Skip to content

පටුනට යන්න

ඇතමුන්ව සිහිපත් කරනු ලබන අයුරු

ඇතමුන්ව සිහිපත් කරනු ලබන අයුරු

ඇතමුන්ව සිහිපත් කරනු ලබන අයුරු

මීට අවුරුදු තුන්දහසකට පමණ ඉහතදී දාවිත් ඊශ්‍රායෙලයේ රජ වූ සාවුල් වෙතින් පලා යමින් සිටියේය. දාවිත් ඔහුගේ සේවකයන් කිහිපදෙනෙකුව ආහාර හා වතුර ඉල්ලාගැනීම සඳහා එළු බැටළු රැළවල් හිමි ධනවතෙකු වූ නාබල් වෙතට යැව්වේය. ඇත්තෙන්ම නාබල් දාවිත්ට හා ඔහුගේ අනුගාමිකයන්ට ණයගැතිව සිටි අයෙකි. මන්ද එක්තරා අවස්ථාවකදී ඔවුන් ඔහුගේ එළු බැටළු රැළවල් ආරක්ෂා කර දී තිබිණ. කෙසේවෙතත් ඔවුන්ට ආගන්තුක සත්කාරය පිරිනැමීම නාබල් ප්‍රතික්ෂේප කළේය. ඒ විතරක් නොවෙයි, ඔහු දාවිත්ගේ මිනිසුන්ට කෑගසමින් බැණ වැදුණේය. දාවිත් කියන්නේ කවදාවත් සුළු නොකළ යුතු පුද්ගලයෙකි. නමුත් ඔහුව සුළු කිරීම නිසා නාබල් සිටියේ මහත් අනතුරක් අද්දරයි.—1 සාමුවෙල් 25:5, 8, 10, 11, 14.

නාබල් දැරූ ආකල්පය, මැදපෙරදිග පැවති අමුත්තන්ට ආගන්තුක සත්කාරය පිරිනැමීමේ සම්ප්‍රදායට පටහැනි විය. මේ නිසා නාබල් ඇති කරගත්තේ කෙබඳු නාමයක්ද? බයිබල් වාර්තාවේ සඳහන් වන්නේ ඔහු “ක්‍රියාවලින් කර්කශ වූ නපුරු වූ කෙනෙක්” බවයි. එමෙන්ම ඔහු “දුර්ජනයෙකු” බවද එහි සඳහන් වේ. “මෝඩ” යන අදහස ඔහුගේ නමේ ගැබ් වූ අතර ඔහුගේ ක්‍රියාවලින් එය දැකගත හැකි විය. (1 සාමුවෙල් 25:3, 17, 25, NW) අන් අය ඔබව එලෙස මතකයට නඟනවාට ඔබ කැමතිද? අන් අය සමඟ, විශේෂයෙන්ම ඔබට වඩා අඩු තත්වයක සිටිනවායයි හැඟෙන අය සමඟ ඔබ කටයුතු කරන්නේ සැර පරුෂ හා දැඩි පුද්ගලයෙකු ලෙසද? එසේත් නැත්නම් ඔබ කරුණාවන්ත, ආගන්තුක සත්කාරයට ලැදි හා අන් අය ගැන සැලකිල්ල දක්වන කෙනෙක්ද?

අබීගායිල් නැණවත් ස්ත්‍රියකි

නාබල් තුළ තිබූ දැඩි ආකල්පය නිසා ඔහු සිටියේ කරදරයකට මුහුණ දෙමිනි. තමන්ගේ කඩු සූදානම් කරගත් පුරුෂයන් 400දෙනෙකුව දාවිත් පිටත් කර හැරියේ නාබල්ට යස පාඩමක් ඉගැන්වීම සඳහාය. සිදු වූ දෙය නාබල්ගේ භාර්යාව වූ අබීගායිල්ට දැනගන්න ලැබිණ. සටනක් අත ළඟ බව ඇය දැනගත්තාය. ඇයට කළ හැකි වූයේ කුමක්ද? ඇය ඉක්මනින්ම අවශ්‍ය තරම් ආහාර පානාදිය සූදානම් කරගෙන, දාවිත්ව හා ඔහුගේ මිනිසුන්ව නතර කිරීම සඳහා පිටත්ව ගියාය. ඔවුන්ව හමු වූ අවස්ථාවේදී ඇය දාවිත්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ නිකරුණේ ලේ වැගිරීමක් නොකරන ලෙසය. ඒ අවස්ථාවේදී දාවිත්ගේ දැඩි වූ සිත මොළොක් විය. ඇගේ ඉල්ලීම්වලට සවන් දුන් ඔහු තම අදහස වෙනස් කරගත්තේය. මේ දේවල් සිදු වී වැඩි කලක් යන්න කලින් නාබල් මිය ගියේය. අබීගායිල්ගේ යහපත් ගුණාංග හඳුනාගත් දාවිත් පසුව ඇයව තමාගේ භාර්යාව ලෙස සරණපාවා ගත්තේය.—1 සාමුවෙල් 25:14-42.

අබීගායිල් ඇති කරගත්තේ කෙබඳු ආකාරයේ නමක්ද? මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව ඇය “බුද්ධිමත්” තැනැත්තියක් නැත්නම් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ කෙනෙක් වූවාය. ඇයට දුර දක්නා නුවණක් තිබූ බවත් පියවර ගත යුත්තේ කෙසේද, කුමන අවස්ථාවේදීද කියා ඇය දැන සිටි බවත් පැහැදිලි විය. තමාගේ මෝඩ ස්වාමිපුරුෂයාවත් තම ගෙවැසියන්වත් විපතකින් ආරක්ෂා කරගැනීම සඳහා ඇය පක්ෂපාත ලෙස කටයුතු කළාය. කලකට පසු ඇය මිය ගියද, නැණවත් ස්ත්‍රියක් ලෙස විශිෂ්ට නමක් තබා යෑමට ඇයට හැකි විය.—1 සාමුවෙල් 25:3.

පේතෘස් තැබුවේ කෙබඳු වාර්තාවක්ද?

දැන් අපි පළමුවන සියවසට පැමිණ, යේසුස්ගේ ප්‍රේරිතයන් 12දෙනා ගැන සලකා බලමු. කලින් ගලීලයේ ධීවරයෙකුව සිටි සීෆස් යන නමින්ද හැඳින්වූ පේතෘස් විගස අන් අය සමඟ කතා කිරීමට ඉදිරිපත් වූ ආවේගශීලී පුද්ගලයෙකු වූ බවට කිසිම සැකයක් නැත. තම හැඟීම් ප්‍රකාශ කිරීමට පසුබට නොවූ ඔහු බොහොම ක්‍රියාකාරී චරිතයක් විය. නිදසුනක් වශයෙන් යේසුස් ඔහුගේ ගෝලයන්ගේ පාද සේදූ අවස්ථාවේ සිදු වූ දෙය සලකා බලන්න. පේතෘස්ගේ පාද සේදීමට වාරය පැමිණි විට ඔහු ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

“ස්වාමිනි, ඔබ මගේ පාද සෝදන්නෙහිද” කියා පේතෘස් යේසුස්ගෙන් ඇසුවේය. ඔහුට පිළිතුරු දෙමින් යේසුස් මෙසේ පැවසුවේය. “මා කරන්නේ කුමක්දැයි දැන් ඔබට තේරෙන්නේ නැත. නමුත් මෙයින් පසුව ඔබට තේරෙනවා ඇත.” පේතෘස් ඊට පිළිතුරු දෙමින් පැවසුවේ මෙසේයි. “ඔබට කවදාවත් මාගේ පාද නම් සෝදන්න ලැබෙන්නේ නැත.” මෙහිදී පේතෘස් අවධාරණයෙන් යුතුව වුවත් ආවේගශීලී ලෙස ප්‍රතිචාර දැක්වූ ආකාරය සැලකිල්ලට ගන්න. මේ අවස්ථාවේදී යේසුස් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

“මා ඔබව නොසේදුවොත් මා සමඟ කිසි පංගුකාරකමක් ඔබට නැත” කියා යේසුස් පැවසුවේය. එවිට සීමොන් පේතෘස්, “ස්වාමිනි, මාගේ පාද පමණක් නොව, මාගේ අත්ද හිසද සෝදන්න” කියා ඔහුට කීවේය. මේ අවස්ථාවේදී පේතෘස් අනිත් අන්තයට ගියේය! එනමුත් පේතෘස්ගේ හිතේ තිබුණු දේ සැමවිටම කාටත් පැහැදිලි විය. ප්‍රයෝගකාරී චේතනා හෝ කපටිකම් ඔහු තුළ නොතිබිණ.—යොහන් 13:6-9, NW.

පේතෘස් ගැන කතා කරන විට මිනිසුන් අතර බහුලව දැකිය හැකි දුර්වලකම් ඔහු තුළද තිබූ බව සිහියට නැඟෙයි. නිදසුනක් වශයෙන්, වරදකරුවෙකු බවට තීන්දු කළ නාසරෙත්හි යේසුස්ගේ අනුගාමිකයෙකු බවට චෝදනා කළ ජනයා ඉදිරියේදී ඔහු තුන් වතාවක්ම ක්‍රිස්තුස්ව හඳුනන්නේ නැති බව පැවසුවේය. තමන් අතින් සිදු වූ වරද තේරුම්ගත් පසු පේතෘස් ඉකිබිඳිමින් හැඬුවේය. ඔහුගේ ශෝකය හා පසුතැවිල්ල ප්‍රකාශ කිරීමට ඔහු බිය වූයේ නැත. සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ මෙයයි. පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැති බව පැවසීම පිළිබඳ වාර්තාව ලිවීම සඳහා සුවිශේෂ ලේඛකයන්ට පේතෘස් විසින්ම ලබා දුන් තොරතුරු බොහෝදුරට උපකාරවත් වූ බව සිතිය හැකියි. තමන් අතින් සිදු වූ අඩු පාඩුකම් පිළිගැනීමට තරම් ඔහු නිහතමානි විය. ඔබත් ඔබේ අතින් සිදු වන අඩු පාඩු හා වැරදි පිළිගැනීමට තරම් නිහතමානි පුද්ගලයෙක්ද?—මතෙව් 26:69-75; මාර්ක් 14:66-72; ලූක් 22:54-62; යොහන් 18:15-18, 25-27.

ක්‍රිස්තුස්ව ප්‍රතික්ෂේප කිරීමෙන් සති කිහිපයක් ඇතුළත පේතෘස් ශුද්ධාත්මයෙන් පූර්ණව, යුදෙව්වන් විශාල පිරිසකට පෙන්තකොස්ත දවසේදී නිර්භීතව දේශනා කළේය. නැවත නැඟිටුවන ලද යේසුස් ඔහු කෙරෙහි විශ්වාසය තබා තිබූ බවට එය පැහැදිලි සාක්ෂියක් විය.—ක්‍රියා 2:14-21.

තවත් අවස්ථාවකදී පේතෘස් වෙනත් උගුලකට හසු විය. අන්තියෝකියේ සිට යුදෙව් සහෝදරයන් කිහිපදෙනෙක් පැමිණීමට කලින් පේතෘස් අන්‍යජාතික ඇදහිලිවන්තයන් සමඟ බාධාවක් නැතිව නිදහසේ කල් ගෙවූ බව ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේය. නමුත් පසු අවස්ථාවකදී පේතෘස් යෙරුසලමේ සිට පැමිණි “චර්මච්ඡේදිතයන්ට භයෙන්” එම අන්‍යජාතික ඇදහිලිවන්තයන්ගෙන් වෙන්ව සිටියේය. පේතෘස්ගේ මෙම දෙබිඩි පිළිවෙත පාවුල් විසින් හෙළි කරන ලදි.—ගලාති 2:11-14, NW.

කෙසේවෙතත් යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් බොහෝදෙනෙක් ඔහුව අත්හැර දමා යන්න සූදානම් වෙමින් සිටි බව පෙනී ගිය තීරණාත්මක අවස්ථාවකදී නිර්භීතව තමන්ගේ අදහස් ප්‍රකාශ කළ ගෝලයා කවුද? මෙම අවස්ථාව වූයේ, තමන්ගේ මාංසය අනුභව කිරීමේ හා රුධිරය පානය කිරීමේ වැදගත්කම ගැන අලුත් යමක් යේසුස් හෙළි කළ අවස්ථාවයි. ඔහු මෙසේ පැවසුවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංසය කා ඔහුගේ රුධිරය නොබොන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත.” යේසුස්ගේ යුදෙව් අනුගාමිකයන්ගෙන් බොහෝදෙනෙක් ඒ වචන නිසා බාධාවට පත් වී මෙසේ පැවසූහ. “මෙය මහ පුදුම කතාවකි. මෙයට සවන් දිය හැක්කේ කාටද?” ඊළඟට සිදු වූයේ කුමක්ද? “මේ නිසා ඔහුගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙකු තමුන් අත්හැර ආ දේවල් බලා ආපසු ගිය අතර, තවදුරටත් ඔහු අනුව ගියේ නැත.”—යොහන් 6:50-66, NW.

මේ තීරණාත්මක අවස්ථාවේදී යේසුස් ප්‍රේරිතයන් 12දෙනා වෙතට හැරී, හද සසල කරවනසුලු මෙම ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවේය. “ඔබටත් යන්න ඕනේද?” පේතෘස් ඊට පිළිතුරු දුන්නේ මෙසේය. “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය. තවද ඔබ දෙවිගේ ශුද්ධ තැනැත්තා බව අපි අදහමු. එමෙන්ම ඒ බව දැනගෙන සිටිමු.”—යොහන් 6:67-69, NW.

පේතෘස් ඇති කරගත්තේ කෙබඳු නාමයක්ද? ඔහු පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා කියවන විට, ඔහුගේ අවංකකම, විවෘතව අදහස් ප්‍රකාශ කිරීම, පක්ෂපාතකම හා තමන්ගේ අඩු පාඩුකම් පිළිගැනීමට දක්වන කැමැත්ත යනාදි ඔහුගේ ගතිලක්ෂණ කෙරෙහි කියවන කෙනාගේ සිත ඇදී යනවාට සැකයක් නැත. ඔහු ඇති කරගත්තේ මොනතරම් විශිෂ්ට නාමයක්ද!

යේසුස් ගැන ජනයාගේ මතකයේ රැඳුණේ මොනවාද?

යේසුස් මිහිතලය මත දේවසේවය කළේ අවුරුදු තුනහමාරක් පමණයි. එහෙත් ඔහුගේ අනුගාමිකයන්ගේ මතකයේ ඔහු රැඳී සිටින්නේ කෙසේද? ඔහු පාපයෙන් තොර පරිපූර්ණ කෙනෙකු වූ නිසා ළඟා විය නොහැකි කෙනෙක් වූවාද? තමන් දෙවිගේ පුත්‍රයා බව දැන සිටි නිසා තමන්ගේ බලතල ඔහු අනිසි ලෙස භාවිත කළාද? තම අනුගාමිකයන්ට තර්ජනය කර, තමන්ට කීකරු වන ලෙස ඔවුන්ට බල කළාද? තමන්ගේ මුවින් සිනහවක් පිට නොවන තරමට තමන් ගැන වුවමනාවට වඩා සිතුවාද? දුර්වල අය හා රෝගීන් මෙන්ම ළමුන් සමඟ කාලය ගත කිරීමට නොහැකි වන තරමට ඔහු කාර්යබහුල වූවාද? ඒ කාලයේ සිටි පුරුෂයන් බොහෝ අවස්ථාවලදී කළාක් මෙන් ඔහුත් වෙනත් වර්ගවලට අයත් අයව හා ස්ත්‍රීන්ව පහත් කොට සැලකුවාද? යේසුස් ගැන ලියවී තිබෙන වාර්තාව අපට ඔහු ගැන පවසන්නේ මොනවාද?

යේසුස් මිනිසුන්ගේ යහපත ගැන සැලකිල්ල දැක්වුවේය. ඔහු කළ දේවසේවය ගැන අධ්‍යයනය කිරීමෙන් හෙළි වන්නේ බොහෝ අවස්ථාවලදී ඔහු ඇවිදීමට නොහැකි අයව හා රෝගීන්ව සුව කළ බවයි. අසරණ අයට උපකාර කිරීම සඳහා ඔහු කාලය හා ශ්‍රමය වැය කළේය. ඔහු සිය ගෝලයන්ට පැවසූ මෙම වදන්වලින් පැහැදිලි වන්නේ දරුවන් කෙරෙහි ඔහු දැක්වූ සැලකිල්ලයි. “කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. ඔවුන්ව වළක්වන්න උත්සාහ නොකරන්න.” ඉන්පසු යේසුස් “දරුවන්ව තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබමින් ඔවුන්ට ආශීර්වාද කළේය.” ඔබ දරුවන් සමඟ ගත කිරීම සඳහා කාලය ගන්නවාද? නැත්නම් ඔවුන්ට ඔබව දැකගත නොහැකි තරමට ඔබ කාර්යබහුලව සිටිනවාද?—මාක් 10:13-16; මතෙව් 19:13-15; NW.

යේසුස් මිහිතලය ම සිටි කාලයේ විසූ යුදෙව් ජනයාට නීතියේ සඳහන් නියමයන් ඉක්මවා ගිය ආගමික නීති රීති හා සීමා පනවනු ලැබීමෙන් ඔවුන්ව දැඩි පීඩනයකට ලක් කරන ලදි. ඒ කාලයේ සිටි ආගමික නායකයන් විසින් ජනයා මත අධික බර පටවා, ඔවුන්ව දැඩි පීඩනයකට ලක් කර තිබිණ. එම නායකයන් ඔවුන්ගේ එක ඇඟිල්ලක්වත් තබා, ඒ බර සැහැල්ලු කළේ නැත. (මතෙව් 23:4; ලූක් 11:46, NW) එනමුත් යේසුස් ඔවුන්ට වඩා කොතරම් වෙනස් වූවාද! ඔහු මෙසේ පැවසුවේය. “වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබව ප්‍රාණවත් කරමි.”—මතෙව් 11:28-30, NW.

ජනයා යේසුස් සමඟ ඇසුරු කරද්දී ප්‍රාණවත් බවක් අද්දුටූහ. ඔහුගේ ගෝලයන්ට ඔවුන්ගේ අදහස් පැවසීමට ඉඩක් නොතබමින් ඔවුන්ව බිය ගැන්වූයේ නැත. ඇත්තෙන්ම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට දිරිමත් කරමින් ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසුවේය. (මාර්ක් 8:27-29) ක්‍රිස්තියානි අවේක්ෂකයන් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘මා ගැන සෙසු ඇදහිලිවන්තයන් තුළ තිබෙන්නේද ඒ හා සමාන හැඟීමක්ද? සෙසු වැඩිමහල්ලන් ඔවුන්ගේ අදහස් මට පවසනවාද? නැත්නම් එසේ කිරීමට ඔවුන් පසුබට වෙනවාද?’ අවේක්ෂකයන් සෑම කෙනෙකුටම ළඟා විය හැකි, අන් අයට සවන් දෙන හා නම්‍යසුලු වීමට කැමැත්තෙන් සිටින අය වන විට, එයින් මොනතරම් ප්‍රාණවත් බවක් අන් අයට දැනේවිද! අසාධාරණ වීමෙන් සිදු වන්නේ අවංක හා විවෘත අදහස් හුවමාරුවට බාධා ඇතිවීම පමණි.

යේසුස් දෙවිගේ පුත්‍රයා වුවත් කවදාවත් තමන්ගේ බලතල අනිසි ලෙස යොදාගත්තේ නැත. ඔහුට සවන් දුන් අයට තර්කානුකූලව සිතන්නට ඔහු උපකාර කළේය. මීට කදිම නිදසුනක් වන්නේ පරිසිවරුන් කපටි ලෙස මෙම ප්‍රශ්නය අසමින් ඔහුව වරදට හසු කරගැනීමට තැත් කළ අවස්ථාවයි. “සීසර්ට ඇඟ බද්ද ගෙවිය යුතුද නැද්ද?” යේසුස් කාසියක් පෙන්වන්න කියා ඔවුන්ට පවසා, ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “මේ රූපයත් සටහනත් කාගෙද?” ඔවුහු එය “සීසර්ගේ” යයි කීවෝය. එවිට ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය. “එසේනම්, සීසර්ගේ දේ සීසර්ටද දෙවිගේ දේ දෙවිටද දෙන්න.” (මතෙව් 22:15-21, NW) ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා සරල තර්කයක් ප්‍රමාණවත් විය.

යේසුස් ඇතැම් අවස්ථාවලදී කතා කරද්දී හාස්‍ය රසයක් මුසු කළාද? ධනවතෙකු දෙවිගේ රාජ්‍යයට ඇතුල් වනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසුයි කියා යේසුස් පැවසූ වදන් ඇතුළත් කොටස කියවන විට, එම ප්‍රකාශයෙන් යම් දුරකට හාස්‍යයක් ඇති කරන බව ඇතැම් පාඨකයන්ට හැඟී යා හැකියි. (මතෙව් 19:23, 24, NW) ඔටුවෙක් මහන ඉඳිකටු සිදුරකින් ඇතුල් වීමට තැත් කිරීම ගැන පැවසීම අතිශයෝක්ති කියමනකි. මෙවන් අතිශයෝක්ති කියමනකට තවත් උදාහරණයක් වන්නේ තමන්ගේ ඇසේ ඇති පරාලය නොදැක, සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ දෙස බැලීම ගැන පැවසීමයි. (ලූක් 6:41, 42, NW) යේසුස් සැර පරුෂ කෙනෙකු විලසින් හැසිරුණේ නැත. ඔහු සුහද මිත්‍රශීලී අයෙකු විය. වර්තමානයේ සිටින ක්‍රිස්තියානීන්ටද දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින අවස්ථාවලදී හාස්‍යජනක දේවලින් යම් සහනයක් ලැබිය හැක.

යේසුස් කාන්තාවන් කෙරෙහි දැක්වූ දයානුකම්පාව

යේසුස් අසල සිටින විටදී කාන්තාවන්ට දැනුණේ කෙසේද? ඇත්තෙන්ම ඔහුගේම මව ඇතුළු පක්ෂපාත කාන්තාවන් බොහෝදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් බවට පත් වූහ. (ලූක් 8:1-3; 23:55, 56; 24:9, 10) යේසුස් වෙතට ළඟාවීම සඳහා කාන්තාවන්ට මොනතරම් පහසුබවක් දැනුණාද කියනවා නම්, එක් අවස්ථාවකදී ‘පව්කාර තැනැත්තියක් ලෙස ප්‍රසිද්ධව සිටි’ කාන්තාවක් ඇගේ කඳුළුවලින් ඔහුගේ පාද සෝදා සුවඳ තෙල් ආලේප කළාය. (ලූක් 7:37, 38, NW) අවුරුදු ගණනාවක සිට ලේ ගැලීමේ රෝගයෙන් පෙළෙමින් සිටි තවත් කාන්තාවක් තමාගේ රෝගය සුව කරගැනීමේ අදහසින් ඔහුගේ සළුව ඇල්ලීමට සෙනඟ අතරින් තෙරපීගෙන ආවාය. යේසුස් ඇගේ ඇදහිල්ල පැසසුමට ලක් කළේය. (මතෙව් 9:20-22) ඔව්, ඇත්තෙන්ම යේසුස් පහසුවෙන්ම ළඟා විය හැකි පුද්ගලයෙකු බව කාන්තාවෝ අද්දුටූහ.

තවත් අවස්ථාවකදී යේසුස් සමරිතානු ස්ත්‍රියකට ළිඳක් අසලදී කතා කළේය. මේ ගැන ඇය මොනතරම් පුදුමයට පත් වූවාද කියනවා නම් ඇය මෙසේ පැවසුවාය. “යුදෙව්වෙකු වන ඔබ, සමරිතානු ස්ත්‍රියක වන මගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලන්නේ කොහොමද?” සමරිතානුවන් සමඟ යුදෙව්වන්ගේ කිසි ගනු දෙනුවක් තිබුණේ නැති බව එම වදන්වලින් පැහැදිලි වේ. යේසුස් එම අවස්ථාවේදී ‘සදාකාල ජීවනය දෙන වතුර’ ගැන අපූර්ව සත්‍යයක් ඇයට ඉගැන්වුවේය. කාන්තාවන් සමඟ කිසිම අපහසුතාවක් නොමැතිව සුහදව කතා බහ කරන්න ඔහුට පුළුවන් විය. අන් අය මේ පිළිබඳව ප්‍රශ්න කිරීම ගැන ඔහු සිතුවේ නැත.—යොහන් 4:7-15.

යේසුස් තුළ තිබූ ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවය ඇතුළු ඔහුගේ යහපත් ගුණාංග බොහොමයක් අන් අයගේ මතකයේ රැඳී තිබේ. ඔහු දෙවිගේ ප්‍රේමයේ පරමාදර්ශය විය. යේසුස් ඔහුගේ අනුගාමිකයන් වීමට කැමති සියලුදෙනාගෙන්ම අවශ්‍ය කරන ප්‍රමිතිය තැබුවේය. ඔබ කොතරම් කිට්ටුවෙන් ඔහුගේ ආදර්ශය අනුගමනය කරනවාද?—1 කොරින්ති 13:4-8; 1 පේතෘස් 2:21.

නවීන දින ක්‍රිස්තියානීන්ව සිහිපත් කරනු ලබන්නේ කෙසේද?

නවීන කාලවල විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් දහස් ගණනක් මිය ගොස් ඇත. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු බොහෝ මහලු අය වූ අතර තවත් අය තරුණ වියේ පසු වූ අයයි. එනමුත් හොඳ නමක් ඇති කරගැනීමට ඔවුන්ට හැකි විය. මිය යන විට මහලු වියේ පසු වූ ක්‍රිස්ටල් වැනි විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් පෙන්වූ ප්‍රේමය නිසාත් ඔවුන් නිතරම ප්‍රීතියෙන් සිටි නිසාත් ඔවුන්ව අදටත් සිහිපත් කරනු ලැබේ. හතළිස් ගණන්වලදී මිය ගිය ඩර්ක් වැනි තවත් අයව මතක් කරනු ලබන්නේ නිතරම ප්‍රීතියෙන් සිටි අය හා කැමැත්තෙන්ම දේවල් කිරීමට ඉදිරිපත් වූ අය ලෙසයි.

ස්පාඤ්ඤයේ හොසේ ගැනද පැවසිය හැක්කේ ඒ දෙයමයි. වර්ෂ 1960 ගණන්වලදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන දේශනා සේවය එම රටේ තහනම් කර තිබූ අවධියේදී හොසේ ළාබාල දියණියන් තිදෙනෙක් සිටි විවාහක පුරුෂයෙක් විය. ඔහු බාර්සිලෝනාහි හොඳ රැකියාවක් කරමින් සිටියේය. ඒ කාලයේදී දකුණු ස්පාඤ්ඤයේ සේවය කිරීම සඳහා මේරූ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ අවශ්‍යතාවක් තිබිණ. හොසේ ඔහු කරමින් සිටි හොඳ රැකියාව අත්හැර දමා ඔහුගේ පවුල සමඟ මලගා නම් ප්‍රදේශයේ පදිංචියට ගියේය. රැකියාවක් නොමැති වීම නිසා බොහෝ අවස්ථාවලදී දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට ඔවුන්ට සිදු විය.

එහෙත් ඇදහිල්ල හා විශ්වාසවන්තව දේවසේවය කරගෙන යෑම සම්බන්ධයෙන් ඔහු හොඳ ආදර්ශයක් තැබූ කෙනෙකු බව බොහෝදෙනා දැන සිටියහ. එමෙන්ම ඔහුට නිතරම සහයෝගය දුන් ඔහුගේ භාර්යාව වන කාර්මෙලාගේ උපකාරය ඇතුව ඔහුගේ දියණියන්ව ආදර්ශවත් ලෙස ඇති දැඩි කිරීම සම්බන්ධයෙන්ද ඔහු ප්‍රසිද්ධව සිටියේය. ඔහු පදිංචි වී සිටි පළාතේ ක්‍රිස්තියානීන් පැවැත්වූ දිස්ත්‍රික් සමුළු සංවිධානය කිරීමට යමෙකුව අවශ්‍ය වූ විට හොසේ නිතරම ඒ සඳහා ඉදිරිපත් වූයේය. එහෙත් කනගාටුවට කරුණක් නම් ඔහු 50ගණන්වල පසු වූ කාලයේදී බරපතළ ලෙස රෝගාතුර වී මිය යෑමයි. කෙසේවෙතත් විශ්වාසවන්ත, වෙහෙස වී වැඩ කරන වැඩිමහල්ලෙකු ලෙසත් ප්‍රේමණීය ස්වාමිපුරුෂයෙකු හා පියෙකු ලෙසත් ඔහු හොඳ නමක් අන් අය අතර තබා ගියේය.

ඔව්, අන් අය ඔබව කෙසේ සිහිපත් කරාවිද? ඔබ ඊයේ මිය ගියා නම් මිනිසුන් අද ඔබ ගැන කියනු ඇත්තේ මොනවාද? අප කටයුතු කරන විදිහ තවත් යහපත් අතට පත් කරගැනීම සඳහා අප සියලුදෙනා තුළ පෙලඹීමක් ඇති කිරීමට එම ප්‍රශ්නයට හැකියාවක් තිබේ.

හොඳ නමක් ඇති කරගැනීම සඳහා අපට කුමක් කළ හැකිද? අන් අය සමඟ කටයුතු කරන විට ආත්මයේ පල වන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය වඩාත් හොඳින් විදහා පෙන්වීමේ අවශ්‍යතාව කවදත් තිබේ. (ගලාති 5:22, 23, NW) ඔව්, “හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය. උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.”—දේශනාකාරයා 7:1; මතෙව් 7:12.

[5වන පිටුවේ පින්තූරය]

අබීගායිල් පෙන්වූ නැණවත්කම නිසා අන් අය ඇයව සිහිපත් කරයි

[7වන පිටුවේ පින්තූරය]

ආවේගශීලී වුවත් අවංකකම නිසා පේතෘස් අන් අයගේ මතකයේ රැඳී සිටියි

[8වන පිටුවේ පින්තූරය]

යේසුස් ළමුන් සමඟ කාලය ගත කළේය