‍රශ්නයට පිළිතුර පැහැදිලියි. අපි ‘අපේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න’ අවශ්‍යයි.—පිලිප්පි 2:4, NW.

විශේෂ අවශ්‍යතාවක් තිබෙන විට හෝ යම් විපත්තියක් හටගන්නා විට අනිත් අයට ද්‍රව්‍යමය ලෙස උපකාර කරනවාට අමතරව, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අතිවැදගත් ආකාරයකින්, එනම් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරමින් සෙසු මිනිසුන්ට ප්‍රයෝජන ලබා දීම සඳහා ඉතා කඩිසරව වැඩ කරමින් සිටිති. (මතෙව් 24:14) මෙම බලාපොරොත්තුවේ හා සැනසීමේ පණිවිඩය ප්‍රකාශ කිරීමෙහි සාක්ෂිකරුවන් 60,00,000කට වැඩිදෙනෙකුගේ සහභාගි වීමෙන් අනුන් කෙරෙහි ඔවුන් දක්වන අව්‍යාජ හා ප්‍රේමණීය උනන්දුව ප්‍රත්‍යක්ෂ වේ. එහෙත් ශුද්ධ ලියවිල්ලෙන් උපකාර සැපයීම තවත් මානව අවශ්‍යතාවක් සපුරාලන්න පිටුවහලක් වේ. ඒ කුමක්ද?

වැදගත් අවශ්‍යතාවක් සපුරාලමින්

සැබෑ සන්තෝෂය ලැබීමට නම් දෙවි සමඟ හොඳ සබඳතාවක් තබාගත යුතුය. ඒ පිළිබඳව මෙවැනි දෙයක් පවසා ඇත. “මිනිසා, සැම තැන, සියලු අවස්ථාවල, එදා පටන් අද දක්වා තමාට වඩා උසස් සහ තමාට වඩා හුඟාක් බලවත් යමකින් පිහිට පැතීමට නිතැතින්ම නැඹුරු වී තිබීමෙන් පෙනී යන්නේ, ආගම උරුම වී ඇති දෙයක් බවය. එමෙන්ම එය විද්‍යානුකූලවද පිළිගත යුතු බවය. . . . මුළු මනුෂ්‍යවර්ගයාම ශ්‍රේෂ්ඨ තැනැත්තෙකු සොයා යෑම හා ඔහු කෙරෙහි විශ්වාසය තැබීම ගැන අප පුදුමයෙන් පුදුමයට පත් විය යුතුයි.”—ඒ. ක්‍රෙසි මොරිසන්ගේ මිනිසා තනි වී නැත (සිංහලෙන් නොමැත) යන කෘතිය ඇසුරෙනි.

යේසුස් ක්‍රිස්තුස් මෙසේ ප්‍රකාශ කළේය. “තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය.” (මතෙව් 5:3, NW) ජනයා අන් මිනිසුන්ගෙන් දිගු කලක් ඈත්ව සිටීමෙන් යහපතක් සිදු කරගන්නේ නැත. කෙසේවෙතත්, අපේ මැවුම්කරුගෙන් හුදෙකලා වීම ඊටත් වඩා බරපතළ කාරණයකි. (එළිදරව් 4:11) “දෙවියන් ගැන අවබෝධය” ලබාගැනීම හා ඒ අනුව ක්‍රියා කිරීම අපේ ජීවිතයෙහි වැදගත් අංගයක් විය යුතුය. (හිතෝපදේශ 2:1-5, නව අනුවාදය) ඇත්තවශයෙන්ම, අපට දෙවිගෙන් ඈත්ව ස්වාධීනව සිටිය නොහැකි නිසා අපේ ආත්මික අවශ්‍යතා සපුරාගැනීමට අප අදිටන් කරගත යුතුය. සන්තෝෂය හා සැබවින්ම ආශීර්වාදවත් ජීවිතයක් රඳාපවතින්නේ “මුළු පොළොවට මහෝත්තමයා” වන යෙහෝවා සමඟ අගනා සබඳතාවක් පවත්වාගැනීම මතය.—ගීතාවලිය 83:17.

[5වන පිටුවේ පින්තූරය]

මිගෙල්: “මම කරදරකාරී කාලයක් අද්දකිමින් හිටියත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ඇසුරු කරන්න පටන්ගත්තාට පස්සේ මගේ ජීවිතය වෙනස් වුණා”

[5වන පිටුවේ පින්තූරය]

ඇල්මා රූත්: “යෙහෝවා ගැන ඉගෙනගනිද්දී මට හැඟුණා ඔහු එක්ක කිට්ටු සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් බව”

[6වන පිටුවේ පින්තූරය]

එමිලියා: “සත්‍යය දැනගන්න කලින් . . . මට සෑහෙන හිස්බවක් දැනුණා”

[7වන පිටුවේ පින්තූරය]

සැබෑ නමස්කාරකයන් සමඟ ඇසුරු කිරීම අපේ ආත්මික අවශ්‍යතා සපුරාගැනීමට උපකාරයක් වේ