Skip to content

පටුනට යන්න

සැබවින්ම තිබිය යුත්තේ එක සත්‍ය ක්‍රිස්තියානි ආගමකි

සැබවින්ම තිබිය යුත්තේ එක සත්‍ය ක්‍රිස්තියානි ආගමකි

සැබවින්ම තිබිය යුත්තේ එක සත්‍ය ක්‍රිස්තියානි ආගමකි

යේසුස් ක්‍රිස්තුස් ස්ථාපිත කළේ එක සභාවක් පමණයි. එම සභාව ආත්මික ශරීරයක් හා ආත්මික පවුලක් මෙන් විය. අප මින් අදහස් කරන්නේ එම සභාව දෙවිගේ ශුද්ධාත්මය මගින් තෝරාගන්නා ලද ජනයාගෙන් සමන්විත සමූහයක ඒකරාශි වීමක් වූ බවයි. දෙවි ඒ සියලුදෙනාවම පිළිගත්තේ ඔහුගේ ‘දරුවන්’ ලෙසය.—රෝම 8:16, 17; ගලාති 3:26.

ජනයාව සත්‍යය හා ජීවනය වෙතට මඟ පෙන්වීම සඳහා දෙවි උපයෝගි කරගත්තේ එක මාර්ගයක් පමණක් බව යේසුස් ඉගැන්වූයේය . මෙම වැදගත් සත්‍යය පැහැදිලි කිරීම සඳහා යේසුස් සදාකාල ජීවනය ලබාගැනීම, මාර්ගයක ගමන් කිරීමට සමාන කළේය. මේ ගැන ඔහු මෙසේ පැවසුවේය. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්ය, බොහෝ ඉඩ කඩද ඇත. එයින් ඇතුල් වන්නෝද බොහෝය. නමුත් ජීවනය කරා යන පාර අවහිරය, එහි දොරටුව පටුය. එය සොයාගන්නේ ස්වල්පදෙනෙකුය.”—මතෙව් 7:13, 14, NW; යොහන් 14:6; ක්‍රියා 4:11, 12.

එක්සත් සභාවක්

“අද දින අප කතෝලික සභාව ගැන කතා කරද්දී අපගේ සිතෙහි මැවෙන්නේ ලෝක ව්‍යාප්ත, සර්වලෝක, සංවිධානාත්මක සමාජයක්ය. එදා මුල් සියවසේ පැවති සභාව එවැන්නක් වූවා කියා අප නොසිතිය යුතුයි.” මෙලෙස සඳහන් වන්නේ ද නිව් ඩික්ෂනරි ඔෆ් තියොලජි නමැති ග්‍රන්ථයේය. මුල් සියවසේ සභාව එසේ නොපැවති බව පැවසිය හැක්කේ කෙසේද? “හුදෙක් සරල හේතුවක් නිසාය. එනම්, එවන් විධිමත්ව සංවිධානය කරන ලද සමස්ත ලෝක සමාජයක් තිබුණේ නැත” කියා එම ග්‍රන්ථයේම සඳහන් වේ.

මුල් ක්‍රිස්තියානි සභාව කිසිම ආකාරයකින් අද අප දකින පල්ලි ක්‍රම මෙන් අතිශයින්ම විධිමත් ලෙස ව්‍යූහගත වී නොතිබුණු බව පිළි නොගැනීමට කිසිම කෙනෙකුට සාධාරණ පදනමක් නැත. එහෙත් එය සංවිධානය වී තිබිණ. එක් එක් සභා තම අභිමතය පරිදි කටයුතු කළේ නැත. ඒ සෑම සභාවක්ම යෙරුසලමෙහි පිහිටි පාලක මණ්ඩලයකට තිබූ අධිකාරය පිළිගත්තේය. ප්‍රේරිතවරුන්ගෙන් හා යෙරුසලමෙහි පිහිටි සභාවේ සිටි වැඩිමහල්ලන්ගෙන් සමන්විත වූ එම මණ්ඩලය මගින් ක්‍රිස්තුස්ගේ ‘එක ශරීරයක්’ මෙන් වූ සභාවේ එක්සත්කම රැකගැනීමට අවශ්‍ය උපකාරය සපයන ලදි.—එපීස 4:4, 11-16; ක්‍රියා 15:22-31; 16:4, 5.

ඒ එක සත්‍ය සභාවට සිදු වූයේ කුමක්ද? අද තිබෙන බලවත් කතෝලික සභාව බවට පත් වී තිබෙන්නේ එයද? අද අපට දැකිය හැකි කොටස්වලට වෙන් වී තිබෙන රෙපරමාදු සභා ක්‍රමය බවට පත් වී තිබෙන්නේ එයද? එසේත් නැත්නම් වෙනත් යමක් සිදු වූවාද?

“තිරිඟු” සහ “කිරිඳි”

එම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම සඳහා, යම් දවසකදී සිදු වන දෙයක් ගැන යේසුස් ක්‍රිස්තුස් පැවසූ වදන් හොඳින් සලකා බලමු. තමා පිහිටෙවූ සභාව ඉතිහාසයෙන් මැකී යෑම යේසුස් අපේක්ෂා කළ දෙයක් බවත් එවන් කනගාටුදායක තත්වයක් සියවස් ගණනාවක් පුරා පැවතීමට ඔහු ඉඩහරින බවත් දැනගන්න ලැබීමෙන් ඔබ පුදුමයට පත් විය හැකියි.

ඔහුගේ සභාව “ස්වර්ග රාජ්‍යය” සමඟ සම්බන්ධ කරමින් ඔහු මෙසේ පැවසුවේය. “තම කෙතෙහි හොඳ බීජ වැපුරූ මිනිසෙකුට ස්වර්ග රාජ්‍යය සමානය. මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය. පැළ වැඩී පල දැරූ විට, කිරිඳිත් මතු විය. එබැවින් ගෙහිමියාගේ දාසයෝ ඇවිත්, ‘ස්වාමිනි, ඔබේ කෙතෙහි ඔබ වැපුරුවේ හොඳ බීජ නොවේද? එසේනම් එහි කිරිඳි තිබෙන්නේ කෙසේද?’ යයි ඔහුගෙන් ඇසූහ. ‘සතුරෙක් මෙය කර තිබේ’ යයි ඔහු ඔවුන්ට කීවේය. එවිට ඔවුහු කතා කොට, ‘එසේනම්, අප ගොස් ඒවා එකතු කරනවාට ඔබ කැමතිද?’ යයි ඔහුගෙන් ඇසූහ. ඔහු මෙසේ කීවේය: ‘එසේ නොකරන්න. මන්ද, එසේ කළොත්, කිරිඳි එකතු කරද්දී ඒ සමඟම තිරිඟුත් ඉදිරෙන්න පුළුවන. කපන කාලය දක්වා දෙවර්ගයටම එකට වැඩෙන්න හරින්න. එවිට කපන කාලයේදී, මම කපන්නන්ට කතා කොට, පළමුවෙන් කිරිඳි එකතු කර ඒවා පුලුස්සා දමන පිණිස මිටි බඳින්න කියාත්, ඉන්පසු තිරිඟු මාගේ ගබඩාවේ රැස් කරන්න කියාත් කියන්නෙමි.’”—මතෙව් 13:24-30, NW.

‘බීජ වැපුරූ මිනිසා’ තමා බව යේසුස් පැහැදිලි කළේය. ‘හොඳ බීජවලින්’ නියෝජනය කළේ ඔහුගේ සැබෑ ගෝලයන්වය. ඔහුගේ “සතුරා” වූයේ සාතන් නමැති යක්ෂයාය. “කිරිඳි” වූයේ මුල් ක්‍රිස්තියානි සභාවට රිංගා ගත් ව්‍යාජ ක්‍රිස්තියානීන්ය. “කපන කාලය” වන “සමාජ ක්‍රමයක අවසාන කාල පරිච්ඡේදය” දක්වා “තිරිඟු” හා “කිරිඳි” එකට වැඩීමට තමන් ඉඩහරින බව ඔහු පැවසුවේය. (මතෙව් 13:37-43, NW) මේ සෑම දෙයකින්ම අදහස් කළේ මොනවාද?

මුල් ක්‍රිස්තියානි සභාව දූෂ්‍ය විය

ප්‍රේරිතවරුන් මිය ගොස් වැඩි කලක් යන්න කලින් සැබෑ ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසූ ගුරුවරු ක්‍රිස්තියානි සභාව තුළින්ම නැඟිට එහි පාලනය ඔවුන්ගේ අතට ගැනීමට පටන්ගත්හ. ඔවුහු “තමුන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල්” පැවසූහ. (ක්‍රියා 20:29, 30, NW) මෙහි ප්‍රතිඵලයක් හැටියට ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් ‘ඇදහිල්ලෙන් වැටී ගියහ.’ එමෙන්ම මේ අය ‘අසත්‍ය කතාවලට හැරී ගියහ.’—1 තිමෝති 4:1-3; 2 තිමෝති 4:3, 4; NW.

පොදු යුගයේ හතරවන සියවස වන විට, “කතෝලික ක්‍රිස්තියානි ධර්මය රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් වී තිබිණ” කියා ද නිව් ඩික්ෂනරි ඔෆ් තියොලජි නමැති ශබ්දකෝෂයේ සඳහන් වේ. “ගිහි හා පැවිදි සමාජයක සන්ධානගත වීමක්” දක්නට තිබිණ. සභාව හා රජය එකට එකතු වීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ එම සමාජ ක්‍රමය මුල් ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. (යොහන් 17:16; යාකොබ් 4:4) එම මූලාශ්‍රයේම සඳහන් වන්නේ සභාවේ සම්පූර්ණ ව්‍යූහය හා ස්වභාවය මෙන්ම එහි මූලික විශ්වාසයන් රාශියක් ප්‍රබල වෙනස්කම්වලට ලක් වූ බවයි. මෙම වෙනස්කම් සිදු වූයේ ‘පරණ තෙස්තමේන්තුවේ හා නව ප්ලේතෝනික අදහස්වල අමුතු මෙන්ම දූෂිත සම්මිශ්‍රණය වීමක ප්‍රතිඵලයක්’ ලෙසය. යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කළාක් මෙන් ව්‍යාජ ක්‍රිස්තියානීන් සශ්‍රීකව වැඩෙද්දී ඔහුගේ සැබෑ ගෝලයන් දසුනෙන් ඉවත් විය.

විෂ සහිත එක්තරා කිරිඳි වර්ගයක් වැඩෙන කාලයේදී බොහෝදුරට තිරිඟු හා සමාන පෙනුමක් ගනී. එලෙසම නියම තිරිඟුවලින් කිරිඳි වෙන් කර හඳුනාගැනීම කොතරම් අමාරු දෙයක්ද කියා යේසුස්ට සවන් දුන් අය දැන සිටියහ. යේසුස් එම උපමාව යොදාගනිමින් පැහැදිලි කළේ ව්‍යාජ ක්‍රිස්තියානීන්ගෙන් සැබෑ ක්‍රිස්තියානීන්ව වෙන් කර හඳුනාගැනීම යම් කලකට අමාරු දෙයක් වනු ඇති බවයි. ක්‍රිස්තියානි සභාව සම්පූර්ණයෙන්ම පැවැත්මෙන් තොර වන බව ඉන් අදහස් නොකරයි. මන්ද “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා” ඔහුගේ ආත්මික සහෝදරයන්ට අඛණ්ඩව මඟ පෙන්වීම ලබා දෙන බවට යේසුස් පොරොන්දු වූයේය. (මතෙව් 28:20, NW) තිරිඟුවල වැඩීම අඛණ්ඩව සිදු වන බව යේසුස් පැවසුවේය. යුග ගණනාවක් පුරා සැබෑ ක්‍රිස්තියානීන් පෞද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ඉදිරියට ගෙන යෑමට ඔවුන්ට හැකි උපරිමය කළ බවට සැකයක් නැත. එනමුත් ඔවුන්ව පැහැදිලිව හඳුනාගත හැකි සංවිධානයක් ලෙස දැකගත නොහැකි විය. ඉතිහාසය පුරාම යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයට අපකීර්තියක් ගෙන ඒම හැර වෙන කිසිවක් කර නොමැති, සැබෑ ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන පැහැදිලිව දැකගත හැකි ආගමික පද්ධතියට වඩා ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් විය.—2 පේතෘස් 2:1, 2.

‘නීතිය නොතකන මනුෂ්‍යයා හෙළි වේ’

මෙම ව්‍යාජ ආගමික පද්ධතිය හඳුනාගත හැකි ලක්ෂණයක් ගැන ප්‍රේරිත පාවුල් පුරෝකථනය කළේය. ඔහු මෙසේ ලීවේය. “කිසිවෙකුට කිසිසේත් ඔබව රවටන්න ඉඩ නොදෙන්න. මන්ද, ඇදහිල්ලට විරුද්ධව කැරැල්ල පළමුවෙන් පැමිණ, නීතිය නොතකන මනුෂ්‍යයා එනම් විනාශයේ පුත්‍රයා හෙළි වන තෙක් [යෙහෝවාගේ දවස] පැමිණෙන්නේ නැත.” (2 තෙසලෝනික 2:2-4, NW) “නීතිය නොතකන [මේ] මනුෂ්‍යයා” වෙන කිසිවෙකු නොව පූජක පන්තියයි. මොවුන් “ක්‍රිස්තියානි” සභාවේ පාලන තනතුරු දරමින් තමන්වම උසස් කරගෙන ඇත. *

ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීම පටන්ගත්තේ ප්‍රේරිත පාවුල්ගේ කාලයේදීය. ප්‍රේරිතවරුන්ගේ අභාවයත් සමඟම ඇදහිල්ලට විරුද්ධව කැරලිගැසීම මැඩපැවැත්වීමට ඔවුන් දැරූ වෑයම නතර වූ හෙයින් එය වේගයෙන් වැඩි වර්ධනය විය. පාවුල් පැවසූ පරිදි “සාතන්ගේ ක්‍රියා කිරීමට අනුව, සියලු බලවත් ක්‍රියාවලින්ද, බොරු ලකුණු සහ පෙර නිමිතිවලින්ද, සියලු අධර්මිෂ්ඨ රැවටිලිකාරකම්වලින්ද යුක්ත [වීම]” නිසා එය පැහැදිලිව හඳුනාගත හැකි වනු ඇත. (2 තෙසලෝනික 2:6-12, NW) එම වදන්වලින් ඉතිහාසය පුරා සිටි ආගමික නායකයන් බොහෝදෙනෙකුගේ ක්‍රියාවන් මොනතරම් නිවැරදිව විස්තර කෙරේද!

කතෝලික නායකයන් කියා සිටින්නේ එකම සත්‍ය සභාව රෝමානු කතෝලික සභාව බවයි. ඔවුන් ඊට පදනම වශයෙන් කියා සිටින්නේ “ඔවුන්ගේ බිෂොප්වරුන් පුරාණයේ සිටි අපෝස්තුලුවරුන්ගේ අනුප්‍රාප්තිකයන් ලෙස අඛණ්ඩව පැවතෙන උරුමයකට හිමිකම් කියන” බවයි. එසේ අපෝස්තුලුවරුන්ගේ අනුප්‍රාප්තිකයන් බව කියා සිටීමට ඓතිහාසික හෝ ශුද්ධ ලියවිලිමය වශයෙන් කිසිදු පදනමක් නොමැත. යේසුස්ගේ ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු නැඟී සිටි සභා ක්‍රමය දෙවිගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ බවට විශ්වාසවන්ත සාක්ෂි සොයාගැනීමට නැත.—රෝම 8:9; ගලාති 5:19-21.

කතෝලික සභාවේ සිදු කළ ‘ප්‍රතිසංස්කරණයට’ පසු බිහි වූ සෙසු සභා ගැන කුමක් කිව හැකිද? ඔවුන් මුල්ම ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාත්මක වූ විධිවිධානය ආපසු ක්‍රියාත්මක කළාද? මුල්ම ක්‍රිස්තියානි සභාවේ නිර්මලත්වය ඔවුන් යළි ඇති කළාද? කතෝලික ප්‍රතිසංස්කරණයෙන් පසු සාමාන්‍ය ජනයාගෙන් බහුතරයකට ඔවුන්ගේම භාෂාවෙන් බයිබලය ලබාගත හැකි වූ බව සත්‍යයකි. එහෙත් ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මෙම සභා වැරදි ඉගැන්වීම් දිගටම ඉගැන්වූ බවයි. *මතෙව් 15:7-9.

කෙසේවෙතත් මේ කාරණය සැලකිල්ලට ගන්න. කිසිම සැකයකට ඉඩක් නොතබමින් යේසුස් ක්‍රිස්තුස් පුරෝකථනය කළේ, ඔහුගේ එකම සත්‍ය සභාව යළි ස්ථාපිත කරනු ලබන්නේ සමාජ ක්‍රමයක අවසාන කාල පරිච්ඡේදය කියා ඔහු හැඳින්වූ කාලයක බවයි. (මතෙව් 13:30, 39, NW) අප ජීවත් වන්නේ එම කාලයේ බව බයිබල් අනාවැකිවල ඉටුවීමෙන් පැහැදිලි වේ. (මතෙව් 24:3-35) මෙම සත්‍යය සැලකිල්ලට ගනිමින් අප එක් එක්කෙනා මෙසේ අසාගත යුතුයි. ‘එම එක සත්‍ය සභාව තිබෙන්නේ කොහේද?’ එම සභාව වඩ වඩා පැහැදිලිව හඳුනාගත හැකි තත්වයක තිබිය යුතුයි.

ඔබ දැනටමත් එම සභාව සොයාගෙන තිබෙන බව ඔබට හැඟෙන්නට පුළුවන. ඔබ ඒ ගැන සහතික වීම වැදගත්. මන්ද? මුල් සියවසේදී මෙන් අද දිනද තිබිය හැක්කේ එක සත්‍ය සභාවක් පමණක් වන නිසාය. ඔබ අයත්ව සිටින සභාව මුල් සියවසේ තිබූ ක්‍රිස්තියානි සභාව ක්‍රියාත්මක වූ ආකාරයට ඉතා සමානව ක්‍රියාත්මක වෙනවාද කියාත්, යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පක්ෂපාත ලෙස අනුබල දෙනවාද කියාත් තහවුරු කරගැනීම සඳහා ඔබ කාලය ගෙන තිබෙනවාද? කල් නොදමා මේ ගැන පරීක්ෂා කර බැලීම හොඳ අදහසක් නොවේද? මෙය කිරීම සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සතුටින් සිටිති.—ක්‍රියා 17:11.

[පාදසටහන්වල]

^ 17 ඡේ. “නීතිය නොතකන මනුෂ්‍යයා” හඳුනාගැනීමට උපකාරවත් වන තවත් තොරතුරු 1990 දෙසැම්බර් 1 මුරටැඹ කලාපයේ 23-28 දක්වා පිටුවලින් සොයාගත හැකියි.

^ 20 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන Mankind’s Search for God (සිංහලෙන් නැත) නමැති පොතේ සඳහන් “The Reformation—The Search Took a New Turn” නමැති පරිච්ඡේදය (306-28 දක්වා පිටු) බලන්න.

[5වන පිටුවේ පින්තූර]

යේසුස් පැවසූ තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමා මගින් සත්‍ය සභාව ගැන අපට උගන්වන්නේ කුමක්ද?

[7වන පිටුවේ පින්තූර]

දේශනා කිරීමේ හා අධ්‍යයන කටයුතුවල නියැලෙමින් මුල් ක්‍රිස්තියානීන් ගිය අඩි පාරේ ඔබේ සභාව ගමන් කරනවාද?