Skip to content

පටුනට යන්න

යෙහෝවා හැම වෙලාවෙම අපිව බලාගන්නවා

යෙහෝවා හැම වෙලාවෙම අපිව බලාගන්නවා

ජීවිත කතාව

යෙහෝවා හැම වෙලාවෙම අපිව බලාගන්නවා

පැවසුවේ එනෙලෙසි ම්සැන්ගා

එදා 1972 එක් දිනක්. එදින, මලාවි තරුණ සංගමයේ සාමාජික තරුණයන් දහදෙනෙක් බලහත්කාරයෙන් අපේ ගෙට කඩා වැදුණා. අපේ ගේ ළඟ තිබුණ උක්ගස් යායකට මාව ඇදගෙන ගිහින් මට පුළුවන් තරම් පහර දීලා, ඊට පස්සේ මං මැරුණයි කියලා හිතලා දාලා යන්න ගියා.

මලාවිවල යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගණනාවක් මේ වගේ දරුණු පහර කෑම්වලට ලක් වුණා. ඔවුන්ට පීඩා කළේ ඇයි? විඳදරාගන්න ඔවුන්ට උපකාර ලැබුණේ කොහොමද? මගේ පවුලේ කතන්දරය ඔබට කියන්න මට අවසර.

මම 1921 දෙසැම්බර් 31වෙනිදා ඉපදුණේ ආගම දහමට ලැදි පවුලකයි. මගේ තාත්තා මධ්‍යම අප්‍රිකානු රෙපරමාදු පල්ලියේ දේවගැතිවරයෙකුව හිටියා. මම හැදුණේ වැඩුණේ මලාවිවල අගනුවර වන ලිලොංග්වේ කිට්ටුව තිබුණ කුඩා නගරයක් වන අංකෝමාවලයි. වයස අවුරුදු 15දී මම එමෑස් ම්සැන්ගාගේ බිරිඳ බවට පත් වුණා.

දවසක් මගේ තාත්තාගේ යාළුවෙක් අපිව බලන්න ආවා. ඔහුත් දේවගැතිවරයෙක්. අපේ ගෙවල් කිට්ටුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් පදිංචි වෙලා ඉන්න බව ඔහුට දැනගන්න ලැබිලා තිබුණ නිසා, ඔවුන් එක්ක නම් ඇයි හොඳයිකම් පවත්වන්න එපා කියලා ඔහු අපිට අවවාද කළා. සාක්ෂිකරුවන්ට භූතයන් වැහිලා, ඉතින් අපි පරෙස්සම් වුණේ නැත්නම් අපිටත් භූතයන් වැහෙයි කියලා ඔහු කිව්වා. ඒ අවවාදය නිසා අපි කොච්චර භය වුණාද කියනවා නම් අපි වෙන ගමකට ගියා පදිංචි වෙන්න. එහෙදී එමෑස්ට වෙළඳසැලක සේවකයෙකු හැටියට රැකියාවක් ලැබුණා. ඒත් වැඩි කල් යන්න මත්තෙන් අපිට දැනගන්න ලැබුණා, අපේ අලුත් ගේ කිට්ටුවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉන්න බව!

කොහොම නමුත්, බයිබලයට ලොකු ඇල්මක් දැක්වුව එමෑස් සාක්ෂිකරුවෙක් එක්ක කතා කරන්න පෙලඹුණා. ඔහුගේ ප්‍රශ්න හුඟකට පිළිගන්න පුළුවන් උත්තර ලැබුණාට පස්සේ ඔහු සාක්ෂිකරුවන්ගේ අදහසට එකඟ වෙලා බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. මුලින්ම බයිබල් පාඩම පැවැත්තුවේ ඔහු වැඩ කළ වෙළඳසැලේදීම වුණත් පස්සේ අපේ නිවසෙම සතිපතා පාඩම පැවැත්තුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ආපු හැම අවස්ථාවකම මම ගෙදරින් පිට වෙලා ගියේ ඔවුන්ට තිබුණ භය නිසායි. ඒත් එමෑස් නම් දිගටම බයිබලය ඉගෙනගත්තා. පාඩම පටන්ගෙන මාස හයකට පස්සේ 1951 අප්‍රියෙල්වලදී ඔහු බව්තීස්ම වුණා. මට කිව්වොත් මම එයාව දික්කසාද කරයි කියලා භය වුණ හින්දා මට ඒ ගැන කිව්වේ නැහැ.

අමාරු සති කීපයක්

දවසක් මගේ යෙහෙළියක් වන එලෙන් කැඩ්සැලේරෝ මට කිව්වා මගේ සැමියා බව්තීස්ම ලත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙලා කියලා. මගේ කේන්තිය ඉහවහා ගියා! එදායින් පස්සේ මම ඔහු එක්ක කතා කළේවත්, ඔහුට කෑම හදලා දුන්නේවත් නැහැ. ඔහුට නාන්න වතුර ගෙනත් උණු කරලා දෙන එකත් මම නැවැත්තුවා. අපේ චාරිත්‍රයට අනුව ඒක බිරිඳකගේ වැඩ කොටසක්.

මේ විදිහට සති තුනක් ගෙවිලා ගියාට පස්සේ, එමෑස් කාරුණිකව මට කිව්වා පොඩ්ඩක් ඉඳගන්න මට ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. ඊට පස්සේ සාක්ෂිකරුවෙක් වෙන්න තීරණය කරපු හේතුව ඔහු මට කිව්වා. බයිබලයේ 1 කොරින්ති 9:16 වගේ පද කීපයක් කියවලා පැහැදිලි කළා. ඒක මගේ හිතට මොනතරම් කාවැදුණාද කියනවා නම් මමත් ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වෙන්න ඕන කියලා මට හැඟුණා. ඉතින් මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් පටන්ගන්න තීරණය කළා. ඒ දවසේම හැන්දෑවේ මම මගේ ආදරණීය සැමියාට ලොකු සැනසීමක් ගෙන දෙමින් කදිම ආහාර වේලක් පිළියෙළ කර දුන්නා.

පවුලේ සාමාජිකයන්ට හා යාළුවන්ට සත්‍යය කියා දීම

අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරන බව අපේ දෙමාපියන් දැනගෙන අපිට තදින් විරුද්ධ වුණා. ඒගොල්ලන්ව බලන්න එන්න එපා කියලා මගේ පවුලේ අය මට ලිපියක් එව්වා. ඔවුන් ගත් පියවර නිසා දුකක් ඇති වුණත්, අපිට ආත්මික සහෝදර සහෝදරියන් මෙන්ම පියවරු හා මව්වරු ලැබෙන බවට යේසුස් දුන් පොරොන්දුව කෙරෙහි අපි විශ්වාසය තැබුවා.—මතෙව් 19:29.

බයිබල් පාඩම කරගෙන යද්දී ඉක්මනින්ම දියුණු වුණ මම 1951 අගෝස්තුවලදී බව්තීස්ම වුණා. එතකොට මගේ සැමියා බව්තීස්ම වෙලා හරියටම මාස තුනහමාරයි. මගේ යෙහෙළිය වන එලෙන්ට කොහොම හරි සත්‍යය ගැන කියන්න ඕන කියලා මම හිතාගත්තා. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා ඇහැව්වහම ඈ ඒකට කැමති වුණ එක ඇත්තෙන්ම සතුටක්. එලෙන් 1952 මැයිවලදී බව්තීස්ම වුණා. ඈ මගේ ආත්මික සහෝදරිය බවටත් පත් වුණ නිසා අපේ මිත්‍රත්වය තවත් වැඩි වුණා. අද වෙන තුරුත් ඈ මගේ හොඳම මිතුරියක්.

වර්ෂ 1954දී චාරිකා අවේක්ෂකයෙකු හැටියට සභාවලට යන්න එමෑස්ව පත් කරනු ලැබුවා. ඒ වෙනකොට අපිට දරුවන් හයදෙනෙක් හිටියා. ඒ කාලේදී, දරුවන් හිටිය චාරිකා අවේක්ෂකයෙක්, එක සතියක සභාවකට ගිහින්, අනිත් සතියේ බිරිඳ සහ දරුවන් එක්ක හිටියා. කොහොම වුණත්, එමෑස් චාරිකා සේවයේ යෙදිලා ඉන්න හැම අවස්ථාවෙම මට උනන්දු කළේ අපේ පවුලේ බයිබල් පාඩම නොවරදවාම කරන්න කියලයි. අපේ දරුවන් එක්ක කරන පාඩම ප්‍රීතිමත් එකක් කරන්න අපි නිතරම උත්සාහ කළා. ඒ වගේම යෙහෝවා ගැනත්, ඔහුගේ වචනයෙන් ලැබෙන සත්‍යය ගැනත් අපි හද පත්ලෙන්ම ඔවුන් සමඟ කතා කළා. පවුලක් වශයෙන් අපි දේශනා සේවයේ ගියා. මේ විදිහට ආත්මික පුහුණුව ලබා දීමෙන් අපේ දරුවන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න පුළුවන් වුණා විතරක් නෙවෙයි අපිට මුහුණ දෙන්න තිබුණ පීඩාවලට ඔවුන්ව සූදානම් කරන්නත් අපිට හැකියාව ලැබුණා.

ආගම නිසා පීඩා ඇරඹේ

වර්ෂ 1964දී මලාවි ස්වාධීන රටක් බවට පත් වුණා. පාලන බලයේ ඉන්න නිලධාරීන්, දේශපාලනය සම්බන්ධයෙන් අපි දැරුව ස්ථාවරය ගැන දැනගෙන පක්ෂ සාමාජිකපත් සල්ලිවලට ගන්න කියලා අපිට බල කළා. * මායි, එමෑසුයි ඒකට අකමැති වුණ නිසා ඊළඟ මුළු අවුරුද්දටම අපේ ප්‍රධාන ආහාරය හැටියට ගන්න තිබුණ අපේ බඩඉරිඟු යායම තරුණ සංගමයේ සාමාජිකයෝ විනාස කරලා දැම්මා. තරුණ සංගමයේ සාමාජිකයෝ බඩඉරිඟු ගස් උදුරලා දාන ගමන් මේ වගේ සිංදුවක් කිව්වා. “කාමූසූගේ කාඩ් නොගන්න අයගේ ළපටි බඩඉරිඟු කා දමයි වේයෝ, අනේ අපිට ඒවා දෙන්නකෝ කියා අඬයි මේගොල්ලෝ.” මේ විදිහට අපේ ආහාරය නොලැබෙන තැනට වැඩ සිද්ධ වුණත් අපි බලාපොරොත්තු අත්ඇරියේ නැහැ. යෙහෝවා අපිව බලාගන්න බව අපි දැනගෙන හිටියා. ඔහු අපව ප්‍රේමණීයව ශක්තිමත් කළා.—පිලිප්පි 4:12, 13.

වර්ෂ 1964 අගෝස්තු මාසයේ දවසක මහ රෑ මායි දරුවනුයි විතරයි ගෙදර හිටියේ. එදා අපි නිදාගෙන ඉන්නකොට ඈතින් සිංදු කියන හඬක් ඇහිලා මාව ඇහැරුණා. ඒ ගෝත්‍ර නැට්ටුක්කාරයන් වන ගූලෙවැම්කූලූ කණ්ඩායමයි. ඔවුන් මිනිසුන්ට පහර දීලා මළගිය මුතුන්මිත්තන්ගේ ආත්ම ලෙස බොරුවට පෙනී ඉන්න, මිනිසුන්ව බියගන්වන රහස් කණ්ඩායමක්. අපිට පහර දෙන්න ගූලෙවැම්කූලූන්ව එවලා තියෙන්නේ තරුණ සංගමයයි. මම ඉක්මනට දරුවන්වත් කූද්දගෙන, පහර දෙන්නන් අපේ ගෙට ළං වෙන්න ඉස්සෙල්ලා කැලෑවට පැනගත්තා.

හැංගිලා ඉන්දැද්දී අපි දීප්තිමත් එළියක් දැක්කා. පිදුරු සෙවිලි කළ අපේ ගෙට ගූලෙවැම්කූලූන් ගිනි තියලා. ඒ ගින්නෙන් අපේ බඩු මූට්ටුත් එක්ක මුළු ගේම පොළොවට සමතලා වුණා. අපේ නිවසේ දුම් නඟින සුන් බුන්වලින් ඈත් වී පහර දෙන්නන් ගමන් කරද්දී “ඒ සාක්ෂිකාරයාට ගිනි තපින්න අපි නියම ගිනි ගොඩක් ගැහැව්වා” කියලා කියනවා අපිට ඇහුණා. කරදරයක් නොවී අපිට එතනින් එන්න ලැබුණ එක ගැන අපි මොනතරම් යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න ඕනෙද! ඔවුන් අපි සන්තක හැම දෙයක්ම විනාශ කරලා දැම්ම එක ඇත්තයි. ඒත් මිනිසුන්ට වඩා යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න අපි අරගෙන තිබුණ අධිෂ්ඨානය විනාශ කරන්න ඔවුන්ට බැරි වුණා.—ගීතාවලිය 118:8.

අපේ පළාතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තව පවුල් පහකට ගූලෙවැම්කූලූන් මේ දරුණු දේම කරලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. අපිව බේරගන්න ළඟපාත සභාවල සහෝදරයන් ආපුවහම අපි මොනතරම් සතුටු වුණාද! මොනතරම් ස්තුතිවන්ත වුණාද! ඔවුන් අපේ ගෙවල් ආපහු හදලා සති කීපයක් යනකම්ම අපිට කෑම බීමත් සැපයුවා.

පීඩා වැඩි වෙයි

වර්ෂ 1967 සැප්තැම්බර්වලදී, මුළු රට පුරාම ඉන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැමදෙනාවම බලෙන් එක තැනකට රැස් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරලා තිබුණා. තරුණ සංගමයේ හා මලාවි තරුණ පෙරමුණේ සාමාජිකයන් වෙලා හිටිය හිත් පිත් නැති කලහකාරී තරුණ පිරිසක් පිහි අමෝරාගෙන ගෙවල් ගානේ ගිහින් සාක්ෂිකරුවන්ව හෙව්වා. ඔවුන්ව හම්බ වුණාම ඔවුන්ට දේශපාලනික පක්ෂ කාඩ්පත් විකුණන්න ඒ තරුණයෝ උත්සාහ කළා.

අපේ ගෙදරට ඇවිත් ඔවුන් අපෙන් ඇහැව්වා අපි ළඟ පක්ෂ කාඩ් එකක් තියෙනවාද කියලා. මම කිව්වා “නෑ, මා ළඟ නැහැ. මම දැන් ගන්නෙත් නෑ. පස්සේ ගන්නේත් නැහැ” කියලා. එතකොට ඔවුන් අපිට කිසිම දෙයක් ගන්න ඉඩක් නොතියා මාවයි, මගේ මහත්තයාවයි අල්ලගෙන ගමේ පොලිසියට අරගෙන ගියා. භාග්‍යයකට අපේ ලොකු පුතා ඩැනියෙල්, ඊට ටික වෙලාවකට පස්සේ ගෙදර ආපුවහම අසල්වැසියන්ගෙන් විස්තර දැනගෙන තියෙනවා. ඒ මොහොතෙම ඔහු බාලයන්වත් අරගෙන පොලිසියට ආවා. ඔවුන් එනකොටත් අපිව ලිලොංග්වේවලට ගෙනියන්න ට්‍රක්වලට නග්ගවලයි තිබුණේ. දරුවන්වත් අපි එක්කම අරගෙන ගියා.

ලිලොංග්වේහි පොලිස් මූලස්ථානයේදී නීතියට පටහැනිව පැවැත්තුව නඩුවකදී, “දිගටම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙලා ඉන්නද කල්පනාව” කියලා නිලධාරීන් අපෙන් ඇහැව්වා. අවුරුදු හතක් හිරබත් කන්න වෙන බව දැනගෙන හිටියත් අපි “ඔව්” කියලා උත්තර දුන්නා. සංවිධානයේ “නායකයෙකු” කියා ඔවුන් සිතූ අයට ඔවුන් අවුරුදු 14ක හිරදඬුවමක් නියම කළා.

කෑමයි, විවේකයයි නැතුව අපි රාත්‍රියක් ගත කළාට පස්සේ පොලිසිය අපිව මැඌලා හිරගෙදරට අරගෙන ගියා. එතන හිරකුටිවල කොච්චර තදබදයක් තිබුණාද කියනවා නම් අපිට බිම නිදාගන්නවත් ඉඩක් හොයාගන්න බැරි වුණා. සෙනඟ පිරිලා හිටිය හැම හිරකූඩුවකටම තිබුණේ එක වැසිකිළි බාල්දියයි. කෑම ලැබුණෙත් හරිම අඩුවෙන්. ඒවා හරි හමං විදිහකට හදලා තිබුණෙත් නැහැ. සති දෙකකට පස්සේ අපි සාමකාමී සෙනඟක් බව තේරිලා බන්ධනාගාර නිලධාරීන් අපිට ව්‍යායාම් කරන එළිමහනේ ගැවසෙන්න ඉඩහැරියා. අපි හුඟදෙනෙකුට එකට ඉන්න ලැබුණ නිසා හැමදාම එකිනෙකාව දිරිගන්වන්නත්, අනිත් සිරකරුවන්ට කදිම සාක්ෂියක් දරන්නත් අපිට ප්‍රස්තා ලැබුණා. අපි මාස තුනක් හිරේ හිටියට පස්සේ මලාවි රජය වෙත එල්ල වූ ජාත්‍යන්තර පීඩනය නිසා පුදුමයකට මෙන් අපිව නිදහස් කළා.

අපේ නිවෙස්වලට ආපහු යන්න කියලා පොලිස් නිලධාරීන් අපිට කියන ගමන්ම මලාවිවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව තහනම් කරලා තියෙන බවත් අපිට පැවසුවා. මේ තහනම 1967 ඔක්තෝබර් 20වෙනිදා ඉඳලා 1993 අගෝස්තු 12වෙනිදා දක්වා අවුරුදු 26කට ආසන්න කාලයක් පුරා පැවතුණා. ඒක අමාරු කාලයක් වුණත් යෙහෝවාගේ උපකාරයෙන් දිගටම මධ්‍යස්ථව ඉන්න අපිට පුළුවන් වුණා.

සත්තු දඩයම් කරනවා වගේ ලුහුබැන්දා

වර්ෂ 1972 ඔක්තෝබර්වලදී රාජ නියෝගයක් මගින් නව ප්‍රචණ්ඩ පීඩා රැල්ලක් දියත් කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔක්කොමදෙනාව ඔවුන්ගේ රැකියා ස්ථානවලින් පහ කරන්නත්, ගම්වල වෙසෙන සාක්ෂිකරුවන් සියලුදෙනාවම ඔවුන්ගේ ගෙවල්වලින් එළවලා දාන්නත් නියෝග කරලා තිබුණා. සාක්ෂිකරුවන්ව ලුහුබැන්දේ සත්තු දඩයම් කරනවා වගෙයි.

ඊට පස්සේ දවසක තරුණ ක්‍රිස්තියානි සහෝදරයෙක් එමෑස්ට හදිසි පණිවිඩයක් කියන්න අපේ ගෙදරට ආවා. ‘ඔයාගේ ඔළුව පොල්ලක හිටවලා බලධාරීන් ළඟට ගෙනියන්න තරුණ සංගමය කුමන්ත්‍රණය කරනවා’ කියලා ඔහු කිව්වා. ඉක්මනින්ම ක්‍රියාත්මක වුණ එමෑස් අපිටත් ඔහු ඉන්න තැනට එන්න පුළුවන් වෙන විදිහට කටයුතු සැලසුම් කරලා විගස ගෙදරින් පිට වුණා. ටික මොහොතකට පස්සේ මම දරුවන්වත් යැව්වා. ඉන් පස්සේ මම පිට වෙන්න හදනකොටම තරුණ සංගමයේ සාමාජිකයන් දහදෙනෙක් එමෑස්ව හොයාගෙන ආවා. අපේ ගෙට කඩාවැදුණ ඔවුන් දැනගත්තා එමෑස් නැති බව. ඔවුන් කේන්තියෙන් මාව ළඟපාත තිබුණ උක්දඬු යායකට ඇදගෙන ගිහිල්ලා මට පයින් ගහලා උක්දඬුවලින් හොඳටම පහර දුන්නා. ඊට පස්සේ මං මැරුණයි කියලා හිතලා මාව දාලා යන්න ගියා. ආපහු සිහිය ආවට පස්සේ මම ගාටගාට ගෙදර ගියා.

එදාම මහ රෑ කලුවරේ, ඕන දෙයක් වුණාවේ කියලා හිතාගෙන එමෑස් ගෙදර ආවා මාව හොයාගෙන. මට දරුණු විදිහට පහර දීලා තියෙනවා දැකලා එමෑස් යාළුවෙකුගේ කාර් එකකට මාව හෙමින් සීරුවේ නග්ගගත්තා. ඊට පස්සේ අපි ලිලොංග්වේවල ඉන්න සහෝදරයෙකුගේ ගෙදරට ගියා. එහෙදී මම ටිකෙන් ටික සුවය ලැබුව අතර එමෑස් අපිට රටෙන් පිට වෙන්න සැලසුම් යොදන්න පටන්ගත්තා.

සරණාගතයන්ට යන්න එන්න තැනක් නැතුව

අපේ දුව ඩිනෙස්ට සහ ඇගේ සැමියාට ටොන් පහක් පටවන්න පුළුවන් රථයක් තිබුණා. එක කාලෙක මලාවි තරුණ පෙරමුණේ සාමාජිකයෙකුව හිටිය රියදුරෙක් ඔවුන් යටතේ සේවය කළා. අපේ තත්වය ගැන ඔහුට අනුකම්පාවක් ඇති වෙලා අපිටත්, අනිත් සාක්ෂිකරුවන්ටත් උදව් කරන්න ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. රියදුරා සැන්දෑවල් කිහිපයක් පුරාම ඇවිත්, කලින් සැලසුම් කරලා තිබුණ විදිහට සාක්ෂිකරුවන් හැංගිලා හිටිය තැන්වලින් ඔවුන්ව අරගත්තා. ඊට පස්සේ ඔහු ඔහුගේ මලාවි තරුණ පුරෝගාමී නිලඇඳුම ඇඳගෙන පොලිස් මාර්ගබාධක කීපයක් පහු කරමින් රථය පදවාගෙන ගියා. ඔහු තමාගේ ජීවිතය ගැනවත් නොතකා, සාක්ෂිකරුවන්ට දේශ සීමාව පසු කර සැම්බියාවට පැනගන්න උදව් කළා.

මාස කීපයකට පස්සේ සැම්බියාවේ අධිකාරීන් අපිව ආපහු මලාවිවලට යැව්වත් අපේ ගෙදරට යන්න අපිට පුළුවන් වුණේ නැහැ. අපි දාලා ආව හැම දෙයක්ම හොරකම් කරලා තිබුණා. අපේ ගෙයි වහලෙට දාලා තිබුණ තහඩු පවා ගලවාගෙන ගිහින් තිබුණා. යන්න ආරක්ෂා සහිත තැනක් නොතිබුණ නිසා අපි මොසැම්බික්වලට පලා ගිහින් අවුරුදු දෙකහමාරක් ම්ලැන්ගනි සරණාගත කඳවුරේ නැවතිලා හිටියා. කොහොම වුණත්, 1975 ජූනිවලදී මොසැම්බික්හි අලුත් රජය කඳවුර වහලා, මලාවිවලට යන්න කියලා අපිට බල කළා. ඒ වෙනකොටත් යෙහෝවාගේ සෙනඟට වාසි වෙන තත්වයක් උදා වෙලා තිබුණේ නැහැ. වෙන කරන්න දෙයක් නැති හින්දා ආපහු සැම්බියාවට පලා යන්න සිද්ධ වුණා. එහෙදී අපි චිගූමූකිරේවල තිබුණු සරණාගත කඳවුරට ගියා.

මාස දෙකක් ගත වුණාට පස්සේ බස්රථ සහ හමුදා ට්‍රක්රථ කීපයක් ඇවිත් ප්‍රධාන පාරේ නැවැත්වුවා. ඊට පස්සේ ආයුධ සන්නද්ධ සැම්බියානු සොල්දාදුවන් සිය ගණනක් කඳවුරට කඩා වැදුණා. ඔවුන් අපිට කිව්වා ඕගොල්ලන්ට ලස්සන ගෙවල් හදලා තියෙනවා අපි ඕගොල්ලන්ව එහාට ගිහින් ඇරලන්නම් කියලා. මේක නම් වෙන්න බැරි දෙයක් කියලා අපි දැනගෙන හිටියා. සොල්දාදුවන් සෙනඟව ට්‍රක්රථවලටයි, බස්වලටයි තල්ලු කරන්න පටන්ගත්තා. ඒ වෙලේ හරිම නොසන්සුන් තත්වයක් තමයි තිබුණේ. සොල්දාදුවන් ස්වයංක්‍රීය තුවක්කුවලින් අහසට වෙඩි තියන්න පටන්ගත්ත නිසා අපේ සහෝදර සහෝදරියන් දහස් ගණනක් භයෙන් හිස් ලූලූ අත දුවන්න පටන්ගත්තා.

මේ කලබලය අස්සේ හදිසියේම එමෑස්ව ඇදගෙන වැටුණා. මිනිස්සු ඔහුවත් පාගගෙන ගියා. ඒත් සහෝදරයෙක් ඔහුට නැඟිටගන්න උදව් කළා. අපි හිතුවේ මහත් පීඩාව පටන් අරගෙන කියලයි. සරණාගතයන් හැමදෙනෙක්ම ආපහු මලාවිවලට දුවන්න පටන්ගත්තා. මෙහෙම යද්දී, අපි සැම්බියාවල ගඟක් ළඟට ආවා. සහෝදරයෝ පේළිවලට ඉඳලා එක එක්කෙනාගේ අත් අල්ලගෙන කරදරයක් නැතුව එගොඩ වෙන්න අපිට උදව් කළා. ඒත්, ගඟේ අනික් පැත්තේ හිටිය සැම්බියානු සොල්දාදුවන් අපිව වට කරලා බලෙන්ම අපිව මලාවිවලට ගෙනිච්චා.

ආපහු මලාවිවලට ආපු අපිට කොහේ යන්නද කියලා හිතාගන්න බැරි වුණා. තමන්ගේ ගම්වල “අලුත් මූණු” දකින්න තියෙනවාද කියලා සෝදිසියෙන් ඉන්න කියමින් දේශපාලනික පෙළපාළිවලින් සහ පත්තරවලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන මිනිස්සුන්ට අනතුරු අඟවලා තිබුණා. ඒ නිසා අගනුවරට යන්න අපි තීරණය කළේ ගමක ඉන්නකොට වගේ එහෙදී අපිව මිනිස්සු අතර කැපිලා පේන්නේ නැති හින්දයි. එහෙන් පුංචි ගෙයක් කුලියට ගන්න අපිට පුළුවන් වුණා. එමෑස් ආපහු සංචාරක අවේක්ෂකයෙක් හැටියට රහසින් සභාවලට යන්න පටන්ගත්තා.

සභා රැස්වීම්වලට යෑම

ඇදහිලිවන්තව ඉන්න අපිට උපකාර වුණේ මොකක්ද? සභා රැස්වීම්! මොසැම්බික් සහ සැම්බියාවල සරණාගත කඳවුරුවල ඉන්න කාලේදී අපි පිදුරු සෙවිලි කරපු වැඩි අලංකාරයක් නැති කුඩා රාජ්‍ය ශාලාවල රැස්වීම්වලට නිදහසේ ගියා. මලාවිවල රැස්වීම්වලට යන එක අනතුරුදායක මෙන්ම දුෂ්කර එකක් වුණත් ඒ වෙනුවෙන් දැරුව වෑයම හැම මොහොතේම වටිනා එකක් වුණා. අපිව හොයාගන්න බැරි වෙන විදිහට අපි රැස්වීම් පැවැත්තුවේ මහ රෑ ඈත තැනකයි. ඒ වගේම කථිකයෙක්ව අගය කරන බව පෙන්වන්න අපි අත්පුඩි ගහන්නේ නැතුව අත් දෙක එකතු කරලා පිරිමැද්දේ අපි එක්රැස් වෙලා ඉන්න බව අනිත් අයට ඇඟවෙන්නේ නැති වෙන්නයි.

බව්තීස්මය සිදු කළේ මහ රෑයි. අපේ පුතා, ඇබියූඩ් බව්තීස්ම වුණේ ඒ වගේ අවස්ථාවකයි. බව්තීස්ම කතාවෙන් පස්සේ ඔහුවත්, බව්තීස්ම වෙන්න හිටිය අනිත් අයවත් වගුරු සහිත තැනක හාරලා තියෙන වළක් ළඟට එක්කගෙන ගියා. ඔවුන්ව එතනදී බව්තීස්ම කළා.

අපේ පුංචි නිවහන ආරක්ෂාවේ ක්ෂේම භූමියක්

රජයේ තහනම පැවති අවසන් අවුරුදු කීපයේදී, ලිලොංග්වේහි තිබුණ අපේ ගේ පාවිච්චි කළේ ආරක්ෂිත ස්ථානයක් හැටියටයි. සැම්බියා ශාඛා කාර්යාලයෙන් ගෙනා තැපැල් මිටිය සහ පොත් පත් රහසිගතව බෑවේ අපේ ගෙදරටයි. බයිසිකල් පණිවිඩකරුවන් හැටියට සේවය කරපු සහෝදරයන් අපේ ගෙදරට ආවා සැම්බියාවලින් ආපු තැපැල් මිටි සහ පොත් පත් ගෙනිහින් මලාවිවල හැම පැත්තකටම බෙදන්න. මුරටැඹ සඟරා හරිම හීනියි මොකද ඒවා මුද්‍රණය කරලා තිබුණේ බයිබල් මුද්‍රණය කරන කොළවලින්. මේ විදිහට මුද්‍රණය කරපු නිසා සාමාන්‍ය කොළවල මුද්‍රණය කරලා හදපු සඟරා වගේ දෙගුණයක් සඟරා බෙදාහරින්න පණිවිඩකරුවන්ට පුළුවන් වුණා. ඒ පණිවිඩකරුවන් පාඩම් ලිපි විතරක් තියෙන පුංචි මුරටැඹ සඟරාවලුත් බෙදාහැරියා. මුළු සඟරාවටම තිබුණේ එක කොළයක් නිසා කමිස සාක්කුවක වුණත් ඒවා හංගගන්න පහසු වුණා.

මේ පණිවිඩකරුවන් තමන්ගේ බයිසිකල්වල තහනම් පොත් පත් තොග ගණන් තියාගෙන සමහර අවස්ථාවලදී රෑ අඳුරේ පවා කැලෑ මැදින් ගියේ ඔවුන්ගේ නිදහස සහ ජීවිතය පවා නැති වුණත් කමක් නැහැයි කියන අදහසිනුයි. පොලිස් මාර්ගබාධක පසු කරමින් වෙනත් උවදුරු මැද පවා ඕනෑම කාලගුණයකදී ඔවුන් කිලෝමීටර් සිය ගණනක් බයිසිකල් පැදගෙන ගියේ තම සහෝදරයන්ට ආත්මික ආහාර බෙදන්නයි. ඒ දයාබර පණිවිඩකරුවන් මොනතරම් නිර්භීත වුණාද!

යෙහෝවා වැන්දඹුවන්ව බලාගනියි

වර්ෂ 1992 දෙසැම්බර්වල චාරිකා සේවයේදී කතාවක් දෙනකොට එමෑස් ලේ කැටිගැසීමෙන් ඇති වෙන ආබාධයකට ගොදුරු වුණා. ඊට පස්සේ ඔහුට කතා කරන්න බැරුව ගියා. ඔහොම ටික කාලයක් ගියාට පස්සේ දෙවෙනි පාරටත් ඒ ආබාධිත තත්වය ඇති වෙලා ඔහුට අංශභාගේ හැදුණා. රෝගී තත්වයට මුහුණ දෙන එක ඔහුට සෑහෙන අමාරු දෙයක් වුණත්, අපේ සභාවෙන් අපිට ලැබුණ ප්‍රේමණීය උපකාර නිසා බලාපොරොත්තු නැති කර නොගෙන ඉන්න මට පුළුවන් වුණා. මගේ මහත්තයා 1994 නොවැම්බර්වලදී මැරෙනකොට එයාගේ වයස අවුරුදු 76යි. ඒ වෙනකම්ම ඔහුව ගෙදර තියාගෙන බලාගන්න මට පුළුවන් වුණා. අපි අවුරුදු 57ක් අපේ විවාහ ජීවිතය එකට ගත කළා. එමෑස්ගේ මරණයට කලින් තහනම ඉවත් කරනවා දකින්න ඔහුට පුළුවන් වුණා. ඒත් තාමත් මම මගේ විශ්වාසවන්ත සහකරුවාගේ වියෝව ගැන දුක් වෙනවා.

මම වැන්දඹුවක් වුණාට පස්සේ මගේ බෑනා ඔහුගේ බිරිඳ සහ දරුවන් පස්දෙනාගේ බර විතරක් නෙවෙයි මගේ බරත් කරට ගත්තා. කනගාටුදායක දේ වුණේ, ඔහු අසනීප වෙලා 2000 අගෝස්තුවලදී මිය යෑමයි. අපිට ආහාර සහ ඉඳුම් හිටුම් සොයාගන්න මගේ දුවට පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ මතු වුණා. යෙහෝවා අපිව බලාගන්න බවත්, ඇත්තෙන්ම ඔහු “පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද” වන බවත් නැවත වරක් මම අද්දැක්කා. (ගීතාවලිය 68:5) යෙහෝවා, පොළොවේ ඉන්න ඔහුගේ සේවකයන් මාර්ගයෙන් අපිට ලස්සන අලුත් ගෙයක් සැපයුවා. ඒක සිද්ධ වුණේ කොහොමද? අපේ දුක්ඛිත තත්වය දැක්ක අපේ සභාවේ සහෝදර සහෝදරියන් අපිට ගෙයක් හදලා දුන්නා සති පහකින්! වෙන සභාවල ඉන්න මේසන් වැඩ දන්න සහෝදරයනුත් ඇවිල්ලා උදව් කළා. මේ සාක්ෂිකරුවන් අපිට හැදුව ගේ ඔවුන් ඉන්න ගෙවල්වලටත් වඩා හොඳ නිසා ඔවුන් හැමෝම පෙන්නුව ප්‍රේමය සහ කරුණාවන්තකම ඕනෑවටත් වඩා වැඩියි කියලා කියන්න පුළුවන්. සභාවෙන් පෙන්නුව මේ ප්‍රේමය අපේ අසල්වැසියන්ට කදිම සාක්ෂියක් වුණා. මම රාත්‍රියේ නින්දට යද්දී මට දැනෙන්නේ මම පාරාදීසයේ ඉන්නවා වගෙයි! අපේ ලස්සන අලුත් නිවහන බදාම දාලා ගඩොල්වලින් හදලා තිබුණත් ඇත්තෙන්ම හුඟදෙනෙක් ඒක දකින්නේ ප්‍රේමයෙන් ගොඩනඟපු නිවසක් වගෙයි.—ගලාති 6:10.

යෙහෝවාගේ නිරතුරු සැලකිල්ල

සමහර විට අන්තයටම කලකිරිලා හිටපු අවස්ථා තිබුණත් යෙහෝවා මට කරුණාව පෙන්වලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මගේ ළමයි නවදෙනාගෙන් හත්දෙනෙක් තවමත් ජීවත් වෙනවා. මගේ පවුලේ දැන් 123දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරනවා දැකීම මොනතරම් සතුටක්ද!

දැන් මගේ වයස අවුරුදු 82යි. දෙවිගේ ආත්මයෙන් මලාවිවල ඉටු කරලා තියෙන දේ දකිනකොට මට ලොකු ප්‍රීතියක් දැනෙනවා. පහුගිය අවුරුදු හතර තුළ විතරක් රාජ්‍ය ශාලාවල සංඛ්‍යාව එකේ සිට 600කටත් වඩා වැඩි වෙනවා මම දැකලා තියෙනවා. අපිට දැන් ලිලොංග්වේවල අලුත් ශාඛා කාර්යාලයකුත් තියෙනවා. නොකඩවා ගලා එන ආත්මික ආහාරවලින් ශක්තිමත් වීමෙනුත් අපි ප්‍රීතියක් ලබනවා. යෙසායා 54:17හි දෙවි දී ඇති පොරොන්දුව ඉටුවීම ඇත්තෙන්ම මම අද්දැක්ක බවයි මට හැඟෙන්නේ. එහි සහතික කරලා තියෙන්නේ මේ විදිහටයි. “නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය.” යෙහෝවාට අවුරුදු 50කට වඩා වැඩි කාලයක් පුරා සේවය කරලා තියෙන මට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ඕනෑම පරීක්ෂාවකදී ඕනෑම වෙලාවකදී යෙහෝවා අපිව බලාගන්නවා කියලා.

[පාදසටහන]

^ 17 ඡේ. මලාවිවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා 1999 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ 149-223 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

[24වන පිටුවේ පින්තූරය]

මගේ සැමියා වන එමෑස් බව්තීස්ම වුණේ 1951 අප්‍රියෙල්වලදී

[26වන පිටුවේ පින්තූරය]

නිර්භීත පණිවිඩකරුවන් කණ්ඩායමක්

[28වන පිටුවේ පින්තූරය]

ප්‍රේමයෙන් ගොඩනැඟුව ගෙයක්