Skip to content

පටුනට යන්න

සත්‍යතාවේ දෙවි වන යෙහෝවා

සත්‍යතාවේ දෙවි වන යෙහෝවා

සත්‍යතාවේ දෙවි වන යෙහෝවා

“සත්‍යතාවේ දෙවි වන යෙහෝවා, ඔබ මා මිදුවේය.”—ගීතාවලිය 31:5, NW.

1. බොරුව කියා දෙයක් නොපැවති කාලයේදී ස්වර්ගයේ මෙන්ම පොළොවේද පැවතියේ කුමනාකාරයේ තත්වයක්ද?

බොරුව කියා දෙයක් නොතිබූ කාලයක් තිබුණේය. අදෘශ්‍යමාන ස්වර්ගයේ වාසය කරමින් සිටියේ ‘සත්‍යතාවේ දෙවි වන යෙහෝවාට’ සේවය කරන පරිපූර්ණ ආත්ම මැවිලිය. (ගීතාවලිය 31:5) බොරු කීමක් හෝ මුළා කිරීමක් සිදු නොවීය. යෙහෝවා ඔහුගේ ආත්ම පුත්‍රයන්ට ලබා දුන්නේ සත්‍යය තොරතුරුය. ඔහු එසේ කළේ ඔවුන්ට තිබූ ප්‍රේමය නිසාය. එමෙන්ම ඔවුන්ගේ ශුභසිද්ධිය ගැන ඉමහත් සැලකිල්ලක් දැක්වූ නිසාය. එවකට පොළොවේ පැවතියේද ඒ හා සමාන තත්වයකි. යෙහෝවා මුල්ම මිනිසාව හා ස්ත්‍රියව මවා, ඔහු පත් කළ මාධ්‍යය යොදාගනිමින් ඔවුන්ට සැමවිටම පැහැදිලිව, සරලව හා සත්‍යවාදී ලෙස තොරතුරු දැනුම් දුන්නේය. ඒ කාලය මොනතරම් අපූර්ව කාලයක් වන්න ඇද්ද!

2. බොරුව හඳුන්වා දුන්නේ කවුද? ඊට හේතු වූයේ කුමක්ද?

2 කෙසේවෙතත් පසු කාලයේදී ස්වර්ගයේ වාසය කරමින් සිටි දෙවිගේ ආත්ම පුත්‍රයෙක් කිසිම භයක් සැකක් නැතිව යෙහෝවාට විරුද්ධ වෙමින් ඔහුට එදිරිව සිටින දෙවියෙකු හැටියට කටයුතු කරන්න පටන්ගත්තේය. සාතන් නමැති යක්ෂයා යනුවෙන් ප්‍රසිද්ධියට පත් වූ මෙම ආත්ම මැවිල්ලට අන් අයගේ නමස්කාරය ලබාගැනීමට වුවමනා විය. මෙම ඉලක්කය සපුරාගැනීම සඳහා අන් අයව තමාගේ පාලනය යටතට ගැනීමේ උපක්‍රමයක් හැටියට බොරුව මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ ඔහු විසිනි. මෙසේ කිරීමෙන් ‘ඔහු බොරුකාරයෙකු මෙන්ම බොරුවේ පියාද’ බවට පත් වූයේය.—යොහන් 8:44, NW.

3. ආදම් සහ ඒව සාතන් පැවසූ බොරුවට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එහි ප්‍රතිඵල වූයේ මොනවාද?

3 දෙවි අණ කළ දෙය ගණන් නොගෙන, තහනම් කර තිබූ ගෙඩිය කෑවොත් ඇය මිය යන්නේ නැති බව සාතන් සර්පයෙකුව යොදාගනිමින් ඒවට පැවසුවේය. එය බොරුවක් විය. ඔහු තවදුරටත් ඇයට පැවසුවේ ඇය එය අනුභව කළොත් යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවයි. එයද බොරුවක් විය. ඊට කලින් ඒව බොරුවක් කියා දෙයක් අසා නොතිබුණද තමාගේ කනට වැටුණු සර්පයාගේ වදන් දෙවි තම ස්වාමිපුරුෂයා වූ ආදම්ට පවසා තිබූ දෙයට විරුද්ධ බව ඇය තේරුම්ගෙන සිටියා විය හැක. එහෙත් ඇය තීරණය කළේ යෙහෝවාව නොව සාතන්ව විශ්වාස කිරීමටය. සම්පූර්ණයෙන්ම රැවටුණු ඇය තහනම් ගෙඩිය ගෙන කෑවාය. පසුව ආදම්ද එම ගෙඩියෙන් කෑවේය. (උත්පත්ති 3:1-6) ඒව මෙන් ආදම්ද ඊට පෙර කෙදිනකවත් බොරුවක් කියා දෙයක් අසා තිබුණේ නැත. එසේ වුවද ඔහු රැවටුණේ නැත. (1 තිමෝති 2:14) ඔහු කළ දේවලින් පෙන්වූයේ ඔහුගේ මැවුම්කරුව ඔහු ප්‍රතික්ෂේප කළ බවයි. මනුෂ්‍යවර්ගයාට ඉන් අත් වූ ප්‍රතිවිපාක විනාශකාරී විය. ආදම්ගේ අකීකරුකමේ ප්‍රතිඵලයක් හැටියට කියා නිම කළ නොහැකි තරම් නපුරුකම් සහ දුක් වේදනා ඇතුළුව පාපය හා මරණය ඔහුගෙන් පැවතෙන සියලුදෙනාටම පැතිර ගියේය.—රෝම 5:12.

4. (අ) ඒදන්හිදී පවසන ලද බොරු කෙබඳු ආකාරයේ ඒවා වීද? (ආ) සාතන්ගේ මුළා කිරීම්වලට හසු නොවී සිටීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

4 බොරුවද එලෙස පැතිර ගියේය. ඒදන් උයනේදී පවසන ලද එම බොරු මගින් සත්‍යයට මෙන්ම යෙහෝවාගේ පූර්ණ අවංකභාවයටද පහරක් එල්ල වූ බව අප තේරුම්ගත යුතුය. සාතන් ස්ථිර ලෙස ප්‍රකාශ කළේ දෙවි මුල් මිනිස් යුවළව රවටා ඔවුන්ට යම් යහපත් දෙයක් නොදී සිටිය බවයි. ඇත්තෙන්ම එවන් දෙයක් කොහොමටවත් සිදු වී තිබුණේ නැත. ආදම් සහ ඒව අකීකරු වීමෙන් ඔවුන්ට කිසිම යහපතක් සිදු වූයේ නැත. යෙහෝවා පවසා තිබූ ලෙසම ඔවුහු මිය ගියහ. කෙසේවෙතත් යෙහෝවාට එරෙහිව සාතන් එල්ල කළ නින්දාසහගත පහර එතැනින් නතර නොවීය. එම ප්‍රහාරය කොතරම් පුළුල් වූවාද කිවහොත් ඉන් සියවස් ගණනාවකට පසු ප්‍රේරිත යොහන් දේවානුභාවයෙන් ලීවේ, සාතන් ‘මුළු පොළොවම නොමඟ යවමින් සිටින’ බවයි. (එළිදරව් 12:9, NW) සාතන් නමැති යක්ෂයාගේ මුළා කිරීම්වලට හසු නොවී සිටීමට නම් අප යෙහෝවාගේ සත්‍යවාදීකම සහ ඔහුගේ වචනයේ සත්‍යතාව කෙරෙහි පූර්ණ නිසැකකමක් ඇතිව සිටිය යුතුය. යෙහෝවා කෙරෙහි තිබෙන ඔබේ විශ්වාසය තවත් වැඩි කරමින් එය ශක්තිමත් කරගැනීමට ඔබට හැක්කේ කෙසේද? එමෙන්ම යෙහෝවාගේ විරුද්ධකාරයාගේ සහය ඇතිව සිදු කෙරෙන රැවටීම්වලින් හා බොරුවලින් ආරක්ෂා වීමට ඔබට හැක්කේ කෙසේද?

යෙහෝවා සත්‍යය දනියි

5, 6. (අ) යෙහෝවා සතු දැනුම කොතරම්ද? (ආ) මිනිසා සතු දැනුම යෙහෝවාගේ දැනුම සමඟ සසඳද්දී අප දකින්නේ කුමක්ද?

5 බයිබලය බොහෝ අවස්ථාවලදී යෙහෝවාව හඳුන්වා දෙන්නේ “සියල්ල මැවූ” තැනැත්තා ලෙසය. (එෆීස 3:9, NW) “අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදුවේ” ඔහුය. (ක්‍රියා 4:24, NW) යෙහෝවා මැවුම්කරු වන නිසා ඔහු සෑම දෙයක් ගැනම සත්‍යය දනියි. මෙය මෙසේ නිදර්ශනය කළ හැක. තම නිවස තමන් විසින්ම සැලසුම් කර තමන්ගේම දෑතින්ම එහි සෑම ගඩොලක්ම බඳින සෑම උළුවහුවක්ම සවි කරන මිනිසෙකු ගැන සිතන්න. එම නිවසේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනක් ගැනම ඔහුට දැනුමක් තිබෙනු ඇත. එය නිරීක්ෂණය කරන කිසිවෙකුට වඩා ඔහුට ඒ ගැන හොඳ අවබෝධයක් තිබෙනු ඇත. තමන් නිර්මාණය කරන හා සාදන දේවල් ගැන සෑම තොරතුරක්ම මිනිස්සු දනිති. මේ හා සමානව මැවුම්කරුටද ඔහු මවා තිබෙන සෑම දෙයක් ගැනම පූර්ණ අවබෝධයක් තිබේ.

6 යෙහෝවා සතු දැනුම් සම්භාරයේ තරම ගැන අනාගතවක්තෘ යෙසායා ඉතාමත් ලස්සනට ප්‍රකාශ කළේය. මේ ගැන අපට මෙසේ කියවීමට තිබේ. “තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත් අහස වියතින් මැන්නෙත් පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත් තරාදියකින් කඳුද තුලාවකින් හෙල්ද කිරුවෙත් කවුද? යෙහෝවාගේ ආත්මයට මඟ පෙන්නුවෙත් ඔහුගේ මන්ත්‍රීව සිට ඔහුට ඉගැන්නුවෙත් කවුද? ඔහු කා සමඟ මන්ත්‍රණ කළාද? ඔහුට ගුරුකම් දී, යුතු මාර්ගය ගැන ඔහුට උගන්වා, දැනගැන්මද උගන්වා, බුද්ධියේ මාර්ගය ඔහුට පෙන්නුවේ කවුද?” (යෙසායා 40:12-14) සැබවින්ම යෙහෝවා “සියල්ල දන්නා දෙවි කෙනෙකි.” ‘දැනුමෙන් සම්පූර්ණව සිටින තැනැත්තා’ ඔහුය. (1 සාමුවෙල් 2:3; යෝබ් 36:4; 37:16) ඔහු සමඟ සසඳා බලන කල අප සතු දැනුම මොනතරම් අල්පද! මිනිසුන්ව මවිතයට පත් කරවන අතිමහත් දැනුමක් ඇතැමුන්ට තිබුණද, භෞතික විශ්වය ගැන අප සතු අවබෝධය ‘දෙවිගේ මාර්ගවලින් අල්ප මාත්‍රයක්වත්’ ඉක්මවා නොයයි. ‘පරාක්‍රමවත් ගර්ජනාව’ සමඟ බලන කල එම දැනුම “හීන් ශබ්දයක්” බඳුය.—යෝබ් 26:14.

7. යෙහෝවා සතු දැනුම ගැන දාවිත් වටහාගත්තේ කුමක්ද? මේ නිසා අප පිළිගත යුත්තේ කුමක්ද?

7 යෙහෝවා අපව මවා තිබෙන නිසා අප ගැන හොඳින් දන්නේ ඔහු බව සිතීම තර්කානුකූලය. මෙය තේරුම්ගත් දාවිත් රජ මෙසේ ලීවේය. ‘යෙහෝවා ඔබ මා විමසා බලා දැනගත්තේය. ඔබ මාගේ හිඳීමද නැඟිටීමද දනියි. දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලන්නේය. මාගේ සියලු මාර්ග දැනගෙන සිටියි. මක්නිසාද, යෙහෝවා ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.’ (ගීතාවලිය 139:1-4) මිනිසුන් තමන්ගේ නිදහස් කැමැත්ත අනුව කටයුතු කරන බව දාවිත් තේරුම්ගෙන සිටි බව පැහැදිලිය. තමන්ට කීකරු වීමට හෝ අකීකරු වීමට එම හැකියාව දෙවි අපට ලබා දී තිබේ. (ද්විතීය කථාව 30:19, 20; යෝෂුවා 24:15) කෙසේවෙතත් අප ගැන අප දන්නවාටත් වඩා හොඳින් යෙහෝවා අප ගැන දනියි. ඔහු කැමති වන්නේ අප ජීවිතයේ හොඳම දෙය භුක්ති විඳිනවා දැකීමටය. අප යා යුතු මාර්ගය කියා දිය හැක්කේ ඔහුටය. (යෙරෙමියා 10:23) අපට සත්‍යය ඉගැන්වීමටත් නැණවත්ව කටයුතු කිරීමට හා සන්තෝෂය භුක්ති විඳීම සඳහා අපට උපකාර කිරීමටත් ඔහුට වඩා හොඳ ගුරුවරයෙකු හෝ විශේෂඥයෙකු හෝ උපදේශකයෙකු නැත.

යෙහෝවා සත්‍යවාදීයි

8. යෙහෝවා සත්‍යවාදී බව අප දන්නේ කෙසේද?

8 සත්‍යය දැන සිටීම එක දෙයකි. එහෙත් සැමවිටම සත්‍යය පැවසීම නොහොත් සත්‍යවාදී වීම තවත් දෙයකි. නිදසුනක් වශයෙන් යක්ෂයා “සත්‍යය තුළ ස්ථිරව [සිටීමට]” තෝරාගත්තේ නැත. (යොහන් 8:44, NW) ඔහුට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු වන යෙහෝවා ‘සත්‍යයෙන් පූර්ණය.’ (නික්මයාම 34:6, NW) ශුද්ධ ලියවිල්ල පුන පුනා යෙහෝවාගේ සත්‍යවාදීකමට සාක්ෂි සපයයි. “දෙවිට කිසිසේත් බොරු කිව නොහැකි” බවත් දෙවිට “බොරු කීමට නොහැකි” බවත් ප්‍රේරිත පාවුල් සඳහන් කළේය. (හෙබ්‍රෙව් 6:18; තීතස් 1:2; NW, 1:1, පැරණි අනුවාදය) සත්‍යවාදී වීම දෙවිගේ පෞද්ගලිකත්වයේ වැදගත් ලක්ෂණයකි. යෙහෝවා සත්‍යවාදී නිසා ඔහු මත රඳා සිටීමටත් ඔහුව විශ්වාස කිරීමටත් අපට හැක. ඔහුට පක්ෂපාතව සේවය කරන අයව ඔහු කවදාවත් රවටන්නේ නැත.

9. යෙහෝවාගේ නම හා සත්‍යවාදීකම අතර තිබෙන සම්බන්ධය කුමක්ද?

9 යෙහෝවාගේ නමම ඔහුගේ සත්‍යවාදීකමට සාක්ෂියකි. දෙවිගේ නාමයේ අර්ථය වන්නේ “ඔහු සිදුවීමට සලස්වයි” යන්නය. මින් යෙහෝවාව හඳුන්වා දෙන්නේ තමන් පොරොන්දු වූ සෑම දෙයක්ම ප්‍රගතිශීලී ලෙස ඉටු කරන්නාවූ තැනැත්තා ලෙසයි. මෙවන් දෙයක් කළ හැකි කිසිවෙකු නැත. යෙහෝවා අතිශ්‍රේෂ්ඨතම තැනැත්තා වන නිසා ඔහුගේ අරමුණු ඉටුවීමේදී ඊට බාධා කිරීමට කිසිවෙකුට හෝ කිසිවකට නොහැක. යෙහෝවා සත්‍යවාදී තැනැත්තෙකු පමණක් නොව තමන් පවසා තිබෙන සෑම දෙයක්ම ඉටු කිරීමට බලය හා ප්‍රඥාව තිබෙන එකම තැනැත්තාද වන්නේය.

10. (අ) යෝෂුවා යෙහෝවාගේ සත්‍යවාදීකම දුටුවේ කෙසේද? (ආ) ඔබ දැක තිබෙන්නේ යෙහෝවාගේ කුමන පොරොන්දුවල ඉටුවීමද?

10 යෙහෝවාගේ සත්‍යවාදීකම පිළිබඳව සාක්ෂි සපයන සුවිශේෂී සිද්ධීන් සියැසින්ම දුටු බොහෝදෙනාගෙන් එක් අයෙකි, යෝෂුවා. ඊජිප්තුවේ වැසියන් පිට පීඩා දසය ගෙනෙන ලද කාලයේදී යෝෂුවාද එහි විසුවේය. මේ සෑම පීඩාවක් ගැනම කලින් පවසන ලදි. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් මුදාගෙන, ඔවුන්ට විරුද්ධ වූ බලවත් කානානීය හමුදා පරාජය කරමින් පොරොන්දු දේශයට ගෙන එන බවට යෙහෝවා දුන් පොරොන්දුවේ ඉටුවීම ආදිය යෝෂුවා දුටුවේය. යෝෂුවා ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී ඊශ්‍රායෙල් ජාතියේ වැඩිමහල්ලන්ට මෙසේ පැවසුවේය. “නුඹලාගේ දෙවි වූ යෙහෝවා නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණු බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය. එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.” (යෝෂුවා 23:14) යෝෂුවා සියැසින් දුටු ප්‍රාතිහාර්යයන් ඔබ දැක නැති වුණත් ඔබේ ජීවිත කාලයේදී ඔබ යෙහෝවාගේ පොරොන්දුවල සත්‍යතාව අද්දැක තිබේද?

යෙහෝවා සත්‍යය හෙළි කරයි

11. මනුෂ්‍යවර්ගයාට සත්‍යය දැනුම් දීමට යෙහෝවාට වුවමනා බව පැහැදිලි වන්නේ කුමකින්ද?

11 මහත් දැනුම් සම්භාරයක් තිබුණත් තම දරුවන් සමඟ කලාතුරකින් කතා කරන දෙමාපියෙකු ගැන සිතන්න. යෙහෝවා එවැනි කෙනෙකු හා සමාන නොවීම ගැන ඔබ ස්තුතිවන්ත විය යුතුයි නොවේද? යෙහෝවා ප්‍රේමණීය ලෙස මනුෂ්‍යවර්ගයාට තොරතුරු දැනුම් දෙයි. ඔහු මෙය කරන්නේ කිසිම අඩුවක් නැතුවය. ශුද්ධ ලියවිල්ල ඔහුව හඳුන්වන්නේ “උදාර උපදේශකයා” ලෙසය. (යෙසායා 30:20, NW) තමන්ට සවන් දීමට නැඹුරුවාවක් නොදක්වන අයට පවා ඔහු ප්‍රේමණීය කරුණාව පෙන්වමින් තොරතුරු දැනුම් දෙයි. නිදසුනක් වශයෙන් සවන් දෙන්නේ නැතැයි කියා යෙහෝවා දැන සිටි අයට පවා දේශනා කිරීමට එසකියෙල්ට පවරන ලදි. යෙහෝවා මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොස් ඊශ්‍රායෙල් වංශය වෙතට පැමිණ, මාගේ වචන කියා ඔවුන්ට කතා කරන්න.” ඊළඟට ඔහු මෙසේ අනතුරු ඇඟෙව්වේය. “ඊශ්‍රායෙල් වංශය මට ඇහුම්කන් දෙන්ට කැමති නැති බැවින් ඔවුහු නුඹට ඇහුම්කන් දෙන්ට කැමති නොවෙති. මක්නිසාද මුළු ඊශ්‍රායෙල් වංශය දැඩි වූ නළල්ද තද සිත්ද ඇත්තෝය.” එය දුෂ්කර පැවරුමක් වුවත් එසකියෙල් විශ්වාසවන්තව එය දිගටම කරගෙන ගියේය. මෙම පැවරුම ඉටු කිරීම මගින් ඔහු යෙහෝවාගේ දයාව දකින්න සැලැස්සුවේය. දේශනා කිරීමේ පැවරුම ඉටු කිරීමේදී දුෂ්කරතා අද්දකින විට ඔබ දෙවි මත රඳා සිටිනවා නම් ඔහු එසකියෙල්ව ශක්තිමත් කළාක් මෙන් ඔබවද ශක්තිමත් කරන බවට නිසැක වීමට ඔබට හැක.—එසකියෙල් 3:4, 7-9.

12, 13. දෙවි මිනිසුන්ට තොරතුරු දන්වා තිබෙන්නේ කුමනාකාරවලින්ද?

12 යෙහෝවාගේ ආශාව වන්නේ ‘සියලු ආකාර මිනිසුන් ගැලවීමත් ඔවුන් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගන්නවා’ දැකීමත්ය. (1 තිමෝති 2:4, NW) ඔහු අනාගතවක්තෘවරුන්ද දේවදූතයන්ද ඔහුගේම ප්‍රේමණීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ද මාර්ගයෙන් කතා කර තිබේ. (හෙබ්‍රෙව් 1:1, 2; 2:2) යේසුස් පිලාත්ට මෙසේ පැවසුවේය. “මා ඉපදුණෙත් ලෝකයට පැමිණියේත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටය. සත්‍යයට පක්ෂව සිටින සියල්ලෝ මාගේ හඬට සවන් දෙන්නෝය.” ගැලවීම සඳහා වූ යෙහෝවාගේ විධිවිධානය පිළිබඳ සත්‍යය කෙළින්ම දෙවිගේ පුත්‍රයාගෙන්ම දැනගැනීමේ අගනා ප්‍රස්තාව පිලාත් ඉදිරියේ තිබිණ. කෙසේවෙතත් පිලාත් සත්‍යයේ පැත්ත ගත්තේ නැත. එමෙන්ම යේසුස්ගෙන් ඉගෙනගන්න ඔහුට වුවමනාවක්ද තිබුණේ නැත. “සත්‍යය කියන්නේ කුමක්ද” කියා අසමින් ඔහු යේසුස් පැවසූ දෙයට ප්‍රතිචාරය දැක්වූවේ උපහාසාත්මක ලෙසය. (යොහන් 18:37, 38 NW) ඔහු කළේ මොනතරම් ශෝකජනක දෙයක්ද! එහෙත් බොහෝදෙනෙක් යේසුස් ප්‍රකාශ කළ සත්‍යයට සවන් දුන්හ. ඔහු සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. “පෙනෙන නිසා ඔබේ ඇස්ද, ඇසෙන නිසා ඔබේ කන්ද සන්තෝෂවත්ය.”—මතෙව් 13:16, NW.

13 යෙහෝවා බයිබලය මාර්ගයෙන් සත්‍යය ආරක්ෂා කර තිබෙන අතර සෑම තැනකම වෙසෙන ජනයාට එය ලබාගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. බයිබලය සත්‍යවාදී ලෙස දේවල් හෙළි කරයි. දෙවිගේ ගතිලක්ෂණ, අරමුණු හා ආඥා ගැන මෙන්ම මනුෂ්‍යවර්ගයා අතර සිදු වන දේවල සැබෑ තත්වය ගැනද එහි විස්තර කර ඇත. “ඔබේ වචනය සත්‍යතාවයය” කියා යේසුස් යෙහෝවාට කළ යාච්ඤාවකදී පැවසුවේය. (යොහන් 17:17, NW; 17:18, පැ.අ.) මේ හේතුව නිසා බයිබලය අද්විතීය පොතක් වේ. සෑම දෙයක් ගැනම දන්න දෙවිගේ ආනුභාවයෙන් ලියා තිබෙන්නේ එය පමණි. (2 තිමෝති 3:16) බයිබලය මනුෂ්‍යවර්ගයාට දී තිබෙන අගනා ත්‍යාගයකි. දෙවිගේ සේවකයන් එය සලකන්නේ වටිනා නිධානයක් ලෙසය. එය දිනපතාම කියවීම අප කරන නැණවත් දෙයකි.

සත්‍යය තදින් අල්ලාගෙන සිටින්න

14. යෙහෝවා කරන බවට පවසා තිබෙන දේවල් සමහරක් මොනවාද? අප ඔහුව විශ්වාස කළ යුත්තේ මන්ද?

14 යෙහෝවා ඔහුගේ වචනය මාර්ගයෙන් පවසන දේවල් අප බැරෑරුම් ලෙස සැලකිය යුතුය. ඔහුගේ පෞද්ගලිකත්වය හුදෙක් නමට පමණක් සීමා වූ ලේබලයක් නොවේ. තවද ඔහු කරනවා කියා කියන දෙය අනිවාර්යයෙන්ම කරන කෙනෙකි. දෙවි කෙරෙහි විශ්වාසය තැබීමට අපට ඕනෑතරම් හේතු තිබේ. “දෙවිව නොදන්නා අයගෙන්ද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද පළිගන්නේය” කියා යෙහෝවා පවසන විට එය විශ්වාස කිරීමට අපට හැක. (2 තෙසලෝනික 1:8, NW; 1:7, පැ.අ.) ධර්මිෂ්ඨකම ලුහුබඳින අයට තමන් ප්‍රේම කරන බව යෙහෝවා පවසන විටද, ඇදහිල්ල ක්‍රියාවලින් පෙන්වන අයට සදාකාල ජීවනය ලබා දෙන බවට ඔහු පවසන විටද, වේදනාව, වැලපීම හා මරණය පවා තුරන් කර දමන බව ඔහු පවසන විටද ඒ සෑම දෙයක්ම විශ්වාස කිරීමට අපට පුළුවන. ප්‍රේරිත යොහන්ට දෙන ලද පහත සඳහන් උපදේශය මගින් කලින් සඳහන් කළ අවසාන පොරොන්දුව ඉටු කරන බව යෙහෝවා අවධාරණය කළේය. “ලියන්න. මන්ද මේ වචන විශ්වාසවන්තය, සැබෑය.”—එළිදරව් 21:4, 5, NW; හිතෝපදේශ 15:9; යොහන් 3:36.

15. සාතන් අනුබල දෙන ඇතැම් බොරු මොනවාද?

15 සාතන් කියන්නේ යෙහෝවාට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව සිටින පුද්ගලයාය. මිනිසුන්ට අවබෝධය ලබා දෙනවා වෙනුවට ඔහු කරන්නේ මිනිසුන්ව රැවටීමයි. ජනයාව නිර්මල නමස්කාරයෙන් ඉවත් කිරීමේ ඔහුගේ ඉලක්කය ඉටු කරගැනීම සඳහා සාතන් බොරු කන්දරාවකට සිය අනුබලය ලබා දෙයි. නිදසුනක් වශයෙන්, දෙවි කියන්නේ මිනිසුන්ගේ හැඟීම් තේරුම් නොගන්න, ඔවුන්ගෙන් බොහෝ දුරස්ව සිටින, පොළොවේ සිදු වන දුක් වේදනා ගණන් නොගන්න කෙනෙක් කියා අප විශ්වාස කරනවා දකින්න සාතන් කැමතිය. එහෙත් බයිබලය පැහැදිලිවම පවසන්නේ යෙහෝවා ඔහුගේ මැවිලි ගැන ඉමහත් සැලකිල්ලක් දක්වන බවයි. නපුරු දේවල් හා දුක් වේදනා ඔහු මුළුමනින්ම හෙළා දකින බවයි. (ක්‍රියා 17:24-30) ආත්මික දේවල් සඳහා වැය කරන කාලය අපතේ යැවීමක් කියා ජනයා විශ්වාස කරනවා දකින්නත් සාතන් කැමතිය. ඊට වෙනස්ව ශුද්ධ ලියවිල්ල අපට සහතිකව පවසන්නේ “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත” කියාය. එපමණක්ද නොව, “ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු” බවත් ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව සඳහන් වේ.—හෙබ්‍රෙව් 6:10; 11:6, NW.

16. ක්‍රිස්තියානීන් දිගටම කල්පනාකාරීව සිටිමින් සත්‍යය තදින් අල්ලාගෙන සිටීම අත්‍යවශ්‍ය දෙයක් වන්නේ මන්ද?

16 ප්‍රේරිත පාවුල් සාතන් ගැන මෙසේ ලීවේය. “දෙවිගේ ස්වරූපය වන ක්‍රිස්තුස් ගැන තේජාන්විත ශුභාරංචියේ ආලෝකය ඔවුන් වෙත නොබැබළෙන පිණිස මේ සමාජ ක්‍රමයේ දෙවි නොඇදහිලිකරුවන්ගේ මනස් අන්ධ කර ඇත.” (2 කොරින්ති 4:4, NW) සාතන් නමැති යක්ෂයා විසින් ඒවව රැවටුවාක් මෙන් සමහරුන්වද සම්පූර්ණයෙන්ම රවටනු ලැබේ. තවත් අය කටයුතු කරන්නේ, රැවටුණේ නැති වුවත් අකීකරු වීමට හිතාමතාම තෝරාගත් ආදම් හා සමානවයි. (යූද් 5, 11) මේ නිසා ක්‍රිස්තියානීන් දිගටම කල්පනාකාරීව සිටිමින් සත්‍යය තදින් අල්ලාගෙන සිටීම අත්‍යවශ්‍ය දෙයකි.

යෙහෝවා ඉල්ලා සිටින්නේ “කුහකකමින් තොර වූ ඇදහිල්ලකි”

17. යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

17 යෙහෝවා ඔහුගේ සෑම ක්‍රියාවකදීම සත්‍යවාදී වන්නාක් මෙන් ඔහුට නමස්කාර කරන අයද සත්‍යවාදී වීම ඔහු අපේක්ෂා කරයි. මේ සම්බන්ධයෙන් ගීතිකාකරු මෙසේ ලීවේය. “යෙහෝවා, ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු [ශුද්ධ, NW] කන්දේ වසන්නේ කවුද? අවංක ලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය.” (ගීතාවලිය 15:1, 2) යෙහෝවාගේ ශුද්ධ කන්ද ගැන සඳහන් කරමින් ගායනා කරන විට යුදෙව්වන්ගේ මනසේ ඇඳුණේ සියොන් කන්ද පිළිබඳ දසුනක් බව නිසැකයි. දාවිත් ගිවිසුම් පෙට්ටිය තැබීම සඳහා කුඩාරම ඉදි කළේ එම කන්දේය. (2 සාමුවෙල් 6:12, 17) යෙහෝවා සංකේතමය ලෙස වාසය කළ ස්ථානය එම කන්ද හා කුඩාරම මගින් සිහිගැන්වේ. දෙවිගේ අනුමැතිය ඉල්ලා, ඔහුට කන්නලව් කිරීම සඳහා දෙවි වෙතට පිවිසීමට ජනයාට එහිදී හැකි විය.

18. (අ) දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා අවශ්‍ය කරන්නේ කුමක්ද? (ආ) ඊළඟ ලිපියේදී සාකච්ඡා කරන්නේ කුමක් ගැනද?

18 යෙහෝවා සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට කැමති ඕනෑම කෙනෙකු තමන්ගේ තොල්වලින් පමණක් නොව ‘තමන්ගේ සිතින්ද’ සත්‍යය කතා කළ යුතුය. දෙවිගේ සැබෑ මිතුරන් සිතින් අවංක විය යුතුය. “කුහකකමින් තොරවූ ඇදහිල්ල” පිළිබඳව සාක්ෂි සැපයිය යුතුය. මන්ද සත්‍යවාදී ක්‍රියාවන් නික්මෙන්නේ පුද්ගලයෙකුගේ සිතින් වන බැවිනි. (1 තිමෝති 1:5; මතෙව් 12:34, 35, NW) “ප්‍රයෝගකාර වූ මනුෂ්‍යයාව යෙහෝවා පිළිකුල් කරන” නිසා දෙවිගේ මිතුරෙකු වන කෙනෙකු කිසිදිනක කූට උපා යොදන්නෙකු හෝ රවටන්නෙකු වන්නේ නැත. (ගීතාවලිය 5:6) ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඔවුන්ගේ දෙවිව අනුකරණය කරමින් සත්‍යවාදී වීමට දැඩි වෑයමක් දරති. මේ විෂය ගැන ඊළඟ ලිපියේ සලකා බලනු ලැබේ.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• යෙහෝවා සෑම දෙයක් ගැනම සත්‍යය දන්නේ මන්ද?

• යෙහෝවා සත්‍යවාදී බව පැහැදිලි වන්නේ කුමකින්ද?

• යෙහෝවා සත්‍යය හෙළි කර තිබෙන්නේ කෙසේද?

• සත්‍යය සම්බන්ධයෙන් ගත් කල, අපෙන් අවශ්‍ය කරන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූර]

සත්‍යතාවේ දෙවි තමන් සාදා තිබෙන සෑම දෙයක් ගැනම දනි

[12, 13වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ පොරොන්දු සැබෑ වනු ඇත