Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ලෝකයේ බොහෝ රටවල විවාහ මංගල්‍යයකදී තෑගි දීම සාමාන්‍ය දෙයක්. මෙවැනි තෑගි දීමේදී හා ගැනීමේදී අපි සලකා බැලිය යුත්තේ කුමන බයිබල් ප්‍රතිපත්තිද?

සුදුසු අවස්ථාවලදී හොඳ ආකල්පයකින් යුතුව තෑගි දීම බයිබලයේ අනුමත කරයි. දීම සම්බන්ධයෙන් බයිබලයේ සැබෑ ක්‍රිස්තියානීන්ට උනන්දු කරන්නේ ඔවුන්ගේ ත්‍යාගශීලී දෙවි වන යෙහෝවාව අනුගමනය කිරීමටයි. (යාකොබ් 1:17) ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ට ඉතා ඕනෑකමින් කියා සිටියේ “යහපත කිරීමටද අනුන් සමඟ දේවල් බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. මන්ද, එවැනි පූජා ගැන දෙවි සතුටු වන්නේය” කියායි. ක්‍රිස්තියානීන්ට උනන්දු කර තිබෙන්නේ ත්‍යාගශීලී වීමටයි.—හෙබ්‍රෙව් 13:16, NW; ලූක් 6:38.

සමහර රටවල සාමාන්‍ය දෙයක් ලෙස ගණන් ගැනෙන පුරුද්දක් වන්නේ, නුදුරු අනාගතයේදී විවාහ වීමට බලාපොරොත්තු වන යුවළක් සාප්පුවක බඩු පරීක්ෂා කිරීමෙන් පසු තමන්ට තෑගි වශයෙන් ලැබෙනවාට කැමති බඩු ලැයිස්තුවක් සෑදීමයි. මේ තෑගි ලැයිස්තුවෙන් යමක් මිල දී ගැනීම සඳහා මෙම යුවළගේ නෑදැයින්ව හා යහළුවන්ව ඒ නිශ්චිත සාප්පුවට යොමු කරනු ලබයි. මෙහි දක්නට ඇති එක් ප්‍රායෝගික පැත්තක් නම් තෑගි ගන්න යන අයට තෑගි සෙවීම සඳහා අනවශ්‍ය ලෙස කාලය ගත කිරීමට අවශ්‍ය නොවීමයි. ඒ වගේම තෑගි ලබාගන්නා අයටද අනවශ්‍ය තෑගි නැවත සාප්පුවට බාර දීමේදී ඇති වන අපහසුතාවද මින් මඟහැරෙයි.

විවාහ වීමට බලාපොරොත්තු වන යුවළක් තෑගි ලැයිස්තුවක් සැලසුම් කරනවාද නැද්ද කියන එක ඔවුන්ගේ පෞද්ගලික තීරණයක්. කෙසේවෙතත් ක්‍රිස්තියානියෙක් බයිබල් ප්‍රතිපත්ති උල්ලංගනය වන පුරුදුවලින් වැළකී සිටීමට අවශ්‍ය වන නිසා කල්පනාකාරී විය යුතුයි. උදාහරණයකට විවාහ ගිවිසගෙන ඇති යුවළක් ඉතා මිල අධික තෑගි ලැයිස්තුවක් සකස් කළහොත් ඒ ගැන කුමක් කිව හැකිද? එවැනි අවස්ථාවකදී එතරම් මුදලක් වියදම් කරන්න බැරි අයට තෑග්ගක් ලබා දෙන්න බැරි විය හැකි අතර, අනික් අතට අඩු මිලකට තෑග්ගක් ගෙන යෑමෙන් ඇති විය හැකි අපහසුතාවෙන් මිදීම සඳහා ආරාධනාව පිළි නොගෙන සිටීම හොඳයයි සමහරු සිතීමටද පුළුවන්. එක් ක්‍රිස්තියානි කාන්තාවක් පැවසුවේ මෙසේයි. “දැන් දැන් තෑගි දීම ලොකු ප්‍රශ්නයක් වෙලා. මම ත්‍යාගශීලී වීමට උත්සාහ කර තිබෙනවා. නමුත් ඉස්සර වගේ තෑගි දීමෙන් ලැබූ ප්‍රීතිය මම දැන් අද්දකින්නේ නැහැ.” ඇත්තටම විවාහ මංගල්‍යයක් කෙනෙකුව අධෛර්යයට පත් කරන අවස්ථාවක් වීම කොතරම් කනගාටුදායකද!

තමන් දෙනු ලබන තෑග්ග පිළිගත හැකි එකක් වීමට නම් එම තෑග්ග නිශ්චිත සාප්පුවකින් මිල දී ගෙන තිබිය යුතු බවවත් එය යම් මිල පරතරයක් අතර තිබිය යුතු බවවත් දෙන තැනැත්තාට හැඟී නොයා යුතුයි. යේසුස් ක්‍රිස්තුස් පෙන්නුම් කළේ දෙවිගේ දෘෂ්ටියෙන් වඩාත් අනර්ඝ වන්නේ තෑගි දෙන්නාගේ හෘද තත්වය මිස තෑග්ගේ වටිනාකම නොවන බවයි. (ලූක් 21:1-4) ඒ හා සමානව අවශ්‍යතාව ඇති අයට දයාන්විතව තෑගි දීම ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “එක් එක් කෙනා, අකමැත්තෙන්වත් බල කිරීම නිසාවත් නොව, තම සිතින් තීරණය කරගත් ලෙස දිය යුතුය. මන්ද, සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරන්නේය.”—2 කොරින්ති 9:7, NW.

බයිබලයට අනුව තෑගි දුන්න තැනැත්තා තමා එය දුන් බව කියා සිටීමේ කිසිම වැරැද්දක් නැහැ. මේ සඳහා තෑග්ග සමඟ කුඩා කාඩ්පතක් ලියා දමනු ලබනවා. එහෙත් සමහර රටවල චාරිත්‍රවලට අනුව උත්සවවලදී තෑගි විවෘත කරනු ලබන්නේ තෑගි ගෙනා පුද්ගලයාව අන් අයට හඳුන්වා දීමටයි. මෙවැනි චාරිත්‍ර නිසා ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබේ. එමනිසා තමන් වෙතට අනවශ්‍ය අවධානයක් ලබාගැනීමෙන් වැළකී සිටීම සඳහා තෑගි දෙන අය තම නම තෑග්ගේ සඳහන් නොකර සිටීමට තීරණය කළ හැකියි. එවැනි අයව මතෙව් 6:3හි යේසුස් සඳහන් කළ ප්‍රතිපත්තිය වන “ඔබ දයාන්විත ලෙස පරිත්‍යාග කරන විට, ඔබේ දකුණත කරන දේ වමතට දැනගන්න ඉඩ නොතබන්න” යන්නට එකඟව ක්‍රියා කරන අය ලෙස සැලකිය හැකියි. ඒ වගේම වෙනත් අය හිතන්න පුළුවන් තෑගි දීම සහ ගැනීම දෙදෙනෙක් අතර සිදු වන පෞද්ගලික කාරණයක් කියා. ඊටත් වඩා තෑගි ලබා දුන් අයව හඳුන්වා දීමෙන් ඒවා එකිනෙක සමඟ සැසඳීමට මඟ පෑදෙන අතර මෙයින් “එකිනෙකා අතර තරඟකාරිත්වයක්” ඇති විය හැකියි. (ගලාති 5:26, NW) නම් ප්‍රසිද්ධ කරමින් අනික් අයව අපහසුතාවට හෝ ව්‍යාකූලත්වයට පත් කිරීමෙන් ක්‍රිස්තියානීන් වැළකී සිටීමට කැමති වන බවට කිසිම සැකයක් නැහැ.—1 පේතෘස් 3:8.

දේවවචනයේ අඩංගු ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කිරීමෙන් තෑගි දීම ප්‍රීතියේ උල්පතක් වනවා නියතයි—ක්‍රියා 20:35.