Skip to content

පටුනට යන්න

දිලිඳුන්ට සැබෑ උපකාරය

දිලිඳුන්ට සැබෑ උපකාරය

දිලිඳුන්ට සැබෑ උපකාරය

දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවේ සිටින විට දිලිඳුන් කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් පෙන්වූවා. යේසුස්ගේ සේවය ඇසින් දුටු සාක්ෂිකරුවෙක් පැවසුවේ මෙසේයි. “අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගීන්ව පවිත්‍ර කරනු ලබයි, බිහිරන්ට ඇසෙයි, මළවුන්ව නැඟිටුවනු ලබයි, දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ.” (මතෙව් 11:5, NW) කෙසේවෙතත් අද සිටින මිලියන ගණන් දිලිඳුන් ගැන කුමක් කිව හැකිද? අද ඔවුන්ට යම් ශුභ පණිවිඩයක් තියෙනවාද? ඔව්, ඔවුන්ට බලාපොරොත්තු ජනිත කරවන පණිවිඩයක් තියෙනවා!

පොදුවේ ගත් කල අද ලෝකයේ දුප්පතුන්ව නොසලකාහැර හෝ අමතක කර දමා තිබුණද දේවවචනය වන බයිබලයේ අපට පොරොන්දු කරන්නේ “දුප්පතා නිතරම මතක නැති නොවන්නේය, දිලිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය” කියායි. (ගීතාවලිය 9:18) සැබෑ ස්වර්ගීය ආණ්ඩුවක් වන දේවරාජ්‍යය මේ සියලුම මිනිස් ආණ්ඩු වෙනුවට පත් වන විට ඉහත සඳහන් සහනදායී වචන ඉෂ්ට වෙනවා නියතයි. (දානියෙල් 2:44, 45ආ) ස්වර්ගීය ආණ්ඩුවේ රජ වශයෙන් යේසුස් “දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිලිඳුන්ගේ ප්‍රාණයන් ගලවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය. ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.”—ගීතාවලිය 72:13, 14.

යේසුස් පොළොව පාලනය කරන විට මෙහි මොන වගේ ජීවන තත්වයක් තියේවිද? යේසුස්ගේ පාලනය යටතේ ජීවත් වන අය ඔවුන් වැය කරන ශ්‍රමයේ ප්‍රතිඵල නෙළාගනියි. බයිබලයේ මීකා 4:3, 4හි පවසන්නේ මෙසේයි. “ඔවුහු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසය කරනවා ඇත. මක්නිසාද සේනාවල යෙහෝවාගේ මුඛය එය පැවසුවේය.” දේවරාජ්‍යය මගින් ලෙඩ රෝග පමණක් නොව මරණයද නැති කර දමයි. (යෙසායා 25:8) එය මොනතරම් වෙනස් ලෝකයක් වේවිද! අපට මේ බයිබල් පොරොන්දු විශ්වාස කළ හැකි වන්නේ ඒවා දේවානුභාවයෙන් දී තිබෙන නිසයි.

බයිබලයෙන් අපට බලාපොරොත්තු ජනිත කරන පණිවිඩයක් දෙනවාට අමතරව අපේ එදිනෙදා ජීවිතයේදී අභියෝගයන් සමඟ කටයුතු කිරීමට එමගින් උපකාරද සපයනවා. උදාහරණයක් ලෙස දිලිඳුකම නිසා ආත්ම ගෞරවය අඩු වී යෑමේ ප්‍රවණතාවක් සමහරවිට අද්දැකිය හැකි අතර එවැනි තත්වයක් සමඟ ක්‍රියා කරන ආකාරය බයිබලයේ පෙන්වා දෙනවා. දුප්පත් ක්‍රිස්තියානියෙක් තම බයිබලය අධ්‍යයනය කිරීමෙන් වටහාගෙන තිබෙන සත්‍යයක් නම් ධනවත් ක්‍රිස්තියානියෙක් මෙන්ම ඔහුද දෙවිගේ ඇස් ඉදිරියේ වටිනා කෙනෙක් බව. බයිබලයේ යෝබ් පොතේ පෙන්නුම් කර තිබෙන්නේ දෙවි ‘දිලින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනැත්තා බවත්, . . . ඔවුන් සියල්ලෝම ඔහුගේ අත්වල කර්මාන්තය’ බවත්ය. (යෝබ් 34:19) දෙකොටසටම දෙවි එක හා සමානව ප්‍රේම කරයි.—ක්‍රියා 10:34, 35.