Skip to content

පටුනට යන්න

උපා නැණ පාවිච්චි කිරීමේ කලාව ඉගෙනගැනීම

උපා නැණ පාවිච්චි කිරීමේ කලාව ඉගෙනගැනීම

උපා නැණ පාවිච්චි කිරීමේ කලාව ඉගෙනගැනීම

පෙගී දුටුවා ඇගේ පුතා, ඔහුගේ මල්ලීට ඉතාමත්ම සැරෙන් කතා කරනවා. “ඔයා හිතනවාද ඔයා මල්ලීට කතා කරපු විදිහ හොඳයි කියලා?” ඇය ඇසුවා. “බලන්න පුතා, එයාට කොච්චර හිත රිදුණාද කියලා?” ඇය එසේ කිව්වේ ඇයි? ඇය උත්සාහ කරමින් සිටියේ උපා නැණින් යුතුව හැසිරෙන්නේ කෙසේද කියාත් අනුන්ගේ හැඟීම් ගැන සැලකිල්ල දක්වන්නේ කෙසේද කියාත් තම පුත්‍රයාට ඉගැන්වීමටයි.

ප්‍රේරිත පාවුල් තම සහයකයා වූ තිමෝතිට දිරිගැන්වුවා, “සියල්ලන් කෙරෙහි උපා නැණින් යුතුව හැසිරෙන්න” කියා. එසේ කිරීමෙන්, තිමෝතිට පුළුවන් වුණා අනුන්ගේ හැඟීම් පාරන්නේ නැතුව කටයුතු කරන්න. (2 තිමෝති 2:24, NW පාද සටහන) උපා නැණ කියන්නේ මොකක්ද? මෙය පාවිච්චි කිරීමේ පැත්තෙන් ඔබට දියුණු වෙන්න පුළුවන් කොහොමද? ඒ වගේම මේ කලාව දියුණු කරගන්නට අනික් අයට උපකාර කිරීමට ඔබට කුමක් කළ හැකිද?

උපා නැණ යනු . . .

ශබ්දකෝෂයක උපා නැණ යන්න නිර්වචනය කර තිබෙන්නේ “යම් තත්වයක් ගැන සංවේදී වෙමින් බොහෝ කරුණාවන්ත අන්දමින් හෝ වඩාත්ම සුදුසුම පරිදි යමක් කිරීමේ හෝ කීමේ හැකියාව” යනුවෙනුයි. මේ සඳහා භාවිත කර ඇති ඉංග්‍රීසි වචනය (tact) මුලින්ම අරුත් ගන්වා ඇත්තේ “අල්ලනවා” හෙවත් “ස්පර්ශ කරනවා” යනුවෙන්. යම් ඇලෙනසුලු, මෘදු, සුමට, උණුසුම් නැතහොත් කෙඳි සහිත දෙයක් පුද්ගලයෙකුගේ ඇඟිලිවලට දැනෙනවා හා සමානව, උපා නැණ තිබෙන පුද්ගලයෙකුට පුළුවන් අනුන්ගේ හැඟීම්වලට සංවේදී වෙන්න වගේම ඔහුගේ වචන හෝ ක්‍රියා අනුන්ට බලපාන ආකාරය පැහැදිලිව වටහාගන්නට. මෙය කිරීම සඳහා නිකම්ම දක්ෂකමක් පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ. අනුන්ගේ සිත් පෑරීමෙන් වැළකීමට අවංක ආශාවක්ද තිබිය යුතුයි.

බයිබලය තුළ එලිෂාගේ සේවක ගෙහාසී උපා නැණ නැතිව ක්‍රියා කළ අයෙකු පිළිබඳව අපට උදාහරණයක් දැකගන්නට පුළුවන්. එක් ෂුනෙම්මිය ස්ත්‍රියකගේ පුතා මිය ගොස් තිබුණා. ඇය ඔහුව අතේ දරාගෙන ආවා එලිෂා ළඟට යම් සහනයක් පතාගෙන. “නුඹ සුවසේද” කියා ඇසූ අවස්ථාවේ, ඇය “සුවසේය” කියා උත්තර දුන්නා. එහෙත්, ඇය අනාගතවක්තෘ වෙතට ගිය කල, “ගෙහාසී ඈ අහක් කරන [තල්ලු කරන, NW] පිණිස ළං විය.” අනෙක් අතට, එලිෂා පැවසුවේ මෙහෙමයි. “ඈ නිකම් සිටියාවේ. ඇගේ ආත්මය ශෝකව තිබෙයි.”—2 රාජාවලිය 4:17-20, 25-27.

උපා නැණ පාවිච්චි නොකර ඒ තරම් සැර විදිහට ක්‍රියා කිරීමට ගෙහාසී පෙලඹුණේ ඇයි? ඇගෙන් යමක් විමසූ අවස්ථාවේ ඇය කිසිවක් නොකියූ බව ඇත්තයි. මේ වගේ වැඩිදෙනෙක් තමන්ගේ හැඟීම් හැම කෙනෙකුටම කියන්නෙත් නැහැ. කොහොමවෙතත්, ඇගේ චිත්තවේගී හැඟීම් යම් විදිහකින් පේන්න තිබුණා වෙන්න පුළුවනි. එලිෂා ඒවා හඳුනාගෙන තිබූ බවක් මෙහිදී පෙනී යනවා. නමුත් ගෙහාසී නම් ඒවා හඳුනාගෙන තිබුණේ නැහැ. එහෙම නැත්නම්, දැක්කත් ඔහු ඒවා ගැන තැකීමක් කළේ නැහැ. උපා නැණ පාවිච්චි නොකර කටයුතු කිරීමට මූලික වන පොදු හේතුවක් මේ සිද්ධියෙන් මොනවට පැහැදිලි වෙනවා. කෙනෙක් තමන්ගේ රැකියාව හෝ තත්වය ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත්, තමන් සමඟ කටයුතු කරන අයගේ අවශ්‍යතා ගැන සැලකිල්ල දක්වන්න හෝ ඒවා හඳුනාගන්න ඔහුට බැරි වෙන්න පුළුවන්. ඔහු හරියට එක්තරා ආප්තෝපදේශයක සඳහන් වෙන බස් රියැදුරා වගේමයි. ඔහු වෙලාවටම බස් රථය ගෙන යන්න කොච්චර සැලකිලිමත් වුණාද කිව්වොත් මඟීන්ව නංවාගන්න ඔහු බසය නැවැත්තුවේ නැහැ.

ගෙහාසී වගේ උපා නැණ නැතුව කටයුතු කිරීමෙන් වළකින්න නම් අපිත් අනික් අයට කරුණාවන්ත වෙන්න ඕනෑ. ඊට හේතුව නම්, අපි ඇත්තටම දන්නේ නැහැ අනික් අයට හැඟෙන්නේ කොහොමද කියලා. යම් පුද්ගලයෙකුගේ හැඟීම් හෙළි කරන යම් ආකාර ගැන අපි හැම විටම සාවධාන වෙන්න ඕනෑ. එතකොට අපිට පුළුවන් කාරුණික වචන කියන්න, නැත්නම් කරුණාවන්ත අන්දමින් ක්‍රියා කරන්න. මේ සම්බන්ධයෙන් ඔබේ පැත්තෙන් දියුණු වීමට ඔබට කුමක් කරන්න පුළුවන්ද?

අනුන්ගේ හැඟීම් තේරුම්ගැනීම

අනුන්ගේ හැඟීම් තේරුම්ගෙන ඔවුන්ට හැකි හොඳම ආකාරයෙන් හා කාරුණිකව සැලකීම අතින් යේසුස් කැපීපෙනෙන ආදර්ශයක් තැබුවා. එක්තරා අවස්ථාවක ඔහු සීමොන් නමැති පරිසිවරයාගේ නිවසේ ආහාර ගනිමින් සිටි විට, “පව්කාර තැනැත්තියක ලෙස එම නුවරෙහි ප්‍රසිද්ධ වූ” ස්ත්‍රියක් ඔහු වෙතට ආවා. කලින් සඳහන් කළ ස්ත්‍රිය වගේම, ඇයත් කිසිම දෙයක් කතා කළේ නැහැ. නමුත් ඇය කළ දේවලින් ඇය ගැන දහසකුත් දේ කියා පෑවා. “ඇය සුවඳ තෙල් අඩංගු ඇලබැස්ටර් බඳුනක් ගෙන ආවාය. ඈ ඔහුගේ පාද ළඟ හිඳ හඬමින්, ඇගේ කඳුළුවලින් ඔහුගේ පාද තෙමන්න පටන්ගෙන, ඇගේ හිසකෙස්වලින් ඒ කඳුළු පිස දමමින් සිටියාය. තවද, ඈ ඔහුගේ පාද ආදරයෙන් සිඹගෙන සුවඳ තෙල් එහි ආලේප කළාය.” යේසුස් තේරුම්ගත්තා ඇය මේ හැම දෙයක්ම කරන්න හේතුව මොකක්ද කියා. ඒ වගේම, සීමොන් කිසිම දෙයක් නොකිව්වත්, ඔහුගේ සිත තුළ තෙරපෙමින් තිබූ දෙය තේරුම්ගන්නත් යේසුස්ට පුළුවන් වුණා. ඔහු සිතමින් සිටියේ මෙයයි. “මොහු අනාගතවක්තෘවරයෙකු නම්, තමන්ට අත තබන්නේ කවුද කියාත් ඇය කුමන ආකාරයේ ස්ත්‍රියකද කියාත් ඔහු දැනගන්නවා ඇත. ඇය පව්කාර තැනැත්තියක බව ඔහු දැනගත යුතුය.”—ලූක් 7:37-39, NW.

යේසුස් ඒ ස්ත්‍රියව පසෙකට තල්ලු කර දැමුවා නම් ඇයට සිදු වෙන්නට තිබුණු හානිය ඔබට සිතාගන්නට පුළුවන්ද? නැතහොත් යේසුස් සීමොන්ට, “මිනිහෝ, පේන්නෙ නැද්ද ඇය පසුතැවිලි වෙනවා කියලා?” යයි පැවසුවා නම් ඔහුගේ සිත පෑරෙන්නට තිබුණා නේද? ඒ වෙනුවට, යේසුස් කළේ ලොකු ණයක් හා ඉතා කුඩා ණයක් දෙන්නට තිබූ ණයකාරයන් දෙදෙනෙකුට සමාව දුන් මිනිසෙකු පිළිබඳව උපමාවක් උපා නැණින් යුතුව සීමොන්ට කීමයි. “ඔවුන් දෙදෙනාගෙන් ඔහුට වැඩියෙන් ප්‍රේම කරන්නේ කවුද” කියා යේසුස් ඇසුවා. මේ විදිහට, සීමොන්ව හෙළා දකිනවා වෙනුවට යේසුස්ට හැකි වුණා ඔහු දුන් නිවැරදි පිළිතුර වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරන්න. ඒ එක්කම ඔහු සීමොන්ට කරුණාවෙන් පැහැදිලි කර දුන්නා මේ ස්ත්‍රියගේ හැඟීම් හා ඇගේ පසුතැවිල්ල පෙන්නුම් කළාවූ බොහෝ ආකාරයන් හඳුනාගන්නේ කොහොමද කියලා. යේසුස් ස්ත්‍රිය වෙතට හැරී, ඇයට කාරුණිකව ඇඟෙව්වා තමා ඇගේ හැඟීම් තේරුම්ගත්තා කියලා. ඇගේ පව්වලට සමාව ලැබුණු බව පැවසූ යේසුස් ඇයට මෙසේද පැවසුවා. “ඔබේ ඇදහිල්ල ඔබව ගලවාගත්තේය. සමාදානයෙන් යන්න.” උපා නැණ යොදාගෙන කතා කළ ඒ වචනවලින් ඇත්තටම හරි දේ කිරීමට ඇය කොච්චර ශක්තිමත් වන්න ඇද්ද! (ලූක් 7:40-50, NW) උපා නැණ පාවිච්චි කිරීමෙහිලා යේසුස් අතිසාර්ථකයි. මන්ද, ඔහු දැක්කා මිනිසුන්ට හැඟුණු විදිහ. ඉතින් ඒ නිසා ඔහු දයානුකම්පාවෙන් යුතුවයි ඒවාට ප්‍රතිචාරය දැක්වූවේ.

යේසුස් සීමොන්ට උපකාර කළා වගේ අපිටත් පුළුවන් හැඟීම්වලින් නිහඬව පළ කෙරෙන භාෂාව තේරුම්ගන්න අතරේදී එසේ කිරීමට අනුන්ටත් උපකාර කරන්නට. සමහරක් වෙලාවට අද්දැකීම් ලත් දේවසේවකයන්ට හැකියි මේ කලාව තමන් සමඟ දේවසේවයේ යෙදෙන නවකයන්ට කියා දෙන්නට. ශුභාරංචිය බෙදා දීමට යම් නිවසකට ගොස් ආපසු පැමිණෙද්දී, ඒ නිවසේදී තමන්ට හමු වූ අයගේ හැඟීම් පළ කෙරුණු යම් යම් ආකාර ගැන කතා කරන්නට ඔවුන්ට පුළුවන්. ඒ පුද්ගලයා බයාදු ගතියකින් සිටියාද? සැකසහිත බවක් ඔහුගේ ඉරියව්වලින් පළ වුණාද? ඔහු කෝප වී සිටියාද? නැත්නම් ඔහු වැඩ බහුලවද සිටියේ? ඔහුට උපකාර කළ හැකි වඩාත් හොඳම කාරුණික ක්‍රමය කුමක්ද? ඒ වගේම, උපා නැණ පාවිච්චි නොකර තමන්ගේ සෙසු සහෝදරයෙකුගේ සිත රිදවූ යම් සහෝදරයෙකුට හෝ සහෝදරියකට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්. අනෙක් තැනැත්තාගේ හැඟීම් තේරුම්ගන්නට එක් එක්කෙනාට උපකාර කරන්න. සරදම් කර ඇති බවක්, නොසලකා හරිනු ලැබූ බවක් හෝ වරදවා තේරුම්ගෙන ඇති බවක් ඔහුට හැඟෙනවාද? ඔහුට වැඩියෙන් කාරුණික වී වඩාත් හොඳ හැඟීමක් ඔහු තුළ ඇති කරවන්නට හැක්කේ කොහොමද?

දෙමාපියන් තම දරුවන්ට දයානුකම්පාව වර්ධනය කරගන්න උපකාර කරනවා නම් හොඳයි. මන්ද උපා නැණ යොදාගෙන කටයුතු කරන්නට ඔවුන්ව පොලඹවන්නේ දයානුකම්පාවයි. මේ ලිපියේ මුලින්ම සඳහන් වූ පෙගීගේ පුතා දැක්කා, තොල් උල් කරගෙන, ඇස්වල කඳුළු පුරවාගෙන, මුහුණ පුලුටු කරගත් ඔහුගේ මල්ලීව. ඒ නිසා ඔහු තේරුම්ගත්තා තම සහෝදරයා විඳිමින් සිටි වේදනාව. ඉතින් ඔහුගේ මව බලාපොරොත්තු වුණා වගේම, ඔහුට ඇති වුණේ හරිම කනගාටුවක්. ඉතින් ඔහු වෙනස් වෙන්නට ඉටාගත්තා. පෙගීගේ මේ දරුවන් දෙදෙනා ඒ කලාව දියුණු කරගත්තේ ළමා වියේදීමයි. පසුව ඔවුන් ඉතා පලදායි ලෙස ගෝලයන් සෑදුවා විතරක් නෙමේ, ක්‍රිස්තියානි සභාවේ හොඳ එඬේරුන් බවටත් පත් වුණා.

ඔබ තේරුම්ගන්නා බව පෙන්වන්න

උපා නැණ කියන දෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ යම් කෙනෙකුට විරුද්ධව ඔබට යම් පැමිණිල්ලක් තියෙන විටයි. මේ වගේ අවස්ථාවකදී ඔබට ඉතාමත්ම ලෙහෙසියෙන් පුළුවන් ඔහුගේ ආත්ම-ගරුත්වය කීතු කරලා දාන්න. එහෙමනම්, මුලින්ම යම් දෙයක් ගැන ප්‍රශංසා කරලා පටන්ගැනීමයි හොඳම දෙය වෙන්නේ. ඔහුව විවේචනය කරනවා වෙනුවට, ඇති වී තිබෙන ගැටලුව ගැන කතා කරන්න. මේ ගැටලුව ඔබට බලපාන විදිහ පැහැදිලි කර දී, ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමන වෙනසක් වෙනවාටදැයි හරියටම පහදා දෙන්න. ඉන්පසුව ඔබ කළ යුත්තේ ඔහු කියන දේට සවන් දීමයි. සමහරවිට ඔබ ඔහුව වරදවා වටහාගත්තා වෙන්න බැරි නැද්ද?

වෙනත් අය කැමතියි ඔවුන්ගේ මතය ඔබ තේරුම්ගන්නවා දකින්න. නමුත් ඔබ ඊට එකඟ නොවෙනවා වෙන්න පුළුවනි. මාර්තාගේ සිත් තැවුල කුමක්දැයි තේරුම්ගත් යේසුස් කතා කළේ උපා නැණින් යුතුවයි. ඔහු මෙහෙමයි කිව්වේ. “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේවල් ගැන කරදර වී නොසන්සුන්ව සිටින්නෙහිය.” (ලූක් 10:41, NW) ඒ වගේ, යම් පුද්ගලයෙක් යම් ගැටලුවක් ගැන කතා කරනවා නම්, ඒ කාරණය අසන්න පෙර ඔබ ඊට විසඳුමක් ඉදිරිපත් කරනවා වෙනුවට, ඔබ ගැටලුව තේරුම්ගත් බව පෙන්විය හැකි උපායශීලී ක්‍රමයක් තමයි, ඒ ගැටලුව හෝ ඔහුගේ දුක්ගැනවිල්ල ගැන ඔබේම වචනයෙන් නැවතත් ඔහුටම කියන එක. ඔබ තේරුම්ගත් බව පෙන්විය හැකි කාරුණික ක්‍රමයක් මෙය.

නොකිව යුතු දෙය වටහාගන්න

යුදෙව්වන්ව විනාශ කිරීම සඳහා හාමාන් කළ කුමන්ත්‍රණය නිෂ්ප්‍රභ කිරීමට එස්තර් බිසවට වුවමනා වූ අවස්ථාවේදී, ඇය කළේ ඇගේ ස්වාමිපුරුෂයාව යම් ප්‍රසන්න මානසික තත්වයක තැබීම සඳහා උපා නැණින් යුතුව කාරණා සැලසුම් කිරීමයි. මෙයාකාරයෙන් ඇයට හැකි වුණා මේ ඉතාමත් සංවේදී විෂයට අවතීර්ණ වෙන්නට. ඒ වගේම ඇය මෙතනදී නොපැවසූ දේවලින්ද අපට යම් පාඩමක් ඉගෙනගන්නට පුළුවන්. මේ නපුරු කුමන්ත්‍රණය සඳහා තම සැමියා හවුල් වී ඇති බවට කිසිදු සඳහනක් මෙතැනදී ඇය කළේ නැහැ. මේක ඇගේ පැත්තෙන් උපා නැණ පාවිච්චි කිරීමක් වුණා.—එස්තර් 5:1-8; 7:1, 2; 8:5.

ඒ වගේ තමයි, ක්‍රිස්තියානි සහෝදරියකගේ නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයෙක්ව බැහැදකින්නට යනකොට යම් දෙයක් එකපාරටම බයිබලයෙන් පෙන්වනවා වෙනුවට, මුලින්ම ඔහුගේ දුක සැප ගැන හෝ ඔහු ආශා කරන දේවල් ගැන උපායශීලීව අහන්න. යම් අමුත්තෙක් එතරම් පිළිවෙළකට ඇඳ පැළඳ නොගෙන හෝ යම් කෙනෙක් දිගු කාලයකට පසුව ආපසු රාජ්‍ය ශාලාවට එනවා වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔහුගේ ඇඳුම ගැන හෝ හුඟ කලක් ආවේ නැති එක ගැන කතා කරනවා වෙනුවට ඔහුව උණුසුම් ලෙස සාදරයෙන් පිළිගන්න. සත්‍යය ගැන අලුත උනන්දුව දක්වන කෙනෙකුට වැරදි දෘෂ්ටියක් තිබෙනවා කියා ඔබට පෙනෙනවා නම්, ඔහුව එකපාරටම නිවැරදි නොකිරීම වඩාත් හොඳම දෙයයි. (යොහන් 16:12) මෙතැනදී ඔහුට නොකිව යුතු දේ වටහාගන්නට උපකාර වෙන්නේ උපා නැණයි.

සුවදායක වදන්

යමෙක් ඔබේ චේතනා වරදවා තේරුම්ගෙන කෝපාවිෂ්ට හා අමනාපයකින් පසු වූ අවස්ථාවලදී පවා, උපා නැණින් යුතුව කතා කිරීමේ කලාව ඉගෙනගැනීමෙන් ඔබට අනුන් සමඟ හොඳ සම්බන්ධතා වර්ධනය කරගත හැකියි. උදාහරණයක් මෙන්න. ඒප්‍රායිම්හි මිනිසුන් ගිඩියොන් සමඟ ‘තද ලෙස විවාද කළ’ අවස්ථාවේදී, ඔහු කතා කළේ උපා නැණින් යුතුවයි. ඔහු දුන් පිළිතුර තුළ, ඇත්තටම සිදු වී තිබූ දේ පිළිබඳ ඉතා පැහැදිලිව කාරණා පහදා දීමක් පමණක් නොව, ඒප්‍රායිම්හි මිනිසුන් ලබාගෙන තිබූ ජයග්‍රහණ ගැන අවංක ඇගයීමක්ද ඇතුළත් වුණා. ඔහු වටහාගත්තා ඔවුන් කලබල වී සිටියේ ඇයි කියා. ඒ වගේම ඔහුගේ නිහතමානි විලාසය ඔවුන්ගේ සිත් ගත්තා.—විනිශ්චයකාරයන් 8:1-3; හිතෝපදේශ 16:24.

සෑමවිටම වෑයම් කරන්න, ඔබගේ වචන අනික් අයට බලපාන අන්දම ගැන සැලකිලිමත් වීමට. උපා නැණින් කටයුතු කිරීමට වෑයම් කිරීමෙන්, හිතෝපදේශ 15:23හි විස්තර කර ඇති ප්‍රීතිය අද්දැකීමට ඔබට හැකි වේවි. එහි කියන්නේ මෙයයි. “මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ. කලට සුදුසු වචනය කොපමණ හොඳද!”

[31වන පිටුවේ පින්තූරය]

අනුන් කෙරෙහි හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට තම දරුවන්ට ඉගැන්වීමට දෙමාපියන්ට හැකියි

[31වන පිටුවේ පින්තූරය]

අද්දැකීම් ලත් ක්‍රිස්තියානි දේවසේවකයන්ට හැකියි, උපා නැණ පාවිච්චි කරන අයුරු නවකයන්ට ඉගැන්වීමට