Skip to content

පටුනට යන්න

යෙහෝවා තමන්ගේ දෙවි කොටගත් තැනැත්තා ප්‍රීතිමත්ය

යෙහෝවා තමන්ගේ දෙවි කොටගත් තැනැත්තා ප්‍රීතිමත්ය

ජීවිත කතාව

යෙහෝවා තමන්ගේ දෙවි කොටගත් තැනැත්තා ප්‍රීතිමත්ය

පැවසුවේ ටොම් ඩීඩර්

එක්රැස්වීම පැවැත්වීමට ප්‍රජා ශාලාව කුලියට අරගෙන අවසන්. කැනඩාවේ සස්කැචවොන් පළාතේ පොකියුපයින් තැන්නේ පැවැත්වීමට සංවිධානය කර තිබූ එම එක්රැස්වීමට 300දෙනෙක් පමණ සහභාගි වෙයි කියා බලාපොරොත්තු වුණා. නමුත් බදාදා හිම වැටෙන්න පටන්ගත්තා. සිකුරාදා වෙනකොට ප්‍රේරි තණබිම් හිම කුණාටුවකින් වැහිලා ගියා. ඉස්සරහා තියෙන කිසිම දෙයක් පෙනුණේ නැහැ. උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40ට බැස්සා. රැස්වීමට දරුවන් කිහිපදෙනෙක් ඇතුළුව විසි අටදෙනෙක් පමණයි සහභාගි වුණේ. මෙය අලුත් චාරිකා අවේක්ෂකයෙක් හැටියට වැඩ කරන්න ලැබුණු මගේ පළමු එක්රැස්වීම. එතකොට මට වයස අවුරුදු 25යි. එම අවස්ථාවේ සිදු වූ දේ පවසන්න කලින් මට එම විශේෂ සේවා වරප්‍රසාදය ලැබුණේ කෙසේද කියා පවසන්න ඉඩ දෙන්න.

සහෝදරයන් අටදෙනෙක් සිටි පවුලක හත්වෙනි දරුවා මම. බිල් වැඩිමලා. ඊළඟට මෙට්‍රෝ, ජොන්, ෆ්‍රෙඩ්, මයික් සහ ඇලෙක්ස්. මම ඉපදුණේ 1925දී. වොලී තමයි බාලයා. මැනිටෝබා නගරයේ යුක්රේනාවල මගේ අම්මායි තාත්තායි වන මයිකල් සහ ඇනා ඩීඩර්ට තිබුණ කුඩා ගොවි පොළක තමයි අපි ජීවත් වුණේ. මගේ තාත්තා දුම්රිය මාර්ග අලුත්වැඩියා කරන්නෙකු හැටියට සේවය කළා. නගරයෙන් ටිකක් ඈත තිබෙන දුම්රිය කම්කරු නිවාසයක ලොකු පවුලකට ජීවත් වෙන්න තරම් පහසුකම් නොතිබුණ නිසා අපි ගොවිපොළේ නතර වුණා. තාත්තා හුඟක් වේලාවට ගෙදරින් බැහැරව තමයි හිටියේ. ඉතිං අපිව බලාගැනීමට සිදු වුණේ අම්මාට. අම්මා ඉඳලා හිටලා තාත්තාව බලන්න ගියා. ඒ ගියාම සතියක් හෝ ඊට වැඩි දවස් ගණනක් එහේ නතර වෙනවා. අම්මා අපිට ගෙදර දොරේ වැඩත් උයන පිහන වැඩත් ඉගැන්නුවා. අපි ග්‍රීක කතෝලික සභාවේ සාමාජිකයන් වී සිටි නිසා කුඩා කල අම්මාගෙන් ලැබූ පුහුණුවට යාච්ඤා කටපාඩම් කිරීමත් වෙනත් වත් පිළිවෙත්වල නිරත වීමත් ඇතුළත් වුණා.

බයිබල් සත්‍යය සම්බ වූ ආකාරය

තරුණ කාලයේ බයිබලය තේරුම්ගැනීමට මා තුළ ආශාවක් ඇති වුණා. දේවරාජ්‍යය, අර්මගෙදොන්, නව ලොවේ දීප්තිමත් අනාගතය ගැන සඳහන් බයිබල් පද කියලා දෙන්න යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වූ අසල්වැසියෙක් නිතර දෙවෙලේ අපේ ගෙදරට ආවා ගියා. ඔහු කියූ දේවලට අම්මාගේ එතරම් මනාපයක් තිබුණේ නැති වුණත් එම තොරතුරුවලට මයික් සහ ඇලෙක්ස්ගේ හිත ගියා. ඔවුන් ඉගෙනගත් දෙයට එකඟව ගොඩනඟා ගෙන තිබූ ආගමික විශ්වාසයන් නිසා දෙවන ලෝක මහා යුධ සමයේදී හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් පෙලඹුණා. පසුව මයික්ට කෙටි කාලීන සිර දඬුවමක් විඳින්න සිදු වූ අතර ඇලෙක්ස්ව ඔන්ටේරියෝවේ ශ්‍රම කඳවුරකට යැව්වා. කාලයක් යනකොට ෆ්‍රෙඩ් සහ වොලීත් සත්‍යය පිළිගත්තා. ඒත් වැඩිමහල් සහෝදරයන් තුන්දෙනා පිළිගත්තේ නැහැ. අවුරුදු ගණනාවක් අම්මා සත්‍යයට විරුද්ධකම් පෑවත් පසුව අම්මා යෙහෝවා වෙනුවෙන් ඇගේ ස්ථාවරය ගත්තා. ඒක අපි හැමෝටම පුදුමයක් වුණා. අවුරුදු 83දී ඇය බව්තීස්ම වුණා. ඇය මිය යන විට වයස අවුරුදු 96යි. තාත්තාත් මිය යන්න කලින් සත්‍යයට කැමැත්තක් දැක්වුවා.

මම අවුරුදු 17දී විනිපෙග්වලට ගියේ රස්සාවක් හොයාගන්නත් මට බයිබලය හැදෑරීමට උපකාර කරන්න පුළුවන් කෙනෙකුව ආශ්‍රය කිරීමේ අරමුණත් ඇතිවයි. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ කටයුතු තහනම් කරලායි තිබුණේ. නමුත් රැස්වීම් නොකඩවා පැවැත්වුවා. මම මුලින්ම ගිය රැස්වීම පැවැත්වුවේ පෞද්ගලික නිවසක. මම හැදී වැඩුණේ ග්‍රීක කතෝලික ඇදහිලි ක්‍රම අනුව නිසා මුලදී ඇසූ දේවල්වල නුහුරු ගතියක් දැනුණා. ගිහි-පැවිදි විධිවිධානය ශුද්ධ ලියවිල්ලට එකඟ නැති බවත් පූජකයන් යුධ වෑයම්වලට ආශීර්වාද කිරීම දෙවි පිළි නොගන්න බවත් ටිකෙන් ටික මට තේරුම්ගියා. (යෙසායා 2:4; මතෙව් 23:8-10; රෝම 12:17, 18) ඉතා ඈත ස්ථානයකට ගොස් සදාකාලයටම ජීවත් වෙනවාට වඩා පාරාදීස පොළොවක ජීවත් වීම ප්‍රායෝගික මෙන්ම සාධාරණ දෙයක් කියා පෙනී ගියා.

සත්‍යය මෙයයි කියා වටහාගත් පසු යෙහෝවාට කැප වී 1942දී විනිපෙග්වල බව්තීස්ම වුණා. වර්ෂ 1943දී කැනඩාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මත පනවා තිබූ තහනම ඉවත් කෙරුණ අතර දේශනා සේවයට නව පණක් ලැබුණා. බයිබල් සත්‍යයත් මගේ හදවතට දැඩි බලපෑමක් ඇති කළා. වැඩිමහල්ලෙකු ලෙස සේවය කරන්නත් මට වරම් ලැබුණා. ඒ වගේම එක් බලපැවරුම් ප්‍රදේශයක තිබෙන සභාවන්වල දිගටම කතා දීමේ වැඩසටහනට සහභාගි වීමටත් සභාවකට පවරා නැති ක්ෂේත්‍රයන්වල සේවය කිරීමටත් ප්‍රස්තාව ලැබුණා. අමෙරිකාවේ පැවැත්වූ විශාල සමුළුවලට සහභාගි වීම මගේ ආත්මික දියුණුවට විශාල ලෙස බලපෑවා.

යෙහෝවාට මා කළ සේවය පුළුල් කිරීම

වර්ෂ 1950දී මම පුරෝගාමි සේවය ආරම්භ කළා. එම වසරේ දෙසැම්බර් මාසයේ චාරිකා අවේක්ෂකයෙකු ලෙස සේවය කිරීමට ආරාධනයක් ලැබුණා. ටොරොන්ටෝ මායිමට කිට්ටුව ජීවත් වූ චාර්ලි හෙප්වර්ත් නමැති අද්දැකීම් ලත් සහෝදරයා යටතේ චාරිකා සේවය සඳහා පුහුණුව ලබාගැනීමේ වරප්‍රසාදයත් මට ලැබුණා. ඒ වගේම විනිපෙග්වල චාරිකා සේවයේ යෙදී සිටි මගේ අයියා ඇලෙක්ස් සමඟ මගේ පුහුණුවේ අවසන් සතිය ගත කිරීමට හැකිවීමත් ප්‍රීතියට කාරණයක් වුණා.

මුලදී සඳහන් කළ මගේ පළමු චාරිකා එක්රැස්වීම කවමදාකවත් මට අමතක වෙන්නේ නැහැ. කුමනාකාරයේ ප්‍රතිඵල ලැබෙයිද කියන එක ගැන මම භයෙන් තමයි හිටියේ. ඒත් අපගේ දිස්ත්‍රික් අවේක්ෂක වන සහෝදර ජැක් නේදන් අපි හැමෝවම වැඩවල යොදවලා සතුටෙන් ඉන්න සැලැස්සුවා. අපි එක්රැස්වීම් වැඩසටහනේ තොරතුරු ඊට සහභාගි වූ අය සමඟ සමාලෝචනය කළා. අපි අද්දැකීම් බෙදාගනිමින්, ගෙයින් ගෙට සේවයේ යොදාගන්නා ඉදිරිපත් කිරීම් පුහුණු වෙමින්, නැවත බැලීම් සහ නිවාස බයිබල් පාඩම් කරන ආකාරයත් නිරූපණය කරමින් ඊට හවුල් වුණා. අපි රාජ්‍ය ගීතිකා ගායනා කළා. කන්න කෑම ඕන තරම් තිබුණා. අපි පැය දෙකින් දෙකට වගේ රස කැවිලි කාලා කෝපි බිව්වා. සමහර අය බංකුවල නිදාගත් අතර සමහර අය වේදිකාවේත් සමහර අය බිමත් නිදාගත්තා. ඉරිදා වන විට හිම කුණාටුව මදක් අඩු වී තිබූ අතර ප්‍රසිද්ධ කථාවට 96දෙනෙක් පැමිණියා. දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන ආකාරය මා ඉගෙනගත්තේ එම අද්දැකීමෙන්.

මගේ ඊළඟ චාරිකා පැවරුම ලැබුණේ උතුරු ඇල්බර්ටා, බ්‍රිතාන්‍ය කොලොම්බියාව සහ මැදියම් රැයෙත් හිරු නොබසින යුකොන් යන පළාත්වලටයි. ඇලස්කාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවල ඩොසන් ක්‍රීක්හි සිට යුකොන්වල වයිට්හොර්ස් දක්වා (කිලෝමීටර් 1,477ක දුර ප්‍රමාණයක්) රළු මහා මාර්ගයේ යන එකත් දේශනා කරන එකත් ලෙහෙසි නැහැ. ඒ සඳහා ඉවසීම හා සුපරීක්ෂාකාරී බව අවශ්‍ය වුණා. හිම කඳු කඩා වැටීම, ලිස්සන කඳු පල්ලම් සහ හුළඟට ගහගෙන ගිය හිම නිසා මඟ හරි හැටි නොපෙනීම වැනි දේ ඇත්තෙන්ම අභියෝගයක් වුණා.

ඇලස්කාවේ ඈත උතුරේ පළාත්වලටද සත්‍යය විකසනය වූ ආකාරය දැක්කාම මම පුදුමයට පත් වුණා. එක් අවස්ථාවක වොල්ටර් ලූකොවිට්ස් සහ මම පොඩි ගෙයකට ගියා. එම නිවස තිබුණේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ලොවර් පෝස්ට්හි යුකොන් පළාතේ මායිමට අසන්නව පිහිටි ඇලස්කා මහා මාර්ගය අසල. අපි කුඩා කවුළුවකින් පහන් එළියක් දුටු නිසා එම නිවසේ කවුරුන් හෝ ජීවත් වෙනවා ඇති කියා අපිට හිතුණා. වේලාව රාත්‍රි නවයට පමණ ඇති. අපි දොරට තට්ටු කළා. අපිට ඇතුළට එන්න කියා පිරිමි කෙනෙකු හඬනඟා කිව්වා. ඉතිං අපි ඇතුළට ගියා. පුදුමයක්! ඒ ගෙදර සිටි පිරිමි කෙනා ඔහුගේ ඇඳ උඩ දිගා වෙලා මුරටැඹ සඟරාවක් කියවමින් සිටියා. ඔහු ළඟ තිබූ සඟරාව අපි ඉදිරිපත් කළ සඟරාවට වඩා අලුත් එකක්. ඔහු අපිට කියා සිටියා එය ඔහුට ගුවන් තැපෑලෙන් ලැබුණ බව. මේ වන විට අපි සභාවෙන් පිටත් වී දින අටක් ගත වී තිබූ නිසා අලුත්ම සඟරා අප ළඟ තිබුණේ නැහැ. ඔහුගේ නම ෆ්‍රෙඩ් බර්ග් කියා ඔහු පැවසුවා. ඔහු අවුරුදු ගණනාවක පටන් සඟරාවට දායකයක් ලබාගෙන තිබුණත් මෙය තමයි යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔහුව මුණගැසීමට පැමිණි පළමුවෙනි වතාව. ෆ්‍රෙඩ් අපිව රෑ ඉන්දවාගත්තා. අපට ඔහු සමඟ බයිබල් සත්‍යයන් බොහොමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි වූ අතර පසුව ඔහුව නැවත ගොස් හමු වන ලෙස එම ප්‍රදේශය නිතර පසු කර යන වෙනත් සාක්ෂිකරුවන්ට පැවරුවා.

අවුරුදු කිහිපයක් මම කුඩා චාරිකා තුනක සේවය කළා. නැඟෙනහිරෙන් පිහිටි ඇල්බර්ටාහි ග්‍රෝන්ඩ් ප්‍රේරී සිට බටහිරෙන් පිහිටි ඇලස්කාවේ කෝඩියැක් දක්වා කිලෝමීටර 3,500ක දුර ප්‍රමාණයක් ඊට ඇතුළත් වුණා.

වෙනත් පැතිවල මෙන් ඈත දුෂ්කර පැතිවල සිටින මනුෂ්‍යයන්ටත් දෙවි දක්වන මහත් කරුණාව ඉතා හොඳින් දැකගන්න ලැබුණා. ඒ වගේම දෙවිගේ ආත්මය, සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් තිබුණු අයගේ මනස් සහ හදවත් පොලඹවනවා. මීට එක් උදාහරණයක් තමයි යුකොන්හි ඩොසන් ක්‍රීක්වල (දැන් ඩොසන්) විසූ හෙන්රි ලපයින්. ඔහු සිටියේ නගරයෙන් හුඟක් ඈත ප්‍රදේශයකයි. එම රන් ආකර තිබෙන ප්‍රදේශයෙන් ඔහු අවුරුදු 60ක කාලයක් පුරාම පිට වී ගොස් තිබුණේ නැහැ. නමුත් ඇන්කරේජ්හි පැවැත්වූ චාරිකා එක්රැස්වීමට සහභාගි වීම සඳහා යෑමට පමණක් කිලෝමීටර් 1,600ක් ගමන් කිරීමට තරම් පෙලඹීමක් මේ 84වන වියේ පසු වූ මිනිසා තුළ ඇති කරන්න යෙහෝවාගේ ආත්මයට හැකි වුණා. ඔහු ඊට ප්‍රථම කිසි සභා රැස්වීමකට සහභාගි වී නැහැ. වැඩසටහන ගැන ඔහු ඉතා ප්‍රීතිමත් වූ අතර ඇසුර මගින්ද සතුටක් භුක්ති වින්දා. ආපසු ඩොසන් නගරයට ගිය ඔහු මරණය දක්වා විශ්වාසවන්තව සිටියා. මහලු වියේ සිටි ඔහු වැනි කෙනෙකුව මෙවන් දීර්ඝ ගමනක් යෑමට පෙලඹුවේ කුමක්ද කියා ඔහුව දන්නා හඳුනන අය කල්පනා කළා. මෙම කුතුහලය නිසාම මඟ පෑදුවේ තවත් වැඩිවියේ පසු වන කිහිපදෙනෙකු සත්‍යය පිළිගැනීමට පෙලඹුණා. මෙලෙස වක්‍රාකාරව කදිම සාක්ෂියක් දීමට හෙන්රිට හැකි වුණා.

මම යෙහෝවාගේ මහත් කරුණාව ලැබුවා

වර්ෂ 1955දී 26වන මුරටැඹ ගිලියද් බයිබල් පාසැලට ඇතුල් වීමට ලද ආරාධනය පිළිගැනීමට මා ඉතා සතුටු වුණා. මෙම පුහුණුව මගේ ඇදහිල්ල ශක්තිමත් කළා වගේම යෙහෝවාට ළංවීමටත් උපකාර කළා. උපාධිය ලැබීමෙන් පසු දිගටම කැනඩාවේ චාරිකා සේවය කරගෙන යෑමට මම පැවරුම් ලැබුවා.

අවුරුද්දක් පමණ ඔන්ටේරියෝ පළාතේ මම සේවය කළා. ඉන්පසු මාව නැවතත් සුන්දර පළාතක් වූ ඇලස්කාවට යැව්වා. එහි ඇති මහා මාර්ග දැකුම්කලුයි. ඒවා හරියට දාරයක් වගේ විල් වටාත් හිමෙන් වැසුණු කඳු වැටි හරහාත් දිව යන ආකාරය මට තවම මැවිලා පේනවා. ගිම්හාන කාලයට මිටයාවත් සහ තණ බිම් පාට පාට කැලෑ මල්වලින් පිරිලා. හරිම ලස්සනයි. වාතය හරි සිසිලයි. වතුර හරි පිරිසිදුයි. නරි, වලසුන් ගෝන්නු සහ මුවෝ හිතුමනාපෙට කාගෙන්වත් හිරිහැර නොවිඳ තම වාස භවනේ සැරිසරනවා.

ඇලස්කාවේදී අභියෝගයන් කිහිපයකට මුහුණ දෙන්න සිදු වුණා. නිතර නිතර වෙනස් වන කාලගුණය වගේම විශාල දුර ප්‍රමාණයත් ඊට ඇතුළත් වුණා. මගේ චාරිකාවට නැඟෙනහිර සිට බටහිර දක්වා කිලෝමීටර 3,200ක දුරක් ඇතුළත් වුණා. ඒ දවස්වල චාරිකා අවේක්ෂකයන්ට වාහන පහසුකම් සපයා දී තිබුණේ නැහැ. ඒ ප්‍රදේශවල සිටි සහෝදරයන් එක් සභාවක සිට අනෙක් සභාවට මාව රැගෙන යන්න ඉදිරිපත් වුණා. සමහර අවස්ථාවල පාරේ යන ට්‍රක් රථ හෝ සංචාරක රථ නවත්වලා ඒවායේ නැඟලා යන්නත් සිදු වුණා.

ඇලස්කා මහා මාර්ගයේ පිහිටි ටොක් හන්දිය සහ 1202 සැතපුම් කණුව නැත්නම් ස්කොටි ක්‍රීක් නම් ස්ථානය අතර එවන් සිද්ධියකට මුහුණ දෙන්න සිදු වුණා. මෙම ස්ථාන දෙකේ පිහිටි රේගු කාර්යාල දෙක අතර කිලෝමීටර 160ක දුර ප්‍රමාණයක් පමණ තිබුණා. ටොක්හි තිබූ එක්සත් ජනපදයේ රේගුවෙන් කිසි කරදරයකින් තොරව පිටත් වී කිලෝමීටර 50ක් පමණ වාහනයකින් ගමන් කළා. ඊට පස්සේ කිසි වාහනයක් මම මාර්ගයේ දැක්කේ නැහැ. පැය දහයක් තිස්සේ කිලෝමීටර 40ක් දක්වා දුරක් ඇවිද්දා. පස්සේ තමයි මම දැනගත්තේ මම රේගුව පසු කෙරුවාත් සමඟම ඊට ටිකක් ඉදිරියෙන් හිම කඳු කඩා වැටීම නිසා මෙම මාර්ගයේ වාහන ගමනාගමනය නවතා තිබෙන බව. මධ්‍යම රාත්‍රිය වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 23 දක්වා බැස්සා. ඒ වන විටත් මම හිටියේ කිට්ටුම නවාතැනට කිලෝමීටර 80ක් එහායින්. මට කොහේ හෝ නැවතිලා විවේක ගන්න අවශ්‍ය වුණා.

කොර ගගහා යනකොට මම දැක්කා පාරේ අයිනේ අත්හැර දමා තිබූ බාගෙට හිමෙන් වැසුණු කාර් එකක්. මේ සීතල රාත්‍රියෙන් නොමැරී ඉන්න කාර් එක ඇතුළට ගොස් එහි කුෂන් එක උඩවත් නිදාගන්න පුළුවන් නම් කියා මම හිතුවා. දොර ඇරගැනීම සඳහා හිම අයින් කරගන්න මට පුළුවන් වුණා. ඒත්, කාර් එකේ සැකිල්ල විතරයි තිබුණේ. ඇතුළේ කොටස් කිසිවක් තිබුණේ නැහැ. හොඳ වේලාවට පාරේ ටිකක් දුර යන විට හිස් කුඩා නිවසක් සොයාගන්න පුළුවන් වුණා. එහි ඇතුළට යෑමටත් ගිනි මැලය දැල්වීමටත් යම් අපහසුතා වින්දත් කෙසේ හෝ පැය කිහිපයකට එහි නැවතී විවේක ගැනීමට හැකි වුණා. පසුදා උදෑසන මගේ අනෙක් නවාතැනට වාහනයකින් යෑමට හැකි වුණා. එහිදී අවශ්‍ය ආහාර පානත් තුවාල වූ ඇඟිලිවලට ප්‍රතිකාරත් ලැබුණා.

යෙහෝවා ඇලස්කාවේ වර්ධනයට ආශීර්වාද කරයි

ෆෙයාර්බෑන්ක්ස්වලට ගිය මගේ පළමු ගමන ඉතාමත් දිරිගන්වනසුලුයි. දේශනා සේවයෙන් අපි හොඳ ප්‍රතිඵල ලැබූ අතර එම සතියේ ඉරිදා ප්‍රසිද්ධ කථාවට 50දෙනෙක් පැමිණියා. අපි මුණගැසුණේ වර්නර් සහ ලොරේන් ඩේවිස් ජීවත් වුණ කුඩා මිෂනාරි නිවසේ. මනුෂ්‍යයන් කුස්සියේයි, නිදන කාමරවලයි, සාලයෙයි ඉඳන් ඔළුව එළියට දාගෙන කතාවට ඇහුම්කන් දුන්නා. කතාවට මෙපමණ සංඛ්‍යාවක් පැමිණීමෙන් අපට යමක් හැඟී ගියා. එනම් රාජ්‍ය ශාලාවක් ගොඩනැඟුවොත් ෆෙයාර්බෑන්ක්ස්වල දේශනා සේවයට යම් ස්ථාවරභාවයක් ලැබෙන බව. යෙහෝවාගේ උපකාරයෙන් අප කලින් නර්තන ශාලාවක් ලෙස තිබූ විශාල ගොඩනැඟිල්ලක් මිල දී ගෙන එය වෙනත් ඉඩමකට රැගෙන ගියා. නළ ළිඳක්, වැසිකිළියක් සහ උණුසුම ලබා දෙන ඒකකයක්ද තැනුවා. අවුරුද්දක් ඇතුළත ෆෙයාර්බෑන්ක්ස්වල පාවිච්චියට ගත හැකි ආකාරයේ රාජ්‍ය ශාලාවක් ඉදි කරන්න හැකි වුණා. පස්සේ මුළුතැන් ගෙයක් තැනූ නිසා 1958දී එම ශාලාවේ දිස්ත්‍රික් සමුළුවක් පැවැත්වූ අතර ඊට සහභාගි වූ සංඛ්‍යාව 330දෙනෙක්.

වර්ෂ 1960 ගිම්හානයේදී කැනඩාවේ සහ එක්සත් ජනපදයේ සංචාරක අවේක්ෂකයන්ව පුහුණු කිරීමේ පුනරීක්ෂණ පාඨමාලාවක් සඳහා මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය තිබෙන නිව් යෝර්ක් නගරයට කාර් එකෙන් ගියා. එය ඉතා දීර්ඝ ගමනක්. මම එහි නැවතී සිටි කාලයේදී සහෝදර නේදන් නෝර් සහ අනෙකුත් වගකිව යුතු සහෝදරයන්, ඇලස්කාවේ ශාඛා කාර්යාලයක් විවෘත කිරීම පිළිබඳව මගෙන් කරුණු විමසුවා. මාස කිහිපයකට පසු 1961 සැප්තැම්බර් පළමුවෙනිදා ඇලස්කාවට ශාඛා කාර්යාලයක් තනන්න කටයුතු යොදන බව දැනගන්න ලැබුණ විට අපි ඉතාමත් ප්‍රීතියට පත් වුණා. ශාඛාවේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට සහෝදර ඇන්ඩෘ කේ. වැග්නර්ව පත් කළා. ඔහුත් ඔහුගේ භාර්යාව විරාත් අවුරුදු 20ක් පුරා බෘක්ලින්වල සේවය කර තිබුණු අතර සංචාරක සේවය පිළිබඳව අද්දැකීම්ද ඔවුන්ට තිබුණා. ඇලස්කාවේ ශාඛා කාර්යාලයක් පිහිටුවීම ඇත්තෙන්ම අගය කළ යුතු දෙයක්. එමගින් චාරිකා අවේක්ෂකයෙකු සංචාරය කළ යුතු දුර අඩු කළා වගේම ඔහුට සභාවේ විශේෂිත අවශ්‍යතා කෙරෙහිත් ඈත එපිට ක්ෂේත්‍ර කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කරන්නත් හැකියාව ලැබුණා.

වර්ෂ 1962 ගිම්හානය ඇලස්කාවට සන්තෝෂවත් කාලයක්. මන්දයත් ඇලස්කා ශාඛා කාර්යාලය කැප කළේත් ඇලස්කාවේ ජූනෝවල දිස්ත්‍රික් සමුළුවක් පැවැත්වූවෙත් එම කාලයේයි. එමෙන්ම අලුත් රාජ්‍ය ශාලා ජූනෝහිත් යුකොන් පළාතේ වයිට්හෝස්හිත් ගොඩනැඟූ අතර දුර ඈත පළාත්වල අලුත් කණ්ඩායම්ද ආරම්භ කළා.

නැවතත් කැනඩාවට

අවුරුදු ගණනාවක් පුරා කැනඩාවේ පදිංචි වී සිටි මාගරීටා පෙට්ට්‍රාස් සමඟ මම ලිපි හුවමාරු කළා. කොයි කවුරුත් ඇයව ඇමතුවේ රීටා කියලා. වර්ෂ 1947 පුරෝගාමි සේවය ඇරඹූ ඇය 1955දී ගිලියද් පාසැලෙන් උපාධිය ලබාගත්තා. ඉන්පසු නැඟෙනහිර කැනඩාවේ පුරෝගාමි සේවය කරමින් සිටියා. මම ඇයට විවාහ යෝජනාවක් කළ අතර ඇය එය පිළිගත්තා. අපි 1963 වයිට්හෝර්ස්වලදී යුග දිවියට පා තැබුවා. එම අවුරුද්දේම සරත් සමයේදී බටහිර කැනඩාවේ චාරිකා සේවය සඳහා පැවරුමක් ලැබුණා. අවුරුදු 25ක් අපි එහි එම සේවයේ නිරත වෙමින් ප්‍රීතියක් භුක්ති වින්දා.

සෞඛ්‍ය ගැටලු නිසා 1988දී මැනිටෝබා විනිපෙග්වල විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කිරීමට පැවරුම් ලැබුවා. මෙයට අවුරුදු පහක් පුරා එක්රැස්වීම් ශාලාවක් බලාගැනීමත් අයිති වුණා. හැකි උපරිම ආකාරයෙන් ගෝලයන් සෑදීමේ ප්‍රීතිමත් වැඩයේ තවමත් අපි හවුල් වෙනවා. චාරිකා සේවයේදී අන් අයට පැවැත්වීම සඳහා අපි බයිබල් පාඩම් බොහොමයක් ආරම්භ කළා. දැන් යෙහෝවාගේ මහත් කරුණාවෙන් අපි බයිබල් පාඩම් පටන් අරන් එම ශිෂ්‍යයන් කැප වී බව්තීස්මය කරා වර්ධනය වන ආකාරය දැකීමෙන් ප්‍රීතියක් අද්දකිනවා.

යෙහෝවාට සේවය කිරීම තමයි ජීවත් වීම සඳහා තිබෙන හොඳම ක්‍රමය. එය අර්ථවත් වගේම තෘප්තිමත්. ඒ වගේම හැම දවසකම එයින් යෙහෝවා කෙරෙහි ඇති අපේ ප්‍රේමය වැඩි කරනවා. මෙය තමයි සැබෑ ප්‍රීතිය ගෙන දෙන්නේ. අපි මොනයම් දිව්‍යාණ්ඩු පැවරුමක් ඉටු කළත් කොතැනක ජීවත් වුණත් ගීතිකාකරු කියූ දේ සමඟ අප එකඟ වෙනවා. ‘යෙහෝවා තමුන්ගේ දෙවි කොටගත් සෙනඟ ප්‍රීතිමත්ය.’—ගීතාවලිය 144:15.

[24, 25වන පිටුවේ පින්තූරය]

චාරිකා සේවයේ යෙදෙමින්

[25වන පිටුවේ පින්තූරය]

ඩොසන් නගරයේදී හෙන්රි ලපයින් මුණගැසුණු අවස්ථාව. මම වම් පසින්

[26වන පිටුවේ පින්තූරය]

ඇන්කරේජ්වල පළමු රාජ්‍ය ශාලාව

[26වන පිටුවේ පින්තූරය]

රීටා සහ මම 1998දී