Skip to content

පටුනට යන්න

තිබෙන්නේ එක ‘සත්‍ය සභාවක්’ පමණද?

තිබෙන්නේ එක ‘සත්‍ය සභාවක්’ පමණද?

තිබෙන්නේ එක ‘සත්‍ය සභාවක්’ පමණද?

“සිටින්නේ එක ක්‍රිස්තුස් කෙනෙකු ලෙසම තිබෙන්නේ ක්‍රිස්තුස්ට අයත් එක් ශරීරයකි. එමෙන්ම ක්‍රිස්තුස්ට සිටින්නේ එක මනාලියකි. එනම් ‘එක කතෝලික හා අපෝස්තලික සභාවකි.’”—ඩොමිනුස් යේසුස්.

ඉහත වදන් පවසනු ලැබුවේ රෝමානු කතෝලික සභාවේ කාදිනල්වරයෙකු වන ජෝසෆ් රාට්සිංගර් විසිනි. එසේ පැවසුවේ, තිබිය හැක්කේ එක සත්‍ය සභාවක් බවට වූ ඔහුගේ සභාවේ ඉගැන්වීම ගැන සඳහන් කළ අවස්ථාවකදීය. එම සභාව වන්නේ “ක්‍රිස්තුස්ගේ එකම සභාව වන කතෝලික සභාව” කියා ඔහු පැවසුවේය.

“නියම අරුතට අනුව සභා ලෙස සැලකිය නොහැකියි”

ඩොමිනුස් යේසුස් (ස්වාමි වූ යේසුස්) නමැති ලිපිය මගින් “සෙසු ආගම් පහත දැමීමක් හෝ ඒවාට අගෞරව කිරීමක් හෝ කර නැත” කියා දෙවන ජුවාම් පාවුළු පාප් තරයේ පවසා සිටියද, රෙපරමාදු සභාවේ නායකයෝ එම ප්‍රකාශයට දැඩි ලෙස විරෝධය දැක්වූහ. නිදසුනක් වශයෙන් 2001 ජූනි මාසයේදී උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හි පවත්වන ලද ප්‍රෙස්බිටේරියානු මහා සභා රැස්වීමේදී එක් දේවගැතියෙකු පැවසුවේ, එම ලිපිය ‘රෝමානු කතෝලික සභාවේ ප්‍රබලයන් පිරිසක් [විසින් ලිය ඇති] බවයි. එමෙන්ම එය දෙවන වතිකානු කවුන්සලය මගින් හඳුන්වා දෙනු ලැබූ ලිහිල් ප්‍රතිපත්තිය නිසා බියට පත් වී කළ ප්‍රකාශයක්’ කියායි.

එම ලේඛනය නිසා “දෙවන වතිකානු කවුන්සලයට කලින් පැවති දැඩි ප්‍රතිපත්තිය නැවත ක්‍රියාත්මක” වේ නම් තමා “එයින් බලවත් සේ කනගාටුවට පත් වෙනවා” කියා අයර්ලන්ත සභාවේ බිෂොප්වරයෙකු වන රොබින් ඉම්ස් පැවසුවේය. කතෝලික සභාවේ ඇතැම් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන සභා “නියම අරුතට අනුව සභා ලෙස සැලකිය නොහැකියි” කියා වතිකානුව කළ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් ඉම්ස් පැවසුවේ, “එය තමන්ට කළ නිග්‍රහයක් සේ සැලකිය හැකි” බවයි.

ඩොමිනුස් යේසුස් නමැති ලිපිය ලිවීමට අනුබල ලැබුණේ කුමකින්ද? ප්‍රමිති තමන්ට රිසි සේ වෙනස් කළ හැකි බවට වූ විශ්වාසය ගැනද, ආගමික සත්‍යය තීරණය කරන්නේ පුද්ගලයන් හෝ කණ්ඩායමක් විසින් බවට වූ අදහස (ආගමික සාපේක්ෂතාව) ගැනද කතෝලික සභාවේ පරිපාලන මණ්ඩලය නොසන්සුන්තාවකට පත් වී ඇති බවක් පෙනෙන්න තිබේ. දි අයිරිෂ් ටයිම්ස් නමැති සඟරාවේ සඳහන් වූ පරිදි, “බහුවිධ දේවධර්මය කියා හඳුන්වනු ලබන සියලුම ආගම් හොඳයි කියන අදහස ඉස්මතු වීම නිසා කාදිනල් රාට්සිංගර් දැඩි ලෙස කලබලයට පත් වී ඇත.” එක සත්‍ය සභාවක් ගැන තම අදහස් පළ කිරීමට හේතු වී තිබෙන්නේ එම මතය බව පෙනෙන්න තිබේ.

ඔබ අයත් සභාව කුමක් වුවත් කමක් නැද්ද?

තිබෙන්නේ එක සත්‍ය සභාවක් බවට වූ අදහසට වඩා “ආගමික සාපේක්ෂතාව” හෝ “බහුවිධ දේවධර්මය” යන යෙදුම්වලින් අදහස් කරන දෙය සාධාරණ බවත් එය සිත්ගන්නාසුලු දෙයක් බවත් ඇතැමුන්ට හැඟී යා හැකියි. ඔවුන්ගේ අදහසට අනුව ආගම කියන්නේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික මනාපය අනුව තීරණය කළ යුතු දෙයකි. ‘අවසානයේදී’ ඔවුන් පවසන්නේ ‘ඔබ අයත් සභාව කුමක් වුවත් කමක් නැහැ’ කියාය.

එවැනි අදහස් නිසා විවිධ නම්වලින් යුත් ආගම් රාශියක් බිහි වෙමින් ආගමික වශයෙන් බෙදීම් ඇති වුවද, එය වඩාත් පුළුල් හා සාධාරණ දෘෂ්ටියක් බව පෙනී යා හැකියි. ‘එවන් ආගමික විවිධත්වයක් තිබීම මගින් පෞද්ගලික නිදහස අර්ථවත් ලෙස ප්‍රකාශ වේ’ කියා බහුතරයක් පවසති. කෙසේවෙතත්, ස්ටීව් බෲස් නමැති ලේඛකයා පවසන පරිදි, එවන් “ආගමික නිදහසක්” මගින් සැබවින්ම සිදු වන්නේ ‘ආගමික උදාසීනත්වයකි.’—භේදභින්න වූ සභාවක්: රෙපරමාදුවාදය, නිකාය භේදය, ලෞකිකවාදය.

එසේනම් මෙම කාරණය ගැන තිබිය යුතු නිවැරදි අදහස කුමක්ද? තිබෙන්නේ එක සත්‍ය සභාවක් පමණද? සත්‍ය සභාව වන්නේ රෝමානු කතෝලික සභාවද? සෙසු සභා දෙවි පිළිගන්නවාද? මෙම ප්‍රශ්න අපේ මැවුම්කරු සමඟ තිබෙන අපේ සබඳතාවට බලපාන නිසා මේ ගැන ඔහු දරන අදහස දැනගැනීම ඉතා වැදගත් වන බවට සැකයක් නැත. ඔහුගේ අදහස් අපට දැනගත හැක්කේ කෙසේද? දෙවිගේ ආනුභාවය ලත් වචනය වන බයිබලය පරීක්ෂා කර බැලීමෙනි. (ක්‍රියා 17:11; 2 තිමෝති 3:16) එක සත්‍ය සභාවක් නමැති කාරණය ගැන එහි සඳහන් දේවල් අපි දැන් සලකා බලමු.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Mark Gibson/Index Stock Photography