Skip to content

පටුනට යන්න

දුප්පත්කම ස්ථිර විසඳුමක් සොයා

දුප්පත්කම ස්ථිර විසඳුමක් සොයා

දුප්පත්කම ස්ථිර විසඳුමක් සොයා

දුප්පත්කම පිළිබඳව ලොව පුරා ඍණ වාර්තා තිබුණත් ස්ථිරසාර යමක් කළ හැකිය යන ශුභවාදී අදහස දරන අයද වෙති. උදාහරණයක් වශයෙන්, මැනිලා බුලෙටින් පුවත්පතේ සිරස්තලයක, “ඉදිරි වසර 25 තුළ ආසියාවේ දුප්පත්කම පිටුදැකිය හැකියි” කියා සඳහන් වූයේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවකට අනුවය. බැංකුවේ නිර්දේශය වූයේ දුගීකමේ අගාධයේ සිටින ජනයාව ඉවතට ඇදගැනීමට නම් ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු බවය.

වෙනත් සංවිධාන සහ රජයන්ද මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ වෑයමක් වශයෙන් යෝජනා සහ සැලසුම් ගණනාවක් ඉදිරිපත් කර ඇත. ඒවායින් කීපයක් නම්, සමාජ රක්ෂණ වැඩසටහන්, වැඩිදියුණු කළ අධ්‍යාපනය, සංවර්ධනය වෙමින් පවතින රටවල් කාර්මික රටවලට ගෙවිය යුතු ණය අවලංගු කිරීම, සියයට වැඩි ගණනක් දුගී ජනයා සිටින රටවල වෙසෙන දුගී ජනතාවට තම නිෂ්පාදනයන් පහසුවෙන් අලෙවි කළ හැකි වන සේ ආනයන බාධක ඉවත් කිරීම හා අඩු ආදායමක් ලබන අයට නිවාස සැපයීමය.

වර්ෂ 2000දී එක්සත් ජාතීන්ගේ මහා රැස්වීමේදී 2015 වන විට ඉටු කරගත යුතු ඉලක්ක පිහිටුවිය. මේවාට, අන්ත දුගීබව සහ කුසගින්න මෙන්ම රටවල් තුළම තිබෙන ආදායමේ පවතින විශාල විෂමතාව නැත්තටම නැති කර දැමීමද ඇතුළත් විය. ඒවා ශ්‍රේෂ්ඨ ඉලක්ක විය හැකි වුවත්, අසමඟියෙන් පිරි මේ ලොවෙහි ඒවා අත් කරගත හැකි වේදැයි බොහෝදෙනා සැක පහළ කරති.

දුප්පත්කමට මුහුණ දීමට ප්‍රායෝගික යෝජනා

ලෝක ව්‍යාප්ත මට්ටමින් නියම ප්‍රගතියක් ලැබෙයි කියා බලාපොරොත්තු වීමට නොහැකි නිසා කෙනෙකුට උපකාරය පැතිය හැක්කේ කොතැනින්ද? කලින් සඳහන් කළ පරිදි, මේ දැන්ම ජනයාට උපකාර කළ හැකි ප්‍රායෝගික ප්‍රඥා මූලාශ්‍රයක් තිබේ. එය කුමක්ද? දේවවචනය වන බයිබලයයි.

අන් සියලු තොරතුරු මූලාශ්‍රයන්ට වඩා බයිබලය වෙනස් වන්නේ කුමක් නිසාද? එය ලැබී තිබෙන්නේ උතුම්ම අධිකාරිය හොබවන අපේ මැවුම්කරුගෙන් නිසාය. සැම තැන්හි සැම කල්හි වෙසෙන සියලු ජනයාට යෝග්‍ය වන මැණික් බඳු ප්‍රඥාවේ ඔවදන්, ප්‍රායෝගික ප්‍රතිපත්ති එහි පිටු තුළ ඇතුළත් කර ඇත. මෙම ප්‍රතිපත්ති අදාළ කරගතහොත් දැන් පවා දුප්පතුන්ට වඩාත් තෘප්තිමත් ජීවිතයක් භුක්ති විඳිය හැක. අපි උදාහරණ කීපයක් බලමු.

මුදල් පිළිබඳව සුදුසු දෘෂ්ටියක් තබාගන්න. බයිබලය මෙසේ පවසයි. “මුදල ආරක්ෂාවක් වන්නාක් මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ. ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂා කරන්නේය.” (දේශනාකාරයා 7:12) ඉන් කියා පාන්නේ කුමක්ද? මුදල්වලින් සියල්ල සම්පූර්ණ වන්නේ නැත. එය යම් දුරකට සුරක්ෂිතභාවයක් ලබා දෙන බව සැබෑවකි. අවශ්‍ය යම් දේවල් මිල දී ගැනීමට එය අපට හැකි කරවන නමුත් එසේ කිරීමටද සීමාවන් ඇත. මුදලින් ලබාගත නොහැකි වැඩි වටිනාකමකින් යුතු දේවල් තිබේ. මේ කාරණය වටහාගැනීමෙන් ද්‍රව්‍යමය දේවල් සුදුසු තලයක තැබීමට අපට හැකි වේ. එවිට මුදල් රැස් කිරීම වටා තම ජීවිත කේන්ද්‍රගත කර තිබෙන අය අද්දකින කලකිරීම්වලින් වැළකී සිටීමට අපට හැකි වේ. මුදලින් ජීවිතයක් මිල දී ගත නොහැකි නමුත් ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමෙන් වර්තමානයේදීත් ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකි වන අතර නිමක් නැති දිවි ගමනකටද මඟ විවෘත විය හැක.

ඔබේ අය වැයට අනුව දිවි ගෙවන්න. අප ලබාගැනීමට කැමති දේ අපට අවශ්‍යම දේ නොවිය හැක. ප්‍රමුඛත්වය දිය යුත්තේ අපේ අවශ්‍යතාවලටය. යමක් අවශ්‍යයි කියා පහසුවෙන්ම අපටම ඒත්තුගිය හැකි නමුත් යථාර්ථය වන්නේ එය අපට ඕනෑ දෙයක් මිසක අවශ්‍යම දෙය නොවීමය. නැණවතෙකු නම්, තමා උපයාගත් ආදායම අත්‍යවශ්‍ය දේවල් වන ආහාර, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් යනාදිය සඳහා මුලින්ම වෙන් කරනු ඇත. ඉන්පසු, අමතර දෙයකට වියදම් කිරීමට පෙර ඉතිරිව ඇති මුදලින් එම දේ ලබාගත හැකිදැයි සොයා බලනු ඇත. එක් උපමාවක් දෙන විට යේසුස් කෙනෙකුට නිර්දේශ කළේ ‘පළමුකොට ඉඳගෙන, එහි වියදම ගණන් බලන්න’ කියාය.—ලූක් 14:28, NW.

පිලිපීනයේ සිටින දරු තිදෙනෙකුගේ තනි මවක වන යූෆ්‍රොසිනාට ජීවිතය ගැටගසාගැනීම අභියෝගයක් වී ඇත. වසර කීපයකට පෙර ඇගේ සැමියා ඇයව අත්හැර ගොස් තිබූ බැවින් තිබුණ මුදල අරපරෙස්සමින් පාවිච්චි කිරීමට ඇයට සිදු විය. මෙසේ කිරීමේදී අත්‍යවශ්‍ය දේවලට මුලින්ම මුදල් වෙන් කිරීමේ අවශ්‍යතාව වටහාගැනීමට ඈ දරුවන්ව පුහුණු කළාය. උදාහරණයක් වශයෙන්, දරුවන් යම් දේවල් දැක ආශා විය හැකියි. අරන් දීමට නොහැකි බව එකපාරටම පවසනවා වෙනුවට ඇය ඔවුන්ට කරුණු පැහැදිලි කර දෙන්නේ මෙසේ අසමිනි. “හොඳයි, ඔයා කැමති නම් ඒක ගන්න පුළුවන්. හැබැයි දෙකෙන් එකක් තීරණය කරන්න වෙනවා. මොකද අපිට සල්ලි තියෙන්නේ එක දෙයක් කරන්න විතරයිනේ. එක්කෝ ඔයා කැමති දේ ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට තියෙන හාල් ටික එක්ක මේ සතිය පුරාම කන්න අවශ්‍ය මාළුපිනි ටික ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති මොකටද? ඔයාම හිතලා කියන්න බලන්න.” බොහෝවිට විගස කාරණය වටහාගන්නා දරුවෝ වෙන දේවල් ගැනීමට පළමුවෙන් කෑම බීම ගැනීමට කැමති වෙති.

සෑහීමට පත් වන්න. “කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් ඇත්නම්, අපි මේවායින් සෑහීමට පත් වෙමු” කියා තවත් බයිබල් ප්‍රතිපත්තියක පැවසේ. (1 තිමෝති 6:8, NW) මුදල් තිබූ පමණින්ම සතුට නොලැබේ. ධනවතුන් බොහෝදෙනෙක් අසතුටෙන් සිටින නමුත් දුප්පත් අය ඉතා සතුටෙන් සිටිති. ඔවුන් එසේ සතුටෙන් සිටින්නේ ජීවිතයට අවශ්‍ය සුළු සුළු දෑ සම්බන්ධයෙන් සෑහීමට පත්වීමට ඉගෙනගෙන ඇති නිසාය. වඩා වැදගත් දේවල් කෙරෙහි යොමු වී තිබෙන ‘සරල ඇසක්’ ගැන යේසුස් කතා කළේය. (මතෙව් 6:22, NW) මෙය කෙනෙකුට සෑහීමට පත්වීමට උපකාරවත් වේ. දෙවි සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගෙන තිබෙන බැවින් දුප්පතුන් බොහෝදෙනෙක් සෑහෙන දුරකට සෑහීමට පත් ප්‍රීතිමත් පවුල් ජීවිත ගත කරති. ඇත්තටම මේවා මුදලින් ලබාගත හැකි දේවල් නොවේ.

බයිබලයේ සඳහන් මෙම ප්‍රායෝගික යෝජනා කීපය දුප්පතුන්ට තම තත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා උපකාරවත් විය හැකි යෝජනාය. තවත් බොහෝ යෝජනා ඇත. උදාහරණයක් වශයෙන්, මුදල් නාස්ති වන දුම් බීම සහ සූදුව වැනි නරක පුරුදු අත්හැර දමා ජීවිතයේ වඩාත් වැදගත් දේවල් මොනවාද කියා හඳුනාගන්න. විශේෂයෙන්ම ආත්මික ඉලක්ක හඳුනාගන්න. රැකියා සීමිත ප්‍රදේශයක නම් අන්‍යයන්ට ප්‍රයෝජන ගෙන දිය හැකි දක්ෂතාවක් නිපුණ කරගෙන එමගින් යමක් සැපයීමට හෝ යම් සේවාවක් ලබා දීමට වෑයම් කරන්න. (හිතෝපදේශ 22:29; 23:21; පිලිප්පි 1:9-11) “සාරවූ ඥානයද සිහියද තබාගන්න.” මන්ද “ඒවා නුඹේ ආත්මයට ජීවනය” වනු ඇත යන ඔවදන් අදාළ කරගන්න කියා බයිබලය නිර්දේශ කරයි.—හිතෝපදේශ 3:21, 22.

දුප්පත්කමෙන් වෙළී සිටින්නන්ට බයිබලයේ සඳහන් යෝජනාවලින් යම් සහනයක් ලබාගත හැකි වුවත්, අනාගතය සම්බන්ධ ප්‍රශ්න තවමත් එලෙසම පවතී. දුප්පත්කමත් වලිගේ නැති ගොනා වැනියි කියමින් දුප්පතුන්ට සදහටම දුප්පත්ව සිටීමට සිදු වනු ඇද්ද? ධන කුවේර තත්වය සහ අන්ත දුගී තත්වය අතර පවතින විෂමතාව නැති කිරීමට කවදා හෝ හැකි වේද? බොහෝදෙනෙකු නොදන්නා විසඳුමක් ගැන අපි දැන් සෝදිසි කර බලමු.

බලාපොරොත්තු තබාගැනීමට බයිබලය සපයන පදනම

බයිබලය හොඳ පොතක් බව බොහෝදෙනා පිළිගනිති. කෙසේ වුවද, නොබෝ කලකින් සිදු වන විශාල වෙනස්කම්වලට යොමු දක්වන විශේෂ තොරතුරු එහි ඉදිරිපත් කර ඇති බව ඔවුහු බොහෝවිට නොදැන සිටිති.

දෙවිගේ අරමුණ දුගීකම ඇතුළුව මනුෂ්‍යවර්ගයාගේ ගැටලු විසඳීම සඳහා පියවර ගැනීමය. විසඳිය නොහැකි බව හෝ විසඳීමට අකමැති බව මනුෂ්‍ය ආණ්ඩු ඔප්පු කර ඇති බැවින්, ඒවා ඉවත් කර වෙන ආණ්ඩුවක් පිහිටුවීමට දෙවි අරමුණු කරයි. කෙසේද? අවධාරණයෙන් යුතුව බයිබලයේ දානියෙල් 2:44, 45ආ මෙසේ පවසයි. “ස්වර්ගයේ දෙවි කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය. ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.”

මෙම “රාජ්‍යවල්” හෝ ආණ්ඩු ඉවත් කළාට පසු දෙවි විසින්ම පත් කළ පාලකයා ක්‍රියාත්මක වනු ඇත. එමෙන්ම මනුෂ්‍යයෙකු නොවන මෙම පාලකයා දෙවි මෙන් බලවත් ස්වර්ගික තැනැත්තෙක් වන අතර වත්මන් විෂමතා නැති කර දැමීමට අවශ්‍ය විශාල වෙනස්කම් සිදු කිරීමේ හැකියාවද ඇතුව සිටින්නෙකි. මෙය කිරීමට දෙවි තෝරාගෙන තිබෙන්නේ තමාගේම පුත්‍රයාවයි. (ක්‍රියා 17:31) මෙම පාලකයා එදාට කරන දේ ගීතාවලිය 72:12-14හි විස්තර කරන්නේ මෙසේය. “ඔහු මොරගසන දිලිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය. දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය. ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.” මොන තරම් චමත්කාරජනක බලාපොරොත්තුවක්ද! මොන තරම් සහනයක් ලැබෙයිද! දුප්පතුන් සහ දිලිඳුන් වෙනුවෙන් දෙවි පත් කරනු ලැබූ පාලකයා ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ කාලයේදී දුප්පත්කම හා බැඳි ගැටලු බොහොමයක් විසඳා තිබෙනු ඇත. ගීතාවලිය 72හි 16වන පදය මෙසේ පවසයි. “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය. එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය. නුවර වැසියෝ පොළොවේ තෘණ මෙන් සපල වන්නෝය.” සාගතය, මුදල් හිඟය හෝ වැරදි පරිපාලනය හේතුවෙන් ඇති වන ආහාර හිඟය එදින නොතිබෙනු ඇත.

වෙනත් ගැටලුද විසඳෙනු ඇත. උදාහරණයකට, අද දින පොළෝවාසීන්ගෙන් සියයට විශාල ප්‍රමාණයකට තමන්ටම කියා නිවසක් නොමැත. කෙසේවෙතත්, දෙවි මෙසේ පොරොන්දු වෙයි. “ඔවුහු ගෙවල් ගොඩනඟා ගන එහි වාසය කරන්නෝය. මිදිවතු වවා එහි පල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැඟුවාම වෙන කෙනෙක් වාසය කරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය. මාගේ තෝරාගත් අය තමුන්ගේ අත්වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.” (යෙසායා 65:21, 22) සෑමදෙනාටම තමන්ගේම කියා නිවසක් තිබෙනු ඇති අතර තමන්ගේම අත්වැඩද ඔවුන් භුක්ති විඳිනු ඇත. එබැවින් දෙවි පොරොන්දු වන්නේ දුප්පත්කමට මුළුමනින්ම හා ස්ථිරසාර විසඳුමක් ගෙන ඒමටයි. එදාට ධනවතුන් හා දිලිඳුන් අතර විශාල පරතරයක් තිබෙන්නේද, මිනිසුන්ට අමාරුවෙන් පණ නල ගැටගසා ගැනීමට සිදු වන්නේද නැත.

මෙම බයිබල් පොරොන්දු සවනට වැකෙන මුල් වතාවේදී එය යථාර්ථයක් නොවේයයි කෙනෙකුට හැඟෙන්ට පුළුවන. කෙසේ වුවද, වඩාත් ගැඹුරින් බයිබලය සෝදිසි කර බලන විට හෙළි වන්නේ අතීතයේදී දෙවි දුන් පොරොන්දු සියල්ලම සැබෑ වී ඇති බවය. (යෙසායා 55:11) එමනිසා මෙය සිදු වේවිද යන්න ප්‍රශ්නයක් නොවේ. ඒ ගැන කිසිදු සැකයක් නැත. ඇත්තෙන්ම ප්‍රශ්නය වන්නේ, එසේ වන විට ප්‍රයෝජන ලැබීමට ඔබ කුමක් කළ යුතුද යන්නය.

ඔබ එහි සිටීවිද?

ආණ්ඩුව දෙවිගේ බැවින්, අප එම පාලන තන්ත්‍රයේ යටත්වැසියන් ලෙස දෙවිට පිළිගැනීමට හැකි ආකාරයේ සෙනඟක් විය යුතුය. මේ සුදුසුකම ලබන්නේ කෙසේදැයි දැනගත නොහැකි වන සේ ඔහු අපව අඳුරේ තබා නැත. ඒ සඳහා බයිබලයෙහි මඟ පෙන්වීම් දී තිබේ.

පත් කරන ලද පාලකයා වන දෙවිගේ පුත්‍රයා ධර්මිෂ්ඨය. (යෙසායා 11:3-5) මෙබැවින්, මෙම ආණ්ඩුව යටතේ ජීවත් වීමට තෝරාගත් අයගෙන්ද ධර්මිෂ්ඨකම බලාපොරොත්තු වේ. හිතෝපදේශ 2:21, 22 මෙසේ පවසයි. “අවංක අයවල් දේශයෙහි වාසය කරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. දුර්ජනයෝ දේශයෙන් සිඳ දමනු ලබන්නෝය. ද්‍රෝහිකම් කරන්නෝද එයින් උදුරා දමනු ලබන්නෝය.”

මේ අවශ්‍යතා සපුරාගත හැකි ආකාරය දැනගැනීමට යම් මාර්ගයක් තිබේද? එසේය, තිබේ. බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා එහි ඇති උපදෙස් අදාළ කරගැනීමෙන් මෙම මවිතාකාර අනාගතය භුක්ති විඳීමට ඔබට හැකි වනු ඇත. (යොහන් 17:3) එම අධ්‍යයනය කිරීම සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටු වනු ඇත. දුප්පත්කම හා අසාධාරණය කිසිදා අද්දැකීමට නොලැබෙන සමාජයකට ඇතුල් වීමට තිබෙන මෙම මහඟු ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ලබාගන්න කියා අපි ඔබට ඇරයුම් කරන්නෙමු.

[5වන පිටුවේ පින්තූරය]

යූෆ්‍රොසිනා: “තිබෙන මුදල අරපරෙස්සමින් පාවිච්චි කිරීමෙන් මගේ පවුලේ අයට අවශ්‍ය දේ ලබාගැනීමට හැකි වෙනවා”

[6වන පිටුවේ පින්තූර]

දෙවි සමඟ හොඳ සබඳතාවක් හා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් මුදල්වලින් ඇති කරගත නොහැකියි