Skip to content

පටුනට යන්න

“සභා මධ්‍යයෙහි” යෙහෝවාට ප්‍රශංසා කරන්න

“සභා මධ්‍යයෙහි” යෙහෝවාට ප්‍රශංසා කරන්න

“සභා මධ්‍යයෙහි” යෙහෝවාට ප්‍රශංසා කරන්න

ක්‍රිස්තියානි රැස්වීම් යෙහෝවාගේ සැපයුමක්. ඔහු එම සැපයුම ලබා දී ඇත්තේ තම සෙනඟව ආත්මිකව ශක්තිමත් කර තබාගැනීමටයි. නොකඩවා රැස්වීම්වලට යෑම තුළින් යෙහෝවාගේ සැපයුම් කෙරෙහි අපට තිබෙන අගය අප පෙන්වනවා. එමෙන්ම එකිනෙකාට තිබෙන ප්‍රේමය පෙන්වීම සඳහා ඇති අනගි ක්‍රමයක් වන ‘අපගේ සහෝදරයන්ව ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පෙලඹවීමටද’ ඉන් අපට හැකියාව ලැබෙනවා. (හෙබ්‍රෙව් 10:24; යොහන් 13:35; NW) රැස්වීම් තුළදී අපගේ සහෝදරයන්ව යහපත් දේ කිරීම සඳහා අප පොලඹවන්නේ කොහොමද?

ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කරන්න

දාවිත් රජ තමා ගැන මෙවැනි දෙයක් පැවසුවා. “ඔබගේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි. සභා මධ්‍යයෙහි ඔබට ප්‍රශංසා කරන්නෙමි. . . . මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය.” “මහත් සභාවේදී ඔබට ස්තුති කරන්නෙමි. බොහෝ සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි.” “මහත් සභාවේදී ධර්මිෂ්ඨකම [ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය, NW] ප්‍රකාශ කෙළෙමි. බැලුව මැනව මාගේ තොල් නොවළක්වන්නෙමි.”—ගීතාවලිය 22:22, 25; 35:18; 40:9.

ප්‍රේරිත පාවුල්ගේ දවස්වලදී ක්‍රිස්තියානීන් නමස්කාර කිරීම සඳහා එක් රැස් වූ විට ඔවුන් යෙහෝවා කෙරෙහි තිබුණ ඔවුන්ගේ ඇදහිල්ල පිළිබඳවත් ඔහුගේ මහිමය පිළිබඳවත් ඒ හා සමාන ප්‍රකාශයන් කළා. මෙමගින් ඔවුන් එකිනෙකාව දිරිගැන්වූවා වගේම ප්‍රේමයට සහ යහපත් ක්‍රියාවලටද එකිනෙකාව පෙලඹුවා. දාවිත් සහ පාවුල් ජීවත් වූ කාලයෙන් ශතවර්ෂ ගණනාවකට පසුව ජීවත් වන අප ඇත්තෙන්ම ‘යෙහෝවාගේ දවස ළං’ වෙමින් තිබෙන ආකාරය දකිනවා. (හෙබ්‍රෙව් 10:24, 25, NW) සාතන්ගේ සමාජ ක්‍රමය ක්‍රමක්‍රමයෙන් විනාශය කරා ඇදී යන විට ගැටලුත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. වෙන කවරදාකටත් වඩා අපට ‘විඳදරාගැනීම අවශ්‍යයි.’ (හෙබ්‍රෙව් 10:36, NW) අපව දිරිගැන්වීමට අපේ සහෝදරයන්ට වඩා සුදුසුකම් ඇති වෙන කිසිවෙක් සිටිනවාද?

අතීතයේදී මෙන් අද දිනත් එක් එක් ඇදහිලිවන්තයන්ට “සභා මධ්‍යයෙහි” තමන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙනවා. එක් අවස්ථාවක් නම් සභා රැස්වීම් තුළදී සබයෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට සෑම කෙනෙකුටම පිළිතුරු දීමට ලැබී තිබෙන ප්‍රස්තාවයි. අදහස් ප්‍රකාශ කිරීමෙන් සිදු කළ හැකි යහපත් බලපෑම අවතක්සේරු කරන්න එපා. නිදසුනකට, යම් ගැටලුවකින් ගොඩ එන ආකාරය හෝ එය මඟහරින ආකාරය ගැන සඳහන් කරමින් දෙන පිළිතුරකින් බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම සඳහා අපගේ සහෝදරයන්ට තිබෙන අදිටන ශක්තිමත් කළ හැකියි. උපුටා දක්වා නැති නමුත් සඳහන් කර තිබෙන බයිබල් පද පැහැදිලි කරන විට හෝ පෞද්ගලික ගවේෂණයේදී සොයාගත් අදහස් පිළිතුරක ඇතුළත් කරන විට යහපත් අධ්‍යයන පුරුදු වර්ධනය කරගැනීමට අන් අයවත් දිරිගැන්වෙනවා.

අප රැස්වීම් තුළදී පිළිතුරු දීමෙන් අපත් අන් අයත් ඉන් ප්‍රයෝජන ලබනවාය යන කාරණය තේරුම්ගැනීමෙන් සියලුම යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන් තුළ තිබෙන බයාදුකමේ හැඟීම පරාජය කිරීමට පෙලඹිය යුතුයි. රැස්වීම්වලට පැමිණීමේදී සහ සහභාගි වීමේදී වැඩිමහල්ලන් සහ සභා සේවකයන් මූලිකත්වය ගැනීම සාමාන්‍යයෙන් අපේක්ෂා කරනවා. එමනිසා ඔවුන් රැස්වීමේදී පිළිතුරු දීම ඉතා වැදගත්. නමුත් යම් කෙනෙකුට තම ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට අයත් මෙම අංගය අභියෝගයක් කියා දැනේ නම් ඔහු ඒ සඳහා කුමක් කළ යුතුද?

දියුණු වීම සඳහා යෝජනා

පිළිතුරු දීම අප යෙහෝවාට කරන නමස්කාරයේ කොටසක් බව අමතක කරන්න එපා. ජර්මනියේ වෙසෙන ක්‍රිස්තියානි සහෝදරියක් ඇගේ පිළිතුරු දීම සම්බන්ධයෙන් මෙවන් අදහසක් ප්‍රකාශ කරනවා. “තමුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමට දෙවිගේ සෙනඟට ඉඩ නොදීම සඳහා සාතන් දරන වෑයමට මම පෞද්ගලිකව පිළිතුරු දෙන්නේ රැස්වීම්වලදී පිළිතුරු දීමෙනුයි.” එම සභාවේම සිටින අලුත බව්තීස්ම වූ සහෝදරයෙක් කියා සිටින්නේ මෙවැන්නක්. “පිළිතුරු දීමට උපකාර ඉල්ලලා මම ගොඩක් යාච්ඤා කරනවා.”

හොඳින් සූදානම් වෙන්න. සාකච්ඡා කරන කොටස් කලින් අධ්‍යයනය කළේ නැතිනම් පිළිතුරු දීමට අපහසු බවත් ඔබේ පිළිතුරු එතරම් බලපෑමෙන් යුක්ත නැති බවත් ඔබට දැනේවි. රැස්වීම් තුළදී පිළිතුරු දීම සම්බන්ධයෙන් යෝජනා දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු * යන ප්‍රකාශනයේ 70වන පිටුවේ සඳහන් වී තිබෙනවා.

සෑම රැස්වීමකදීම එක පිළිතුරක් හෝ දීමට ඉලක්කයක් තබාගන්න. මේ සඳහා ඔබ පිළිතුරු කිහිපයක් සූදානම් විය යුතුයි. ඔබ කිහිප විටක් අත ඔසවද්දී කොටස මෙහෙයවන සහෝදරයාට ඉඩ ලැබෙනවා පිළිතුරු දීම සඳහා ඔබට අවස්ථාව ලබා දීමට. කුමන ප්‍රශ්නයන්ටද ඔබ පිළිතුරු දෙන්නේ කියා රැස්වීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔහුට දැනුම් දීමත් ඔබට කළ හැකියි. ඔබ නවකයෙක් නම් මෙය විශේෂයෙන්ම උපකාරවත් වෙයි. “මහත් සභාවේදී” ඔබේ අත ඉහළට ඔසවන්න ඔබ මැළි විය හැකියි. නමුත් දැන් සාකච්ඡා කරමින් සිටින්නේ ඔබ පිළිතුරු දීමට සූදානම්ව පැමිණි ප්‍රශ්නයට අදාළ ඡේදය නම් පාඩම පවත්වන සහෝදරයා ඔබේ අත එසවෙන තෙක් බලා සිටීවි යන හැඟීම නිසාම ඔබ දිරිගැන්වෙයි පිළිතුරු දීමට.

කලින්ම පිළිතුරු දෙන්න. යම් අමාරු කටයුත්තක් පසුවට කල් දැමීමෙන් එය පහසු කරවන්නේ නැහැ. රැස්වීමේදී කලින්ම පිළිතුරු දීම උපකාරවත් විය හැකියි. පළමුවෙනි පිළිතුර දී අමාරුවෙන් කඩුල්ල පැන්න පසු දෙවෙනි හෝ තුන්වෙනි පිළිතුර දීම කොයිතරම් පහසු වෙනවාද කියා ඔබ තේරුම්ගනීවි.

සුදුසු තැනක අසුන්ගන්න. රාජ්‍ය ශාලාවේ ඉදිරියට වෙන්න අසුන්ගැනීමෙන් පිළිතුරු දීමට පහසු බව සමහරෙකු සොයාගෙන තිබෙනවා. එමගින් අවධානයට බාධා සිදුවීම අවම කරගත හැකි වන අතර මෙහෙයවන සහෝදරයාට ඔබ අත ඔසවන විට හොඳින් දැකගැනීමටද හැකි වනු ඇත. ඔබ මෙම ක්‍රමය අත්හදා බලන විට ඔබේ සභාවේ පිළිතුරු දීම සඳහා මයික්‍රෆෝන භාවිත නොකරන්නේ නම් හැමෝටම ඇසෙන සේ කතා කරන්න මතක තබාගන්න.

හොඳින් සවන් දෙන්න. මෙසේ කිරීමෙන්, තව කෙනෙක් කියූ පිළිතුර නැවත කීමෙන් වැළකී සිටින්න ඔබට පුළුවන්. ඒ වගේම තව කෙනෙකු දුන් පිළිතුරෙන් බයිබල් පදයක් හෝ එම පිළිතුරට තවත් පුළුල් අර්ථයක් ලබා දීම සඳහා එකතු කළ හැකි වෙනත් කාරණයක් ඔබට මතක් විය හැකියි. සමහර අවස්ථාවන්හි සාකච්ඡා කෙරෙන කරුණට අදාළ කෙටි අද්දැකීමක් ඇතුළත් කළ හැකියි. එවැනි පිළිතුරු ඉතා ප්‍රයෝජනදායකයි.

ඔබේම වචනවලින් පිළිතුරු දෙන්න ඉගෙනගන්න. පිළිතුරක් දෙන විට පාඩම් කරන පොතේ හෝ සඟරාවේ තිබෙන දේ එලෙසම කියවීමෙන් ඔබ හරි පිළිතුර සොයාගෙන තිබෙන බව පෙන්නුම් කරනවා. පිළිතුරු දීම ආරම්භ කිරීමට මෙය හොඳ ක්‍රමයක්. නමුත් ඔබ ඔබේම වචනයෙන් පිළිතුරු දීම දක්වා දියුණු වන විට එම සාකච්ඡා කරන කාරණය ඔබට වැටහෙන බව ඉන් පෙන්නුම් කෙරෙනවා. අපේ ප්‍රකාශනවලින් උපුටා දක්වන විට එය ඇති සැටියෙන්ම කීමට වුවමනා නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ප්‍රකාශනවල තිබෙන දෙයම ගිරව් මෙන් නැවත කියන්නේ නැහැ.

සාකච්ඡා කරන විෂයට අදාළව පිළිතුරු දෙන්න. විෂයට අදාළ නැති හෝ සාකච්ඡා කරන ප්‍රධාන අදහස්වලින් බැහැරව යම් පිළිතුරු දීම සුදුසු නැහැ. මෙයින් අදහස් කරන්නේ ඔබේ පිළිතුරු සාකච්ඡා කරන විෂයට අදාළව දිය යුතුය යන්නයි. එවිට සාකච්ඡා කරමින් සිටින තේමාවට අනුව ආත්මිකව ගොඩනංවන සංවාදයකට එම පිළිතුරු දායක වෙයි.

දිරිගැන්වීමට ඉලක්කයක් තබාගන්න. පිළිතුරු දීමට තවත් වැදගත් හේතුවක් වන්නේ අන් අයව දිරිගැන්වීමයි. එමනිසා අධෛර්යය කරවන යම් දේවල් පැවසීමෙන් අප වැළකිය යුතුයි. තවත් දෙයක් තමයි, පිළිතුරු දෙන විට මුළු ඡේදයම ආවරණය කරන්න එපා. එසේ කළොත් තව කෙනෙකුට පැවසීමට තිබෙන්නේ ස්වල්පයක් පමණයි. නැතහොත් කිසිම දෙයක් ඉතිරි වන්නේ නැහැ. දිග නැතහොත් කරුණු රාශියක් අඩංගු පිළිතුරක් දීමෙන් එහි හරය ගිලිහී යා හැකියි. වචන කිහිපයක් ඇතුළත් කරමින් දෙනු ලබන කෙටි පිළිතුරුවල හොඳ බලපෑමක් තිබෙනවා. එමගින් නවකයන්ටත් තමන් සූදානම් කරගෙන ඇති කෙටි පිළිතුරු දීමට දිරිගැන්වීමක් ලැබෙනවා.

රැස්වීම් මෙහෙයවන්නාගේ කාර්යභාරය

රැස්වීම මෙහෙයවන සහෝදරයාට අන් අයව දිරිගැන්වීම සඳහා විශාල වගකීමක් තිබෙනවා. හොඳින් සවන් දීමෙන් සහ වෙනත් දෙයකට අවධානය නොදී පිළිතුර දෙන තැනැත්තා දෙස බැලීමෙන් ඔහු සෑම පිළිතුරකටම අව්‍යාජ උනන්දුවක් පෙන්වයි. ඔහු හොඳින් සවන් නොදීම නිසා කෙනෙක් කියූ දේ ඔහු නැවත කීම හෝ පිළිතුරු දෙනු ලැබූ ප්‍රශ්නයක් නැවත ඇසීම කොයිතරම් නුසුදුසු දෙයක්ද!

දෙනු ලැබූ පිළිතුරට සමාන අදහසක් සුළු වෙනසක් කරමින් රැස්වීම මෙහෙයවන සහෝදරයා නැවත කියනවා නම් එය අධෛර්යය කරවන්නක්. මන්දයත් දෙනු ලැබූ පිළිතුර සම්පූර්ණ නැති බවක් එයින් ඇඟවෙනවා. අනික් අතට, පිළිතුරු මගින් විශේෂ කරුණක් තවදුරටත් සාකච්ඡා කිරීමට මඟ පෑදෙනවා නම් එය කොයිතරම් දිරිගන්වනසුලුද! ‘මෙය අපේ සභාවට අදාළ වෙන්නේ කොහොමද?’ නැතහොත් ‘දැන් කියූ පිළිතුරට ඡේදයේ කුමන බයිබල් පදයද අදාළ වෙන්නේ?’ වැනි ප්‍රශ්න ඇසීමෙන් කදිම දායකත්වයක් ලබා දෙන ගුණාත්මක පිළිතුරු දීමට අන් අය දිරිගැන්වෙනවා.

නවකයන් හෝ ලජ්ජාශීලී අය පිළිතුරක් දුන් විට ඔවුන්ව විශේෂයෙන්ම ප්‍රශංසාවට ලක් කළ යුතුයි. මෙය කළ යුත්තේ පාඩමෙන් පසුව පෞද්ගලිකවයි. එමගින් එම පුද්ගලයාව අපහසුතාවට පත් නොවෙනවා වගේම රැස්වීම මෙහෙයවන සහෝදරයාට යම් යෝජනාවන් දීමට තිබේ නම් එය කිරීමටද ඔහුට හැකි වෙනවා.

සාමාන්‍ය කතා බහේදී වුවත් එක් කෙනෙකු මුළුමනින්ම කතා කරයි නම් අදහස් හුවමාරුව ඇනහිටිනවා. ඔහුට සවන් දීගෙන සිටින අයට තමන් අදහස් දක්වන්න අවශ්‍ය නැහැයි කියා හැඟෙනවා. ඒ වගේම ඔවුන් ඕනෑවට එපාවට සවන් දීමට නැත්නම් සවන් නොදී සිටීමට පවා පෙලඹෙන්න පුළුවන්. රැස්වීම් මෙහෙයවන සහෝදරයා සාකච්ඡාව අතරතුර නිතර නිතර අදහස් දැක්වීමෙන් රැස්වීම ඒක පුද්ගල ස්වභාවයක් ගන්නා විට ඒ හා සමාන දෙයක් සිදුවීමට ඉඩ තිබෙනවා. නමුත් සහභාගි වන්නන්ගේ අවධානය එක එල්ලේ තබාගැනීමටත් කතා කරන විෂය ගැන කල්පනා කිරීමටත් පෙලඹවීම සඳහා ඉඳ හිට අතුරු ප්‍රශ්න ඇසිය හැකියි. නමුත් එවැනි ප්‍රශ්න ඇසීම හැකි තාක් දුරට අඩු කරන්න.

අත පළමුවෙන් එසවූ කෙනාගේ නම පළමුවෙන් කතා කිරීමට අවශ්‍ය නැහැ. අත එසවූ විගස නම කතා කිරීමෙන් අදහස් ප්‍රකාශ කිරීමට ස්වල්ප වේලාවක් ගත වෙන කෙනෙකුව පසුබෑමකට ලක් විය හැකියි. අනෙක් අතට මෙහෙයවන සහෝදරයා ටික වේලාවක් බලා සිටියහොත් පිළිතුරු නොදුන් කෙනෙකුට පිළිතුරු දෙන්න අවස්ථාව ලැබෙනවා. කුඩා දරුවෙකුට තේරුම්ගත නොහැකි විෂයක් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් පිළිතුරු නොවිමසා සිටීමටත් රැස්වීම් පවත්වන සහෝදරයා කල්පනාකාරී විය යුතුයි.

වැරදි පිළිතුරක් දුන් විට තත්වය කුමක්ද? එම පිළිතුර දුන් පුද්ගලයාව අපහසුතාවට පත් නොකිරීමට රැස්වීම මෙහෙයවන සහෝදරයා වගබලා ගත යුතුයි. පිළිතුර වැරදි වුණත් බොහෝවිට එහි යම් සත්‍ය කාරණා තිබිය හැකියි. කල්පනාකාරීව නිවැරදි දේ තෝරා බේරා ගනිමින්, නැවත වෙනත් විදිහකින් ප්‍රශ්නය ඇසීමෙන් හෝ අමතර ප්‍රශ්නයක් ඇසීමෙන්, මෙහෙයවන සහෝදරයාට හැකියි අන් අයව අපහසුතාවට ලක් නොකර කාරණය නිවැරදි කිරීමට.

මෙහෙයවන සහෝදරයා අන් අයව පිළිතුරු දීමට දිරිගැන්වීම සඳහා ‘තව කෙනෙකුට පිළිතුරක් තිබෙනවාද?’ ‘කවුද තවම පිළිතුරු දී නැත්තේ? මෙය තමයි අන්තිම අවස්ථාව’ වැනි ප්‍රශ්න ඇසීමෙන් වැළකිය යුතුයි. මෙවැනි ප්‍රශ්න අසන්නේ හොඳ චේතනාවෙන් වුණත් විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට එයින් යම් පුද්ගලයෙකු දිරිගැන්වෙන්නේ නැහැ. සාකච්ඡාව ආරම්භයේදීම පිළිතුරු නොදීම ගැන වරදසහිතබවක් සහෝදරයන්ට දැනෙන්න සලස්වන්න එපා. ඒ වෙනුවට තමන් දන්න දේ බෙදාගැනීමට ඔවුන්ව දිරිගැන්විය යුතුයි. මන්දයත් අදහස් බෙදාගැනීම ප්‍රේමය ප්‍රකාශ කිරීමක්. ඒ වගේම තවත් දෙයක් තමයි පාඩම මෙහෙයවන සහෝදරයා එක් වතාවකදී එක් අයෙකුගේ නම පමණක් කතා කළ යුතුයි. “ඔහුගේ පිළිතුරට පසු අපි අර සහෝදරයාගේ පිළිතුරටත් ඉන්පසු අනෙක් සහෝදරියගේ පිළිතුරටත් ඇහුම්කන් දෙමු” යනුවෙන් පැවසීමෙන් වැළකී සිටීම වඩාත් හොඳයි. මෙහෙයවන්නා පළමුකොට පිළිතුර අසා තව පිළිතුරක් අවශ්‍යද කියා එම පිළිතුරට සවන් දීමෙන් පසුව තීරණය කළ යුතුයි.

පිළිතුරු දීම වරප්‍රසාදයක්

රැස්වීම්වලට සහභාගි වීම ආත්මිකත්වයට අවශ්‍යම දෙයක්. රැස්වීම්වලදී පිළිතුරු දීම වරප්‍රසාදයක්. “සභා මධ්‍යයෙහි” යෙහෝවාට ප්‍රශංසා කිරීමේ මෙම අද්විතීය ක්‍රමයට අප හවුල් වෙන්නේ කොතරම් ප්‍රමාණයකටද එම ප්‍රමාණයටම අප දාවිත්ගේ ආදර්ශයත් පාවුල්ගේ උපදෙසත් අනුගමනය කරනවා. රැස්වීමේදී අපේ සහභාගිත්වය තුළින් අපේ සහෝදරයන්ට අප ප්‍රේම කරන බවත් යෙහෝවාගේ විශාල සභාවේ කොටසක් බවත් ඔප්පු කරනවා. “ඒ දවස ළං වන බව ඔබට පෙනෙද්දී” වෙන කිසිම ස්ථානයකට වඩා එහි සිටීමට අප තුළ ආශාවක් තිබිය යුතු නැද්ද?—හෙබ්‍රෙව් 10:25, NW.

[පාදසටහන]

^ 10 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[20වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානි රැස්වීම්වලදී සවන් දීම සහ පිළිතුරු දීම වැදගත්

[21වන පිටුවේ පින්තූරය]

රැස්වීම මෙහෙයවන්නා සබය දක්වන සෑම අදහසක් කෙරෙහිම සැබෑ උනන්දුවක් පෙන්වයි