Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ දවස ළඟා වෙත්ම අප ජනයා දෙස බැලිය යුත්තේ කෙසේද?

යෙහෝවාගේ දවස ළඟා වෙත්ම අප ජනයා දෙස බැලිය යුත්තේ කෙසේද?

යෙහෝවාගේ දවස ළඟා වෙත්ම අප ජනයා දෙස බැලිය යුත්තේ කෙසේද?

“යෙහෝවා තම පොරොන්දුව ගැන ප්‍රමාද වන්නේ නැත. නමුත් ඔහු ඔබ ගැන ඉවසන්නේය. මන්ද, සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට ඔහු කැමති නැත.”—2 පේතෘස් 3:9, NW.

1, 2. (අ) යෙහෝවා අද දින ජනයා දෙස බලන්නේ කෙසේද? (ආ) අපට අපගෙන්ම අසාගත හැක්කේ කවර ප්‍රශ්නද?

“සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” නමැති පැවරුම යෙහෝවාගේ සේවකයන්ට දී තිබේ. (මතෙව් 28:19, NW) මෙම පැවරුම ඉටු කරන අතරේදී, “යෙහෝවාගේ මහත් දවස” බලා සිටිද්දී, ඔහු ජනයා දෙස බලන ආකාරයෙන්ම අපද ඔවුන් දෙස බැලිය යුතුය. (ශෙපනියා 1:14) ඒ කවර දෘෂ්ටියක් ඇතුවද? ප්‍රේරිත පේතෘස් මෙසේ පවසයි. “ප්‍රමාද වී ඇතැයි සමහරුන් සිතන නමුත් යෙහෝවා තම පොරොන්දුව ගැන ප්‍රමාද වන්නේ නැත. නමුත් ඔහු ඔබ ගැන ඉවසන්නේය. මන්ද, සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට ඔහු කැමති නැත.” (2 පේතෘස් 3:9) දෙවි සියලුම මනුෂ්‍යයන් දෙස බලන්නේ පසුතැවිල්ල කරා පැමිණීමේ හැකියාවක් තිබෙන පුද්ගලයන් ලෙසය. ඔහුගේ “කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:4, NW; 2:3, පැ.අ.) ඇත්තෙන්ම, “දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙන” විට, යෙහෝවා කොතරම් ප්‍රීතිමත් වෙනවාද!—එසකියෙල් 33:11.

2 අප පෞද්ගලිකව ජනයා දෙස බලන්නේ යෙහෝවා බලන ආකාරයට අනුවද? ඔහු හා සමානව, අපත් සෑම ජාතියකම හා වර්ගයකම පුද්ගලයන් දෙස බලන්නේ ‘ඔහුගේ ගොදුරු බිමේ බැටළුවන්’ බවට පත් විය හැකි අය ලෙසද? (ගීතාවලිය 100:3; ක්‍රියා 10:34, 35) දෙවි දරන දෘෂ්ටියම දැරීමේ වැදගත්කම කියාපාන උදාහරණ දෙකක් සලකා බලමු. මෙම අවස්ථා දෙකේදීම යම් විනාශයක් අත ළඟම තිබුණු අතර, එම විනාශය ගැන යෙහෝවාගේ සේවකයන්ව කල් තියාම දැනුවත් කර තිබිණ. යෙහෝවාගේ මහත් දවස බලා සිටින අපට මෙම උදාහරණවලින් වැදගත් පාඩමක් උගත හැකිය.

ආබ්‍රහම් බැලුවේ යෙහෝවා බලන විදිහටමයි

3. සොදොම සහ ගොමෝරා යන නගර දෙකේ වැසියන් දෙස යෙහෝවා බැලුවේ කෙසේද?

3 මුල්ම උදාහරණය විශ්වාසවන්ත කුලදෙටු ආබ්‍රහම් හා සොදොම සහ ගොමෝරා නමැති පාපිෂ්ට නගර සම්බන්ධවයි. “සොදොමේද ගොමෝරාවේද මොරගැසීම” යෙහෝවාගේ අවධානයට ලක් වූ වහාම ඔහු එම නගර හා එහි වැසියන්ව විනාශ කළේ නැත. මුලින්ම ඔහු සෝදිසියක් කළේය. (උත්පත්ති 18:20, 21) දේවදූතයන් දෙදෙනෙකුව සොදොමට යවන ලදි. තවද ඔවුහු ධර්මිෂ්ඨ ලොත්ගේ නිවසෙහි වාසය කරන්නට පටන්ගත්තෝය. එම දේවදූතයන් පැමිණි රාත්‍රියේ “නුවරේ මනුෂ්‍යයෝ . . . තරුණයෝද මහල්ලෝද යන මුළු සෙනඟ ගෙය වට කරගත්තෝය.” ඔවුන්ගේ ආශාව වූයේ දේවදූතයන් සමඟ සමලිංගික සම්බන්ධකම් පැවැත්වීමය. එම නුවරේ වැසියන්ගේ නින්දිත හැසිරීමෙන් පැහැදිලි වූයේ එය විනාශයට සුදුසු නගරයක් වූ බවය. එහෙත්, දේවදූතයන් ලොත්ට පැවසුවේ මෙලෙසය. ‘මෙහි ඔබට සිටින්නේ වෙන කවුද? බෑනා හෝ ඔබේ පුත්‍රයන් හෝ ඔබේ දූවරුන් හෝ වෙන මේ නුවර ඔබට සිටින කොයි කෙනෙක් හෝ මේ ස්ථානයෙන් පිටතට ගෙන යන්න!’ එම නුවරේ වැසියන් කිහිපදෙනෙකුට මිදෙන්නට මාර්ගයක් යෙහෝවා විවෘත කර දුන්නද, අවසානයේදී විනාශයෙන් බේරුණේ ලොත් සහ ඔහුගේ දූවරුන් දෙදෙනා පමණි.—උත්පත්ති 19:4, 5, 12, 16, 23-26.

4, 5. ආබ්‍රහම් සොදොම්හි වැසියන් වෙනුවෙන් කන්නලව් කළේ මන්ද? තවද ජනයා ගැන ඔහු දැරූ දෘෂ්ටිය යෙහෝවාගේ දෘෂ්ටියට සමාන වීද?

4 දැන් අපි සොදොම සහ ගොමෝරා යන නගර දෙක සෝදිසි කර බැලීමට යෙහෝවා තම අදහස එළිදරව් කළ අවස්ථාව සලකා බලමු. ආබ්‍රහම් මතු දැක්වෙන පරිද්දෙන් කන්නලව් කළේ එවිටය. “එම නුවරෙහි ධර්මිෂ්ඨ පුරුෂයන් පනස්දෙනෙක් සිටිත් කියා සිතන්න. ඔබ එවිට එහි සිටින ධර්මිෂ්ඨයන් පනස්දෙනා වෙනුවෙන් ඒ ස්ථානය ඉතිරි කරන්නේ නැතුව, එය විනාශ කරනු ඇද්ද? ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා එකම තලයේ දමා දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මරුමුවට පත් කිරීම වැනි දෙයක් ඔබ කරයි කියා සිතන්නටවත් නුපුළුවන. ඔබ මෙලෙස ක්‍රියා කරයි කියා සිතන්නටවත් නුපුළුවන. මුළු පොළොවේ විනිශ්චයකරුවාණන් හරි වූ දේ කරන්නේ නැද්ද?” ආබ්‍රහම් “ඔබ කරයි කියා සිතන්නටවත් නුපුළුවන” කියන යෙදුම දෙවරක් භාවිත කළේය. ආබ්‍රහම් තම අද්දැකීමෙන්ම දැනගෙන සිටි දෙයක් නම්, යෙහෝවා දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා විනාශ නොකරන කෙනෙකු බවය. “නුවරෙහි ධර්මිෂ්ඨ පුරුෂයන් පනස්දෙනෙක්” සිටියා නම්, සොදොම විනාශ නොකරන බව යෙහෝවා පැවසූ විට, ආබ්‍රහම් යෙහෝවාගෙන් විමසුවේ ක්‍රමානුකූලව එම සංඛ්‍යාව දහය දක්වා අඩු කරමිනි.—උත්පත්ති 18:22-33, NW.

5 ආබ්‍රහම් කළ කන්නලව්ව තමා දරන දෘෂ්ටියට එකඟ වූයේ නැත්නම් යෙහෝවා ඊට සවන් දෙනු ඇද්ද? පිළිතුර පැහැදිලිය. ආබ්‍රහම් “යෙහෝවාගේ මිත්‍රයා” විය. එමනිසා, ඔහු දෙවිට තිබූ දෘෂ්ටිය දැන සිටියා පමණක් නොව, ඔහුටද එම දෘෂ්ටිය තිබිණ. (යාකොබ් 2:23, NW) යෙහෝවා සොදොම සහ ගොමෝරාව වෙතට තම අවධානය යොමු කළ විට, ආබ්‍රහම් කළ කන්නලව්ව සලකා බැලීමට ඔහු කැමැත්තක් දැක්වීය. ඒ මන්ද? අපගේ ස්වර්ගික පියාණන් ‘සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට කැමති’ නැති බැවිනි.

යෝනා ජනයා දෙස බැලූ අන්දම ඊට හාත්පසින්ම වෙනස්!

6. යෝනා ප්‍රකාශ කළ දේට නිනිවයේ වැසියන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

6 දැන් අපි දෙවන උදාහරණය සලකා බලමු. එය යෝනා හා සම්බන්ධයි. මේ අවස්ථාවේදී විනාශය සඳහා නියම වූ නගරය වූයේ නිනිවයයි. එම නුවරේ දුෂ්ටකම ‘යෙහෝවා ඉදිරියට පැමිණ තිබුණු’ බව ප්‍රකාශ කරන ලෙස යෝනාට පවසා තිබිණ. (යෝනා 1:2) නගරාසන්න ප්‍රදේශ ඇතුළුව නිනිවය නගරය “හරහා යෑමට දවස් තුනක් ගත” [නව අනුවාදය] වූ බැවින් එය ඉතා විශාල නගරයක් විය. නිනිවය වෙතට ගොස් දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන්නට යෝනා අන්තිමේදී කීකරුව එකඟ විය. ඔහු එහිදී “තව සතළිස් දවසකින් නිනිවය හෙළා දමනු ලැබේයයි” දිගටම ප්‍රකාශ කළේය. එවිට “නිනිවයෙහි මනුෂ්‍යයෝ දෙවි කෙරෙහි විශ්වාස කොට, උපවාසයක් ප්‍රසිද්ධ කර, ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝණි රෙදි ඇඳගත්තෝය.” නිනිවයේ රජ පවා පසුතැවිලි වූයේය.—යෝනා 3:1-6.

7. යෙහෝවා නිනිවයේ වැසියන්ගේ පසුතැවිල්ලට නැඹුරු වූ ආකල්පය දෙස බැලුවේ කෙසේද?

7 මෙහිදී ලැබුණු ප්‍රතිචාරය සොදොමට වඩා හාත්පසින්ම වෙනස් එකක් විය! පසුතැවිලි වූ නිනිවයේ වැසියන් දෙස යෙහෝවා බැලුවේ කෙසේද? යෝනා 3:10හි මෙසේ පැවසේ. සැබෑ ‘දෙවි ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළේය.’ යෙහෝවා ‘තැවුණා’ කීමෙන් අදහස් වන්නේ නිනිවයේ වැසියන්ට තමා කරන්නට අදහස් කළ දේ වෙනස් කළා යන්නය. මන්දයත් නිනිවයේ වැසියන් තම ක්‍රියාකලාපය වෙනස් කළ බැවිනි. දෙවි තම ප්‍රමිති වෙනස් කළේ නැත. එනමුත් නිනිවයේ වැසියන් පසුතැවිලි වූ බව දුටු නිසා යෙහෝවා ගත් තීරණය වෙනස් කළේය.—මලාකී 3:6.

8. යෝනා නුරුස්සන ගතියක් පෙන්වූයේ මන්ද?

8 නිනිවයේ වැසියන්ව විනාශ කරන්නේ නැති බව යෝනා දැනගත් විට, ඔහු තත්වය දෙස බැලුවේ යෙහෝවා බැලූ ආකාරයට අනුවද? නැත. මන්ද අපට ඔහු ගැන මෙසේ පවසා ඇති හෙයිනි. “යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝප විය.” යෝනා තවත් කුමක්ද කළේ? වාර්තාවෙහි මෙසේ පැවසේ. “ඔහු යෙහෝවාට යාච්ඤා කරමින්: අනේ යෙහෝවා, මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලා යන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්ත වූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්ත වූ, ඉතා කරුණාවන්ත වූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවි කෙනෙකු බව දැනගන සිටියෙමි.” (යෝනා 4:1, 2) යෙහෝවා සතු ගුණාංග ගැන යෝනාට අවබෝධයක් තිබිණ. කෙසේවෙතත්, එම අවස්ථාවේදී යෝනා අමනාප වී පසුතැවිලි වූ නිනිවයේ වැසියන් දෙස දෙවි බැලූ අන්දමට බලන්නට සමත් වූයේ නැත.

9, 10. (අ) යෙහෝවා යෝනාට ඉගෙනගන්නට උපකාර කළේ කවර පාඩමද? (ආ) නිනිවයේ වැසියන් සම්බන්ධයෙන් යෙහෝවා දැරූ දෘෂ්ටිය අන්තිමේදී යෝනාද දැරූ බව අපට නිගමනය කළ හැක්කේ මන්ද?

9 ඊළඟට යෝනා නිනිවයෙන් පිටතට ගොස්, පැලක් සාදගෙන “නුවරට මක් වේද කියා බලන පිණිස” එහි සෙවණෙහි හිඳගත්තේය. යෝනාට සෙවණ ලබා දීම සඳහා යෙහෝවා ලබු වැලක් හටගැනීමට සැලැස්වීය. කෙසේවෙතත් ඊළඟ දිනේදී මෙම වැල මැළ වී ගියේය. සිදු වූ දේ ගැන යෝනා කෝප වූ විට යෙහෝවා මෙසේ පැවසීය. “ලබු වැල කෙරෙහි ඔබ අනුකම්පා කළෙහිය. එසේනම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම් වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පා කළ යුතු නොවේද?” (යෝනා 4:5-11) යෙහෝවා ජනයා දෙස බලන ආකාරය සම්බන්ධයෙන් මෙයින් යෝනාට මොනතරම් බලගතු පාඩමක් ඉගෙනගන්නට අවස්ථාවක් ලැබුණාද!

10 නිනිවයේ වැසියන්ට අනුකම්පා කිරීම ගැන දෙවි පැවසූ දේට යෝනා දැක්වූ ප්‍රතිචාරය වාර්තා කර නැත. කෙසේවෙතත්, පසුතැවිලි වූ නිනිවයේ වැසියන් ගැන තමා දැරූ දෘෂ්ටිය මෙම අනාගතවක්තෘ වෙනස් කරගත් බව පැහැදිලිය. අපට මෙම නිගමනයට එළඹිය හැක්කේ දේවානුභාවය ලත් මෙම වාර්තාව ලේඛනගත කිරීමට යෙහෝවා ඔහුව පාවිච්චි කළ බවට වූ කාරණයෙන්ය.

ඔබට ඇත්තේ කවර ආකල්පයක්ද?

11. ආබ්‍රහම් අද සිටියා නම්, අදදින වෙසෙන ජනයා දෙස ඔහු බොහෝදුරට බලනු ඇත්තේ කෙසේද?

11 අද දින අප ඉදිරියෙහි තවත් විනාශයක් අත ළඟ තිබේ. එනම් යෙහෝවාගේ මහත් දවසේදී දැනට පවතින දුෂ්ට සමාජ ක්‍රමයේ විනාශයයි. (ලූක් 17:26-30; ගලාති 1:4; 2 පේතෘස් 3:10) ආබ්‍රහම් අප අතර සිටියා නම්, ළඟදීම විනාශ වනු ඇති මෙම ලෝකයෙහි වෙසෙන ජනයා දෙස ඔහු බලන්නේ කෙසේද? තවමත් ‘රාජ්‍යයේ ශුභාරංචිය’ ගැන අසා නැති අය ගැන ඔහු සැලකිලිමත් වනවා නොඅනුමානය. (මතෙව් 24:14) සොදොමෙහි සිටිය හැකි ධර්මිෂ්ඨ අය ගැන ආබ්‍රහම් දෙවිට නැවත නැවතත් කන්නලව් කළේය. පසුතැවිලි වන්නට හා දෙවිට සේවය කරන්නට ප්‍රස්තාවක් ලබා දුන්නා නම් සාතන්ගේ බලය යටතේ පවතින මේ ලෝකයේ මාර්ගවලට පිටුපානු ඇති ජනතාව සොයා ගැනීම ගැන අපට පෞද්ගලිකව යම් තැකීමක් තිබෙනවාද?—1 යොහන් 5:19; එළිදරව් 18:2-4.

12. අපගේ දේවසේවයේදී හමු වන ජනයා සම්බන්ධයෙන් යෝනාට සමාන ආකල්පයක් ඇති කරගැනීම පහසු වන්නේ මන්ද? අපට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද?

12 දුෂ්ටකමේ අවසානය ගැන මහත් අපේක්ෂාවකින් සිටීම උචිතය. (හබක්කුක් 1:2, 3) එහෙත් පසුතැවිලි විය හැකි ජනයාගේ ශුභසිද්ධිය ගැන කිසිදු තැකීමක් නොකරමින් යෝනාට සමාන ආකල්පයක් ඉතාමත් ලෙහෙසියෙන් අප තුළ ඇතිවීමට පුළුවන. අප රාජ්‍යය පිළිබඳ පණිවිඩය සමඟින් නිවෙස්වලට ගොස්, උදාසීන අය, සුහදතාවක් නොදක්වන අය හෝ කලහකාරී අය පවා නිතරම හමු වන විට මෙය විශේෂයෙන්ම සැබෑවක් වේ. යෙහෝවා ඉදිරියට මෙම දුෂ්ට සමාජ ක්‍රමයෙන් එක්රැස් කරනු ඇති අය ගැන අපි කිසිවිටකත් නොසැලකිලිමත් නොවෙමු. (රෝම 2:4) අවංක ආත්ම-සෝදිසියක් කළායින් පසු, නිනිවය වැසියන් සම්බන්ධයෙන් යෝනාට මුලින් තිබූ ආකල්පයට සුළු වශයෙන් හෝ සමාන වන ආකල්පයක් අප සතු බව පෙනී යනවා නම්, යෙහෝවාට තිබෙන දෘෂ්ටියට සමාන දෘෂ්ටියක් දැරීමට උපකාර ඉල්ලා යාච්ඤා කරන්නට අපට පුළුවන.

13. යෙහෝවාට අදදින ජනයා ගැන ඉමහත් තැකීමක් ඇති බව අපට පැවසිය හැක්කේ මන්ද?

13 තමාට තවමත් සේවය නොකරන අය ගැන යෙහෝවාට ඉමහත් තැකීමක් තිබෙන අතර, තම කැප වූ ජනතාවගේ ඉල්ලීම්වලටද ඔහු සවන් දෙයි. (මතෙව් 10:11) නිදසුනකට ඔවුන්ගේ යාච්ඤාවලට ප්‍රතිචාරයක් වශයෙන් ‘ඔහු යුක්තිය ඉටුවීමට සලස්වනු ඇත.’ (ලූක් 18:7, 8, NW) එපමණක්ද නොව, යෙහෝවා නියමිත කාලයේදී තම පොරොන්දු හා අරමුණු සියල්ලම ඉටු කරනවා නියතය. (හබක්කුක් 2:3) මීට පදනම සපයමින් නිනිවයේ වැසියන් යළිත් දුෂ්ටකමට ඇද වැටුණු නිසා ඔහු එම නගරය විනාශ කළාක් මෙන්ම, පෘථිවියෙන් සියලුම නපුරු දේවල් තුරන් කරනු ලැබීම මීට ඇතුළත් වේ.—නාහුම් 3:5-7.

14. යෙහෝවාගේ මහත් වූ දවස බලා සිටින අතරේදී අප කුමක් කරමින් සිටිය යුතුද?

14 යෙහෝවාගේ මහත් දවසේදී මෙම දුෂ්ට සමාජ ක්‍රමය ඉවත් කරනු ලබන තෙක්, අප ඉවසිලිවන්තව බලා සිටිනු ඇද්ද? දේවකැමැත්ත කිරීමෙහි කඩිසරව නියැලී සිටිනු ඇද්ද? යෙහෝවාගේ දවස පැමිණීමට පෙරාතුව දේශනා කිරීමේ වැඩය කොතරම් පුළුල්ව සිදු කරනු ලබනවාද යන්න පිළිබඳව තොරතුරු අප නොදැන සිටියද, අන්තිමය පැමිණීමට කලින් රාජ්‍යයේ ශුභාරංචිය දෙවිව සෑහීමට පත් කරවන තරමට මුළු ජනාවාස පොළොව පුරා දේශනා කරනු ලබන බව නම් නිසැකවම අපි දනිමු. ඇරත්, යෙහෝවා අඛණ්ඩව තම ගෘහය තේජශ්‍රීයෙන් පුරවන මෙම කාලයේදී තවමත් එම ගෘහය තුළට එකතු කිරීමට තිබෙන ‘ආශා වන දේවල්’ ගැන අපට සැලකිල්ලක් තිබිය යුතු බව නොඅනුමානය.—හග්ගයි 2:7.

අපගේ දෘෂ්ටිය අපගේ ක්‍රියා තුළින් පිළිබිඹු වේ

15. දේශනා කිරීමේ වැඩය සඳහා අපගේ අගය තවත් තීව්‍ර කළ හැක්කේ කුමකින්ද?

15 සමහරවිට අප ජීවත් වන ප්‍රදේශයේ දේශනා වැඩයට හොඳ ප්‍රතිචාරයක් නොලැබෙනවා විය හැක. තවද අප සිටින තත්වය හේතුවෙන් රාජ්‍ය ප්‍රකාශකයන් සඳහා වැඩි අවශ්‍යතාවක් ඇති ප්‍රදේශයකට යෑමටද නුපුළුවන. එනිසා අවසානය පැමිණෙන්නට පෙරාතුව අප සිටින බලප්‍රදේශයේ දසදෙනෙකුවත් සොයාගත හැකි බව සිතන්න. ඒ දසදෙනාව සෙවීමට දරන වෑයම වටියි කියා අපට හැඟෙනවාද? යේසුස්ට සමූහයන් කෙරෙහි දැනුණේ මහත් ‘අනුකම්පාවකි.’ මන්දයත් “ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටි” බැවිනි. (මතෙව් 9:36, NW) වත්මන් ලොවේ ජීවත් වන අයගේ අසරණ තත්වය ගැන තවත් ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට බයිබලය අධ්‍යයනය කිරීම සහ මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල ලිපි හොඳින් කියවීම මහෝපකාරී වේ. මෙමගින් ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍යතාවක් ඇති බවට වූ අපගේ අගය තවත් තීව්‍ර කිරීමට පුළුවන. එපමණක්ද නොව, නිතරම පියවනු ලබන බලප්‍රදේශයක වුවත් ඒත්තුගන්වනසුලු ආකාරයකින් දේශනා කිරීමට “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන බයිබලය මත පදනම් ප්‍රකාශන අගයකින් යුතුව භාවිත කිරීම උපකාරවත් වේ.—මතෙව් 24:45-47; 2 තිමෝති 3:14-17; NW.

16. අපගේ දේවසේවයේ පලදායීතාව වැඩි කරගත හැක්කේ කෙලෙසද?

16 බයිබලයේ ජීවනදායක පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්විය හැකි අය ගැන අපට සැලකිල්ලක් ඇති නිසා, අපගේ දේවසේවයේදී මුණගැසෙන නිවැසියන් වෙත එළඹීමට විවිධ වේලාවන් හා ක්‍රම යොදාගැනීමට අපි පෙලඹෙන්නෙමු. අප නිවෙස්වලට යන විට, වැඩිදෙනා නිවෙස්වල නොසිටින බව අපට පෙනී යනවාද? එවන් තත්වයක් තිබේ නම්, අපගේ සාක්ෂි දැරීමේ වැඩයෙහි නිරත වන වේලාවන් සහ ස්ථානවල යම් වෙනසක් සිදු කිරීමෙන් අපගේ දේවසේවයෙහි පලදායීතාව වැඩි කරගැනීමට පුළුවන්කමක් තිබිය හැක. ධීවරයන් මසුන් ඇල්ලීමට පිටත් වන්නේ මසුන් අල්ලාගැනීමට යෝග්‍ය වේලාවන්වලදීය. අපගේ ආත්මික මසුන් ඇල්ලීමේ වැඩයෙහි ඒ හා සමාන දෙයක් කිරීමට අපට පුළුවන්ද? (මාක් 1:16-18) සන්ධ්‍යාවේ සාක්ෂි දැරීමට හෝ නීතියෙන් අවසර ඇත්නම් දුරකථනයෙන් සාක්ෂි දැරීමට හෝ ඔබ පියවර නොගන්නේ මන්ද? රථ ගාල්වල, දුර ගමන් යන ට්‍රක් රථ සහ බස් නතර කරන ස්ථානවල, ඉන්ධන පිරවුම් හල්වල සහ කඩ සාප්පුවල පලදායී ලෙස ‘මසුන් අල්ලාගැනීමට’ හැකි බව ඇතැමුන් සොයාගෙන ඇත. අවිධිමත්ව සාක්ෂි දැරීමට තිබෙන ප්‍රස්තා උනන්දුවෙන් අල්ලාගන්නා විට අපට ආබ්‍රහම්ට සමාන ආකල්පයක් ඇති බවට එය සාක්ෂියකි.

17. මිෂනාරිවරුන් හා විදේශ රටවල සේවය කරන වෙනත් අයව දිරිගැන්වීමට අපට හැක්කේ කවර ආකාරවලින්ද?

17 මිලියන ගණනකට තවමත් රාජ්‍යය පිළිබඳ පණිවිඩය ඇසීමට ප්‍රස්තාව ලැබී නැත. අප කරන දේශනා වැඩයට අමතරව, අපගේ නිවසේ සිටම එවන් අය කෙරෙහි සැලකිල්ල දැක්විය හැකිද? මෙසේ සිතා බලන්න. පිටරටවල සේවය කරන මිෂනාරිවරුන් හෝ පූර්ණ-කාලීන සේවකයන්ව අප හඳුනනවාද? එසේ හඳුනනවා නම්, ඔවුන් කරන සේවය සඳහා අපගේ අගය පෙන්නුම් කිරීමට ඔවුන්ට ලිපි ලිවීමට පුළුවන. එයින් සාමාන්‍ය ජනතාව කෙරෙහි සැලකිල්ලක් දක්වන බව පිළිබිඹු වන්නේ කෙසේද? දිරිගන්වන වදන් සමඟින් අප යවන ලිපි මිෂනාරිවරුන්ට තම පැවරුම්වල රැඳී සිටීමට රුකුලක් විය හැකි අතර, ප්‍රතිඵලයක් ලෙස තවත් බොහෝදෙනෙකුට සත්‍යය පිළිබඳ දැනුම ලබාගැනීමට මං විවෘත වේ. (විනිශ්චයකාරයන් 11:40) මිෂනාරිවරුන් වෙනුවෙන් හා වෙනත් රටවල සත්‍යය සඳහා මහත් පිපාසයකින් සිටින අය වෙනුවෙන් යාච්ඤා කිරීමටද අපට පුළුවන. (එෆීස 6:18-20) අපගේ සැලකිල්ල දැක්වීමට තවත් මඟක් වන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩ කටයුතුවලට මූල්‍යමය වශයෙන් සම්මාදම් දීමයි.—2 කොරින්ති 8:13, 14; 9:6, 7.

වෙනත් තැනක පදිංචියට යෑමට ඔබට පුළුවන්ද?

18. තමන් ජීවත් වන රටෙහි රාජ්‍යයේ කටයුතුවල උන්නතිය තකා ඇතැම් ක්‍රිස්තියානීන් වෙහෙසී ඇත්තේ කෙලෙසද?

18 රාජ්‍යය ගැන ප්‍රකාශ කරන්නන්ගේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලට පදිංචියට ගොස් ඇති අය, තම ආත්ම-පරිත්‍යාගශීලී වෑයම්වලට ආශීර්වාද ලබා ඇත. කෙසේවෙතත්, තම රටෙහිම රැඳී සිටින වෙනත් සාක්ෂිකරුවෝ, විදේශිකයන්ට ආත්මිකව උපකාර කිරීමේ අදහසින් වෙනත් භාෂාවක් ඉගෙනගෙන ඇත. ඇත්තෙන්ම එවැනි ප්‍රයත්නවලින් යහපත් ප්‍රතිඵල නෙළාගැනීමට හැකි වී තිබේ. නිදසුනකට, අ.එ.ජ. ටෙක්සස්වල නුවරක විසූ චීන ජාතිකයන්ට සාක්ෂිකරුවන් සත්දෙනෙක් උපකාර කළෝය. ප්‍රතිඵලයක් ලෙස 2001දී පැවැත්වූ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට පුද්ගලයන් 114දෙනෙකු කැඳවීමට ඔවුහු සමත් වූහ. එවැනි කණ්ඩායම්වලට උපකාර කරන අයට පෙනී ගොස් තිබෙන්නේ එවැනි ක්ෂේත්‍රවල අස්වැන්න නෙළීමට කදිම අවස්ථාවක් උදා වී ඇති බවය.—මතෙව් 9:37, 38.

19. විදේශ රටකට ගොස් රාජ්‍යය ගැන දේශනා කිරීමේ වැඩයට අත හිත දෙන්නට ඔබ කල්පනා කර බලනවා නම්, කුමක් කිරීම නුවණට හුරුද?

19 රාජ්‍යය ගැන දේශනා කරන්නන්ගේ අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට පදිංචිය මාරු කිරීමට හැකියාවක් ඔබටත් ඔබේ පවුලටත් තිබෙනවා කියා සමහරවිට ඔබට සිතෙන්නට පුළුවන. කෙසේවෙතත්, මුලින්ම, “ඉඳගෙන, එහි වියදම ගණන්” බැලීම නුවණට හුරුය. (ලූක් 14:28, NW) විදේශ රටකට යෑම ගැන පුද්ගලයෙකු කල්පනා කර බලන අවස්ථාවකදී මෙය විශේෂයෙන්ම සැබෑවක් වේ. එලෙස කල්පනා කර බලන කෙනෙකුට මෙවැනි ප්‍රශ්න තමාගෙන් අසාගත හැකිය. ‘මගේ පවුලේ සාමාජිකයන්ව නඩත්තු කරන්නට මට හැකි වේවිද? අවශ්‍ය වීසා බලපත්‍ර මට ලබාගන්න පුළුවන්ද? ඒ රටේ භාෂාව මට කතා කරන්න පුළුවන්ද? ඒ භාෂාව ඉගෙනගන්න මම කැමතිද? ඒ රටේ දේශගුණය හා සංස්කෘතිය ගැන මම සිතා බලා තිබෙනවාද? ඒ රටේ සෙසු ඇදහිලිවන්තයන්ට පීඩාකාරී බරක් වන්නේ නැතුව ‘ශක්තිය සපයන උපකාරකයෙක්’ වෙන්නට මට ඇත්තටම පුළුවන්ද?’ (කොලොස්සි 4:10, 11, NW) ඔබ පදිංචියට යෑමට අදහස් කරන රටේ කොතරම් අවශ්‍යතාවක් ඇද්දැයි දැනගැනීම සඳහා, එම රටෙහි දේශනා කිරීමේ වැඩය අධීක්ෂණය කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලිවීම යෝග්‍යය. *

20. සෙසු ඇදහිලිවන්තයන් සහ වෙනත් අය වෙනුවෙන් එක් තරුණ ක්‍රිස්තියානි සහෝදරයෙක් සේවය සඳහා ඉදිරිපත් වී ඇත්තේ කෙසේද?

20 ජපානයෙහි රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩකටයුතුවලට සම්බන්ධ වූ ක්‍රිස්තියානි සහෝදරයෙක්, පැරගුවේ රටේ නමස්කාරය සඳහා ස්ථානයක් ඉදි කිරීමට යම් කුසලතා ඇති වැඩකරුවන් සඳහා අවශ්‍යතාවක් ඇති බව දැනගත්තේය. ඔහු තනිකඩ මෙන්ම කය වෙහෙසා වැඩ කළ හැකි යෞවනයෙක් වූ නිසා, එම රටට ගොස් ව්‍යාපෘතියේ එකම පූර්ණ-කාලීන වැඩකරු ලෙස මාස අටකට සේවය කළේය. ඒ අතරතුරේදී ඔහු ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගෙන නිවාස බයිබල් පාඩම්ද පැවැත්වීය. එම රටේ රාජ්‍ය ප්‍රකාශකයන්ගේ අවශ්‍යතාවක් ඇති බව ඔහුගේ අවධානයට ලක් විය. එමනිසා ඔහු නැවතත් ජපානයට ගියද, ඉදි කළ එම රාජ්‍ය ශාලාවට ජනයාව එක්රැස් කිරීමේ කාර්යයට සහයෝගය දක්වන්නට ඔහු නැවතත් පැරගුවේ රටට ආවේය.

21. යෙහෝවාගේ මහත් දවස බලා සිටින අතරවාරයේදී, අපගේ සැලකිල්ලට ප්‍රධාන වශයෙන් බඳුන් විය යුත්තේ කුමක්ද? එමෙන්ම අපට තිබිය යුතු දෘෂ්ටිය කුමක්ද?

21 දේශනා කිරීමේ වැඩය දෙවිගේ අධීක්ෂණය යටතේ සම්පූර්ණයෙන්ම ඔහුගේ කැමැත්තට එකඟව ඉටු වනු ඇත. වර්තමානයේ ඔහු මෙම අවසාන ආත්මික අස්වැන්න නෙළීමේ කාර්යය වේගවත් කරමින් සිටියි. (යෙසායා 60:22) එමනිසා යෙහෝවාගේ දවස බලා සිටින අතරවාරයේදී අස්වැන්න නෙළීමේ වැඩයෙහි ජ්වලිතව හවුල් වෙමු. අපගේ ප්‍රේමණීය දෙවි ජනයා දෙස බලන ආකාරයටම අපිද ඔවුන් දෙස බලමු.

[පාදසටහන]

^ 19 ඡේ. දේශනා කිරීමේ වැඩය තහනම් කර තිබෙන හෝ සීමා කර තිබෙන රටකට ඔබේ පදිංචිය මාරු කිරීම යෝග්‍ය දෙයක් නොවේ. එවැනි තත්වයන් යටතේ ඥානවන්තව සේවය කරමින් සිටින රාජ්‍ය ප්‍රචාරකයන්ට පවා යම් හානියක් සිදු විය හැක.

ඔබට මතකද?

• අප යෙහෝවාගේ දවස බලා සිටින අතරවාරයේදී ජනයා දෙස බැලිය යුත්තේ කෙසේද?

• සොදොමෙහි ඇතැම්විට සිටිය හැකි ධර්මිෂ්ඨයන් ගැන ආබ්‍රහම්ට තිබුණේ කවර දෘෂ්ටියක්ද?

• පසුතැවිලි වූ නිනිවයේ වැසියන් දෙස යෝනා බැලුවේ කෙසේද?

• තවමත් ශුභාරංචිය අසා නැති අය දෙස යෙහෝවා බලන අන්දමට අපත් බලනවා යන්න පෙන්නුම් කිරීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් ජනයා දෙස බැලුවේ යෙහෝවා බලන ආකාරයටමය

[17වන පිටුවේ පින්තූරය]

පසුතැවිලි වූ නිනිවයේ වැසියන් දෙස යෙහෝවා බැලූ ලෙස බැලීමට යෝනා අවසානයේදී සමත් විය

[18වන පිටුවේ පින්තූර]

ජනයා ගැන අපට සැලකිල්ලක් තිබෙන නිසා ශුභාරංචිය දේශනා කිරීමට සුදුසු නොයෙකුත් වේලාවන් සහ ක්‍රම සලකා බැලීමට අපි පෙලඹෙන්නෙමු