Skip to content

පටුනට යන්න

බාල්ගේ සෙවණැල්ල වැටුණු ඉපැරණි නගරය උගරිට්

බාල්ගේ සෙවණැල්ල වැටුණු ඉපැරණි නගරය උගරිට්

බාල්ගේ සෙවණැල්ල වැටුණු ඉපැරණි නගරය උගරිට්

වර්ෂ 1928 සිරියානු ජාතික ගොවියෙකුගේ නඟුල එක්තරා ගලක වැදිණි. මේ ගල යට තිබුණේ පිඟන් ගඩොලින් තැනූ යම් භාණ්ඩ තිබූ ඉපැරණි සොහොනකි. ඔහුට සම්බ වූ දේ තුළ අතිවිශේෂ යමක් තිබුණායයි ඔහු නොසිතුවා විය හැකියි. ඔහුට අහම්බෙන් සම්බ වූ මේ දේ ගැන සැල වුණු ප්‍රංශ ජාතික පුරාවිද්‍යාඥ කණ්ඩායමක් ඊළඟ වසරේදී ක්ලෝද් ෂෆේර් නමැත්තාගේ මෙහෙයවීම යටතේ, එය පිහිටි පෙදෙසට පැමිණියෝය.

වැඩි කලක් යන්නට මත්තෙන් කැණීම් කරමින් සිටි මේ කණ්ඩායමේ අයට පොළොව යට තිබෙන නටඹුන් ගැන කියාපාන මැටි පුවරුවක් හමු විණි. ඒ උගරිට් ගැනය. එය “මෑත පෙරදිගෙහි (ගිනිකොන ආසියාවේ හා ඊසානදිග අප්‍රිකාවේ) පිහිටි ඉතාමත් වැදගත් නගරයක්” විය. ලේඛක බැරී හොබර්මන් මෙසේ පැවසීමට පවා එඩිතර වූයේය. “මෙම සොයාගැනීම මගින් ඇති කර තිබෙන ගැඹුරු බලපෑම තරම් බලපෑමක් මළ මුහුදේ ලියවිලිවිලි හෝ වෙනත් කිසිම පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් මගින්වත් ඇති කර නැත.”—ද ඇට්ලාන්ටික් මන්ත්ලි.

ප්‍රධාන මංසන්ධියක්

වර්තමාන උතුරු සිරියාවේ මධ්‍යධරණී මුහුදු තීරයේ, රාස් ෂම්රා නම් වූ ගොඩැල්ලක පිහිටා තිබූ උගරිට් නගරය, පො.යු.පෙ. දෙවෙනි සහස්‍රයේදී ඉතා සමෘද්ධිමත් ජාත්‍යන්තර නගරයක් විණි. ඊට අයත් ප්‍රදේශය, උතුරින් පිහිටි කැසියස් කන්දේ සිට දකුණින් පිහිටි ටෙල් සුකාස් ප්‍රදේශය දක්වා කිලෝමීටර් 60ක් පමණ දුරකටද, බටහිරින් මධ්‍යධරණී මුහුදේ සිට නැඟෙනහිරින් ඔරන්ටිස් නිම්නය දක්වා කිලෝමීටර් 35ක සිට 45ක් දක්වා දුරකටද විහිදී තිබිණි.

උගරිට්හි සෞම්‍ය දේශගුණය ගොවිපොළවල ඇති කරන සතුන්ට බෙහෙවින් හිතකර විය. මෙම ප්‍රදේශයේ ධාන්‍ය, ඔලිව් තෙල්, වයින් හා දැව වර්ග හොඳින් වැවිණි. විශේෂයෙන්ම දැව මෙසපොතේමියාවේ සහ ඊජිප්තුවේ ඉතා විරල දෙයක් විය. එපමණක්ද නොව, නගර ගණනාවකින් පැමිණි මාවත් හමු වන මංසන්ධියක මෙම නගරය පිහිටා තිබූ නිසා, එය මුලින්ම තිබූ සුප්‍රසිද්ධ ජාත්‍යන්තර වරායවලින් එකක් බවට පත් විය. ඒජියන් දූපත්, ඇනටෝලියා, බැබිලෝනිය, ඊජිප්තුව සහ මැද පෙරදිග වෙනත් ප්‍රදේශවලින් පැමිණි වෙළෙන්දෝ, ලෝහ වර්ග, කෘෂිකාර්මික නිෂ්පාදන සහ තම රටවල නිෂ්පාදනය කළ විවිධ දේවල් ගණනාවක්ම උගරිට්හිදී වෙළඳාම් කළහ.

ද්‍රව්‍යමය අතින් සමෘද්ධිමත් වුවද, උගරිට් සෑමවිටම පැවතියේ කප්පම් ගෙවන රාජ්‍යයක් හැටියටයි. මෙම නගරය ඊජිප්තු අධිරාජ්‍යයේ උතුරුකරයට වෙන්න පිහිටා තිබූ මුරපොළක් වූ අතර, එය පො.යු.පෙ. 14වන සියවසේදී හිත්තීය අධිරාජ්‍යයට ඈඳාගන්නා ලදි. මේ නිසා බදු ගෙවන්නටත්, පාලක හමුදාවට අවශ්‍ය සොල්දාදුවන් සපයන්නටත් උගරිට් නගරයට සිදු විය. “මුහුදු ජනයා” * පැමිණ, ඇනටෝලියාව (මධ්‍යම තුර්කිය) සහ උතුරු සිරියාව ආක්‍රමණය කළ විට, වහා පැමිණ උපකාර කරන මෙන් හිත්තීයවරු උගරිට් හමුදාවන්ගෙන් ඉල්ලා සිටියෝය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මුළු උගරිට් නගරයම අනාරක්ෂිත තත්වයකට පත් වූ අතර, එය පො.යු.පෙ. 1200දී පමණ සම්පූර්ණයෙන්ම විනාශ විණි.

අතීතය ගොඩගැනීම

උගරිට් නගරය විනාශ වීමෙන් හෙක්ටාර 25ක් පමණ වූ පෙදෙසක මීටර් 20ක් පමණ උසට විශාල ගොඩැල්ලක් ඇති විය. මේ පෙදෙසේ කැණීම් කර ඇත්තේ හයෙන් එකක් පමණි. මෙයින් සොයාගෙන ඇති නටඹුන් අතර වර්ග මීටර් 10,000ක ඉඩ ප්‍රමාණයකින් යුත් පෙදෙසක පිහිටා තිබූ කාමර සියයකට ආසන්න ගණනකින් හා සක්මන් මළු ගණනාවකින් සමන්විත වූ සුවිසල් මැදුරක නටඹුන්ද විය. මේ සුවිසල් මැදුරට ජල නල පද්ධතියක්, නාන කාමර සහ අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමයක්ද තිබිණි. එහි ගෘහභාණ්ඩවලට රත්තරන්, ලැපිස් ලාසුලි නම් වූ වටිනා ගල් වර්ග හා ඇත් දත් ඔබ්බවා තිබිණි. ඉතා කදිමට කැටයම් කරන ලද ඇත් දත් පනේලද සොයාගැනිණි. මේ මැදුරේ අලංකාරය දෙගුණ තෙගුණ කිරීම සඳහා තාප්පවලින් වට කළ උද්‍යානයක්ද ඒ මැද කෘත්‍රිම පොකුණක්ද විය.

මෙම නගරය හා ඒ වටා පිහිටි බිම් පෙදෙස්වල පිහිටා ඇති බාල් සහ දාගොන් * යන දෙවිවරුන්ගේ දේවාල දෙක ඉහළින්ම කැපී පෙනිණි. ඇතැම්විට මීටර් 20ක් පමණ උස් වූ මෙම දේවාල කුඩා ප්‍රවේශ ශාලාවකින් සමන්විත වූ අතර, ඒ තුළින් දෙවියාගේ රූපය තබා තිබූ කුඩා ඇතුල් කාමරයකට ඇතුල් වීමට හැකිකම තිබිණි. එසේම මළුවකට ඇතුළු වීම සඳහා පඩි පෙළක්ද තනා තිබිණි. රජුගේ ප්‍රධානත්වයෙන් සිදු වූ නොයෙක් ආකාරයේ ආගමික වත්පිළිවෙත් සිදු කරන ලද්දේ එහිදීය. රාත්‍රියේදී හෝ කුණාටු සහිත කාලවලදී දේවාලවල මුදුණේ කුඩා ප්‍රතිදීප්ත පහන් දැල්වෙන්නට ඇත. ඒවා, වරායට ඇදී එන නැව්වලට ආරක්ෂා සහිතව පැමිණීම සඳහා මඟ පෙන්වීමක් වුණා විය හැකියි. මේවායේ ගමන් කළ නැවියන් තමන්ට ආරක්ෂා සහිතව යළි ඒමට හැකිවීම නිසා කුණාටු දෙවියා වන බාල්-හදාද්ට භාර හැටියට පූජා ඔප්පු කළාට සැකයක් නැත. මෙය තහවුරු වන්නේ එම දෙවියාට කැප කරන ලද දේවාලයේ ගලින් නෙළන ලද නාවික නැංගුරම් 17ක් සොයාගෙන තිබීමෙන්ය.

අතිශයින් වටිනා මැටි පුවරු සම්භාරයක්

උගරිට්හි නටඹුන් අතුරින් මැටි පුවරු දහස් ගණනක් සොයාගෙන තිබේ. ආර්ථික, නෛතික, දේශපාලනික සහ පරිපාලනමය කටයුතුවලට සම්බන්ධ ලියවිලි භාෂා අටකින් සොයාගෙන ඇති අතර, මේවා ලිවීමට වෙනම අක්ෂර මාලා පහක් යොදාගෙන තිබේ. උගරිටික් යන නමින් හඳුන්වන මෙතෙක් නොදන්නා භාෂාවකින් කීලාකාර අක්ෂර 30ක් පමණ යොදාගනිමින් ලියා ඇති මැටි පුවරු ෂෆේර්ගේ කණ්ඩායම විසින් සොයාගෙන ඇති අතර, මෙය සොයාගෙන ඇති ඉපැරණිම වර්ණාවලීන් අතරින් එකක්යයි කිව හැකිය.

එදිනෙදා සාමාන්‍ය කටයුතු ගැන හෙළි කරනවාට අමතරව, උගරිට් ග්‍රන්ථවල එසමයේ පැවති ආගමික සංකල්ප හා වත්පිළිවෙත් පිළිබඳව අලුත් අවබෝධයක් ලබා දෙන පාඨ ගණනාවක් අඩංගු වේ. උගරිට් නගරයේ ආගම ඊට යාබදව විසූ කානානිවරුන්ගේ ආගමික වත්පිළිවෙත්වලට බොහෝදුරට සමාන වූ බව පෙනේ. රෝලාන් ඩවෝ පවසන පරිදි, මෙම ලියවිලිවලින්, “ඊශ්‍රායෙල්වරුන් විසින් කානානිවරුන්ගේ දේශය අත් පත් කරගැනීමට පෙර, එම දේශයේ තිබූ ශිෂ්ටාචාරය ගැන හොඳ අවබෝධයක් ලබාගත හැක.”

බාල් නගරයේ තිබූ ආගම

රාස් ෂම්රා පාඨවල දෙවිවරුන් හා දේවතාවියන් 200කට වඩා සංඛ්‍යාවක් ගැන සඳහන් වී තිබේ. මින් අතිඋත්තම දෙවියා වූයේ එල්ය. මොහු දෙවිවරුන්ගේ හා මිනිසාගේ පියා ලෙස සැලකිණි. තවද බාල්-හදාද් නමින් හැඳින්වූ කුණාටු දෙවියාව “වලාකුල් රෝහකයා” සහ “පොළොවේ ස්වාමියා” යනුවෙන් නම් කෙරිණි. මෙහි එල් දෙවියාව දක්වා ඇත්තේ මිනිස් වර්ගයාගෙන් ඈත් වී සිටින ඥානවන්ත, සුදු රැවුල ඇති මහලු මිනිසෙකුගේ විලාසයෙනි. අනෙක් අතට, බාල් වනාහි ශක්තිමත් මෙන්ම අභිලාෂකාමී දෙවියෙකි. ඔහු දෙවිවරුන්ව හා මිනිස් සංහතිය පාලනය කිරීමට අරඅඳියි.

මෙසේ සොයාගනු ලැබූ ලියවිලි, අලුත් අවුරුද්ද හෝ අස්වනු මංගල්‍යය වැනි ආගමික මංගල්‍යවලදී කියවනු ලැබූ ඒවා විය හැකියි. කෙසේවෙතත්, මෙහි නියම අර්ථය අපැහැදිලිය, පැටලිලි සහිතය. පාලනය සම්බන්ධයෙන් ඉස්මතු වූ මතභේදයක් ගැන ලියවූ එක් කාව්‍යයක සඳහන් පරිදි, බාල්, එල්ගේ ප්‍රියතම පුත්‍රයාව පරාජය කරයි. ඔහු මුහුදට අධිපති දෙවියා වූ යාම්ය. මේ ජයග්‍රහණය නිසා තමන්ට බාල්ගේ ආරක්ෂාව මැද මුහුදු ගමන්වල යෙදෙන්නට හැකියයි උගරිට්හි නැවියන් සමහරවිට විශ්වාස කරන්නට ඇත. මොට් නම් දෙවියා සමඟ කළ ද්වන්ද්ව සටනකින් පසුව, බාල් ඉන් පරාජය වී, පාතාලයට බැස යයි. මේ හේතුවෙන් නියඟයක් පැමිණෙයි. මිනිසුන්ගේ වැඩකටයුතු ඇනහිටී. බාල්ගේ භාර්යාව මෙන්ම ඔහුගේ සහෝදරිය වූද, ප්‍රේමයේ සහ යුද්ධයේ දේවතාවිය වූද ඇනට්, මොට් දෙවියාව මරා දමා බාල්ට යළිත් ජීවිතය දෙන්නීය. බාල් එල්ගේ භාර්යාවගේ පුත්‍රයන් වන ආතිරාට් (අෂේරා) ඝාතනය කර යළිත් සිහසුන ලබාගනී. එහෙත් මොට් වසර හතකට පසුව යළිත් පැමිණේ.

ඇතැම් අය මෙම කාව්‍යය අර්ථ දක්වන්නේ වාර්ෂිකව සිදු වන ඍතුවල චක්‍රයක සංකේතයක් හැටියටයි. මේ කාලය අතරතුර ග්‍රීෂ්ම ඍතුවේ ඇති වන තද උෂ්ණයෙන් ජීවනදායක වැසි නැවතී ශරත් ඍතුවේදී යළි පැමිණේ. වසර හතක චක්‍රයෙන්, සාගතය මෙන්ම නියඟය හා සබැඳි භය පිළිබිඹු කෙරෙන බව ඇතැම්හු සිතති. මේ කොයියම් තත්වයකදී හෝ වේවා, බාල්ගේ උදාරත්වය සලකනු ලැබුවේ මිනිස් කටයුතුවල සාර්ථකත්වය උදෙසා අත්‍යවශ්‍ය දෙයක් හැටියටයි. පීටර් ක්‍රේගි නම් විශාරදයා මෙසේ අදහස් දක්වයි. “බාල්ගේ ආගමේ ඉලක්කය වූයේ ඔහුගේ උත්තරීතරභාවය රැකගැනීමය. ඔහුගේ වන්දනාකරුවන්ගේ විශ්වාසයට අනුව, මිනිසාගේ අඛණ්ඩ පැවැත්මට බෙහෙවින් අවශ්‍ය වන අස්වනු සහ ගවයන් දිගටම පවතිනු ඇත්තේ ඔහු උත්තමයා ලෙස සිටිද්දී පමණි.”

මිථ්‍යාදෘෂ්ටියට එරෙහි වූ ප්‍රාකාරමය බලකොටුවක්

පොළොව යට තිබී ගොඩගනු ලැබූ මේ පුවරුවල පැහැදිලිවම සඳහන් වෙන්නේ උගරිට් ආගමේ තිබූ සදාචාරමය පිරිහීමයි. එක් කෘතියක (The Illustrated Bible Dictionary) මෙසේ විවරණය කරයි. “මේ දේවතාවුන්ට වන්දනාමාන කළ මිනිසුන්ගේ සදාචාරමය පිරිහීමේ ප්‍රතිඵල මේ ලියවිලිවලින් මොනවට කියාපායි. ඔවුන්ගේ මුළු අවධානයම යොමු වී තිබුණේ යුද්ධය, ශුද්ධ ගණිකා වෘත්තිය, රාගික ආලය කෙරෙහි වූ බැවින් ඒවායේ ප්‍රතිඵලක් ලෙස සිදු වුණු සමාජ පරිහානියද එහි පෙන්වයි.” ඩවෝ මෙසේ නිරීක්ෂණය කරයි. “මේ කාව්‍ය කියවීමේදී, යාහ්වේ වාදය (පැරණි හෙබ්‍රෙව්වන් යාහ්වේ දෙවිට කළ වන්දනාව) සැබවින්ම විශ්වාස කළ අය තුළ හා මහා දිවැස්වරුන් තුළ මෙම පිරිහුණු වන්දනාව කෙරෙහි තිබූ පිළිකුල යමෙකුට තේරුම්ගත හැකිය.” ඉපැරණි ඊශ්‍රායෙලයට දෙවි දුන් නීතිය එවන් බොරු ආගම්වලින් ආරක්ෂා වීම සඳහා වූ ප්‍රාකාරමය බලකොටුවක් මෙන් විය.

උගරිට් නගරයෙහි මායාව, ජ්‍යෝතිශය සහ ආත්ම බන්ධන ක්‍රියා පුළුල්ව පැතිර තිබිණි. අහසේ ග්‍රහ තාරකාවල පමණක් නොව විකෘති වූ මිනිස් භෲණවලද, මරන ලද සතුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තුළද ඔවුහු ලකුණු හා නිමිති සෙවූහ. “යම් දෙවියෙකුට පූජා කරන සත්වයෙක් එම දෙවියාගේ කොටසක් වන බවටත් දෙවියාගේ ආත්මය සතාගේ ආත්මය සමඟ මුසු වුණු බවටත් විශ්වාසයක් පැවති,” බවට ඉතිහාසඥ ෂාක්ලින් ගෂේ තම අදහස් පළ කරයි. “මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම ඉන්ද්‍රියයන් මත පෙනෙන්නට තිබෙන ලකුණු කියවීමෙන්, දෙවියාගේ ආත්මයේ කැමැත්ත දැනගන්නට හැකි වූ අතර, ඉදිරියේදී සිදු වෙන දෙයක් ගැන ශුභවාදී හෝ අශුභවාදී පිළිතුරක් ලබාගැනීමටත්, උද්ගත වන යම් තත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ගය ගැන දැනගැනීමටත් ඔවුන්ට හැකි විය.” (Le pays d’Ougarit autour de 1200 av.J.C.) මීට පටහැනිව, ඊශ්‍රායෙලිතයන්ට එවන් ක්‍රියාවල යෙදීම තහනම් විණි.—ද්විතීය කථාව 18:9-14.

තිරිසනුන් සමඟ සංසර්ගයේ යෙදීම වනාහි මෝසෙස්ගේ නීතියේ පැහැදිලිවම තහනම් කළ දෙයක් විය. (ලෙවී කථාව 18:23) මෙම හැසිරීම කෙරෙහි උගරිට් ජනයාගේ දෘෂ්ටිය වූයේ කුමක්ද? සොයාගෙන ඇති එම පුවරුවල සඳහන් පාඨයේ දැක්වෙන පරිදි බාල් තරුණ එළදෙනෙක සමඟ සංසර්ගයේ යෙදෙයි. “එම ක්‍රියාවෙහි යෙදීමට බාල් යොදාගන්නේ ගවයෙකුගේ රූපය බවට තර්ක කළ හැකි වුවද, ඔහුගේ මෙම මිථ්‍යාදෘෂ්ටික ක්‍රියාව නැවත රඟපෑ ඔහුගේ පූජකයන් ගැන නම් එම දේ කීමට නොහැකි වූවා,” යයි පුරාවිද්‍යාඥ සයිරස් ගෝර්ඩන් තම අදහස් දක්වමින් පැවසුවේය.

ඊශ්‍රායෙලිතයන්ට මෙසේ අණ කොට තිබිණි. “මළවුන් නිසා නුඹලාගේ ශරීරවල කැපුමක් කර නොගන්න.” (ලෙවී කථාව 19:28) කෙසේවෙතත්, බාල්ගේ මරණයට ප්‍රතික්‍රියා කරමින් එල් නමැති දෙවියා “පිහියකින් ඔහුගේ හම කපාගෙන දැළි පිහියකින් පච්ච කොටාගත්තේය. එසේම ඔහුගේ කම්මුලද නිකටද කපාගත්තේය.” පෙනෙන විදහට චාරිත්‍රානුකූලව හම ඉරාගැනීම බාල් වන්දනාකරුවන් අතර පැවති සිරිතක් විණි.—1 රාජාවලිය 18:28.

කුඩා එළුපැටවෙකු කිරිවලින් පිසීම කානානීය ආගමේ සශ්‍රීකත්වයේ චාරිත්‍රයක අංගයක් බව එක් උගරිට් කවියක අඟවන බව පෙනෙන්නට තිබේ. කෙසේවෙතත්, මෝසෙස්ගේ නීතියේ “එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහන්න” යනුවෙන් ඊශ්‍රායෙලිතයන්ට අණ කර තිබිණි.—නික්මයාම 23:19.

බයිබල් පාඨ සමඟ සැසඳීම්

උගරිට් ලේඛන මුලින්ම පරිවර්තනය කරනු ලැබුවේ මූලික වශයෙන් බයිබලීය හෙබ්‍රෙව් භාෂාවේ පිහිටෙනි. පීටර් ක්‍රේගි මෙසේ නිරීක්ෂණය කරයි. “අරුත් පැහැදිලි නැති මෙන්ම සමහරවිට තවමත් හඳුනාගෙන නැති බොහෝ වචන හෙබ්‍රෙව් බයිබල් පාඨවල දක්නට ලැබේ. විසිවන සියවසට පෙර විසූ පරිවර්තකයෝ විවිධ ක්‍රම මගින් එම වචනවල අර්ථය මේ මේ වේයයි අනුමාන කළහ. මේ නිසා, එම වචනම උගරිට් ලේඛනවල දක්නට ලැබෙන කල, එම පාඨවල අරුත් තේරුම්ගැනීම වඩාත් පහසුය.”

නිදසුනක් වශයෙන්, යෙසායා 3:18හි සඳහන් එක් හෙබ්‍රෙව් වචනයක් සාමාන්‍යයෙන් පරිවර්තනය කර ඇත්තේ “ඉස් දැල්ල” යනුවෙනි. ඒ හා සමාන උගරිට් යෙදුමක් හිරු හා සඳ දේවතාවුන් සඳහාත් භාවිත කෙරේ. මේ අනුව, යෙසායාගේ අනාවැකියේ සඳහන් වී ඇති යෙරුසලමේ ස්ත්‍රීහු කානාන් දෙවියන්ට ගෞරව කිරීමක් වශයෙන් සූර්ය මාල මෙන්ම, “චන්ද්‍රලේකාභරණද” පැළඳුවා විය හැකියි.

හිතෝපදේශ 26:23හි මැසරෙටික් පාඨයක, “සිත නපුරුව තිබෙද්දී ජ්වලිතව තිබෙන තොල්” “රිදී බොර” ගල්වා ඇති මැටි භාජනයක් සමඟ සසඳා තිබේ. මෙහි භාවිත කර ඇති උගරිට් යෙදුමක් හේතුවෙන් මෙම ප්‍රකාශය “පිඟන් මැට්ට ඔප දැමීම සඳහා භාවිත කරන මිශ්‍රණයක් මෙනි” යනුවෙන් පරිවර්තනය කළ හැකිය. නව ලෝක පරිවර්තනය මෙම හිතෝපදේශය වඩා උචිත ලෙස මෙසේ පරිවර්තනය කර තිබේ. “නපුරු සිතක් සමඟින් වූ උද්වේගකාරී තොල්, දිලිසෙන රිදී ඔප මිශ්‍රණයක් ගා ඇති මැටි භාජන කැබැල්ලක් මෙනි.”

බයිබල් පාඨ ලිවීමට පදනමක් සැපයුවාද?

මෙම රාස් ෂම්රා පාඨයන් ගැන පරීක්ෂා කළ ඇතැම් විශාරදයන් කියා සිටින්නේ යම් බයිබල් පාඨයන් උගරිට් කාව්‍යමය පාඨවලින් උපුටාගෙන තිබෙන බවයි. ප්‍රංශ ආයතනයේ සාමාජිකයෙක් වන ආන්ද්‍රේ කකෝ “ඊශ්‍රායෙලිතයන්ගේ ආගමේ හදවතේ කානානීය සංස්කෘතිකමය පදනමක් තිබීම” ගැන කතා කරයි.

ගීතාවලිය 29වන පරිච්ඡේදය සම්බන්ධයෙන් රෝමයේ පාප් බයිබලීය ආයතනයේ මිට්චල් ඩේහඩ් මෙසේ පැහැදිලි කරයි. “මෙම ගීතිකාව, කුණාටු දෙවියා වන බාල්ට ගයන ලද ඉපැරණි කානානීය ගීතිකාවක් යාහ්වේ ඇදහූවන් විසින් ඇඳෑගැනීමකි. . . . මෙම ගීතිකාවේ සෑම වචනයක්ම පාහේ දැන් පැරණි කානානීය ලියවිලිවලද දැකිය හැකිය.” එවන් නිගමනයක් කිරීම යුක්තිසහගතද? කොහෙත්ම නැත!

එවන් සමාන කිරීම් හුදෙක් අතිශයෝක්තීන් පමණක් බව සාධාරණව සිතන විශාරදයන් බොහෝදෙනෙක් පිළිගනිති. තවත් අය විවේචනය කරන්නේ උගරිට් ආගම කෝකටත් තෛලයක් කරගෙන ඇති බවයි. “උගරිට් ලියවිලි සම්පූර්ණයෙන්ම ගීතාවලිය 29ට සමාන නොවේ,” යයි දේවධර්මාධරයෙකු වන ගැරි බ්‍රැන්ට්ලි සඳහන් කරයි. “ගීතාවලිය 29 (හෝ වෙනත් කිසිදු බයිබලීය පාඨයක්) මිථ්‍යාදෘෂ්ටික ආදේශයක්යයි විශ්වාස කිරීමට කිසිදු පදනමක් නැත.”

රූපකාලංකාරවල, කාව්‍යමය භාෂාවේ භාවිත කර ඇති සමාන්තරවල හා පද්‍ය විලාසයේ වෙනත් අංගවල සමානකම් තිබීම ඈඳාගත් බවට ඔප්පුවක්ද? එසේ නොව, එවන් සමාන්තරකම් අපේක්ෂා කළ යුතු දෙයකි. ආගම පිළිබඳ විශ්වකෝෂයේ (සිංහලෙන් නැත) මෙසේ කියයි. “යම් පාඨවල රටාව හා එහි අඩංගු දේවල සමානකම් තිබීම සංස්කෘතික ලක්ෂණයකි. උගරිට් හා ඊශ්‍රායෙල් ජාතීන් අතර, භූගෝලීය වශයෙන් හා කාලීන වශයෙන් සුවිශේෂී වෙනස්කම් තිබුණද, ඔවුන් දෙපාර්ශ්වයම පොදු කාව්‍යමය හා ආගමික වාග්මාලාවක් භාවිත කළ පුළුල් සංස්කෘතිකමය ව්‍යූහයක කොටස්කරුවන් වූ බව අමතක නොකළ යුතුය.” මේ නිසා, ගැරි බ්‍රැන්ට්ලි මෙසේ නිගමනය කරයි. “භාෂාමය සමානකම් තිබීම නිසාම මිථ්‍යා විශ්වාසයන් බයිබල් පාඨවලට ඈඳීම පාඨයන් වැරදි ලෙස විවරණය කිරීමකි.”

අන්තිම වශයෙන් කීමට තිබෙන්නේ මෙයයි. රාස් ෂම්රා පාඨයන් හා බයිබලය අතර යම් සමානකම් තිබුණායයි කියමු. ඒවා මුළුමනින්ම සාහිත්‍යමය සමානකම් මිසක, අධ්‍යාත්මික සමානකම් නම් නොවේ. “බයිබලයේ දිස් වෙන චාර්යාත්මක සහ සදාචාරමය උසස් සාරධර්ම උගරිට්හි සොයාගත නොහැක,” යයි පුරාවිද්‍යඥ සයිරස් ගෝර්ඩන් සටහන් කරයි. ඇත්තෙන්ම, බයිබලය හා උගරිට් සංස්කෘතිය අතර තිබෙන යම් සමානකම්වලට වඩා ඒ අතර තිබෙන වෙනස්කම් බොහෝ සෙයින් වැඩිය.

සමස්තයක් වශයෙන් ගත් කල, බයිබල් ලේඛකයන්ගේ හා හෙබ්‍රෙව් ජාතියේ සංස්කෘතිකමය, ඓතිහාසික හා ආගමික පරිසරය අවබෝධ කරගැනීමට උගරිට් අධ්‍යයනයන් බයිබල් ශිෂ්‍යයන්ට දිගටම උපකාරවත් වන බව පෙනී යයි. රාස් ෂම්රා පාඨයන් තවදුරටත් සෝදිසි කර බලද්දී ඉපැරණි හෙබ්‍රෙව් බස ගැන තව තවත් අලුත් අංගයන් අවබෝධ කරගැනීම පහසු විය හැකියි. කෙසේවෙතත්, ඒ සියල්ලටම වඩා, උගරිට් ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් කදිමට ඉස්මතු වන්නේ බාල් වන්දනාකරුවන්ගේ පිරිහුණු වන්දනා ක්‍රම හා යෙහෝවාගේ පිරිසිදු නමස්කාරය අතර ඇති පැහැදිලි වෙනසයි.

[පාදසටහන්වල]

^ 7 ඡේ. “මුහුදු ජනයා” යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ මධ්‍යධරණී දූපත් හා මුහුදුකරයේ පිහිටි දේශවලින් පැමිණි නැවියන්වය. පිලිස්තිවරුන්ද මොවුන්ගේ ගණයට අයත් වුණා විය හැකියි.—ආමොස් 9:7.

^ 10 ඡේ. මේ පිළිබඳව විවිධ මත පළ වී තිබුණද, ඇතැම්හු දාගොන්ගේ දේවාලය එල්ගේ දේවාලය ලෙස හඳුනාගෙන තිබේ. ප්‍රංශ ජාතික විශාරදයෙක් සහ මහාචාර්යවරයෙකු වන යෙරුසලම් බයිබල් අධ්‍යයන පාසැලේ සේවය කරන වන රෝලාන් ඩවෝ විශ්වාස කරන්නේ විනිශ්චයකාරයන්ගේ පොතේ 16:23 සහ 1 සාමුවෙල් 5:1-5හි සඳහන් පරිදි දාගොන් යනු එල්ගේ නිවැරදි නාමය බවයි. ආගම් පිළිබඳ විශ්වකෝෂය (සිංහලෙන් නැත) පවසන පරිදි, සමහරවිට, “දාගොන්ව එක්තරා අර්ථයකින් [එල්] සමඟ සම්බන්ධ කර තිබිණි.” රාස් ෂම්රා පාඨවල බාල් යනු දාගොන්ගේ පුත්‍රයා ලෙස නම් කර තිබේ. නමුත් මෙහි “පුත්‍රයා” යන යෙදුමේ අර්ථය පැහැදිලි නැත.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

උගරිට් ප්‍රදේශයෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් නිසා ශුද්ධ ලියවිල්ල පිළිබඳ අපේ අවබෝධය වැඩි දියුණු වී ඇත

[24, 25වන පිටුවේ සිතියම⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

හිත්තීය අධිරාජ්‍යය, ක්‍රි.පූ. 14වන සියවස

මධ්‍යධරණී මුහුද

යුෆ්‍රේටීස්

කැසියස් කන්ද (ජෙබෙල් එල්-අග්‍රා)

උගරිට් (රාස් ෂම්රා)

ටෙල් සුකාස්

ඔරන්ටිස්

සිරියාව

ඊජිප්තුව

[හිමිකම් විස්තර]

බාල්ගේ ප්‍රතිමාව සහ සත්වයෙකුගේ හිසකට සමාන හැඩයකින් යුත් බීම භාජනය: Musée du Louvre, Paris; රජ මාළිගාවේ සිතුවමක්: © D. Héron-Hugé pour “Le Monde de la Bible”

[25වන පිටුවේ පින්තූරය]

මාළිගාවට ඇතුල් වෙන තැන තිබෙන නටඹුන්

[26වන පිටුවේ පින්තූරය]

නික්මයාම 23:19 ගැන මිථ්‍යාදෘෂ්ටික උගරිට් කාව්‍යයෙන් යම් අවබෝධයක් ලබාගත හැකියි

[හිමිකම් විස්තර]

Musée du Louvre, Paris

[27වන පිටුවේ පින්තූර]

බාල්ගේ ගල් පුවරුව

දඩයම් කිරීමක් හුවා දක්වන රන් තලිස

සශ්‍රීකත්වයේ දේවතාවියක්ව දක්වන ඇත් දත්වලින් තැනූ විලවුන් පෙට්ටියක පියනක්

[හිමිකම් විස්තර]

සියලුම රූපසටහන්: Musée du Louvre, Paris