Skip to content

පටුනට යන්න

ඔබ ඇදහිලිවන්ත මහලු අයව ඉතා අගේ කොට සලකනවාද?

ඔබ ඇදහිලිවන්ත මහලු අයව ඉතා අගේ කොට සලකනවාද?

ඔබ ඇදහිලිවන්ත මහලු අයව ඉතා අගේ කොට සලකනවාද?

දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටි පුරාණ ඊශ්‍රායෙල් සෙනඟට මෙලෙස අණ කර තිබුණා. “ඔබ පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැඟිට සිටිය යුතුයි, මහලු තැනැත්තාට ඔබ සැලකිල්ල දැක්විය යුතුයි. තවද ඔබ ඔබේ දෙවිට භය විය යුතුයි.” (ලෙවී කථාව 19:32, NW) මෙලෙස වයසක අයට ගරු කිරීම පරිශුද්ධ නමස්කාරයේ අත්‍යවශ්‍ය අංගයක් වූ අතර එය දෙවිට යටත් වීම හා කිට්ටුවෙන් බැඳී තිබුණා. අද දින වෙසෙන ක්‍රිස්තියානීන් තවදුරටත් මෝසෙස්ගේ නීතිය යටතේ නොසිටියත්, යෙහෝවාට සේවය කරන මහලු අයව ඔහු ඉතා අනර්ඝ වස්තූන් හැටියට සලකන බව එයින් අපට සිහිගන්වයි. (හිතෝපදේශ 16:31; හෙබ්‍රෙව් 7:18) අපට ඒ පිළිබඳව යෙහෝවාගේ දෘෂ්ටිය තිබෙනවාද? අපගේ මහලු සහෝදර සහෝදරියන්ව අපි ඉතා අගේ කොට සලකනවාද?

වැඩිහිටි මිත්‍රයාව ඉහළින් අගේ කළ කෙනෙක්

වැඩිහිටි අයට ගරු කිරීම කැපීපෙනෙන්ට සලස්වන එක් බයිබල් වාර්තාවක් දෙවන රාජාවලිය පොතේ දැකගත හැකියි. අනාගතවක්තෘ එලියාගේ තනතුරට තරුණ අනාගතවක්තෘවරයෙක් වූ එලිෂා පත් වූ ආකාරය සඳහන් විස්තරයක් එහි අඩංගු වෙයි. එලියා අනාගතවක්තෘවරයෙක් වශයෙන් කටයුතු කළ අන්තිම දවසේදී ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දසයේ රාජ්‍යයේ සිදු වූ දෙය සලකා බලන්න.

එම දවසේදී, ගිල්ගාල්හි සිට බෙතෙල්ටත්, බෙතෙල්හි සිට යෙරිකෝවටත්, යෙරිකෝවේ සිට යොර්දාන් ගඟ වෙතටත් ගමන් කරන ලෙස එම මහලු අනාගතවක්තෘට යෙහෝවා උපදෙස් දුන්නා. (2 රාජාවලිය 2:1, 2, 4, 6) කිලෝමීටර 50ක් පමණ වූ එම ගමනේදී, තමා පසුපසින් එන්න එපායයි එලියා තුන්වතාවක් එලිෂාගෙන් ඉල්ලා සිටියා. කෙසේවෙතත් ශතවර්ෂ කිහිපයකට පෙර නායොමිව අත්හැර යෑමට තරුණියක වූ රූත් ප්‍රතික්ෂේප කළ ආකාරයටම එලිෂාත් වැඩිහිටි අනාගතවක්තෘවරයාව අත්හැර යෑම ප්‍රතික්ෂේප කළා. (රූත් 1:16, 17) “යෙහෝවා ජීවමාන බව සැබෑවා සේම, ඔබ ජීවත් වන බව සැබෑවා සේම මම ඔබ අත් නොහරිමි” යයි එලිෂා තුන්වතාවක් ප්‍රකාශ කළා. (2 රාජාවලිය 2:2, 4, 6, NW) ඒ අවස්ථාව වන විට, එලිෂා වසර හයක් පමණ එලියාගේ සහයකයා ලෙස වැඩ කර තිබුණා. එහෙත් හැකි තාක් කල් එලියා සමඟ සේවයේ යෙදීමට ඔහු ආශා කළා. “ඔවුන් කතා කරකර යද්දී . . . එලියා . . . ස්වර්ගයට නැඟී ගියේය” යයි වාර්තාවේ සඳහන්. (11වන පදය) එලියා ඊශ්‍රායෙලයේ කළ දේවසේවයේ අවසාන මොහොත පැමිණෙන තෙක්ම එලියා සහ එලිෂා එක්ව සංවාදයේ යෙදෙමින් සිටියා. පෙනෙනාකාරයට අද්දැකීම් වැඩි මෙන්ම වයසින්ද වැඩි වූ එම අනාගතවක්තෘගෙන් හැකි තරම් උපදෙස් සහ දිරිගැන්වීම් ලබාගැනීමට බාල අනාගතවක්තෘ දැඩි ආශාවකින් සිටියා විය හැකියි. ඔහු තම වැඩිහිටි මිත්‍රයාව අනර්ඝ වස්තුවක් සේ සැලකූ බව පැහැදිලියි.

‘පියවරුන්ට හා මව්වරුන්ට මෙන්’

වැඩිහිටි අනාගතවක්තෘට මිත්‍රයෙකුට වගේ පමණක් නොව ආත්මික පියෙකුට වගේද එලිෂා ප්‍රේම කිරීමට හේතුව තේරුම්ගැනීම අපහසු නැහැ. (2 රාජාවලිය 2:12) එලියා ඊශ්‍රායෙලයෙහි කළ පැවරුම අවසන් වන්නට ටිකකට කලින් ඔහු එලිෂාට මෙහෙම කිව්වා. “ඔබ වෙතින් මා ගන්ට පළමුවෙන් ඔබට මගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්න.” (9වන පදය) මෙසේ අවසානය දක්වාම, තම අනුප්‍රාප්තිකයාගේ ආත්මික ශුභසිද්ධිය ගැනත් දෙවිගේ කාර්යය දිගටම පැවතීම ගැනත් එලියා සැලකිල්ලක් දැක්වූවා.

අද දිනත් අපගේ වැඩිහිටි සහෝදර සහෝදරියන් කැමැත්තෙන්ම තම දැනුමත් ප්‍රඥාවත් වයසින් අඩු අයත් එක්ක බෙදාගනිද්දී, පියෙකු හා මවක ලෙස ඔවුන් දක්වන සැලකිල්ල හද උණුසුම් කරවයි. නිදසුනකට, බෙතෙල් පවුලේ නවක සාමාජිකයන්ට ඔවුන්ගේ සේවය ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන නිපුණත්වය ලබාගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල දීර්ඝ කාලයක් තිස්සේ සේවය කරන ස්වේච්ඡා සේවකයන් කැමැත්තෙන්ම උපකාර කරනවා. ඒ හා සමානව, වසර ගණනාවක් පුරා සභාවන් බැහැදකින සංචාරක අවේක්ෂකයන් හා ඔවුන්ගේ භාර්යාවන්, සංචාරක දේවසේවකයන් ලෙස සේවය කිරීමට පුහුණු වන අයත් සමඟ තමන් ලබා තිබෙන අද්දැකීම් සම්භාරය සතුටින් බෙදාගන්නවා. තවද ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්වල, ඇදහිලිවන්තව දශක ගණනාවක් පුරා යෙහෝවාට සේවය කරන වැඩිහිටි සහෝදර සහෝදරියන් සිටින අතර, ඔවුන් සභාවේ නවක සාමාජිකයන් සමඟ තම ප්‍රායෝගික ප්‍රඥාව හා අද්දැකීම් කැමැත්තෙන්ම බෙදාගන්නවා.—හිතෝපදේශ 2:7; පිලිප්පි 3:17; තීතස් 2:3-5.

මෙම ආදරණීය වැඩිහිටි ක්‍රිස්තියානීන් පෙන්වන හෘදයාංගම සැලකිල්ල නිසා ඔවුන්ට ගරු කිරීමෙන් සැබවින්ම සතුටක් ලැබෙයි. එබැවින් මහලු ඇදහිලිවන්තයන්ට ගැඹුරු ගෞරවය පෙන්වීමේදී එලිෂාගේ ආදර්ශය අනුකරණය කිරීම අපේ ආශාවයි. ප්‍රේරිත පාවුල් අපට සිහිගන්වන ආකාරයට, “වැඩිහිටි පුරුෂයෙකුව . . . පියෙකු මෙන්ද . . . වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් මෙන්ද” දිගටම සලකමු. (1 තිමෝති 5:1, 2, NW) එසේ කිරීමෙන් ලොව පුරා තිබෙන ක්‍රිස්තියානි සභාවේ නිසි ක්‍රියාකාරිත්වයටත් වැඩි දියුණුවටත් අපි මහත් සේ දායක වන්නෙමු.

[30වන පිටුවේ පින්තූරය]

හැකි තාක් කල් එලියා සමඟ සේවය කිරීමට එලිෂා ආශා වුණා

[31වන පිටුවේ පින්තූර]

වයසින් බාල අය වැඩිමහලු අයගෙන් මහත් සේ ප්‍රයෝජන ලබනවා