Skip to content

පටුනට යන්න

ඉවසීමෙන් හා නොපසුබට උත්සාහයෙන් සතුටුදායක ප්‍රතිඵල

ඉවසීමෙන් හා නොපසුබට උත්සාහයෙන් සතුටුදායක ප්‍රතිඵල

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ඉවසීමෙන් හා නොපසුබට උත්සාහයෙන් සතුටුදායක ප්‍රතිඵල

අන්තිම දවස්වලදී “වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය.” මෙය පුරෝකථනය කරන ලද්දේ යේසුස් ක්‍රිස්තුස් විසිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද දින ලොව පුරා වෙසෙන ජනයා පොදුවේ ගත් කල රාජ්‍ය පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් නොදක්වති. සමහරෙකු ආගම දෙස බලන්නේ පිළිකුල්සහගත ආකාරයකිනි.—මතෙව් 24:12, 14, NW.

එවන් වාතාවරණයක් තිබුණද ඇදහිල්ලත් බොහෝ ඉවසීමත් නිසා රාජ්‍ය ප්‍රකාශකයන් මෙම අභියෝගය සාර්ථකව ජයගනිමින් සිටින බව පහත දැක්වෙන චෙක් සමූහාණ්ඩුවෙන් ලැබුණු අද්දැකීමෙන් පෙනී යයි.

සාක්ෂිකාරියන් දෙදෙනෙක් එක්තරා ස්ත්‍රියකට කතා කළහ. නමුත් ඈ ගෙයි දොර විවෘත කළේ නැත. සුළු මොහොතකට පසු දොර අඩවල් වී අතක් මතු වී සාක්ෂිකාරියන් විසින් ඉදිරිපත් කරන ලද මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ගෙන “ස්තුතියි” කියා කියන හඬක් ඇසිණ. අනතුරුව දොර වැසුණාය. අපි “නැවත ඇයව බලන්න යනවාද?” කියා සාක්ෂිකාරියන් දෙදෙනා කල්පනා කළෝය. මෙම දෙදෙනාගෙන් එක් අයෙකු පුරෝගාමි සේවිකාවක් වූ අතර නැවත ගොස් බැලීමට ඈ තීරණය කළාය. නමුත් නිවැසියා ප්‍රතිචාරය දැක්වූයේ පෙර ලෙසමයි. මෙය අවුරුද්දක් පුරා සිදු විය.

නිවැසියා වෙත එළඹෙන ආකාරය වෙනස් කරගත යුතුයි කියා සිතූ ඈ ඒ සඳහා උපකාරය ඉල්ලා යෙහෝවාට යාච්ඤා කළාය. ඊළඟ වතාවේ ඇය සඟරාව ඉදිරිපත් කරන විට “කෙහොමද සැප සනීප? සඟරාවලට ආසද?” කියා මිත්‍රශීලී ලෙස විමසුවාය. මුලදී කිසි ප්‍රතිචාරයක් නොදැක්වූ නුමුදු බැහැදැකීම් කිහිපයක් කළ පසු මෙම ස්ත්‍රිය කෙමෙන් කෙමෙන් මිත්‍රශීලීකමක් පෙන්නුවාය. එක් අවස්ථාවක ඇය දොර විවෘත කළද, කළේ කෙටි සංවාදයක් පමණි.

එම ස්ත්‍රිය නිවසේදී කතා කිරීමට දක්වන මැළිකම දුටු පුරෝගාමි සහෝදරිය බැහැදකින්න පැමිණීමට හේතුව පැහැදිලි කරමින් හා බයිබල් පාඩමක් පැවැත්වීමට යෝජනා කරමින් ලිපියක් ලිවීමට තීරණය කළාය. එලෙස අවුරුදු එකහමාරක් පුරා ගත් ඉවසිලිමත් වෑයම නිසා එම නිවැසියා සමඟ පුරෝගාමි සහෝදරියට බයිබල් පාඩමක් ආරම්භ කිරීමට හැකි විය. “ඔයා සඟරා දෙන්න පටන්ගත් දා සිට මම දෙවිව විශ්වාස කළා” කියා එම ස්ත්‍රිය පුරෝගාමි සහෝදරියට පැවසූ විට ඇය පුදුමයට පත් වූ අතර එයින් දිරිගැන්වීමක්ද ලැබුවාය.

දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ කාර්යය තුළදී ඉවසීමෙන් හා නොපසුබට උත්සාහයෙන් සතුටුදායක ප්‍රතිඵල අද්දැකිය හැකි බව නිසැකයි.—මතෙව් 28:19, 20.