Skip to content

පටුනට යන්න

විපත්ති කාලවලදී යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තබන්න

විපත්ති කාලවලදී යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තබන්න

විපත්ති කාලවලදී යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තබන්න

“දෙවි අපේ සරණ හා ශක්තියය. විපත්ති කාලවල් අතරතුරේදී සැණෙකින් ලැබිය හැකි පිහිටක්ය.”—ගීතාවලිය 46:1, NW.

1, 2. (අ) අප දෙවි කෙරෙහි විශ්වාස කරනවායයි පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වන්නේ කිනම් උදාහරණයෙන්ද? (ආ) අප යෙහෝවාව විශ්වාස කරනවා කියා පවසනවාට වඩා යමක් කළ යුතු වන්නේ මන්ද?

දෙවි කෙරෙහි විශ්වාසය තබනවායයි පැවසීම එක දෙයකි. එය අපේ ක්‍රියාවලින් පෙන්වීම ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. නිදසුනක් වශයෙන්, “අපේ විශ්වාසය දෙවි කෙරෙහිය” යන පාඨය එක්සත් ජනපදයේ මුද්‍රිත මුදල් නෝට්ටුවල සහ කාසිවල බොහෝ කලක් මුළුල්ලේ දක්නට ලැබී ඇත. * වර්ෂ 1956දී එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලය එම පාඨය එක්සත් ජනපදයේ ජාතික ආදර්ශ පාඨයක් විය යුතුයයි නීතියක් ප්‍රකාශයට පත් කළේය. හාස්‍යයට කරුණක් වන්නේ, එම රටේ පමණක් නොව නමුත් ලෝකය පුරාම සිටින බොහෝදෙනෙකු දෙවිට වඩා තමන්ගේ ද්‍රව්‍යමය වත් පොහොසත්කම් කෙරෙහි මහත් විශ්වාසයක් තැබීමයි.—ලූක් 12:16-21.

2 සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන්, අප යෙහෝවාව විශ්වාස කරනවායයි පැවසීමට වඩා වැඩි යමක් කළ යුතුයි. “ක්‍රියා නැති ඇදහිල්ලද මැරී” තිබෙන්නාක් මෙන්, අප අපගේ ක්‍රියාවලින් ඒ බව පෙන්වන්නේ නැත්නම් අප දෙවි කෙරෙහි විශ්වාස කරනවා කියා පැවසීමේ කිසිම තේරුමක් නැත. (යාකොබ් 2:26, NW) මීට ඉහත ලිපිය තුළ අප ඉගෙනගත්තේ අප යෙහෝවා වෙතට යාච්ඤාවෙන් හැරෙන විට, අප ඔහුගේ වචනයෙන් මඟ පෙන්වීම සොයන විට, අපව මෙහෙයවීමට අප ඔහුගේ සංවිධානය දෙස බලන විට, අප යෙහෝවාව විශ්වාසය කරනවා කියා පෙන්නුම් කරන බවයි. අප කරා පැමිණෙන විපත්ති කාලවලදී අපට මෙම පියවර තුන ගත හැකි ආකාරය ගැන දැන් අපි සලකා බලමු.

රැකියාවක් අහිමි වූ විට හෝ ලැබෙන ආදායම අල්ප වන විට

3. මෙම ‘අන්තරාදායක කාලවලදී,’ යෙහෝවාගේ සේවකයන් කරා පැමිණෙන්නේ කිනම් ආර්ථික දුෂ්කරතාද? දෙවි අපට පිහිටවීමට කැමැත්තෙන් සිටින බව අප දන්නේ කෙසේද?

3 මෙම ‘අන්තරාදායක කාලවල,’ අප ක්‍රිස්තියානීන් වශයෙන් මුහුණ දෙන්නේත් වෙනත් මිනිසුන් මුහුණ දෙන ආර්ථික ගැටලුවලටමයි. (2 තිමෝති 3:1, NW) මෙබැවින්, අපට හදිසියේම අපේ රැකියාව නැති වෙන්නට පුළුවනි. නැතහොත්, අපට වෙන කිසිවක් කළ නොහැකි නිසා, අල්ප වැටුපක් ලබාගැනීමට අපට දවසේ වැඩි පැය ගණනක් වැඩ කිරීමට සිදු විය හැකියි. එවන් තත්වයන් යටතේදී, අපට ‘අපගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දීමට’ අමාරු වෙන්න පුළුවනි. (1 තිමෝති 5:8, NW) එවන් කාලවලදී මහෝත්තම දෙවි කැමතිද අපට පිහිට වෙන්න? ඇත්තවශයෙන්ම ඔව්! හැබැයි, මේ සමාජ ක්‍රමය මගින් අප මතට ගෙන එන සියලුම අසීරුතාවලින් යෙහෝවා අපව ආරක්ෂා කරනවා නම් නොවේ. කෙසේවෙතත්, අප ඔහු කෙරෙහි විශ්වාසය තබනවා නම්, ගීතාවලිය 46:1හි සඳහන් වචන අපගේ තත්වය සම්බන්ධයෙන් සැබෑවක් වෙනවා ඇත. එහි කියන්නේ මෙයයි. “දෙවි අපේ සරණ හා ශක්තියය. විපත්ති කාලවල් අතරතුරේදී සැණෙකින් ලැබිය හැකි පිහිටක්ය.” එහෙත්, ආර්ථික වශයෙන් දුෂ්කරතා ඇති කාලවලදී අප යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තබන බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

4. ආර්ථික ගැටලුවලින් මිරිකී සිටින විට අපට කුමක් ඉල්ලා යාච්ඤා කළ හැකිද? තවද යෙහෝවා එවන් යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ කෙසේද?

4 අප යෙහෝවාව විශ්වාස කරන බව පෙන්විය හැකි එක් ක්‍රමයක් නම්, ඔහු වෙතට යාච්ඤාවෙන් හැරීමයි. නමුත්, අපට යාච්ඤා කළ හැක්කේ කුමක් සඳහාද? ආර්ථික ගැටලුවලින් මිරිකී සිටින විට, වෙන කවරදාටත් වඩා අපට දැන් ප්‍රායෝගික ප්‍රඥාව අවශ්‍ය විය හැකියි. එසේනම්, සහතිකවම ඒ සඳහා යාච්ඤා කරන්න! යෙහෝවාගේ වචනය අපට මෙසේ සහතික වෙයි. “දෙවි සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන හෙයින් ඔබෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, ඔහු නොකඩවා දෙවිගෙන් ඉල්ලාවා. එවිට ඔහුට එය දෙනු ලැබේ.” (යාකොබ් 1:5, NW) එසේය, යෙහෝවාගෙන් ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න. එනම්, ඔබට ප්‍රඥාවන්ත තීරණ හා නිවැරදි තේරීම් කරන්නට හැකි වන පරිද්දෙන් දැනුම, අවබෝධය හා විචාර බුද්ධිය හොඳින් පාවිච්චි කිරීමට හැකියාව ඉල්ලා යාච්ඤා කරන්න. එවන් යාච්ඤාවලට තමන් සවන් දෙන බව අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියා අපට සහතික වෙයි. මුළු සිතින්ම තමන් කෙරෙහි විශ්වාසය තබන අයගේ මාවත් සමතලා කිරීමට ඔහු සැමවිටම කැමැත්තෙන් සිටී.—ගීතාවලිය 65:2; හිතෝපදේශ 3:5, 6.

5, 6. (අ) ආර්ථික පීඩනවලට මුහුණ දීමට උපකාරයක් හැටියට අපට දෙවිගේ වචනය දෙස බැලිය හැක්කේ මන්ද? (ආ) අපගේ රැකියාව අහිමි වූ අවස්ථාවක කනස්සලුභාවය අවම කරගැනීමට අපට කුමක් කළ හැකිද?

5 අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන බව පෙන්විය හැකි තවත් මාර්ගයක් නම්, මඟ පෙන්වීම සඳහා දෙවිගේ වචනය දෙස බැලීමයි. බයිබලයේ සඳහන් ඔහුගේ ප්‍රඥාවන්ත සිහිගැන්වීම් “ඉතා විශ්වාසවන්ත” බවට ඔප්පු වී තිබේ. (ගීතාවලිය 93:5, NW) මීට වසර 1,900කට ඉහත සම්පූර්ණ කරනු ලැබුවද, මෙම ආනුභාව ලත් පොත තුළ, ආර්ථික පීඩනවලට වඩාත් හොඳින් මුහුණ දීමට අපට උපකාරවත් වන විශ්වාසවන්ත අවවාදානුශාසනා සහ තියුණු තීක්ෂ්ණ බුද්ධියක් අන්තර්ගතය. බයිබලයේ අඩංගු ප්‍රඥාව පිළිබඳ යම් උදාහරණ කිහිපයක් සලකා බලන්න.

6 සලමොන් රජ වසර ගණනාවකට පෙර මෙසේ නිරීක්ෂණය කළේය. “වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.” (දේශනාකාරයා 5:12) අපගේ ද්‍රව්‍යමය දේපොළ අලුත්වැඩියා කිරීමට, නඩත්තු කිරීමට, පිරිසිදු කිරීමට, හා ආරක්ෂා කරගැනීමට කාලය හා මුදල් වැය වේ. එසේනම්, රැකියාවක් අහිමි වූ විට, අපගේ ජීවිත රටාව යළිත් සෝදිසි කර බැලීමට ඒ මගින් අවස්ථාවක් අපට උදා විය හැකියි. ඒ මගින් අවශ්‍යතාවන් හා වුවමනා අතර වෙනස හඳුනාගත හැකියි. කනස්සලුභාවය අවම කරගැනීමට, වඩාත්ම ඥානවන්ත දෙය වන්නේ යම් වෙනස්කම් කිරීමයි. නිදසුනක් වශයෙන්, සමහරවිට වඩාත් කුඩා නිවසක පදිංචියට යෑමෙන් හෝ අනවශ්‍ය ද්‍රව්‍යමය දේපොළ ඉවත් කර දැමීම මගින් අපගේ ජීවන රටාව වඩාත් සරල කරගැනීමට අපට හැකිද?—මතෙව් 6:22.

7, 8. (අ) අසම්පූර්ණ මිනිසුන්ට ද්‍රව්‍යමය දේවල් ගැන වුවමනාවට වඩා කරදර වීමට ප්‍රවණතාවක් තිබෙන බව යේසුස් පෙන්නුවේ කෙසේද? (පාද සටහනද බලන්න.) (ආ) අනවශ්‍ය කනස්සල්ලෙන් වැළකී සිටීම පිළිබඳව යේසුස් ඉදිරිපත් කළ ප්‍රඥාවන්ත අවවාදය කුමක්ද?

7 කන්ද උඩ දේශනාවේදී යේසුස් උපදෙස් දුන්නේ මෙසේයි. “කුමක් කමුද කුමක් බොමුද කියා ඔබේ ජීවිත ගැනවත්, කුමක් අඳින්නේද කියා ඔබේ ශරීර ගැනවත් කනස්සලු වීම නතර කරන්න.” * (මතෙව් 6:25, NW) අසම්පූර්ණ මිනිසුන් මූලික අවශ්‍යතාවන් ලබාගැනීම සම්බන්ධයෙන් සහජයෙන්ම සැලකිලිමත් වෙන බව යේසුස් දැන සිටියේය. එහෙත්, එවන් දේවල් ගැන ‘කනස්සලු වීම නතර කිරීමට’ අපට හැක්කේ කෙසේද? යේසුස් කීවේ “පළමුකොට රාජ්‍යය . . . නොකඩවා සොයන්න” කියායි. අප කිනම් ගැටලුවලට මුහුණ දුන්නද, හැමවිටම යෙහෝවාට කරන නමස්කාරයට අපගේ ජීවිතයේ මූලික තැන දිය යුතුයි. අප එසේ කරනවා නම්, අපගේ සියලු දෛනික අවශ්‍යතා අපගේ ස්වර්ගික පියාණන් විසින් අපට ඉටු කර “දෙනු ලැබේ.” කෙසේ හෝ අපට අවශ්‍ය දේ ඔහු අපට සපයනවා ඇත.—මතෙව් 6:33, NW.

8 යේසුස් තවදුරටත් උපදෙසක් දුන්නේය. “එහෙයින් හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසේද කරදර තිබෙනු ඇත. එක දවසක තිබෙන කරදර ඒ දවසට සෑහෙයි.” (මතෙව් 6:34, NW) හෙට දවසේ කුමක් සිදු වේවිදැයි අනවශ්‍ය ලෙස කනස්සලු වීම නම් ඥානවන්ත දෙයක් නොවේ. එක් විශාරදයෙක් පැවසුවේ මෙලෙසයි. “අනාගතයේ ඇත්තටම සිදු වෙන දේවල්, අනාගතයේදී සිදු වේවියයි අප භයෙන් සිතා සිටින දේවල්ම වීමේ ඉඩ කඩ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වැනිය.” බයිබලයේ සඳහන් අවවාදවලට යටහත් පහත් ලෙස අවනත වීමෙන් අපගේ ජීවිතයේ වැදගත් දේවලට මුල් තැන දීමටද, එක දවසක් තුළ පැනනඟින කරදරවලට ඒ දවසේදීම මුහුණ දීමෙන්ද අනවශ්‍ය කනස්සල්ලෙන් මිදීමට අපට හැකි වෙයි—1 පේතෘස් 5:6, 7.

9. ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන විට, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන ප්‍රකාශනවලින් අපට කිනම් උපකාර ලබාගත හැකිද?

9 ආර්ථික දුෂ්කරතාවලට අප මුහුණ දෙන විට, උපකාරය පතා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන ප්‍රකාශන බැලීමෙන්ද අපට යෙහෝවා කෙරෙහි ඇති අපගේ විශ්වාසය පෙන්විය හැකියි. (මතෙව් 24:45, NW) කලින් කලට, පිබිදෙව්! සඟරාවේ පළ වී තිබෙන ලිපිවල ආර්ථික දුෂ්කරතා සමඟ කටයුතු කරන ආකාරය ගැන යම් උපකාරවත් වෙන මඟ පෙන්වීම් හා යෝජනා දී තිබේ. වර්ෂ 1991 අගෝස්තු 8 කලාපයේ (සිංහලෙන් නැත) පළ වූ “රැකියාවක් අහිමි වූ විට—විසඳුම් මොනවාද?” යන ලිපිය තුළ ප්‍රායෝගික මඟ පෙන්වීම් අටක් විස්තර කර තිබූ අතර, රැකියාව අහිමි වූ කාලවලදී බොහෝදෙනෙකුට මූල්‍යමය වශයෙන් හා චිත්තවේගීය වශයෙන් ස්ථාවරව සිටීමට එම තොරතුරු උපකාරවත් වී ඇත. * ඇත්තවශයෙන්ම, එවන් මඟ පෙන්වීම් පිළිපැදිය යුත්තේ මුදල්වල සැබෑ වැදගත්කම ගැන නිසි දෘෂ්ටියක් පවත්වාගනිමිනි. එම කලාපයේම පළ වූ “මුදල්වලට වඩා අතිශයින්ම වැදගත් යමක්” යන ලිපියද එහි සඳහන් වී තිබුණි.—දේශනාකාරයා 7:12.

සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින විට

10. බරපතළ අසනීපයක් හමුවේ යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම යථාර්ථවාදී යමක් බව දාවිත් රජුගේ ආදර්ශයෙන් අපට පෙන්වන්නේ කෙසේද?

10 බරපතළ අසනීපයක් හමුවේ යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම යථාර්ථවාදීද? නිසැකවම! තම සෙනඟ අතර අසනීපයෙන් පෙළෙන අය කෙරෙහි යෙහෝවාට ඇත්තේ මහත් සංවේදනයකි. ඊටත් වඩා, ඔහු එවන් අයට පිහිට වෙන්නට කැමැත්තෙන් සිටී. උදාහරණයක් හැටියට, දාවිත් රජ ගැන සිතා බලන්න. අසනීපයෙන් පෙළෙන අවංක පුද්ගලයෙකු සම්බන්ධයෙන් දෙවි කටයුතු කරන ආකාරය ගැන ඔහු ලියද්දී ඔහුම බරපතළ අසනීප තත්වයක සිටියා විය හැකියි. ඔහු කීවේ මෙසේයි. “යෙහෝවා ඔහු ගිලන්ව ඔත් යහනේදී උසුලන්නේය. රෝගයේදී ඔබ ඔහුගේ මුළු යහන සකස් කරන්නේය.” (ගීතාවලිය 41:1, 3, 7, 8) දෙවි කෙරෙහි වූ දාවිත්ගේ විශ්වාසය ශක්තිමත්ව පැවතුණි. අන්තිමේදී මෙම රජ තමන්ගේ අසනීපයෙන් සුවය ලැබුවේය. අප සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින විට අපට දෙවි කෙරෙහි විශ්වාසයක් තැබිය හැක්කේ කෙසේද?

11. අසනීප තත්වයකින් පෙළී සිටින විට, අපට අපේ ස්වර්ගික පියාණන්ගෙන් කුමක් ඉල්ලිය හැකිද?

11 අසනීපයකින් පෙළෙන විට, අපට යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබිය හැකි එක් ක්‍රමයක් නම් විඳදරාගැනීම සඳහා උපකාර ඉල්ලා යෙහෝවාට කන්නලව් කිරීමයි. සැබෑවටම අපගේ තත්වයන් ඉඩ දෙන තරමට හොඳ සෞඛ්‍ය තත්වයක් පවත්වාගැනීම පිණිස “ප්‍රායෝගික ප්‍රඥාව” භාවිත කිරීමට අපට උපකාර කරන ලෙස ඉල්ලා අයැදිය හැකියි. (හිතෝපදේශ 3:21, NW) අසනීප තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට අවශ්‍ය ඉවසීම හා විඳදරාගැනීම දෙන මෙන් ඉල්ලමින්ද අපට යාච්ඤා කළ හැකියි. මේ සියලු දේට වඩා, අප ශක්තිමත් කරන මෙන්ද, කුමක් සිදු වුණද අපගේ සමබරතාව අහිමි කරගන්නේ නැතුව යෙහෝවාට විශ්වාසවන්තව සිටීමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය දෙන මෙන්ද ඉල්ලා අපි යෙහෝවාගෙන් අයදිමු. (පිලිප්පි 4:13) දෙවි ඉදිරියේ අඛණ්ඩතාව පවත්වාගැනීම අපේ වත්මන් ජීවිතය ආරක්ෂා කරගැනීමට වඩා අතිශයින් වැදගත්ය. අප අපේ අඛණ්ඩතාව පවත්වාගන්නේ නම්, අපට මහත්සේ විපාක දෙන තැනැත්තා පරිපූර්ණ ජීවිතයක් හා සෞඛ්‍යයක් සදහටම දානය කරනවා ඇති.—හෙබ්‍රෙව් 11:6.

12. වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ගත් කල, ඥානවන්ත තීරණ ගැනීමට අපට කිනම් ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති උපකාරවත් විය හැකිද?

12 අප යෙහෝවා කෙරෙහි තබන විශ්වාසය ප්‍රායෝගික මඟ පෙන්වීම ලැබීම සඳහා අපව ඔහුගේ වචනය වන බයිබලය වෙතට යොමු කරවයි. වෛද්‍යමය ප්‍රතිකාර ලැබීම සම්බන්ධයෙන් ප්‍රඥාවන්ත තීරණ ගැනීමට ශුද්ධ ලියවිලිවල සඳහන් ප්‍රතිපත්ති අපට උපකාරවත් විය හැකියි. නිදසුනක් වශයෙන්, බයිබලය “භූතවාදයේ නියැලීම” හෙළාදකින බව දැනගැනීමෙන් අපි භූතවාදී හෝ ආත්ම බන්ධන ක්‍රියාවලට ඇතුළත් වන ඕනෑම රෝග නිශ්චය කරන ක්‍රමයකින් හෝ ප්‍රතිකාර ක්‍රමයකින් වැළකී සිටින්නෙමු. (ගලාති 5:19-21; ද්විතීය කථාව 18:10-21) බයිබලයේ විශ්වාසවන්ත ප්‍රඥාව පිළිබඳව තවත් උදාහරණයක් මෙන්න. “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි. එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” (හිතෝපදේශ 14:15) මෙබැවින්, වෛද්‍ය ප්‍රතිකාර ගැන කල්පනා කරන විට, ‘හැම වචනම විශ්වාස කරනවාට’ වඩා, විශ්වාසවන්ත තොරතුරු ගැන විමසා බැලීම යහපති. එවන් ‘හොඳ සිහිකල්පනාවක්’ තිබෙනවා නම්, අපට තෝරාගත හැකි ප්‍රතිකාර ක්‍රම ගැන හොඳින් සිතා බලා පරෙස්සමින් තීරණයක් ගැනීමට අපට හැකි වේවි.—තීතස් 2:12.

13, 14. (අ) මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල පළ වී ඇත්තේ සෞඛ්‍ය කාරණා පිළිබඳ කිනම් තොරතුරුද? (17වන පිටුවේ කොටුව බලන්න) (ආ) වර්ෂ 2001 ජනවාරි 22 පිබිදෙව්! සඟරාවේ නිදන්ගත රෝගාබාධ පිළිබඳව ඉදිරිපත් කර තිබුණේ කිනම් අවවාදයද?

13 තවද, විශ්වාසවන්ත දාසයාගේ ප්‍රකාශනවල තොරතුරු සොයා බැලීමෙන්ද අපට යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්නට පුළුවන. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල යම් යම් සෞඛ්‍ය ගැටලු සහ ලෙඩ රෝග පිළිබඳව තොරතුරු සම්භාරයක් ඇතුළත් ලිපි රාශියක් විටින් විට පළ වී තිබේ. * ඇතැම් අවස්ථාවල මෙම සඟරාවල පළ වී ඇති ලිපිවල, විවිධ පුද්ගලයන් විසින් නොයෙක් ආකාරයේ රෝගාබාධ සහ සෞඛ්‍ය ගැටලුවලට සාර්ථකව මුහුණ දී ඇති ආකාරය පෙන්වා දී ඇත. ඊට අමතරව, නිදන්ගත සෞඛ්‍ය ගැටලු සමඟ ජීවත් වන ආකාරය පිළිබඳව ශුද්ධ ලියවිලිමය යෝජනා සහ ප්‍රායෝගික අවවාදද ඇතැම් ලිපිවල ඉදිරිපත් කර තිබේ.

14 නිදසුනක් වශයෙන්, 2001 ජනවාරි 22 පිබිදෙව්! කලාපයේ “අසනීපවලින් පෙළෙන්නන්ට සහනයක්” යන ලිපි මාලාව පළ කර තිබුණි. (සිංහලෙන් නැත) මෙම ලිපිවල, උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති සහ වසර ගණනාවක් පුරා යම් ආබාධිත රෝගි තත්වයන්ගෙන් පෙළී ඒ පිළිබඳව දැනුමක් ඇති පුද්ගලයන්ව සම්මුඛ සාකච්ඡාවන්ට භාජන කර ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු ඉදිරිපත් කෙරුණි. “ඔබේ රෝගය සමඟ සාර්ථකව ජීවත් වෙන්නේ කෙසේද?” යන ලිපිය පහත අවවාදය ඉදිරිපත් කළේය. එනම්, “හැකිතරම් දුරට ඔබේ අසනීප තත්වය ගැන දැනුවත් වී සිටින්න” යන්නයි. (හිතෝපදේශ 24:5) අනුන්ට උපකාර කිරීමේ ඉලක්කය ඇතුළු ප්‍රායෝගික ඉලක්ක තබාගන්න. නමුත් අනුන්ට අත් කරගත හැකි එම ඉලක්කයන්ම අත් කරගැනීමට ඔබට නොහැකි වීමට ඉඩ කඩ තිබිය හැකි බවද වටහාගන්න. (ක්‍රියා 20:35; ගලාති 6:4) අනුන් ඇසුරු නොකරමින් හුදෙකලා වීමෙන් වළකින්න. (හිතෝපදේශ 18:1) වෙනත් අය ඔබව බැහැදකින්නට එන විට, එය ඔවුන්ට සතුටුදායක අද්දැකීමක් වෙන්නට සලස්වන්න. (හිතෝපදේශ 17:22) මේ සියල්ලටම වඩා, යෙහෝවා සහ සභාව සමඟ කිට්ටු බැඳීමක් පවත්වාගන්න. (නාහුම් 1:7; රෝම 1:11, 12) යෙහෝවා තම සංවිධානය තුළින් සපයන විශ්වාසවන්ත මඟ පෙන්වීමට අප කෘතඥපූර්වක වෙන්නේ නැද්ද?

මාංසික දුර්වලකම් දිගටම පවතින විට

15. ප්‍රේරිත පාවුල්ට තමාගේ මාංසයේ අසම්පූර්ණකම්වලට එරෙහිව කරන්නට තිබූ සටනින් ජයගැනීමට හැකි වූයේ කෙසේද? අපට කිනම් නිසැකකමක් තබාගත හැකිද?

15 ‘මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන්නේය’ යයි ප්‍රේරිත පාවුල් ලීවේය. (රෝම 7:18, NW) අසම්පූර්ණ මාංසයේ ආශාවන් සහ දුර්වලකම්වලට එරෙහිව පොරබැදීම කොතරම් අසීරුදැයි පාවුල් දැන සිටියේය. කෙසේවෙතත්, තමාට ඉන් ජයගත හැකි බවට නිසැකකමක් පාවුල්ට තිබුණි. (1 කොරින්ති 9:26, 27) කෙසේද? යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමෙනි. පාවුල්ට මෙසේ කීමට හැකි වුණේ එම නිසයි. “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද! මිය යන මේ ශරීරයෙන් මාව බේරගන්නේ කවුද? අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට ස්තුති වේවා!” (රෝම 7:24, 25, NW) අප ගැන කුමක් කිව හැකිද? අපටත් මාංසික දුර්වලකම්වලට එරෙහිව සටනක් තිබේ. අප එවන් දුර්වලකම් සමඟ කටයුතු කිරීමට පොරබදිත්ම, අප තුළ ඇති නිසැකකම පහසුවෙන්ම නැති වී යා හැකියි. අපට කවදාවත් ඉන් සාර්ථක වීමට නොහැකියයි හැඟෙන්නට පිළිවන. නමුත්, පාවුල් මෙන් අපත් අපගේම ශක්තිය කෙරෙහි නොව නමුත් යෙහෝවා කෙරෙහි සැබවින්ම රඳා සිටියහොත් ඔහු අපට පිහිට වේවි.

16. මාංසික දුර්වලකම් දිගටම පවතින විට අප යාච්ඤා කළ යුත්තේ කුමක් සඳහාද? අප යළිත් වරදකට ඇද වැටුණොත් කුමක් කළ යුතුද?

16 මාංසික දුර්වලකම් දිගටම පවතින විට, යාච්ඤාවෙන් කන්නලව් කිරීමෙන් අපට හැකියි අප යෙහෝවාව විශ්වාස කරන බව පෙන්වීමට. යෙහෝවාගේ ශුද්ධාත්මය මගින් උපකාර කරමින් අපට පිහිටවෙන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටීමට අපට හැකියි. සමහරවිට අපට බැගෑපත්ව අයදින්නට සිදු විය හැකියි. (ලූක් 11:9-13) දෙවිගේ ආත්මයේ පලවල අංගයක් වන ආත්ම-දමනය ඉල්ලා විශේෂයෙන් අයදින්නට පිළිවන. (ගලාති 5:22, 23) යළිත් වරක් එම දුර්වලකමට අප වැටුණොත් අප කුමක් කළ යුතුද? කුමක් වුණත් උත්සාහය අත්නාරින්න. අපේ දයාන්විත දෙවිගෙන් සමාව හා උපකාර ඉල්ලා යටහත් පහත් ලෙස යාච්ඤා කිරීමෙන් කිසිදා වෙහෙසට පත් නොවන්න. වරද සහිත හෘදය සාක්ෂියකින් බර වී සිටින “බිඳුණාවූ තැළුණාවූ” සිතක් යෙහෝවා කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නැත. (ගීතාවලිය 51:17) අප අවංක, සොවින් තැවුණු සිතකින් යෙහෝවාට කන්නලව් කරන්නේ නම්, වරද කෙරෙහි ඇති වන මෙම පෙලඹවීම්වලට එරෙහිව සටන් කරන්නට ඔහු අපට පිහිට වේවි.—පිලිප්පි 4:6, 7.

17. (අ) අප සටන් කරනවා විය හැකි යම් විශේෂ දුර්වලකමක් ගැන යෙහෝවාට හැඟෙන විදිහ ගැන කල්පනා කර බැලීම උපකාරවත් වෙන්නේ ඇයි? (ආ) සැණෙකින් කේන්ති යන ගතිය පාලනය කරගැනීමට අප සටන් කරමින් සිටිනවා නම්, අපට කිනම් ශුද්ධ ලියවිලි පද මතකයේ තබාගත හැකිද?

17 තවද යෙහෝවාගේ උපකාරය පතා ඔහුගේ වචනය සෙවීම මගින්ද අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන බව අපට පෙන්විය හැකියි. බයිබල් අකාරාදිය හෝ මුරටැඹ ප්‍රකාශන සූචිය පාවිච්චි කිරීමෙන්, ‘මා සටන් කරමින් සිටින මේ විශේෂ දුර්වලකම ගැන යෙහෝවාට හැඟෙන්නේ කෙසේද?’ යන ප්‍රශ්නයට අපට පිළිතුරු ලබාගත හැකියි. මේ කාරණය ගැන යෙහෝවාට හැඟෙන ආකාරය ගැන කල්පනා කිරීමෙන් ඔහුව සතුටු කිරීමට අප තුළ ඇති ආශාව තවත් ශක්තිමත් කරන්නට පිළිවන. මෙසේ, අපට යෙහෝවාට හැඟෙන ආකාරයට හැඟෙනු ඇති අතර ඔහු පිළිකුල් කරන දේට පිළිකුල් කරන්නටත් හැකි වේවි. (ගීතාවලිය 97:10) ඇතමුන් අද්දැක තිබෙන දෙයක් නම්, තමන් සටන් කරමින් සිටින විශේෂිත දුර්වලකමට අදාළ වන යම් බයිබල් පාඨ කිහිපයක් මතකයේ තබාගැනීම තමන්ට උපකාරවත් වූ බවයි. සැණෙකින් කේන්ති යන ගතිය පාලනය කරගැනීමට අප සටන් කරමින් සිටිනවාද? එසේනම්, හිතෝපදේශ 14:17 සහ එපීස 4:31 යන පාඨ මතකයේ තබාගැනීමට අපට හැකියි. අපට අපගේ කට පරෙස්සම් කරගැනීමට අමාරුකමක් තිබෙනවාද? එසේනම්, හිතෝපදේශ 12:18 සහ එපීස 4:29 වැනි පාඨයන් අපට අපේ හදවතේම ධාරණය කරගෙන තබාගන්නට පුළුවනි. අහිතකර විනෝදාංශ කෙරෙහි ඇදී යන ගතිය අපට තිබෙනවාද? එසේනම්, එපීස 5:3 සහ කොලොස්සි 3:5 වැනි පද අපට මතක තබාගන්නට පුළුවනි.

18. අපගේ දුර්වලකම්වලින් ජයගැනීමට අවශ්‍ය උපකාරය වැඩිමහල්ලන්ගෙන් ඉල්ලීමට ලජ්ජාවක් භයක් සැකක් ඇති කර නොගත යුත්තේ මන්ද?

18 යෙහෝවා කෙරෙහි අප රඳා සිටින බව අපට තවදුරටත් පෙන්විය හැකි ක්‍රමයක් නම්, ආත්මයෙන් පත් කරන ලද සභාවේ වැඩිමහල්ලන්ගේ උපකාර පැතීමය. (ක්‍රියා 20:28) මේ සියල්ලටම වඩා, ‘තෑගි වශයෙන් දී ඇති මෙම පුරුෂයන්’ වනාහි යෙහෝවාගේ බැටළුවන් ආරක්ෂා කර සැලකිල්ල දැක්වීමට ක්‍රිස්තුස් තුළින් යෙහෝවා දී ඇති සැපයුමකි. (එසකියෙල් 4:7, 8, 11-14) තමන්ගේ දුර්වලකමක් ගැන කටයුතු කිරීමේදී උපකාර ඉල්ලීම පහසු යමක් නොවන බව ඇත්තය. වැඩිමහල්ලන් අප ගැන තිබෙන පැහැදීම නැති කරගනීවිය කියා අපට යම් ලජ්ජාවක් භයක් සැකක් හැඟෙන්නට පුළුවන. නමුත් උපකාරය ඉල්ලීමට ධෛර්යය තිබීම ගැන විශේෂයෙන් මෙම මේරු පුරුෂයන් අපට ගෞරව කරනවාට කිසිදු සැකයක් නැත. එපමණක්ද නොව, රැළ සමඟ කටයුතු කිරීමේදී යෙහෝවාගේම ගුණාංග පිළිබිඹු කිරීමට වැඩිමහල්ලෝ උත්සුක වෙති. අපේ දුර්වලකමින් ගොඩ ඒමට අප ගෙන ඇති අධිෂ්ඨානය ශක්තිමත් කරගැනීමට අපට හරියටම අවශ්‍ය උපකාරය, ඔවුන්ගේ සැනසිලිදායක ප්‍රායෝගික උපදෙස්වලින් හා දේවවචනයේ උපදෙස්වලින් අපට ලැබෙනවා විය හැකියි.—යාකොබ් 5:14-16.

19. (අ) මේ සමාජ ක්‍රමයේ නිෂ්ඵලත්වය යොදාගැනීමට සාතන් අර අඳින්නේ කිනම් ක්‍රමයකින්ද? (ආ) විශ්වාසයට ඇතුළත් වෙන්නේ මොනවාද? අපේ ස්ථිර අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 තමන්ට තිබෙන කාලය ඉතා කෙටි බව සාතන් දන්නා බව කිසිවිටෙකත් අමතක කරන්න එපා. (එළිදරව් 12:12) ඔහුට වුවමනා වෙන්නේ මේ ලෝකයේ ජීවිතයේ නිෂ්ඵලත්වය යොදාගෙන අපව අධෛර්ය කර, අප දරන උත්සාහය අත්හැරීමට සැලැස්වීමටයි. රෝම 8:35-39හි [NW] ප්‍රකාශ කර ඇති දේ ගැන අපි පූර්ණ නිසැකකමක් තබාගනිමු. “ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්නේ කවුද? පීඩා හෝ දුක් වේදනා හෝ හිංසා හෝ කුසගින්න හෝ නිර්වස්ත්‍රකම හෝ උවදුර හෝ කඩුව හෝ එසේ කරාවිද? . . . නමුත්, අපි මේ සියල්ලේදීම, අපට ප්‍රේම කළ තැනැත්තා මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ජය ලබමු. මන්ද, මට මේ දේ ගැන සම්පූර්ණ විශ්වාසයක් ඇත. මරණයටවත්, ජීවනයටවත් දේවදූතයන්ටවත්, ආණ්ඩුවලටවත්, දැන් තිබෙන දේවල්වලටවත්, පැමිණෙන්න තිබෙන දේවල්වලටවත්, බලයන්ටවත්, උසටවත්, ගැඹුරටවත්, වෙන කිසි මැවිල්ලකටවත්, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් තුළ තිබෙන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි බව මට සම්පූර්ණයෙන්ම විශ්වාසය.” යෙහෝවා කෙරෙහි ඇති විශ්වාසය පිළිබඳ මොනතරම් ප්‍රබල කියමනක්ද! කෙසේවුවද එවන් විශ්වාසයක් නිකම්ම හැඟීමකට වඩා වැඩි යමකි. අප එදිනෙදා ජීවිතයේ හොඳින් හිතා බලා ගනු ලබන තීරණ එයට ඇතුළත්ය. එසේනම්, විපත්ති කාලවලදී යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තැබීමට අපි ස්ථිර ලෙස අධිෂ්ඨාන කරගනිමු.

[පාදසටහන්වල]

^ 1 ඡේ. රාජ්‍ය කාසි නිෂ්පාදනාගාරයට 1861 නොවැම්බර් 20 දාතමින් යුත් ලිපියක් යවමින් භාණ්ඩාගාර ලේකම් සැමන් පී. චේස් මෙසේ ලීවේය. “දෙවිගේ ශක්තිය නැතුව කිසිම ජාතියකට ශක්තිමත් වෙන්නටවත්, ඔහුගේ ආරක්ෂාව නැතුව ආරක්ෂා වෙන්නටත් බැරිය. දෙවි කෙරෙහි අපගේ ජනතාවගේ ඇති විශ්වාසය අපගේ ජාතික කාසිවල ප්‍රකාශයට පත් කළ යුතුයි.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, “අපේ විශ්වාසය දෙවි කෙරෙහිය” යන ආදර්ශ පාඨය 1864දී නිකුත් කරනු ලැබූ එක්සත් ජනපද කාසියක පළමු වතාවට දක්නට ලැබුණි.

^ 7 ඡේ. කනස්සල්ල ලෙස මෙහි විස්තර කර ඇති දෙය, “ජීවිතේ සියලු සතුට පැහැර ගන්නා කලබලකාරී භය” ලෙස පැවසිය හැකියි. ඇතැම් පරිවර්තනවල මෙය විස්තර කර තිබෙන්නේ “කනස්සලු නොවන්න” හෙවත් “ළත වෙන්න එපා” යනුවෙනි. නමුත් එවන් පරිවර්තනවලින් අඟවන්නේ අප කනස්සලු වීම හෝ ළතවීමට පටන්ගත යුතු නැති බවක්ය. තවත් ආශ්‍රේය ග්‍රන්ථයක මෙසේ කියයි. “මෙහි ග්‍රීක් ක්‍රියා පදයේ කාලය වර්තමාන කාල විධානාත්මකය. දැනටමත් කරමින් සිටින ක්‍රියාවක් නතර කිරීමට යම් විධානයක් දෙන බවක් ඉන් ඇඟවේ.”

^ 9 ඡේ. එහි සඳහන් කරුණු අට මෙසේ ලැයිස්තුගත කළ හැකියි.(1) කලබල නොවන්න; (2) ධනාත්මක ලෙස සිතන්න; (3) අලුත් ආකාරයේ වැඩකට ඔබේ මනස විවෘත කරන්න; (4) වෙන කෙනෙකුගේ ආදායමට අනුව නොව, ඔබේම ආදායමට අනුව ජීවත් වෙන්න; (5) ණයට ගැනීමේදී පරෙස්සම් වෙන්න; (6) පවුල එක්සත්ව තබාගන්න; (7) ඔබේ ආත්ම-ගරුත්වය ආරක්ෂා කරගන්න; (8) අය වැය ලැයිස්තුවක් සාදාගන්න.

^ 13 ඡේ. බයිබලය මත පදනම් මෙම ප්‍රකාශනවල කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ නැත. මන්ද එය පෞද්ගලික තීරණයක් වන බැවිනි. ඒ වෙනුවට, යම් යම් රෝග සහ ආබාධ පිළිබඳව පාඨකයන් විසින් දැනගත යුතු නවීනතම තොරතුරුවලින් පාඨකයාව දැනුවත් කෙරේ.

ඔබට මතකද?

• ආර්ථික ගැටලුවලට මුහුණ දෙන විට, අප යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන බව අපට පෙන්විය හැක්කේ කිනම් ක්‍රමවලින්ද?

• සෞඛ්‍ය ගැටලුවලින් මිරිකී සිටින විට අපට දෙවි කෙරෙහි විශ්වාසය විදහා පෑ හැක්කේ කෙසේද?

• මාංසික දුර්වලකම් දිගටම පවතින විට, අප යෙහෝවා කෙරෙහි සැබවින්ම රඳා සිටින බව පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ කොටුව]

ඔබට මෙම ලිපි මතකද?

අප සෞඛ්‍යමය අභියෝගවලින් මිරිකී සිටින විට, නොයෙක් සෞඛ්‍ය ගැටලු, අසනීප හා ආබාධවලින් පෙළී සාර්ථකව ඒවාට මුහුණ දුන් අයගේ අද්දැකීම් කියවීම ඉතා දිරිගන්වනසුලුය. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පළ වී ඇති ලිපි සමහරක් පහත දැක්වේ.

ඍණාත්මක සිතිවිලි හා මානසික පීඩනය සමඟ කටයුතු කිරීම ගැන ලියවුණු “මගේ දුර්වලකම් සමඟ කටයුතු කිරීම.”—මුරටැඹ, 1990 මැයි 1 (සිංහලෙන් නැත).

“යකඩ පෙණහැල්ලකට පවා ඇගේ දේශනා කිරීම නැවැත්විය නොහැකි විය.”—පිබිදෙව්!, 1993 මැයි 8.

අංශභාග රෝගය සමඟ කල්ගෙවීම ගැන ලියවුණු “වෙඩි උණ්ඩයක් මගේ ජීවිතය වෙනස් කළේය.”—පිබිදෙව්!, 1996 ජනවාරි 8.

දෙයාකාර මනෝ ස්වභාවයක් විදහාපෑමේ රෝගයක් (bipolar mood disorder) පිළිබඳව ලියවුණු, “හෙට කුමක් වේදැයි ඔබ දන්නේ නැත” නමැති ලිපිය.—මුරටැඹ, 2000 දෙසැම්බර් 1.

මස්තිෂ්කයේ ආබාධයක් (cerebral palsy) ගැන ලියවුණු “නිහැඬියාවෙන් මිදීමට ලොයිඩා ගිය ගමන” යන ලිපිය.—පිබිදෙව්!, 2000 මැයි 8 (සිංහලෙන් නැත).

“එන්ඩොමෙට්‍රියොසිස් එක්ක මගේ සටන.”—පිබිදෙව්!, 2000 අගෝස්තු 8.

“ස්ක්ලෙරොඩර්මා රෝගය (Scleroderma) සමඟ මගේ සටන”—පිබිදෙව්!, 2001 අගෝස්තු 8 (සිංහලෙන් නැත).

“දරු ප්‍රසූතියෙන් පසු ඇති වන මානසික අවපීඩනය සමඟ කළ සටනින් මම ජයගතිමි.”—පිබිදෙව්!, 2002 ජූලි 22 (සිංහලෙන් නැත).

[15වන පිටුවේ පින්තූරය]

රැකියාව අහිමි වූ තත්වයකට මුහුණ දෙන විට, අපගේම ජීවිත රටාව යළිත් පරීක්ෂා කර බැලීම ඥානවන්ත විය හැකියි

[16වන පිටුවේ පින්තූරය]

යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම විඳදරාගැනීමට කොතරම් උපකාරවත් වන්නේ දැයි ලොයිඩාගේ කතාවෙන් පෙන්වයි (17වන පිටුවේ කොටුව බලන්න)

[18වන පිටුවේ පින්තූරය]

අපගේ දුර්වලකම්වලින් ජයගැනීම සඳහා උපකාර ඉල්ලීමට අපට ලැජ්ජාවක් භයක් සැකක් නොතිබිය යුතුයි