Skip to content

පටුනට යන්න

පවුලක් එක්සත් කළ සත්‍යය නමස්කාරය

පවුලක් එක්සත් කළ සත්‍යය නමස්කාරය

පවුලක් එක්සත් කළ සත්‍යය නමස්කාරය

අවුරුදු දහතුනක් වයසැති මරියා සහ ඇගේ නංගි ලුසී යෙහෝවා දෙවි ගැන දැනගත්තේ ඔවුන්ගේ නෑ කෙනෙකුගෙන්. ඔහු පාරාදීස පොළොවේ බලාපොරොත්තුව ගැනත් ඔවුන්ට පැවසුවා. මේ දෙදෙනා තුළ ඇති වූ කුතුහලය නිසා ඔවුන් මාමා එක්ක යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට ගියා. එහිදී දෙනු ලැබූ පැහැදිලි උපදෙස් ගැන මරියා පැහැදුණා. එතැන පල්ලියට වඩා ගොඩාක් වෙනස්. පල්ලියේ බොහෝ වේලාවට කෙරුණේ ගීතිකා ගායනා කරන එක විතරයි. වැඩි කල් නොගොස් මේ දරුවන් දෙදෙනා යෙහෝවාගේ සාක්ෂිකාරියක් සමඟ බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා.

ඔවුන්ගේ වැඩිමල් සහෝදරයා වන හියුගෝ දර්ශනවාදය හා පරිණාමය යන විෂයන් ගැන උනන්දුවක් දැක්වූවා. ඔහු කියා සිටියේ ඔහු අදේවවාදියෙක් බවයි. නමුත් ඔහු හමුදාවේ සේවය කරන කාලයේදී ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද?  * (සිංහලෙන් නොමැත) යන පොත කියවලා තිබුණා. වෙනත් කිසිම ආගමකට පිළිතුරු දෙන්න බැරි ප්‍රශ්නවලට මේ පොතේ පිළිතුරු දී තිබුණා. හමුදා සේවා කාලය අවසන් වූ පසු දෙවි කෙරෙහි ඇති කරගත් තම අලුත් ඇදහිල්ල ශක්තිමත් කරගැනීම සඳහා ඔහු බයිබලය අධ්‍යයනය කිරීමටත් නංගිලා සමඟ රැස්වීම්වලට සහභාගී වීමටත් පටන්ගත්තා. මුලින්ම සත්‍යය අහන්න ලැබී අවුරුදු දෙකකට පස්සේ මරියා හා ලුසී 1992දී බව්තීස්ම වුණා. ඔවුන්ගේ සහෝදරයා බව්තීස්ම වුණේ තවත් අවුරුදු දෙකකට පසුවයි.

ඔවුන්ගේ දෙමව්පියන් කතෝලික චාරිත්‍රවල ඇලී ගැලී සිටිය අතර ඔවුන් සත්‍යය කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔවුන්ගේ දරුවන්ව බැහැදැකීමට ගෙදරට පැමිණෙන යෞවන සාක්ෂිකරුවන්ගේ යහපත් පුරුදු හා විනීත ඇඳුම් පැළඳුම් ඔවුන් අගය කළද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ඔවුන් සැලකුවේ කරදරකාරී සෙනඟක් හැටියටයි. කෑම කන වේලාවේදී දරුවන් රැස්වීමේ ඉගෙනගත් කරුණු ගැන සාකච්ඡා කළා. මෙයින් දෙමව්පියන්ගේ කුතුහලය ඇවිස්සුණා.

කෙසේවෙතත් දෙමව්පියන් දෙදෙනාම භූතවාදී දේවල් කෙරෙහි උනන්දුවක් දැක්වූවා. පියාගේ බේබදුකම නිසා මව ඔහුගෙන් පහර කෑවා. පවුල බිඳ වැටෙන්න ඔන්න මෙන්න කියා තිබූ අවස්ථාවකයි පියාගේ බේබදු හැසිරීම නිසා සති දෙකක් සිරගත වීමට ඔහුට සිදු වුණේ. ඔහු හිරේ ඉන්න කාලයේ බයිබලය කියෙව්වා. අන්තීම දවස්වල ලකුණු ගැන යේසුස් පවසා ඇති දෙය ඔහුට කියවන්න ලැබුණේ මේ කාලයේදීයි. ඒ කරුණු හරිහැටි තේරුම්ගත නොහැකි වූ පියා සහ මව රාජ්‍ය ශාලාවට ගිය අතර බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. සත්‍යය ඉගෙනගන්න පටන්ගත් පසු ඔවුන් භූතවාදයට සම්බන්ධ සියලුම පොත් පත් විනාශ කර දැම්මා. ඒ වගේම යෙහෝවාගේ නාමය පාවිච්චි කිරීම නිසා භූත හිරිහැරවලින් මිදෙන්නත් ඔවුන්ට හැකි වුණා. මෙසේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයේ සැලකිය යුතු වෙනස්කම් කිරීමට ඔවුන් පටන්ගත්තා.

බොලිවියාවේ 1999දී පැවැත්වූ එක් දිස්ත්‍රික්ක සමුළුවකදී හියුගෝ විසින් තම දෙමව්පියන්ව බව්තීස්ම කරනු ලබනවා දැකීමෙන් මරියා හා ලුසී ලැබූ සතුට ඔබට හිතාගන්න පුළුවන්ද? මේ දේ සිදු වුණේ මරියා හා ලුසී මුලින්ම යෙහෝවා ගැනත් ඔහුගේ පොරොන්දු ගැනත් අහලා අවුරුදු නවයකට පස්සෙයි. ඔවුන් දෙදෙනා දැන් හියුගෝ සමඟ පූර්ණ කාලීන සේවයේ යෙදෙනවා. සත්‍යය නමස්කාරය ඔවුන්ගේ පවුලට එක්සත්කම ලබා දීම ගැන ඔවුන් මොනතරම් ප්‍රීති වෙනවාද!

[පාදසටහන]

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.